Wednesday, June 5, 2013

දෛවය කළ සරදම්

අපේ වාට්‍ටුව ශල්‍ය වාට්‍ටුවක්. ඒත් පිටතින් බලන කෙනෙක්ට එය  ශල්‍ය වාට්‍ටුවක් ද නැතිනම් අනතුරු ඒකකයක්ද (trauma unit) කියල සැකයක් මතු වෙනව ඇති නො අනුමාවම.

ඒ තරමට හදිසි අනතු වලට මුහුණ දුන් රෝගීන් අපේ වාට්‍ටුවෙ ඉන්න නිසා...ඒ අගෙන් වැඩි හරියක්ම "බල්ලෙක් පැනල බයිසිකලය පෙරලුන
" අය. 
එහෙමත් නැත්නම් "පාරෙ යනකොට රණ්ඩුවක් බේරන්න ගිහින් ගුටි කාපු අය." 
බලද්දි රණ්ඩු කරන්න ගිහින් තුවාල වුණ කෙනෙක්වත් , කට ගොන්නක් බීගෙන ගිහින් බයිසිකල් වලින් පෙරලිලා තුවාල වුණ කෙනෙක්වත් කොහෙවත් නෑ....... :p

ඉතින් මේ වගේ අහිංසක රෝගීන් ඉන්න අපේ වාට්‍ටුවට පහුගිය දවසක රෝගියෙක් ඇතුළත් වුණා.... 
ඔහුට නිසියාකාරව ඇවිදින්න බැහැ.හේතුව ටික කලකට පෙර උකුල් ඇටයට හානි සිදු වීම. 
ඔහුගේ රෝග ඉතිහාසය නම් අන් අයට වඩා වෙනස් වූවක්. 
බල්ලෙකු පැන බයිසිකලය පෙරලීම හෝ රණ්ඩු බේරීමට ගොස් ගුටි කෑම නොවේ... 
දුර ප්‍රදේශයක පතලක වැඩට ගොස් , පස් කන්දකට යට වීමයි ඒ සඳහා හේතු වී තිබුණේ. එහි ප්‍රතිපලයක් ලෙස එතෙක් කෙරගෙන ආ ජීවිකාව තව දුරටත් කර ගෙන යාමට නොහැකි තත්වයකට ඔහු පත් වී තිබුණා....

මේ එදිනම හවස   රෝහලේදී මා දු‍ටු තවත් චරිතයක්...

වේලාව - අමුත්තන් සඳහා වෙන් වූ රෝහල් කාලය
ස්ථානය - රෝහලේ ආපන ශාලාව
චරිතය - නම නොදන්නා කාන්තාවක්

කිහිලි කරු දෙකක අධාරයෙනුයි ඇය පැමිණියේ.. ඇගේ එක් කකුලක් දණහිසට ඉහළින් කපා දමා තිබුණා.

"මට සිලි බෑග් එකකට තේ ටිකක් දාලා දෙන්න" ආපන ශාලා හිමියාගෙන් ඇය ඉල්ලා සිටියා.

උණු වතුර බෝතල් නොමැති බොහෝ රෝගීන් ආපන ශාලාවට පැමිණ තේ කෝප්පයකට දමා ‍රැගෙන යනු මා දැක තිබෙනවා. නමුත් කිහිලි කරුවලින් පැමිණි ඇයට ඒ සඳහා හැකියාවක් නැහැ...

ආපන ශාලා හිමියාගේ මොළයට පෙර කට ඉස්සර වුණා.
"මෙහෙ ශොපින් බෑග් වල තේ දාගෙන යන්න දෙන්නෙ නෑ. කෝප්පයක් අරන් එන්න"

"එයාට කෝප්පයක් අරන් යන්න බෑ..." මගේ වචනයට නිහඬ වූ ආපන ශාලා හිමියා ඇයට තේ ලබා දුන්නා. ඈ එය ‍රැගෙන යන අන්දම මා බලා සිටියේ සතුටින්, එමෙන්ම ශෝකයෙන්..

