Monday, November 19, 2012

අපගේම කතාව


මේ ලිපිය මට තරමක් විශේෂයි. ඒ ලෝකයේ කොනක මා සටහන් තබන 100 වන වතාව නිසා

මෙය එක් ලිපියක් පමණක් නම් නොවේ. කොටස් කිහිපයකින් යුතු මෙම ලිපිය ඔබ කෙසේ පිළිගනීවිද මා දන්නේ නැහැ. ඇතැම් විට ඔබ මට බැන වදින්නටත් පුළුවන්. 

නමුත් හැකිනම්, මේ ලිපි කිහිපය අවසානය දක්වා කියවන්න.

මේ 2009 වසරේදී EUROPACORP - ELZEVIR FILMS මගින් විකාශය කළ HOME නම් වාර්තාමය චිත්‍රපටයේ සිංහල පරිවර්තනයයි. 


















මෙහි ඇති ඡායාරූප සියල්ලම, එම වීඩියෝවේම දර්ශන. පැය දෙකක ධාවන කාලයකින් යුකත වූ එය නැවත නරඹමින්, මා සිංහලට නැගූ මෙය අපේම කතාවයි.

ඉතින් කියවන්න. කියවමින් සිතන්න.

******************************************************
මඳක් සවන් දෙන්න. ඔබත් මා වගේ. හෝමෝ සේපියන්ස් කෙනෙක්. බුද්ධිමත් මානව ජීවිතයක්. වසර බිලියන 4කට පෙර බිහිවූ පෘථිවිය මත වසර 200,000කට පෙර පහළ වූ
මානවයා නම් වූ ආශ්චර්යයේ පුරුකක්. 

ඉදින් සවන් දෙන්න මේ අපූර්ව කතන්දරයට. ඔබේම කතන්දරයට. එහි ලා ඔබගේ කාර්ය භාරය කුමක්දැයි ඉන් අනතුරුව ඔබම තීරණය කරන්න.

මේ අපේ ආරම්භයේ අතීත සලකුණු වල නශ්ඨාවශේෂ.


සිය තාරකාව වූ හිරුගේ උපතත් සමගම බිහි වූ පෘථිවිය , ආරම්භයේදී මෙවන් ස්ථාන සුලභ වූ ගින්නෙන් දැවුණ ග්‍රහ වස්තුවක්.
අවකාශය සිසාරා පාවෙමින් පැවති ඝණ වූ දුහුවිලි කැටිති වලින් වායුගෝලය ගහණ වුණා. බැලූ බැල්මට එය මිහිමත අපායක්. 

එවන් වූ තත්වයක් පැවති ග්‍රහවස්තුවක් මතයි, විශ්වයේ සිදු වූ ආශ්චර්යතම සිදුවීම වූ ජීවය පහළ වීම සිදු වන්නේ.......

එතැන් පටන් පහළ වූ ලක්ෂ සංඛ්‍යාත සියලුම ජීවින්ගෙන් සුසැදි දාමයේ එක් පුරුකකි අද අප දකින ජීවීන්.

අදත්, තවමත් නව ගිනි කඳු විදාරණය වෙමින් ආරම්භයේදී අපගේ මිහි මඬලේ මුහුණ පිළිබඳ සියුම් ඉඟි අප හට ලබා දෙනවා.
පොළෝ ඝර්භය තුළ ඇති ලාවා හැතැප්ම ගණන් පසු කරමින් පොළෝ මතු පිටට පැමිණ ඒ මත පැළීම් ඇති කරමින්, ලාවා තට්‍ටු ඒ මත අතුරමින් , ඒවා නිද්‍රාවට පත් වීමට පෙර කාලයෙන් කාලයට ක්‍රියා කාරී වේ. 


ගිණි කඳු විවර හරහා පොළොව තුලින් මතු වන මේ දුම් වළලු පෘථිවියේ අතීත වායු ගෝලය , ඔක්සිජන් රහිත , කාබන් ඩයොක්සයිඩ් වලින් පීඩිත, ජල වාෂ්ප වලින් ගහණ වූ වායු ගෝලයක් වූ බවට අද ද දෙස් දෙයි.
මදක් සිතන්න... එවැනි තත්වයක් අද වන තුරුත් පැවතුණා නම්.....?

