Friday, September 14, 2012

උදුලා


පාසටහන් බ්ලොග් අඩවියට කොටස් තුනක් වශයෙන් ලියූ මේඝයන් මැද  දිගු කෙටිකතාව අදින් හමාර කළෙමි. 
එහි අඩුලුහුඬුකම් දැනගනු වස් එය ලෝකයෙ කොනකටද උදුලා නමින් ගෙන එන්නට අදහස් කළෙමි.

ඉතිහාසයේ අංශුමාත්‍රයක් පමණක් ගෙන, මසිතෙහි උපන් චරිත ‍රැසකින්, සිදුවීම් කිහිපයකින් ගොඩ නැගුණ මෙය, කිසිසේත්ම ඉතිහාසය විකෘති කිරීමක් නොවේ. හුදෙක් සිතෙහි උපන් දසුන් කිහිපයක් අකුරු කිරීම පමණකි.

****************************************************

ඇට්ටේරියා මල් සුවඳක් තුරුළු කරගත් මඳ පවන් රොදක් සිරියහන් ගබඩාවේ වරින් වර සක්මන් කරයි. කවුළුව අතරින් පෙරී එන සඳ එළියද සිහිලැල්ය.නිශාන්තයේ සුන්දර නිහඬතාවයේ ගිලී සිටින මට ඇසෙන්නේ ඔහුගේ සුසුම් වල රිද්මය පමණි. ඒ සවිමත් උරතලයේ උණුහුමින් රාත්‍රියේ හිරිගඩු පිපෙන සීතල මා කෙරෙන් පළා ගොස්ය. සෙමෙන් දෙනෙත විවර කර මම ඔහු දෙස බලමි. ඒ දෙනුවන් තවමත් විවරය.මුවග දැවටී ඇති මන්දස්මිතයේ ඡායාව සඳ එළියෙන් මා හට මනාව දිස් වේ.


"උදුලා, නිදි නැතිද?" ඒ හඬ මා සවනතට මිහිරකි.


"ඔබතුමාත් තවමත් අවදියෙන්"


"ඒ ඔබ නිසා, ඔබේ ආරක්ෂාවට." මා මුවගට හස‍රැල්ලක් එක් වේ.එවැනි වදන් මම හොඳින් හඳුනමි. ඒ සම්පූර්ණ සත්‍යය නොවේ. හුදෙක් මා සිත ප්‍රමුදිත කරනුවස් , ඔහුගේ සිතෙහි ඉපිද මුවින් ගිලිහෙන ප්‍රේමණීය වදන්ය.


"ආරක්ෂාවට රජ සෙබලුන් සතර දිශාවේම. ඉතින් ඔබතුමා අවදියෙන් සිට කුමක් කරන්නද?"


"ඔවුන් සිටින්නේ මගේ ආරක්ෂාවට. මා සිටින්නේ ඔබේ ආරක්ෂාවට........." ඔහුගේ දෑඟිලි මා සවන් පත් කිති කවයි. මම තවත් ඒ උණුසුමට තුරුල් වෙමි.


"එය නම් සැබෑවක්. නමුත් අද නම් ඔබ තුමා අවදියෙන් සිටින්නේ ඒ නිසාම පමණක් නොවේ."


"නො එසේනම්?"


"ඒ ඔබතුමා අද වෙනදාට වඩා සතුටින් නිසා"


"උදුලා ට හදිසියේම එසේ සිතුණේ?"


"හදිසියේම පහල වූ සිතිවිල්ලක් නොවේ මහරජතුමණි,මේ සිරියහන් ගබඩාවට පා තැබූ මොහොතේ පටන්මයි මා හට එය අවබෝධ වුණේ."


"ඒ කෙලෙසින්ද?" සයනයෙන් මදක් ඉහලට එසවුණු ඔහු මා දෙස බලා සිටියි.


"ඔබතුමාගේ සෑම සුසුම් පොදක්ම මා හොඳින් හඳුනනවා....... රාජකීය වීණා වාදකයා ලවා ඔබතුමා වාදනය කරවන සෑම ස්වරයක්ම මා හඳුනනවා.......... ඔබතුමාට ඇසෙනවාද, දැන් වාදනය වන රාගය? එය ඔබතුමා ප්‍රීතියෙන් පිනා ගොස් සිටින බවට හොඳම සාක්ෂියයි ඒ.


නැවතත් ඒ මුවග මදහසකි.දෙනෙත් කාන්තියෙන් දැල්වේ.
"ඔබ හරි උදුලා. ඔබට හිතන්නට පුළුවන්ද ඒ සඳහා හේතුව?"


"මා සිතන්නේ මා ඒ සඳහා හේතුවත් දන්නවා......"
සිරියහනෙන් බැස මම කවුළුව අසලට පිය මනිමි. සුදු සඳ එළිය දැල්වී ඈත අනන්තය තෙක් දිවෙන වන ගැබ රිදී පැහැයෙන් සුදිලේ. ලෝකය එක යායට ඇද හැලෙන රජත වන් ගංගාවක් සේය. තැනින් තැන දැල්වෙන පන්දම් ආලෝකයෙන් උද්‍යානය අලෝකමත් වී ඇත. අහසට විසිරෙන වතුර මල්, සිසි කිරණ හා එක් වී කෝල කරන්නේ අපූරු දසුනක් මවමිනි. 
ඔහුගේ සුසුමක පහස මට නැවතත් දැනෙයි. ඒ ඝණ ‍රැවුළ මගේ සවන් පත් නැවතත් කිති කවයි. 
සළුවෙහි කොණක් ගෙන මම හිස වසා ගනිමි.


"ඉතින් උදුලා, ඔබ තවමත් ඒ සඳහා හේතුව කීවේ නැහැ." ඔහු නැවතත් හිස වැසූ සළු පට ඉවත් කරයි.


"ඊට හේතුව ඇත්තේ රජතුමණි මේ මාලිගයට පහලින්...."


"රජ මාලිගයට පහළින්?"


"ඔව් රජතුමනි, මේ පර්වත මස්ථකයේ සිට බඹ ගණනාවක් පහළින්."


"ඔබගේ ඇතැම් බස් මට වටහා ගැනීමට අපහසු තරමට ව්‍යක්තයි උදුලා"


"ඔබතුමාගේ සිතැඟි පරිදි බිතු සිතුවම් ගණනාවක් මේ රජ මාලිග පවුව වටා සිතුවම් කර අවසන් වූ අද දින ඔබතුමා සතුටින් සිටින බැව් පවසන්න වෙසෙස් නුවණක් අවශ්‍ය නැත මහ රජතුමණි."


"ඔබ හරි උදුලා... බොහෝ කාලයක සිට මගේ සිතේ තිබුණු ආශාවක් එය. ඔබ නම් ඒ සිතුවම් වලට එතරම් මනාපයක් නැති බවයි මුල සිටම මට හැඟී ගියේ..."


"නොමනාපය නොවේ රජතුමණි, එහෙත් කිසියම් ඊර්ශ්‍යාවක් වැනි හැඟීමකින් මගේ සිත පෙළුණු අවස්ථා නැතුවාම නොවේ. ඔබතුමා මටත් වඩා ඒ සිතුවම් වලට, ඒ ලලනාවන්ට ප්‍රේම කරනවදැයි හැගීමක් මා සිතෙහි උපදියි."


