Sunday, November 11, 2012

හති කෝප්පෙ


රැකියා ස්ථානයේ, පාසලේ , සරසවියේ සිදුවන හාස්‍යෝත්පාදක සිදුවීම් බ්ලොග් ලෝකයේ  මෙන්ම මුද්‍රිත මාධ්‍යයේද ජනප්‍රිය අංගයක්. දිනපතාම ඒ වගේ ලිපි කියවන්න ලැබෙනවා. මේ ලිපියත් අපේ තොටියා අයියගෙ ලිපිය නිසා ආව අදහසක්. පුද්ගල නාම සඳහන් නොකරන නිසා මෙයින් කාගෙවත් හිත රිදීමක් හෝ අපහාසයක් වෙන එකක් නෑ කියල මම හිතනව.

(1)
ඔහු සාපේක්ෂව batch එකේ අහිංසක ළමයෙක්. ඒ දිනවල ඔහු හිටියෙ ශල්‍ය වාට්‍ටුවක. ඔහුගේ ඥාතියෙකුගෙ අසල්වැසියෙකුගෙ ඥාතියෙකුගේ දරුවෙක් අසනීප වෙලා ළමා වාට්‍ටුවේ නවත්තලා. ඒ වගේ අවස්ථා වල බොහෝ වෛද්‍ය සිසුන්ට අත් වෙන ඉරණම ඔහුටත් අත් වුණා. 
ඥාතියා දුරකතනයෙන් ඔහු ඇමතුවා. 
"අනේ පුතේ අපේ එහා ගෙදර නංගිගෙ අයියගෙ දුව ඔයාලගෙ වාට්‍ටුවක නවත්තලා. පොඩ්ඩ්ක් ගිහින් බලන්න පුතේ... මම එවුවෙ කියන්නකො"
ඥාතියා තමන්ට ලකුණු ‍රැස් කරන්න අපේ යාලුවගෙ සහය පැතුව.

එයා විවේක වෙලාවක් බලල අදාල වාට්‍ටුවට ගියා. වෛද්‍යවරුන්ගේ මේසය අසල වාඩි වී සිටි එක් පුද්ගලයකු හැරෙන්නට වාට්‍ටුවේ වෙනත් හෙදියක හෝ වෛද්‍යවරයකු සිටියේ නැහැ.

අපේ කතා නායකයා ඔහු අසලට ගියා.
"ඇයි?" ඔහු ඇසුවා.
"සර් , මේ වෝඩ් එකේ සඳලි කියල බබෙක් ඉන්නවද ඩෙංගු හැදිල ඇඩ්මිට් කරල?" ඔහු විමසා සිටියේ ගෞරවාන්වෛත ස්වරයෙන්. අලුත් කන්සල්ටන්ට් කෙනෙක්ද දන්නෙත් නෑනෙ.

"ආ.. එයාව අද උදේ ගෙදර යැවුවා" අපේ යාලුව පුදුමයට පත් වුණා. මොකද කියනව නම් සඳලිව ඇතුළත් කරල තිබුනෙ එදා උදේ. 

"නෑ සර්, එයාව අදයි ඇඩ්මිට් කළේ"

"එයාව යැවුව කියල කිවුව නේද?" සර් පැවසුවේ දැඩි ස්වරයෙන්.

බලාපොරොත්තු කඩ කරගත්තු අපේ යාලුවා ආපහු යන්න හැරුණා. ඒත් ඔහුට වාට්‍ටුවෙන් එළියට යන්න ලැබුණෙ නෑ, පොලිසියෙන් කඩා පැන්නා වගේ සාත්තු සේවකයන් කිහිපදෙනෙක් වාට්‍ටුවට කඩා වැදුණා.

"ආ මේ ඉන්නෙ... යමු යමු වාට්‍ටුවට....." සර් අසලට පැමිණි ඔවුන් ඔහුව අල්ලගත්තා. ඔහු දැඟලුවෙ ඔවුන්ගෙන් ගැලවෙන්න.
මේක පුදුම ලෝකයක්නෙ, මෙහෙමත් බලෙන් ඩොක්ටර්ස්ලාව වට්‍ටුවට අරන් යනවද
කොහොම වුණත් ඊළඟ මොහොතෙ ඔහු දැක්කා සර් ගෙ සම්පූර්ණ ඇඳුම. ඒ ෂර්ට් එකක් සහ කොට කලිසමක්.....

