Sunday, May 5, 2013

කරදහි ඔරු සහ ඉස්ගෙඩියෝ



වැහි කාලෙ පටන් අරන්. කොහේදෝ හංගාගෙන හිර කරගෙන තිබුණ පුංචි දිය බිංදු  කොහාට හරි හලලා දාන්නයි අහස බලන් ඉන්නෙ....රිදී පාට අහසෙ නළියන රත්තරන් පාට විදුලි රේඛාත් ඉස්සරහට එන වැහි කාලෙ ගැන අපිට මතක් කරනව. හවස් වෙද්දි අහසෙ එහා මෙහා පියාඹන වැහි ලිහිණියන් ප්‍රමාණයත් දැන් වැඩි වෙලා.

ඉර අවුවට වේලිලා තිබුණ තණකොල ආයෙමත් පණ ගහල නැගිටල ඒවි. උදේ නැගිටිනකොට වතුසුද්ද මල් අග  වීදුරු පබලු වගේ දිලිසෙන වැහි බිංදු  ආයෙමත්  ටික කාලෙකට අපිට දකින්න පුළුවන්වේවි...........

මතක් වෙනවා පුංචි කාලෙ වැහි දවස්..... 

මහ වැස්සක් වැ‍ටුනම මුළු මිදුලම වැවක් වගේ පිරෙනව.. 
සුදු පාට වැලි උඩ වැ‍ටුණ පැහැදිලි වතුර, ටික වෙලවකින්ම අලුත් පාරවල් හොයාගෙන  පුංචි පුංචි ඇළ පාරවල් හදන්න පටන් ගන්නව. ඒ වැලි අස්සෙන් තිරිවාන ගල කැට එකින් එක මතු වෙලා පෙනෙන්න ගන්නව.... 
ජනේලෙ ග්‍රීල් වලට මූණ තද කරගෙන මම ජනෙල් වීදුරුව අස්සෙන් වැස්ස දිහා බලන් ඉන්නව. හැම පැත්තෙන්ම වැටෙන වැහි බින්දු මිදුලෙ වතුර උඩ වැටිල මවන කවාකාර තරංග දිහා බලන් ඉන්න මම තවමත් ආසයි.

හයියෙන් වහින වෙලාවට දේදුනු පේන්නෙ නෑ කියල අම්මා කොයි තරම් කිවුවත්, මම හැමදාමත් වහින වෙලාවට අහසෙ දේදුනු හොයන්න ආසා කළා. තවමත් ආසා කරනව.

වැස්ස පටන් අරන් ටික වෙලාවකින්  අහක දාන කඩදාසි වලින් විතරක් නෙමේ, අප්පච්චිගෙ හාෆ් ශීට් වලිනුත් කඩදාසි බෝට්‍ටු හැදෙන්න පටන් ගන්නව. පීල්ලෙන් වැටෙන වතුරෙ නංගියි මමයි ඉස්තෝප්පුවෙ ඉඳන් කඩදාසි බෝට්‍ටු දියත් කරනව.
වැස්ස තරම තුරල් වුණාම අපි දෙන්න කැඩුණ කුඩයක් ඉහලගෙන බාගෙට තෙමී තෙමී ඒ වෙනකොටත් ගලාගෙන යන වතුරෙත් බෝට්‍ටු පා කරනව.....
අන්තිමට ටික වෙලාවකින් වතුර බැහැල යද්දි මිදුලෙ තැනින් තැන අපේ කඩදාසි බෝට්‍ටු වල නටබුන් ශේෂ වෙලා තියෙනව.....



වැස්සත් එක්ක රෑ වෙද්දි ගෙම්බන්ගෙ සද්දෙ කළුවරේම ඇහැන්න පටන් ගන්නෙ ගෙඹි ගමුදාවක් කෑ ගහනව වගේ. 
කොහෙ ඉඳන්ද මේ ගෙම්බො මෙහෙම කෑ ගහන්නෙ කියල හොයන්න යන්න හිතෙද්දිම වැස්සෙ සීතලට නංගිට තුරුල් වෙලා මට නින්ද යනවා..... 

පහුවදා ඇහැරිලා බලද්දි අප්පච්චි  කොට කලිසමකුයි,  sri lanka  කියල ගහපු සුදුපාට තොප්පියකුයි ,දනිස්ස ගාවට උස බූට් සපත්තුයි දාගෙන වත්ත වටේට කපලා තියෙන අගල් උදැල්ලෙන් පාදනවා.
මමත් හිරි පොදේම නණ කැඩුණ කුඩෙයි, මට වඩා ලොකු සෙරෙප්පු දෙකකුයි දාගෙන අගල් බලන්න යනවා..... 
"මඩේ එන්න එපා" අප්පච්චි කෑ ගහනව. මට ඒවා ඇහැන්නෙත් නෑ. 