මගෙ පිළිතුර බොලඳ වැඩි යයිද නො එසේනම් නුසුදුසු යයිද මා හට හැඟීමක් නැත. එහි ගැබ් වූයේ හුදෙක් ඒ සිතුවම් පිළිබඳව මා සිත තුළ ඇති වූ සත්‍ය හැඟීමය. වරෙක රන් වන් පැහැයෙන්ද, තවත් වරෙක අඳුරු පැහැයෙන්ද වර්ණ ගන්වා ඇති ලඳුන් සැබැවින්ම අලංකාරය. රාජකීය සිත්තරුන් ලවා මාගේ මහ රජතුමා විසින් සිතුවම් කරවන ලද එම රූප මාලිගය පුරා බොහෝ කතා බහට ලක්වූ කරුණක් විය. අන්ත:පුරය පුරාම තරමක නොපහන් හැඟීම් ජනිත කළ එම සිතුවම් මා හට නම් සිහිපත් කරන්නේ මාගේ නිරිඳාගේ කලා කාමී ආදරණීය සිතය්.


"උදුලා, යමෙක් ස්ත්‍රියකට දක්වන ප්‍රේමය සහ කලා කෘතියකට දක්වන ඇල්ම සමාන යයි ඔබ සිතන්නේ කෙලෙසින් ද?" මේ තේජස් වී කටහඬට ද මම මේ රුවට ඇළුම් කරන්නාක් හා සමානවම ඇළුම් කරමි.


"ඔබ තුමා ඒ සිතුවම් වලින් පිළිබිඹු කළේ මාලිගය සැරසීමට මල් ‍රැගෙන එන ස්ත්‍රීන්ව ද?"


"ඔබට එවැනි අදහසක් පහළ වූයේ කෙලෙසද උදුලා?"


"ඔබතුමා ඒ මල් ගෙන එන ළඳුන් දෙස නොයෙක් වර බලා සිටිනවා මා දැක තිබෙනවා"


"මා බලා සිටින්නේ ඔවුන් දෙස නොවේ උදුලා. ඒ දැත් වලින් මැවෙන අලංකාර මල් රටා දෙසයි."


තව දුරටත් සිත්තම් වල සිටින්නේ කවරෙක් දැයි ඇසීමට මගේ සිතට ශක්තියක් නැත. ඔහු මගේ රටේ රජතුමා ය. මා පිළිබඳව කොතරම් ප්‍රේමයකින් වෙලී සිටියත්, මගෙන් පසුව කිසිදු යුවතියක අන්ත:පුරයට කැඳවාගෙන නාවත් , මා ඔහුගේ අන්ත:පුර මෙහෙසියක පමණක් වෙමි. 


එහෙත් අන් සියල්ලන්ටම වඩා ,ඇතැම් විටෙක අගමෙහෙසියට ද වඩා , ඔහු මා හට පානා සෙනෙහස මගේ හුස්ම වැටෙනා තුරු මට ප්‍රමාණවත්ය.
මේ උණුසුම් දෙඅත් මැද මම ජීවිතය විඳිමි.


පහන් තිර නිවී යාමට ආසන්නය. රාත්‍රිය තව දිගුය. එහෙත් සඳ එළියෙන් නැහැවුණු සිරියහන් ගැබට වෙනත් පහන් ඇවසි නැත. ඔහුගේ නෙත් පහන් දෙකෙහි කාන්තිය මා හට ප්‍රමාණවත්ය.



*************************************************************

බිඟු පහසින් මත් වූ කුසුමන් තුටින් හිනැහේ. දසතින් ඇසෙන විහඟුන්ගේ නාදයෙන් සවන් පිරී යයි. සුවඳ හමන විකසිත කුසුමක් ලෙසින් මසිත විකසිතය. හිමිදිරියේ සිහිලද නොතකමින් මම ස්නානයට සූදානම් වෙමි. ආභරණ හා සළුපිළි ‍රැගත් සේවිකාවෝ දෙදෙන සිකිපිත් පසු පස ඇදෙන, උගේ පිළි කළඹ ලෙසින්  මා පසු පස ඇදෙති. කොතරම් සැප සම්පතින් අනූන වුවත් මේ නිදහස් රහිත ස්වභාවය නම් මගේ සිතෙහි එතරම් සතුටක් ඇති නොකරයි. එහෙත් මේ මාගේ මහ රජතුමාගේ සතුටයි. ඉදින්, ඒ සඳහා මා විරුද්ධ වන්නේ කෙලෙසද.


පොකුණු දිය මස්තකයෙහි පාවෙන ඇහැළ මල් පෙති දෙකක් දිය මත තරංග සමග තරඟයට මෙන් දඟ කරයි. රෑ පිපුණ සේපාලිකා මල් සුවඳක්ද තවම කොහෙදෝ සිට හමා එනු දැනේ. 


"උදුලා කුමරිය, දිය ස්නානයට කටයුතු සූදානම්" 


මාගේ ප්‍රමාදය දැකීමෙන්දෝ සේවිකාවක් මා අසලට පැමිණ පවසයි. මගේ සළු පිළි පසෙක තබා ඔවුනට සිය කාර්යයකට නික්ම යන්නැයි පැවසීමටද සිතේ.තනිවම දිය පීරා ගොස් පොකුණ මැද පිපී හිනැහෙන තඹුරු නෙළා ගැනීමට මම ප්‍රිය කරමි.එහෙත් එවැන්නකට ඉඩක් නැත.


         පොකුණට බසින පඩිපෙළ මත හිඳගන්නා මම දෙපා සරසන නූපුර උණා දමමි. මේ නූපුර රටාව මගේ මහරජතුමා සැබැවින්ම ප්‍රිය කරන රටාවකි. ඒ පිළිබඳව ඔහුගේ ඇල්ම සිහි වීමෙන් මා මුවග මදහසක් මැවෙනු මට දැනේ.එය මාගේ සේවිකාවන් දෙදෙනාගෙන සැඟවීමට අමතර වෙහෙසක් දැරීමට මට සිදු වේ. 


එක්වරම ඇසුන ළමා සිනා හඬකින් මගේ දැහැන බිඳේ. ඒ විදීෂ කුමරුන් බව අවටහා ගැනීමට මා හට ඒ දෙස  බැලීමට අවශ්‍ය නොවේ.


"නවතින්න කුමරුණි" විදීශ කුමරුන් පසුපස ගත ‍රැඳි සළුපිළි දණක් දක්වා ඔසවා ගනිමින් දිව එන ඔහුගේ කිරි මව නන්දා දකින විට මගේ මුවට නැගෙන්නේ වලක්වා ගත නොහී සිනහවකි. ඇගෙන් මිදී මා වෙතට දිව එන විදීශ කුමරුන් මා ගතට තුරුල් වේ. ඔහුගේ සිඟිති මුවගින් තවමත් ගලන්නේ කිරි සුවඳය. ගෙල ‍රැඳි රාජාභරණ ඒ මොළකැටි වතට බර වැඩි යැයි මට සිතේ.


"උදුලා කුමරිය සැරසෙන්නේ දිය ස්නානයටයි කුමරුණි, ඒ සඳහා ඉඩ දී අපි ආපසු යමු කුමරුණි"


කුඩා විදීෂ තවත් මා වෙත තුරුළු වේ.


"නන්දා ආපසු යන්න. " සිඟිති මුව උල් කරමින් ඔහු පිළිතුරු දෙයි.


"විදීෂ කුමරුන් මා සමග උන්නාවේ නන්දා" මා පවසන්නේ කුඩා දරුවාගෙ මුවට ගලා එන කිරි සිනා තවත් වැඩි කරමිනි.


