Friday, April 24, 2015

ස්කෑන් සහ සතොස

බදාදා.............සායන දවස. අවුරුද්දක් දෙකක් තිස්සෙ පුරුදු පුහුණු කරපු මගෙ ඉවසීම , ඉවසලා ඉවසලා බැරිම තැන බිඳිලා යන එකම තැන තමයි සායන කාමරය. 
(ඉවසීම බිඳිලා යනවා කිවුවට බනින්නෙ ගහන්නෙ නෑ කාටවත්.....:-) )

ඒත් , කටහඬ ටිකක් උස් වෙනවා. මූණෙ හිනාව අඩු වෙනවා. දාඩිය දාන්න පටන් ගන්නවා.......... තව ලෙඩ්ඩු කී දෙනෙක් ඉන්නවද කියලා එලියට ඔලුව දාලා බලන්න හිතෙනවා........ මේ වගේ ගොඩක් දේවල් වෙනවා.  
මොකද්ද මේ වෙනසට හේතුව කියලා හිතලා බලද්දි තමයි තේරුණේ....... 
පොදු හේතුව, භාශා ප්‍රශ්නෙ.

සායන වලට එන රෝගීන් කියන ගොඩක් දේවල් මට තේරෙන්නෙ නෑ. වාට්‍ටුවෙ නම් මොකක් හරි තේරෙන්නෙ නැත්නම්, ක්ෂණිකව ඒක තේරුම් කරලා දෙන්න අපේ හෙද නිලධාරීන් සැදී පැහැදී ඉන්නව. ඒත් සායනයෙ ඉන්න සේවකයන්ට සිංහල හොඳින් බෑ. 

ඒ නිසා මට නොතේරෙන දේවල් තේරුම් කරන්න කෙනෙක් සල්ලි වලට හරි හොයා ගන්න හිතිලා තියෙන්නෙ දැන් නම්. 
ඊටත් වඩා තියන ප්‍රශ්නෙ , තේරුම් ගන්න ටික නම් කොහොම හරි කරන්න පුළුවන්, ගොඩක් වෙලාවට සායනයෙදි විවිධ රෝගීන්ට විවිධ උපදෙස් දෙන්න ඕන. ඒක තමයි ලොකුම ප්‍රශ්නෙ. කියන්න ඕන කිසිම දෙයක් හරියට කියාගන්න බැරි වෙද්දි දැනෙන ඒ හැඟීම නම් විස්තර කරන්න අමාරුයි. අන්තිමට ලෙඩා හිටියටත් වඩා ලෙඩ වෙලා තමයි මගෙ ලඟින් නැගිටලා යනවා ඇත්තෙ........ 

(හැමදාම ක්ලිනික් එක වෙලාවට "අද නම් දෙමළ වාක්‍ය දහයක්වත් පාඩම් කරනවා කියලා හිතා ගත්තත්, ඒකෙන් එළියට යද්දි ඒ අධිශ්ටානය එහෙමම අමතක වෙලා යනව. ආයෙ මතක් වෙන්නෙ ඊළඟ බදාදා)

ඉතින්, ගිය බදාදාත් මේ වගේම සුන්දර බදාදාවක්. 
කොයි තරම් සුන්දරද කියනව නම් අවුරුදු නිවාඩුවට ගෙදර ගිය සමහර අය ඇවිත් හිටියෙත් නැති නිසා, දොස්තරට ලෙඩ්ඩු අනුපාතයේ විශාල වෙනසක් වුණා. 
සිංහලෙන්ම කිවුවොත් , ලෙඩ්ඩු වෙනදා වගේම ගනනක් සහ දොස්තරලා එක්කෙනයි. 
වෙනදට කලින් සායනය පටන් ගන්න හිතපු මම 7 වෙද්දි සායනයට ගියා. (වෙනදට පටන් ගන්නෙ 8ට) ඒත් ඉතින් මම 7ට ගියා කියල රෝගීන් දන්නෙ නෑනෙ........ 
මම යන වෙලාවෙ කිසිම රෝගියෙක් ඇවිත් හිටියෙ නෑ. හැමෝම ආවෙ සුපුරුදු පරිදි 7.30 පහු වුණාට පස්සෙ. 

ඒකට තවත් හේතුවක් තමයි, අපේ සායනයට හැතැප්ම ගණන් දුර ගෙවාගෙන එන රෝගීන් ඉන්නව. ඒ මිනිස්සුන්ට යන්න එන්න මුළු උදේ වරුවටම තියෙන්නෙ එක බස් එකයි. 
ඉතින් ලෙඩ්ඩු එන්නෙ, අපිටවත් එයාලටවත් ඕන වෙලාවට නෙමේ, බස් එකට ඕන වෙලාවට. ඒ බස් එක වැරදුනොත් එදාට සායනෙත් නෑ. 
ඉස්සර යුද්ධ කාලෙ අපිට අහන්න ලැබුණ ගම්මාන වල නම් සහ ඒවගෙ ජීවත් වෙන මිනිස්සු  දැන් සජීවීවම දකින්න ලැබෙන විදිය එක්තරා විදියක පුදුමයක්.  

ඒ මාතෘකාව ටිකකට නවත්තලා , මම එක සිදුවීමක් කියන්නම්.