ඒ මානසික වාට්‍ටුවෙන් පළා විත් ළමා වාට්‍ටුවේ සැඟවී සිටි නේවාසික රෝගියෙක්.
*******************************************************************************************************************************

(2)


උදෑසන එක් එක් සිසුන් අතර රෝගීන් බෙදීමේදී ඇයට ලැබුණ රෝගියා හාමුදුරු නමක්. ස්වභාවයෙන්ම ඉතා කලබල සිසුවියක් වූ ඇය එයින්  වඩාත් කලබල වුණා. ප්‍රධානම හේතුව ඇය බෞද්ධ නොවීම.

"අනේ මම මොකද කරන්නෙ...මම හාමුදුරුවො එක්ක කතා කරන්න දන්නෙ නෑ.... මම කොහොමද හාමුදුරුවන්ව examine කරන්නෙ?...."

අනිත් යාළුවො ටික ඒ එක් එක් ගැටලු වලට පිළිතුරු දුන්නා.
 "examine කරද්දි පිරිමි ළමෙක් එක්ක යන්න."

"හාමුදුරුවො කනවා නෙමේ වළඳනවා"

"නිදාගන්නව නෙමේ, සැතපෙනවා"

"යනව , එනව කියලවත් කියන්න එපා... වඩිනවා කියලයි කියන්නෙ"

ඒ උපදෙස් ටික හිස් මුදුනින් පිළිගත්තු මේ ගෑණු දරුවා හාමුදුරුවන්ගේ රෝග ඉතිහාසය ලබා ගත්තා. උන්වහන්සේ ඇතුළත් වෙලා තිබුණෙ පපුවෙ වේදනාවක් නිසා. 
කොතනද රිදෙන්නෙ? , කොයි වගේ වේදනාවක්ද? ඒ වෙලාවෙ මොනවද කර කර හිටියෙ? .... ආදී සුපුරුදු ප්‍රශ්න වලට ඇය උන්වහන්සේගෙන් පිළිතුරු ලබාගත්තා...

ඒත් ඒ පිළිබඳව තවත් තිරතුරු දැනගන්නට ඇයට උවමනා වුණා. ඒ නිසයි තවත් ප්‍රශ්නයක් ඇය උන්වහන්සේට යොමු කළේ.

"හාමුදුරුවනේ , ඔබවහන්සේගෙ පපුවෙ කැක්කුම අත දිගෙත් වඩිනවද?"


**********************************************************************************************************************************
(3)
ඇය විවාදයකින් තොරවම අති දක්ෂ සිසුවියක්. සිංහල භාවිතය බොහෝ දුරට සීමා සහිතයි. 



ආහාර මාර්ගය ආශ්‍රිත හැටලුවක් තිබූ රෝගියෙකුගෙන් ඇය  ඉතිහාසය ලබා ගනිමින් සිටියා.

"වමනෙ යනවද?"

"ඔව් නෝන"

"ඩයරියා ත් තියෙනව?" (diarrhoea)

"ඔව් නෝනා. ඒත් ඒක ගෙදර...."

අපේ යාලුව තරමක් දුරට වියවුල් වුණා.

"මම ඇහුවෙ ඩයරියා තියෙනවද කියල"

"ඔව් නෝනා... ඒක තමයි කිවුවෙ. ඩයරියක් තියෙනවා. ඒත් ඒක ගෙදර. ඒකෙ ඒ හැටි දෙයක් නම් ලියල නෑ...ඒත් දවල්ට දුව එනකොට ඒක ගේන්න කියන්නම් නෝනාට ඕන නිසා..."

"මම ඇහුවෙ බඩ බුරුලට යනවද කියල....."

"ආ....අනේ නෑ නෝනා....."

********************************************************************************************************************************

(4)
පසු ගිය දිනෙක මගේ මිතුරෙකු හමුවට රෝගී වයස්ගත කාන්තාවක් පැමිණ තිබුණා. ඇය තදබල ලෙස ඇදුම රෝගයෙන් පෙළෙමින් සිටියා. ප්‍රතිකාර කිරීමට පළමුව කෙටි රෝග ඉතිහාසයක් ලබා ගැනීමට ඔහු උත්සුක වුණා.

"මීට කලිනුත් මෙහෙම ඇදුම ඇවිත් අමාරු වෙලා තියෙනවද?"