නමුත් පෘථිවියේ දෛවය ඒ තරම් අවාසනාවන්ත වූයේ නැහැ.
සූර්යයාගේ සිට ප්‍රශෂ්ත දුරකින් පිහිටීම ජලය ද්‍රව වශයෙන් පවත්වාගැනීමට සුදුසුම උෂ්ණත්වයක් ලබා දුන්නා. 

පෙර සඳහන් කළ වායුගෝලයේ ගහන් වූ ජලවාෂ්ප ඝණීභවණය වී, වර්ෂාව ලෙස එක්තරා වාසනාවන්ත යුගයකදී පොළොවට ඇද හැලෙනවා.... ඒ ජලය ඇළ දොළ දිය ඇළි මවමින් ගලා යනවා. ගoගා , නිම්න ආදිය එමගින් නිර්මාණය වනවා..... ඒ ඔස්සේ ගලා ගිය ජලය පොළොවේ වූ පහත් බිම් වලට එක්වී මහා සාගර නිර්මාණය මුලකුරු කියවනවා.... ඒ ගලා ගිය ජලයත් සමග එක් වූ, ඛනිජ ලවණ , ආරම්භයේදී පැවති මිරිදිය, කරදිය බවට හරවණු ලබනවා....


වසර බිලියන 4ක කාලයකට පසුවද එසේ ජලය ගලා ගිය ඇතැම් ස්ථාන තවමත් ශේෂව පවතිනවා.මේ ගිනි කඳු වලින් පිටවූ අලු අතරින් ජලය ගලා ගිය ස්ථාන අලංකාර රටා මවා ඇති අයුරු.












මේ බලන්න,ද්‍රව සහ ඝණ, ජලය සහ පදාර්ථය. මිහිමත සෑම ජීවයකම පදනම.... පැවැත්ම.





මේ මහීකාන්තාව සැදී ඇති ඇතැම් පදාර්ථ , ඛනිජ ලවණ ඇයටද වඩා පැරණියි. ඒවා විශ්වය ආරම්භයේදීම සෑදුණ තරු දුහුවිලි. ( star dust ) 
පොළොවේ වර්ණයන් ලබා දී ඇත්තේ ඒවා.
යකඩ රතු පැහැය
කාබන් කලු පැහැය
තඹ නිල් පැහැය
ගෙන්දගම් කහ පැහැය...














මොන තරම් ලස්සනද... 

මෙවන් වූ අපූර්ව ග්‍රහ වස්තුවකට අප පැමිණියේ කොහි සිටද....මිහි මතට ජීවයේ පළමු සුසුම් පොද එක් වූයේ කවදාද.... සදාකාලික ප්‍රශ්නයක්. සැබැවින්ම එය කාලය මගින් මැවූ ආශ්චර්යයක්......

මඳක් නැවතී බලන්න මේ දෙස. මේ මිහිමත ජීවයේ උල්පත්.


මේ පොළොව මතු පිට ඇති ඉතා උණුසුම් ස්ථාන. (hot spots)
(ඇතැම් විට උණු දිය උල්පත් ආදිය මතු වන ස්ථාන). පොළොව මතු පිට මුල්ම ජීවය ඇති වන්නේ මෙවන් ස්ථාන වල. 
ඒ ප්‍රාග් බැක්ටීරියාවන් ( archeobacteria ).
මේ වර්ණයන් ලබා දෙන්නේ ඔවුන්. මෙම hot spots  හි උෂ්ණත්වය ඔවුන්ගේ ජීවය ‍රැක දෙනවා. ඒ අතරින් සයනොබැක්ටීරියා නොහොත් නීල හරිත ඇල්ගී  සුවිශේෂයි.හිරු එළිය ශක්තිය වශයෙන් ගබඩා කරගෙන ස්වකීය පැවැත්මට අවශ්‍ය ආහාර නිපදවා ගැනීමේ හැකියාව ඔවුන් ලබනවා. අද මිහිමත ජීවත් වන සියලු හරිත ශාකයන්හි පූර්වජයන් ඔවුන්.