ඉතින් සුපුරුදු පරිදි සායනය ආරම්භ වුණා. මමත් සුපුරුදු විදියට, නොපැකිලව, නොබියව, නොදැවී, දන්න දෙමළ සහ මමම නිර්මාණය කරපු දෙමළ වල උදව්වෙන් සායනය පවත්වාගෙන ගියා. 

ඉඳලා හිටලා ආව ත්‍රිවිධ හමුදාවේ සහ  පොලිසියේ රෝගීන් හැරෙන්නට ඉතිරි සියලු දෙනාම කතා කළේ දමිළ පමණයි. 

ඒ අතරට එක් විශේෂ පුද්ගලයෙක් පැමිණියා. අවුරුදු 50ක් පමණ වූ ඔහු, ඉතාම හොඳින් සිංහල කතා කළා. ඔහුගේ ප්‍රශ්නය වුණේ කකුලේ තිබෙන සුව නොවෙන තුවාලයක්. කලින් සතියේ සායනයට ඔහු පැමිණ තිබුණා. එහිදී සැලසුම් කර තිබුණේ, ඔහුගේ කකුල් වල නහර වල ස්කෑන් පරීක්ෂාවක් කර ඒ වාර්තාව සමග නැවත් සායනයට පැමිණෙන ලෙසයි.

"කෝ සීයා කකුලෙ ස්කෑන් එක?"
"ස්කෑන් එක...........? " ඔහු මොහොතකට කල්පනා කළා. 
"ස්කෑන් එකක් කළේ නැද්ද කකුලෙ නහර බලන්න?"  මගේ ඊලඟ ප්‍රශ්නය වුණා.
"කළා කළා..."

ඔහු යුහුසුලුව ස්කෑන් වාර්තාව හොයන්නට පටන් ගත්තා. ඔහු ළඟ තිබුණ විවිධ වාර්තා, පොත් ආදිය පීරමින් මමත්, උදවුවට සිටි සේවිකාවත්  එය සෙවුවා. ඒත් හම්බුණේ නෑ.

"අපරාදෙනෙ ස්කෑන් එක. ආයෙ කරන්න කාලයක් බලන් ඉන්න වෙනවනෙ......... ඒක පරිස්සම් කරගන්න තිබුණනෙ. මම රෝගියාට කිවුවේ චෝදනාත්මකව. ඔහුගෙ හිතත් කලබල වෙන් ඇති. මොහොතකින් ඔහු කොල කැබැල්ලක් ගත්තා පොතක් ඇතුළෙන්...........
"මේ තියෙන්නෙ ස්කෑන් රිපොර්ට් එක"

මට අඬන්නද හිනා වෙන්නද කියල හිතා ගන්න බැරි වුණා. ඇත්තම මට ඒ වෙලාවෙ හිනා ගියා. 

ඔහු අතට අරන් තිබුණෙ සතොසෙන් භාන්ඩ මිල දී ගත්තු බිලක්.... හාල් , සීනි, පරිප්පු සහ තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක් එහි සඳහන් වුණා.....

"මේ මොකද්ද....... මේ සතොසෙන් බඩු ගත්තු බිලක්නෙ. ස්කෑන් රිපොර්ට් එක දුන්නද දන්නෙ නෑ සතොසට..." මගේ කතාවට රෝගියාටත් හිනා ගියා.  

අන්තිමේදි ඒ ස්කෑන් රිපොර්ට් එකත් කොහේ හෝ අස්සක තිබිල හොයාගන්න අපිට පුළුවන් වුණා.

ඒ වෙලාවෙ ඒ ගැන හිනා ගියත්, දැන් ඒ ගැන හිතෙද්දි හිත ටිකක් බර වෙනවා. එකක් ඒ බිලේ තිබුණ භාණ්ඩ.ඒවා  අත්‍යවශ්‍යම භාණ්ඩ විතරමයි. කිසිම සුඛෝපභෝගී දෙයක් එහි තිබුණෙ නෑ.
අපි අත්‍යවශ්‍යයි කියලා හිතලා, ඒ දේවල් නැති වුනොත් ජීවිතෙන් බාගයක් නෑ වගේ හැසිරෙන කිසිම දෙයක් එහි තිබුණෙ නෑ. 

සමහර විට, ඒ මනුස්සයගෙ කකුලෙ තිබුන කාලාන්තරයක් පවතින තුවාලය නිසා හරි හමන් රස්සාවක් කරගන්න බැරුව ඇති. ඒ නිසාම ගෙදර බොහෝ ආර්ථික ප්‍රශ්නත් ඇති. 

ඒ වෙලාවෙ මගෙ කටට ආව හිනාව ඒ අසරණ කමට වුණ හිනාවක්ද කියල හිතෙද්දි දැන් ලොකු දුකක් දැනෙනවා.

අනිත් එක තමයි, මේ මිනිස්සුන්ගෙ තියෙන නොදැනුවත් කම ගැන හිතද්දි හිතට දැනෙන හැඟීම. ස්කෑන් කොලයක් සහ , කඩයක බිලක් වෙන් කරලා අඳුනගන්න තරම් වත් අවබෝධයක්  නෑ. ඒක අසරණ කම සහ දුප්පත් කමම නෙමේ. 