වතුර පිරිලා තියෙන අගල් වල තැනින් තැන ගෙඹි බිත්තර කැටිති පා වෙනව. තවත් ටික දවසකින් ඒවා පුපුරලා පුංචි මාළු පැටවු වගේ ඉස්ගෙඩි පැටවු එලියට එනව. 
මම පරණ ජෑම් බෝතලයකුත් අරන් නංගිත් එක්ක ඉස්ගෙඩියො අල්ලන්න යනවා.... 
නැන්දලාගෙ අයියයි නංගියිත් තව ජෑම් බෝතලයක් ඒ වැඩේටම අපිට එකතු වෙනවා. 
වැහි වතුරත් එක්ක කොහෙ හරි වෙලකින් පාවෙලා ආව පුංචි මාලු පැටියෙකුත් ඉඳලා හිටලා අපිට හම්බෙනව.... 
මාළු රංචුවක් අල්ලගත්ත වගේ ජයග්‍රාහීව ඉස්ගෙඩියො පිරුණ ජෑම් බෝතලෙත් අරන් අපි ගෙදර යනව.... 
"ඊයා, ජරා සත්තු ගේ ඇතුළට ගේන්න එපා...."අම්ම කෑ ගහනව.
ඒවා නෑහුණා වගේ, කකුල් එනකම්ම ගේ ඇතුලෙ ඉන්න වරය මම ඉස්ගෙඩියන්ට ලබා දෙනවා..... 

කතන්දර පොත් වල තියෙනවා වගේ කෙහෙල් කොට වලින් පාරු හදාගෙන ගං වතුරෙ යන්න මම හීන දකිනව. ඒ හීනෙ නම් කවදවත් හැබෑ වෙන්නෙ නෑ. හැමදාමත් කඩදාසි බෝට්‍ටු වල කපිතන් වෙලා මම  සෑහීමට පත් වෙනව.....

31 comments:

  1. හරිම ලස්සන මතකයන්... :)

    ReplyDelete
    Replies


    1. තව මතක ගොඩක් එකතු කරන්න හිතාගෙනයි ලියන්න පටන් ගත්තෙ... ඒ සේරම ලියල ඉවර වෙනකම් හිටියනම් මේ වැඩත් එක්ක, වැස්ස කාලෙ ඉවර වෙනව.

      Delete
  2. මම තාමත් ආසයි වැස්සේ කරදහි ඔරු පාකරලා යවන්ට.:D

    ReplyDelete
    Replies
    1. මම තාමත් ආසයි

      Delete
  3. මේක කියෙව්වාම ආයෙත් පාරක් පොඩිකාලෙට ගියා වගේ. වැස්ස කාලෙට අපි ඉස්කෝලෙත් බෝට්ටු පා කළා. වැස්සට ඉස්කෝලෙට යන පාර යට වුනාම තමා ආතල්ම. සපත්තු කර වටේ දාගෙන අර ජරා මඩ වතුරේ බැහැලා යන්නේ... ඒකාලේ විෂබීජ ගැන මේතරම් දන්නවයැ. වැඩිහිටියෝ කිව්වත් ඕවා ගනන් ගන්න එකක්යැ.
    //හැමදාමත් කඩදාසි බෝට්‍ටු වල කපිතන් වෙලා මම සෑහීමට පත් වෙනව// අයියෝ අයියෝ අමතක කොරන්න එපා දැන් ඔයා වෝඩ් එකේ කපිතාන් කෙනෙක්නෙ :P

    ReplyDelete
    Replies
    1. වැඩිහිටියෝ එපා කිවුව නම් ඒක කරන්නම ඕනනෙ නේද.....
      ආව්ව්.......... මතක් කළාට පින්. මේ වාට්‍ටුවෙ තව මාසයයි හරියටම.... :)

      Delete
  4. අපි ඔය බෝට්‍ටු වලට කූඹි, ඇඹලයෝ වගේ පැසෙන්ජර්ස්ලත් නග්ගලා යවනවා. :D

    ReplyDelete
    Replies
    1. සිඳුගේ බ්ලොග් ලිස්ට් එක දැක්කාම මට හිතුනා සිඳූ මගේ "මට හිතෙන හැටි WordPress බ්ලොග් එක මිසක්" මම හති දාගෙන ලියන "මගේ ඩෙනිම" ගැන දන්නේ නැතිද කියලා.

      Delete
    2. ඩුඩේ ඇඩ් එකක් දාලා නෙව හම්පඩ ඩෙනිම් කෑල්ලටත්. ඔව් අදිනවනං අන්න ඩෙනිම්.. අනිවා බලන්න ඕන...