විදීෂ අගබිසවගෙ පුතණුවන්ය.මාලිගය පුරා නිරන්තරයෙන් දිව යන ඔහුගේ දෙපා වලට විවේකයක් නැත.සියලු දෙනාගේ ආදරය දිනා ගත් ඔහුගේ විශේෂ ඇල්මක් දිනා ගත් කිහිප දෙනා අතරින් මම එක් අයෙක් වෙමි. 
"ඔබ කෙරෙහි මගේ ඇති ආදරය කුමරුවන්ටද දැනෙනවා ඇති" මහ රජතුමා ද එසේ පැවසුවේ වරක් දෙවරක් නොවේ. 
දඟකාරකම් නිසා ඇති වන තුවාල පෙන්වීමට, සිය මව සමග වන ආරවුල් පිළිබඳව පැමිණිලි කිරීමට, අවේලාවේ කුස ගිනි සිදු වූ විට ආදී බොහෝ අවස්තා වලදී ඔහු මා සොයා පැමිණේ.


"මේ කුමක්ද"? ඔහු අසන්නේ මා අතේ වූ නූපුර පෙන්වමිනි.


"ඒ නූපුර කුමරුණි"


"මට දෙනවාද?" මට සිනහ උපදින්නේ නිරායාසයෙනි.


"නූපුර පළඳින්නේ කාන්තාවන්. හැරත් කුඩා දරුවකු ඉන් කුමක් කරන්නද?"


නොපිට පෙරලුණු ඔහුගේ තොල්පෙති නොමනාපය කියා පායි.මම ඔහුගේ හිසකේ පිරිමදිමි.




"මට අර මල නෙලා දෙන්න"එවර නම් ඉ‍ටු කළ හැකි ඉලීමකි.මම සළුපිලි සමගින්ම පොකුණට බසිමි. නෙළුම් මල තව දුරය. දණට මදක් ඉහළට දිය පිරී ඇත.


"කුමරිය, මා මල නෙලා දෙන්නම්"සේවිකාව පවසන්නීය.


"නුඹ ගොඩට වී කුමරු පිළිබඳව විමසිල්ලෙන් සිටින්න" 


පොකුණු ගැට්ට මත ඇණ තබා ඉඳගත් විදීෂ කුමරුන් මා නෙළනා මල් දෙස ආශාවෙන් බලා සිටියි. සුදු ඕලු මල් දෙකක් සහ නිල්මහනෙල් මලක් මා නෙළා ගතිමි. කුමරුන් පෙන්වූ නෙළුම් මලට තව දුරය.පොකුණු පතුලේ සිටින මින් කැළ මා දෙපා කිති කවනු මට දැනේ. මම තවත් ඉදිරියට යමි.ගමේ ඇළ දොළ සියල්ලම පුරුදු මා හට මේ කුඩා පොකුණ බියජනක ස්ථානයක් නොවේ.


"විදීෂ........ " එක් වරම ඇසෙන හඬක් මා කලබලයට පත් කරයි.
නන්දාද කැ‍ටුව වහ වහා අප වෙත පැමිණෙමින් සිටින්නේ අග බිසවුන් වහන්සේය. ඇගේ මුහුණේ ස්වභාවය නම් එතරම් යහපත් නැත. මහත් වූ කෝපාග්නියකින් ඈ දැවෙන්නා සේය. 


"කුඩා දරුවා ත් ළඟ තබාගෙන නුඹ මේ කුමක් කරන්නේද උදුලා?" මා හට පහර දීමට බඳු පරුෂ බවක් ඇගේ හඬෙහි ඇත.


"මා සූදානම් වූයේ කුමරුන්ට මල් නෙළා දීමටයි බිසවුන්වහන්ස"


"යස මල් නෙලීම.... කුමරුනුත් පොකුණට බැස්සා නම්.........මගේ දරුවා මරා ගැනීමටද නුඹට අවශ්‍ය?"විදීෂ කුමරුන් අතින් ඇද ඇය තමා වෙතට ලං කර ගනීයි.


           ඔහුගේ දෙනෙතේ මතු වූ විශාල කඳුලු බිඳු දෙකක් සියුමැලි කම්මුල් ඔස්සේ ගලා යයි. රාජකීයත්වයටම ඔබින ගතිගුණ ඇති මේ සිවු හැවිරිදි දරුවා හඬ නගා හඬා වැලපෙනු මා දැක ඇත්තේ ඉතා අහම්බෙනි.මගේ දෑස්ද තෙත් වන්නේ ඉබේමය.මවකගෙන් දරුවකු උදුරා ගැනීමට මා හට අයිතියක් නැත. එසේ හෙයින් දෑස් වලට දුක් වන්නට ඉඩ දී මම හිස් බැල්මෙන් බලා සිටිමි. 


ආපසු හැරි හැරී මා දෙසත්, පොකුණ අසල වැටී ඇති මල් තුනත් දෙස බලමින් යන කුඩා කුමරුවන් පිළිබඳව මෙන්ම මා පිළිබඳවද සිතේ ඇති වන්නේ ශෝකයකි. නෙත් තුළ මතු වූ කඳුලු මටත් හොරෙන් ගලා යයි. සේවිකාවන් දෙදෙනා විමසිල්ලෙන් මා දෙස බලයි. මොහොතකට පෙර සිනා ඔවුන්ගෙන් වසන් කළ මම දැන් කඳුලු ඔවුනගෙන් වසන් කිරීමට උත්සාහ කරමි. 


දිය කෙළියට හෝ ස්නානයට දැන් සිතේ උනන්දුවක් නැත. යන්තම් මුව දොවාගන්නා මම ගොඩට පැමිණෙමි. 


       ආපසු පැමිණෙන පා ඔසවන මාගේ දෙනෙත් ඉබේම මාලිගය දෙසට යොමු වේ. මගේ නෙත ගැටෙනේ අනපේක්ෂිත දසුනකි. මහ රජතුමා සීමැදුරු කවුළුවෙන් මා දෙස බලාසිටියි.මැලවූ මුහුණින් යුතුව එත්මා දෙස කෙලින් බැලීමට අපහසුය. මම බිම බලා ගනිමින්ම එතැනින් පිය නගමි.සිදු වූ සියල්ල එතුමාද දකින්නට ඇත. එතුමාද මා පිළිබඳව උදහස් වේවිද.


අන්ත:පුර බිසවුන් දෙදෙනෙක් මා දෙස උනන්දුවෙන් බලා සිටිති. ඔවුන් සමග සුහද කතා බහක යෙදීමට තරම් සුදුසු මානසිකත්වයක් මා හට නැත.


"උදුලා බිසවට මහ රජතුමගෙන් පණිවුඩයක්" රජමාලිගයේ සේවිකාවක් කලබලයෙන් මා සොයා පැමිණේ. "හැකි ඉක්මනින් එහි පැමිණෙන්නට කීව"

        සිදුවන්නට යන්නේ කුමක්දැයි මා හට පැහැදිලිය. එහෙත් දැන් කිසිවක් වෙනස් කරලීමට නොහැකිය.විදීෂ කුමරුන්හට විස්තර කළ නොහැකි තරමේ ආදරයක් මිස ඔහුට හානියක් කිරීමට මගේ තුන් හිතකවත් අදහසක් නොතිබූ බව මම දනිමි. කුඩා විදීෂ ද ඒ බව දනියි. එහෙත් රාජ උදහසට සියල්ල යටය. රජතුමා මා හටා කොතරම් ආදරය කළත් සිය පුතණුවන් හමුවේ මා හිරු දු‍ටු පිණි බිඳක් පමණක් නොවේද.


