Thursday, September 11, 2014

නොගැලපෙන කතා දෙකක්


එක්තරා යුගයකදී මා අසාමාන්‍ය ලෙසින් ලිවීමට ප්‍රිය කළා. විදුසර ට "රෝහලේ විත්ති" ලිවුවේත් ඒ කාලයේදීමයි. මේ එසේ විදුසරට ලියූ එක් ලිපියක්. එය රෝහලේ විත්තියක් ම නොවූවත්, මගේ සරසවි ජීවිතයට බොහෝ සෙයින් අදාල වූවක්.

ලෝකයේ කොනට ලිපි හිඟ වෙමින් තිබෙන කාලයක , ඒ පි‍ටුව ටිකකට පුරවන්න මේ ලිපිය ආයෙමත් ලියන්න හිතුණා....


එපමණක් නොවේ.... 
මගේ රස්සාවට මම ආදරෙයි. ඒය මට දැනෙන්නේ ‍රැකියාවක් ලෙස නොවේ. 
එය බොහෝ වෙලාවට මගෙ හිතට සතුටක් ගෙන දෙනවා. අසනීපයකින් සිටි රෝගියෙක් ආයෙමත් හිනා වෙනව දකිද්දි එන සතුට හිතට දැනෙන්නත් එක්තරා විදියක වාසනාවක් තියෙන්න ඕනා. 

මේ විදියටම සිතන තවත් බොහෝ දෙනා සිටිනවා. ඒත්, අතලොස්සක් දෙනා සිදුකරන විවිධ නොහොබිනා කම් නිසා, මේ සේවයේ වටිනා කම නොදැනෙන ලෙස හැසිරෙන ඇතැමුන් නිසා, පහු ගිය දින වල වෛද්‍ය සේවය හෑල්ලුවට ලක් කෙරෙන අන්දමේ කතා බස් බොහොමයක් සිදු වුණා... 
මේ ලිපිය නැවත පළ කරන්න, එයත් එක හේතුවක්

******************************************************
1.
අවුරුදු පහක්‌ පුරාවට අකුරු කළ සරසවිය, අත්දැකීම් සම්භාරයක්‌ තුළින් බොහෝ දේ ඉගැන්වූ ශික්‌ෂණ රෝහල යන දෙකට ම සමු දෙන්නට කාලය ඇවිත් කියන කණාගාටුදායක සිතිවිල්ලත් එක්‌ක ම පසුගිය දිනෙක සිදු වුණු පුංචි සිදුවීමකින් හිතට ඇති වුණු කම්පනයකින් තවමත් හිත දෙදරුම් කනවා. ඒත් එක්‌ක ම තවත් කතා ගොන්නකුත් හිතට ගලාගෙන එනවා. ඒ හැම එකක්‌ ම පෙළින් පෙළ ගැසෙන අතරතුර කලින් සඳහන් කළ සිදුවීම ඔබට කියන්නට හිත වෙර දරනවා. 

කාලෙකින් හමු නො වුණු මිතුරියන් දෙදෙනෙක්‌ හමු වෙන්න මගේ සිත පෙරුම් පුරාගෙන හිටියා කාලයක්‌ තිස්‌සෙම... හමු වෙලා කතා කරන්න අපි තෝරා ගත්තේ විහාරමහා දේවී උද්‍යානය.

මම එහි යන විටත් ඔවුන් දෙදෙනා පැමිණ තිබුණා. 
ඇතුළට යන්න හැඳුනුම්පත පෙන්වන්න අවශ්‍ය වන බව පිළිබඳව මා හට එතරම් අවබෝධයක්‌ තිබුණේ නැහැ. කුමක්‌ හෝ හේතුවක්‌ නිසා ජාතික හැඳුනුම්පත එදින මා අතින් ගිලිහී තිබුණා. 

එම උද්‍යානයේ ගේට්‌ටුව භාර ව සිටි ආරක්‌ෂක නිලධාරියාට පෙන්වන්නට මා අතේ තිබුණේ විශ්වවිද්‍යාල හැඳුනුම්පත පමණයි. 
යුද්ධය පවතින කාලයේ පොලිස්‌ හමුදා මුර කපොලුවලින් පවා පිළිගත් සරසවි හැඳුනුම්පත කිසිදු පැකිළීමකින් තොර ව මම ආරක්‌ෂක නිලධාරියාට පෙන්වා සිටියා. 

