Friday, March 27, 2015

මගේ සංගීත දිවිය

ගායනය කියන්නෙ හොඳ විනෝදාංශයක් . මේ ලෝකෙ හැම කෙනෙක්ටම ගායන හැකියාව අඩු වැඩි වශයෙන් පිහිටලා තියෙනවා. 
මොකක්ම හරි සින්දුවක් කියාගන්න බැරි කෙනෙක් මේ ලෝකෙ නෑ ( එක්කෙනෙක් හැරෙන්න, ඒ කෙනා කවුද කියල පස්සෙ කියන්නම්)

මම පුංචි කාලෙ ළමයෙක් දැනගෙන සිටිය යුතු ළමා ගීත සියල්ලම දැනගෙන හිටියා. ඒ අම්ම මම ඉපදුන දවසෙ ඉඳන්ම ( මම හිතන්නෙ ) ඒ ගීත කියල දුන්න නිසා. 
" සමන් පිච්ච මල් ඉහිරුණ - නිල් තණ කොල පිට්ටනියක්"
"නිල් අහස් තලේ අගේ"
"කිරි සුදු හාවා- පැන පැන ආවා"
"හිංචි පිංචි හාවා"

මේ හැම ගීතයක්ම අම්මා හරි ලස්සනට ගායනා කළා. අම්මගෙ කට හඬ හරිම මිහිරි, අම්මටම ආවේණික නිකැලැල් කට හඬක්. 
තවමත් අම්මා ගීත ගායනා කරනව අහන්න මම හරිම ආසයි. පුංචි කාලෙ අම්ම කියල දුන්න ඒ ගීත ගායනා කරන්න මම නොසෑහෙන්න උත්සාහ කළා. හිමින් කියලා බැලුවා. අම්මගෙ වගේ කට හඬ හීනි කරලා බැලුවා. ඒ එකක්වත් හරි ගියෙ නෑ. 

මම කියද්දි අම්ම කියනවා වගේ ප්‍රබල නෑ කොහොමවත්. ලේසි ක්‍රමේ වුණේ බෙරිහන් දීලා සින්දුව කියන එක. අන්තිමට මම ‍තෝරා  ගත්තු එකම ක්‍රමේ ඒක. ( ඩෙනිස්ගේ දස්කම් පොතේ ඩෙනිස් සින්දු කියන්නෙත් එහෙමනෙ, මතක ඇති කියවලා තියෙන අයට. පස්සෙ කාලෙක ඒ පොත කියවලා බලද්දි මට සෑහෙන සතු‍ටු හිතුනා, මොකද මම වගේම හිතන තව එක මනුස්සයෙක් හරි මේ ලෝකෙ ඉන්නවනෙ)

ඒ විදියට සින්දු කියලා පෙන්නලා "මගෙ සින්දුව ලස්සනද " කියලා අප්පච්චිගෙන් අහන්න මම පුරුදු වෙලා හිටියා.  
"ලස්සනයි පුතේ.... දෙල් කොල ගොඩේ කබරයෙක් දුවන සද්දෙ වගේ...." අප්පච්චිත් නිතරම එහෙම උත්තර දුන්නා.  
අනේ ඉතින් දෙල් කොල උඩ කබරයො දුවනකොට එන සද්දෙ හරි ලස්සනයි කියල හිතුව අහිංසක මමත් බෙරිහන් දීලා ගීත ගායනා කරන එක දිගටම කරගෙන ගියා. :-)

මේකෙ බරපතල අවස්ථාවක් එළඹුනේ දහම් පාසලේ එක වසරෙදි දහම් පාසල් තරඟ වලට ළමයි ‍තෝරන වෙලාවෙදි මට පද්‍ය ගායනා වලට යන්න ඕනා කියලා මම හර්තාල් කරපු එක. 
අම්මයි අප්පච්චියි විතරක් නෙමේ පන්සලේ ලොකු හාමුදුරුවොත් උත්සාහ කළා මාව චිත්‍ර වලට යවන්න , පද්‍ය ගායනා වලට නොයවා. 
ඒත් මම නෙමේ සැලුනෙ. 
යන්නම ඕනා කිවුවෙ පද්‍ය ගායන වලට. අන්තිමට මගෙ ආසාව ඉශ්ට කරගන්න මට පුළුවන් වුණා. ඇත්තටම අපේ පන්තියෙ හිට්යෙ ළමයි 4ක් හෝ 5 ක් විතරයි. 
ඒ නිසා ඒක එච්චරටම අමාරු වුනෙත් නෑ. කොහොම හරි මගෙ ගායන හැකියාවෙ ආනුභාවයෙන් මම කොට්ටාස තරඟ වලින් තුන් වෙනියා බවටත් පත් වුණා. 
ඉතින් එහෙම හිතල බලද්දි අප්පච්චිගෙ කමෙන්ට්ස් වල ප්‍රයෝජනේකුත් තිබිලා තියෙනවා. 