    මටද අවසඟව පැකිලෙන දෙපා ඉක්මන් කරමින් මම මහරජතුමා කරා එළඹෙමි. 


     එතුමා පසෙකින් කෝපාග්නියෙන් දැවෙන දෙනෙතින් දෙනෙතින් යුතුව මදෙස බලා සිටින අගබිසවය. එතුමාගේ අතෙහි තවමත් මැලවුණු මුහුණින් යුතුව මදෙස බලාසිටින විදීෂ කුමරුන්ය. එතුමාගේ කාන්තිමත් තේජස් දෙනෙත් දෙස බලා සිටින්නට නොහැකිව මම බිම බලා ගනිමි.


"කුමක්ද සිදු වුණේ උදුලා...?"එතුමාගේ ස්වරය මා සිතූ තරම් ක‍ටුක නැත.


"සිදු වූ සියල්ල මා ඔබට පැවසුවා රජතුමනි" අගබිසවුන් මා මුව විවර කිරීමටත් පෙර පවසයි. ඇගේ වදන් වල , හඬෙහි ‍රැඳී ඇති හැඟීම් මා හට හොඳින් වටහා ගැනීමට හැකිය.


"නැවතත් එවැන්නක් සිදු වන්නට ඉඩ හරින්නට එපා උදුලා" එය රාජ අණකි.

"මේ දරුවව අප පණ සේ ‍රැක බලා ගත යුතුයි....."

මම බිමට නෙත යොමා සිටිමි. එතුමා මා හට බැන වැදුනා නම් සිතට දුකක් නැත. එහෙත් මා කෙරෙහි ඇති කරුණාව ආදරය සහ , මහත් වූ දරු සෙනෙහස ආදි සියල්ලක්ම කැටි වූ මෙම ස්වරය මා හට දරා ගැනීමට ඉතා අපහසුය. මා හට හැඬුම් එන්නට ආසන්නය. මම බිමට නෙත යොමා සිටිමි.


"රජතුමා කතා කරන විටත් පිළිතුරු නොදී සිටිනා අපූරුව.." අගබිසවගේ වදන් ඉතා රළුය.


"හොඳයි, දැන් ඉදුලා ට යන්න පුළුවන්" රජතුමා  ඔහුගේ ලයාන්විත ස්වරයෙන් එහෙත් තිර හඬකින් මා හට පවසයි. එතුමාටත් , බිසවටත් හිස නමා ආචාර කරන මම පියවර තුනක් ආපසු ගමන් කොට හැරී එතැනින් නික්ම යමි. මා දෑසින් කඳුලු වැගිරේ.බිසවගේ කෝපාවිශ්ට නෙත් මා ලුහුබඳිනවා විය යුතුය. කෙසේවත් මම ආපසු හැරී නොබලමි. ආපසු හැරී මහරජතුමා දෙස හෝ අගමිසව දෙස බැලීම අප වැන්නන් හට තරම් නොවේ. 


"උදුලා නැන්දා....." එහෙත් යන ඒ දයාබර හඬට මා ආපසු හැරී නොබලන්නේ කෙසේද? "අඬන්න එපා" 

එහෙත් මගේ කුඩා විදීශ කුමරුන් සැනසීමට මා හට ඒ මොහොතේ නොහැකිය. මගේ කොපුල් තව තවත් කඳුලින් සේදී යන අතරම මම එතැනින් හැකි ඉක්මනින් නික්ම යමි.

මා ආපසු හැරුණා පමණය. ඔහුගේ සිරුරේ මා හැපී බිමට ඇද නොවැ‍ටුණේ අනූ නවයෙනි. ඒ මහ සෙනෙවිතුමාය. කලබලය නිසා මා ගතෙහි හැපීම පිළිබඳව රජතුමා උරණ වේවිද... එහෙත් සෙනෙවිතුමාට ඒ පිළිබඳව වගේ වගක් නැත. වෙනදාට මා දු‍ටු වහා සුහදව සිනාසෙන ඔහු අද මා පෙරලීමට තරම් මා සිරුරේ ගැටී, නොදු‍ටුවා සේ යන අයුරු ! හැරත් මහ රජතුමා ඉදිරිපිට !


කුමක් හෝ ගැටලුවක් මතු වී ඇති ආකාරයක් ඔහුගේ හැසිරීමේ ඇත. ඔහු පසුපසින් ඇදෙන වියවුල් වූ පෙනුමැති මිනිසුන් දෙදෙනා නිසා මගේ සිතෙහි උපන් එම සැකය තහවුරු වේ.

බැලූ බැල්මට ඔවුන් රජ වාසල සේවකයන් විය නොහැකිය. එහෙත් සාමාන්‍ය ගම් වැසියන් නම්, කිසියම් උවමනාවකට පැමිණියවුන් නම් සෙනෙවිතුමා මාර්ගයෙන් ඔවුන් මහරජතුමා හමුවන්නේ ඇයි? ඔවුන් වරදකරුවන් ද විය නොහැක. එසේ වූවානම් මෙසේ නිදහසේ ඔවුන් හට පැමිණීමට අවකාශ නැත්තේය. ඔවුන් දෙදෙනා කවුරුන්ද. රජවාසල සේවකයන් නිතර දැක පුරුදු මට , ඔවුන් දෙදෙනාගේ දසුන නෙතට මෙන්ම සිතට ගෙන දෙන්නේ අමුත්තකි. සෙනෙවිතුමා අත තල්පතක් වැනි යමකි.

මෙය කිනම් පනිවුඩයක්ද. ඒ යහපත්, සුබදායී යමක් නම් විය නොහැක. මගේ නිරිඳානන් හට කරදරයක්ද. මෙහිම ‍රැඳී සිට සිදුවන සියල්ල බලා විමසීමට මා හට සිත් වේ. එහෙත් මා හට ඒ සඳහා ඉඩක් කොහිද. මම සෙමෙන් මගේ යහන් ගබඩාව වෙත පිය මනිමි. අගබිසවුන් වහන්සේ ද රජතුමානන් අත වූ විදීශ කුමරුන් ගෙන වෙනතකට යනු දිස් වේ.


සිත එකලාසයක් කරගත නොහැකිය. අගබිසවගේ කෝපය මා වෙත එල්ල වීමත්, ඊටත් වඩා මහසෙනෙවිතුමන්ගේ ස්වරූපයේ වූ බැරෑරුම් සහගත බව මගේ සිත චංචල කොට ඇත.


කුරුල්ලන් දෙදෙනෙකුගේ කලබලකාරී නාදයක් මා සවනට ගැටේ. මම කවුලුවෙන් එපිටට නෙත් යොමමි. වී කුරුල්ලන් දෙදෙනෙකු අතර ගැ‍ටුමකි. සාමාන්‍යයෙන් වී කුරුල්ලන් මෙසේ ගැ‍ටුම් ඇති කරගන්නවා මා දැක නැත්තෙමි... කියාගත නොහැකි තරමේ අනියත බියකින් මා සිත වෙලී යයි. අසල ගසක සිටින වඳුරන්ගේ කඨෝර නාදය ගෙන දෙන්නේ කනට යවුලෙන් අනිනවා බඳු හැඟීමකි.