"මේ මොකද්ද මේ? කිසිදු විමසීමකින් තොර ව ම ඔහු එය නැවත මා දෙසට දිගු කළා. 

"ඔය මගෙ කැම්පස්‌ අයිඩින්ටිය අන්කල්, අනිත් එක ගෙනත් නෑ...."

"මේවාට ඇතුළට යන්න දෙන්න අපිට පිස්‌සු කියලා හිතුව ද?

අනපේක්‌ෂිත පිළිතුරෙන් මා මොහොතකට ගොලු වුණා. 
එහෙත් ඉතා ඉක්‌මනින් තරහ ගැනීමේ මගේ දුර්වලතාව ඊළඟ මොහොත් මතු වුණා. 

"ඔයාට මේක පිළිගන්න බැරි වුණාට මේක වෙන ඕනෑ තැනක පිළිගන්නවා" නොපහන් ස්‌වරයකින් මගේ මුවින් පිට වුණා. 

ඔහු ගේ ඊළඟ පිළිතුර මම කිසි සේත් ම අපේක්‌ෂා කළ පිළිතුරක්‌ වූයේ නැහැ. 

"ඔව් ඔව්... මේ රටේ කැම්පස්‌ පිළිගන්න හැටි අපි දන්නව හොඳට... පත්තරවල ටීවීවල අපි දකිනව නේ..." 

ඔහු ගේ පිළිතුරේ ගැබ් වූ උපහාසයට ඔහු ගේ මුවින් සහ හඬින් නික්‌මුණු සිනහව ඌන පූරණයක්‌ එක්‌ කළා. කොණ්‌ඩය අමුතු ම විලාසිතාවකින් හැඩ ගන්වා, රිදී පැහැති මහත දම්වැල් කර වටා දමාගෙන අපේ සංවාදයට කන් දෙමින් එතැන සිටි කවුදෝ දෙදෙනෙක්‌ ද මහා හඬින් නැතත් ඒ සිනාවට දායක වුණා. 

තවත් එතැන සිටීමට මට සිත් වුණේ නැහැ. මිතුරියන්ට දුරකථන ඇමතුමක්‌ දුන් මම ඔවුන් සමග පිට වුණේ නැවත කිසි දිනෙක එහි පස්‌ වත් නො පාගන බව සිතා ගනිමින්. 

සරසවි සිසුන් පිළිබඳව ඇතැම් දෙනා දරන මේ ආකල්පය ගැන සිතන විට ඇති වන්නේ විශාල කලකිරීමක්‌. සරසවි සිසුන් අතින් සිදු වන වැරැදි පමණක්‌ ම දකින සමාජය, ඔවුන් අතින් සිදු වන දහසකුත් එකක්‌ යහපත් ක්‍රියා හමුවේ ඇස්‌ කන් වසා සිටින්නේ කෙසේ ද යන්න සැබැවින් ම ගැටලුවක්‌.

එම නිසා ම මගේ සරසවි දිවිය තුළ අත්දැකීමට ලැබුණු සංවේදී සිදුවීමක්‌ මෙසේ දිග හරින්නට සිතුණා. 

2.
ඒ තවත් විඩා බර දවසක දහවලක්‌... ආපන ශාලාව පිරී ඉතිරී තිබුණා... දිවා ආහාරය ඉක්‌මනින් නිමා කර දේශන සඳහා යැමට සූදානම් වන සිසුන් සහ අනිකුත් කාර්ය මණ්‌ඩලය ඇතැම් අයත් යුහුසුලුව ම ආහාර ගත්තා... 
ඒ අතර ඉතිරි වී විසි කරන ආහාර වෙනුවෙන් බලා සිටින තවත් පිරිසක්‌ ද එතැන සිටියා. ඒ ඔබ මොබ ඇවිදිමින් සිටි සුනඛයන් පිරිසක්‌. ප්‍රදේශයට ම අණසක පතුරුවමින් සිටි ඔවුන් කිසිදු පිටස්‌තර සුනඛයකු හට ඒ ප්‍රදේශයට වත් පැමිණීමට ඉඩ දුන්නේ නැහැ. 