මේ ප්‍රාග් බැක්ටීරියා පරම්පරා ගණනාවක ලක්ෂ සංඛයාත ජීවීන් කාලයත් සමග පෘථිවියේ දෛවය වෙනස් කරනවා. 
ඒ වායුගෝලයේ සoයුතිය වෙනස් කිරීම මගින්. 

මේ වාසනාවන්ත යුගය පිළිබඳ පරිච්ඡේදය හොඳින්ම කියවිය හැකි ස්ථානයක් තවමත්. 

ඒ කොලරාඩෝහි ග්‍රැන්ඩ් කැනියොන්. වසර බිලියන 2ක පමණ අතීතයක් එය අප දෑස් ඉදිරියේ දිග හරිනවා,

මෙම ප්‍රදේශය, එක්තරා යුගයකදී මුහුදින් වැසී ගිය බිම් කඩක්.එහි වාසය කළ  ක්ෂුද්‍ර ජීවීන් මුහුදු ජලයේ දියවූ කාබන් අණු වලින් ඔවුන්ගේ කවච නිර්මාණය කරගන්නවා. ඔවුන් මිය ගිය පසු මේ කවච ලක්ෂ ගනණින් මුහුදු පතුලේ තැම්පත් වනවා.

ඔබට හඳුනා ගන්න පුළුවන්ද මේ සුදු ඉරි සහිත ප්‍රදේශ? ඒ එම ජීවීන්ගේ එකී ක්‍රියා කාරීත්වයේ ප්‍රතිඵල. 

සාගර වාසී මෙම ජීවීන් හට පින් සිදු වන්නට , වායුගෝලයේ වූ කාබන් සාගර ජලයේ දිය වීම ඒ තුළ මුල් වතාවට මීවන ශාක ඇති වීමට ඉවහල් වනවා.

ඒ වායුගෝලයේ දැවැන්ත විපර්යාසයක්. මීවන ශාක වලින් පිට කරන ඔකිජන් , වායු ගෝලයේ පොහොසත් වන්නේ ඉක්මනින්.

ජලය ජීවීන්ට අත්‍යවශ්‍ය සාධකයක්.
අපේ නහර වැල් වල දිවෙන රුධිරයේ පටන්, මහා වෘක්ෂ වල කුඩා අතු රිකිල්ලක් පාසා දිවෙන ජලය සියලු ජීවීන්ගේ ජීවන රුධිරයයි.


ජල චක්‍රය කිසි දා නොබි‍ඳෙන්නක්. සදාතනික වෙනස් කම් , අලුත් වීම් වලින් යුක්ත දිය ඇලි, ගංගා , ඇළ දොළ, මුහුදු ,සාගර යනාදී මේ සියල්ල එකම දාමයක පුරුක්. එක් එක් යුගයන්ගි පහළ වූ විවිධ ජීවීන් පානය කළේ එකම ජල අංශු. ද්‍රවාකාරව, වායුවක් ලෙසින්, අයිස් ලෙස , ජල වාෂ්ප ලෙසා ආදී මේ කවාකාරයෙන් පැවතියත්, මිහිමත ඇති ජල අණු සංඛ්‍යාව සදාතනිකයි, එය නියතයක්.

මේ මහ පොළොවේ සෑම දෙයක්ම එකිනෙක හා බද්ධයි. ජලය හා වාතය අතර ඇති බැඳීමද එවැන්නක්. 
මිහිමත ජීවය උදෙසා මේ සබඳතාවය අත්‍යවශ්‍ය සාධකයක්. මේ නිසා සෑදෙන වලාකුළු , වර්ෂාව ලෙස නැවත පොළොවට පතිත වනවා. ඒවා ගලායන්නේ සාගරයට. 

සාගරයේ ඇති ඇල්ගී වායුගෝලයේ ඇති ඔක්සිජන් ප්‍රතිශතය වෙනුවෙන් ඉ‍ටු කරන්නේ මහා මෙහෙවරක්. 

මිහිමත ජීවය සදාතනික සමබරතාවයකින් යුක්තයි. මේ සමබරතාවයේදී සෑම ජීවියෙකු සතුවම රඟ දෙන්නට චරිතයක් තිබෙනවා. සෑම ජීවියෙකුගේම පැවැත්ම, අනෙක් සෑම ජීවියෙකුගේම පැවැත්ම මත රඳාපවතින, පහසුවෙන් බිඳී යා හැකි ධර්මතාවයක්.