"නෑ මහත්තයො මට කවදාවත් ඇදුම ඇවිත් නෑ. 
මේ වගේ පපුවෙ මහන්සිය නම් එනව." (තමන්ට ඇදුම රෝගය පවතිනවා යැයි පිළිගැනීමට බොහෝ රෝගීන් කැමැත්තක් දක්වන්නේ නැහැ)

"හරි, ආච්චිට මේ වගේ පපුවෙ මහන්සිය ඇවිල්ලා අමාරු වෙලා තියෙනවද?"

"ඔව් මහත්තයො. ගිය පාරත් අමාරු වෙලා ඉස්පිරිතාලෙ නැවැත්තුවනෙ.... හොඳ වුණේ කෝප්පෙ ඇල්ලුවට පස්සෙ"

"කෝප්පෙ?" මගෙ යහලුවා ඇල්ලුවෙ පුදුමයෙන්. තමන් අසා නැති නවීන වෛද්‍ය උපකරණයක්දැයි ඔහුට මොහොතකට හිතෙන්නට ඇති.

"ඇයි දොස්තර මහත්තයො කෝප්පෙ. නහයට අල්ලන කෝප්පෙ" දොස්තර මහත්තයගෙ වෛද්‍ය විද්‍යාත්මක දැනුම ගැන ආච්චිට සැකයක් මතු වෙන්නට ඇති.

"ඒ මොකද්ද ආච්චි....?" කරන්නම දෙයක් නැති තැන ඔහු ආයෙම ඇසුවා.

"හති කෝප්පෙ මහත්තයො, හති කෝප්පෙ..." 
ඇයගේ ඒ ප්‍රකාශය වටහා ගන්නත් ඔහුට තවත් වේලාවක් ගත වුණා.

මේ තියෙන්නෙ ආච්චි කිවුව ජාතියෙ හති කෝප්පයක් අල්ලන හැටි. නෙබියුලස් කරනවා කියල තමයි දන්න භාශාවෙන් කියන්නෙ.



ඒක නෙමේ, මේ තියෙන්නෙ අපේ (මගෙයි ඩයිනමයික්ගෙයි) අලුත් photography බ්ලොග් එක. ගිහින් බලන්න පුලුවන් වෙලාවක.
LENSETWAIN 


58 comments:

  1. දැන් කොයි වෙලේ හරි මේ බ්ලොග් එක ලියවෙන එකත් නවතිනවා... එතකොට අපිට හිතා ගතෑකි අර කලින්ම කිව්ව කතාවේ වගේ අර වාට්ටුවෙන් ඇවිත් මැඩම්ව අල්ලං ගිහිං කියලා...

    :D:D:D

    ReplyDelete
    Replies
    1. හරියට හරි. තව ටික කාලයයි තියෙන්නෙ මාවත් එහෙම අල්ලන් යන්න.

      Delete
  2. සිදු අක්කේ කතා ටික කෙටි උනත් හරිම ලස්සනට ලියලා තියනවා

    ReplyDelete
    Replies

    1. ස්තූතියි නංගි. :-)

      Delete

  3. වෛද්‍ය වෘතියෙත් පට්ට ආතල් සිද්දි වෙනවා නේ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. හැම වෘත්තියෙම වගේ

      Delete
  4. මෙව්වා නම් නොලියා ඉන්න එපා . හරිම ලස්සන කතා ටිකක් .

    ReplyDelete
    Replies
    1. ඔව් බින්දි අක්කෙ. තව මේ වගේ සිදු වීම් කීපයක් තියෙනව. පස්සෙ වෙලාවක ලියන්න ඕනා.

      Delete
  5. සිදු මේවනම් නියම ජොලි කතා..ඇත්තටම පරණ රෙකෝඩ්ම අහල හෙම්බත් වුණු අපට මේව උණු උණු බඩු...නියමයි.
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete
    Replies
    1. ඔව් නලින්, ඇත්තටම හිනා ගියා මටත් ආයෙම කියවද්දි. මට වැඩියෙ හිනා යන්න ලියන්න බැරි එකයි අවුල.

      Delete
  6. එල එල...හාමුදුරුවොන්ගෙ කතාව තමයි එලම.. :D

    ReplyDelete
    Replies
    1. මමත් ආසම ඒකට තමයි.

      Delete
  7. හි හි...
    නියම කතා සෙට් එක සිඳු අක්කේ...
    එල..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි. ජය!

