ආයෙමත් වතාවක් කැරට් ෆේස් වොෂ් එකක් අරන් ආවා.
ඒකෙන් ටිකක් අතට අරන් මූණට ළං කරද්දි එන සුවඳ මතකයන් ගොඩක් චිත්‍රපටයක් වගේ හිතට අරන් එනව.
එක සුවඳයි.... මතකයන් සියයකට වැඩියි.....
ඒ නිසයි කොයි තරම් දේ වෙනස් කළත් තවමත් අවුරුදු ගාණක් තිස්සෙ මම වෙනස් නොකළ එක දෙයක් වෙන්නෙ මගෙ ෆේස් වොෂ් වර්ගය...........
පාසල නිමා වෙන්න ළං වෙද්දි අපි හැමදාමත් කන් යොමාගෙන ඉන්නෙ අල්ලපු පාසලේ සීනු හඬ ඇහෙනකම්. (සීනු හඬ කිවුවට ඒක නිකම් අර "චූන් පාන්" වාහනේක සද්දෙ වගේ සංගීතයක්. )
අපේ සීනුව වදින්න විනාඩි 5කට කලින් ඒ සද්දෙ ඇහෙනකොට හැමදාමත් අපි හිමින් හිමින් පොත් ටික අස් කරන්න පටන් ගන්නව.
ඒ හවස පන්ති යන්න ඉක්මන් වෙන්න.
පොත් ටික අස් කරගත්තට පස්සෙ මගෙ අත යන්නෙ පොත් බෑග් එකේ පතුලෙ හංගලා තියෙන චූටි බෝත්ලේකට.....ඒක අඟල් එකහමාරක් විතට උස වීදුරු බෝතලයක්, නිල් පාට මූඩියක් තිබුණ. ඉස්සර චිත්‍ර කරන කාලෙ පාවිච්චි කරපු පාට බෝතලයක්. ඒක ඇතුලෙ තමයි මම මගෙ ෆේස් වොෂ් දාගෙන ආවෙ.
ඉස්කෝලෙ ඇරිලා අමතර පන්ති යන්න කලින් හැමදාමත් ඒකෙන් මූණ හෝදගෙන යන එක මගෙයි යාළුවගෙයි පුරුද්දක්........... "මූණ හෝදගෙන ගියා කියල අපිව කවුරු බලන්නද....... " කියල හැමදාම හිනා වෙවී මූණ හේදුවත්, ඒ පුරුද්දෙන් මිදෙන්න නම් බැරි වුණා. (කවුද දන්නෙ අපිටත් secret admirers හිටියද කියල...;-) )
ඒ විදියට ෆේස් වොෂ් හොරෙන් අරන් ගියෙ අපේ ඉස්කෝලෙ ඒ දෙවල් තහනම් නිසා. දැන් හිතෙනව ඒකෙ මොකද්ද තියන වැරැද්ද කියලත්. ඒත් ඒ වගේ නීති තිබුණ නිසා තමයි අපේ ඉස්කෝලෙ ළමයින්ගෙ විනය නිරන්තරයෙන්ම පාලනය වුණේ.
ඒ පොඩි හොර වැඩේ මතක් වෙද්දි තවමත් හිතට මහා ලොකු වීර කමක් දැනෙනව.
ඒ නිසා තවමත් මම ඒ සුවඳ දිනපතා විඳින්න ප්‍රිය කරනව. මගෙ පාසල... ඒ සුන්දර කාලය, මගෙ යාලුවා........ ඒ හැමදේම මගෙ හිතට ගේන්නෙ මේ ෆේස් වොෂ් එක.................
ෆොටෝ එක ගත්තෙ මෙතනින්. ඡායාරූප ශිල්පියාට ස්තූතියි (https://www.flickr.com/photos/piaser/3418416845/)
කාලයක් මම ආසාවෙන් පාවිච්චි කළ ඩෙටෝල් කූල් සබන් එක , එක්තරා සිදුවීමක් නිසා මම පාවිච්චි නොකරන තත්වයට පත් වුණා. අදටත් ඒ සුවඳ මට ගේන්නෙ මහා මූසල හැඟීමක්.
