Friday, April 3, 2015

ඇබ්බැහි වීමක තරම

හිමිදිරි පාන්දර 7ට විතර මගෙ යාලුවගෙන් මට ඇමතුමක් ආවා. 
"තවම නිදිද?" 
"නෑ නෑ.... නැගිටලා"
(මං ගැන හිතන් ඉන්න විදිය...... ! උදේ 7 වෙනකම් නිදා ගන්න මිනිස්සු ඉන්නවද....? ඊටත් ෆෑන් කැරකුනාට හුලං පොදක් එන්නෙ නැති කාමරේක නිදා ගනිද්දි.........)


"ඔයාලගෙ වෝඩ් එකේ පේෂන්ට් කෙනෙක් ගැන කියන්න කතා කළේ......" ඒ යාලුවා තමයි කලින් දවසෙ on call....
ඉතින් උදේ පාන්දරම සුබ පණිවිඩය අහන්න මම සූදානම් වුණා. 

"ඊයෙ රෑ අවුරුදු 20ක පිරිමි ළමෙක් ඇඩ්මිට් වුණා.  assault  එකකින් පස්සෙ. head injury මොකුත් නෑ. ඒත් ටිකක් drowsy.  
Saturation ත් අඩුයි. 
( Saturation = රුධිරයේ ඇති ඔක්සිජන් ප්‍රතිශතය ලෙසින් සරලව හඳුවන්න පුළුවන්. පෙනහලු දුර්වලතා, හදිසියේ  අනතුරු වලදී පෙනහලු වලට වෙන හානි, ප්ලූරාවට වෙන හානි නිසා එය අඩු වියහැකියි) 
ඒත් පපුවෙ එක්ස් රේ එකේ මොකුත් ප්‍රශ්නෙකුත් නෑ, ඒ වුණත් ඔක්සිජන් අයින් කරපු ගමන් saturation අඩු වෙනව 85-87% වගේ. (සාමාන්‍යයෙන් රුධිරයේ ඔක්සිජන් මට්ටම 92%කට වඩාවත් තබා ගත යුතුයි)
ඒ නිසා වෝඩ් එකට ගිය ගමන්ම එයාව බලන්න....."

සැබැවින්ම මම වාට්‍ටුවට යන විටත් ඔහු සිටියේ නිදාගෙන. කිසිදු බාහිර තුවාලයක් නොතිබූ ඔහුට ඔක්සිජන් සැපයුමක් ලබා තිබූ අතර රුධිර පීඩනය , නාඩි වේගය, ඔක්සිජන් සංතෘප්තතාවය ආදී සියලු දේ අධ්‍යයනය කළ හැකි මොනිටරයකට ඔහුව සම්බන්ධ කර තිබුණා.

මෙසේ දිගටම ඔහුව නිරීක්ෂණය කිරීමට හේත්හුව වුනේ ඔහුගේ නිදිමත ස්වභාවයත්, ඔක්සිජන් සන්තෘප්තතාවය අඩු වීමත්ය. 
එසේ නිදි මත ස්වභාවයෙන් පසු වුවද ඔහුගේ හිසට අනතුරක් සිදු වී ඇති බවට වෙනත් කිසිදු සායනික සාක්ෂියක් තිබුණේ නෑ. 
ඔහු අරක්කු පානය කර තිබුණ බව පෙර දිනයේ ටිකට් පතේ සන්දහන් වී තිබුණද, අරක්කු මගින් ඇති කරනවාට වඩා නිද්‍රා ස්වභාවයකිනුයි ඔහු පසු වුණේ.  
කිසිදු වෙනත් මත්ද්‍රව්‍යයක් භාවිත කර ඇත්දැයි දිගින් දිගට ඔහුගෙන් සහ ඔහු අසල නැවතී සිටි මිතුරාගෙන් ප්‍රශ්න කළත් ඔවුන් දෙදෙනාම එය දැඩි ලෙසින් ප්‍රතික්සේප කළා.
බැලූ බැල්මට ඔහු හොඳින් පසු වුවත් ඔහු පිළිබඳව අපේ තිබුණු පීඩනය ඉතා විශාල වුණා. 
ඊට ප්‍රධානම හේතුව වුණේ අපේ වාට්‍ටුව භාර විශේෂ වෛද්‍ය තුමන්ලා දෙදෙනාම එදින විශ්ව විද්‍යාලයක වෛද්‍ය පීටයේ සායනික පරීක්ෂණ කටයුතු සඳහා ගොස් සිටීමයි.