ඒ අතරතුර බැලීමට වත් ප්‍රසන්න නො වූ ලොම් හැළී ගිය බැල්ලියක්‌ හෙමින් හෙමින් ආපන ශාලාව වටා ඉව කරන අයුරු බොහෝ දෙනා දුටුවා. ඇය සිටියේ පැටවුන් ලැබීමට ඉතා ආසන්නවයි. එහෙත් ඇය වෙත වූ දුර්ගන්ධය සහ ලොම් හැළී තුවාල වී තිබූ ශරිරය නිසා කිසිවකු ගේ අනුකම්පාවක්‌ ඇය හට ලැබුණේ නැහැ. වෙනෙකක්‌ තබා ආපන ශාලාවේ ආධිපත්‍යය පතුරුවාගෙන සිටින සුනඛ රැළ පවා ඇය කෙරෙහි පෑවේ රැවුම් ගෙරැවුම් පමණයි. බොහෝ දෙනා ඇය පළවා හරින්නට තැත් කළා. ඇය ගොස්‌ මිදුල කොනක ගුලි ගැසුනා. 

එතරම් දැක පුරුදු නො වූ වෛද්‍ය සිසුවකු බත් පාර්සලයකුත් රැගෙන ඇය අසලට යනු මා දුටුවේ ඒ අතරතුර දීයි. කුමක්‌ සිදු වන්නේ දොඅ සිතාගත නොහැකි ව ම මා ඒ දෙස බලා සිටියා. 

ඔහු බත් පාර්සලය දිගහැර ඇය අසලින් තැබුවේ කිසිදු පැකිළීමකින් තොරවයි. 
එතෙක්‌ වේලා ඇයට රැවුම් ගෙරැවුම් පාමින් ආපන ශාලාව අවට සිටි අනෙකුත් සුනඛයන් ද ටිකෙන් ටික ඒ දෙසට ළං වනු දැනීම තරමක සිනහ උපදවන්නක්‌ වුණා. එහෙත් උන් හට ඒ දෙසට වත් ළං වන්නට ඔහු ඉඩ දුන්නේ නැහැ. ඇය බත් කා අවසන් කරන තුරු ළං වන අනෙකුත් සියලු ම සුනඛයන් පලවා හරිමින් ඔහු ළඟට ම වී සිටියා. ඔහු එතැනින් නික්‌මුණේ ඇය අවසන් කළ බත් පාර්සලය ඔතා තිබුණු කොළය ද රැගෙනයි. 

මා පසුව දැනගත් පරිදි ඔහු අප ගේ තුන් වැනි වසරේ වෛද්‍ය සිසුවෙක්‌. දෙනෝ දාහක්‌ දෙනා බලා සිටින මෙහොතක, කිසිවෙකුත් පිළිබඳව තැකීමක්‌ නො කර, අසරණ සතකු ගේ කුසගිනි නිවන්නට වෙර දැරූ ඔහු පිළිබඳව මගේ සිතේ තවමත් ඇත්තේ මහත් වූ ගෞරවයක්‌. සතෙකු පිළිබඳ ඔහු ගේ ආකල්පය මෙය නම්, අසරණ රෝගීන් ඔහු වෙතින් කෙබඳු සැලකිල්ලක්‌ ලබනු ඇත් ද? 

ඔහු පිළිබඳව තවත් මා කිසිවක් පවසන්නේ නැහැ. නමුත්, මම මෙසේ පවසන්නම්.

අත්වැරැදීම්, මායාකාරී වූ වැරැදි ආකල්ප නිසා ගැරැහීම් ලබන වෛද්‍ය සිසුන් ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් කෙරෙහි බුද්ධියෙන් සිතා දෑස්‌ විවර කර බලන්නේ නම් නො දුටු විරූ අපූර්වත්වයන් ඔබට දකින්නට හැකි වේවි.