මම මෙඩිකල් ෆැකල්ට් ගිහින් තුන්වෙනි අවුරුද්දෙ ටික දවසකින් මට cardiology stethoscope එකක් තෑග්ගක් හම්බුණා. ඒ වෙද්දි මට stethoscope එකක් තිබුණා වුණත් මගෙ නමත් කොටලා ලැබුණ ඒක මට ලොකු දෙයක් වුණා. (තවමත් තියෙන්නෙ ඒක. )
ඒ වෙද්දි heart sounds ගැන ලොකු ප්‍රායෝගික දැනුමක් මට තිබුනෙ නැ. තුන්වෙනි අවුරුද්ද කියන්නෙ සායනික පුහුණු වීම් ආරම්භ වෙන අවුරුද්ද. ඉතින් cardiology steth එකෙන් මම කළේ මගෙම හර්ද ස්පන්දනය අහල බැලීම.
ඒ වෙලාවෙ කවදාවත් ඇහුණෙ නැති පුන්චි "හෝ...." සද්දයක් මට ඇහෙන්න පටන් ගත්ත. මට ටිකක් බය හිතුණ. මහා ලොකු සද්දයක් නෙමේ..........
ඒත් ඒක murmur එකක්ද කියල අනියත බියක් මගෙ හිතට ආවා.තමන්ට දකින්න ලැබෙන රෝගීන්ට තියෙන රෝග තමන්ටත් තියෙනව වගේ හිතෙන එක ඒ කාලෙ සුලභ දෙයක්................ :-D
(සාමාන්‍ය ව්‍යවහාරයේ හර්දයේ සිදුරක් කියල හඳුන්වන තත්ව වල මේ වගේ වෙනස් සද්ද ඇති වෙන්න පුළුවන්.)
මම මගෙ ජීවිතේ හැම දේම මගෙ හොඳම යාලුවට කියන්න පුරුදු වෙලා හිටියෙ.
වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ. ඒකත් කිවුවෙ එයාට.
එයා පුදුම වුණා. මොකද මට ඉහෙන් බහින ලෙඩක් තියනව කියල කිසිම සලකුණක් තිබුණෙ නෑ පොඩි කාලෙ ඉඳන්ම......... ඒත් කාටද කියන්න පුළුවන් ජීවිතේ ගැන.
එයා දුන්නෙ එක උපදෙසයි. කාටවත් ඒ ගැන කියන්න එපා. අම්මලාට කියල ඩොක්ට කෙනෙක්ව හම්බෙන්න කියල.
ඉතාම අමාරුවෙන් හිත හදාගත්තු මම අම්මටයි අප්පච්චිටයි ඒ ගැන කිවුව.
ඒ දෙන්නා බය වෙන එක අහන්නත් දෙයක්ද, දුව මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්නෙ,
අනිත් එක ඉතින් අම්මලාත් හිතන්න ඇති "ඇත්ත තමයි..... කොච්චර කෑවත් කෝටුවක් වගේ. මේ ළමයට නම් මොකක් හරි ලෙඩක් තමයි " කියල.
(ලොකු විස්තරක් කියාගෙන ආව. මෙතෙන්ට කොහෙන්ද ඩෙටෝල් කූල් සුවඳ සම්බන්ද වුණේ? ඉන්නකො, කියන්නම්.)
මගෙ හර්දයේ සිදුර ගැන කතාව අහපු අම්මලා මාව එක්කන් ගියා ගෙවල් දිහා ඩොක්ට කෙනෙක් ළඟට. මාව පරීක්ෂා කරපු ඔහුත් කිවුවා ඔහුටත් ඒ වගේ සද්දයක් ඇහෙනවා කියලා.
මගෙ ජීවිතේම කඩා වැටුණා. පාර දිගේ ගෙදරට එනකම් මාව වෙවුලුවා. සීතලට මිනිස්සුන්ව වෙවුලනවා වගේ.
ගෙදරට ආව ගමන් බාත් රූම් එකට ගිය මම හොඳටම ඇඬුව. මගෙ හීන, මගෙ බලාපොරොත්තු, අම්මා, අප්පච්චි, මගෙ පුංචි නංගි ............... ඒ හැමදේම මතක් කරලා.
ඒ වෙලාවෙ බාත් රූම් එක පුරා තිබුනෙ ඩෙටෝල් කූල් සබන් සුවඳ......