මගෙ සංගීත හැකියාව ලෝකෙට ගෙදරට පෙන්නන්න ඊලඟට අවස්තාව උදා වුණේ අපේ නංගිව ප්‍රාථමික තූර්ය වාදන කණ්ඩාටමට ‍තෝර ගත්තට පස්සෙ. එයාලට උගන්නලා තිබුණ පළවෙනි වාදනය happy birth day.....

එයා එදා හවස ගෙදර ආව ගමන්ම මම ඒක නංගිට උගන්නන වගකීම ස්වේච්ඡාවෙන්ම භාර ගත්තා. 
නංගිගෙ මෙලෝඩිකාවෙ කෙල ටික එහෙම පිහලා දාල අරන් එයා තඩි බෝල කෑලි අකුරු වලින් ලියාගෙන ඇවිල්ලා තිබුන අකුරු ටික බලාගෙන වාදනය කරලා බැලුව. 10 - 12 පාරක් එහෙම කළාම Happy birth day .... වගේ එකක් ඇහුණා. ඒ විදියට මම නංගිට ආදරෙන් ඒක කියලා දුන්නා. වගකීමක් තියෙන අක්ක කෙනෙක් එහෙමනෙ වැඩ කරන්න ඕනා. 
ඒත් ඒ ටික දවසයි. නංගි ටික කාලෙකින් එයාට උගන්නලාත් නැති එක එක සින්දු වාදනය කරන්න ගත්තා. වරද්ද වරද්ද මුලින්. ඒත් ඊට පස්සෙ ටික දවසකින් ඒක හරියටම වාදනය කළා. එහෙම කරන්නෙ කොහොමද අහද්දි එයා කිවුවෙ ඉබේම එහෙම ගහන්න පුළුවන් කියලා එයාට. අනේ මන්දා..... මන්තර කාරියෙක්ද කොහෙද ගියා ආත්මෙ.  
කොහොම වුණත් මම සංගීත ගුරු කමෙන් විශ්‍රාම ගියා ටික දවසකින්ම. 

ඒ කාලෙම තමයි අම්ම මාව පියානෝ ක්ලාස් එකකට දැම්මෙ.  ඒ පියානෝ ක්ලාස් එකේ වැඩිපුර දුන්නෙ ලියන්න.ඒකෙ ඉගන්නපු ඉරි උඩ ලියපු එක එක සලකුණු මට කොහොමවත් තේරුණේ නෑ. ඒ සලකුණු මම භාවිතා කළේ කුරුල්ලන්ගෙ චිත්‍ර අඳිද්දි උන් සින්දු කියනව කියල පෙන්නන්න උන්ගෙ ඔලුව වටේට අඳින්න.
  

 ඊටත් වඩා ඒකෙ තිබුණෙ Tomorrow People  ගිය වෙලාවෙ. මතකයිද මන්දා කට්ටියට, ලස්සන කොල්ලෙක් එහෙම හිටියා ඒකෙ ඇඩම් කියලා. ( ඒ කාලෙ ලස්සනට පෙනුන මිනිස්සු දැන් පෙනෙන්නෙ පිච්චිලා ගිය ඩෝසර් වගේ නිසා දැන් දැක්කොත් නම් ඇඩම් කැතයි කියලා හිතෙයි මට) 
කොහොම හරි පියානෝ ක්ලාස් එක නැවැත්වීමේ මගෙ ඓතිහාසික තීරණයට හේතු වුණේ ඇඩම් නෑ Tomorrow People. 
(ඒ කාලෙ හිටියෙ මෙයාලා නෙමේ, වෙන කට්ටියක්)

පන්තියෙ මිස්ගෙ දහසක් වැර්දි අම්මාට පෙන්නලා දුන්න මම ඒ ඓතිහාසික තීරණයට එළඹුණා.  සංගීත හැකියාව කොහොමවත් පිහිටලා නොතිබුණු මට ඒක දිය කරලා පොවන්න අම්ම දරපු අන්තිම උත්සහයත් ව්‍යවර්ත වෙලා ගියෙ ඒ නිසා. 