කාලයක් තිස්සෙ සාමාන්‍ය ලාංකීය සමාජයට විවර නොවීමේ ප්‍රතිපලයක් වෙන්නත් පුළුවන්. එහෙම කියලා, ලංකාවෙ අනිත් පැති වල ඉන්න මිනිස්සු තමන්ගෙ සියලුම ලෙඩ රෝග ගැන ඉතා හොඳ අවබෝධෙකින් ඉන්නවා කියන්නත් බෑ. 
ලෝකෙ අනිත් බොහෝ රට වලට සාපේක්ෂව අපේ රටේ බොහෝ දෙනා තමන් ගැන හොයලා බලන්නෙ ඉතා අඩුවෙන් කියලා කියන්න පුළුවන්. 

ඒ අතරිනුත් මේ ප්‍රදේශයෙ මිනිස්සු හිතන පතන විදිය ගොඩාක් වෙනස්. 

තවත් සමහරු භාශාව ප්‍රශ්නයක් කරගෙන.
එක උදාහරණයක් කියන්නම්.

මීට මාස කීපයකට කලින් හදිසියේම එක කාන්තාවක් වාට්‍ටුවට ආවා. ඇය ඊට මාස කීපයකට කලින් තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාවක වැඩි දුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහල වෙත අප විසින් යොමු කළ රෝගියෙක්. ඇය නැවත පැමිණ තිබුණේ වැඩි දුර පරීක්ෂණ සඳහා, කලින් ශල්‍යකර්මයේදී ලබාගත් පටක කොටස් කිහිපයක් ‍රැගෙන යාමට. නමුත්, ඒ පටක කොටස් ඉල්ලා තිබුණේ යාපනය රෝහලෙ නොවේ. ඉන්දියාවේ කුමක් හෝ රෝහලකින්.

ඇය ඉන්දියාවට යාමට හේතුව අප අසා සිටියා. ඇය පැවසුවේ මෙවැන්නක්.........

"ඒකට ඕන බේත් යාපනේ තිබුනෙ නෑ, ඒ නිසා මහරගමට යන්න කියලා එහෙන් ලියුමක් දුන්නා. ඒත් මහරගම යන්න අපිට සල්ලි නෑ. අනිත් එක සිංහල දන්නෙත් නෑ............ ඒ හින්දා ඉන්දියාවට ගියා.........."

නිකමට හිතන්න, ඒ ප්‍රකාශයේ ගැබ් වෙලා තියන දේ. මහරගම යන්න සල්ලි නැත්නම්, ඉන්දියාවට යන්න සල්ලි තියනවද....... 
ඒක තමයි අපේ හිතට මුලින්ම එන ප්‍රශ්නෙ. ඒත් , මහරගම නොයන්න ඇත්තම හේතුව ඒක නෙමේ.  සිංහල බැරි කම. 

ඒ වෙද්දිත් පිළිකාව හඳුනාගෙන මාස 5කට වැඩි කාලයක් ගත වෙලා තිබුනා. ඉන්දියාවෙන් ලංකාවටත්, ලංකාවෙන් ඉන්දියාවටත් යන්න එන්නම, ඒ ලෙඩා රස්තියාදු වෙලා. ඒක එයා විසින්ම ලඟා කරගත්තු අවාසනාවක්. ටිකක් කල්පනා කරලා ඒ වෙලාවෙ මහරගම ගියා නම් ඇයට කොයි තරම් නම් දේවල් ඉතුරු වෙනවද.........

රටේ වෙනත් ප්‍රදේශ ගැන අවබෝඅධයක් නැති කම. යුද්ධය ඉවර වුණා කියලා මෙහෙ මිනිස්සුන්ව දකුණට ගෙනිහින් ඔලුව හරවලා මේකයි අපේ රටේ ඇත්ත තත්වෙ කියලා අපිට පෙන්නන්න බෑ.  අඩුම තරමෙ, පාරවල් ටිකවත් හොඳට තියෙන එකේ ටිකක් අනිත් ප්‍රදේශ එක්ක සම්බන්ධතාවයක් පවත්වගෙන යන්න හිතෙනව නම්, මේ වැරදි අවබෝධ, නොදැනුවත්කම් ගොඩක් අඩු වෙලා යාවි.

ඒ වගේම උතුර ගැන දකුණෙ මිනිස්සුන්ගෙ තියන වැරදි වැටහීම් නැති කරන්නත් තවම අමාරුයි. මොකද්දෝ වාසනාවකට මෙහෙ එන්න හිතුනෙ නිසා නෙමේ නම්, අපිත් හිතන්නෙ තවම අර පරණ පුරුදු විදියට......

"එහෙ ඉන්න කරදර නැද්ද..........?" තවමත් කීයෙන් කී දෙනෙක් එහෙම අහනවද...... 
(ඉස්පිරිතාලෙට යන්නෙ බෝට්‍ටුවෙන්ද කියල අහපු යාලුවෙකුත් ඉන්නවා මට ;-) )
ඒ වෙලාවට පුලුවන් විදියට මෙහෙ වාතාවරණය ගැන තේරුම් කරලා දෙනවා..............

