Wednesday, May 4, 2016

නොමිනිසුන් අතර

ඒ මීට කාලයකට ඉහත දවසක්....
වාට්ටුවේ සුපුරුදු කලබලකාරී බව එදිනද එලෙසින්ම නොඅඩුව පැවතිණි. ඒ කලබලයට ඌණ පූර්ණ සපයමින් තවත් එක් රෝගියෙකු වාට්ටුවට ඇතුළත් විය.
ඔහු වයසින අවුරුදු් 40ක පමණ වූ අයෙකි . හැසිරීම වියවුල් වූ අතර ඔහු වෙති ප්‍රකටවූයේ අසීමිත කලබලකාරී ආක්‍රමණ ශීලි ස්ව්භාවයකි.
ඔහුගේ නළලෙහි වූ තවමත් සුව නොවූ තුවාලය දින කිහිපයකට කලින් වූ අනතුරක් පිළිබඳව සන් කරන්නට සමත් විය. ඔහු සමග පැමිණි කිසිවෙකුත් ඔහුගේ රෝග ඉතිහාසය නිවැරදිව දැන නොසිටියහ.

එහෙන් මෙහෙන් ඇසුණ කරුණු අනුව, ඔහු කොළඹ ප්‍රදේශයේ කුමක් හෝ රැකියාවක නිරත වන පුද්ගලයෙකි. ඊට දින කිහිපයකට පමණ පෙර තමන් හට මුහුණ දෙන්නට සිදු වූ යම් කිසි අනතුරක් නිසා, ඔහු හට හදිසි අනතුරු ඒකකය වෙත ඇතුළත් වන්නට සිදු විය... 

එම රෝගියා සමග අප වාට්ටුවට පැමිණ සිටියවුන් පවසා සිටියේ කලින් දිනයේ ජාතික රෝහලෙන් ඔහුව නිවෙස වෙත යවා ඇති බවය. (ටිකට් කපා ඇති බවය)
එහෙත් ඒ බව සනාථ කිරීමේ කිසිදු රෝග නිර්නය පතක් ඔවුන් සතුව නොතිබිණ.
රෝග නිර්නය කාඩ් පතක් නොතිබීමත්, රෝගියාගෙ හැසිරීම් රටාවෙහි වූ වෙනස් ස්වභාවයත් නිසා, ජාතික රෝහලෙන් ඔහුගේ ටිකට් කැපූ බව නම් විශ්වාස කිරීමට අපහසු කරුණක් විය. අපගේ මතය වූයේ ඔහු වාට්ටුවෙන් හොරෙන් පලා ගිය රෝගියෙකු වන්නට ඇති බවය. ඔහුගේ නළලෙහි වූ දින කිහිපයක් පරණ තුවාලය ඔහුගේ රෝග ඉතිහාසයේ ආරම්භය පිළිබඳව අප හට යම් දල අදහසක් ලබා දෙන්නට සමත් විය.

ඔහුගේ මතකය පැහැදිලි නොවූ අතර , හැසිරීමෙන්ද පෙන්නුම් කළේ ඔහුගේ හිසට සිදු වී ඇති අනතුර හේතුවෙන් හිසෙහි යම් කිසි අභ්‍යන්තර රුධිර වහනයක් හෝ තැලීමක් තිබීමේ ඉඩ කඩ වැඩි බවය. නාස්ති කිරීමට කාලයක් නොවූ තැන, ළඟ පිහිටි ශික්ෂණ රෝහලක් වෙත අප විසින් ඔහුව මාරු කරනු ලැබූයේ, ඔහු සිටි තත්වය අනුව හිසෙහි සීටී පරීක්ෂණය අනිවාර්‍ය වූ නිසාය. 

දින ගණනක් ගත වූ තැන ඔහු පිළිබ්ඳ මතකය මගෙන් ගිලිහී ගියේ, ඔහු වැනි රෝගීන් බොහෝ දෙනෙකු දිනපතා හමුවන නිසාවෙනි.

