Tuesday, April 15, 2014

වෙනස් පුරයක තනි වීමු

අධිවේගී මාර්ගයේ යනවට වඩා වේගෙන් වාහනේ පාර දිගේ ඇදිලා යනවා. වෙන කිසිම වාහනයක් නෑ. පාර දෙපැත්තෙම කැලෑව. "හවසට අලිත් ඉන්නව පාරෙ." රියදුරා කියනව. ගැහි හැහී තියන හිත තවත් වේගෙන් ගැහෙනව.

සමහර තැන් වල ඝන මීදුමෙන් පාර වැහිල.
දුරකතනයෙන් මම අපි ඉන්න ඉසවුව හොයන්න උත්සහ කරනව. GPS අමාරුවෙ වැටිලා දඟලනව. මම උත්සහය අත් අරිනව.

කැලෑව අයිනෙ පාරෙ ලොරි 5ක් විතර එක පෙළට නවත්තලා. අපි ඒවත් පහු කරගෙන ඉස්සරහට යනව.
"ඊයෙ ‍රැ ඉඳන් යන ලොරි වල කට්ටිය. නිදාගන්නෙ ඔහොම තමයි" ආයෙ රියදුරා කියනව. එයාට නින්ද යයි කියන බයටම අප්පච්චිත් ඉවරයක් නැතුවම කතා කරනව. ගමේ පන්සලේ විස්තර වල ඉඳන් ජිනීවා සමුලුව වෙනකම් මාතෘකා එතන තියෙනව.

තරු එකින් එක නිමෙන්න පටන් අරන්. මීදුම තව තවත් වැඩි වෙනව. පාර පෙනෙන නොපෙනෙන ගාන. වාහනේ වේගෙ ටිකක් අඩු වෙලා. 
වීදුරුවට එහායින් තියෙන කැලෑවට උඩින්  යන්තම් එළියක් මතු වෙලා. ඉර පායගෙන එනවා සීතල මීදුම එක්ක.

ඉස්කෝලෙ යන්න කලුවරේම එලියට බැහැපු ළමයි වගේම අපේ වාහනේ පහු කරගෙන වේගයෙන් යන මෝටර් සයිකලුත් ඉඳල හිටල පහු වෙනව. 

දැන් ඉර ගොඩක් උඩට නැගලා. ඒත් මීදුම ඉර වහගෙන.වාහනේ වීදුරුවෙ බැඳුන පිණි බින්දු අස්සෙන් ඒක ලස්සන දර්ශනයක් මවනව. ගෙදරින් එනකොට තිබුණ චකිතය වගේ හැඟීම ටික ටික තුනී වෙලා යනව.


පාරෙ වයර් උඩ නැගලා ඉන්න එක එක කුරුල්ලො මට පේනව. ඈත ගස් වල තවත් හීතලට ගුලි වෙලා ඉන්න මොණරු පේනව. හිතුවට වඩා මෙහෙ හොඳයි වගේ කියල මට හිතෙනව.

ගෙවල් අඩුයි. සමහර වෙලාවට කිලෝ මීටර් ගාණකටම ගෙයක් නෑ. උදේට කන්න කඩයක් හොයා ගන්න ලැබුණෙ අමාරුවෙන්.
"*******ට තව කිලෝ මීටර් 10ක් විතර තියෙනව."
 කඩේ මුදලාලි කැඩුණ සිංහලෙන් කියනව.

ඒ කිලෝ මීටර් 10ත් පහු වෙනව. ගෙදරින් කිලෝ මීටර් 260 ගාණක් ඈත් වෙනව.

කරදිය හුළඟත් එක්ක මිශ්‍ර වුණ අමුතුම පරිසරයක් ඇහැ ගැටෙනව. නළලෙ තිලකය තියලා මෝටර් සයිකලේ පැත්තට හැරිලා ඉඳගෙන යන වැඩි හිනාවක් නැති කාන්තාවො දකිද්දි අපි දැනගෙන හිටිය ලංකාවට වඩා ලොකු වෙනසක් දැනෙනවා. 
හැම දුරකතන කඩයකම micromax බෝඩ් ගහලා. 
අකුරු ටික අමාරුවෙන් අමුණගෙන කියවද්දි , රූපවාහිනී සියල්ලෙම දකුණු ඉන්දියානු නාලිකා පමණක් විකාශය වෙනවා දකිද්දි ,අපි ඉන්නෙ ලංකාවෙ නෙමේද කියලත් හිතෙනව.

