Wednesday, October 31, 2012

අඟහරු ගැන කතා - එදා සහ අද



සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතරින් මිනිසාගෙ වැඩි අවධානයක් දිනාගත් අඟහරු ( Mars ) පිළිබඳ කතා බහ පසුගිය දින වල යළිත් වැඩි වුණා. ඒ " Mars scientific laboratory " හෙවත් curiosity රෝවර් යානය මාස 8ක් මුළුල්ලේ කිලෝ මීටර මිලියන 563ක් පමණ දුරක් ගෙවා අගෝස්තු මාසයේදී අඟහරු වෙතට පැමිණීම නිසා. 

එතැන් සිට මේ දක්වා ඒ මගින් පෘථිවිය වෙත එවූ තොරතුරු හා දත්ත අති විශාලයි. අඟහරු ග්‍රහයා මත කෙදිනක හෝ ජීවය පැවති බවට සාක්ෂි සෙවීම ඇතුළු කාර්යයන් ගණනාවක් මේ මගින් තවමත් ඉ‍ටු කරමින් පවතිනවා.

මේ curiosity රෝවර් යානය

ඒ මගින් පෘථිවිය වෙත එවූ  ඡායාරූප වලින් කිහිපයක් මේ.





අගහරු පිළිබඳව මිනිසාගේ අවධානය යොම වූයේ අද ඊයේ නොවේ. ආදි ඊජිප්තු වැසියන්ගේ මෙන්ම බැබිලෝනියානු ශිෂ්ටාචාරයේද විශේෂ අවධානයක් මේ වෙත යොමු වූ අතර රාත්‍රී අහසේ රතු පැහැයෙන් දිව් වූ අඟහරු ඔවුන් විසින් හඳුන්වනු ලැබුවේ "රතු තාරකාව", "මරණයේ තාරකාව" වැනි නම් වලින්. 

එහි වූ රතු පැහැය පිළිබඳ විශේෂ අවධානය යොමු කළ ආදි ග්‍රීකයන් සහ රෝම වෑසියන් ද එය යුධයට අධිපති දෙවි වරුන් වශයෙන් සැලකූ "Ares" සහ "Mars" යන නම් වලින් හඳුන්වනු ලැබුවා.

පුරාතන මිථ්‍යා කතා ඇතුළු ප්‍රවාද බොහොමයකටද අඟහරු ග්‍රහයා පාදක වී තිබෙනවා.


රෝම මිත්‍යා කතන්දර වලට අනුව , අඟහරු ( Mars ) යුධයට සහ කෘෂිකර්මයට අධිපති දෙවියන් ලෙස සැලකෙනවා. රෝම යුධ සඳහා යුධ පිටියට පැමිණෙන බව විශ්වාස කළ ආදි රෝම වැසියන්, යුධ වලට ප්‍රථමයෙන් Mars සඳහා බිලි පූජා පැවැත්වූවා. 


Mars, 1st century, found in the Forum of Nerva (Capitoline Museums, Rome)

රෝම වැසියන් ගෞරවයෙන් පිදූ දෙවියන් අතර Mars හට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. ඒ රෝම නගරය ආරම්භ කළා යැයි සැලකෙන රෝමියස් සහ රේමස්  Mars ගේ දරුවන් වන බවට ඔවුන්ගේ විශ්වාසය නිසා.


She-wolf and twins from an altar to Venus and Mars


ග්‍රීක වැසියන්ට අනුවද, අඟහරු ( Ares ) යුධයට අධිපති දෙවියා වුණා. ඔහු සියුස් සහ හේරා දෙවඟනගේ දරුවෙක්

Ares  හට බිරිඳක් නොසිටි අතර, ආදරයට අධිපති දෙවඟන වන ඇප්‍රොඩයිට් / වීනස් ( Aphrodite / venus ) ඔහු නිසා  ෆෝබෝස් සහ ඩයිමෝස් යන නිවුන් පුතුන් දෙදෙනා ලද බව දැක්වෙනවා.

(කෙසේ වෙතත් ආදි රෝමානුවන් තරම්, ග්‍රීක් වැසියන් අඟහරු වලට වැඳුම් පිදුම් කළ බවක් නැහැ.ඒ ඔහු අනික් දෙවිවරුන් හා සසඳන කල, නිර්භීත නොවූ එහෙත් කලහකාරී දෙවියකු බවට ඔවුන් විසින් සැලකූ නිසා)

ඉන්දියානු පුරාණ වේද ග්‍රන්ථ වල අඟහරු  kuja සහ Mangal ලෙසින් නම් කර තිබෙනවා. ඒ පිළිබඳව රූප සටහන් වල කුජ ග්‍රහයා ඔවුන් දක්වා ඇත්තේ රතු පැහැයෙන්.