එක් උදාහරණයක් පවසන්නම්.

කොරල්, එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න ගල්මල්... ඒ ඇල්ගී සහ කොරල් බුහුබාවාගේ අන්‍යෝන්‍ය සහයෝහීතාවයක ප්‍රතිඵලයක්. 

ඔස්ට්‍රේලියාවේ වෙරළාසන්නව වර්ග කිලෝ මීටර් 3500ක් පුරා පැතිරී ඇති මහා බාධක පරය මසුන් විශේෂ 1500ක් බෙල්ලන් විශේෂ 4000ක් කොරල් විශේෂ 400කට පමණ පාරාදීසයක්. සෑම මුහුදු පද්ධතියකම සමබරතාවයට, කොරල් මගින් සිදු කරන අති විශාල මෙහෙයට මේ එක් උදාහරණයක් පමණයි.

පෘථිවිය ආරම්භයේ සිට එතෙක් මෙතෙක් බිහිවූ ජීවමාන මූර්තීන් පවතීනම් ඒ ශාකයන්. 

ගුරුත්වයට එරෙහිව අහස් දෙසට වැඩෙන ජීවී වර්ගයා ඔවුන්.







හිරුට පෙම් බැඳ, ඔවුන් සිය මුතුන් මිත්තන් වූ සයනොබැක්ටීරියාවන්ගෙන් උරුම කරගත් ආභාශයෙන් ,හිරු එළියේ ගැබ් වූ ශක්තිය පත්‍ර , ඵල, ජලය ආදිය බවට පත් කරවන්නේ තමන්ගේ පමණක් නොව මිහිමත සියලු ජීවි වර්ගයාගේ සුබ සිද්ධිය උදෙසා. පොළොව ජීවයට ඉතා සුදුසු පරිසරයක් බවට පත් කිරීමෙහිලා වැඩිම දායකත්වය ඔවුන්ගෙන්.

පස...! ඒ ජෛව විවිධත්වයේ කම්හලයි. ඒ තුළ ජීවත් වන විවිධාකාර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නිසා බිහි වූ පෝෂ්‍යදායී පස හෙවත් හ්‍යුමස් තට්‍ටුව, ශාක වල වර්ධනය උදෙසා ලබා දෙන්නේ මනා පිටිවහලක්.

පොලෝ මහී කාන්තාවගේ දරුවන් වූ මේ සැම, එකිනේකා සමග දක්වන අපූර්ව සබැඳියාව විස්තර කරන්නට මේ කරුණු ප්‍රමාණවත් නොවේද...


මිහිමත ජීවය පිළිබඳව අප දන්නේ මොනවාද... අප මෙහි වසන ජීවී විශේෂ කීයක් හඳුනනවාද?
1/100ක්?
සමහර විට 1/10ක්?

ඔවුන් එකිනෙකා අතර ඇති බැඳීම ගැන අප දන්නේ මොනවාද?

මේ මහ පොළොව ආශ්චර්යයක්. ඒ මත ජීවය සදාතනික අබිරහසක්. 


ජීවී කණ්ඩායක් , ඔවුන්ගේ පවුල් එකිනෙකා හා බැඳී පවතින්නේ ඔවුන්ගේ ක්‍රියාකාරකම් ඔවුන්ගේ හැසිරීම් රටා තුළින්.
ඇතමුන් සොබා දහමට අනුවර්තනය වෙලා. ඇතැම් විට සොබාදහම ඔවුන්ට අනුවර්තනය වෙලා.....
මිහිතලය මත ගෙවෙන මේ වීර කාව්‍යයේ සෑම ජීවියෙකුම වැදගත් චරිතයක්. ඔවුන් සෑම දෙනාටම මෙහි මත අයත් ස්ථානයක් පවතිනවා. 




කිසිවෙකුත් නොවැදගත් නැහැ
කිසිවෙකුත් විනාශකාරී නැහැ.
සියල්ලන්ම එකිනෙකා මත සමබරතාවයක් උසුලනවා. 

මෙවන් වූ සමබරතාවයකින්, සුන්දරතාවකින් යුක්ත වූ යුගයකයි, ඔබ, හොමෝ සේපියන්ස්, බුද්ධිමත් මානවයා මේ කතාන්දරයට එක් වන්නේ.........