නමුත් දහවල් වන විට ක්‍රමක්‍රමයෙන් ඔහුගේ නිදි මත ස්වභාවය පහව යාම අපට තරමක අස්වැසිල්ලක් වුණා. නමුත් රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය වැඩි වීමෙහි විශාල ප්‍රගතියක් ඔහු පෙන්නුම් කළේ නෑහැ. නමුත් ඒ වන විට අපට පැහැදිලි වූ එක් කරුණක් තිබුණා. ඒ ඔහුට කැස්සක් ඇති බව. 
ඒ නිසා ඔහුගේ පෙනහළු වල වූ වරද ශල්‍ය හේතුවක් නොව වෙනත් ශ්වසන මාර්ගය ආශ්‍රිත ආසාදනයක් නිසා විය හැකි බවට සැක කළ අප ඒ සඳහා වෛද්‍ය වාට්‍ටුවේ සහය පැතුවා. 

ශ්වසන රෝගයක් සඳහා වූ ඖශධ එම වාට්‍ටුව මගින් ඔහු වෙනුවෙන් ආරම්භ කරද්දී, වෙනත් ශල්‍යමය ප්‍රශ්නයක් ඔහු කෙරේ ඇත්දැයි අප වාට්‍ටුවේ කාර්ය මණ්ඩලයම නිරන්තරයෙන් අවධානය යොමු කළා. 

ඒ ලෙසින් දින තුනක් ගත වුණා. දිනෙන් දින ඔහුව යහපත් අතට හැරෙද්දීත් ඔහුව අවධානය වැඩියෙන්ම අවශ්‍ය රෝගීන් රඳවන ස්ථානයේම රඳවා තැබුවේ නිරන්තරයෙන්ම ඔහු පිලිබඳව සොයා  බැල්ලීමට අපටද හෙද නිලධාරීන්ටද පහසුවක් වූ නිසා. 

ඊයේ උදෑසන 10 පමන වන තෙක් සියල්ල යහපත් ලෙසින් පැවතුණා. 
හදිසියේම හෙද නිලදාරියෙකු විසින් ඔහුව මගේ මේසය වෙතට කැඳවාගෙන එනු ලැබුවා. "ඩොක්ට , මෙයා එළියෙ සිගරට් බිබී හිටියා......." එවේලේ නම් මගේ ඉවසීම රතු කට්ටෙන් එපිටට උත්ක්‍රමනය වුණා. නමුත් ඔහුට බැණ වදින්නට මගේ දෙමළ හැකියාව ප්‍රමාණවත් වුනේ නෑ.

නිකමට හිතන්න. ඔහු වෙනුවෙන් (විශේෂයෙන්ම ස්වසන රෝග තත්වයක් වෙනුවෙන්) අප වූ මහන්සිය....... රෝහල විසින් ඔහු වෙත දරන ලද වගකීම , වියදම,........  ඔහු ඒ කිසිවක් තඹ සතයකට මායිම් කර තිබුණේ නෑ. 
ඇතැම් විට ඒ ඇබ්බැහි වීමෙන් මිදීමේ අපහසුව වන්නට ඇති. නමුත් දින තුනක් ඇඳට වී සිටි ඔහුට එසේ නොවැලැක්විය හැකි ඇබ්බැහි වීමක් ඇති බවටද සිටිය නොහැකියි. 

තත්වය අන්තිම අංශුව දක්වාම පුපුරා විනාශ වී ගියේ අද උදෑසන. 