      Delete
  8. සිඳුත් දන්න දේවල්.. බොහොම අපුරු රසවත් කතා ටිකක්. මේවයේ විශේෂත්වය තමන් නියෝජනය කරන ක්ෂේත්‍රයට සිමා විමයි. නිස්කාංසුවේ කෙනෙකුට විඳන්න පුලුවන් කතා සෙට් එකක්. මම කැමතිම මුල් දෙකට

    ReplyDelete
    Replies
    1. එක ක්ෂේත්‍රයකට අදාල කතා ලියද්දි සමහර වෙලාවට සීමා මායිම් තියෙනවා. ඒවා ගැන හිතල ලිවුවත් මේ වගේ සමහර සිදු වීම් ඇත්තෙන්ම විනෝදජනකයි.

      Delete
  9. මරු කතා සැට් එක.ඉස්පිරිතාලෙ තරං ආතල් දේවල් සිද්ධ වෙන තැනක් නෑ මං හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. වෙන්නත් පුලුවන් දිනුක. ඒත් ඉස්පිරිතාලෙ ඔය කොයි වර්ගයෙ සිද්දිත් වෙනවා.

      Delete
  10. ඔන්න මම ආසම ජාතියෙ කතා. ඕවගෙ කතා Reader's Digest එකේ යන්නෙ All In A Day's Work කියලා

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. හරියට හරි ඩූඩ්. මම හිතන් හිටියෙත් "මුද්‍රිත මාධ්‍යයේද ජනප්‍රියයි" කියන තැනට අලුත්ම කලාපයෙ all in a days work ලින්ක් එකක් දාන්න. ඒත් ආයෙ කම්මැලි හිතුණා.

      Delete
  11. මේඩ්ඩො සහ මෙඩ්ඩියෝ බහුතරයකගේ තත්වේ ඔන්න ඔහොමයි ලු!! හෙක් හෙක්.. මාත් දැන් ටිකක් අධ්‍යනය කරනවා නෙව. වැඩි වෙනසක් නෑ!!

    කොහොම වුණත් ෆොටෝ බ්ලොග් එක නම් සිරා.. මැක්සා!!

    ජය වේවා අක්කේ..

    ReplyDelete
    Replies
    1. ආ... ඒ කොහොමද මෙඩ්ඩියො ගැන අධ්‍යයනය කරන්නෙ? මල්ලි ලිවුව කෙටි කතාවක් මතක් වුණා මෙඩ්ඩියො ගැන කියද්දි.

      Delete
  12. Are u sure that you haven't made them up? I like 'Hathi koppe kathava' very much.

    ReplyDelete
    Replies
    1. Oh yes, Im pretty sure that i didn't make them up. :-)
      They truly happened

      Delete
  13. මේවා දැකලා පණ යන තරමට මටම හිනා! හික්ස්!!!

    ReplyDelete
    Replies
    1. හනේ.... ඉතින් පණ ගියාද? :

      Delete
  14. මට නම් ආසම හිතුනේ හාමුදුරුවන්ගේ කතාවට. අපි දන්න කෙනෙක් දවසක් ටවුමට යනකොට හාමුදුරු නමක් වඩිනවලු. 'ආ මහත්තයා...බෑරක්ද?' කියලා හාමුදුරුවෝ අහලා. 'ඔව් හාමුදුරවනේ මේ ටවුමට වැඩියා කියලා ' එයා කීවලු කලබල උනු පාර.:D:D:D

    ReplyDelete
    Replies
    1. ඒක නම් හොඳටම හිනා යනව පොඩ්ඩි.

      Delete
  15. හමුදුරුවන්ගේ කතාවයි ඩයරියා සීන් එකයි මරු :)

    ReplyDelete
    Replies
    1. ඔව් TG . අපේ ගොඩක් අයට ඩයරියා කිවුවාම එක පාරටම ඒක ඔලුවට එන්නෙ නැති ගතියක් තියෙනව, මමම අත්දැකලා තියෙනව ඒක.

      Delete
  16. මනස ටිකක් අන්ජ බජල් වෙලා තිබ්බ වෙලාවෙ මේක කියවලා හිනා උනා. බොහොම පින්..

    ReplyDelete
    Replies

    1. ඒ මොකද අන්ජබජල් වෙලා තිබුණ. යතා තත්වයට ආව නම් ඒ ඇති.