*****************************************************
මෙයින් පසුව මිහි මඩලේ කතන්දරයට සිදු වුණේ කුමක්දැයි ඊළග සටහනෙන් බලමු..... 


27 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ඔයාගේ සිය වෙනි ලිපියට මගේ උණුසුම් සුභ පෑතුම්! අක්කේ, මම මේ ලිපිය ගොඩක් ආසාවෙන් කියෙව්වා අනිත් කොටසත් ඉක්මනින් ලියන්න

    ReplyDelete
  3. සීයට සුබ පැතුම්..හොඳ ලිපි පෙළක්..

    ReplyDelete
  4. ශතකයට සුභ පැතුම් සිඳූ. ලිපි පෙළ නම් වෙනස්ම මාතෘකාවක් ඔස්සෙ යන නිසා ඉදිරි කොටසුත් රසවත් වේවියැයි සිතනව.

    ReplyDelete
  5. අර්ථවත් යමකින් 100 සනිටුහන් කරපු එක අගෙයි. සුභ පැතුම් :)

    ReplyDelete
  6. නියමයි... සුභ පැතුම් සිඳු !...

    ReplyDelete
  7. සුබ පැතුම් සිඳූට !

    ReplyDelete
  8. පෝස්ට්ස් 100ක් කියන්නෙ දිග ගමනක්. ඉතිං මගෙනුත් සුභ පැතුම් සිඳූ. තව තවත් ලියන්න ශක්තිය ධෛර්‍යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා,
    100 වෙනි පෝස්ට් එකට ගොඩක් වටින මාතෘකාවක් තෝරලා තියෙන්නෙ. අපේ ආරම්භය දැනගෙන ඉන්න එපැයි මොනවා නැතත්.

    ReplyDelete
  9. සියවෙනි පෝස්ටුවට මගෙනුත් සුබ පැතුම් !

    ReplyDelete
  10. සියවෙනි ලිපියට සුභ පැතුම් සිඳු නංගියේ... දවසකට බ්ලොග් බර ගානක් කියෙව්වත්..ආසාවෙන් කියවන අතලොස්සක් බ්ලොග් අතරින් එකක් මේක... ඒකයි මොනවා හරි වචනයක් කොටලා යන්න අමතක කරන්නෙත් නැත්තේ...

    මේ ලිපියත් ඕං කියෙව්වා... (හැබැයි මොනවත්ම මතක හිටියේ නැහැ හරිය..)

    ReplyDelete
  11. මුලින්ම මම සිඳූගෙ සියවන ලිපියට සුබ පතනවා. දන්නවද මමත් මීලඟට ලියන්නෙ මගේ වර්ඩ්ප්‍රෙස් "මට හිතෙන හැටි" බ්ලොග් අඩවියෙ සියවන ලිපිය.

    දැන් ප්‍රශ්නෙකට තියෙන්නෙ සිඳු හොමෝ සේපියන්ස්, බුද්ධිමත් මානවයා මේ කතාන්දරයට එක් වෙනවනේ. ඉතින් මේකාගෙ බුද්ධිය වැඩි නිසාම මුලින්ම පටන්ගන්නවා ඔය ඔයා කියපු දේවල් මැව්වෙ කවුද කියලා දෙපැත්තට තුන් පැත්තට බෙදිලා තරක කරලා එකිනෙකාව මරා ගන්න. ඊට පස්සෙ පාට අනුව, රටවල් අනුව, ආගම් අනුව, කුල අනුව. බෙදිලා මදිවෙලා අනු කණ්ඩායම් තව තවත් කුඩා කණ්ඩායම් වලට බෙදෙන්න සාධක හොයනවා දිවා රෑ නැතිව.
    උඩරට පාතරට, ගොවිගම කරාව, අඩෝ අපි මාතර හරිය? පල ඩෝ...


    අන්තිමට අර ප්‍රාථමික ජීවීන් විතරක් දවසක ඉතිරි වේවි. චක්‍රය නැවත ආරම්භ වේවි...

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  12. සුභපැතුම සිදූ....

