ඩේවිඩ් සහ සිමෙන්ති සිංහයා

Day 0

හම් වලින් හැදුවා වගේ පේන, ධූවිලි ගෑවුණ මගෙ සින්තටික් පටි සෙරෙප්පු දෙකයි, ඒ සෙරෙප්පු දෙකටම ගෙවුණු ඩෙනිමෙ අඩියයි දිහා මම බලන් හිටියා. ඇය බලන් හිටියෙ සිංහයා දිහා. සිංහයා කිවුවට සිමෙන්ති සිංහයෙක්. නිදහස් චතුරස්‍රෙ අලුතින් හදපු සිංහ රංචුවෙ සිංහයෙක්.
කිසිම අංගපුලාවක් නැති සිංහ ධේනුවව පෙනෙයි වගේ අනිත් පැත්ත බලන් ඉන්න වැහැරුණු සිංහයො තුන්දෙනාගෙන් කැතම සිංහයා.



ඒ සිමෙන්ති රූප වට කරගෙන ගලන වතුර ටිකක් මම අතගාලා බැලුවා. ටිකක් සීතලයි. ඒවගෙන් ටිකක් අරන් මම ඇය දිහාවට විසි කළා.කෙලිලොල් මුහුණ ටිකකට අඳුරු වෙලා ආයෙම හිනා වුණා. ලා නිල් පාට බ්ලවුස් එකේ ඊට වඩා ටිකක් තද පාට පැල්ලම් කීපයක් හදන ගමන් ඒ වතුර ඇගේ උරහිස හා බඳ සිප ගත්තා. 

ඊළඟට ඇගේ දෝතින්ම එන වතුර ගොඩකට නැහැවෙන්න වෙන බව දැන දැනම මම එහෙමම වාඩි වෙලා හිටිය.ඒත් වතුරට නිදහසේ ගලන්නට ඉඩ හැරලා ඇය තව ටිකක් මට ලං වෙලා ඉඳ ගත්තා. ලා රෝස පාට ගල් අල්ලපු රිදී පාට බ්‍රේස්ලට් එකත් එක්කම , කලින් මට අයිති වෙලා තිබුණ ඇගේ අත සිංහයගෙ පිට උඩින් තිබ්බ. හරියට හිතක් පපුවක් නැති ඒ සිමෙන්ති සිංහයා මටත් වඩා වටිනව වගේ

"මේ සිංහ පිළිම දක්කම මට මතක් වෙන්නෙ රෝමයෙන්ද කොහෙන්ද හොයා ගත්තු මූර්තියක්. ඔයාට මතකද, වෘක ධේනුවකගෙන් ළමයි දෙන්නෙක් කිරි බොන එකක්....."

"රොමියුලස් රේමස් දෙන්නගෙ රූපෙ.... මේක දැක්කම් ඔයාට ඒක මතක් වෙන එක අහන්න දෙයක් නෙමේනෙ. ඒකත් මේ වගේම කැතයිනෙ....."

"කොච්චර කැත වුණත් ඒක දැන් මෙතෙන්ට එන හැමෝම දකිනවනෙ. කැතයි කියල ඇස් වහගෙන යන්නයැ. 
ඇරත්, හැමෝටම, මයිකල් ආන්ජලෝගෙ ඩේවිඩ් වගේ ලස්සන මූර්ති හදන්නත් බෑනෙ....."

"ඩේවිඩ් ලස්සනද?"

"ලස්සනයිනෙ. බලන්න ලැජ්ජ හිතෙන තරමට ලස්සනයි"

"ලැජ්ජ හිතෙන තරමට....."

"ඔව්.... 
ඒ තරම් රියලිස්ටික් ඒක"

"වෙලාවකට ඔයා ගැන දුකත් හිතෙනව. ලස්සන ඩේවිඩ් ගැන හිත හිත, කැනහිලෙක් වගේ ඉන්න මේ සිමෙන්ති සිංහයා බදාගෙන ඉන්න හැටි දැක්කම"

බ්‍රේස්ලට් එකත් එක්කම ඇය වහාම අත ඉවතට අරන් පරිස්සමට තමන්ගෙ උකුල උඩින්ම තියා ගත්ත.
"ඔයාට මේ වෙලාවෙත් විහිලු. අපිට මෙච්චර ලොකු ප්‍රශ්නයක් කතා කරන්න තියෙද්දිත්......."

"ඉතින් ඔයානෙ පටන් ගත්තෙ."

