Saturday, November 14, 2015

වංචාව

රෝගීන් කියන්නෙ නිරන්තරයෙන්ම අපේ අවධානය ලැබිය යුතුම කොටසක්. බොහෝ විට ඔවුන් අපේ අනුකම්පාවටත් භාජනය වන්නේ, ඔවුන්  පත් වෙන රෝගී තත්වය ට 100% ක් වගකිව යුත්තේ ඔවුන් නොවන නිසා. තමන්ගේ වැරදි නිසා අසනීප වන්නන්ද නැතුවා නොවේ. නමුත් ඒ ඉතා සීමිත පිරිසක්. ඒ කෙසේ වෙතත්, තමන්ගේ වරදින් රෝගාතුර වූ රෝගීන් පිළිබඳවත් නොපහන් හැඟීම් පහල වන්නේ ඉතාම කලාතුරකින්

මීට වසර තුනකට පමණ සිදු වූ මෙම සිදුවීම තවමත් මා සිතේ විටින් විට හොල්මන් කරන සිදු වීමක්. ඒ දින වලම , මේ පිළිබඳව සටහන් තැබීමට සිත් වුවත්, එහි වූ අලුත් ස්වභාවය එයින් මා වැලැක්වූවා.

මේ සටහා නිසා , කාගේ හෝ සිතක් රිදේවිද යන සැකය තවත් මා තුළ නැතුවා නොවේ. නමුත්, අප ජීවත් වන සමාජය , අප සිතා සිටිනවාටත් වඩා කොපමණ වෙනස් දැයි පෙන්වීමට මෙය ලියා තබන්නට සිතුනා.

ඒ ශල්‍ය වාට්‍ටුවේ මගේ  සීමාවාසික පුහුණුව අවසන් වන්නට ඔන්න මෙන්න තිබූ කාලය. දිනය ඉරිදාවක්. සුපුරුදු ලෙසම ගතින් හා මනසින් සන්නාහ සන්නද්ධවයි සියලු දෙනාම ඉරිදා සවස් භාගය වන විට සිටින්නේ. ඒ ,ඉරිදා දින සවසට, රිය අනතුරක් හෝ කෝලහාලයක් නිසා එක අසාධ්‍ය රෝගියෙකුවත් අඩුම තරමේ වාට්‍ටුවට ඇතුළු වන බව දන්න නිසා . 

සිතූ පරිදිම සවස 6 වන විට තරුණයකු වාට්‍ටුට ඇතුළත් කරනු ලැබුවා. බැලූ බැල්මට රිය අනතුරක්. ඉතාම පිළිවෙලට ඇඳ පැළඳ සිටි අතර ‍රැවුළ පවා පිළිවෙලට , රටාවකට කපා තිබුනා. බාහිර කිසිදු තුවාලයක් ඔහු සතුව තිබුණේ නෑ. එහෙත් ඒ වන විටත් ඔහු සිහිසුන්ව සිටියා. ඔහු වෙතින් සැර මත්පැන් ගඳක් වහනය වුවත්, සිහිසුන් වීමට හේතුව එය නොව ,  අනතුර නිසා හිස තුළට සිදු වී තිබූ ලේ ගැලීම බව, සායනික පරීක්ෂා කිරීම් තහවුරු වුණා. 

පුදුමයකට මෙන් ඒ වන විටත් ඔහුගේ ජංගම දුරකතනයට සම්බන්ධ වූ 'hands free"  එක ඔහුගේ දෙකනෙහි ‍රැඳී තිබුණා.
"මේව කණේ ගහගෙන ගිහින් තමයි, මෙහෙම දේවල් වෙන්නෙ" තරමක වයස්ගත සාත්තු සේවකයකු එය දැක පැවසුවා මට තවම මතකයි.
"මොනව වුණත් පිළිවෙල ට ඉන්න කොල්ලෙක්  වගේ" හෙදියක් ද පැවසුවා. එය නම් සැබෑවක් බව මා හටත් ඒ වෙලාවෙහි සිතුණා.