වතුරට වඩා තරමක් උකු වූ තේ කෝප්පය අවසන් කර මාද සුළු වේලාවකින් අපේ වාට්‍ටුව වෙත පැමිණියා. ඒ වන විට රෝගීන් බැලීමේ වේලාව අවසන් වන්නට ඉතිරිව තිබුණේ ඉතා සුළු වේලාවක් පමණයි. මා හට ආපන ශාලාවේදී හමුවූ කාන්තාව මගේ නෙත ගැ‍ටුණේ අහම්බයෙන්. රෝගියෙකු අසලට වී සිටි ඈ මා හට ලෙංගතු සිනහවක් පෑවා. මගේ සිත උත්සුක වුණේ ඇගේ රෝගියා කවරෙකුදැයි දැන ගැනීමට.

පුදුමයක්!
ඒ මා කලින් සඳහන් කළ පතලට යට වූ රෝගියා. 

ඔවුන්ගේ කතාව දුක්බරම කතාවක්.

ඇයගේ කකුල අහිමි වී තිබුණේ සුනාමියේදී තාප්පයකට යට වීමෙන්.  ඇඟලුම් කම්හලක සේවිකාවක වූ ඇයට එතැන් පටන් සිය ජීවිකාව අහිමි වී තිබුණා. ඉන් පසුව පවුලේ සියල බර කරට ගත් ඔහුද ඉන් වසර 5කට පසුව පස් කන්දකට යට වීම සැබැවින්ම හ්දෛවෝපගතයි. 
තවමත් පාසල් යන ඔවුනගේ දරුවා ජීවත් කරවන්නට ඔවුන් දෙදෙනා "කුලී වැඩ" කරන්නේ කෙලෙසකදැයි මට තවමත් සිතා ගැනීමට අසීරුයි.



24 comments:

  1. මේව කියවද්දි අපි මැසිවිලි නැගීම ගැන ලැජ්ජා හිතෙනවා. මොන තරම් දුක්බර ජීවිතද? ඒත් බලන්න උත්සාහය.

    මම සින්හල බ්ලොග් එකක් පටන් ගත්තා. වෙලාවක් තියෙනව නම් ඇවිත් යන්න. gimannivannie.blogspot.com

    ReplyDelete
    Replies
    1. පුළුවන් විදියට ඇවිත් යන්න එන්නම්... සුබ පැතුම්

      Delete
  2. මේ පුද්ගලයන් ගැන විස්තර දැන ගන්න ක්‍රමයක් ලබා දෙන්න පුළුවන් නම් වටිනවා සිඳු. මගෙ බ්ලොග් ප්‍රොෆයිල් එකේ තියෙන මේල් එකට ඒ විස්තර එවන මෙන් කාරුණිකව ඉල්ලමි.

    ReplyDelete
    Replies
    1. මේ පුද්ගල්යො ගැන විස්තර නම් මම ගොඩක් දන්නෙ නෑ. ඒත් තව අය ඉන්නව උදවු අවශ්‍ය. ඒ අය ගැන මම කියන්නම්. ලොකු උදවුවක් වේවි ඒ මිනිස්සුන්ට

      Delete
  3. අම්මෝ ... පිස්සු හැදෙන්නෙ නැතිව ඉන්නව ඇති. මට නම් ඔය රෝහලක තුවාල වෙච්ච මිනිස්සු ඉන්න වාට්ටුවකට ලෙඩෙක් බලන්න යන්න හිතෙන්නෙත් නෑ. වරදවා හිතන්න එපා, ඒ මට සමහර දේවල් දරා ගන්න අපහසු නිසා. මේ වගේ සිදුවීම් ගැන ඇහුවම හිතෙන්නෙ පිටින් පේන තුවාලවලටත් වඩා ඔවුන්ගෙ ජීවිතවල අභ්‍යන්තර තත්ත්වය කණගාටුදායකයිනේ. සම්පත් බෙදීයාම අතින් ලෝකය කොයිතරම් විෂමයිද - ඇති එවුන්ට දරා ගන්න බැරි තරම් තියෙනව. ඒත් තව තවත් අවශ්‍යත් ඒ අයටමයි. මේ වගේ අසරණ වුනු මිනිස්සුන්ට මොකුත්ම නෑ.

