නොනිමි කවියේ අවසානය

මගේ දැහැනින් මිදුණු කවියක්
කොහේදෝ දුර පාවුණා
සොඳුරු කවියේ ඉ රුණ කවි පද
නොදම් සුළඟට හසු වුණා
අවුණමින් සිටි කවියෙ රොන් සුණු
බිඳී දස අත විසිරුණා
කවියෙ අවසන් සිනහ බිඳුවක්
මගේ කඳුලට මුසු වුණා....

දෑස් යොමවා ගවු ගණන් දුර
විසිරි කවි පද අමුනණා
අලුත් කවියක් යලි ලියන්නට
වරු ගණන් සිත ලත වුණා
විරිත් එකිනෙක ලිහී ගොස්, කවි
ඇඳුණ පත් ඉ රු බොඳ වුණා
සිතෙහි ඇඳගත් කවියෙ හැඩ රුව
අතර මග හිඳ නැවතුණා......

නේක තාලෙට ගැයුණ ලියැවුණ
සහස් කවි ගී හමු වුණා
සිතෙහි බැඳි හුරු ස්වරය නැති සඳ
සොඳුරු කවි එහි මියැදුණා
හද දැවූ ඒ සොඳුරු කවි මල
යළි සිඹින්නට සිත් වුණා
බිඳී විසිරුණ කවියෙ වදනක්
හමු වෙතැයි සිත නැවතුණා......

මග නැවති සිත හැර දමා ගිය
ජීවිතය දුර ඉගිලුණා
මොහොතකට නැවතුමක ‍රැඳි සඳ
පුරුදු ස්වරයක් හමු වුණා
සිත් පොතෙහි ලියු පළමු කවියේ
බිඳුණ ස්වර යළි හැඩ වුණා
බිඳී යළි සැදු කවියෙ නව රුව
කඳුලු සිත හා හිනැහුණා..........



Comments

  1. පද වල අමුතු ලස්සනක් තියෙනවා අක්කෝ

    ReplyDelete
  2. අපූරුයි...
    ඇත්තටම ලස්සන කවියක්
    ජයවේවා

    ReplyDelete
  3. අනේ මං කවදා
    මෙහෙම කව් පද බඳීවිද
    සිඳු වැනි කවිඳියන් වැඩ දැක
    තනි ඇහැට නො ඇඬී තියේවිද

    ReplyDelete
  4. ලස්සනයි අක්කේ..

    ReplyDelete
  5. අහඹු හමුවක දැනෙන නුහුරක
    ආග-අන්තුක බව දැනා
    කොහොම උන්නත් ලබැඳි කවියට
    ඇසත් මනැසත් යා වුණා
    රැකෙන එළිවැට තනුව සරිලන
    පද එකින් එක මිමිණුනා
    ඇරඹුමක් මිස අවසනක් නොව
    මහළු කවි හිත පිබිදුනා...

    ReplyDelete
  6. Appreciate your blog posst

    ReplyDelete

Post a Comment