හෙටවත් එනවද........?

මිදුලේ සවසට ඉහිරෙන
රන් වන් සෙවනැලි
සීතල බොල් පිණි වැස්සට 
මැකී යන්න පෙර
ඉදලින් හැඩ වූ රේඛා
බොඳව යන්න පෙර
පිච්ච මල් සුවඳ අරගෙන 
නුඹ අද එනවද.............?

ඇල් හාලේ බතින් නැගෙන
නැවුම් සුවඳ පොද
මන්දාරම් උඩු හුළඟේ
විසිර යන්න පෙර
පාන් කලුවරත් ඇවිදින්
බැලුම් ලන්න පෙර
හිතේ පහන් දල්වන්නට
නුඹ අද එනවද ........?

හෙන්දිරික්ක මල් රොන්සුණු
පොළොව සිඹිනු පෙර
අවාරයට ඇදෙන බමරු
මලට එන්න පෙර
සීතල තැවරී හදවත
මියැදෙන්නට පෙර
අමාවකට සඳක්ව නුඹ
හෙටවත් එනවද........?

Comments

  1. ලස්සන අදහසක් අක්කේ..

    ReplyDelete
  2. අපූරුයි කවිය
    එන්න බලංඤංකො හිහි

    ReplyDelete
    Replies
    1. එන්න බලන්නකො එහෙනම් :D

      Delete
  3. ///හෙටවත් එනවද........? // මං හිතුවේ සිදු හෙට බ්ලොග් සම්මාන උළෙලට ඇඩ් එකක් දාල කියල.. හෙහ් හෙහ්..

    බැලුවහම අපූරු කවියක් නේ. චුට්ටක් පද එහෙ මෙහෙ කර ගත්තනම් නිරෝෂා විරාජිනීගේ පුන්සඳ රෑට ගීයේ තාලයට ගයන්න තිබුණ..

    ආ.. එක නෙවේ.. ඇත්තටම හෙට එනවද?

    ReplyDelete
    Replies
    1. අනේ ඇත්තටම මම ඒ ගැන දැනගත්තෙ මේ කමෙන්ට් එකෙන්, දේශකයා මූණු පොතේ එවල තිබුන මැසේජ් එක දැක්කෙත් පස්සෙ. දිනපු කට්ටියට මගෙ උණුසුම් සුබ පැතුම්

      Delete
  4. //හෙටවත් එනවද?//

    මෙහෙම කවි කීවොත් එයි. :D

    ReplyDelete
    Replies
    1. එහෙනම් තව මේ වගේ කියල බලන්නම්කො.

      Delete

Post a Comment