***************************************************


මා පර්වතය මුදුනේය. යා යුතු මගක් නොපෙනේ. අසරුවන් සමූහයකගේ හඬ ඇසේ. දසතින් ඇසෙන්නේ මිනිසුන්ගේ විලාප නාදයයි. කිසිවෙකු මා අතින් අදිනවා මට දැනේ. මම ආපසු හැරී බලමි. ඒ මගේ මහරජතුමාය. පෙරදා සෙනෙහසින් බබලන දෙනෙත අද අඳුරුය. 
"එන්න උදුලා, පමා වන්නට වෙලාවක් නැහැ... අප මෙහෙන් පලා යමු............."
ඔහුගේ වදන් මට ඇසෙන්නේ බොහෝ ඈත සිට ඇසෙන්නාක් මෙනි. 
මගේ අතට සීතලක් දැනේ...... මම අත දෙස බලමි. එය ලෙයින් වැකී ගොස්ය. මා කෑ ගැසීමට උත්සහ කරමි. එහෙත් හඬ පිට නොවේ. 

"උදුලා අපි යමු..." රජතුමා මා සුරතින් අල්වා ගනීයි. ඔහුගේ අතෙහිද ලේ තැවරේ...


මා හට මගෙ අත ඔහුගෙන් මුදා ගැනීමට අවශ්‍යය.  එහෙත් මම ඔහු සමග දිව යන්නට සැරසෙමි.  එහෙත් ඒ සඳහා අවකාශ නොලැබේ. නොපෙනෙන හස්තයක් විසින් මා තල්ලු කරනවා මට දැනේ. ආපසු හැරීමට මා හට ඉඩක් නොලැබේ. රජතුමා සමගම මා පව්වෙන් පහලට ඇද වැටෙමි. මම හැකි වෙර යොදා කෑ ගසමි. එහෙත් විලාප හඬ මැද මගේ හඬ වියැකී යනු මට දැනේ..........


***************************************************

"උදුලා........ උදුලා....... කිමෙක්ද මේ විලාපය?"
මා දෙනෙත් විවර කර බලමි.

මේධා මදෙස බලා සිටියි.ඈ අන්ත:පුරයේ බිසවුන් අතරින් මගේ හිතවතියයි.

"මා නපුරු සිහිනයක් දු‍ටුවා"

"අවේලාවේ නිදාගත්තාම ඔවැනි දේ පෙනෙනවා"
මගේ සියොළඟ ඩහදියෙන් පෙඟී ඇත.


"මගේ සිතට මහත් බියක් දැනෙනවා මේධා?"

"හේතුවක් නැතිවම?"


"හේතුවක් නැතිවම නොවේ......" ඒ හැර යමක් ඈ හට පැවසීමට මා හට සිත් නොදේ


"එසේනම්?"


"නැත මේධා... කිසිවක් නැත.."


"කිමෙක්ද? නුඹේ සුපෙම්වතා අමනාපයෙන්වත්ද?" 

මගේ රජතුමා කෙරෙහි මා සිතෙහි ඇති ප්‍රේමය ඈ හට විහිළුවකි. රාජ අණින් මෙහි පැමිණියා මිස, එතුමා කෙරෙහි ප්‍රේමයක් මෙහි සිටින වෙනත් කිසිවෙකුට ඇති නොවන්නේ මන්දැයි මා හට නොවැටහේ. එතුමාගේ සංවේදී ආදරණීය සිත වටහාගෙන ඇත්තේ මා පමණක්මද?

අද රාත්‍රිය උදා වන තුරු මගේ සිත නො ඉවසිල්ලෙනි. මෙතුවක් මා සියල්ලන්ගෙන් වසන් කොට සිටි රහසක් එතුමා හට අද පැවසීම මගේ ආශාවයි. ඔහු ඉන් ඉතා තු‍ටු වන බැව් මා දනිමි. 


"සිහිනෙන් බිය වී කෑ ගැසූ නුඹේ මුවෙහි දැන් සිනහවක්........" මේධා පවසන්නේ නෝක්කාඩුවෙන්. "නුඹේ සිහි විකල් වී ඇති නම් රාජකීය වෙදා ලවා හිස කුඩිච්චියක් හෝ දමා ගනු වටීයි."

මම තවත් සිනහවෙමින් ඈ හට සෙමෙන් පහරක් ගසමි. සියල්ල මොහොතකට අමතක කර දැන් මා සිනා සෙමි.

මේධාගෙන් සිනහවක් නැත. ඒ වෙනුවට ඈ තුශ්නිම්භූතව ලෙසින් කවුලුවෙන් එපිටට නෙත් යොමා සිටියි. ඈ අනුව යමින් මමද එදෙස බලමි.


සිහි විකල්ව හිස කුඩිච්ච්චියක් ඇවසි වී අත්තේ මා හට නොවන බව අපේ දෑස් ඉදිරිපිටම දිග හැරෙමින් පවතීයි. අන්තපුර මාලිගය දෙසට සිහි විකල් වූ ලෙසින් දිව එන්නේ නන්දාය. මා හට තවත් පණිවුඩයක්ද? එසේ විය නොහැකිය. ඇගේ මුහුණින් ප්‍රකට වන්නේ බියට පත් වූ විලාසයකි.


"පණ බේරාගෙන පලයල්ලා......" ඒ ඇගේ හඬයි. සියලෝම ඈ වටා රොක් වෙති. මගේ දෙපා මා හට අවසඟව ඇති සෙයක් දැනේ.



"රජ මාලිගාවට සතුරු ආක්‍රමණයක්......." ඈ හට පවසන්නට ලැබුණේ එපමණකි. කිහිපදෙනෙකුම විලාප තබමින් එතැනින් දිව යති. ඒ පිළිබඳව තතු දැනගන්නට අන්‍යයන් යුහුසුළු වෙති. රාජකාරියද අමතක වූ මුර සෙබලුන් දෙදෙනෙකුද ඈ හට කන් දෙති. 

මා හට ඒ කිසිවක් ඇවසි නැත. මම මහරජතුමා බැහැදැකිය යුතුමය. මගේ දෙපා මටත් වඩා යුහුසුළු වේ.

සියල්ලෝම කලබලයට පත් වී ඇත. කඩි ගුලක් ඇවිස්සුනා බඳුය. වෙනදා බඳු ආචාරශීලී බවක් ඔවුන් කිසිවෙක් තුළ නැත. එකිනෙකාගේ ඇඟේ හැපෙමින් විවිධ දෙසට ඔවුහු දිව යති. මුර හේවායෝ ඔවුන් පාලනය කිරීම උදෙසා අසාර්ථක වෙහෙසක් දරති. මහ රජතුමා කොහෙද. එතුමාගේ කුටිය දෙසට මගේ පා ඉක්මන් වේ.

එතුමාගේ කුටිය අසල සිටින සෙබලුන් මාගේ ගමන වලක්වාලීමට වෙර දරයි. 
"මා හට එතුමා හමුවිය යුතුයි" මම උපරිම දැඩි ස්වරයෙන් පවසමි.

"ඈ හට පැමිණීමට ඉඩ හරින්න" එතුමා හට ගැ‍ටුම්කාරී සංවාදය ඇසී ඇත. මා කුටිය තුළට පිවිසෙත්ම මා නොසිතූ ලෙස එහි සිටි අග බිසව කුටිය හැර යයි. ඈ දෙස එක එල්ලේ බැලීමට මා හට ශක්තියක් නොමැත. එහෙත් වෙනදා මෙන් ඒ දෙනෙත් වල මා කෙරෙහි අකරුණාවන්ත බවක් නම් නොවේ. මතු වී ඇති සතුරු උවදුර ඇගේ දැඩි සිතද මුදු කොට ඇති සේය.