උදෑසන ඔහුව බලන විට අද ගෙදර යා හැකිදැයි ඔහු මගෙන් විමසා සිටියා. ඇත්තෙන්ම අද වන විට ඔහු සිටියේ ගෙදර යා හැකි තත්වයකයි. එහෙත් මගේ පිළිතුර වුණේ එය ප්‍රධාන ශල්‍යවෛද්‍ය තුමාගේ තීරණයක් බවයි.  එහෙත් ඔහු දිගින් දිගටම තමාට නිවසට යාමට ඉඩ දෙන ලෙස මට ඇවිටිලි කළා. 
ඒ සඳහා ඔහු දිරිපත් කල හේතුව වුණේ ඔහුගේ අක්කාට අලුතින් බබෙකු ඉපදී ඇති බවයි. ඔහු අසල සිටි ඔහුගේ මිතුරාද ඒ කරුණ අනුමත කරමින් රෝගී තරුණයාට ඒ සඳහා ලොකු සහයක් ලබා දුන්නා. 
(ඒ මිතුරා යැයි කියා ගන්න පුද්ගලයා සම්බන්ධව මගේ සිතේ කෙසේවත් පැහැදීමක් තිබුනේ නෑ. ඊට හේතුව වුණේ ඔහුට සිගරට් බීමට අනුබල දී තිබුනේ ඔහු නිසාය. )
වාට්‍ටුවේ හෙද නිලධාරීන් ඔහුව වාටූවෙන් යැවීමට උත්සාහ කළත් , රෝගියා අසල නැවැත්වීමට කිසිවෙකු නොමැති බව පවසමින් ඔහු දිගටම ‍රැඳී සිටියා. 

කෙසේ නමුත් ප්‍රධාන වෛද්‍යතුමා පැමිණ ඔහුව ගෙදර යැවිය හැකි බව පැවසුවා. රෝගියාටත් වඩා එය මට ඉමහත් අස්වැසිල්ලක් වූ බම කිව යුතුයි , මන්ද යත් ඔහු වරින් වර මා වෙතට පැමිණ ඇවටිලි කිරීම මට මහත් හිස රදයක් බවට පත් වී තිබීමයි. 

එහෙත් අප සියල්ලන් පුදුමයට පත් කරමින් සුළු මොහොතකින් ඔහු  වාට්‍ටුවෙන් අතුරුදහන් වී සිටියා. තමාගේ ඇඳ ඇතිරිලත්, කොට්ටයත් වාට්‍ටුවේම දමා ඔහු ගොස් තිබුණේ රෝග නිර්ණය කාඩ් පත ගන්නටවත් නොනැවතෙමින්. 

මෙවන් අවස්ථා වලදී කරන ලෙසින් ඒ පිළිබඳව රෝහල් අධිකාරී වරයා හරහා, රෝහල් පොලිසිය වෙත දැන්වීම වාට්‍ටුව මගින් සිදු කළා. ඔහු පිලිබඳව මගේ සිතේ වූ කල කිරීමත් , ඔහුගේ යහලුවා පිළිබඳව වූ තරහක් වැනි වූ හැඟීමත් දෙගුණ තෙගුණ වුණේ රෝගීන්ගේ අමුත්තන් සඳහා වූ පැයේදී. 

යම්කිසි කාන්තාවක් හඬා වැටෙමින් වාට්‍ටුව වෙතට පැමිණියා. අසරණ පෙනුමකින් යුතු වූ ඇය  හඬමින්ම හෙද නිලධාරීන් සමග යම්කිසි කරුණක් පිළිබඳව විස්තර කළා. නමුත් ඇය පැවසූ බොහෝ දේ මා හට වටහා ගැනීමට පහසු වූයේ නෑ.  

වැටහුණ දේත්, පසුව සිංහලට පරිවර්තනය කරගත් දේත් අනුව,
ඇය මම මුලින් සඳහන් කළ රෝගී තරුණයාගේ මව. ඔහු ඉතාම තදින් අරක්කු, සිගරට් සහ ගංජා භාවිතයට ඇබ්බැහි වූ අයෙක්. දෙමවුපියන් කියනා කිසිවක් කනකටවත් නොගන්නා ඔහු ඒ තත්වයට පත් වන්නට නරක මිතුරන් ඇසුර ප්‍රධානම හේතුව වූ බව ඇය සඳන් කර සිටියා.

ඔහු රෝහලෙන් පිට වී ගිය පසුව යහලුවා සමග කොහේ හෝ ගොස් තිබුනා. අම්මා ඒ බව දැනගෙන තිබුණේ පොලිස් පණිවුඩය ලද පසුව හතර වටේ සිටින ඔහුගේ මිතුරන්ට දුරකථන ඇමතුම් ලබා දීමෙන්.