    ReplyDelete
  4. දුක සාපේක්ෂයි. අන්තෙටම වැටුන කෙනෙක්ට වුනත් දරා ගැනීමේ හැකියාව තියනවා නම් 'දුක විඳවීම' කියන දේ අඩු වෙනවා. දරා ගැනීමේ හැකියාව අඩු, දුක නොවිඳපු නොදැක්ක අය නොසැලකිය යුතු තරම් දේටත් විඳවනවා වැඩියි. අද කාලේ ගොඩක් අය එහෙමයි නේද! මේ වගේ අන්ත අසරණ වුනු මිනිස්සු දරා ගන්න දුක් කරදර ගොඩක් දෙනෙක්ට හිතා ගන්නවත් බැරි තරම් බරයි.

    ReplyDelete
  5. මේ වගේ මිනිස්සු අනික් හැමෝටම ආදර්ශයක්.. දුක දරාගන්න පුළුවන් මිනිස්සුන්ගේ ජීවිත හුඟක් සාර්ථකයි..

    ReplyDelete
  6. දෛවය මෙච්චරම අකාරුණික වෙන්නේ ඇයි කියලා හිතාගන්ට බෑ. :(

    ReplyDelete
  7. සිඳූ. ඔයාට ඔය දැනෙන වේදනාව අවුරුදු ගනනාවක් ඔය ක්ෂේත්‍රයේ වැඩ කලාට පස්සෙත්, එතකොට විශේෂඥවරියක් වුනාට පස්සෙත් දැනේවා.

    ඔයා සංවේදී කෙනෙක්. නමුත් සමහරු නම් නිර්වින්දනය වෙලා ඉන්නේ.

    ReplyDelete
  8. පෙර භවයක සිදු කල අකුසල් වෙන්න ඇති...මොනවා උනත් සල්ලිකාරයො නිකරුනේ එක රැයකට ලක්ෂ ගණන් සූදු කෙළලා, ක්ලබ් ගිහිල්ලා නැති කරන රටක මෙවැනි දුකට පත් වෙච්ච මිනිසුන්ට උපකාරයක් වෙන්න කිසිවෙකුත් නෑ...අපිට උදව් කරන්න තිබුනා නම් කියලා හිතුනට සල්ලි නෑ...සල්ලි තියෙන එකාට උදව් කරන්න ඕනෙ කියන හැගීම නෑ...

    ReplyDelete
  9. මේ වගේ ජීවිත කොයි තරම් නම් තියෙනවද.. දන්න කීප දෙනාට හරි උදව්වක් කරන්න පුලුවන් නම් ලොකු දෙයක්!

    ReplyDelete
  10. ඉස්සර මන් ජාතික රෝහලේ සේවය කල කාලේ හදිසි අනතුරු අංශයට ලෙඩෙක් බලන්න යන්න වුනොත් හරිම අමාරුයි . ඒ වගේම පිළිස්සුම් අංශයට . අනික් වාට්ටු වලත් ඉන්නේ මිනිස්සු තමයි . නමුත් අනතුරක් වෙලා මාස ගණන් රෝහලක ඉන්න එක හරිම සංවේගදායක අත්දැකීමක් . ඒ කාලේ තරුණ හමුදා නිලධාරින් බුරුතු පිටින් හදිසි අනතුරු අංශයට එන කාලේ . ලෙඩ්ඩු වගේම මට බලන්න බැරි දෙයක් බලන්න එන පවුලේ අයගේ අසරණා මුහුණු . සිදු ඔන්න ඔය ගැන හිතද්දී ඔවුන් එක්ක උදේ හවා වැඩ කරන්න වෙන ඕගොල්ලන්ට මගේ හිස නැමෙනවා

    ReplyDelete
  11. තවත් කෙනෙකුගෙ වේදනාව තමුන්ට දැනෙන එක එක අතකට ඔබ වැන්නන් ලබපු විශේෂ ගූනයක් උනත් එයින් විඳින පීඩාව අපමණයි නේද ?