ලියන්න පටන් ගත්තෙ මිනිස්සුන්ගෙ තියන නොදැනුවත් කම් ගැන. ඒත් අද ලියැවුනේ අච්චාරු ලියවිල්ලක්.......... ඒ නිසා ලිවුව දේවල් සාරාංශ ගත කළොත්,
*මගෙ අපූරු දමිල භාශා හැකියාව
*රෝග නිසා මිනිස්සුන්ගෙ ආර්ථිකය බිඳ වැටීම
*තමන්ගෙ ලෙඩ රෝග ගැන අවබෝධයක් නැති වීම
*දැවෙන ප්‍රශ්න වලදීත් භාශාව පෙරට පැමිණීම
*උතුර දකුණ අතර පවතින අනවබෝධය

(ඒ සාරාංශ ගත කිරීම පෝස්ට් එකටත් වඩා අච්චාරු සහගත වුණා වගේ. ඒ නිසා පැහැදිලි ලිපියක් මේ මාතෘකාම අළලා ලියන්න බලාපොරොත්තු වෙනවා..................)

32 comments:

  1. හ්ම්... විසඳුම් ලබා දිය යුදු යම් තාක් දුරකට සංකීර්ණ ප්‍රශ්න කීපයක් එක පොකුරකට මතු කරලා.....! ලොකු සුසුමක්...!

    ReplyDelete
    Replies
    1. විසඳුම් ලබා දෙන්න හරි අමාරුයි මේවට.ඒත්, කාලයත් එක්ක හරි යයි ගොඩක් වෙලාවට

      Delete
  2. උතුර ගැන දකුණෙ මිනිස්සුන්ගෙ තියන වැරදි වැටහීම් නැති කරන්නත් තවම අමාරුයි>>>>>>>>>>>>

    දෙමළ වෛද්‍යවරයා

    http://transyl2014.blogspot.ca/2015/04/blog-post_23.html

    ReplyDelete
    Replies
    1. ඒකෙ අනිත් පැත්තත් එහෙමයි. අපි ගැන වුණත් තියන සමහර අයගෙ තියන්නෙ වැරදි ආකල්පයක්.
      මේ පැත්තෙ සමහරු කියනව "සිංහල දොස්තරලා නිසා මෙහෙ ලෙඩ්ඩුන්ට අසාධාරණයක් වෙනවා " කියලා. මෙහෙ ඉන්න අය කරන කැප වීම දන්නෙ මෙහ් ඉන්න අයම විතරයි.

      Delete
  3. බෝධිනී ගේ 'අනිත් කොණ' මතක් උනා මට.. අපරාදේ දැන් බෝධිනී ලියන්නේ නැත්තේ. අපිට නොපෙනෙන ඇහැකින් ලෝකය පෙන්නනේ යසනාත් ධම්මික, රුවන් ජයතුංග, සිදූ, බෝධිනී වැනි වෛද්‍ය වෘත්තීකයින්ට මගේ ප්‍රණාමය..

    අර මහරගම ඉන්දියා කතාවේ ලොකු ගැඹුරු යතාර්ථයක් තියෙනවා.. ඒ මිනිස්සුන්ට ඉන්දියාවට වඩා මහරගම 'ලඟ' බව ඒත්තු ගන්වන්නේ නැතුව කොළඹට වෙලා යුද්දේ දිනුම් කියල ට්‍රම්පට් ගහල සත පහක තේරුමක් නෑ.. බෝට්ටුවෙන් ඉස්පිරිතාලෙට යනවද කියල යාලුවෝ අහන්නේ සිදූ ඉන්නේ ජැෆ්නා කිට්ටුව අයිලන්ඩ් එහෙකද? මට කලින් පෝස්ට් එහෙක මතකයි මන්නාරම ගැන ලියල තිබුණා.. මන්නාරමේ මිනිස්සු නම් දවස ගානේ බෝට්ටු වලින් ඉන්දියාවට යන එනවා.. මගෙත් පළවෙනි ඇපොයින්මන්ට් එක කයිට්ස් වලට 99 දී. ඔය අයිලන්ඩ් හැම එකක්ම මට මගේ ගෙදර වගේ.

    ReplyDelete
    Replies
    1. ඔන්න බෝ අක්කා ආයෙමත් ලියන්න පටන් අරන්.

      ජැෆ්නා කිට්‍ටුව නෙමෙ මිත්‍ර. මේ මන්නාරම් දූපත. එහෙනම් ,මගෙ ප්‍රශ්නෙට විසඳුම් හම්බුණා මේ කමෙන්ට් එකෙන්. මන්නරමේ මිනිස්සු දවස ගානෙ බෝට්‍ටු වලින් ඉන්දියාවට යනව නම්, මේ කියන ලෙඩා යන්න ඇත්තෙත් එහෙම.

      Delete
  4. හ්ම්,එකම රටක් ඇතුලේ තවමත් අපි කොයි තරම් දුරස්ද සමාජ.ආර්ථිකමය,භාෂාමය අතින්.