ඒ නිසා තවමත් ඒ සුවඳ දැනෙද්දි ඒ එක්ක බද්ධ වුණ ඒ මහා අවාසනාවන්ත දුක්බර හැඟීම මට දැනෙනවා.
කියන්න අමතක වුණා. මටයි ගෙවල් ළඟ ඩොක්ටටයි දෙන්නටම ටිකක් විතර පිස්සු කියලා හිතුව අම්මයි අප්පච්චියි එදාම හවස මාව VP කෙනෙක් ළඟට එක්කන් ගියා.
එයා ඒ වෙලාවෙ රෝග නිර්ණය කළා මගෙ හර්දය නම් නිරෝගීයි.... ලෙඩක් තියනව නම් තියෙන්නෙ මගෙ මොළයෙ කියල.
Perfume සුවඳක් දැනෙද්දි කවදාවත් අප්‍රසන්න හැඟීමක් දැනිලා තියෙනවද....... මට ඒකත් වෙලා තියෙනව.
ඒ මම ෆැකල්ටි හිටිය හතර වෙනි අවුරුද්ද...... ඒකෙ තියෙනව forensic medicine විෂයක් වශයෙන්. ඒකෙ ප්‍රායෝගික පිහුණුව තියෙන්නෙ මෝචරියෙ මරණ පරීක්ෂණ කරන වෙලාවට.
ඒ දවස් වල මම පාවිච්චි කළේ එක්තරා වර්ගයක jasmine perfume එකක්. මම හැමදාම මෝචරියට යන්න කලින් ලේන්සුවක් ඒ perfume එකෙන් පොඟවාගෙන් තමයි ඇතුළට යන්නෙ.
ඇතුලට ගියගමන් නහයට තියාගන්න ඒ ලේන්සුව අයින් කරන්නෙ එළියට ආවට පස්සෙ.
ඒ පුහුණු කාල සීමාව අන්තිමට අපිට තියෙනවා පොතක අත්සනක් ගන්න අදාල අංශයෙ වෛද්‍යවරයෙකුට කියලා. ඒ තමන්ම මරණ පරීක්ෂණයක් කළාට පස්සෙ.
අපේ කණ්ඩායමෙන්ම මරණ පරීක්ෂණයක් නොකර හොරට ඒ අත්සන ලබාගත්තු දෙන්නගෙන් එක්කෙනෙක් මම.
ඒක ආඩම්බරෙන් කියන දෙයක් නෙමේ. ඒක වැරදියි තමයි. ඒත් තවමත් අර jasmine සුවඳ දැනෙද්දි මෝචරිය මතක් වෙන මම කොහොම මරණ පරීක්ෂණ කරන්නද................
සුවඳත් මතකයත් අතර තියෙන්නෙ පුදුමාකාර බැඳීමක්. විද්‍යාත්මක පසුබිම ගැන නම් හරි දැනීමක් නැති උනත් ඒ ගැන අත්දැකීම් නම් ගොඩක් තියෙනවා.
ReplyDeleteforensic medicine වලට නම් හැමෝටම නියමිත සුවදක් තියෙනවා වගේ. මම forensic medicine ලියපු පොතේ මොචරියෙ ගඳ එනවා කියල හැමතිස්සෙම ඒ පොත ගන්නවත් ගානෙ හිතෙනවා.
මට නම් එහෙම පොතක් තිබුනෙ නැද්ද කොහෙද? සේරම විශයයන් මම පොත් වල ලිවුවෙ. ඒ සේරගෙම හැඩ රුව හොඳට මතකයි. ඒත් ඒ පොතේ විදිය මතක නෑනෙ.
Deleteහරිම සුවඳ මිහිරි මතක ගොන්නක්...
ReplyDeleteහැමෝටම ඔයිට සමාන මතක සටහන් ගොඩක් ඇති..
-
පොස්ටුව නම් සුපර්...
තව ගොඩක් තියෙනවා ඒ වගේ මතක සුවඳ.... කවුරු හරි ටයිප් කරලා දෙනව නම් පෝස්ට් කරන්න තිබුනා....
Deleteස්තූතියි.
පොඩි කාලේ අපේ ගෙදර ලයිෆ්බෝයි සබන් පාවිච්චි කලා. ඒත් මට මතකයි එක දවසක් මළගෙදරක ගිහින් ආව කවුරු හරි ලයිෆ්බෝයි ගාලා නෑවා කියලා මම එදා ඉඳන් ලයිෆ්බෝයි සබන් දිහා බැලුවේවත් නෑ.