දින ගණනක් තමන්ගේ දරුවා රෝහලේ සිටීමෙන් දුක් වූ ඒ මවට දරුවා සුව වීමෙන් ලැබෙන සතුටද අහිමි වී තිබුණා. තමන් යන්නේ කොහේදැයි පවසා තම මවට විනාඩියක දුරකතන ඇමතුමක් හෝ නොදීමට ඔහුගේ හිත ගල් වී තිබුණා. 
එමෙන්ම ඔහුගේ "අලුත ඉපදුණ" අක්කාගේ බබා වයස මාස 4ක ළදරුවෙකු බවටද අප දැනගත්තා.

ඔහු වාට්‍ටුවේ නැවැත්වූ දින අසාමාන්‍ය ලෙස නිදි මත බවක් පෙන්වීමට හේතුව මත්ද්‍රව්‍ය / ගංජා භාවිතය බව ඒ අවස්ථාවේදී අප වටහා ගත්තා. 
ඒ පිළිබඳව දිගින් දිගටම විමසද්දී  "නැහැ" යනුවෙන් ඔහුත්, ඔහුගේ මිතුරාත් පැවසීඑම නිසා අප සියල්ලන්ම ‍රැවටීමකට ලක් වුණා. එයින් වූ නාස්තිය, කාලය , ශ්‍රමය, මුදල් යන  සියල්ලමයි.

හැරත් , එවන් ඇබ්බැහි වීමක් පිළිබඳව යම් තරමක හෝ ඉඟියක් ලබා දුන්නා නම්, ඒ පිළිබඳව මානසික සායනයකට ඔහුව යොමු කර ඉන් මුදවා ගැනීමටත් හැකියාව තිබුණා.

එලෙසින් ඔහුගේ  වරදින් තමන්ගේ, තම පවුලේ සතුට ගිලිහී අවසන් වී තිබුණා


15 comments:

  1. ඇබ්බැහි වීම් නිසා දුකට පත් වෙන්නේ තමන් විතරක් නෙවෙයි. ඒත් කොච්චර උත්සහ කළත් ඔය ඇබ්බැහියෙන් මිදෙන්න බැරි මිනිස්සු ඉන්නවනේ...

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට උත්සහයම තිබිලත් මදි සිතු. බේතුත් ඕනනෙ.

      Delete
  2. මේ කතාව කෙලින්ම ඔළුවට පොල්ලෙන් ගැහුව වගේ උනා.. හේතුව 'ඩොක්ටර් සිදූ' ට හිතා ගන්න පුළුවන්නේ.. හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. හරි හරි, මටත් ඔලුවට පොල්ලෙන් ගහනව වගේ තේරුණා මොකද්ද කිවුවෙ කියල.

      Delete
  3. මේ වගේ එක මිනිහෙක් නිසා ඔබේ කැපවීම නැතිකරගන්න එපා. එය තවත් අහිංසක රෝගියෙකුට ලබා නොදී ඉන්න එපා. මගේ පියා උණ රෝගය අන්තිම දරුණු වෙලා කොළඹ ජාතික රෝහලේ නවත්තපු වෙලාවෙ ඒ වාට්ටුව බාරව උන්නෙ දෙමළ දොස්තර කෙනෙක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දෙවියෙකු බදු මිනිහෙක්. ඒ වාට්ටුවෙ හිටියා වයසක සීයලා කීප දෙනෙක්. මේ අයට බුලත් කෑම තහනම් කරලා තිබුනට වෛද්‍යවරු සහ හෙදියො පේන්න නැති උනාම හොරෙන් බුලත් කාලා වැසිකිළියට කෙල ගැහුවා. දවසක් හැන්දෑවක පුංචි භාජනයක් ඇද යට තියාගෙන එක සීයෙක් බුලත් හපනවා ගජ රාමෙට. අනේ අර දොස්තර මහත්තයා රතු පාටට කෙළ ගහනවා දැකලා වෙඩිල්ල වගේ දුවගෙන ආවෙ ලේ වමනෙ යනවා කියලා හිතාගෙන. මට එදා දැනුනා නියම වෛද්‍යවරයෙක් මුණගැහුනා කියන සතුට.