( මේ වෙද්දි මම හිතන්නෙ කාටත් තේරෙනවා ඇති මම මුලින්ම කිවුව "ලෝකෙටම එක්කෙනා" කවුද කියලා)

මේ කාලෙ වෙද්දි මට වැටහිලා තිබුණා දෙවියො ස්ංගීත හැකියාව බෙදන වෙලාවෙ මම කට්ටි පැනලා ඉඳලා තියෙන්නෙ කියල. ඒ නිසා මම ඒක තේරුම් අරගෙන පස්සෙ කාලෙක සංගීතයෙන් තොර දිවියක් ගත කළා. (මොකද මිනිස්සු කාලයක් තිස්සෙ මුලාවෙ ඉඳලා කවදා හරි යථාර්තය තේරුම් ගන්න කාලෙකුත් එනවනෙ. )

ඒත් කාටවත් ඇහෙන්නෙ නැතුව තනියම ගීත ගායනා කරන්න මගෙ ලොකු ආසාවක් තිබුණා. ඇත්තටම ගොඩක් ගීත වල මගෙ හිතට වදින්නෙ අර්ථය. සංගීතයටත් වඩා. ඒ නිසා දෙතුන් වතාවක් අහන්නට ලැබුණාම මට ඒකෙ වචන ටික මතක හිටිනවා. 
යාලුවො එකතු වෙලා පාටි දාන වෙලාවලදි එහෙම මම යන්තම් ජාමෙ බේර ගන්නෙ " ආ ඒ සිංදුව මම දන්නවා... කියමු කියමු ......" කියලා. (මම කියන්නෙ සින්දුව කියන හැටි දන්නව නෙමේනෙ. සින්දුව දන්නවා කියලනෙ. )

මම කාලයක් වැඩ කළා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක.  ඒකෙ රෝගීන් නැති වෙලාවට මට මගෙ කාමරේට වෙලා කරන්න ගොඩක් දේවල් තිබුණා. මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තෙත් ඒ කාලෙම තමයි. 
ඒකෙ ඉද්දි මම කරපු තව දෙයක් තමයි සිංදු කිවුව එක. මමම සිංදු කියනවා, ලැප්ටොප් එකෙන් රෙකෝඩ් කරනවා..... ආයෙ අහනවා. කොච්චර කැතද කියලා හිතනවා....... 
දැන් හිතද්දි ලැජ්ජාවෙ බෑ. 
ඒ එක්කම සිංදු අහන ගමන් ඒ ගායකයා හරි ගායිකාව එක්ක හරි සිංදු කියන එකත් මගෙ ලොකු විනෝදාංශයක් වුණා. ඔය විදියට ටික කාලයක් මම මගෙ ඒක පුද්ගල ප්‍රසංගය කරගෙන ගියා. 

ඒ එක්තරා දවසක් වෙනකම්.

ඒ ස්ථානයට එහා පැත්තෙ තිබුණ ෆාමසියක්. ඒකෙ හිටියෙ මට වඩා අවුරුද්දක් දෙකක් විතර බාල මල්ලිලා දෙන්නෙක්. එක දවසක් මේ එක්කෙනෙක් මාව හම්බෙන්න ආවා මොකක් හරි අවශ්‍යතාවයකට.  ඒ ගැන කතා කරලා ඉවර වෙලා යන්න හදද්දි ඒ මල්ලි කිවුව දේකින් මට උන් හිටි තැන් අමතක වුණා. 
"ඩොක්ටට ලස්සනට සින්දු කියන්න පුලුවන්නෙ....." මට කට උත්තර නැති වුණා. කටේ කෙල හිඳුණා. ඔහු ඒක කිවුවෙ ඇත්තටමද, උපහාසයෙන්ද, නැත්නම් ඔහුගෙ කනේ දෝශයක්ද, එහෙම නැත්නම් ඔහුගෙ මොළයෙ ශ්‍රවණ කොටසේ ප්‍රශ්නයක්ද කියලා මට හිතා ගන්න බැරි වුණා. 
ඊට වඩා මට ප්‍රශ්නයක් වුණේ මගෙ සුමිහිරි ගීත ගායනය එයාට කොහොමද ඇහුණෙ කියන එක.