    පෝස්ට් එකක් දානකන් බලාගෙන ඉන්න බ්ලොග් කිහිපයක්ම තියෙනවා සිදූ.. ලෝකයෙ කොණත් එයින් එකක් ...

    ReplyDelete
  13. ‍මගේත් සුභ පැතුම්.ටිකයි බැදුවේ.ඉතිරි ටිකත් බලන්න ඕන.හිතන්න ඕන තැනක්.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  14. හොද ලිපියක්...මගෙනුත් සුබ පැතුම්...
    සමකය වටේ (samakaya wate)

    ReplyDelete
  15. සියයක් කියන්නේ හොඳ අත්දැකිමක් වගේම එවන් අත්දැකිමක් ලබාගන්න කළ දැඩි කැප කිරිමක්. එයින් ලබාගත් අත්දැකිම් ඉදිරියටත් හොඳ දේ ලියන්න අවකාශය සලසාවි. ඊට මගේ සුබ පැතුමද මේසමගම එක්කරමි.

    මිහි මඬලේ ප්‍රභවය පිලිබඳව විද්‍යාත්මක ඇසින් කරන පැහැදිලිකිරීමත් රසවත්වේවි.මේක කියවන විට මකත්වුනේ සියැටල් නම් රතු ඉන්දියානු ජාතිකයා ඇමරිකානු ජනපතිට ලියූ සටහනයි.

    ReplyDelete
  16. Congratulations for your 100th post. It is a great achievement.
    No need to explain further.I have seen it and what a film it is! I made my students to watch it and explained it. I think it should be watched by every Homo Sapien. I felt like crying when it showed the destruction of the earth. Waiting to read the next post.

    ReplyDelete
  17. ශතකයට මගෙන් සුභ පැතුම්..චිරං ජයතු...මාත් බලලා තියෙනවා ඔය home කියන සලරැව. ඒ නම් බැලුවේ අපේ ආයතන්නේ LED පුලුල් තිරයක් චෙක් කරගන්න.වටිනා පෝස්ටුවක්..

    ReplyDelete
  18. සියවැනි පෝස්ටුවෙන් හොඳ වැඩකට අතගහලා.. වාර්තාමය චිත්‍රපටයක් සිංහල පරිවර්තනය කරනවා කියන එක සෙල්ලං නෑ.මට නම ඇත්තටම කම්මැලි හිතෙන වැඩක්.ඒ වගේ එකක් කරන්න හොඳ ඉවසීමක් වගේම කැපවීමකුත් ඕන. ඉදිරියටම කරගෙන යන්න සුභපතනවා. ඒවගේම සෙන්චරියටත් උණුසුම් සුභපැතුම්... මමත් ඔය ඩොකියුමෙන්ට්‍රි එක ඩවුන්ලෝඩ් කරලා බලන්න ඕන වෙලාවක

    ReplyDelete
  19. 100වෙනි පෝස්ටුවට සුභ පැතුම්. බරපතල වැඩකට අත ගහල වගෙයි. හුඟක් ප්‍රයෝජනවත් වේවි කාටත්.

    ReplyDelete
  20. දිගටම ලියන්න සුභ පැතුම් සිඳූ..
    ලිපි මාලාව දිගටම ලියන තුරු බලා සිටිනවා..

    ReplyDelete
  21. හරියටම 100 වෙනි පෝස්ටුවෙදි මම හාපුරා කියලා මේ පැත්තට ආවෙ...සියලු සුභ දේ පතනවා...ජය !

    ReplyDelete
  22. සුභ පැතු සියවෙනි ලිපියට

    ReplyDelete
  23. 100 ට සුබ පැතුම්!!

    ReplyDelete
  24. පසුවෙලා ආවත් ආසාවෙන් කියෙවුවා. අර හෝමෝ සාපියන් කාරයා දැන් දැන් ලෝකයට සාපයක් වෙන විදිහට අර සමබරතාවය විනාශ කරනවා.

    ReplyDelete
  25. අපිව ලෝකේ වටේ රවුමක් අරං ගියා වගේ... සුභ පැතුම් සීයට...!!!!

    ReplyDelete
  26. සීයට සුභ පැතුම්!!!
    වැදගත් විස්තර ගොඩාක්. බොහොම ස්තූතියි බෙදාගත්තට..

    ReplyDelete