Wednesday, September 26, 2012

රාජා භවතු ධම්මිකෝ

ජය ගොස රණ බිමේ දෙසවන් වල වැකුණු
මිහිදන් වී ගියා නව යුගයෙහි පිපුණු
කෙසරිඳු විලස ඔද තෙද සිත ගත පිරුණු
නරනිඳු සිහසුනේ සුපසන් විද කුළුණු

දසරජ දහම නැත නරනිඳු වල් වැදුණු
කෙලෙසද මෙලෙස දම් රට දෑ ගොඩ නගණු
අට ලෝ දහම හා සම මෙත සිත දැරුණු
පස් කම් සැපත රජ හැර යාවිද දැමුණු

නව ලොව නව හැඟුම් නව අරුතක යෙදුණු
ඒ ලොව සොයා යන සඳ හදවත් තුරුණු
ආසිරි දෙවා ඔවුනට දී මග ලකුණු
රජතුම රජ වේද ජන හද මතින් දිනූ

නුපුරුදු වීද දෙරණත දහදිය හැලුණු
යුගතෙහි සිර වුණා වෙඩි සැර ගිනි හැඬුණු
සහසක් වසක් සිට හෙළ මෙදියත ‍රැකුණු
වල් වැදි දහම සොයනුව අඳුරේ ගිලුණු

දම් වැසි වසින්නට සැම පැතුමන් දිවුණු
සුසුමක දුක නිවන්නට සිත පණ පෙවුණු
උරුමය යළි ගෙනෙවු ලක් වැසි දනන් දිනූ
දම් කඳ පහස ලැබ සක්විති සුව විඳිණු



25 comments:

  1. බණ කියන ඈයෝ බණ කියනවා...
    දේශන තියන ඈයෝ දේශනා දෙනවා..
    කතන්දර ලියන ඈයෝ කතන්දර ලියනවා
    අපිත් ඔන්න ඔහේ කවි ලියනවා..
    ඒත් රට වල් වැදීගෙන ආපස්සටම යනවා.. කලින්ටත් වඩා වේගෙන්

    සිදූගේ සින්දුව දැකල මම නිදහස් දවසෙ ලියපු කවිය මතක් උනා.... ඒ කාලෙ බ්ලොග් එකක් නැති හින්දා දැම්මෙ නෑ


    සිව් මහා සිව් සිංහලේ දන සිහිනයක් සම සිතදරා
    පුරා සූ සැට වසක් නිම වී නොමැත සිහිනය පලදරා
    සිත් පුරා පිරු පැතුම් මල් දම් සැබෑවෙන දිනයක් කරා
    දෑස් දල්වා බලා ඇත උන් අමාවක සඳ සේ සරා

    පිපුනු ගිනිමල් පරවෙලා ඇත විලාපය නැත නැවතිලා
    යදියි තවමත් ජීවිතය උන් මහපොළව මත වැතිරිලා
    හදින් හද යාකරන් ජාතිය එකම සඳ යට හිනහිලා
    සොයුරු පෙම් මැද ගෙවන දිනයක් තාම නෑ කලඑලි බලා

    එකම හැලියක ඉදෙන බත් ගුලි එකට වට වී රස බලා
    බෙදී විසිරුණු ජාතියම සිව් සම සිතින් හැම සලකලා
    එකතු වනදා එකම තැනකට ජාති ආගම් දුරලලා
    ජාතියක සිව් නිදහසක් දැක සිනා සෙයි සඳ නෙතු සලා

    ReplyDelete
    Replies
    1. මී ගොඩයො විශ්වාස කරන්න, මේක කියෙව්වම මට ලොකු පුරුදු ගතියක් දැනුන. හෑ... මේක මම ලිවුව කවියක් ද කියල හිතෙන තරමට පුරුදු ගතියක් දැනුණ. මගෙ පරණ කවි පොත පෙරලල බලද්දි මට හම්බුනේ මේක. ටිකක් බලන්න. සමාන මාත්‍රා ගාණ. එකම අකුරෙන් ඉවර වෙන්නෙ. එකම අදහසකුත් තියෙනව. අන්තිම කවියෙ අර එකම බතක් කන එක එහෙම බලන්න. හැබැයි මම මේක ලිවුවෙ යුද්දෙ තියෙන කාලෙ.
      කාල දෙකක ලියවුන එකම වගේ කවි දෙකක්.

      දෙරණ හඬවා නැගෙන වෙඩි හඬ බොල් අහස් කුස තෙරපිලා
      ගලන ලෝහිත රුහිරු ධාරා පොළෝ ගැබ තුළ කැටි වෙලා
      වා තලය අඳුරින් මුවා කර නැගෙන දුම පිරි ඝන වලා
      සිත් සතන් තුළ සතුට සාමය යලිදු ඒවිද ගල ගලා

      දේශයේ අභිමානයට බල තන්හාව කැලලක් වෙල
      වරෙවු නැගිටිවු ඇදෙවු පෙරටම වහසිබස් ලොව රජ වෙලා
      වෛරයේ ගිනි ඇවිල යද්දී සිතැඟි අකුලා බිම හෙලා
      සාමයේ සංදේශයත් ගෙන පරෙවියනි එනු ත‍ටු සලා

      හඬා දිව එන සයුරු රළ සේ සෝ සුසුම් මුව එක් වෙලා
      කඳවුරක් තුළ එකට කො‍ටු වී ජීවිතය සීමා වෙලා
      හිරු එළිය මහ පොළොව හැපුණද අඳුර නම් නොම යයි පලා
      සාමයේ මාවතට කිරණක් විහිද ඒවිද පාවෙලා

      එකම සෙවණක එකට හිඳගෙන එකම අහරක රස බලා
      පාසලේ කෙලි බිමේ එක් වී නටන්නට සිත් සේ ලොලා
      දෙකම්මුල් රූරා වැටෙන උණු කඳුලු වැල් සැම වියැලිලා
      සාමයේ තු‍ටු පඬුරු ගන්නට දොරකඩට වී ඉමු බලා

      Delete
    2. හේ මාරයි.. එකම වචන එකම තේරුම.. සමාන මාත්‍රා.....