මේ ලෙසින් දුරාතීතයේ පටන්ම මානවයාගේ අවධානය දිනා ගත් අඟහරු පිළිබඳව පසු කාලීනව විසූ වියතුන් විවිධාකාර මත පල කොට තිබෙනවා. ඒ ඇතැම් අදහස් මේ යුගයේ ජීවත් වන අප හට ඇතැම් විටෙක් සිනා පහළ කරවන සුළුයි. එහෙත් ඒ මත මගින් දිගින් දිහටම අඟහරු පිළිබඳව අධ්‍යයනය කරන්නට ලැබුණු පිටිවහල සුලුප‍ටු නොවේ.

අඟහරු පිළිබඳව මුල්ම විද්‍යාත්මක අධයයනයක් සිදු කළ පුද්ගලයා ලෙස ඇරිස්ටෝටල් දැක්වෙනවා. ඒ ක්‍රි.පූ.356 දී. 

ඇතැම් අවස්ථා වලදී අඟහරුගේ ගමන් මාර්ගය පෘථිවියේ චන්ද්‍රයාගෙන් වැසී යන බව ඔහු නිරීක්ෂණය කළා. ඒ අනුව ඔහුගේ නිගමනය  අඟහරු යනු චන්ද්‍රයාට එපිටින් ගමන් ගන්නා ග්‍රහ වස්තුවක් බවට ඔහු කරුණු දක්වා සිටියා.

එහෙත් දුරේක්ෂයක් මගින් අඟහරු මුලින්ම නිරීක්ෂණය කිරීමේ ගෞරවය ලැබෙන්නේ ගැලීලියෝ ගැලලි හටයි. ඒ 1609 දී.

අඟහරු යනු ගෝලාකාර නොවන වස්තුවක් බවයි ඔහු ප්‍රකාෂ කර සිටියේ.
( අඟහරු ග්‍රහයා  වසරේ වැඩි කාලයක් එහි අඩකට වඩා මදක් වැඩියෙන් පමණක් දිස් වන බව පසුව හෙළි කර ගත් කරුණක්)




1659
ක්‍රිස්ටියන් හයිජන්ස් (Christian Huygens) ,අඟහරු ග්‍රහයා මතුපිට දිස් වන ආකාරයේ රූප සටහනකට නැගූ පළමු පුද්ගලයා වුණා.
ඒ මත දිස් වන ආඳුරු පැහැති රතු ප්‍රදේශ වර්තමානයෙදී මාරියා (Maria)  ලෙසින් හඳුන්වනු ලබනවා. ක්‍රිස්ටෝපර් විසින් මෙවැනි විශාල මාරියාවක් දුරේක්ෂය හරහා නිරීක්ෂණය කළා.( එය වර්තමානයේදී " Syrtis Major " ලෙසින් හඳුන්වනු ලැබෙනවා.)

එය අඟහරුගේ භ්‍රමණයත් සමග ගමන් ගන්නා ආකාරය නිරීක්ෂණය කළ ඔහු හට, පසු දිනද එලෙසින්ම එය දක්නට ලැබුණා. ඒ අනුව, අඟහරුගේ භ්‍රමණ කාලය පැය 24ක් වන බවට ඔහු නිගමනය කළා.

එමෙන්ම අඟහරු මත බුද්ධිමත් ජීවීන් කොටසක් වාසය කරන බව ඔහු විශ්වාස කළා. ඒ මතය වසර ගණනාවක් ගත වන තුරු මිනිසුන් විශ්වාස කළා. 


(කොළ පැහැති අඟහරු අඟු‍ටුමිට්ටන් පිළිබඳව ගොඩ නැගුණු කතන්දර සඳහාද මෙය පාදක වන්නට ඇති.)

1666
ගියොවනි කැසිනි  (Giovanni Cassini) විසින් අඟහරුගේ භ්‍රමණ කාලය පැය 24ක් හා මිනිත්තු 40ක් බව ගණනය කළා.