      Delete
  17. මටත් එක වතාවක් හති කෝප්පේ ඇල්ලුවා.
    සිදු, මට ප්‍රශ්නයක් තියෙනවා. ඔය ඇදුම වගේ ලෙඩ කල් යනකොට අඩුවෙන සීන් එකක් තියෙනවද ? බෙක්ලේට් වගේ බේතක් අවුරුදු 5ක් විතර ගත්තට පස්සේ ඇදුම නිට්ටාවට සුව වෙනවද ? මගේ ප්‍රශ්න දෙකට උත්තර දෙන්න පුලුවන් නම් ගොඩක් පින් !

    ReplyDelete
    Replies
    1. උත්තර දෙන්න පරක්කු වුණාට සොරි මල්ලි. ගොඩක් වෙලාවට පුංචි ළමයින්ට හැදෙන ඇදුම කාලයත් එක්ක සනීප වෙනවා. ඒත් වැඩිහිටියන්ට තත්වය වෙනස්. ඔයාට කියවන්න හොඳම ලිපියක් මේ. ගිමන්නිවන්නාගෙ ලිපියක්. කියවල බලන්නකො. මම ලින්ක්ස් දාන්න දන්නෙ නෑ.

      http://gimanhalablog.blogspot.com/2012/09/asthma.html

      Delete
    2. ස්තුතියි... මට හිතෙන්නෙඔ ඔය ලෙසේ නිට්ටාවටම හොඳ කරන්න බෑ කියලා. මොකද මම තාමත් ඇඳුම ලෙඩෙන් පීඩා විඳිනවා.

      Delete
  18. //"හාමුදුරුවනේ , ඔබවහන්සේගෙ පපුවෙ කැක්කුම අත දිගෙත් වඩිනවද?"//

    අපොයි !!!

    ලස්සන කතන්දර ටික... දිගටම ලියන්න.. ජය !!!

    ReplyDelete
    Replies
    1. හාමුදුරුවන්ට මොනවා හිතෙන්න ඇත්ද නේද?

      Delete
  19. හොඳ අස්වාදයක්
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගයානි,

      Delete
  20. මේවා කියවනකොට ඔන්න මටත් ලියන්න තව එක රසකතා ගලාගෙන එනවා. එකක් කියන්නම්කෝ. මේක අර ඩයරිය වගේ තව සීන් එකක්. එක්සෑම් එකේ කලබලවුනු මෙඩ්ඩියක් කණ ආසාදිත එක්කෙනක්ගෙන් අහනවලු " ඔයාගේ කනෙන් ගොඩක් කාලයක් පස් එනවද"කියලා. ලෙඩා කිව්වලු "අනේ නෝනෝ පොඩ්ඩක් හැරව ආව තමා ඒත් පස් එන ගානට නම් කන සවුත්තු වෙලා නෑ" කියලා. (සාමා‍න්‍ය අය බොහොමයක් දන්නේ නෑනේ සැරව වලට කඩ්ඩෙන් pus කියනවා කියලා)..
    //පොඩ්ඩ්ක් ගිහින් බලන්න පුතේ... මම එවුවෙ කියන්නකො// මේ කෑල්ල කිව්වාට නම් කටේ මසුරන් ගෝනියක් දාන්න ඕන. ඕක මටත් ඕන තරම් වෙලා තියනව. ඉවසලා බැරිම තැන දවසක් මල පැනපු වෙලාවක මම කිව්වා. " ඇන්ටි ඕන නම් මම ලෙඩා බලලා එන්නම් හැබැයි මම ඔය දූත මෙහෙවර කරන්නේ නම් නෑ. ඔයාට එක දාගන්න ඕන නම් ඔයා ගිහින් ලෙඩාව බලලා එන්න අරය මෙයා එව්වා කියලා නම් මම කියන්නේ යන්නේ නෑ" කියලා.

    ReplyDelete
    Replies
    1. අනේ මමත් මුලින් දැනගෙන හිටියෙ නෑ ඒ කියන්නෙ සැරව වලට කියලා. මුලින්ම මමත් බැලුවා මොනවද මේ පස් කියල.

      අනේ ඔව්. ඔය දූත මෙහෙවර නම් එපා වෙනවා. ඒ මදිවට වෝඩ් එකේ ඉන්න HO ගෙන් විස්තර අහන්නත් වෙනවනෙ.HO අයිය කෙනෙක් නම් හොඳයි ඉතින්...

      Delete
    2. බෑ කියන්න බැරි කමට මම තාම දූත මෙහෙවරේ... සමහර වාට්ටු වල එච් ඕ ලා...හොඳටම මාව දන්නවා ඇයි කවුරු හරි කොළඹ ඇවිත් ඇඩ්මිට් උනොත් ම්ම යන්න එපැයි අම්මාගේ හිත සනසන්න...