නමුත්, සති දෙකකට පමණ පසුව නැවත වරක් ඔහු අප වාට්ටුවේ පෙනී සිටියේය. ඒ පෙර කී රෝහලෙන් ඔහුව නැවතත් අප වෙත මාරු කර එවීම නිසාය. රෝහල් අතර සිදු වන මාරු කිරීම් වලදී එය සාමාන්‍ය තත්වයකි. රෝගියාගේ ටිකට් කැපීමේදී, ඔහුගේ තත්වය අනුව, නිවෙසට යවනවාද , නැතහොත් මුලින් සිටි රෝහලටම නැවත මාරු කර යවනවාද යන්න තීරණය කිරීම වෛද්‍යවරයාට සිදු කළ හැකිය.
ඒ වන විට ඔහුගේ තත්වය තරමක් හොඳ අතට හැරී තිබුණි. සිතූ පරිදිම ඔහුගේ මොළයේ රුධිර වහනයක් සිදු වී තිබූ අතර එය ඉවත් කිරීම උදෙසා ශල්‍යකර්මයක් අවශ්‍ය වී නොතිබිණි. 

ක්‍රම ක්‍රමයෙන් නමුත් ඉතා සෙමෙන් සුව අතට හැරෙමින් සිටි ඔහුව බලන්නට වාට්ටුවය පැමිණුනේ එක් කාන්තාවක් පමණක්ම විය.ඇය ඔහුගේ බිරිඳ බව , දින කිහිපයක්ම ඔවුන් පිළිබඳව අවදානයෙන් සිටි මා හට පසක් විය.
ඔහු හට සැබවින්ම සිදු වූයේ කුමක්දැයි දැනගැනීමට මා තුළ විශාල උනන්දුවක් ඇති වී තිබිනි. එම නිසා එක් දිනක ඇය ආපසු යන්නට සැරසෙන විට මම ඇයව මදකට නවත්වා ගතිමි.

ඈ ඔවුන්ගේ කතාව පැවසීම ආරම්භ කලේ ඉතා උනන්දුවෙනි. හරියටම කිවහොත්, ඈ හට ඒ පිළිබඳව පැවසීමට කෙනෙකු ඇය කාලයක් තිස්සේ හොයමින් සිටි අයුරිනි....
ඇගේ කතාව ඇගේ වචන වලින්ම පවසන්නම්.
මගෙ මහත්‍තය මේසන් වැඩ කරන්නෙ. අපිට ළමයි දෙන්නෙක් ඉන්නව. එක්කෙනෙක් ගෑණු ළමයෙක්... බැඳල ගිහින් ඈත ඉන්නෙ... එයාටත් ළමයි ඉන්නවා. ඒ නිසා යන්න එන්න අමාරුයි.
තව එක පුතෙක් ඉන්නව. එයාගෙ ඇස් දෙකම පේන්නෙ නෑ. ඒ නිසා රස්සාවක් කරගන්න බෑ...
මහත්තයගෙ රස්සාවෙන් හම්බෙන සල්ලි වලින් තමයි අපි ජීවත් වෙන්නෙ...."

ඒ අනුව ඔවුන් තිදෙනා ඒ වන විට පත් වී ඇති තත්වය පිළිබඳව අමුතුවෙන් සිතා බැලීමට මා හට අවශ්‍ය නොවීය. මුදල් උපයන , පවුලේ එකම පුද්ගලයා මෙසේ අසනීප වීම , එම පවුලට අකුණු සැරයක් බඳු වන්නට ඇත.
ඇය දිගින් දිගටම කතා කරන්නට වූවාය.