      Delete
  2. රටේ ජනතාවට නියම අදිශ්ටානයක් තියෙනවනම් පෙර සශ්‍රීකත්වය ලගා කරගන්න එක් නම් ඒ හැටි දෙයක් නෙමේ.

    කවි ටිකට මරු වචන සෙට් එකක් නම් දාලා තියෙනවා

    ReplyDelete
  3. රජු සමඟම ඇත ඇමැතින් වල් වැදුණු
    උන්ගේ ඇත තව පාදඩ පුතනුවණු
    මහ මග ඇත රණවිරුවන් ගුටි වැදුණු
    ටොකු ඇන ගැමි පාපෙට කතිරය ගැසුණු

    නියම කවිය සිඳු. ඇනොනිමස් දානවා සුදු වෑන් බයට

    ReplyDelete
  4. මොනවා නම් කියන්නද..
    :)

    ReplyDelete
  5. සමහර බර වචන නම් තේරුණේ නෑ සිඳූ :(
    ඒත් තේරුණ විදිහට නම් කියල තියන දේ ගොඩක් අගෙයි.
    කාගෙ කාගෙත් හිත් වල තියන ප්‍රාර්ථනාව ඕක තමා. ඒත් ඒක ඉටුවෙන හැඩක් තමා පේන්න නැත්තෙ.
    සිඳූගෙ කවි නම් නියමෙට වදිනවා!

    ReplyDelete
  6. අම්මෝ .... සිඳු බරසාර කවිත් ලියනව නොවැ.

    ReplyDelete
  7. දසරජ දහම නැත නරනිඳු වල් වැදුණු
    කෙලෙසද මෙලෙස දම් රට දෑ ගොඩ නගණු....
    සරසවි පාලුවී ඇදුරිදු මුර ගානු
    නොඇසේද සුනඛ රෑල මැලි කඩා අවදි වනු...

    ReplyDelete
  8. අපේ කට්ටිය හරියටම ගාථාව කියන නිසාද මන්දා අපේ රජා පට්ටම ධාර්මික වෙලා තීන්නේ....

    ReplyDelete
  9. හයියෝ මේ රාජා භවතු ධම්මිකෝ ගාථාව ගැන මේ දවස්වල මමත් හරියට හිතුවා. එව්වා කොච්චර කිව්වත් වැඩක් වෙන්නේ නෑ වගේ. සික්

    ReplyDelete
  10. කපුගේ එක ගියක කිව්වා. මෙන්න මෙහෙම

    දම්පියාව නෙත් පියාන බලා ඉඳිනු දෝ
    විනේය ජන නෙත් අයාන බලා හිඳිනුදෝ
    මෙත් බෝසත් තිදස පුරේ තවමත් නිදිදෝ
    මහා වීර මහ පොලවේ ජනිත නොවනුදෝ..

    ඒ ගීයේ එක තැනක තියෙනවා

    "ගඩොල් බුදුන් යකඩ බුදුන් වෙහෙරේ විහරති
    දම් දීපයෙ සම් අමාව බත් වෙනුවට කතී"

    කියලා.. අන් ඒ පද ටික තමයි අදට ගැලපෙන්නේ..

    ReplyDelete
  11. කතා කරලත් වැඩක් ඇතිද? අපොයි රටකට උනු විපත

    ReplyDelete
  12. දස රජ දහම වන වැද ඇත ලෙස දරුනූ
    අසුනෙද ඔබට මැති ඇමතින් බෙර වයනූ
    හිත හොඳ රජුත් ඒ පදයට පා තබනූ
    බලමින් සිටිමු අප කල පව් ඇත ගෙවෙනු

    ReplyDelete
    Replies
    1. සිරාවටම අපි කල පව තමයි ගෙවන්නේ :(

      Delete
  13. දස රජ දහම වන වැද ඇත ලෙස දරුනූ
    අසුනෙද ඔබට මැති ඇමතින් බෙර වයනූ
    හිත හොඳ රජුත් ඒ පදයට පා තබනූ
    බලමින් සිටිමු අප කල පව් ඇත ගෙවෙනු

    ReplyDelete
  14. හපෝ කවි නම් මේ වෙලාවේ ගලපන්න බෑ
    අක්කා ලියපු කවිසෙට් එකනම් එල , කාලෝචිතයි

    ReplyDelete
  15. වෑ කන්ද කඩා බිම් කටු කම්බියෙන් බෙදා මේ රණ බිමේ හිස ගසා දමනා කඩුව බිම දමව් ..
    කියල තමයි අයෙත් කියන්න වෙන්නේ!

    ReplyDelete
  16. රට යන කල හෙට..
    කාලීන කවි.. සුපිරියි..!

    ReplyDelete
  17. සැමදා නියං එකදා වැහි වලාවේ කියල අද සිඳු කතාවල් ලිවිල්ල පැත්තකින් තියලා සත්‍යයේ ගීතය ලියලා..

    ReplyDelete
  18. මටත් කවියකින් උත්තර ලියන්ඩ තිබ්බා නං...

    ReplyDelete
  19. අපූරු කවි ටික..අදාල ඇත්තන්ටත් කියවන්න ලැබෙනවා නම්..

    ReplyDelete
  20. බරට ලියවුනු පද ටිකක්!
    ජය!

    ReplyDelete