ඒ අතර දකින "ශ්‍රී ලංකා පොලීසිය" කියන බෝඩ් එක හිතට ආරක්ෂා කාරී බවක් දනවනව අන් කවරදාටත් වඩා. වෙනදට පොලිසිය දකිද්දි අහක බලාගෙන යන අපි දැන් පොලීසියෙ කෙනෙක් පාරෙ දැක්කත් හිනාවෙලා පාරක් හරි අහනවා. ජාති වාදී කමක් නෙමේ. දන්න භාශාවෙන් කතා කරන්න ඒ තරමටම ආසා වෙලා.

සති 2ක් ගත වුණා. ඒත් තවම දන්නෙ දෙමළ වචන කීපයයි. වාක්‍යක් හදා ගන්න බෑ. ඒත් එක සිංහල වචනයක් වත් බැරි මෙහෙ බහුතරයකට වඩා අපි වාසනාවන්තයි කියල හිතෙනවා මොකද තව අවුරුද්දකට එහා මෙහෙ ඉන්න අපි වෙනත් භාෂාවකුත් ඉගෙනගෙන මෙහෙන් යන නිසා.

නුපුරුදු මුහුණු, 
කෑම වල නුපුරුදු රස, 
නුහුරු වචන 
නොදැකපු රූපවාහිනී නාලිකා ...... මේ සියල්ලම ගෙදර මතක් කරනව. 

කලින් හිටිය රෝහලේ දාහක් අඩු පාඩු පෙනුන මට දැන් ඒ රෝහල සුර පුරයක් වගේ මතක් වෙනව. ඒත් මෙහෙ රෝගීන් ගැන හිතද්දි ඒ මිනිස්සුන්ට වඩා මේ මිනිස්සු ගොඩක් පැති වලින් අහිංසකයි අසරණයි කියල හිතෙනවා.

අවුවට පිච්චෙද්දි ,කාමරේවත් ඉන්න බැරි වෙද්දි ,දවසට දෙතුන් පාර නාන්න හිතෙද්දි ,‍රැට දාදිය නිසා නිදා ගන්න බැරි වෙද්දි, ප්‍රභාකරන් මොනවට මේ ප්‍රදේශ අල්ල ගන්න මෙච්චර දැඟලුවද කියල හිතෙනවා. සමහර කඩවල් වලට යද්දි සමහර පුද්ගලයො එක්ක වැඩ කරද්දි ප්‍රභාකරන්ගෙ අවතාරය තවමත් තියෙනවද කියලත් හිතෙනවා.

ඒත් තවම සති දෙකයි. මොනවත් තීරණ නිගමන වලට එළඹෙන්න තවම වේලාසන වැඩියි. 
හවසට මුහුද අයිනට ගිහින් ඉර බහිනකම් බලන් ඉද්දි, හිතට දැනෙන කවදාවත් මින් පෙර නොදැනුණ ,නිදහස් සුන්දර හැඟීමත් එක්ක මම බලන් ඉන්නවා.



35 comments:

  1. සිදූ උතුරේ රෝහලකට ගියාද,,එහෙනම් අන්තිම කොන වගේ කතා ටිකක් කියවන්න පුලුවන් වෙයි අපිට..සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ටික කාලෙකින් ලියන්න පටන් ගන්න ඕන. තවම නම් මූඩ් ‍ෆික්ස් මදි

      Delete
  2. සුබ ගමන් .අලුත් අත්දැකීමක් ..ලෝකයේ කොනක සහ අනික් කොණ බ්ලොග් දෙක මට හැමදාම පටලවෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බින්දි

      Delete
  3. මම මුලින් හිතුවේ අනිත් කොණගේ ලිපියක් කියලා. එයත් ඔය වගේ පරිසරයක වැඩ කලානේ. අලුත් භාෂාවකුත් ඉගෙන ගෙන, තව අත්දැකීම් ගොඩකුත් එකතු කරගෙන, අපිට පෝස්ට් ගොඩකුත් ලියලා, රටේ නොදැකපු තැන් එහෙමත් බලාගෙන ආපහු යන්ට ලැබෙන එක කොච්චර වාසනාවක්ද කියලත් හිතෙනවා...