"ඔයානෙ දිගට ඇදගෙන ගියෙ"

"හරි අපි කතා කරමු "

"එක අතකට කතා කළා කියල විසඳුමකුත් නෑ"

"නැත්තෙ නෑ, තියෙනව. ඒත් ඒක විස‍ඳෙන්නෙ අපිට අවාසිදායක විදියට"

"ඇයි ඔයා උත්සහ කරන්නෙ නැත්තෙ මාව අයිති කරගන්න?"

"උත්සාහ කළා. ඒත් ඔයාව මට අයිති නොවෙන්න ඔයාගෙ තාත්තා දරන උත්සාහය ලඟටවත් එන්න මගෙ අසරණ උත්සහයට ශක්තිය මදි..."

"ඔයාට දුක නැද්ද?"

"දුකයි"

"ඔයා මට ආදරේ නැද්ද? "

"ආදරෙයි"

"ඇයි ආදරෙයි කියන එකත් ඔය තරම් නොසැලකිල්ලෙන් කියන්නෙ? ඒකවත් ආදරෙන් කියන්න බැරිඩ ඔයාට?"

"පුළුවන්, මම දන්න ආදරණීයම වචන වලින් ඒක කියන්න මටත් පුලුවන්. දුකයි කියල කඳුලු පෙරාගෙන අඳන්නත් මට පුළුවන්.... ඒත් ඒ හැම දෙයක්ම ඔයාට ඒ විදියටම මතක තියෙයි. මම කැමති නෑ ඒ මතකයත් එක්ක ඔයා ජීවිත කාලෙම විඳවනවා කියල හිතන්න"

"දැන් ඔයා කිවුව දේ ඒ හැම දේකටම වඩා මගෙ හිතට යයි කියල ඔයාට හිතුණෙ නැද්ද? ඒ වචන ටිකම ඇති ජීවිත කාලෙම මට විඳවන්න කියල ඔයාට හිතුණෙ නැද්ද?"

"........................................."

"ඇයි මෙහෙම වුණේ?"

"මම දන්නෙ නෑ, ඔයා උදේ හවස දෙවියන්ගෙන් ඉල්ලුව දේ ඔයාට ලැබෙන්නෙ නෑ නේද?"

"දෙවියොත් තාත්තගෙ පැත්තෙ, මමම් පුංචියිනෙ තාත්තට වඩා.... ඒ හින්ද දෙවියන්ට පේනව ඇත්තෙ තාත්තව විතරයි"

"අර ග්‍රීක මිනිස්සුන්ට වගේ ආදරේට අධිපත් දෙවි කෙනෙක් ලංකාවෙත් හිටියනම් , මටත් ඔයාව ඉල්ලලා බලන්න තිබුණා....."

"ආයෙම විහිලු"

"ඒකනම් කිවුවෙ විහිලුවට නෙමේ...."

"මේ අපි හම්බෙන අන්තිම දවසද?"

"මම දන්නෙ නෑ. ඔයාගෙ යෝජිත සැමියා එන්නෙ කවද්ද?"

"ලබන සඳුදා, ඒ වචනෙ කියන්න එපා. මම කැමති නෑ"

"ඒ කියන්නෙ තව දවස් 4යි. අපි ආයෙ හම්බෙන එකක් නෑ............."

*******************************************************************************
Day 4

පාර පාට කාර් අස්සෙන් මගෙ බයිසිකලෙත් ටවුමට ඇවිත්.
අවුවට ඇස් පිච්චෙනව වගේ. පාරෙ තාර උණු වෙලා ටයර් වල ඇලෙන ගාන. 
බයිසිකලේ චේන් එක කර කර ගාන්නෙ හිතත් සූරන්න වගේ.
හුස්ම හිර වෙනව වගේ දැනෙනව. ඇයටත් ඒ විදියටම දැනෙනව කියල මම දන්නව. ඒ වගේම මට එහ්ම දැනෙනව කියල ඇය නොදන්න බවත් මම දන්නව.
එක දවසක් හරි ඒ හිතට දැනෙන  විදියට ආදරෙයි කියල කියන්න තිබුණ නේද කියල මට හිතෙනව.

 ඒ අතර දුරකතනය නාද වෙනව. 
ඇය!!

ඇමතුම විසන්ධි කරනවද..... 
ඒ මොකටද. අපි දෙන්න තරහ වුණේ නෑනෙ....

"ඇයි මේ?"

"දෙයක් කියන්න ගත්තෙ......
අරගොල්ලො ඊයෙ ආවනෙ....."

"............................"

"අද ඒ මනුස්සයගෙ අම්ම අපේ තාත්තට කෝල් කළා"

"ඉතින් මොනවද කියල තියෙනෙ?"