එමෙන්ම මෙම ග්‍රහයාගේ ධ්‍රැවයන්හි සුදු පැහැයක් නිරීක්ෂණය කළ ඔහු ඒවා හිම සහ අයිස් බවට මත පළ කළා. ඉන් අනතුරුව වසර 300ක් පමණ ගත වන තුරුත් මේ මතය බිඳ දැමීමට කිසිවෙකුත් ඉදිරිපත් වුණේ නැහැ. 
(මෙම සුදු පැහැති ප්‍රදේශ වර්තමානයේදී "polar caps" ලෙසින් හඳුන්වනු ලබනවා)

කැසිනිගේ බෑණනුවන් වූ ගියාකොමො ‍ෆිලිපෝ මැරල්ඩි (Giacomo Filippo Maraldy) , 1719 දී අඟහරු නිරීක්ෂණය කරමින්, මාරියාවන් හි පිහිටීම කාලයෙන් කාලයට  වෙනස් වන බව පැවසුවා. ඒ අනුව ඔහුගේ නිගමනය වූයේ මේ තද රතු පැහැති ප්‍රදේශ වළාකුලු බවයි. අඟහරු ඝ්‍රීෂ්ම ඍතුවේදී ධ්‍රැවාසන්න අයිස් දෙය වී වාෂප වීමෙන් මේවා සෑදෙන බවත්, " ශීත ඍතුවේදී" නැවත මේවා මිදෙන බවත් ඔහුගේ මතය වුණා.

එහෙත් 1783 දී මේ පිළිබඳව අදහස් දැක්වූ විලියම් හර්ෂල් (William Herschel) මෙම ප්‍රදේශ හඳුන්වන්නට "මුහුදු" යන වචනය භාවිත කළ අතර, විටින් විට සිදු වන ජල ගැලීම් නිසා මාරියාවන්හි ස්වභාවය වෙනස් කම් වලට බඳුන්වන බව පැවසුවා.


1860 ගණන් වල ජීවත් වූ එම්මානුවෙල් ලයායිස් (Emmanuel Liais) දැරුවේ වෙනත් මතයක්. අඟහරු මත වූ ඒ තද රතු පැහැති ප්‍රදේශ, ඒ මත ඇති වගාවන් නිසා ඇති වන බවයි ඔහු පැවසූයේ.


ක්‍රි. ව. 1800 හි අග භාගය වන විට අඟහරු සතුව චන්ද්‍රයන් පැවතිය හැකි බවට විද්‍යාඥයින් මත පළ කළා. ඒ අනුව නිරීක්ෂණ වල නිරත වූ අසප් හෝල් ( Asaph Hall ) ඒවා සෙවීමට උත්සහ කළත් ඔහුගේ උත්සාහය සාර්ථක නොවූ තැන, සිය පරීක්ෂණ අත් හැර දැමීමට ඔහු තීරණය කළා. නමුත් , දිගින් දිගටම ඔහුගේ බිරිඳ ඔහුව දිරිමත් කළා. අඟහරු සතු වූ චන්ද්‍රයන් දෙදෙනෙකු සොයා ගැනීමට (1877) හෝල් හට හැකි වූයේ ඒ නිසයි.  ග්‍රීක මිත්‍යා කතා වල එන යුධයට අධිපති දෙවියාගේ නිවුන් දරුවන් වන ෆෝබෝස් ( Phobos ) සහ ඩයිමෝස් ( Deimos ) ගේ නම් වලින් ඔහු එම චන්ද්‍රයන් නම් කරනු ලැබුවා.

1892
එඩ්වඩ් එමර්සන් (Edward Emerson ) බර්නාඩ් යන විද්‍යාඥයා , තමන් අඟහරු මත ජලය ගලා යන සලකුණු (ඇළවල්) නිරීක්ෂණය කළ බව පවසා සිටියා. ඒ පිළිබඳව අවධානය යොමු කළ ශයාපරෙල් සහ ෆැමේරියන් යන දෙදෙනාද ඒ මතය තහවුරු කළා.

මෙම විද්‍යාඥයන්ගේ මතයෙන් පන්නරය ලද පර්සිවල් ලොවෙල් (Percival Lowell ), බොස්ටන් ආසන්නව නිරීක්ෂණාගාරයක් ඉදිකරගනිමින් අඟහරු නිරීක්ෂණයට පෙළඹුනා. 1906 දී එහි ප්‍රතිඵලයක් ලෙසින් ඔහු " Mars and its canals " නමින් ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කළා. අඟහරු මත දිස් වන ජල මාර්ග, බුද්ධිමත් ජීවීන් සිටින බවට සාක්ෂියක් ලෙසින් ඔහු දැක්වූවා.