තැන්ක්යූ කියන්නද, මේසෙ යට හැංගෙන්නද, නැත්නම් පැනලා දුවන්නද කියල හිතා ගන්න බැරි වුණ මම ඇත්තටම මොකුත්ම කිවුවෙ නෑ.

පස්සෙ හොයල බලද්දි මට දැනගන්න ලැබුණා මගෙ කාමරේට පිටිපස්සෙ තිබුණ ටැප් එකටයි ඒ ළමයිනුත් වතුර ගන්න එන්නෙ කියලා. ඒ වෙලාවක මම සංගීත ප්‍රසංගයක් තියන්න ඇති. 
එදායින් පස්සෙ මගෙ රෙකෝඩින් ස්‍ටුඩියෝ එක වැහිලා ගියා.
ඒ සිදුවීම මතක් කරද්දි තවමත් ලැජ්ජාවක් වගේ හැඟීමක් එනවා. 



කට්ටියක් එක්ක කියන වෙලාවක ඇරෙන්න මම අවුරුදු ගාණකින් ප්‍රසිද්ධියෙ තනියම සිංදුවක් කියලා නෑ. 
යාලුවො එක්ක කියන එකේ පොඩි වාසියක් තියෙනවා. මොකද ඒ අතරින් කවුරු හරි කෙනෙක් ඉන්නව හොඳට සින්දු කියන. 
මට පුලුවන්නෙ එයා ළඟට වෙලා යන්තම් කට හොල්ලන්න. 

ගිය සතියෙ දවසකත් යාළුවො එක්ක පොඩි පාටි එකක් වෙලාවෙ සින්දු කිය කිය හිටියා. 
ඒ වෙලාවෙ අපි කිවුවෙ " නෙතු දැහැන් බිඳී........... " ඒකෙ අන්තිම හරියට යද්දි කට්ටියගෙ සද්දෙ ටික ටික අඩු වේගන වේගන ගියා.  

ඔන්න ටික වෙලාවකින්......  ඇහෙන්නෙ සද්ද දෙකයි, 
එකක් බාස්කට් අකකට කවුරු හරි තාලෙට තට්‍ටු කරන සද්දෙ, 
අනිත් එක කටහඬක්  ! බැලින්නම්, ඒ කටහඬ මගෙ, මම සින්දුවෙ අන්තිම හරිය අමාරුවෙන් ඇදගෙන යනව.

"හසඟනන් පිරී - පෙතිපියුම් හැරී
කළඹවයි විලේ වැතිරී
සඳ කැලුම් රිදී  - තුරු අගින් මිදී......

එක පාරටම නවත්තන්නත් බෑ, මම හිමීට වට පිට බැලුවා. හැමෝම මං දිහා බලාගෙන ඉන්නවා. එක්කෙනෙක් විතරක් අතින් ඇක්ෂන් එකක් දානවා. මොක්ද්ද දන්නවද, හුලන් බැහැලා ගිය බයිසිකල් වලට හුලං ගහනව වගේ..... 
මගෙ හුස්ම නැතු වේගන යනව වගේ නිසා එයා හුලන් ටිකක් ගහන්නලු හැදුවෙ..... ඒ වගේ අයට තමයි මම කියන්නෙ කල්‍යාණ මිත්‍රයො කියන්නෙ.

ඔය සේරටම වඩා දරාගන්න බැරි දේ තමයි කවුරු හරි පළවෙනි වතාවට මගෙ නම ඇහුවාම " ආ.... ඔයාට හොඳට සිංදු කියන්න පුලුවන් ඇති නේද....? කියල කියන එක. 
"ඔව් අනේ මම ඉපදුනේ සින්දු කිය කියා, ඒ නිසයි අම්ම මේ නම දැම්මෙ "කියල කියන්න ඒ හැම වතාවෙම කටට ආවත්, "නෑ නෑ, ඒකෙ තේරුම මුහුද" කියලා කියන්න තරම් මම සංවර මනුස්සයෙක්. 

කවදාවත් ප්‍රසිද්ධියෙ සිංදු කියන්නෙ නෑ කියලා මම තදින්ම තීරණයක එල්බගේ හිටියත්, හදිසි අවස්ථාවකට ප්‍රයෝජනේට ගන්න එකම එක සිංදුවක් මම ලෑස්ති පිට තියාගෙන ඉන්නවා. 1000 වතාවක් විතර කියලා කියලා ඒකෙ තාලය යාන්ත වගේ මතකයි. ඒ "ගඟ අද්දර...." ගීතය. ඒත් විජය කුමාරතුංග කියන එක නෙමේ.Gresha  Schuilling කියන එක.