ReplyDeleteපොඩි කාලේ මරණය කියන එකට අපි කොච්චර අකමැතියිද? සිඳුලා වගේ රස්සා කරන අයට කොහොම වෙන්න ඕනෙද දැන් නම් ඕනේ දේකට ලෑස්ති වෙලා ඉන්නේ. ඒත් තවමත් මම මළගෙවල් වල යන්න නම් කැමති නෑ. මම හිතන්නේ ශෝකය එක්ක බැඳිලා තියෙන සුවඳ වල් හෙම හින්දා වෙන්නැති. පහන්, ඩෙයොඩොරන්ට් වර්ග හා එකි නොකී දේ.
මම NCIS series fan කෙනෙක්. හිටිගමන් ඒකේ මිණි කපන ඒවා හෙම බලද්දි මට අර ඔයාට දැනෙන ශෝකි සුවඳත් එනවා. හැබැයි ටී වී සේරිස් බලනකොට... ඇත්තට මෝචරියකට එහෙම යන්න වුනොත් හිතාගන්න පුළුවන් නේ...
ලයිෆ් බෝයි කියද්දි මතක් වෙන්නෙ මට අපේ කිරි අම්මව (අම්මගෙ අම්ම). මොන තරම් සබන් ජාති තිබුනත් එයා පාවිච්චි කළේ ඒක විතරයි.
Deleteමමත් මළ ගෙවල් වල යන්න කැමතිම නෑ. යන්නෙ නොගිහින් බැරි එකකට විතරයි.
මම බැලුවෙ නෑ NCIS. බලන්නම හිතිලත් බැලුවෙ නෑ, මොකද මම castle , mentalist බලලා මටම බයයි මට addict වෙයි කියලා
" "මූණ හෝදගෙන ගියා කියල අපිව කවුරු බලන්නද....... " කියල හැමදාම හිනා වෙවී මූණ හේදුවත්, ඒ පුරුද්දෙන් මිදෙන්න නම් බැරි වුණා. (කවුද දන්නෙ අපිටත් secret admirers හිටියද කියල...;-) )"
ReplyDeleteකීයෙන් කීදෙනෙක්ද ගෑණු ලමයි මෙහෙම පිළිගන්නෙ එයාල හැඩ වැඩ වෙන්නෙ පිරිමි ආකර්ෂනයට කියලා.. ඒ අතින් දොත්තල නෝනා අවංකයිනෙ..
හපෝ..... නොකියපු දේවල් දන්නෙ නැතුවම කියවෙලානෙ මගෙ අතින්.
Deleteඅපි කවදාවත් පේස් වොස් ගගා මූණ හෝදල නෑ නෙව...
ReplyDeleteමොන කුනු ගොඩක් තිබ්බත් කරන්න දෙයක් තියේ නං (කන්න් වුණත් ) කරල දාන එක නෙව...
බුහ් හහ් හා........ ඒ මං හතන්නෙ හැට වෙන්නැ....
අර සද්දයක් ඇහෙනව කියල කියද්දි අර ඩොක් ට මේ යකාට පිස්සුද කියල නොහිතුනා නං තමා පුදුම හිහි
පිස්සුද කියලා හිතුනා කියන්නෙ ඇත්තටම හිතුවා එයා මට depression කියලා.
Deleteමටත් පිච්ච මල් සුවද පේන්න බෑ..
ReplyDeleteඅකමැතියි කිවුවට ඒක කැමතිම සුවඳක් නේද? ;-)
Deleteබොහෝම හිතවත් කතාවක්..