මේ මතයට වෙනස් මතයක් පළ කළ ඇල්ෆ්‍රඩ් රසල් වොලස් (Alfred Russel Wallace ) නම් ප්‍රසිද්ධ ජීව් විද්‍යාඥයා 1907 දී ග්‍රන්ථයක් පළ කරමින් පවසා සිටියේ අඟහරු මත කිසිදු ආකාරයක ජනාවාස පැවතිය නොහැකි බවයි.



මෙවැනි විවිධ පුද්ගලයන් තනිව අඟහරු නිරීක්ෂණයේ යෙදෙමින්, ඒ පිළිබඳව විවිධ මත පළ කළත්, ඒ පිළිබඳ නිරීක්ෂණයට එක වර විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මුල්ම වරට " The association of Lunar and Planetary Observers" ඉදි කරනු ලැබුවා. ඒ 1947 දී.

එයින් ඇරඹි යුගය Mars වෙත යැවුණ Mariner ,viking, pathfinder, mars global surveyor, Odessy   යානා දක්වා විකාෂය වූ අතර , නවතම අඟහරු නිරීක්ෂකයා ලෙස මුලින් සඳහන් කළ curiosity යානය මේ වන විටද ක්‍රියාත්මකයි......



viking 1


mariner 6
pathfinder 











අනාගත අඟහරු නිරීක්ෂණයක්, පරීක්ෂණයන් කෙබඳු වේද? 
අපි බලා සිටිමු.

ඒ මත මිනිස් ජනාවාස ඉදිවන දිනය ද ඈතක නොවනු ඇත.




Daily News පුවත්පතෙහි අතිරේකයක් වන wisdom series ( 08th October 2012 ) හි අඟහරු පිළිබඳව ලිපියක් මේ ලිපියට මා මූලිකවම පාදක කර ගත්තා.
එමෙන්ම, තවත් තොරතුරු සහ ඡායාරූප ලබ ගත්තේ පහත වෙබ් අඩවි වලින්

http://en.wikipedia.org/wiki/Mars_(mythology)
http://www.dipity.com/tickr/Flickr_mex/
http://navagraharemedies.blogspot.com/2007/11/kuja-graha.html
http://idealab.talkingpointsmemo.com/2012/08/mars-curiosity-rover-prepares-to-travel-across-alien-landscape.php
http://en.wikipedia.org/wiki/Polar_ice_cap
http://www.beazley.ox.ac.uk/dictionary/Dict/ASP/dictionarybody.asp?name=Ares
http://www.utahskies.org/solarsystem/planets/mars/mythology.html


19 comments:

  1. හරිම අගනා විස්තර ටිකක්. දැන් හොයාගෙන තියන තොරතුරු වලට අනුව අඟහරු මළ ග්‍රහයෙක්ද? ජලය හෝ ජිවය හොයාගෙන නැහැ නේද?

    ReplyDelete
  2. අඟහරු ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. සමහර වෙලාවට මට හිතෙනවා පාසැල් ශිෂ්‍යයින්ට මේ දේවල් කොච්චර වටිනවද කියලත්.

    'අඟහරු' කියන ලග්නේ ඉපදුණු අය ගැනෙන්නෙත්, නිර්භීත, නායකත්වයට සුදුසු, තද අදහස් ඇති කොටසක් හැටියට.

    ReplyDelete
  3. අන්තිමට අපි අඟහරු ගැන ගොඩක් දෙවල් ඉගෙනගනීවි සිඳු.. ඒත් ඊට වඩා බොහොමයක් වැදගත් දේ පොලොවෙ මගහැරේවි.. මම හිතන්නේ ප්‍රමුකත්වය දිය යුත්තේ පොලොවෙ මහ මුහුදෙ නොදත් දේ සොයාගැනීමට කියලයි.. පහසුවෙන් ලං විය හැකි ඒ තැන්වල ඇති සම්පත් මනුස්ස ජීවිත වලට ප්‍රයෝජනවත් වේවි.. හැබැයි බුදු හාමුදුරුවෝ නම් කිවුවෙ විශ්වය ගැන හොයන එක නිශ්පල දෙයක් තමන් ගැන හොයන්න කියලයි..