    ReplyDelete
  12. අත්පා නැතිව වුනත් ජීවිතය ජය ගන්න වෙර දරන මේවගේ අය දකිනකොට සමහර වෙලාවට අතපය හොඳට තියන අපි ගැනම ලැජ්ජා හිතෙනවා..

    ReplyDelete
  13. නිකං කරකවල අතෑරියා වගේ දැනුණා. සමහර වෙලානට මේවගේ සිද්ධි එක්ක කර්මය පළදිම ගැන මෙනෙහි කරන්න වෙනවා. නැත්නම් දෙන්නටම එහෙම වේවිද? ඒ අතින් බලනවිට ජිවිතය කියන්නේ දෛවයේ හාස්කමක්.

    ReplyDelete
  14. බොහොම සංවේදී... මේ අයගේ ජීවිතේ ඇත්තේ දුකමයි. වෙලාවකට හිතට හරි මුස්පේන්තු හැඟීමක් ඇති වෙන්නේ සිදු.. ඒත් ඉතින් ඉස්සර ජේෂ්ඨයෙක් වටහා දුන් ආකාරයට, රෝහල් කියන්නේ සතුටුවෙන්න එන කානිවල් නෙමෙයි. එනිසා කඳුළු පෙරාගෙන වැඩ කරන්න බෑ....

    ReplyDelete
    Replies
    1. ඒක හරියටම හරි අක්ක. ඕනාවට වඩා දුක් වෙන්න ගියොත් රෝහලක වැඩ කරන්න ගොඩක් අමාරුයි. ඒත් පහු ගිය ටිකේම වුන ගොඩක් දේවල් දුක හිතෙනව. විශේශයෙන්ම දැන් මම ඉන්නෙ ළමා වාට්‍ටුවෙ නිසා.පුලුවන් වෙලාවට ලියන්න ඕනා.

      Delete
  15. සමහර වෙලාවලට, එකම මනුස්සයෙකුට, දුක් කරදර පෙරළගෙන පහර දෙන ස්වභාවයක් පෙනෙන්නට තියෙනවා නේද? පුංචි කාරණා ඉවසාගත නොහැකිව සියදිවි හානි කරගන්නා මිනිසුන් මැද, මේ මිනිසුන් ජීවිතයට මුහුණ දෙන්නෙ කොහොමදැයි හිතාගන්නටත් බැහැ. මේ අයගෙ ජිවිතවල මූලික අවශ්‍යතාවයන් ගැනවත් වග බලාගත හැකි ක්‍රමවේදයක් ඇති කළ හැකිනම්...

    ReplyDelete
    Replies
    1. thank you Akka, (i think I saw you at LRH 2 days back.)

      Delete
  16. Dear Sir/Madam

    If You Can please give me there details By Email.



    ReplyDelete
    Replies
    1. I'm sorry Asela, I don't have their personal details with me at the moment. but i will see if I can find. Thank you. but there are so many other helpless people we meet. if you are intereted, i can provede details about people who needs help.

      Delete
  17. මේ ලිපියට මෙපමණ කලක් මගේ ඇස නොගියේ මන්දැයි පසුතැවිලි වන්නෙමි. මනා සංයමයකින්ද ලියැවුනු වටිනා නිමැවුමකි

    ReplyDelete
  18. මේ ලිපියට මෙපමණ කලක් මගේ ඇස නොගියේ මන්දැයි පසුතැවිලි වන්නෙමි. මනා සංයමයකින්ද ලියැවුනු වටිනා නිමැවුමකි

    ReplyDelete
  19. මේ වගේ දේවල් කියවද්දි එක අතකට අපි කොච්චර දුකක් විදිනවද කියල හිතෙනවා, ඇයි වැඩිපුරම මේ කතා අහන්නේ වෙන කවුරුත් නෙවේ වෛද්‍යවරු, අනෙක් අතට අපි කොච්චර වාසනාවන්තද හිතෙනවා ඒ ඔවුන්ට පිහිට වෙන්න අපිට යම් දෙයක් කරන්න පුලුවන් නිසා..

    ReplyDelete