යහන්ගැබ කෙළවර වාඩි වී සිටින මහරජ තුමා මා දෙස බලා සිටියි. මා හට මගේ දෙනෙත් අදහා ගත නොහැකිය. ඒ කඩවසම් ලස්සන මුහුණ මා මින් පෙර කිසිදා නොදැන සිටි ලෙස අඳුරු වී ඇත. වෙනදාට මෙතැනම සිට මා වෙත යොමන නුරා බැලුම් අද ඔහු අසලකවත් නැත. මගේ මුව ගොලුවී දෙනෙතට කඳුලු පුරනු මා හට දැනේ.

"උදුලා......."

"රජතුමනි, කුමක්ද මේ සිදු වන්නේ?"

"මගේ පෙම්බර උදුලා.... මා බලාපොරොත්තුවෙන් සිටි සතුරු ප්‍රහාරයක්, බලාපොරොත්තු නොවූ අවස්ථාවක පැමිණෙමින් තිබෙනවා."

"අපි පලායමු රජතුමනි"
මා හට පැවසිය යුතු වෙනත් කිසිවක් සිතා ගත නොහැකිය.

"ඔව් උදුලා... එහෙත් මා නොවේ, ඔබ පලා යා යුතුයි.... ඉර හැරුණු පසුව ඔබ කිසිවෙකුගේ දෑසට නොපෙනී පලා යා යුතුයි. අනෙක් අන්තපුර ස්ත්‍රීන් ඔවුන්ගේ ගම්මාන වලට හැරලීමට මා මේ වන විටත් උපදෙස් දී හමාරයි.."

"කුමක්ද මේ සියල්ලෙහිම අරුත රජතුමනි? ඔබ තුමා සියල්ල අතහැර දමා දිවි පුදන්නටද සැරසෙන්නේ?" මගේ කඳුලු හැකි පමණ පාලනය කොටගෙන මා විමසා සිටිමි.

"නෑ උදුලා. මා දිවි පුදන්නේ නෑ. මා සටන් කරනවා. එහෙත් සතුරු සෙබලුන් අතින්, ඒ අහිංසක ස්ත්‍රීන් හට හානි වන්නට මා ඉඩ තබන්නේ නෑ. ඒ නිසයි අද ඉර හැරෙන්නට කලින් ඔවුන් පිටමන් කිරීමට මා කටයුතු යෙදුවේ......."

"එහෙත් මා හට ඔබ තනි කොට යා නොහැකීයි රජතුමනි. ඔවුන් ගියාවේ. මට ඔබතුමා සමග ‍රැ‍ඳෙන්න ඉඩ දෙන්න" මම ඔහුගේ දෙපා මුළ වැඳ වැටෙමි.

"නැගී සිටින්න උදුලා" මා නැගිටවා ගන්නා ඔහු මෘදුව මා වැළඳගනියි. "මේ මාලිගයෙහි මා හට වටිනාම වස්තූන් දෙකක් ඇත උදුලා. එකක් විදීශ කුමරුන්. අනෙක ඔබ. ඔබ දෙදෙනාටම කිසිවෙකුගේ අබමල් රේණුවක තරම් හෝ හානියක් වනවා දකින්නට මා හට නොහැකියි උදුලා. එසේ වුවහොත් සතුරන් අතින් මා මිය යන්නට පෙර මා ළය පැලී මිය යාවි...."

මගේ වදන් මා හට අවනත නැත. වදන් ගලා එන්නට නොහැකිවම මුවට වැට කඩුලු බඳ ඇත. දෙනෙත් උතුරා ගලා හැලෙන කැඳුලැලි නිසාදෝ  මගේ පණවත් බව කිසිවෙකු හෝ මගෙන් සොරාගෙන ගොස් ඇති බවක් දැනේ. මා හට මේ තරම් හඬන්නට හැකියාවක් ඇති බව මා මින් පෙර දැන නොසිටියෙමි. 
"මෙසේ නොහඬන්න උදුලා.... ඔබ ශක්තිමත් වී සිටීමයි මා හට ඇති එකම සැනසීම. හොඳින් සවන් දෙන්න උදුලා. තව නොබෝ වේලවකින් රාජසභාව ‍රැස්වෙනු ඇත. ඊට පෙර මා පවසන සියල්ලට හොඳින් සවන් දෙන්න. ඒ අනුව යමින් විදීශ කුමරුත් ‍රැගෙන මාලිගයෙන් පිටවන්න. මගේ උදුලා, මගේ විදීශව පණ මෙන් රකින්න......" මම අපහසුවෙන් කඳුලු වලකා ගනිමි.

"එහත් රජතුමණි අග බිසවුන් වහන්සේ...?"

"මේ ඇගේ තීරණය උදුලා. මා ඔබ විශ්වාස කරන්නේ යම් සේද, ඒ තරමටම ඈ විශ්වාස කරනව ඔබ විදීශ කුමරුන් ආදරයෙන් ‍රැක බලා ගන්න බවට. යම් හෙයකින් අපට අනතුරක් සිදු වුවහොත් ඔබ පණ මෙන් ඔහු රකින බව ඈ අදහනවා....."

"ඔබට එසේ වන්නේ නෑ රජතුමනි"

"අපි එසේ පතමු උදුලා. නමුත් මේ අවස්ථාවේ කළ හැකි වෙනත් කිසිවක් නැහැ..."

"මම ඔහුගේ දෙපා නමදිමි. මා හට නැවත් නැගී සිටීමට වාරු නොමැත.

"මගේ පෙම්බර උදුලා.... ඔබ මා හට දැක්වූ ප්‍රේමයේ නාමයෙන්, මා ඔබට දක්වන ප්‍රේමයේ නාමයෙන් , අප නැවත හමු වේවි. මතු සසරේදී හෝ අප නැවත හමු වේවි...."

******************************************************************

ඝණ වනාන්තරයේ මෙසේ ගමන් කිරීම අපහසුය. හමන් වෙහෙස නිසා කුඩා විදීශ නින්දට වැටී ඇත. මා ගතින් ඩහදිය බේරේ. දෙනෙතින් ගැලූ කඳුලැලි දැන් වියලී ඇත. ගම්මානයට තව බෝ දුරය. 

වනාන්තරය අතරින් මාහට දිස් වන මහා දුම් කඳ පෙනෙන්නේ කුමණ දිශාවෙන්දැයි මා දනිමි. මේ සා විසල් මාලිගයක් ගිනි තබන්නට සිත් දැඩි කරගත් සතුරන් කවරෙක්ද. ඔවුන් සිත් පිත් නොමැති අධමයන් විය යුතුය.

විදීශ කුමරුගේ සුසුමක් මගේ ගෙලට දැනේ. සිදුවන සියල්ලක නිනවුවක් නොමැති ඔහු තවමත් තද නින්දේය. 

එතුමාට සදා රහසක් වූ ලොවේ සියල්ලන්ටම හොරෙන් මා වෙතට පැමිණි තවත් ප්‍රාණියෙකු මගේ කුස තුළ සුව නින්දේ බව මා හට දැනේ. ඔහුගේ මොලකැටි හද ගැස්ම මට දැනේ. මා මගේ දිවි දෙවන කොට උතුම් ලෙස සු‍රැකි අප දෙදෙනාගේ ආදරයේ  ඒ ප්‍රතිඵලය , විදීශ කුමරුන් සේම මම දිවි දෙවන කොට සුරකිමි. මගේ හිමිසඳුන්  කොහේ හෝ සිට අප තිදෙන දෙස බලා සැනසෙනු ඇත. 