    ReplyDelete
  4. අඟහරුගෙ සම්පූර්ණ ඉතිහාසෙම තියෙනවනෙ. ගොඩක් ම්හන්සි වෙල ලියල තියනව. මාත් ගොඩක් ආසයි ඔහොම තොරතුරු හොයන්න. පත්තර වලින් වෙන් කර ගත්ත ලිපි පිරුන ෆයිල් එකක්ම තියනවා :D

    ඒක නෙමේ සිඳූ අර කිව්ව විද්‍යා ප්‍රබන්දයක් දාන්නකො ඉක්මනට. අමතක වෙලාද මංදා.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ලස්සන විස්තරයක් මහන්සි වෙලා මේ වගේ දේවල් ලියන එක ගොඩක් වැදගත්

    ReplyDelete
  7. ගොඩාක් වැදගත් විස්තරයක් අක්කේ.. ආසාවෙන් කියෙවුවේ.. විශ්වාස කරන්න අගහරු එක්ක සම්බන්ද ප්‍රභන්දයක් ලියලා මගේ ඩ්‍රාෆ්ට් ගොඩේ තියෙනවා පබ්ලිශ් කරන්න..

    ReplyDelete
  8. අඟහරු හා සම්බන්ධ ජෝන් කාටර් චිත්‍රපටිය බැලුවා මේ ළඟදි.අඟහරු ලොවෙන් කුමාරියක් කියලා එඩ්ගර් රයිස් බරෝස් මහත්මයා ලියපු පොතක් තියෙනවා කියල දැනං හිටියට කියවලා තිබ්බේ නෑනේ.මම හිතන්නේ ජූල්ස් වර්න් වගේම රයිස් බරෝසුත් අඟහරු හින්දා කුල්මත් වෙච්ච දෙන්නෙක් නේද?

    ReplyDelete
  9. නියම ලිපියක්! දුන් තොරතුරුවලට ස්තුතියි!

    ReplyDelete
  10. මේ දවස් වල මගෙ ඩයලොග් බ්‍රෝඩ් බෑන්ඩ් සම්බන්ධතාවය හරී.....ම වේගවත්, එක එක්කෙනාගෙ කමෙන්ට්ස් වලට වෙනම උත්තර දෙන්න බැරි තරමට වේගවත්, ඒ නිසා සේරමටම උත්තර එක කමෙන්ට් එකකින් දෙන්නම් තරහ වෙන්න එපා.

    මේ ලිපිය ලියන්න හිතුනෙ මට මොකද දන්නවද? ආදි රෝම වැසියන්, ග්‍රීක වැසියන් ඒ වගේම අපේ පෙරදිග වාසය කරපු අයත් ඒ අතීතයේදි අඟහරු ගැන හිතපු විදිය බලන්න. ඊට කාලෙකට පස්සෙ විද්‍යාඥයො කාලෙන් කාලෙට හිතුව දේවල් බලන්න. දැන් අපි ජීවත් වෙන යුගයෙදි හොයාගෙන තියෙන දේවල් බලන්න. කාලෙත් එක්ක කොය් තරම් ඒ දේවල් වෙනස් වෙලාද..... කාලෙ එක්ක මිනිසාගෙ දැනුම වෙනස් වෙන හැටි පෙන්නන්නයි මට ඕනා වුණේ. (ඒක පෙනිලා මදිද මන්දා....) ඒක එක හේතුවක්. අනිත් හේතුව තමයි, පුංචි කාලෙ ඉඳන්ම මගෙ ලොකු උනන්දුවක් තිබුණා මේ විෂය සම්බන්ධව. කොයි තරම් උනන්දුද කියනවනම්, අපේ ගෙදරට ටෙලිෆෝන් ගත්තට පස්සෙ මම මුලින්ම ගත්තු ඇමතුම ආතර් සී ක්ලාක් මහතාට. (එදා එයාට හොඳටම කැස්ස තිබුණා).

    සයුරි - දැනට හොයාගෙන තිබෙන කරුණු වලට අනුව නම්, තවමත් අඟහරුගෙ කිසිම ජීවයක් හෝ ජල සොයාගෙන නැහැ. ඒත්, මම කිවුවෙ තව ටික කාලයක් යද්දි ඒක වෙනස් වෙන්න ඉඩ කඩ තියෙනව.