ඔහුගේ හිසට සිදු වූ හානිය කොපමණදැයි තීරණය කිරීමටත්, ඒ සඳහා යම් ශල්‍යකර්මයක් අවශ්‍යදැයි බැලීමටත් ඔහුව කොළඹ ජාතික රෝහලට ගෙන යාමට තීර්ණය වුණා. ගැටලුව වුණේ, ඒ පිළිබඳව ඔහුගේ පවුලේ අයට දැනුම් දීමට හැකි කිසිදු ක්‍රමයක් නොතිබීමයි. ඔහුව රෝහලට බාර දුන් අයද ඒ වන විට වාට්‍ටුවෙන් අතුරුදහන් වී තිබුණා. වාසනාවකට මෙන් ඔහුගේ ජාතික හැඳුනුම් පත ඔහුගේ පසුම්බියේ තිබී හමු වූ අතර , එහි වූ ලිපිනය රෝහල් පොලිසිය වෙත අප ලබා දුන්නේ, ඔහුගේ පවුලේ අයට එම අනතුර පිළිබඳව දැනුම් දෙන්න ලෙසට දන්වමින්.

ඉන් අනතුරුව ඔහුව යුහුසුළුව ජාතික රෝහල කරා අප විසින් ‍රැගෙන යනු ලැබුවා. ඔහුගේ ලිපිනය සඳහන්  නිවසේ කිසිවෙකුත් නොමැති බව රෝහල් පොලිසිය මගින්  අප දැන ගත්තේ ඒ යන අතර තුරදීයි.

ඔහුගේ සාක්කුවේ වූ ජංගම දුරකථනය අප හට සිහිපත් වූයේ ඒ වෙලාවේදියි. එය ඉතාම අලුත් දුරකතනයක්. පුදුමයකට මෙන් එහි පුද්ගල නාමාවලියේ කිසිදු පුද්ගලයකුගේ අංකයක් සටහන් වී තිබුණේ නෑ. එය එදිනම හෝ, ඉන් පෙර දින ලබා ගත් දුරකතනයක් බවට අප තීරණය කළේ, එහි ඇතුළත් සිම් කාඩ් පත කඩාගත් විට ඉතුරු වන කොටස, ඒ වන විටත් ඔහුගේ පසුම්බිය තුළ තිබීම සහ, දුරකතනයේ ඇමතුම් ලබාගෙන තිබුණේ එදිනම පමණක් වූ නිසා. 

එහි වූයේ ඇමතුම් ලබා ගත් අංක දෙකක් පමණක් වූ අතර, ඉන් එකකට සැලකිය යුතු වාර ගණනක් අමතා තිබුණා. අපද එම අංකයම නැවත් ඇමතීමට උත්සහ කළා.එම දුරකතනය නාද වූ  නමුත් එයට කිසිවෙකුත් පිළිතුරු ලබා දුන්නේ නෑ. ඔහුගේ කෙටි පණිවුඩ වලත් තිබුණේ, එම අංකයටම යැවූ පණිවිඩ. ඒවා ගැහැණු ළමයෙකුට යැවූ පණිවිඩ වූ අතර ඇය ඒවාට පිළිතුරු එවා තිබුණේ ඉතාම තරහකින්. එවා කියවූ අපට අති වූයේ ඔහු පිළිබඳව මහත් වූ කණගා‍ටුවක්. ඒ පිළිබඳව සිත් තැවුලෙන් මෝටර් සයිකලයේ ගිය ඔහු ඒ නිසාම අනතුරට පත් වූවාද යන සැකයත් අප තුළ හට ගැනෙමින් තිබුණා. 
එම අංකයට තවත් කිහිප වතාවක් ඇමතීමට අප උත්සාහ කළා. අවසානයේදී ඇය එයට පිළිතුරු දුන්නා. එම තරුණයාගේ අනතුර පිළිබඳව සඳහන් කළ විට ඇය පවසා තිබුණේ ඇය ඔහුව නාඳුනන බවත්, ඔහුගේ ඇමතුම් සහ , කෙටි පණිවුඩ නිසා ඈ මහත් අපහසුතාවයට පත් වී ඇති බවත් . එම ප්‍රකාෂයේ සත්‍ය අසත්‍ය තාවය නොදැනම අප ජාතික රෝහල වෙතට ළඟා වුණා. එහෙත් ඔහු පිළිබඳව අපේ හිත් වල තිබුණ අනුකම්පාව දශමයකින් හෝ අඩු වී තිබුණේ නෑ. ඔහුව ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත ඇතුලත් කරනු ලැබුවා. 

