Saturday, October 25, 2014

දෙතොල් පෙති පියුමක්ව - විකසිතව හිනැහෙන්න

සිනහ මල් මගෙ නොවේ
එය මගෙන් නුඹ ගන්න
මට උරුම කඳුලු බිඳ
ආයෙමත් මට දෙන්න
නුඹේ දෙකොපුල් තෙමන
කඳුලු බිඳු බිම නොලා
ඒ කඳුලු එකතු කර
මගේ දෝතට දෙන්න

හද හඬන සිත දවන
සෙනෙහසේ චිතකයට
ඒ කඳුලු දිය දමා
සදහටම නිවන්නට

නෙතු විලේ උතුරනා
කඳුලු උල්පත වසා
එකම එක කඳුලකට
ආයෙමත් පණ දෙන්න

ඒ කඳුලු බිඳ නුඹේ
කොපුල් තෙමමින් ගලා
දෙතොල් ළඟ නැවති සඳ
විහ‍ඟෙකුට පවසන්න
විහඟ තෙම ත‍ටු සලා
එබැව් ගුවනේ ගයත
සෝ බරිත ගීතයක 
සොරය මට ඇසේවී

නෙත උපන් ඒ කඳුල
නුඹේ සුසුමන් සමග
මිය ඇදී වියැලිලා
දෙතොල් පෙති පියුමක්ව
විකසිතව හිනැහෙන්න
නුඹට ආසිරි දෙන්න 
මගේ හිත පතාවී


8 comments:

  1. //"හද හඬන සිත දවන
    සෙනෙහසේ චිතකයට
    ඒ කඳුලු දිය දමා
    සදහටම නිවන්නට""//

    මේ කොටසනම් ඉතාම අගෙයි

    ReplyDelete
  2. ලෝකයේ කොණක,
    එක්තරා මූදු වෙරළක,
    සුදු වැලි ගොඩක් මත,
    අපූරු බෙලි කටු කීපයක් ඇත...

    ReplyDelete
  3. කියන්න කිසිත් නොවැටහේ...//විමසා නැතිද කිසිදා ඔබත්...කඳුලින් තුරන් වූ ප්‍රේමයක්....//

    ReplyDelete
  4. අපුරු පද ගැලපුමක්

    ReplyDelete
  5. පතමි මම සුපිපෙන්න
    සියපතක වී දිනෙක...
    ලොව සියලු පෙම්වතුන්
    ප්‍රේමයෙන් මුසපත්ව
    හෙලන ඒ උණු කඳුලු
    ගලාවිත් යම් දිනෙක
    සැදේනම් දියවරක්...
    ඇඳින ගෙන සියළු දුක
    ඒ කඳුලු ඉකිබිඳින
    පවසන්න ලෝකයට
    පතමි මම සුපිපෙන්න
    සියපතක වී දිනෙක
    ඒ කඳුලු නිල් දියේ...

    ReplyDelete