22 comments:

  1. සිඳු අනිවාර්යයෙම බාත් රූම් එකේ සින්දු කියනවා ඇති නේද?

    ඔයා අහලා තියෙනවද එක ගායකයෙක් කිව්වා 'අපේ ගෙදර හැමෝටම හොඳට සින්දු කියන්න පුලුවන්. අපිට ඒ හැකියාව ලැබුනේ අපේ බාත් රූම් එකේ ඩොරේ තිබුණ කැඩිච්ච ලොක් එකට පින් සිද්ද වෙන්න,' කියලා?

    ReplyDelete
    Replies
    1. බාත් රූම් එකේ සින්දු කියන එක හොඳ වැඩක් තමයි. ඒත් ඒකෙ සීලිම උඩ ඉන්න අහිංසක හූනො එහෙම පව්නෙ. කවුද දන්නෙ ගැරඬිත් ඉන්නවද කියල. උන් දුවන්න තියා ගත්තොත්.......

      Delete
  2. අපිත් මෙහෙම හිටියට හොද ගායකයෝ තමයි ඉතින්.. තනියම ඉන්න වෙලාවට.. ;-)

    ReplyDelete
    Replies
    1. කියමු බලන්න එහෙනම් සින්දුවක්.....!

      Delete
  3. හිහි මං හිතන්නෙ බොහෝ දෙනෙක්ට පොදු ලස්සනයක් තමයි සිංදු කියන්න ඇති ආසාවත් නොහැකියාවත්...
    බාත් රූම් වල තියෙන අයිටං වලට පණ තියේ නං කඩං දුවනව හූ තකියාගෙන ආයෙ හොයන්නත් බැරි වෙන්න .
    ඔව් ඉදගෙන

    ReplyDelete
    Replies
    1. ඉඳගෙනද? ශුවර් ද?
      මම හිතන්නෙ බාත් රූම් වල තියෙන අයිටම් ගොඩක් බිත්ති වලටයි පොලොවටයි හයි කරල තියෙන්නෙ ඔය හේතුව නිසා වෙන්න ඇති

      Delete
    2. Api nam dhanne harima dhaksa chithra kariyek va.

      Delete
    3. මොකද්දෝ වාසනාවක් නිසා ඒකවත් ලැබුණ එක නම් ලොකු දෙයක්

      Delete
  4. ඔය කිව්වට සිදූට සිංන්දු කියන්න පුලුවන් මම හිතන්නෙ. අතාරින්න එපා Try and try one you can fly කියලා තියෙනවනේ!

    ReplyDelete
    Replies
    1. "try and try............... you can make rat snakes (ගැරඬි) fly "කියලා තමයි කියන්න වෙන්නේ. :P

      Delete
  5. හරිම රසවත් ලියවිල්ලක්. මටත් සිංදු කියන්ට බෑ අප්පා. කටහඬ ගොරකලු. :D

    ReplyDelete
    Replies
    1. ගොරකා කටහඬවලුත් තියෙනවද? ඒකත් අර දෙල් කොල ගොඩේ දුවන සද්දෙ වගේ වෙන්න ඇති නේ? :D

      Delete
  6. It is ok, you can write well, and draw well. I think your drawing talent is from Appachchi, as he can draw things very well. I think you should mention more about Amma's voice , It is pity that being on of the first few students at Victor Rathnayake, she never used her great voice apart for lullabys and teaching little kids. And your writing is amazing , so don't worry, You build the storey nicely, Great, Go on

    ReplyDelete
    Replies
    1. Truly it is a pity that Amma didn't make use of her voice much. But, it doesn't seem she regrets about that as we do.And most unfortunately , she has transmitted that ability to Nangi, genetically.
      And yes, luckily appachchi has an ability to draw. If he hadnt it in him, i would have left without any aesthetic talent. :-)