ඉන් විනාඩි 30ක් ගත වීමට මත්තෙන් වේගයෙන් පැමිණි ත්‍රී රෝද රථයක් හදිසි අනතුරු අංශය ඉදිරිපස නවත්වනු ලැබුවා. ඉන් බැස ගත්තේ විලාප දෙමින් පැමිණි වයස්ගත කාන්තාවක්.
තරමක කලබගෑනියක් ඇති කළ ඇය, අප විසින් රගෙන ආ තරුණයාගේ මව. ඈ ඔහුට අයත් වූ පරණ සායන පොත් ආදිය බොහොමයක් රගෙන විත් තිබුණා. 

ඒවාට අනුව ඔහු හීමො‍ෆිලියා රෝගියෙක්. හීමොෆීලියා රෝගීගේ රුධිරය, සාමාන්‍ය මිනිසුන්ගේ මෙන් ඉක්මනින් කැටි ගැසෙන්නේ නෑ. ඒ නිසා ඔවුන්ගේ සිදුවන රුධිර වහන ඉතා බරපතලයි.

ඉන් නොබෝ වේලාවක පසුව ඔහුගේ CT වාර්තාවත් ලැබුණා. බලාපොරොත්තු වූ පරිදිම, හිස අභ්‍යන්තරයේ විශාල ලේ ගැලීමක්. එය ශල්‍යකර්මයකින් නිවැරදි කළ නොහැකි තරම් විශාල වූවක් බව ස්නායු ශල්‍ය ඒකකය මගින් තීරණය කරනු ලැබුවා. 
ඒ බව ඔහුගේ මවටද දැනුම් දෙනු ලැබුවා. 

අප සියල්ලන්ම පුදුමයට පත් වූ කාරණය සිදුවූයේ ඉන් අනතුරුවයි. "අනේ අර දරුවො දෙන්නට මම මොකද කියන්නේ" කියමිනුයි ඉන් පසුව ඔහුගේ මව හඬා වැලපුණේ. එය සියල්ලන්ටම ඉමහත් ගැටලුවක් වුණා. 
ඇයගේ හැඬුම් තරමක් යටපත් වූ පසුව සෙමෙන් ඇය වෙතට ලං වූ මම ඇය සමග මදක් කතා බහ කරන්නට සිතුවා
"මෙයා බැඳලද අම්මා?"
"අනේ ඔව් දුවේ...... බැඳල දරුවො දෙන්නෙකුත් ඉන්නව. ගෑණු ළමයිම දෙන්නෙක්. සල්ලි නැති නිසා ලේලි රට ගියා. එයත් හරි අමාරුවෙන් එහෙ ජීවත් වෙන්නෙ.....  මේ ළමයට මම හැමදාම කියනව මෝටර් සයිකලේ යන්න එපා, බොන්න එපා කියල ......... ඒත් අහන්නෙ නෑ. අදත් මට හොරෙන් යාලුවො එක්ක ගිහින් බීල අවිල්ලනෙ මෙහෙම වුනේ......." ඒ ඈ පැවසූ කතාවේ සාරාංශයයි.

ඒ වනතුරු ඔහු පිළිබඳව අනුකම්පා කළ අපට, ඔහු පිළිබඳව ඇති වූ කළකිරීම කෙබන්දුදැයි සිතා ගන්නට පුළුවන්ද?

විදේශයක දුක් විඳින ඔහුගේ බිරිඳ, අහිංසක දරු දෙදෙනා, දුකට පත් මව.... එපමණක් නොව කොහේ හෝ සිටින අහිංසක ගෑණු ළමයකුව රවටන්නටත් ඔහු උත්සහ දරා තිබුණා. ඒ සියල්ලම කණ පිට හැරී, අවසානයේ ඔහු විසින්ම ඔහුගේ ජීවිතයට කරගෙන තිබුණේ ‍රැවැට්ටීමක් සහ වංචාවක්........... 

දින කීපයක් දැඩි සත්කාර ඒකකයේ සිටි ඔහු සිහිය නොලබාම අවසන් ගමන් ගියා


23 comments:

  1. Replies
    1. මේ කතාවෙ ගොඩක් අය පව් තමයි. මට ගොඩාක් දුක ඒ අම්මා ගැන. සතියකට විතර පස්සෙ ඒ අම්මාව අපේ වාට්ටුවටම ඇතුළත් කළා..ගැස්ට්‍රයිටිස් හොදටම වැඩි වෙලා. නොකා නොබී ඉදීම සහ මානසික පීඩනය වෙන්න ඇති

      Delete
  2. පරක්කු වෙලා හරි ලිව්ව එකට මගේ ප්‍රණාමය

    ReplyDelete
    Replies
    1. කියවීම සහ පිළිතුරට මගේ ප්‍රණාමය ! ;-)