    ReplyDelete
    Replies

    1. ටිකෙන් ටික ඒ දුරස්ථ බව අඩු වෙලා යයි. ඒත් භාශා ප්‍රශ්නෙනම්..... අනේ මන්දා

      Delete
  5. ලිපිය ලස්සනයි. ලස්සන ලිපියේ දුක් කරදර ගොඩයි. ඇත්තනේ මහරගම යනවට වඩා ළඟ ඇති ඉන්දියාවේ යන එක.
    හප්පොච්චියෙ අර සීයා වගේ තමයි මමත්. බෑග් එකේ ඕන දෙයක් හොයද්දි ග්‍රොසරි බිලක් තමයි ඉස්සෙල්ලම අහු වෙන්නේ. දැන්නම් ඉස්කෝල වල දෙමල උගන්නනවා නේද. අපේ පරම්පරාවට ඒක මග ඇරුන.
    ඇත්තටම මට හිතෙන දෙයක් තමයි මෙච්චර අත්‍යවශ්‍ය දෙයක් වෙලත් අපිට දෙමල ඉගෙන ගන්න ඔච්චර අමාරු ඇයි කියල. සමහර භාෂාවල් හරි අමාරුයි ඉගෙන ගන්න. මට නම් නැති හැකියාවක් .

    ReplyDelete
    Replies
    1. අපෝ ඇති හෑන්ඩ් බෑග් එක කුණු පලාමල්ලක් වගේ. :D
      ඒක 5S ක්‍රමේට හදාගන්න බලන්න.

      මමත් මේ දවස් වල ෆුල් ට්‍රයි කරනවා හින්දි ඉගෙන ගන්න. හරි යන්නෙම නෑ

      Delete
  6. මට හිතෙන්නෙ, මේ රෝගීන්ව යාපනේ ඉස්පිරිතාලෙන් දැනුවත් කරන තරම මදියි කියලා. මහරගම දෙමළ වෛද්‍යවරුන් යටතේ තියෙන වාට්ටුත් තියෙනවනෙ. එහෙම නැති වුණත්, ලිපියෙන් අවශ්‍ය කාරණා දන්වන බවත් ලෙඩාට කියලා, මහරගමට යොමු කරන්න තිබුණා.

    නිරන්තරයෙන් භාවිතා වෙන්නෙ නැත්නම් භාෂාවක් ඉගෙනගෙන මතක තියාගන්න අමාරුයි නේද? සිඳු හිතනවට වඩා ඔයාට දෙමළ පුළුවන් ඇති. ව්‍යාකරණ වැරදියට හරි, කියා ගන්න ඕන අදහස අනික් කෙනාට තේරෙන්න කියා ගන්න පුළුවන්නම් එච්චරයි.

    ඔය ගැන කියද්දි මතක් වුණා, ඉස්සර අපි දෙමළ ඉගෙනගත්තු හැටි- හුඟක්ම ඉතින් පොත්වලින්නෙ ඉගෙනගන්නෙ. ඊට පස්සෙ ඒවගෙ තියෙන විදිහට උච්ඡාරණය කරලා කිව්වට, නුවර පළාතෙ ඉස්පිරිතාලවලට වැඩිපුර එන වතුරකරයේ ජනයා කතා කරන්නෙ ඒ ඌරුවට නෙවෙයි. අපි එක්ක හිටි දෙමළ මව්බස විදිහට භාවිතා කළ මුස්ලිම් ළමයින්ටවත් ඒවා නොතේරෙන වෙලාවල් තිබුණා. ඒ අය පොතේ දෙමළ දන්නෙ නෑ. සමහරවිට මන්නාරම පැත්තෙත් ප්‍රාදේශීය ව්‍යවහාරයන් වෙනස් ඇති නේද?

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නත් පුළුවන් අක්කෙ. ඒත් අක්කෙ,මෙහෙ මිනිස්සුගෙ තවමත් තියනවා සිංහල පලාත් වලට යන්න මොකක්දෝ බයක් සැකයක් වගේ එකක්. තව generations දෙකක් වත් යනකම් ඒ ස්වභාවය තියෙයි. වෙන එකක් නෙමේ, මෙහෙන් අපි අනුරාධපුරේට යවනවටත් ගොඩාක් අය කැමති නෑ.

      ඔව් ඔව්, මෙහෙත් වෙනස් කම් තියනවා. උදාහරණයක් විදියට යාපනේ කියන්නෙ එන්න කියන එකට "වාන්ගෝ" කියල ඇදලා. මෙහෙ කියන්න "වාන්ග " කියල, තව වෙනස් කම් ඇති. මට නම් ගොඩක් ග්‍රීක් වගේ නිසා ලොකු වෙනසක් දැනෙන්නෙ නෑ.

      Delete
  7. දෙමළ ගැන කථා කරනවා නම් මම ඉන්න මැලේසියාවෙ දෙමළ අයගෙන් අති මහත් බහුතරයකට දෙමළ කථා කල හැකි උනාට කියවන්න ලියන්න බෑ. ඒ අය ඉගෙන ගන්න‍ෙ මැලේ භාෂාවෙන් උගන්වන පාසල් වල. අපේ ඔපීසියක දෙමළ කෙල්ලෙකුට දෙමළින් ලියවුන යමක් පෙන්නුවාම කියවන්න දන්නෙ නෑ කිව්ව පළවෙනි දවසෙ මම පුදුම උනා. ඔබට ඉක්මනින් දෙමළ ඉගෙනගන්න හැකිවේවි..එයට සරිලන පරිසරයක ඉන්න නිසා. තමිල්නාඩුවෙ සමාගමක මාස 8 ක් සේවය කල මගේ මිත්තරයෙක් ලංකාවට එද්දි චතුර ලෙස දෙමළ කථා කලා.