Image -  http://www.montrealdogblog.com/10075/survivor-dog-weak-emaciated-mercier/ , http://www.panoramio.com/photo/65981565 By Rajitha Lakmal

26 comments:

  1. මේ ආකල්ප අළුත් නැහැ සිඳු.. දශක කීපයකට කලින් මා සරසවි සිටි කාලෙත් එහෙමමයි.. හුඟක් එහෙම කතාකරන අය තමුන්ගෙ දරුවන් සරසවි වලය යා හැකි බව අමතක කරනවා.
    දේශපාලන පක්ෂ සිසු සංගම් යොදාගන්නෙත් තමුන්ගෙ පරමාර්ථ උදෙසා. ඒකත් එක හේතුවක්. සටන් කාමී සිසු නායකයෙක් වෙලා හිටි කෙනෙක් ඇමති වෙලා ඉන්න එක තවත් හේතුවක්..

    ReplyDelete
    Replies
    1. හැම දේටම දේශපාලනය රිංගාගත්තම , ඒ හැම තැනම කුණු තැවරෙනව. ඒක තමයි.
      ඇමති ගැන නම් කතා කරල වැඩක් නෑ

      Delete
  2. ඔතන සිඳු මෙහෙම දෙයක් තියෙනවා... කැම්පස් එකක් හෝ වේවා.. වෙන කුමන හෝ ආයතනයක් වේවා.. එහි සිටින පිරිස අතරින් බහුතරයක් කරන ක්‍රියාවන් නිසා මිනිස්සු ඒ අය ගැන ඇති කරගන්න ආකල්ප මේ වගේ තනි තනි පුද්ගල ක්‍රියාවන් මත වෙනස් කරන්න අමාරුයි. පොදුවේ සිඳු තියන මේ කාරණය පිටස්තරින් ඉන්න අයට දකින්න අහන්න වෙන්නේවත් නැති දෙයක්. නමුත් බහුලව අහන්න දකින්න වෙන්නේ උද්ගෝෂණ.. සත්‍යග්‍රහ වගේම ආක්‍රමණශීලි සරසවි සිසු ක්‍රියාකාරකම් වලට අදාල දේවල් උනාම මිනිස්සු සරසවි සිසුන් ගැන ඇති කරගන්න ආකල්ප වලට ලොකු වරදක් කියන්න බැහැ. අනිත් අතින් නවකවදය හරහා සිදුවන යම් යම් ක්‍රියාවන්ට මෙයිට වඩා ලොකු ප්‍රසිද්ධියක් එළියෙදි ලැබෙනවා.
    “සරසවි සිසුවකු අසරණ බැල්ලියකට බත් කවයි“
    “සරසවි සිසුන් පිරිසක් අමානුෂික ලෙස නවක සිසුන්ට වද දෙයි“
    කියන නිව්ස් දෙකෙන් කෝකද වැඩිය මිනිස්සුන්ට දැනෙන්නේ..? අන්න එතනයි වරද තියෙන්නේ.. ඒකට මිනිස්සුන්ට දොස් කියලා වැඩක් නැහැ. සරසවි සිසුන් කියන්නේ මේ රටේ මහන්සි වෙන මිනිස්සු හැම දෙනාගෙම මුදලින් ප්‍රයෝජනයක් ලබන පිරිසක්. ඉතිං උගතුන් හැටියටත්.. මිනිසුන්ට යම් වගකීමක් ඇති කොටසක් හැටියටත් මේ අය මෙයිට වඩා දෙයක් රට වෙනුවෙන් කල යුතුයි කියන දේ මිනිසුන් විසින් අපේක්ෂා කිරීම වරදක් නෙවෙයි. අපේ රටේ සරසවි සිසුන්ගේ ඉගෙනුම ලබන කාලේ රටේ පොදු යහපත උදෙසා කරන සමාජ සේවා වැඩවලට දායකත්වය වැඩිය පෙනෙන්නට ඇත්තේ නැහැ. (එහෙම දේවල් කරනවා ඇති.. නමුත් දකින්න ලැබෙන්නේ නැතිම තරම්) නමුත් ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ වැඩ පෙනෙන්නට ලැබෙනවා නිතරම පාහේ.. අඩුම ගානේ ඉගෙන ගන්නා කාලෙදි පොදු වැඩට සම්බන්ධ නොවුනත් ඉගෙන ගත් දෙයින් වැඩ කරන කාලෙවත් ඒ ඒ අයගෙන් යම් විශේෂත්වයක් දකින්න ලැබෙන්නේ නැති තැන.. මිනිස්සු ඒ අය ගැන ඇතිකරගන්න අයහපත් ආකල්පවලට කොහොමද දොස් කියන්නේ....

