මගේ දුයිෂෙන්

නුඹද මා ගැන ගී කියන්නට
එකම පොප්ලර් ගසක්වත් නැති
නමුදු නුඹ ගැන සිත සිතා මම
සැදූ එක කහ මල් ගහක් ඇති

නිමල වූ නුඹෙ අරුම සෙනෙහස
මතක කැටි වුණ සිනිඳු මල් පෙති
සුළ‍ඟෙ තාලෙට විසිරෙනා විට
යළි යළිත් මට දැනි දැනී ඇති

සුරත අල්වා අකුරු ගලපා
වදන් නම් නුඹ ලියැවුයේ නැති
ලොවම මා නෙතු ඉදිරියේ නුඹ
පොතක් සේ නෙක දිග හැරූ සැටි

සිතට රහසෙම නැගුණු ප්‍රේමය
සෙල් රුවක් සේ සඟව ගත් සැටි
මහ මෙරක් විය දුන්නු දිවියම
නුඹට මා තව තවත් ණය ගැති

සිනා සෙන්නට ඉගැන්වුව නුඹ
නෙතේ කඳුලැලි පිස දැමූ සැටි
කවි ලියන්නට නොදැන සිටි නුඹ
ම'සිත එක් කවියක්ම කළ සැටි

නොපළ ප්‍රේමය අහිමි වී ගිය
රසෝඝය නුඹ, නුඹත් දන්නැති
නුඹයි දුයිෂෙන්, කිසි දිනෙක
නුඹ නමින් කවියක් මා ලියා නැති.....!



















(මේ කවියට අදාලම නැති දෙයක් අහන්න යන්නෙ....
මට ගූග්ල් ක්‍රෝම් වලින් කාගෙවත් බ්ලොග් එකකටවත්, මගෙ බ්ලොග් එකේවත් කිසිම කමෙන්ට් එකක් දාන්න බෑ. කොච්චර ලොග් වුණත් ලොග් වෙලා නෑ වගේ පෙන්නන්නෙ. මොකද්ද ඒකට හේතුව? වලින් වැඩ කරද්දි එපා වෙනවා)






Comments

  1. tools වල extensions වලට ගිහින් පොඩ්ඩක් බලන්න. අනවශ්‍ය දෙයක් තියෙනවනම් අයින් කරලා උත්සහා කරලා බලන්න.

    ReplyDelete
  2. නොපළ ප්‍රේමය අහිමි වී ගිය
    රසෝඝය නුඹ, නුඹත් දන්නැති
    නුඹයි දුයිෂෙන්, කිසි දිනෙක
    නුඹ නමින් කවියක් මා ලියා නැති.....!

    කාලෙකින් කියවපු ලස්සන කවියක් යාළු...ඉස්සෙල්ලම අද මේ පැත්තේ ආවේ වර්ණ බ්ලොග් එකේ ලින්ක් එකකින්...දිගටම ලියන්න...අපි දිගටම එනවා....

    ෴හිතුවක්කාරයෙකුගේ සටහන්෴

    ReplyDelete
  3. කවිය ලස්සනයි අක්කෝ..

    ක්‍රෝම් වල විතරද අවුල තියෙන්නේ?

    ReplyDelete
  4. කවිය ලස්සනයි. මෙතන බලන්න ගතහැකි දෙයක් තියනවද කියලා.

    ReplyDelete
  5. අන්තිමට අහල තියෙන්නෙ තාක්ෂනික ගැටළුවක් නොවැ..

    මදැ කවියට උත්තර බදින්න ආව :)

    ReplyDelete
  6. මේ කවිය නම් සුපිරියි නංගො .... මටත් ක්‍රෝම් එකෙන් ඔය වගේ ප්‍රශ්ණයක් තිබුනා. ෆොලොවර්ස් ලා පෙන්නුවෙත් නෑ. දැන්නම් උන්නු ගමන් ඒක හරි යනවා වගෙයි.

    ReplyDelete
  7. ලස්සනයි කවිය... !
    ගොඩක් කට්ටිය රුසියාවේ දුයිශෙන් ගැන කතා කලාට කවුරුවත් අපේ රටේ අපේම දුයිශෙන් ගැන කතා වෙන්නේ නෑ.. :(

    අපේම ගුරු ගීතයක්..

    ReplyDelete
  8. මමත් ඔන්න පළමු වතාවට බ්ලොග් කියවනය ඔස්සේ බ්ලොග් බලන්න ගත්තා. ඇත්තමයි... අදමනේ දන්නේ මේ මම නොදු‍ටු පැත්තක්. ගොඩක් අය ලියනවනේ.

    අපූරු පද පෙලක්නේ.
    අඳුනගන්න ලැබුනාට සතු‍ටුයි. ලස්සනට ලියනවා ඔබ.

    ReplyDelete
  9. නැතත් පොප්ලර් තුරක් නිම්නයෙ
    නැතත් ඉස්කෝලයක් අයිලයෙ
    නුඹේ පෙම් පාසලේ ගුරු වී
    මමත් දුයිෂෙන් කෙනෙක් වන්නෙමි..

    සිහිනෙකින් වුව සෙනෙහ බැඳුමෙන්
    නුඹේ ලොව මල් පිපෙනු දකිනෙමි
    ඒත් දුයිෂෙන් නික්මි අයුරින්
    නුඹ ව හැර යනු නොහැක ලතැවෙමි...!!

    ReplyDelete
  10. හරි ලස්සනයි. ආඩම්බරයි ඔබ ගැන.

    ReplyDelete

Post a Comment