    ඔබට වගේම මටත් සමහර මිනිස්සු එක්ක කථා බහ කල ආකාරය වැරදියි කියලා පසුව හිතෙනවා. ඒ වෙලාවට ලොකු පසුතැවිල්ලක් ඇති වෙනවා. අර ‍බෝට්ටුවෙද ඉස්පිරිතාලෙට යන්නෙ කියලා ඇහුව කෙනා බ්ලොග් ලියන කෙනෙක් නේද ?

    ReplyDelete
    Replies

    1. මෙහෙ තියන ප්‍රශ්නෙ , අපිට මෙහෙ සිංහල කතා කරන්න බාදාවක් නෑනෙ. ඔයාගෙ යාලුවට වෙන විකල්පයක් නෑ, දෙමල කතා කරන්නම වෙන්න ඇති එයාට.

      හාහා.......... ඔන්න ඇදලම නාගත්තා, මම කිවුවෙ නෑනෙ කාටවත්, ඉස්පිරිතාලෙට බෝට්ට්වෙන්ද යන්නෙ කියල ඇහුවෙ ඔයා කියලා.

      Delete
  8. ලියවිල්ල අච්චාරුවක් වගේම රහයි. මොනවා හරි කීවට පස්සේ ඒ කීව එක හරි නැද්ද කියලා හිතෙන අවස්තා අපි හැමෝටම තියෙනවා. දෙමළ මනුස්සයා ගැන දැනුනේ පුදුම දුකක්. එයාලව දැනුවත් කරවන්ට පුලුවන් නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත නේන්නම්........ අච්චාරු රහයිනෙ

      Delete
  9. සිඳු මේකේ පැති කිහිපයක් තියෙනවා නේද?
    මා යාපනය ගැන දන්නේ නෑ. දෙමළ භාශාව කතා කරන දොස්තරලා ඕනේ තරම් ඉන්නව නේද?
    ඔයාට හිතෙන්නේ නැද්ද ඒක විශ්වාශයක් නැතිකම කියලා.
    ඔවුන් තාම හිතන්නෙ නෑ කොළඹ දොස්තරලා හා ඒ රෝහල් වල පහසුකම් ගැන.
    ඔවුන්ට අනුව ඉන්දියාට ඊට වඩා ඇඩ්වාන්ස්ඩ්.
    ඕක මම කියන්නේ ඇයිද දන්නවද?

    මම ඉන්න රට ලෝකෙන්ම හොඳ සෞඛ්‍යසේවයක් නොමිලේම දෙන රටක්. ජාතියක් ජන්මයක් හොයන්නේ නැතිව මිනිසුන් කියන පරමාර්ථයේ ඉඳන් බෙහෙත් කරන රටක්. (භාශාව කතා කරන්නේ නැත්නම් ඒ වෙනුවෙන් ට්‍රාන්ස්ලේටර්ස්ලට හරි ගෙවල දොස්තරලා ලෙඩේ හොයාගන්න අවස්ථා පවා තියෙනවා)
    ඒත් ඔයා අහලා බලන්න ලංකාවේන් ආව ඔක්කොම මිනිස්සු ලංකාවට ගිහින් අර ගිණි ගනන් දීලා ප්‍රයිවට් හොස්පිටල් වලට ගිහින් බෙහෙත් කරලා ආපහු එන්නේ. අඩුම තරමේ මෙහේ තියෙන පරීක්ශණ කිහිපයක්වත් තරම් කරගන්නේ ලොකු ගාණකුත් දීලා. අන්තිමට ලෙඩේ අමාරු වුනාමයි මෙහේ මතක් වෙන්නේ. ඒ වෙනකොට ණය වෙලා මොකද ලංකාවට යන්න බෙහෙත් කරන්න පොඩි ගාණකින් බෑ නෙව.
    හිනා යනවා කියන්නේ කැටරැක්ට් එකක් කරන්නත් මිනිස්සු ලංකාවට යනවා තාම. දැන් ඕක අපි කීවට මිනිස්සු විශ්වාශ කරන්නෙත් නෑ. එයාලා හිතන්නේ ලෝකෙ හොඳම හැම එකම තියෙන්නේ ශ්‍රී ලංකා ද්වීපයේ කියලා.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නත් පුලුවන් බුරු. විශ්වාසයක් නැති කමත් එක හේතුවක් වෙන්න ඇති. අනේ මන්දා, මට නම් ඉන්දියාවට යන්න බයේ බෑ, වකුගඩුවක්වත් ගලෝගත්තොත් කියලා

      Delete
  10. පළමු වර පැමිණියෙමි නැවත එන්නෙම් දැන් යන්නෙම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, හැමදාම එන්න

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. //දන්න දෙමළ සහ මමම නිර්මාණය කරපු දෙමළ වල උදව්වෙන්//
    අප්පේ මට අමාරුම සබ්ජෙක්ට් එක දෙමළ. සිඳු අක්ක මොන කට්ටක් කන්න ඇත්ද කියල හිතා ගන්න පුලුවනි.