      Delete
  3. පරක්කු වෙලා හරි ලිව්ව එකට මගේ ප්‍රණාමය

    ReplyDelete
    Replies
    1. ආයෙත් කියන්නද උඩ කිවුව එකම ?;-)

      Delete
  4. කියන්න දෙයක් නැති කතාවක්...
    පව් ඒ කොල්ලද.. අර ළමයි දෙන්නයි අම්මයිද කියල කියන්න හිතාගන්න බෑ

    ReplyDelete
    Replies
    1. කොල්ල මැරුණ එක පව් තමයි. එතනින් එහාට මම මොකුත් හිතන්න කැමති නෑ.
      Ps. ගෑණු ළමයින් රවට්ටන්න හදන පිරිමි පිළිබදව මගේකිසිම පැහැදීමක් නම් නෑ

      Delete
  5. >>මේ සටහන නිසා , කාගේ හෝ සිතක් රිදේවිද යන සැකය තවත් මා තුළ නැතුවා නොවේ.<<
    පුදුමයකට වගේ සිඳුගේ සටහනට කලින් මම කියෙව්ව බ්ලොගයේ තිබුනේ මෙන්න මෙහෙම අදහසක්.
    >> Just Because It Offends Us, Should Everyone Stop Speaking?
    I feel that in this quest to be politically correct, we’re in danger of giving up our rights to free speech to build a culture that, while providing a safe harbour, also stifles the more eccentric, the more creative thoughts in the name of public satisfaction. <<

    From:
    /Icaruswept

    ReplyDelete
    Replies
    1. ඒක නම් වටින කතාවක්. මේ කතාව නිසා කාගේ හෝ හිත රිදෙන්න පුලුවන් කියල මට හිතුනෙ,මේ මරණය ඒ දින වල තරමක් ප්‍රසිද්ද වුණ එකක් නිසා. කවුද කියල නොදැනුනත්,ඔහුව දන්න අයට මතක් වෙන්නත් ඉඩ තියනව.

      Delete
  6. ජීවිත ගණනාවක් අපහසුතාවයට පත් වෙනවා එක වරදකින්

    ReplyDelete
    Replies
    1. ඒ විතරක් නෙමේ. රජයේ මුදල්.... !

      Delete
  7. අනුන් ගැන නොහිතා ජීවත් වෙන අය....... ගොඩක් ඒ වගේ අයට ජීවිතේ සෙල්ලමක්........... හැබැයි අවසානය බොහෝදුරට එක සමානයි. ඔය වගේ...............

    ReplyDelete
    Replies
    1. එයා අනුන් ගැන විතරක් නෙමේ.තමන් ගැන වත් නොහිතූ කෙනෙක්

      Delete
  8. ජීවිතේ මාරයි.....................

    ReplyDelete
    Replies
    1. මාරයි තමයි. ඒ වගේම අමුතුයි....චපලයි. එක තත්පරයෙන් වෙනස් වෙන්න පුලුවන්

      Delete
  9. තමන්ගේ නොසැලකිල්ල කි දෙනෙක් වරදට පත් කරනවාද ?

    ReplyDelete
  10. රෝහල් වල කතා නම් මාරයි තමයි. ජීවිතය ගැන වෙලාවකට පුදුමත් හිතෙනවා.

    ReplyDelete
  11. මුලදීම හිතුනේ ඔහු අහිංසකයෙක් කියලයි.හරි පුදුම අත්දැකීම්.

    ReplyDelete
  12. තමන් කරන කියන දේවල්වල ප්‍රථිඵල ඉතින් කවදාක හරි විඳින්න වෙනවා. එහි බලපෑම තමන්ට පමණක්ම නොවී තමා වටේ ඉන්න අයටත් මුළු මහත් සමාජයටමත් වෙන්න පුළුවන්. සමාජීය ප්‍රශ්ණ තමයි මේවා. අපි නොදන්න නොදකින පැති ත් මේ සිඳුවීම් ඇතුලෙ ඇති.

    ReplyDelete
  13. මේ වගේ වගකීමක් රහිතව ජීවත් වෙන අය කොයි තරම් ඉන්නවද. ගෙදර ආර්ථික දුෂ්කරතා, මේ වගේ අනියම් සම්බන්ධතා වලට යොමු වීමට හේතුව දුර්වල චරිතයක් සහිත වීම.

    ReplyDelete