    එලිය වැටෙන හැටි ලියලා තියෙනවා හරි ලස්සණයි සිඳු...

    ReplyDelete
    Replies
    1. මොනව නැතත් අලුත් භාශාව නම් අති සීග්‍ර ලෙස ඉගෙන ගැනෙනවා. දැන් දැන් ඇක්සන්ට් 1ත් වෙනස් වේගන යනව වගේ

      Delete
  4. අප්පටසිරි.... උතුරට ගියා ද ?

    ReplyDelete
  5. දැන් ඉතිං ගිය තැන හොදින් වැඩ ටික කරගෙන ඉන්න ගමන් සතියට එකක්වත් පෝස්ට් දාන්න බලමු.. අපිටත් ඔහේ තත්වය ගැන දැනන්නත් එක්කලා...
    පරිස්සමට සිහි කල්පනාවෙන් හිටිං...

    ReplyDelete
    Replies
    1. මෙහෙ තත්වය නම් තවම තේරුම් ගන්න අමාරුයි මාරයියෙ. බලමු. සිහි කල්පනාවෙන් ඉන්න කියල නම් අම්මත් කිවුව.

      Delete
  6. පරිස්සමෙන් සියලු වැඩ කටයුතු සාර්ථකව කරගන්න ලැබේවා....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිතු

      Delete
  7. ඒ කියන්නේ දැන් සීමාවාසකේ ඉවරයි? දැන් වැඩ? යාපනේද සිඳු? Best of luck!

    ReplyDelete
    Replies
    1. යාපනේටම යන්න වුනේ නම් නෑ. ඊට ටිකක් පහලින්. ;-)

      Delete
  8. ඔහොම අලුත් අත්දැකීමක් ලැබෙන එකත් ලොකු දෙයක්නේ නේද? ගුඩ් ලක් සිදු

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සයුරි,

      Delete
  9. එහෙහම් ඉතින් අළුත් තැනත් එක්ක අපිට වෙනස්ම විදිහේ කතා ගොඩක් කියවන්න පුළුවන් වෙයි වගේ.. සුබ පැතුම් අක්කේ..

    ReplyDelete
    Replies
    1. කතා නම් ගොඩක් තියෙනවා කියල හිතෙනව මල්ලි. ඒත් තව ටික කාලයක් ඉන්න වෙනවා.

      Delete
  10. සුභ පැතුම් !!! පරිස්සමට සතුටින් අලුත් තැන ඉන්න ලැබේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මදාරා

      Delete
  11. නෑසියන් දෙමාපිය සොහොයුරන් නැතිව ඈත එපිට ගිය විට බොහොම හිත් සංකා ගෙන දෙනවා නංගී නමුත් බොහොම සතුටුයි ඔබ මේ සියල්ල උපේක්ෂාවෙන් විඳ ගන්නා අයුරු දුටු විට... ඔබටත් ඒ කාලය සුන්දරව ගත කරන්නට සුභ පැතුම් එවන්නෙමි අද මම රටේ මේකොණ අගනුවර සිට ... නමුත් ඇත්තම දේ නම් ආයේ යන්න වුනොත් ඒ පැති වලට බොහොම ආසාවෙන් යන්න පුළුවන් මතකයන් රැසක් සහ පිරිවර ඉතිරි කර ආ නිසා කැමැත්තෙන්ම යා හැකි බවයි. ඔබේ අත් දැකීම් සියල්ල කතා බවට පෙරලලා, ඒවා බෙදා ගන්නකම් අපි බලාගෙන ඉන්නවා නංගී ..... සියලු විඳීම් තාවකාලිකයි !