" මහත්‍තයා කොලඹ රස්සාවට ගියෙ මාස දෙකකට විතර කලින්. කොන්ත්‍රාත් අරගෙන බිල්ඩින් හදන කොම්පැනියක වැඩ කළේ මේසන් වැඩ.
ඇක්සිඩන්ට් වුන දවසෙ හවස වැඩ ඇරිලා යද්දි, කාර් එකකට හැප්පිලා... ඒ කාර් එකේ ගිය මිනිස්සුම කොළඹ මහ ඉස්පිරිතාලෙට ගිහින් දාලා තිබුණ. මටත් එයාලම තමයි පණිවිඩය කිවුවෙ"

අනතුරට පත් වූ මිනිසුන් මැරෙන්නට මග මග අත ඇර යන ලෝකයක, එම වාහනයේ ගිය වුන් සැබෑම හොඳ මිනිසුන් බවය මට සිතුනෙ. එහෙත් මගේ එම සිතිවිල්ල එතරම් නිවැරදි නොවීය.

"පලවෙනි දවසෙ ඉඳන්ම මහත්තයගෙ සිහි කල්පනාව එච්චර හොඳ මට්ටමක තිබුණෙ නෑ. ඔලුව ස්කෑන් කරල එහෙ දොස්තර මහත්තුරු කිවුවෙ මොළේ ඇතුලට ලේ ගලලා, ටික කාලයක් යයි අඩු වෙන්න කියලා....
එයා වාට්ටුවෙ ඉද්දි අර කාර් එකේ ගිය අයත් බලන්න ඇවිත් තිබුන. කාර් එක එළවපු එක්කෙනා ඒ වෙද්දිත් හිටියෙ රිමාන්ඩ් එකේ.
මටත් එයාලාව හම්බුණා. තුන්වෙනි දවසෙ මම මහත්තයව බලන්න යද්දි ඇතුළට යන පාස් ඉවර වෙලා තිබුනා. එයාලා පාස් දෙකම අරගෙන ගිහින් තිබුණා. මට යන්න ලැබුනෙ නැති නිසා මට කිවුවා, එයාලා මහත්තයව බලන්නම්, මට ගෙදර ගිහින් දවසක් දෙකක් ඉඳලා එන්න කියා"

අසනීප දරුවෙක් තනිවම නිවසෙහි දමා ගොස් සිටි ඇයට ඒ වදන් මහත් වූ අස්වැසිල්ලක් වන්නට ඇත. කිමී 300කට වැඩි දුරක් ගෙවා ඈ නිවසට පැමිණ තිබුණේ ඒ නිසාවෙනි. දින දෙකකිනි පසුව ඇය නැවතත් කොළඹ ගියේ තම සැමියාව දකින රිසියෙනි.

" ඒත් මහත්තයා ඒ වෙද්දි වාට්ටුවෙ හිටියෙ නෑ. වාට්ටුවෙන් අහල බලද්දි කිවුවෙ , එයාගෙ භාරකාරයො කැමැත්තෙන් ටිකට් කපාගෙන අරන් ගියා කියලා....
මම දැනගෙන හිටියෙ නෑ, භාරකාරයො විදියට දීල තිබුණෙ එයාලගෙ නම් කියලා. මට සිංහල දන්නෙත් නෑනෙ. සිංහල පුලුවන් නෑදෑ ළමෙක් එක්ක මම ගියෙ.

ඊට පස්සෙ මම ඒ වාහෙනේ අයිතිකාරයන්ට කතා කළා. එයාලා කිවුවා මහත්තයට සනීප නිසා ටිකට් කපාගෙන ආවා කියල. කොටුවෙ ඉස්ටේසන් එකෙන් කෝච්චියට නැග්ගුවා කිවුවා. බය නැතුව ගෙදර යන්න කිවුවා. කෝල් එකක් අරන් බලන්නවත් නොම්බරයක් තිබුණෙ නෑ මහත්තයා ගාව. ගමේ දන්න තැන් වලට කතාකරල බැලුවත් එයා ඇවිල්ලා තිබුණෙ නෑ. ඒත් මම මොනව කරන්නද, මම ආපහු ගෙදර ගියා. ඒත් එයා ගෙදර ආවෙ නෑ. ඒ වෙද්දි අර කාර් අයිතිකාරයන්ගෙ නොම්මරේ වැඩ කළේ නෑ. "
කොහෙ බැලුවත් හිටියෙ නැති නිසා, ආයෙමත් අපි කොළඹ ගියා. වෙන යන්න තැනක් නොදැන , අපි ගියා කොටුව ඉස්ටේසම ට....
ගිහින් බලද්දි එතන මහත්තයා හිටියා. මොකුත් මතක නෑ... ඉබාගාතේ ඇවිද ඇවිද හිටියා. එයාලා මහත්තයව පෙන්නල රිමාන්ඩ් එකේ හිටිය කෙනාව නිදහස් කරගෙන"