    ඒ මිනිස්සුන්ම මහරගමෙන් ලැබෙන සැලකිල්ලනම් මම දැකල තියෙනව අක්කෙ හොඳටම. හැම එනවුන්ස්මන්ට් එකක්ම යන්නෙ සිංහලෙන්. අනික ක්ලිනික්වලදි එයාලට විස්තරයක් අහගන්න කවුරුත්ම නෑ. භාෂා ප්‍රශ්ණෙ උඩට හෙදියන්ගෙ නොසලකා හැරීමත් එකතු වෙනව ගොඩක් වෙලාවට. ඉතින් ඉන්දියාවට යන එක හොඳයි කියල හිතෙන්න ඇති.

    යුද්ධෙන් පස්සෙ ගොඩනැංවෙලා තියෙන්නෙ භෞතික දේවල්ම විතරයි. ඇතුලතින් අපි හිටියටත් වඩා අඩියක් දෙකක් පස්සට ගියාද කියල හිතෙනව.

    ReplyDelete
    Replies


    1. මෙහෙමයි නංගි. මහරගම ඉස්පිරිතාලෙ වගේම රජයේ ගොඩක් ආයතන වල සේරම වැඩ කෙරෙන්නෙ සිංහලෙන්. ඒකට හේතුව දෙමළ බැරි නම් ඉංග්‍රීසියෙන්වත් කතා කරගන්න, අපේ ගොඩක් රජයේ සේවකයන්ට නොහැකි වීම.
      මහරගම රෝහල ගැන මම දකින දෙයක්, රෝගීන්ට පහසුකම් මදි. ඒත් ඒ කාවවත් නොසලකා හරින්නෙ නම් නෑ. අඩු පහසුකම් යටතේ උපරිම සේවයක් කරන රෝහල විදියට මම දකින්නෙ මහරගම. සමහර රෝගීන් ඉන්නෙ palliative care . ඒ රෝගීන් වෙනුවෙන් කරනවට වඩා සේවයක්, බේරගන්න පුලුවන් අය වෙනුවෙන් කෙරෙනවා. කාටහරි කෙනෙක්ට අඩු සැලකිල්ලක් ලැබෙනව නංගි දැක්කෙ ඒ වගේ දේකදි වෙන්නත් පුළුවන්. මට කියන්න බෑ , හැම කෙනාම 100%ක් කැප වෙනවා කියල. කොතනත් එහෙමනෙ. රජයේ හෝ පෞද්ගලික හෝ වේවා...... වැඩ කරන කෙනා වැඩ කරනවා, නොකරන කෙනා කරන්නෙ නැ.

      Delete
  13. ඔයගෙ බදාදා අත්දැකීමට ගොඩක් සමාන අත්දැකීමක් මට සතියෙ දවස් පහටම ලැබෙනවා. ඒ හින්දම දැන් ටිකක් භාෂා ප්‍රශ්නය විසඳිලා. ඔයාගෙ ලිපිය අච්චාරු උනා කියල හිතෙන්නෙ මේ ලිපිය ලියන අතරෙ ඔයාගෙ හිතට කිවයුතුම දාහක් දේවල් ආවත් ලියා ගන්න බැර් වුන නිසා නේද. මම කියන්නෙ කොච්චර කාර්යබහුල වුනත් ඒ හිතට ආපු එකක්වත් අපතේ නොයවා මේ බ්ලොග් එකේම අකුරු කරවන්න. ඔයා මේ අත්දකින අත්දැකීම් ගොඩක් දුර්ලභයි ඒ වගේම වටිනවා. ඒව පුලුවන් තරම් බෙදලා දෙන්න.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් භාෂා ප්‍රශ්නෙ තියනවද..... අහ්. ඔව්නෙ නේද.........
      ඉතින් ලියන්නකො ඒ වගේ අත්දැකීම් ගැන. දැන් ලියනවා අඩු වෙලා නේ?

      Delete
  14. සිදූ... මතකයන් අලුත් කල පෝස්ට් එකක් නගෝ... ටික කලක් ඔය බාසාවෙන්ම කතා කරද්දි ඔය අවුල මග ඇරෙයි... මම ඉස්සර ප්‍රසව වාට්ටු වල... බබාලා ලැබෙන්න ඉන්න අම්මලාගෙන් අහන ටිකම බබා ලැබුන අයගෙනුත් අහපු කාලයක් තිබ්බා.. පුල්ලෙ නල්ල තුඩික්කිදා කියලා අහද්දී අර බබා ලැබුන අම්මා කොට් එක පෙන්වනවා...("බබා හොඳට දඟලනවද ?") අපිටත් තිබුන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අනුරාධපුරයටවත් මේ අයව යවා ගන්න බැරි එක... කැමතිම යාපනේ යන්න.. එහෙම නැත්නම් නොයා ඉන්න... බොහොම අමාරුවෙන් කොළඹ යවපු අයත් එහෙදි එක එක ඒවා පටලවාගෙන ආයෙ එනවා. ඒත් එවයේ ඉන්න දෙමළ දොස්තරලා කතා කරාවි පැහැදිලි කරාවි කියලා කීවම තමයි ටිකක් හරි අහන්නේ... හැබැයි එහෙ ගිහින් වෙන දෙයක් කරගෙන ආවම...අපේ කවුන්සලින් සේරම වතුරේ...සමහර ඔපරේශන් කරන්න යවපු අය එහෙදි බයවෙලා කන්සෙන්ට් නොදී හැරිලා එන ගතියක් තිබුනා.... ඔය අච්චාරු ලියමන් උනත් බොහොම හොඳයි හිතේ පොදි ගැහෙන ඒවා එළියට දාන්න... ඇත්තටම මේ අත්දැකීම් හරි ප්‍රබලයි... දුකයි.