45 comments:

  1. මේකෙ අවසානය අවසානයක් නොවේ වගේ තේරුණේ.. සීසන් 2 එකකුත් තියෙනවාද? ඇත්තටම කලින් ලියපු හඹායෑමත් මේ කතාවත් සසඳද්දී ඒවාටම ගැලපෙන එකිනෙකට වෙනස් ලේඛණ ශෛලින් යොදාගෙන තියෙනවා.. හරිම අපූරුයී.. කතා ඔක්කෝම ඉවර කරනවා වගේ නේද?

    ReplyDelete
    Replies
    1. සීසන් ටූ ත් ලියපංකො දැන්.
      එහෙම එකක් නෑ අනේ රජතුමා මැරෙන්න ඇති. ඉන්නකො මේකට නිමි කියල දාන්න ඕනා.

      ඔව් අයියෙ "අනේ බ්ලොග් ලෝකෙන්- මම නික්ම යන්නම්" කියල යන්නයි හදන්නෙ සේරම ඉවර කරලා .

      (සමහරුත් සමු ගත්තෙ තාවකාලිකව. දැන් එහෙම සමුගත්තු මිනිස්සු අපිටත් වඩා ඔන්ලයින්)

      Delete
    2. නෑ නෑ ඔය මොනවා දැම්මත් මේකෙ සීසන්2 එකකුත් ඕන.. රජා මැරෙන්න ඇති ඒත් රජ පැටව් දෙන්නා ලොකුවෙලා ආයේ රාජ්ජේ හිමිකම ගන්න එක කියවෙන සිසන් එකක් දාන්න පුළුවන්නේ.. හරි හරි ඔය නික්ම යනවා කියන අයත් බලමුකෝ ඉස්සරහට.. මේකත් නිකං අබිං කෑවා වගේ වැඩක් තමා. හික්ස්ස්

      Delete
    3. නික්ම ගියත් අපි ආයෙ එනවෝ. අනිත් එක නික්ම යන්න තව ටිකක් කල් තියෙනවෝ.
      ඒත් මේ තියෙන ප්‍රශ්න එක්ක තව අවුරුද්දක් විතර යනකම් නම් බ්ලොග් එක ටිකක් පාළුවට යයි නේද අයියෙ.

      Delete
  2. මේකේ තව තියෙනවා නේද???????
    මාරම ගති ස්ටෝරියක් අප්පා..
    මීට සමාන එකක් මගේ හිතේ තිබ්බා දුටුගැමුනු රජ්ජුරුවංව ගාවලා..
    දැං ඒක වෙනස් කරලා දානවා..
    හිහි..
    ජයවේවා සිඳු!!!!!!!!

    ReplyDelete
    Replies
    1. මේක මීට වඩා දිගට ලියන්න ආසාවෙන් තමයි හිටියෙ. කොහෙද ඉතින් මේ කාලය අපිට ඒවට ඉඩ දෙන්නෙ නෑනෙ. ලියන්නකො අනේ දු‍ටුගැමුණු රජතුමා ගැන අපිටත් කියවන්න. ස්තූතියි.

      Delete
  3. අන්තිම හරිය කියවද්දී තව පොඩ්ඩෙන් කඳුලුත් එනවා...එච්චරට ලස්සනයි. අනේ රජතුමාට අර රහසත් කියලම ආවනම් තමයි හොඳ..:( ඒත් නොකියපු එකෙත් ගතියක් තියනවා..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි, ඒක කියල ආවා නම් හොඳයි තමයි. ඒත් ඒ වෙලාවෙ ඒක කිවුව නම් රජතුමා තවත් දුක් වෙයි නේද....

      Delete
  4. හරිම ලස්සනයි. නවකතාවකට තමා හොඳම...

    පෙම් කතාවට වඩා ආදරේ හිතෙන්නේ චූටි කුමාරයාටත්, උපදින්නට ඉන්න සිඟිත්තටත්.

    ReplyDelete
    Replies
    1. නවකතාවක් වගේ ලියන්න තමයි පොඩ්ඩි හිතේ නම් තිබුණෙ, ඒත් මේ තියෙන වැඩත් එක්ක අමාරුයි ඒ වගේ දයක් කරන්න.

      Delete
  5. ඇත්තෙන්ම හරිම රසවත් .....මේ කතාවත් එක්ක මට මතක් වුනේ , අසු ගණනන් වල ගුවන් විදුලියේ ස්වදේශීය සේවයේ ප්‍රචාරය වුනු , හැමදාමත් අපි රේඩියෝව වටේ රඳවා තබා ගන්නට පුළුවන් වුනු “සුගන්ධීකා“ ගුවන් විදුලි මාලා නාටකයමයි ...

    “ඉතිහාස කතාවක්“ වෙතට කියවන්නා ඇද ගන්න තරම් දක්ෂ පද භාවිතයක් ඔබට තිබෙන බව නම් ඔබව අගය කරමින්ම කියන්නටම ඕන ...ඒ හැකියාව ඉහළින්ම අගය කරනවා මමත් ...

    ස්තුතියි

    ReplyDelete
    Replies
    1. මොකද්ද නිශාන්ත අයියෙ ඒ සුගන්ධිකා? ස්තූතියි කමෙන්ට් එකට. සතු‍ටුයි.
      :)

      Delete
  6. මම ගොන් කතා මගේ එකේ දැම්මට මේ වගේ කතා තමයි කියවන්න කැමති...
    ඉස්සරනම් ඓතිහාසික කතා කියවන්න කම්මැලිකමේ හිටියෙ.ඒත් රාජ උරුමය කියෙව්වට පස්සේ ආසයි..

    ReplyDelete
    Replies
    1. හ: හ: හා.... කවුද කියන්නෙ ඔයා ගොන් කතා දානව කියල. මම කිය්වන බ්ලොග්ස් වලින් උපහාසය ලස්සනටම යොදාගන්න , හිනා යන බ්ලොග් එකක් නසියර්ගෙ අඩවිය. ඔයාගෙ රාජ උරුමය මම ත් කියෙව්වා.
      පුළුවන්නම් කියවන්න මල්ලි "මහරජ ගැමුණු"

      Delete
  7. ඕනෑම කතාවක පාඨකයා කතාවට අල්ලා ගැනීමත් කතාව අවසන් වන තුරු රඳවා ගැනීමත් තමයි ලේඛකයාගේ දක්ශතාව. මේ කතාවෙ ඒ දක්ශකම හොඳට පෙන්නල තියනව. කම්මැලි නැතිව ගොඩක් පරෙස්සමට ලියපු බව පේනව. හරි නේද සිඳූ.
    ( ඔන්න මේකත් මම හොරකම් කරනව හොඳේ! දන්නවනෙ මොකටද කියල :) )

    ReplyDelete
    Replies
    1. හොරකම් කිරීමක් වෙන්නෙ කොහොමද අනේ ඒ ගැන මට කිවුවම? කම්මැලි නැතුව තවත් පරිස්සමට , ලියන්න තිබුණා. හිත නිදහස් නම්. දන්නවනෙ ඉතින්....

      Delete
  8. lassana kathawak asawen kiyuwa yalu

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උමා. අදයි දැක්කෙ මේ පැත්තෙ ඔයාව.