"ඒ කොල්ල...... නෑ... ඒ මනුස්සය සුදුයි......."

"මම ඇහුවෙ මොනවද කිවුවෙ කියල"

"ඒක තමයි, ඒ මනුස්සය සුදුයි.... මම කලුයි.  පුතාට ගැලපෙන්නෙ එයා වගේ සුදු එක්කෙනෙක් කියල කියන්න කතා කරල තියෙන්නෙ....."

"ඉතින් ඔයාගෙ තාත්තට ඒ වෙලාවෙවත් හිතිල නැද්ද ඔයාට ගැලපෙන්නෙ මම වගේ කලු කොල්ලෙක් කියල.....?"

"විහිලු නෙමේ, මොකද කරන්නෙ අපි, තව මාස දෙක තුනකින් ආයෙ ප්‍රපෝසල් එකක් ගෙනෙයි......"

"ඒ කියන්නෙ අපිට මාස 3කට ආසන්න කාලයක් තියෙනව"

"මොනවටද?"

"ආදරේට අධිපති දෙවි කෙනෙක් ඉන්නවද කියල හොයන්න...... එහෙම කෙනෙක් නැත්නම් නිර්මාණය කරන්න..............."

විදේශ ‍රැකියා ඒජන්සිය පෙනි පෙනීම ,ආපසු යන්නට මම බයිසිකලය පාරෙන් අනිත් පැත්තට ගෙන යමි. අඩුම තරමේ මගේ අම්මා හෝ සතුටට පත් වේවි ! 




සැ.යු. - Independence Arcade හි ඉදි කර ඇති සිංහ රූප පිළිබඳව මෙහි සඳහන් මතය, මෙම කතා නායකයාගේ මතයක් මිස, මගේ පෞද්ගලික මතය නොවන බව සහ ඒ සඳහා මා වග නොකියන බව කරුණාවෙන් සලකන්න. ;-) 


Comments

  1. දැකපු ආදරණීය ආදර කතාවක්!!!

    කියලා තියෙන විදිය හරි අපූරුයි සිඳු...:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොඩ්ඩි. සරල වචන ටිකකින් ලියල බලන්න හිතුණා මේ පාර

      Delete
  2. ඔය සිංහයා දැක්කම මටත් ඔය වගේ හිතුනා ,
    "ආදරේට අධිපති දෙවියෙක් හොයන්න බැරිනම් නිර්මාණය කරන්න" ..ඒ කොටස හරිම අපූරුයි ...

    ReplyDelete
    Replies
    1. මමත් ආසම වාක්‍ය තමයි ඒක.
      ඒ සිංහයන්ව ඊට වඩා ලස්සනට හදන්න පුලුවන් කමක් තිබුනෙම නැද්ද දන්නෙ නෑ නේද?
      :-)

      Delete
  3. //විදේශ ‍රැකියා ඒජන්සිය පෙනි පෙනීම ,ආපසු යන්නට මම බයිසිකලය පාරෙන් අනිත් පැත්තට ගෙන යමි. අඩුම තරමේ මගේ අම්මා හෝ සතුටට පත් වේවි ! //

    පලා යන්න හදා ගත්ත හිතට මාස 3 හම්බ උනාම අයෙත් යු ටර්න් එකක් ගැහුවා නේද?

    ඔය සිමෙන්ති සිංහයෝ ළඟ එකතු වෙන වගේම වෙන් වෙන හිත් කොච්චර ඇතිද? ලස්සනට අකුරු අමුනපු කතාවක්. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔහොම පොඩි පොඩි යූ ටර්න් අපි කාගෙත් තියෙනවනෙ නේද?

      Delete
    2. ඔහොම පොඩි පොඩි යූ ටර්න් අපි කාගෙත් තියෙනවනෙ නේද?

      Delete
  4. පට්ටයි ඈ... පටිටයි කයන්නෙ මට නං බොක්කටම දැනුන...
    අපූරුවට වචන අමුණල තියෙනව...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. තැන්ක් යූ තැන්ක් යූ. :-)

      Delete
  5. //"ආදරේට අධිපති දෙවි කෙනෙක් ඉන්නවද කියල හොයන්න...... එහෙම කෙනෙක් නැත්නම් නිර්මාණය කරන්න..............."//

    //විදේශ ‍රැකියා ඒජන්සිය පෙනි පෙනීම ,ආපසු යන්නට මම බයිසිකලය පාරෙන් අනිත් පැත්තට ගෙන යමි. අඩුම තරමේ මගේ අම්මා හෝ සතුටට පත් වේවි ! //

    ගොඩක් හිතට වැදිච්ච වාක්‍ය දෙකක්... ජයෙන් ජය !!