    නමුත් සිඳුත් දන්නවා ඇති පොදුවේ ගත්තම වෛද්‍යවරුන් ගැන මිනිස්සු අතර අයහපත් ආකල්ප තිබුනා උනත් යම් යම් තැන්වල ඉන්න යහපත් වෛද්‍යවරුන්ට ඒ ඒ පැතිවල මිනිස්සු දෙවියන්ට වගේ සලකන අන්දමත්... හැම දේටම ඉතිං කියන්න තියෙන්නේ අපි වපුරන දේට අනුව තමා අස්වැන්න කියලා තමයි. කණගාටුවට කාරනේ ඉතිං හොඳ මිනිස්සු අල්පයටත් පොදුවේ බනින කොට පහරවල් වැදීම තමයි.. ඒත් මොකද කරන්නේ..?

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් , හොඳක් ගැන කතා කරනවට වඩා, නරකක් ගැන ප්‍රචාරය කරන එකෙන් තමයි මාධ්‍යයක් වුනත් මාකට් වෙන්නෙ...
      අර කතාව නම් හරියටම හරි. මට හිනහත් ගියා
      “සරසවි සිසුවකු අසරණ බැල්ලියකට බත් කවයි“
      “සරසවි සිසුන් පිරිසක් අමානුෂික ලෙස නවක සිසුන්ට වද දෙයි“
      කියන නිව්ස් දෙකෙන් කෝකද වැඩිය මිනිස්සුන්ට දැනෙන්නේ..?

      Delete
  3. ආ අමතක උනා. ආයෙමත් මෙහෙම ලියන්න උනන්දු වෙන එකට බොහෝම ස්තූතියි... පුළුවන් නම් දැනට සේවය කරන පළාතට අදාලව මතුවෙන කතා ලියන්න පුළුවන්නම් තවත් හොඳයි.. මොකද ඔය පැතිවල මිනිස්සු හිතන පතන විදිය.. ඒ අයට තියෙන ගැටළු ගැන... පළාතට ආවේණික අපි නොදන්නා දේවල් ගැන අපි ඉතිං වෙන කොහොමනං දැනුවත් වෙන්නද.. මෙහෙම තැනකවත් ඒ ගැන ලිය වුනොත් මිසක... :D

    ReplyDelete
    Replies
    1. මේ පළාත ගැන ගොඩ දේවල් ලියන්න පුලුවන් වෙයි කියල හිතුණා. ඒත් බලන්නකො, අලුත් දේවල් හරි අඩුයි, ජන ජීවිතය සම්පූර්නයෙන්ම නෝමලයිස් වෙලා..... (which is really good)

      Delete
    2. එහෙම කියලා නිකං ඉන්නේ නැතිව කොහෙන් හරි “කොනක්“ අල්ලගෙන ලියන්න බලන්න... මොනවා උනත් ඔහෙත් “මිනිස්සු“ ඉන්නවා නෙව.. මිනිස්සු ඉන්න තැන්වල කොහේද කතා නැත්තේ..? :D

      Delete
  4. මිනිසුන් තුල විශ්වවිද්‍යාල ගැන තියන ආකල්පය වෙනස් කරන්න හරි අමාරුයි.. මොකද ගොඩක් ගම්බද පළාත් වල ගොඩක් මිනිස්සු තුල විශ්වවිද්‍යාලය කියන නම ඇහෙද්දීත් මතක් වෙන්නේ ප්‍රචණ්ඩ ක්‍රියා උද්ගෝෂණ වගේ දේවල්.... මාධ්‍ය හරහා වැඩි පුරම යන්නේ හොඳ දේවල් වලට වඩා නරක දේවල්නේ... වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය ගැනම ආකල්පත් විවිධාකාර හේතු නිසා වෙනස් වෙලා... මොකද හොඳ දේට වඩා නරක දේ මාර්කට්.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි, මට මතකයි අපේ අම්ම කැම්පස් යන්න හදනකොටත් සමහර අය කියල තියෙනවා "විශ්ව විද්‍යාලය කියන්නෙ හොඳ තැනක් නෙමේ ගිහින් ඉන්න" කියල