ReplyDeleteමටත් තියෙනවා ඔහොම සුවඳ නෝක්කාඩුවක් ආමන්ඩ් සුවඳ ලක්ස් සබන් එක්ක.. ට්‍රේනින් කාලේ හොඳටම මුහුද තද (සැර) දවසක.. ගන් බෝට් එකක.. පාන්දර හතර පහ වෙනකම් ඇහැරගෙන වොච් එකේ ඉඳල පුංචිම පුංචි නින්දකින් පස්සේ ආපහු දවස අරඹන්න හිතාගෙන වොශ් එකක් දා ගන්න අමාරුවෙන් ගියා වොශ් කැබින් එකට.. ඒක පුරාම ආමන්ඩ් සුවඳ (මටනම් ගඳ).. ඕක්..ක්..ක්.. :)
ඔන්න ඉතින් බලන්නකො. මට ආමන්ඩ් වුවඳ මතක නෑනෙ
Deleteකොච්චර කාලෙකට පස්සෙද මේ පුරුදු ටයි පොල්ලක් දැක්කෙ
ReplyDeleteඅහ්........ මේ ඒ ටයි පොල්ල නෙමේ. ඒ වගේ වෙන එකක්. මේකෙ පොඩි කහ පාටක් තියෙනවනෙ. ඔයාට පුරුදු එකේ තියෙන්නෙ සුදු පාට. අනිත් එක සාක්කුවෙ බැඡ් එක කොහොමද අමතක වුනේ ඔයාට?
Deleteපොඩි කාලේ ගමේ ගිය වෙලාවක, අත්තම්මා ඇඟේ ගාපු කොලපාට සබන් කෑල්ලක සුවඳ තාම මතකයි. නාන කාමරේට ගිය හැටියේ ඒ සුවඳ එකපාර දැනිලා නැතිවෙලා යනවා.
ReplyDeleteඇයි අම්මා ලඟ එන සුවඳ...මොකක් හරි හිතට අල්ලගන්ට බැරි මල් සුවඳක්...
චීන අය උයද්දි පාවිච්චි කරන චූටි කරවල හරි මාලු සෝස් එකක හරි සුවඳ හිතට අල්ලන්නෙම නෑ. යුනි එකේ ඉන්න කාලේ එපා වුනු දෙයක්. ලිස්ට් එක නම් දිග වැඩී.
මම හිතන්නෙ ඒ කොළපාට සබන් එක කොහොඹ වෙන්න ඇති.
Deleteඅම්ම ලඟ එන සුවඳට මම නම් කියන්නෙ "අම්මා සුවඳ" කියල. ඒක ඒ තරම් unique .
මටත් ප්‍රියතම සුවඳවල් කීපයක් තියනව. අළුත් පොත් වල සුවඳ, පිදුරු වල සුවඳ, තීන්ත සුවඳ, පයිනස් ලාටු වල සුවඳ වගේ... ඔය හැම දේම මොකක් හරි සුන්දර මතකයක් එක්ක ඈඳිල තියනව.
ReplyDeleteඇයි දූවිලි සුවඳ......... ඒකටත් මම ආසයි
Deleteසුවඳ සහ කටහඬ ගොඩාක් කල් අපේ මතකයේ රැදී තිබෙන බවයි මට හිතෙන්නෙ....රූපය ඉක්මනින් අමතක උනාට මේ දේවල් අපි සමග ගොඩාක් කල් ඉන්නවා..
ReplyDeleteකාලයකට පස්සෙ ඉරිතලා ගිය පොළවට දිය බිඳක් වැටෙනකොට නැගෙන දූවිලි සුවඳට මම හරිම මනාපයි...ඒ සුවඳ අස්සෙ බලාපොරොත්තුවක සේයා තියෙනවා කියලා මට හිතෙනවා.
Deleteසුවඳත් එක්ක බැඳුනු මතක මටත් තියෙනවා ඉතාම ප්‍රභල විදියට. ඉන් එකක් ගැන ලියන්න පසුබිම් කතා කීපයක් ලියන්න තියෙන නිසා කල් දම දම ඉන්නේ.
ReplyDeleteපහුගිය ටිකේ මට සයිබර් ලෝකයෙන් ඈත්වෙලා ඉන්න වුනා කොම්පීතරේ ක්කැඩුන නිසා. ඔයා පෝස්ට් ගොඩක් ලියල. ඒව හිමීට කියවන්නම් .
ReplyDeleteඔය සුවඳ ප්‍රස්නයක් මටත් තියෙනව. ගර්භනී කාලෙ, කෙනෙක් බල මාලු ඉස්ටු හදල දුන්න. අදටත් බල මාලු අරහන්.
ඔයාගෙ ලිපි හරිම සන්වේදියි. ඒව කියවද්දි, අපි ගැන ලැජ්ජ හිතෙනව.