ඇයගේ දෑසේ කඳුලු නැගෙයි. ඈ හට දිය හැකි පිළිතුරක් මා හටද සිතා ගත නොහැකි විය. ලෝකයේ මෙවැනි මිනිසුන් සිටීදැයි වරෙක සිතේ.
"බයවෙන්න එපා අම්මා, එයා හිමින් හිමින් සනීප වෙයි. ඒකට ඔයාලගෙ උදවු තමයි දැන් ඕනා" මම ඈ හට පැවසූවේ එපමණකි. සැබැවින්ම ඔහු හට ඉක්මනින් සුව වන්නට අප වාට්ටුවේ සියල්ලෝම උපරිම සේවයක් ඉටු කළහ.
සැබැවින්ම ඔහු සම්පූර්ණයෙන් සුව වීමේ ඉඩ බොහෝ ඇත. නමුත්, ඒ සඳහා උපරිම උපකාර නිවැසියන්ගෙන්ද අවශ්‍ය වේ. ඔවුන්ගේ පවුල් පසුබිම, ආර්ථික තත්ව ආදිය අනුව එය එතරම් පහසුවක් නොවන්නට ඇත.
මිනිසෙකුට උපකාර කිරීමට , මිනිස් කමට ගරු කිරීමට තවත් මිනිසෙකුට නොහැකි නම් එවන් සමාජයක් ගමන් කරනුයේ කොතැනටද යන්න ඔබ තීරණය කරන්න.


20 comments:

  1. ඕ ෂිට්.. පුදුම ආත්මාර්ථකාමි බවක්..

    ReplyDelete
    Replies
    1. ඒ විතරද.රැවටීම කොයි තරම් ද...

      Delete
  2. වනසිවුපාවන් වැනි මිනිසුන් මැද දෙවියන් බදු ජීවකයෝද සිටිති

    ReplyDelete
  3. කලකිරෙනව මේවා ඇහුවම. පුදුම සමාජයක අපි ජීවත් වෙන්නේ.

    ReplyDelete
  4. වැඩ ඇරිලා කම්පැනි එකෙන් දීපු accommodation එකට යන ගමන් වෙච්චි අනතුරක් නම් වැඩ කරපු කම්පැණි එකත් රෙස්පොන්සිබල්. විස්තර දන්නවනම් තව ටිකක් උදව් කරන්න පුළුවන් අදාළ කම්පැනි එකට කතා කරලා උනත්. වින්දිතයා දුර්වලයෙක් කියල දැන ගත්ත ගමන් පොලිසිය උනත් ගණන් ගන්නේ නෑ. නොවිය යුත්තත්ම ඒකයි.. ඒත්..

    ReplyDelete
  5. පහත් තැනින් තමයිලු වතුර බහින්නෙ. පව් අර මනුස්සය.
    දෙමළ වුණා කියල හරි අසරණයෙක් වුණා කියලහරි එ කරපු වැඩේ නං අන්තිම නින්දිතයි..
    සිදු අක්කල ග්‍රේට්

    ReplyDelete
  6. //මිනිසෙකුට උපකාර කිරීමට , මිනිස් කමට ගරු කිරීමට තවත් මිනිසෙකුට නොහැකි නම්// මෙහෙම තමයි හුඟ දෙනෙක් අද.
    ගීතය මතක් වුණේ මට, චන්ද්‍රලේඛාගෙ. දෙවිවරු වගේ මිනිස්සු නම් අතේ ඇඟිලි ගාණටත් අඩුවෙන්, වන සිවුපාවොනං එමට

    ReplyDelete
  7. වාහන ඇක්සිඩන්ට් එකකදි මහ අමුතු සීන් තියෙන්නෙ අපේ මිනිස්සුංගෙ.. අසරණකම හරි වැදගත්කම හරි පෙන්නුවනං ටොපිය තමා..චැහ්

    ReplyDelete
  8. දෙවිදේවතාවුන් වැනිමිනිසුන්.