      Delete
  5. මේ සනි සිරි ලංකාව තුල හොද කරන මිනිස්සු ඉන්නව නේද හොදක් කරනව කියල බැනර් කටවුට් ගැහුවොත් දවසක් දෙක්ක මතක ත්යෙයි. එහෙන නැතුව කරොත් ඒ කරන කාර්යයේ ප්‍රතිලාභියාටත් ඒක අමතක වෙයි...
    ඒත් කවුරු හරි නරකක් කරොත් ඒක දසක ගානක්යනකං මතක තියාගෙන පැහැව පැහැව හිදියි...

    ඒක ලෝක ස්වභාවය නෙවී... සනි සිරි ලංකා ස්වභාවය...
    මිනිස්සු කැමති නෑ ආකල්ප වෙනස් කරගන්න

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඒක ඇත්ත තමයි. ඒක නෙමේ මොකද්ද සනි සිරි ලංකාව කිවුවෙ?

      Delete
  6. පොලීසියේ යහපත් මිනිසුන් කීපදෙනෙක් හෝ ඇතිනේ,නමුත් පොලිසිය පිලිබඳ සමාජ ආකල්පය යහපත් නැහැනේ.ඒ ආකල්ප වෙනස කරන්නත් බැහැනේ.ඉතාමත් ගෞරවනීය වෛද්‍ය සේවයේ නම කැළැල් කලෙත් වෙන අන්කිසිවෙකු නොව වෛද්‍යවරුන්මය..

    ReplyDelete
    Replies
    1. ඒක හරි.... හැම වෘතියක්ටම මේ දේ පොදුයි. මේක මගෙ ක්ෂේත්‍රය නිසා මට දැනෙනවා වැඩියි මේ ගැන
      (ඇනෝ පොලිසියෙන් ද?)

      Delete
  7. පලවෙනි කතාව නම් අපි හැමෝම අත් දකින දෙයක්, ජාතික හැදුනුම් පත නැතිව කැම්පස් හැදුනුම් පතට අවසර නොදෙන සමහර නිලදාරීන් තවමත් ඉන්නවා, ඒ වගේම තවත් අය ඒ දේ පිළිඅරගෙන යන්න දෙනවා, මිනිසුන් ඔවුන් කලින් එළඹ ගත නිගමන අනුව තීරණ වලට එළඹීම සාමාන්‍යයි, කල යුත්තේ එවැනි අය මග හැරීම පමණයි

    දෙවෙනි කතාව නම් අසා තිබුනා කලින්, එයට බුකිය හරහා මහත් ප්‍රචාරණයක් ලැබී තිබුනා, නමුත් එය ඔබ දෑසින්ම දුටු සිද්දියක් වීම අපුරුයි. මොනවා උනත් කතා දෙක එකිනෙකට සාපේක්ෂ මනුස්ස ජීවිත දෙකක් ගැන, ඔබ යන ගමනේ තවත් අපුරු මිනිසුන් ඔබට මුණ ගැසේවි, ඔබට තවත් කතා අහන්න දකින්න අත්විදින්න ලැබේවි,ඔබ තරහාව පාලනය කරගෙන කටයුතු කරන තාක් ඔබට මානසිකවසයෙන් පසු තැවීම් නම් ඇති නොවේවි, ඉදින් ඔබට ජය.