      Delete
  7. අපේ ගෙදර ඕනෙම වැදගත් අවස්ථාවකට පැදුරු සාජ්ජයක් තියෙනවා.. තාත්තත් ලොකු අයියත් පළාත් මට්ටමින් ගායනා තරඟ ජයග්‍රහණය කරල තියෙනව. පොඩි අක්ක සමස්ථ ලංකා මට්ටමෙන්.. අම්මටයි අනිත් අයියල දෙන්නටයිත් ලස්සනට සින්දු කියන්න පුළුවන්.. අපි හැමෝගෙම සහකරු සහකාරියොන්ටත් ඒ හා සම්භන්ද විවිද හැකියාවන් තියෙනව තබ්ල සර්පිනා ගහන්න වගේ. බැරිමනම් තාලෙට අත්පුඩිවත් ගහනව.. ලොකු අයියගේ ලොකු ළමයි දෙන්නම සෞන්දර්ය විශ්වවිද්යාලයෙන් අවුට් වෙච්චි සංගීත කාරයෝ.. මටයි ලොකු අක්කටයි විතරයි සින්දු කියන්න බැරි.. ලොකු අක්ක ඒ වෙලාවට ඉවෙන්ට් මැනේජර්.. තේ බිස්කට් ඇරේන්ජ් කරන්න එහෙම.. මගේ ජොබ් එකත් විශේෂයි. ඒ උන් ඔක්කෝටම සින්දුවල වචන මතක් කරල දෙන්න ඕනි මං..

    අපූරුයි සිදූ. පරණ මතකත් එක්ක හුඟක් රසවින්ද.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ඔන්න මම වගේ එක්කෙනෙක්. ඇත්තට මට තාලෙට අත්පුඩි ගහන්නත් බෑනෙ.:-(

      Delete
  8. සැලෙන්න එපා සිඳුවෝ... මාවත් ඔහො අධෛර්යමත් කරන්න ලෝකයා සෑහෙන්න දග දැම්මා.. (ඔය ලෝකයා මහ කූරයි) ඒත් මං නෙවෙයි සැලුනේ... ගායනා කිරීමේ මගේ වැඩක්.. අහගෙන ඩන්න එක ලෝකයාගේ වැඩක් කියලා හිතලා මංනං අතාරින්නේ නැහැ... ජෝතිපාල මුලින්ම සිංදු කියපු චිත්තරපටියෙන් ඒවා කපලා දාලාත් තිබුනළු... සංගීත මාස්ටර් ජෝතිපාලව පන්නගත්තලු මේ යකාට මොන සිංදුද කියලා.. ඒත් ජෝති පාල සැලුනද.. නැහැ... මාත් එහෙම තමයි... අත දෙන්න කවුරු හරි හිටියනං අපිත් මේ වෙද්දි ලිට්ල් ස්ටාර්ලා හරිය.. :D
    කොහේද අත දෙනවා වෙනුවට අත ඉල්ලපු හැමෝම දුන්නේ වෙන දෙයක්නේ... අත ඉල්ලුවම කකුලක් දුන්නනං තව කමක් නැහැ.. උන්දලා දෙන තරමක් දුන්නේ කකුල්වලට දාන දිග සපත්තු නෙව.. ආන්න ඒකයි අදටත් මං මෙතන ඉන්නේ... :D

    ReplyDelete
    Replies
    1. මෙහෙම අයියලා ඉන්න එක කොච්චර දෙයක්ද. මම කිවුවෙ මෙහෙම ධෛර්යමත් කරන්න......

      Delete
  9. ගෙදර ගැන ලියන ඒව කියවන්න ආසයි. නෑ ඉතින් ඇත්තම කිව්වොත් නංගි පැටිය ගැන ලියන ඒව ඉතින් මම හරි ආසවෙන් කියවනවා.මොනව උනත් ඉතින් ඉස්සර මුලු ගෙදරටම ඇහෙන්න සින්දුවක් play කරල පොඩි වෙලාවක් මම බලන් ඉන්නව අත්පුඩි සද්දයක් අහෙනකම් හොරෙන්. ඒත් හැමෝම තම තමන්ගෙ වැඩ වල.දුකේ බෑ.දැං නෙ දන්නෙ මෙයා හොරෙන් අහන් ඉඳල කියල.

    ReplyDelete
    Replies
    1. හරි අක්කණ්ඩිට බඩුම තමයි... :D

      Delete
    2. හොරෙන් අහගෙන හිටියෙ නෑ, ඇහුන විතරයි.......... මොකද කන් වල ගහගන්න ඇබ තිබුන එකක්යැ ඒ කාලෙ.
      අදනෙ දන්නෙ මම මෙයා මගෙ බ්ලොග් එක හොරෙන් කියවනව කියලා

      Delete