    ReplyDelete
  9. පුදුම මිනිස්සු අප්පා මේ ලෝකෙත් ඉන්නෙ.. මිනිස්සුන්ට සලකන්නෙ තත්වෙ බලල. එහෙම නැතුව හැම කෙනාටම සාධාරණයක් වෙන්න ඕනෙ කියන අදහසෙන් නෙවෙයි සලකන්නෙ..

    ReplyDelete
  10. එහෙමත් මිනිස්සු ඉන්න ලෝකෙක නේ අපි ජිවත් වෙන්නේ.
    මේ සිදුවීමේන් අගතියට පත්වෙච්චි රෝගියාට මේ ගැන පොලිසියට පැමිණිලි කරන්න බැරිද?එත් පොලිසිගානේ නඩු කියන්න ගියොත් ඒ මනුස්සයා කබලෙන් ලිපට වැටෙනවා වගේ තත්වයකට පත් වෙන්නත් පුළුවන්.

    ReplyDelete
  11. ලොකු කළකිරීමක් දැනෙනවා.. හුඟක් මිනිස්සු ගාව නැතිම දේ තමා මනුස්සකම..

    ReplyDelete
  12. Hi, do you still have the contacts of this family. My Dad was in a similar situation. We could not save him. Please let me know how I coukd contact you directly

    ReplyDelete
  13. Hi, do you still have the contacts of this family. My Dad was in a similar situation. We could not save him. Please let me know how I coukd contact you directly

    ReplyDelete
  14. සමහර මිනිස්සු හරි අමුතුයි, තමන්ට දෙයක් උනොට් විතරමයි සමහර මිනිස්සු, තාමත් මොකක් හරි හොඳක් ඉතුරු වෙලා තියෙන්නේ මනුස්ස කම දන්නා මිනිස්සු ඉන්න නිසාම විතරයි, අනින්ගේ දුකකදී කරදරයකදී තමන්ටත් එක දැනෙන.

    ReplyDelete
  15. හරියට කලකිරෙනවා ..සික් ..අඩු ගානේ ඒ මනුස්සය සනීප කර ගන්න උදව් කරන්න ඕන නේද. ඒ මිනිස්සුන්ට ඕවට ශක්තියක් නැතුව මිසක් අදාළ පොලිස් වාර්තා ඇතිනේ. කොහෙද ඉතින් අපේ පොලිසියත් ..මොකට කියනවද ඒ ගැන

    ReplyDelete
  16. Monava karannada neda?minisun vela ipadunata godak aya saththu vage thama hasirenne

    ReplyDelete
  17. මම නම් මේ ගැන පුදුම වෙන්නෙ නෑ. මේක තමයි අද සමාජයේ තත්ත්වය . මමත්වය, ආත්මාර්ථය මිස මනුෂ්‍යත්වය ක්‍රියාත්මක වෙන්නෙ නෑ ....

    ReplyDelete
  18. සමාජයක් රවටන අඳුරේ හෙලන නොමිනිස්සු...මෙවැනි තත්වයන් ගැන අපි බොහෝ සැලකිල්ලෙන් සිටිය යුතුය.

    ReplyDelete
  19. වෙන මුකුත් නෙවි මේ සින්දුව තමා මතකෙට ආවෙ..
    "කාසි වලට ගන්නත් බෑ
    කාසි වලට දෙන්නත් බෑ
    මනුස්සකම මිනිස්සුනේ
    කාසි වාසි ඇති අය ළඟ
    බොහොම හිඟයි ගන්නට නෑ
    මනුස්සකම මිනිස්සුනේ...."

    ReplyDelete