      Delete
  21. ලස්සන කතා ටික සිඳු. එත් මට නම් හිතෙන්නේ මිනිස්සුන්ට නෙමෙයි සිඳුලටයි වැරදිලා තියෙන්නේ කියල. සාමාන්‍ය භාවිතයේදී හතිය කියන්නේ එලියට සද්දයක් ඇහෙන්නේ නැති දිගු හුස්ම ගන්න නිතරම මහන්සිය දැනෙන තත්වයට. නමුත් ඇදුම කියන්නේ ලොකු සද්දයක් එක්ක හුස්ම ගොඩක් දිගට ඇදෙන තත්වයට(ඇදුම කියන වචනේ තේරුම ගත්තත්). අනික මිනිස්සු අතරේ මතයක් තියනව හතිය හොඳ කරන්න පුළුවන් රෝගයක් සහ ඇදුම කියන්නේ හොඳ කරන්න බැරි රෝගයක් විදිහට . එකයි මිනිස්සු අකමැති තමුන්ට ඇදුම තියනව කියල පිළිගන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇනෝ.
      ඔයා හරි.
      e කියන්නෙ දෙකක් තමයි. ඒත් ඇදුම තියෙන අයගෙ ඇදුම තියෙනවද අහද්දි නෑ මට තියෙන්නෙ පපුවෙ මහන්සිය කියන එක හරි සාමාන්‍ය දෙයක්.
      ඒක නෙමේ, මට කොතැනද වැරදුනේ? මම මෙතනදි ඇදුමයි හතියයි එකක් කියන්න උත්සහ කළේ නෑ. හතිය එන්න පුළුවන් එකම හේතුවත් ඇදුම විතරක් නෙමේ කියලත් ඔබතුමා දන්නව ඇති.

      Delete
  22. :D :D නියම කතා ටික. මටත් ගොඩක් ජාති මතක් වුනා සායනික පුහුණුව ලබන කාලෙ වුන දේවල්. මටම වෙච්ච දේවල් තමා වැඩි හරියක්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. ඒවා ගැනත් වෙලාවක දැනගන්නත් පුළුවන් වෙයි නේද....

      Delete
  23. හපොයි.
    හොඳටම හිනා වුනා..පිස්සගේ කේස් එක නම් නියමයි..පව් ඒ ළමයා බයිට් වෙන්නැති දවස් ගානකට.

    ReplyDelete
    Replies
    1. ඒ ළමයා අපේ සායනික කණ්ඩායමේ නෙමේ roo. ඒ කණ්ඩායමේ බයිට් වෙන්න නම් ඇති තමයි. ඒත් විස්තරේ මුලු බැච් එකේම ගියෙ විදුලි වේගෙන්. එක අතකට මොනව කරන්නද, එයාමනෙ ඇවිත් අනිත් අයට කියල තියෙන්නෙ,

      Delete
  24. හපෝ පපුවේ කැක්කුම අත දිගේ වඩින එකනම් මරු :)

    ReplyDelete
    Replies
    1. ඒ කතාව මතක් කරලා අවුරුදු ගාණක් හැමෝම හිනා වුණා සයුරි.

      Delete
  25. හ හා. පපුවෙ කැක්කුමත් වැඩලනෙ. :D

    ReplyDelete
    Replies
    1. ඒකනෙ අක්කෙ. මාර වැඩේ..:D

      Delete
  26. අනේ මටත් හති කෝප්පයක් ගන්න තැනක් කියන්නකෝ...

    ReplyDelete
  27. නියම කතා ටික සිදූ.... පසුගිය කාලේ කලබල නිසා මට ගොඩක් ඒවා මිස් වෙලා... අපේ දෙමළ යාලුවෙක් අමාරුවෙන් අහගෙන සිංහල හර්නියා එකක් චෙක් කරන්න ගිහින් බඩ දිහා බලාගෙන "අම්මේ කහන්න" කිව්වා. අම්මා උඩ බිම බලනවා කොහේ කහන්නද කියලා අම්මා කිව්වා හයියෙන්"මට ඇති කැසිල්ලක් නෑ" කියලා. අපිත් කලබල වෙලා බැලුවා. බැලින්නම් ඔහු කියා තියෙන්නේ කහින්න කියලා...කියවිල තියෙන්නේ කහන්න කියලා.

    ReplyDelete