      Delete
  9. මට මතක් වුණේ රූපා ශ්‍රියානි ඒකනායක මහත්මියගේ "දුටිමි නෙතින් කසුප් නිරින්ද්" කියන පොත..

    ලස්සනට රසවත්ව ලියලා තියනවා..

    ReplyDelete
    Replies
    1. මම ඊයෙ දිවයින හෝ ලංකාදීප පත්තරෙන් තමයි ඒ පොත ගැන දැනගත්තෙ. ඒ වෙලාවෙ හිතුණා අනිවාර්යෙන් ඒක අරන් කියවන්න ඕනා කියල.
      කාශ්‍යප කියන්නෙ මගෙ හිතේ ඉන්න වීර චරිතයක්. මොකක් නිසාද මන්ද, මට කාශ්‍යප ගැන තියෙන්නෙ ලොකු ගෞරවයක්. ඉතිහාසයෙ ඔහුට ගොඩක් ලැබෙන්නෙ ගැරහුම් වුණත්, සීගිරිය ගැන හිතද්දි ඒ දේවල් අමතක වෙනව.
      (මගෙ ඉස්කෝලෙ යාලුවො මේක දැක්ක නම් හිනා වෙනව. එයාල මට කියන්නෙ කාශ්‍යපගෙ අග බිසව කියල ඉස්සර)

      Delete
  10. Replies
    1. ස්තූතියි වකා. ,අදම නේද මේ පැත්තෙ කමෙන්ට් එකක් දැම්මෙ?

      Delete
    2. ඔව් . ඒත් හැමදාම වගේ ඇවිත් ගියා

      Delete
  11. heart touching story.. Really nice...
    All the best to write more and more.. :)

    ~C~Tonks

    ReplyDelete
    Replies
    1. Thank you very much ~C~Tonks.
      These words inspire me to write more

      Delete
  12. සිඳු, මම සාමාන්‍යයෙන් රජ කතා, අතීත කතාවලට එච්චර ප්‍රිය නෑ. නමුත් මේකනම් මගෙ ගමන් මග වෙනස් කලා. ඇත්තෙන්ම දැන් දැන් පොත් ලියන අයට වඩා හුඟක් දක්ෂ බ්ලොග් ලියන්නො ඉන්නවා. මොකද හිතන්නෙ!
    මේ සීගිරි කාලෙ පසුබිම් වෙච්ච් සිංහල නව කතාවක් මම කාලෙකට කලින් කියෙව්වා.
    සිඳූ, කීපිට් අප්යැ!

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. දක්ෂ බ්ලොග් ලියන්නො ඉන්නව. මම කියන්නෙ මම ගැන නෙමේ. එක එක ශෛලීන් වලට ලියන අය ඉන්නව. සමහර අය ඇත්තටම දක්ෂයි. නම් වශයෙන් මතක් වෙනව. ඒත් එහෙම කියන එක හරි නෑ මෙතන.
      ඩූඩ් පුලුවන්නම් මම දවසක් පෝස්ට් එකක් දාපු "මහරජ ගැමුණු" කියවන්න. මම ආසම රජ කතාව ඒක.

      Delete
  13. හ්ම්... හිතට වදින කතාවක් !
    ඔහේට ලස්සනට ලියන්ඩ පුලුවන් නෙව.. සිඳුට වගේ තමා ඩයිනටත් ලස්සනට ලියන්ඩ පුලුවන්...
    හොඳ හැකියාවක් තියෙන දෙන්නෙක් !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මධුරංග. ඔව් මගේ යාලුවන් අතරින් ඩයිනා ගොඩක් දක්ෂතා තියෙන කෙනෙක්. එයාට වෙලාව තමයි අඩු ඒවගෙන් ප්‍රයෝජන ගන්න. ඒකයි පා සටහන් බ්ලොග් එක පාළු වෙන්නෙ.

      Delete
  14. කතාව ඇත්තටම ලස්සනයි අක්කේ.. හිතට දැනුනා..

    ReplyDelete
    Replies

    1. ස්තූතියි දිනේශ් මල්ලි. :)

      Delete
  15. අපූරු ලියවිල්ලක්!
    ජය!

    ReplyDelete
  16. Sindhu, This is nothing to do with this post. I'm copying and pasting the same comment I made in Happy Thoughts blog, so that it won't escape your attention. This is it.

    @ Sindu: Wow, I'm very much impressed about what you said about our use of correct English. And thanks so much!
    What really made me curious is your 'veganism'. Are you really a vegan? If this is true, the you are the first vegan I came to know of. I think it's not easy to be one and also pushing it too, far. :)

    Tell me about you being a vegan.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. Hey dude, I have made a mistake. I think the way i used that word is not correct. I 'm not a vegan. I dont eat fish, eggs , meat or any related product . Its not easy to abstain from every animal product like dairy products and other stuff. sorry ,the word i used is completely wrong.
      :(

      Delete
  17. අතීත රජ කතා වර්තමානයට ගලපා. අතිති සිතුවිලි විදියටම ලිව්වාම නියමයි. මේක නම් සුපිරි ලියවිල්ලක්. භාෂාව හැසිරවීමත් කතාවට ගෙතූ කාශයප පුවතත් ඉතාමත් ලස්සනට ගොතල තියෙනවා. අඩුවක් නැතිව හොඳයි කියන්න පුළුවන් කතාවක්.

    ReplyDelete
    Replies
    1. මම මේකෙ කොහෙවත් කාශ්‍යප කියන නම ලිවුවෙ නෑ, ඒත් එහෙම හිතාගන්න ඉඩ දුන්නා. මේ වගේ එකක් ලියන්න මගෙ හිතට අදහස ආවෙ "මහ රජ ගැමුණු" කියෙව්වට පස්සෙ. ස්තූතියි දයානන්ද අයියෙ.

      Delete
  18. ලස්සන කතාවක් අක්කේ.. චිත්ත රූප මැවෙන විදිහට ලියලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගි. ඇත්තටම චිත්ත රූප මැවුණද? එහෙනම් මට හරි සතු‍ටුයි. මම මේක ලිවුවෙත් එහෙම වෙන්න කියල හිතල.

      Delete
  19. නියමයි.....
    මං මේක කියෙව්වෙ ෆෝන් එකෙන්.දැන් තමා මැශින් එකෙන් කමෙන්ට් එකක් දාන්න අවස්තාව ලැබුනෙ.තව කොටසක් තිබුනානම් තවත් හොදයි.

    ReplyDelete
    Replies
    1. තව කොටස් තිබුණ නම් හොඳයි කියල මටත් හිතුණා. ඒත් ඉතින්.........:(

      Delete
  20. හරිම ලස්සන ගෙත්තමක් සිඳූ..එක හුස්මට කියෙව්වා..
    දිගටම ලියන්න සුභපැතුම්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රූ. සතු‍ටුයි මේ ප්‍රතිචාර ගැන

      Delete
  21. කතාවත් අමතක උනා මේ බ්ලොග් ලෝකෙන් සමුගන්න හොල්මන් කතාව දැකලා. මොකක්ද දරුවෝ ඒ ?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ සරත් අයියෙ..... මම කිවුවෙ වෙනදා තරම් නැතුව ටික කාලයක් බ්ලොග් ලෝකෙන් ඈත් වෙලා ඉන්න වෙයි කියල. internship පටන් ගන්නනෙ යන්නෙ තව මාසෙකින් විතර.:-(

      Delete