    වෛද්‍යවෘත්තියට මම ඉතාමත් ගරු කරනවා. ඒ මිනිහෙක් අසරණ වෙච්ච වෙලාවට තිබෙන සහනය එය පමණක් වන නිසා. ඔබට සියලු යහපත් දේ පතනවා සොයුරිය. මේ සිදුවීම අමතක කරලා හෙට ඉදන් ආයෙමත් පුරුදු විදියට වැඩ කරන්න. අපේ පුංචි ව්‍යාපෘතියකට වෛද්‍යවරු කීපදෙනෙක් අපට අවශ්‍යයි. ඔබව සම්බන්ධ කරගත හැකි ආකාරයක් infosira2012@gmail.com ලිපිනයට දන්වන්න. සුභ දවසක් !

    ReplyDelete
    Replies

    1. ඒක අහද්දි දුක හිතුණා. අපේ අම්ම බුලත් කන්න තහනම් කරල තියෙද්දි, කිරි අම්ම හොරෙන් ඇඳ අස්සෙ හංගගෙන බුලත් කෑව හැටි මතක් වෙලා. හිතා ගන්නත් බෑ, එයාලට ඒක හරි සතුටක්.
      ඔන්න සිරාට ඊ මේල් එකක් එව්වා

      Delete
  4. ඇබ්බැහි වීම් පාලනය කරගන්න තරම් හැකියාවක් බොහෝ දෙනාට නැහැ, ඒ පිළිඹඳ වෛදය උපදෙස් පැතීමටත් බොහෝ දෙනා කමතිවන්නේ නෑ. අන්තිමට කියන්න වෙන්නේ .." කරුමේ තමයි "

    ReplyDelete
    Replies
    1. එයාලගෙ විතරක් නෙමේ, පවුලෙ අයගෙත් කරුමෙ.

      Delete
  5. මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුන රෝගීන් දහසක් අතරෙන් එක් කතාවක් නේද. එහෙම රෝගීන් තමයි රෝහල් කාර්යයමණ්ඩලය වගේ වෛද්‍යවරුන්වත් වැඩියෙන්ම අපහසුතාවයට පත් කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. කතා කරල වැඩක් නෑ ගිමන්. තමන්ගෙ ඉස්පිරිතාලෙ තියන පැත්තෙ මොකක් හරි උත්සවයක් නම්, එහෙම නැත්නම්, සංගීත ප්‍රසංගයක් නම්, ශල්‍ය වාට්‍ටුවෙ ඉන්න අය දවස ගෙවෙනකම් ඉන්නෙ ඇඟේ ලේ බාගයක් වතුර වෙලානෙ.

      Delete
  6. හුඟක් දෙනෙක් ඇබ්බැහි වෙලා කියලා දැන දැනත් ඒ දේම කරන්න පෙළඹේනවා.. නවත්වන්න උත්සාහ ගන්නෙවත් වෙන කෙනෙක්ගෙ උපදෙසක් ගන්නවත් සූදානම් නෑ.. අන්න ඒකයි ලොකුම ප්‍රශ්ණේ..

    ReplyDelete
    Replies
    1. නවත්තන්න හිතනකොට පරක්කු වැඩියි ගොඩක්. ඒ වෙද්දි ඉතින් කරන්න දෙයක් නෑ.

      Delete
  7. සිඳුගේ කතාව ඇහුවම මට මතක් වුනේ නැගෙනහිර යුරෝපීය රටක වෛද්‍ය ශිෂ්‍යාවක් මාත් එක්ක කියපු කතාවක්.
    "ඒ මිනිස්සු හරියට සිගරට් බොනවා ඉස්පිරිතාලේ හිටියත්. අපි ගිහින් ප්‍රශ්ණ අහනකොට, විස්තර ලියාගන්නකොට එතකොට රෝග පරීක්ෂාවන් කරනකොට මේ ලෙඩ්ඩු කෑ ගහනව ඉක්මන් කරන්න මේ මගේ සිගරට් බොන වෙලාව කියලා."

    ReplyDelete
    Replies
    1. හහ් හා... :D එතකොට ඩොක්ටර් කියනවද දන්නෑ මගෙත් මේ සිගරැට් බොන වෙලාව තමයි පොඩ්ඩක් ඉන්නවා මේ වැඩෙත් කෙරෙන්න එපැයි කියලා... :D :D

      Delete
    2. ඇත්තටම එහෙම කියලද.........? :D
      නිකොටින් පැච් දෙක තුනක් අරන් ගිහින් ලෙඩාට අලවලාම පටන් ගත්ත නම් හරි.
      or බීට්ල් කිවුව එක කිවුවා නම් හරි ඒ වෙලාවට.

      Delete