    අඟහරු ලග්නයක් නෙමේ පොඩ්ඩි. ඒත් කෙනෙක්ගෙ හඳහනේ අඟහරු (කුජ) ඉන්න ස්ථානයක් තියෙනව. මේ ගැන මම හොඳටම දැනගත්තෙ මමත් ළඟදි. මගෙ හඳහන බලල එක්කෙනෙක් කියල තියෙනව "මෙයාගෙ කුජ ඉන්නෙ 8 කො‍ටුවෙ (8 වගෙ මට මතක). මෙයා හරි දරදඬුයි. තමන්ගෙ මතයෙමයි, කට සැරයි. බ්ලා බ්ලා බ්ලා...." (ඉටි පන්දමක් වගේ අහිෂ්සක මට කියලා තියෙන දේවල් බලන්නකො අනේ).... ඔයා කියන්නෙ ඒ ගැන වෙන්න ඇති පොඩ්ඩි.

    සරත් අයිය
    අයියගෙ කතාව හරි. අපිට මග ඇරුණ ගොඩක් දේවල් පොළවෙ ඇති. ඒව අපි ප්‍රයෝජනයට නොගෙන අපතේ යනවත් ඇති. ඒත් මිනිස්සු ස්වභාවයෙන්ම කැමතියිනෙ පේන දේට වඩා නොපෙනෙන දේට.
    මමත් ඉතින් හැමදාම ලියන රටාවෙන් මිදිලා, මම ආස වෙන ක්ෂේත්‍රයක් ගැන ලියන්න හිතුවා.

    ගිමන් -
    මමත් ගොඩක් ආසයි ගිමන්. ඉස්සර පත්තර වල ගිය ලිපි එහෙම්මම කපලා ෆයිල් වල දාලා තියෙනව. මම ආසා නිසාම අම්මලා ඒ සම්බන්ධ පොතුත් ගොඩක් ගෙනත් දීලා තියෙනව. නාසා එකට ලියල ඒකෙනුත් එක එක පොඩි පොඩි දේවල් හම්බෙලා තියෙනවා.

    විද්‍යා ප්‍රබන්ධ අමතක වුණානෙ. අනිත් ලිපිය බොහෝ විට ඒකක් වෙයි.

    ඩිලන් - කොහොමද? ගොඩක් කාලෙකින්.
    ස්තූතියි ඩිලන්

    රයිස් බරෝස්ගෙ පොත මම කියවල නෑනෙ දිනුක. ජූල්ස් වර්න්ගෙ පොතෙන් හදපු චිත්‍රපටයටත් මම හරිම ආසයි. ළඟදි බැලුවෙ නැද්ද Mars needs moms ?

    හිරු - ගොඩක් ස්තූතියි හිරු නන්ගො

    ReplyDelete
  11. අද සිඳූ වෙනත්ම මානයකට ගිහින්. ස්තුතියි. දැන් එවන පින්තූර high resolutuon නේද?

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  12. අර පාත්ෆයින්ඩර් එකෙන් එවපු 3D පින්තූර මම දැකලා තියනවා. 3D ග්ලාසස් දාලා බලනකොට ඇත්තටම එතන ඉන්නවා වගේ පේන්නේ.. අද වෙනස්ම මාතෘකාවක්.. අඟහරු ගැන විද්‍යාත්මක මෙන්ම පැරණි ශිෂ්ටාචාරවල කරුණුත් එකට එක් කරලා.. නියමයි...

    ReplyDelete
  13. අඟහරු ග්‍රහයාගේ නිරීක්ෂන සඳහා යැවූ රොබෝ යන්ත්‍ර හැදුවේ හ්‍රී ලාංකිකයෙක් නිසා අපටත් ටිකක් ආඩම්බරයක් දැනෙනවා.

    ReplyDelete
  14. වැදගත් ලිපියක් සිඳු..
    මේ වගේ දේවල්වලට ඔයාට තියන කුතුහලය ගොඩක් අගය කරනවා..

    ReplyDelete
  15. මමනම් දැනගෙන හිටියෙ mars චොකලට් ගැන විතරයි.තැන්කූ දන්නැති දෙයක් කියලා දුන්නට...

    ReplyDelete
  16. ඒ විතරක්ද අඟහරු නිසා කුජ දෝෂෙත් ඇතිවෙනවාලුනේ

    ReplyDelete
  17. Though lengthy, very informative and interesting article. I learned many things. THANK YOU FOR THE TIME TAKEN TO PREPARE THIS ARTICLE. lIKE TO READ MORE.

    ReplyDelete
  18. ඔබට කොහොම ස්තුති කරන්නද මන්දා. අතිශයින්ම වටිනවා මේ ලිපියේ තොරතුරු ටික නම්. ස්තුතියි.
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete