ගින්දර කඳුලු

වෙලාව පාන්දර 1 ට විතර ඇති. විඩාපත් තවත් දවසක අවසානයක්. නින්දට යද්දි හිතුනෙ එහෙම. ඇඳට වැටීම සහ ඇස් පිය වීම අතර තිබුනෙ තත්පර කීපයක වෙනසක් විතරයි සුපුරුදු විදියටම.

ඒත් නින්දට වැටිලා ගත වුණේ පැයකටත් අඩු කාලයක්.

දුරකතනය නාද වුණා. "ගෙයක් ගිනි අරන්, තුන් දෙනෙක් අරන් ආව......." පණිවිඩයෙන් කියවුණා.ඒ ස්වරයෙම තිබුණෙ තැති ගැන්මක්.... 
වාට්‍ටුවට දුවන අතරතුර මගෙ හිතේ තිබුණෙ , තුන් දෙනාම දරුණු පිළිස්සුම් තුවාල ලබා නොතියෙන්න කියන ප්‍රාර්තනය.

පිච්චිලා තිබුණෙ අම්මයි, පුතාලා දෙන්නයි. 
අම්මයි, අවුරුදු 4 ක පුංචි පුතයි දෙන්නම ගැගැණු වාට්‍ටුවට ඇතුළත් කරලා, අවුරුදු 15ක පුතාව පිරිමි වාට්‍ටුවට ඇතුළත් කරලා තිබුණ. පිලිස්සුම් තුවාල ලැබූ රෝගීන් තුන් දෙනෙක්ව එකම වෙලාවෙ බලන එක අමාරු වැඩක්. විශේෂයෙන් ගින්දරට පිලිස්සුණ රෝගීන්ව. ඒත් ,වෙන කෙනෙක්ට උදව්වට  කතා කරලා ඇහැරවන්නත් හිත නොදෙන වෙලාවක් ඒක. 

වාසනාවට අම්මා ව එතරම් පිලිස්සී තිබුනෙ නෑ. ශරීරයේ මතුපිට ප්‍රමාණයෙන් 15 %ක පමණ සුළු ප්‍රමාණයක් පමණයි ඇය පිළිස්සී තිබුනෙ... ඒ නිසා ඇය පිළිබඳ අවධානය මදකට අඩු කරන්නට හැකියාවක් ලැබුණා. 
පුන්චි දරුවාගෙ පිලිස්සුම් තුවාල අම්මගෙ තුවාල වලට වඩා වැඩු වුණත්, වැඩිමහල් දරුවාගෙ තර නම් ප්‍රබල වුණේ නෑ. 
ඔහුව ඒ වන විටත් ගලා යන ඇල් ජලයෙන් නහවා තිබුණේ නෑ. පාන්දර 2 වැනි වෙලාවක කුඩා දරුවෙකු නැහැවීම ලේසි කටයුත්තක් නොවේ. ඒත්, අනෙක් දරුවා පිළිබඳව බැලීමට කාලය ඉතුරු කර ගැනීමටත්, ඇල් ජලයෙන් ඔහුව සේදාම අත්‍යවශ්‍ය කරුණක් වූ නිසාත් එය සිදු කළ යුතුම වුණා.

අවුරුදු 15ක් වූ දරුවාගේ ශරීරයේ මතුපිටින් 65% ක් පමණ පිලිස්සී තිබූ අතර, එම තුවාල තරමක් ගැඹුරු ඒවා වුණා. ඔහුට අවශ්‍ය ප්‍රතිකාර යුහුසුළුව ලබා දිය යුතු වුණා. අවශ්‍ය වේදනා නාශක, ප්‍රති ජීවක මෙන්ම , නියමිත දියර ප්‍රමාණද ඉක්මනින් ලබා දුන්නා.

සාමාන්‍යයෙන් , ශරීර ප්‍රමාණයෙන් 65%ක් පිලිස්සී ඇති විට එම රෝගියාව බේරා ගැනිම ශ්‍රී ලංකාව වැනි රටක අපහසුයි. එහෙත්, ඒ අවස්ථාවේදී ඒ යතාර්ථය කිසිම ලෙසකින් මට මතක් වුණේ නෑ. 
වේදනාව හැරෙන්නට ඔහු ඒ වන විට ඉතාම හොඳින් පසු වීම එසේ වන්නට හේතු වන්නට ඇති. ඔහු සඳහා සිදු කළයුතු, සහ සිදු කළ හැකි සියලු මූලික ප්‍රතිකර්ම සිදු කර අවසානයේ මම නැවතත් ගැහැණු වාට්‍ටුවට ගියා.

දරුවාගේ අම්ම සිටියේ හැඬූ කඳුලින්. ඇය ලබා සිටි පිලිස්සුම් තුවාල සම්බන්ධව ඈ හට කිසිදු වගක් වත් තිබුනේ නෑ. ඇයගෙ එකම ගැටලුව වූයේ තම දරුවන් දෙදෙනාම ගින්නකට හසු වී පිලිස්සී තිබීම. එහෙත් ඒ වන විට කුඩා දරුවා ඉතාම සතුටින් සෙල්ලම් කරන්නටත් පටන් ගෙන තිබුණේ පුදුමාකාර ලෙසට. වේදනාවෙන් පෙළෙන රෝගීන් හට වේදනා නාශක කොයි තරම් වැදගත්ද යන්න මට ඒ තරමට පැහැදිලි වූ වෙනත් අවස්ථාවක් නොමැති තරම්.  

කතාව මෙතනින් අවසන් වන්නේ නැහැ. 

පහුවදා උදැසන වාට්‍ටුවට ගිය වහාම මා ගියෙ පිලිස්සුම් තුවාල ලැබූ වැඩිමහල් දරුවා බැලීමටයි. ඒ වන විට මා ඔහුව අවසන් වරට දැක පැය 3ක් පමණ ගත වී තිබුණා. ඔහුගේ තත්වය ඉතාම ශෝචනීය වුණා. පාන්දර පැහැදිලිව නොපෙනුණ පිළිස්සුන ස්ථානත්, ඒ වන විට දිය බුබුලු මතු වී පෙනෙන්නට පටන් අරන් තිබුණා. පිලිස්සුන ප්‍රමාණය 70%කට ආසන්න බව මට වැටහුණා. 
නමුත් ඔහු ඒ වන විටත් ඉතාම හොඳින් කතා කරමින් සිටියා. 

"දැන් කොහොමද?" මම හැම රෝගියෙකුගෙන්ම උදේට අසන ප්‍රශ්නය ඔහුගෙනුත් අහුවා.
"ටිකක් හොඳයි" ඔහු පැවසූවේ වේදනාව අඩු වීම පිළිබඳව වෙන්නට ඇති. 

"සෝඩා බොන්න පුලුවන්ද මට? " ඔහු ඊලඟ මොහොතේ මගෙන් අසා සිටියා.  ( මෙම ප්‍රදේශයේ වැසියන් සියලුම සිසිල් බීම වර්ග හඳුන්වනේ සෝඩා යනුවෙන් බව මා මීට පෙර ලිපියකත් සඳහන් කළා මතකයි )

"සෝඩා බොන්න එපා. හොඳ නෑ, වතුර, තේ, කිරි වගේ මොනව හරි බොන්න" මම ඔහුට උපදෙස් දුන්නා.
"ආස නිසා දෙමුද ඩොක්ට?" මා සමග සිටි හෙද නිලධාරියාත් මගෙන් ඇසුවේ ඔහු පිළිබඳව අනුකම්පාවෙන්. එහෙත් ඔහුට කෘත්‍රිම  සිසිල් බීම පානය කිරීමට අවස්ථාවක් ලබා දීමට මගෙ සිත කොහෙත්ම ඉඩ දුන්නේ නැහැ. 
ඔහු ඉන් අනතුරුව පැවසූ දෙය වටහා ගැනීමට මගේ දමිළ භශා දැනුම ප්‍රමාණවත් වුණේ නැහැ. එය මට වටහා දුන්නේ හෙද නිලධාරියා.
"මම කොහොමත් මැරෙනවනෙ, ඒ නිසා ආසා දේවල් කන්න බොන්න දෙන එක හොඳයි නේද..." ඔහු මගෙන් අසා තිබුණා. 
"ඔයා මැරෙන්නෙ නෑ " මගේ උත්තය වුණ අතර හෙදිය එය ඔහුට එය පරිවර්තනය කර දුන්නා. ඔහුගේ මුහුණේ ඇඳුණේ සැනසීමක සේයාවක්. ඔහු නැවතත් "සෝඩා " ඉල්ලා සිටියේ නැහැ.

නමුත් ඔහුගේ තත්වය සතු‍ටුදායක නොවන බව ඒ වන විට සියල්ලන්ටම වැටහෙමින් තිබුණා. ඊට හේතුව වුණේ ශරීරයේ ඉතා විශාල කොටසක් පිළිස්සී තිබීම. 

කෙසේ වෙතත්, ඔහුගේ වයසත්, අනෙකුත් සාධකත් පිළිබඳව සලකා බැලූ මගේ විශේෂ වෛද්‍යතුමා ඔහුව ආසන්න රෝහලක පිළිස්සුම් වාට්‍ටුවකට මාරු කර යැවීමට තීරණය කළා. එම තීරණය පිළිබඳව මා පෞද්ගලිකවම සතු‍ටු වුණා, මන්ද යත්  වාට්‍ටුවට පැමිණි මොහොතේ සිටම ඔහු පිළිබඳව ප්‍රතිකාර බොහොමයක් සිදු වුණේ මගේ අතින් වීම නිසායි. ඔහු ජීවත් වනවා නම් ඒ තරම් සතුටක් තවත් කොයින්ද.... 

එහෙත් සිදු වී තිබුණේ නොවන්නට ප්‍රාර්තනා කළ දෙයමයි. ඔහු ලබා තිබූ තුවාල අනුව ඔහුව ජීවත් කළ නොහැකි බවට නිවැරදිව නිගමනය  කළ එම ඒකකයෙන් ඔහුව සවස් වන විට නැවතත් අප රෝහලටම මාරු කර එවා තිබුණා. ඒ අතරමගදී ඔහු අවසන් සුසුම් හෙළලා.

රෝගීන් මිය යන විට ඇත්තෙන්ම දුකයි. පිළිකා වැනි රෝග නිසා ජීවිතය සමග පොර බදින ඇතැම් රෝගීන් හට එය සැනසීමක් බව සිතෙන වාරද බොහොමයි.

නමුත් මිය ගිය රෝගියෙක් නිසා වෛද්‍යවරයකුට කඳුලු එන්නේ නම්, එය එතරම්ම සුලභ සිදුවීමක් නොවේ. 

එහෙත්, ඔහු මිය ගිය බව ඇසූ මොහොතේ මගේ ඇස් වලින් කඳුලු කඩන් වැ‍ටුණේ ඉබේම. නවත්වා ගන්නට අපහසු ලෙසින් එසේ සිදු වුණේ බොහෝ කලකට පසුව. 
"මම කොහොමත් මැරෙනවනෙ, ඒ නිසා සෝඩා බොන්න දෙන්න....." ලෙසින් ඔහු ඉල්ලූ ඉල්ලීම ඉ‍ටු නොකිරීම පිළිබඳව දැනුත් මගේ හිතේ ඇති වෙන්නේ විස්තර කල නොහැකි අන්දමේ දුකක්.....

සිහි වෙන විට තවමත් ඇසට කඳුලු නංවන්නට සමත් ඒ දරුවා කොහේ හෝ සතුටින් සිටින්නවා නම් කොයි තරම් හොඳද...........

Comments

  1. මේ සටහන කියවන මගේත් හදවත පිච්චිලා ගියා. ඔබට පසු තැවෙන්නට හේතුවක් නෑ ඔබ ඒ තීන්දුව ගත්තේ ඒ මොහොතේ කළ යුතුම නිසයි නේ. ජිවිතය ජීවත් කරනව බලාපොරොත්තුවෙන් නේ.

    ReplyDelete
  2. පව් අප්පා...පපුව කඩාගෙන වැටුන වගේ මට දැනුනෙ. වෛද්‍ය වෘත්තියෙ යෙදෙද්දි ජීවිතයක් ගලවගත්තම ජීවක මට්ටමේ ආත්ම තෘප්තියක් ලැබෙනව වගේම තමන්ගෙ දෑස් ඉදිරිපිටම ජීවිතයක් නැතිවුනහම පුදුම අසරණ කමක් හිතට දැනෙන්නෙ..නේද මැඩම්?

    ReplyDelete
  3. එතරම් පිළිස්සිම් තුවාල තිබූ කෙනෙක් සමාජයේ ජීවත්වනවාට වඩා මේ වුන දෙය ඔහුටත් දෙමව්පියන්ටත් දීර්ඝ කාලීනව සැනසුමක් වෙන්න පුළුවන්. එහෙම හිතල හිතා හදාගමු.

    ReplyDelete
  4. පසුගිය දවසක අපේ බ්ලොගර් කෙනෙකුටත් මේ වගේම ගින්නකට අහුවෙලා කරදරයක් වුනා.
    ඇයගෙත් පුතා මිය ගිහින් තිබුනා වවුන්ඩ්ස් වලින්. ඇය නම් ජීවිතේ බේරගත්තා.
    ඒ සිද්වීම මම දැනගත්තේ බොහොම පහුවෙලා වුනත් සිඳුට දැණුන දේමයි මටත් දැණුනේ. ඒක මතක් වෙනකොටත් තවමත් මාව හිරි වැටෙනවා.
    සමහරවිට මේක වෙන්න ඇති අපේ ජීවිතය කියන්නේම.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මමත් දන්නවා ඔය කියන සිදුවීම. ඒ දරුවාටත් වයස 4යි මතක විදිහට. ඒ සිද්ධිය දැනගෙන දවස් ගානක් යන තුරුම ඒක හිතින් අයින් කරගන්න බැරි උනා :(

      Delete
  5. ඔය පින්තුරෙන් පෙන්නන ලෝකෙට යන්න පුළුවන් වෙන්න කියලා පතමු

    ReplyDelete
  6. මට හිතෙන්නේ මෙහෙම.. ඔහු ඉල්ලපු සෝඩා නොදීමෙන් ඔබ ඔහුට ඊට වඩා සැනසීමක් දුන්නා.. ඒ සැනසීම හා බලාපොරොත්තුව නිසා ඔහු මැරෙනතුරු යම් විශ්වාසයකින් ඉන්න ඇති. ඔහු ඉල්ලු වෙලේ ඔබ සෝඩා දෙන්න අනුමත කලානම් ඔහු දැන ගන්නවා ඔහු ඒ වනවිට මරණයට නියමිත බව.. සෝඩා දුන්නට වඩා එය වටිනවා නේද?

    මේ කොමෙන්ට්ස් වල ෆොන්ට් සයිස් එක නම් හරී..ම.. පහසුයි ඇහැට.. :)

    ReplyDelete
    Replies
    1. මමත් කලනේ හිතන විදියට එකඟයි.ඒ දරුවාට පොඩි හරි බලාපොරොත්තුවක් ලැබිච්චි එක කොයි තරම්ද?අනිත් අතට ඔබ උත්සහා ගත්තේ කෙසේ හෝ දරුවා ජිවත් කරවන්ටනේ.ඔබ කල දේ ගැන කනගාටුවිය යුතු නොවේ.

      Delete
  7. ඔහු කොහෙහරි සතුටින් ඉඳීවි...

    ReplyDelete
  8. සංවේදීම සටහනක් නංගී... අවසානයේ වෙන්න පුළුවන් නරකම දේ නොවෙන බව හිතට කියමින්, වේවි යැයි සිතන හොඳ දිහාම බලාගෙන හිඳින්නෙක් මමත් ! පශ්චාත් යුධ සමයේ කඳවුරේ ටෙන්ට් එකක ඇති වූ ගින්නට හසුවූ ගැබිණි මවක්... තිස්සේම වද වුනේ ඇගේ කුසේ සිටින දරුවා පිළිස්සිලා දැයි කියා... අන්තිමේ මහ රෑ ස්කෑන් යන්ත්‍රයේ මොනිටරේ ඇය වෙත හරවා... පිළිස්සුනු කුසේ වේදනාව ඉවසන් හිටි අම්මාට... ප්‍රෝබ් එක හෙමින් තිය තියා බබාගේ හාට් බීට් එක පෙන්නපු මොහොත මතක් වුනා... ඔන් කෝල් එකේ මහ පාන්දර එක දෙක වෙන තුරු... ජීවිතේ හරිම වේදනාකාරීයි...

    ReplyDelete
  9. මේ ජීවිතේ මාරයි නේද??

    ReplyDelete
  10. මොනවා කියන්නද හිතා ගන්න බෑ. මම හැමදාමත් ප්‍රාර්ථනා කරන්නේ කවදාවත් දෙමව්පියන්ට තමන්ගේ දරුවෙක් මිය යනවා දකින්න ලැබෙන්න එපා කියලයි :(

    ReplyDelete
  11. නැහැ ඔයා ඒ වෙලාවෙ කළේ කළ යුතු දේ.. දැන් දුක් වෙන්න එපා කියන්න බෑ.සංවේදී කෙනෙක්ට ඒ මොහොත දුක්බරයි තමයි.

    ReplyDelete

Post a Comment