    ReplyDelete
    Replies
    1. දෙවෙනි කතාව බුකියෙ තිබුණා?? මේ සිදු වීමමද? නැත්නම් ඊට සමාන වෙනත් එකක් ද?
      වෙන සිදුවීමක් වෙන්න ඇති,මනුස්සකම තියෙන මිනිස්සු හැම තැනම ඉන්නව අපිට නොපෙනුනාට

      Delete
  8. සිතුවිලි විවිදාකරයි . ඔනම සිතුවිල්ලක් ද්‍රැවීයයි . ඉතින් එය ජනිත වෙන මිනිසුන් කෙසෙ වෙයිද . තවමද විශ්ව විද්‍යාලය සිසුන් කෙරෙහි ඇති ආකල්පය එසේය . එය හොද හැටි අත්විදිමි . හොදම දෙ අවබෝධයෙන් වැඩකිරීමය .

    ReplyDelete
    Replies
    1. අවබෝධයෙන් වැඩ කිරීම තමයි වටින්නෙ. ඒ වගේම උපේක්ෂාවෙන් මේ දේවල් දිහා බලන එක

      Delete
  9. අන්තිම කතාවේ එන සරසවි සිසුවා කවුරු වුනත් ඇත්තටම මනුස්සයෙක්.

    මනුස්සකම පිරුණු ඇත්තම ඇත්ත මනුස්සයෙක්..

    ReplyDelete
    Replies
    1. මේ සිසුවා මේ වන විට වෛද්‍ය වරයෙක් වෙන්න ඕනා, ඒ මනුස්සකම තවමත් ඔහු තුළ ඇතැයි සිතනවා

      Delete
  10. මටත් 3 වන වසරේ වෛද්‍ය ශිෂ්‍යයා ගැන ලොකු සතුටක් ඇති වුනා. ඔහුත් මගේ වර්ගයේම කෙනෙක් නේද කියලා. සුරතල් සතුන් කියන්නෙ අපේ ආදරය ලබන්න සහ අපට ආදරය දෙන්න මේ ලෝකෙට ආව කොටසක්...ඒ අයට අපි සමග වාචිකව සන්නිවේදනය කරන්න බැරි නිසා හොද අවධානයකින් ඉන්න ඕනෙ. සමහරු සත්තු හැදුවට පොඩි කාලෙ විතරයි සැළකිලි පස්සෙ උන්නද මළාද බලන්නෙ නෑ. අපේ නිවසේ බල්ලො හදන්න බෑ...වසර දෙක තුනකට පස්සෙ හොද කරන්න බැරි කරුම ලෙඩක් හැදෙනවා ස්ථිරයි. අන්තිමට හිටිය සුනඛ සුරතලා වසර 7 ක්ම තුවාල පිරිසිදු කරලා නෑව්වෙ මම...අපේ ගෙදර කිසිවෙකු මේ රාජකාරියට ඉදිරිපත් උනේ නෑ. උගේ ගද උහුලන්න බෑ කියලා.....මේ සතාගෙ අභාවයෙන් පස්සෙ මම තීරණය කලා කවදාවත් අපේ නිවසෙ සුනඛයො ඇති දැඩි නොකරන්න...බළලුන් පමණයි දැන් ඉන්නෙ....ඒ අයට කරදරයක් නෑ...

    ඔබ ලිපියේ ආරම්භයේ කියා තිබුන කොටස ලංකාවෙ මුල් බැහැපු තත්වයක්...කිසියම් ශ්‍රමික කණ්ඩායමක් අතර වැරැද්දක් කරන්නේ අතලොස්සක් වුවත්...ඒ වරද සමස්තය මතම අරෝපණය කරන්නට අපේ සමාජය උපන් හපන්.....සමාජයට බොහොම සේවයක් කරන්න පුලුවන් වෘත්තියක ඔබ නිරත වෙන්නෙ. සුභ පතනවා ඔබේ අනාගතයට....පොළොවේ පය ගසා ජීවත් වන දොස්තරලා තමයි අපේ අහිංසක මිනිසුන්ට අවශ්‍ය. ජය !

    ප.ලි - අපේ වෛද්‍ය ගැටලු ඉදිරිපත් කරන්නත් පොඩි තීරුවක් වෙන් කලොත් නරකද ?