      Delete
    3. //අපි ඔය බෝට්‍ටු වලට කූඹි, ඇඹලයෝ වගේ පැසෙන්ජර්ස්ලත් නග්ගලා යවනවා. :D//

      දැන් කාලේ ඉන්න ඇඹලයොත් මේ වගේ නග්ගලා අරින්ට පුලුවන් නම් හී හී ...

      Delete
    4. ඒකත් හොඳයි තමයි.වතුර පිරිලා බෝට්‍ටු ගිලුනාම එයාලට නොමිලේ වීසා හම්බෙනවනෙ දිව්‍ය ලෝකෙ යන්න... ඩෙනිම ගැන දන්නවා ඩූඩ්.... ඇත්තට ඒක මගෙ බ්ලොග් රෝලට ඇවිත් නැද්ද ......

      Delete
  5. Sinndhu, Both my comments published as Henry Blogwalker (Google Profile) were spammed one after the other. Could you please fish them out?

    ReplyDelete
  6. අර බෝට්ටු සීන් එකනං තාමත් මම කරනවා! ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මමත් මමත්..... ඔබ තුමාටත් රාජ සම්පත් නැති වේවා!

      Delete

  7. වැව , තිල්ල වල
    ලුණුවිල ගමේ සුන්දර මතකය....

    ReplyDelete
    Replies
    1. හ්ම්... පොඩි පොඩි මේ වගේ අත්දැකීම්ත් මට වටිනව.

      Delete
  8. ඉස්ගෙඩි මම විකුනලත් තියනවා....

    ReplyDelete
    Replies
    1. හෆෝ.... කවුද උන්ව සල්ලි දීලා ගත්තෙ?

      Delete
  9. මටත් නිකං අතීතෙට ලයිට් එකක් වැදුනා....

    ReplyDelete
    Replies
    1. ඒවා හරි ලස්සන ලයිට්.

      Delete
  10. කඩදාසි නැව් වලින් එක එක දූපත් අල්ලගන්න එක තරම් ජොලියක් තිබ්බෙ නෑ වෙන මොකකින් වත්..
    සිඳූට තැන්කූ ඒ මතකය ආපහු ගෙනාවට..

    ReplyDelete
    Replies
    1. අනේ මම දූපත් අල්ලල නෑනෙ, අපරාදෙ ඒ කාලෙ එහෙම කරන්න තිබුණ.

      Delete
  11. වැස්ස...එදා වගේමයි තවමත් මම නම් හරිම මනාපයි...තදට වහින වෙලාවට වැහි බින්දු මවන අලංකාරය දිහා බලන් ඉන්න.පුංචිම කාලෙ වැස්ස පායපු ගමන් මිදුලට පැනලා මඩ වතුර පාගන්න...අනේ ආයෙමත් ඒ කාලෙ ලැබෙනවා නම්...

    ReplyDelete
    Replies
    1. ඇයි, වතුර හිඳිලා ඒත් තෙත තියෙද්දි කකුලෙන් වැලි පාගලා, සුදු පාට වැලි මතු වෙනව බලන්නත් මම ආසයි.

      Delete
  12. පෝස්ට් එක මාව අතීතෙට ඇදන් ගියා.. බෝට්ටු හරියට හදාගන්න බැරි කාලේ කොලේ අරං දිවුවේ අපේ අක්කා ලගට..

    ReplyDelete
    Replies
    1. මට තවම මතකයි අප්පච්චි මට බෝට්‍ටු හදන්න කියල දුන්න මුල්ම දවස. හීනෙන් වගේ මතකයක් ඒක.

      Delete
  13. වැස්ස අපි පුංචි කාලෙ අපිට වෙනම ලෝකයක් මැවුවා. ඒ ලෝකෙට අද යන්න පුලුවන් හිතෙන් විතරක් උනත අදත් මම වැස්සට කැමතියි..

    ReplyDelete
    Replies
    1. අපේ පුංචි කාලෙ ගොඩක් තැන් වලට අපිට යන්න පුළුවන් හිතෙන් විතරයි දැන්.

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. කාලෙකින් දිග පෝස්ට් එකක් දාල තියෙන්නෙ.
    ඔන්න අපිත් එන්නයි හදන්නෙ තව සතියකින් විතර. ඔයාල නම් දැන් බාගයක්ම වැඩ ඉවරයිනෙ.

    ReplyDelete
  16. සන්තෝසයි ඔයාගෙ පෝස්ට් එක දකින කොට.මමත් වැස්සට හරි ආසයි. හිරිකඩ එන නිසා දොර බාගෙට වහගෙන වැස්ස දිහා ඇති තරම් වෙලා බලන් ඉන්න පුලුවන්. මාසෙන් පස්සෙ කොහෙද යන්නෙ?

    ReplyDelete