    ReplyDelete
    Replies
    1. එහෙම දෙවි කෙනෙක් හිටිය නම් එහෙම එයාට වෙන වැඩක් නැති වෙයි නේ? :-D

      Delete
  6. අර සැ.යු. කොටස තියෙනවා නේද? ඕක දැම්මේ දැන් කාට පේන්නද? නාගරික සංවර්ධනේ දැන් හමුදාවෙන් කරන හින්ද බය හිතුන නේ? හෙක්... හෙක්... සාධාරණයි!

    මේ කතාව මම දන්නා කිපදෙනෙක්ගේම පොදු කතාව.

    ReplyDelete
    Replies
    1. අන්න හරි. මේ පෝස්ට් එකේ වැදගත්ම කොටස ඒක තමයි. ඒක දැම්මෙ මගෙයි බ්ලොග් එකෙයි මතු ආරක්ෂාවටනෙ

      Delete
  7. ලස්සන කතාවක්..ඒ ඒ දේවල් වලට ගැලපෙන උදාහරණ අරගෙන තියෙනව..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. metaphor සෑහෙන්න පාවිච්චි කරන්න උත්සහ කළා. සිංහයා, ඩේවිඩ්, හම් වගේ පේන සෙරෙප්පු, etc
      :-)

      Delete
  8. මට මේක අරුමයක් නැත්තේ මේ හා සමාන කෙටි කතාවක් මා ළගදි උපරිම රස වින්ද නිසයි. නැත්නං උඹ ලියුව එක තමා මම දහපාරක් වත් කියන්නේ.. ජය

    ReplyDelete
    Replies
    1. ඒක මොකද්ද කියල කියන්නකො දේශකයො...... ආසයි කියලවල බලන්න

      Delete
  9. ඩේවිඩ්ගෙ පින්තූරෙ බාගයයිනෙ

    ReplyDelete
    Replies

    1. අපෝ මුලු පින්තූරෙම දාන්න ලැජ්ජයි. ඒක ඒ තරම් ලස්සනයිනෙ

      Delete
  10. අන්න ඔයා ආපහු කතා ලියන්න පටන් අරන්.. නියමයි..

    ReplyDelete
    Replies
    1. ලියන්න දේවල් ගොඩක් මේ දවස් වල ඔලුවෙ තියේනව සරත් අයියෙ. ඒව කවුරු හරි ලියල දෙනවනම් කියල වැඩක් නෑ

      Delete
  11. අවුරුදු ගානකට වෙනස් කරන්න බැරි දේවල් මාස තුනකින්...
    කමක් නැහැ ඉතිං විඳවන කාලේ ටිකක් හරි පහු වෙනවනේ...

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නෙ නෑ මාරයියෙ ඒක වෙනස් කරන්න පුලුවන් වෙයි කියල. දෙවි කෙනෙක් අලුතෙන් නිර්මාණය කරන්න මාස තුනකින් බෑනෙ, ඒ නිසා කවදාවත් ඒ දෙන්නගෙ දෛවය වෙනස් කරන්න බෑ කියල තමයි කියන්න උත්සහ කළේ....

      Delete
  12. ලංකාවෙ ඉද්දි කරපු ඩිසයින් වැඩකදි ඩේවිඩ්ගෙ අහවල් එක පේන්නෙ නැති වෙන්න දාන්න කියලා කොළඹ සුපිරි නෝනලා ටිකක් හුරතල් වෙවී මට කියපු විදිය තමයි මතක් උනේ. ඒක සිංහ සමාජයක වැඩක්....

    ReplyDelete
  13. මාතෘකාව කියවන කොට හිතුනෙ ඔයා ග්‍රීක කතාවක් කියන්න යනවා කියල. හොඳට කුතුහලය අවුස්සල තියෙනවා.
    කතාව හරි ලස්සනට twist කරල ඔයට ඕන තැනට ගෙනත් තියෙනව. ගොඩක් රස වින්දා.

    මාත්, ප්‍රා ජේ වගේ අහන්න හිටියෙ, කෝ David ගෙ ඉතුරු ටික කියල!

    ReplyDelete
  14. ලස්සන කතාවක් සිඳු. සරල කෙටි කතාවක් වුණාට, හුඟක් රසවත් යෙදුම්වලින් අලංකාර වෙලා. එක හුස්මට කියවගන ගියා.

    ReplyDelete

Post a Comment