    ReplyDelete
    Replies
    1. මම ජීවත් වන මැලේසියාවේ වෛද්‍යවරු දෙස රෝගීන් දෙවිවරු ලෙස බලන අයුරක් මට දිස් වෙන්නෙ නෑ. ඒ බොහෝ ප්‍රතිකාර මෙහි නොමිලේ නොවීමත්....දොස්තරලා ඉතාම සුලභව විසිරී පැතිරී සිටින නිසාත් වෙන්ට ඕනෙ.

      Delete
    2. වෛද්‍යවරුන් දෙවි වරු නොවේ, මනුස්සයො. නමුත් ඒ සේවය සඳහා යම් කිසි ගෞරවයක් තමත් මෙහෙ මිනිසු තුළ තිබෙනවා,
      අපේ රෝහලේ රෝගීන්ගෙන 1%ක් වත් සිංහල නොවේ.මුස්ලිම් හෝ දමිළ. නමුත් වෛද්‍යවරු 99%ක්ම සිංහල. ඒත් කිසිම බේදයක් නැතුව මේ මිනිස්සුන්ට පුදුමාකාර සේවයක් මේ හැමෝම කරනවා. ඒ ගෞරවය ඒ නිසා වෙන්න ඇති.

      Delete
  11. කොයි හැටි වුනත් වෛද්‍යවරුන්ගෙන් තවමත් විශාල පිරිසක් මනුස්සයෝ ලෙස සිටිනවා

    ReplyDelete
  12. මුළු සමාජයම එහෙමනෙ. බොහෝ දෙනෙක් තවමත් මනුස්සයො ලෙස ඉන්නව. සුළු පිරිසක් අමනුස්සයො වෙලා. මුලු සමාජයම මැනෙන්නේ ඒ අමනුස්ස කම් වලින්.
    වෛද්‍යවරුන්ට වෙලා තියෙන්නෙත් ඒක

    ReplyDelete
  13. විශ්ව විද්‍යාල පිලිඹද ඔය නොපහන් හැගීම බොහෝ දෙනා තුල ඇතිවී තිබෙන්නක්, මෙය ඉරිස්යාව සමග මුසුවුන හගීමක්ද කියලා වෙලාවකට හිතෙනවා. එක සැරයක් අපි මාලිනි ෆොන්සේකා උපහාර උළෙලක් සංවිධානය කරලා එහි ආරාධිත දේශනයට ප්‍රවීණ කළා කරුවෙකුට කතා කලාම ඔහු අහනවා " කැම්පස් වල ඔය වගේ දේවලුත් කරනවද ? අපි හිතුවේ ඔයාලා දන්නේ පිකටින් කරන්න විතරයි කියලා" කියල, ඉතින් කවර කතාද ?

    ReplyDelete
  14. මමත් ඉස්සර විදුසර පත්තරේ හැමදාම ගත්තා. ඒ දවස්වල පත්තරේ අතට ගත්ත ගමන්ම මම බලන්නේ "රෝහලේ විත්ති" ලිපිය. මම ඒක හුඟක් ආසාවෙන් කියෙව්වා. දැන් අවුරුදු 6කින් විතර මම විදුසර පත්තරයක් කියවල නෑ. ඒත් මට තාමත් රෝහලේ විත්ති ලිපි හුඟක් මතකයි. මට මතක විදියට ඒ ලිපි පෙල ලිව්වෙ "සි**පා සෙ****න කියල තෙවන වසර වෛද්‍ය ශිෂ්‍යාවක්.

    මම හිතන්නෙ ඒ ඔයා. මම අද අහම්බෙන් තමයි මේ blog එක දැක්කෙ. මුල් ලිපි කියවද්දි මට තේරුණා ඔයා වෛද්‍යවරියක් බව. ඒත් එක්කම මගේ ඔලුවට ආවෙ විදුසර පත්තරේ රෝහලේ විත්ති ලිපි ටික සහ ඒ ලිපි ලියපු වෛද්‍ය සිසුවිය. මේ ලිපිය කියෙව්වම තමයි මේ එයාමයි කියල දැනගත්තෙ. ඇත්තටම මට ගොඩක් සතුටුයි ඔයාගෙ blog එකට comment එකක් හරි දාන්න ලැබුණු එකට.

    ReplyDelete