    ReplyDelete
    Replies
    1. මෙහෙ එන්න කලින් අක්කා කිවුව වචන ටිකත් ලොකු සැනසීමක් වුනා අක්කෙ. තවමත් එහෙමමයි.

      Delete
  12. ඔන්න ඉතින් මේ කොනෙන් ගිය දොස්තර නෝනා අනිත් කොණේ කතා ලියයි.. අපි බලං ඉන්නෙ. හරිද ? අර ඉස්සර වගේ ඉඳහිට කතාවකුත් ලියමු ..

    ReplyDelete
    Replies
    1. ලියමු ලියමු සරත් අයියෙ. ඒත් තවම හිත නිදහස් නෑ වගේ දැනෙනව

      Delete
  13. සුභ පැතුම් සහෝදරිය...උතුරේත් දකුණේත් ඇත්තේ එක ලෙසට හදවත ගැහෙන මිනිසුන් කොටසක් බව ඔබට නුදුරේදීම වැටහේවි. ජය !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා

      Delete
    2. ස්තූතියි සිරා

      Delete
  14. සිදු අක්කා උතුරට ගියාද ? ඇත්තමයි අක්කා මට හරි ආඩම්බරයි ඔයා ගැන.....හැම දෙයක්ම හොදින් කර ගන්න ලැබෙන්න කියලා සුබ පැතුම්!

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. පෝස්ට් එක කියවලා දවස් කීපයක් වුනත් කමෙන්ට් එකක් දාන්න විවේකයක් තිබුනේ නෑ එක පෙළටම වැටුණු සමුගැනීමේ සාද නිසා. සිඳුලා මේ පැත්තට එනවත් එක්කම මෙහේ හිටපු අපි ගම්රටවල් බලා යන්න සූදානම් වෙනවා. ඔයා හිත කලකිරුණ ගතියකින් අද මේ පෝස්ට් එක ලිව්වත් ඒත් කවදාහරි තව මෙහෙන් යන්න ලැබෙන දවසකට මෙහේ දාල යන්න බැරි තරම් කණස්සල්ලක් දැනේවි. ඒ තරමටම ඔයාලත් මේ ප්‍රදේශවල ජීවිතේට අනුගත වේවි. මේ පෝස්ට් එක දකිද්දි මට එකපාරටම මතක් වුනේ මේ පලාතට ආව අළුත මම ලියපු ලිපිය. ඈත ඉමේ සිට ලියමි මේ ලිපි දෙකේ පුදුම විදියෙ සමාන බවක් තියෙනවා. ඒ ලිපියට කවුද මන්දා ළමයෙක් මෙන්න මෙහෙම කමෙන්ට් එකකුත් දාල තිබුණා.. "මෙහෙම සිග්නල් තියනවනම් ඇති. මමත් දැන් බය නෑ.... මේ තො‍ටුපල පැත්තෙ වුණත් යන්න. අයියෙ අපිටත් පොඩි ඉඩක් තියලා තියන්නකො එහෙනම්, ලබන අවුරුද්ද පටන් ගනිද්දි විතර..."
    ජීවිතේ වෙලාවලට හරිම පුදුමයි නේද සිඳු....?

    ReplyDelete
    Replies
    1. පුදුම ජීවිතයක් තමයි. ඒ මොනව වුනත් ලොකු වෙනසක් දැනෙනවා මෙහෙ. මම කිවුව වගේ තීරණ වල එන්න තවම කල් මදි. අයියගෙ අලුත් රෝහලේ වැඩ කටයුතු සේරම සාර්ථක වෙන්න ප්‍රාර්තනා කරනවා

      Delete
  17. ජීවිතේ කියන්නෙ අත්දැකීම් ගොඩක්....හැම අත්දැකීමක්ම ජීවිතේට පාඩමක්....ඔබේ නව සේවා ස්ථානයේ රාජකාරි කටයුතු සාර්ථක වේවා!!!

    ReplyDelete