    ReplyDelete
    Replies
    1. අපේ දෙමළ ගැන මතක් වෙද්දි හිනා යනවා. මට හැමදාම, කාල් , කෛ දෙක මාරු වෙනවා. මොනව කළත් හදා ගන්න බෑ. තව ගොඩක් තියනව අක්කෙ.

      Delete
  15. ඔක්කෝම එකට එක්කාසු වෙලා ලිව්වා කියලා කිසිම අවුලක් නැහැ... ඒ හැම එකම කලවං වෙච්ච එකෙන් සිඳු ඉන්න පරිසරය හා කරන්න වෙන දේවල්.. විඳින්න වෙන දේවල්... හැම දේම කලවමේ අපිට ලැබෙනවා... එහෙම නැතිව තනි ඉරකින් ගහලා මේ ලිපිය මේකට පමණයි කියලා කොටු උනා කියලා ඇති අමුතු දෙයක් නැහැ.. මේක හොද ලිපියක්.. බොහෝම කරුණු කාරණා රාශියක් ස්පර්ශ කරං ගිය...

    මහරගමට වඩා ඉන්දියාවේ යෑම ඒ අයට ලේසියි කියන එක ඇත්ත සිඳු... යාපනයයි ඉන්දියාවයි අතර නිල නොවන බෝට්ටු සේවා ඕන තරං තියෙනවා... විශේෂයෙන්ම යාපනයේ වෙළඳ කටයුතු වලට කොළඹ සම්බන්ධ වෙනවට වඩා ඉන්දියාව සම්බන්ධයි. මන්නාරමත් රාමේෂ්වරම් අතරත් සම්බන්ධයත් එහෙමමයි... භාෂා පහසුව වගේම කාලය හා මුදල් අතින් ගත්තත් ඉන්දියාවේ වැඩේ ලොකු අමුත්තක් නෙවෙයි...

    ඊ ලගට අර වයසක මනුස්සයගේ සතොසේ බිල... සිඳූ ඒ බිලේ අත්‍යවශ්‍ය දේවල් ඇර වෙන දේවල් නැති වෙන්න ඒ මනුස්සයගේ ආර්තිකේ හෝ වෙන දේකට වඩා බලපාන්න ඇත්තේ සතොසේ තියෙන්නේ අත්‍යවශ්‍යම දේවල් පමණක් වීම. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය නොවන දේවල් තිබුනත් තියෙන්නේ සතොස විශේෂ ශාඛාවල පමණක් වීමත්.. ඒ තිබෙන දේවලුත් පිටින් ගන්න ගනන්ම වීමත් නිසා සතොසෙන් මිනිස්සු ගන්නේ හාල්- අල -ලූණු -පරිප්පු -සීනි- ධාන්‍ය වර්ග -ටින් මාළු-තුනපහ ආදී දේවල් විතරයි.

    භාෂා හැකියාව ගැනනං කතා කරන්න එපා.. ඔයාට දෙමළ වගේ තමා මට ඉංගිරිසි... :D හින්දිනං තව ටිකක් පුළුවං... චිත්තරපටිවලටම පින් සිද්ධ වෙන්න... දැන් බලන්න මධුරි ඩික්සිත් තමා මට හින්දියෙන් දහතුනට විතර යනකල් කිසි අවුලක් නැතිව ගණින්න ඉගැන්නුවේ... අහලා ඇතිනේ අර සිංදුව.. “ඒක් දෝ තීන්... චාර් පාංච් චේ සාත් ආට් නව්...“ :D

    ReplyDelete
    Replies

    1. ඔව් අයියෙ. මෙහෙ කඩවල තියන තරමක් දේවල් ඉන්දියන්. ඒක තමයි හේතුව. මම අහල තිබුණට කාවවත් හම්බෙලා නෑ, බෝට්‍ටුවෙන් ඉන්දියාවට ගිය. ගියත් කියන එකක්යැ.
      ආදම්ගෙ පාලම බලන්න ගිය වෙලාවෙ මටත් යන්තමට වගේ හිතුන, ඉන්දියාව පැත්තෙ රවුමක් දාල බලන්න

      බලද්දි මධුරි කියන්නෙත් හොඳ මනුසයෙක්නෙ........

      Delete
  16. ගොඩක් හොඳ බ්ලොග් එකක්,එක හුස්මට කියවන් ගියා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලලිත්. ඒ ප්‍රතිචාරය හොඳටම වටිනවා මට

      Delete
  17. සාමය සහජීවනය මොන ලබ්බ කීවත් ඇත්තටම මිනිස්සු කොච්චර දුරින්ද ඉන්නෙ? අපි කොතනද ඉන්නෙ...
    අදමයි ආවේ මේ පැත්තට...

    ReplyDelete