Sunday, September 18, 2016

සමු නොගන්නෙම් , මතක දෙවසර. 01

මගේ ගම හැරුණු විට මා ආදරය කරන පෙදෙසක් වේ නම් ඒ මන්නාරමයි. එහි ගෙවූ වසර දෙක ජීවිතයේ කිසිම දිනෙක නොලැබූ අත්දැකීම් සමුදායක් සහ මතක ගොන්නක් මා හට තිලිණ  කළේය.

ඒ කාලය පිළිබඳව ලිවීමට ඇති වූ සිතිවිල්ල එයින් පිට වන තුරුම මම ප්‍රමාද කළෙමි. ඒ සමුගැනීමෙන් ඇති වූ විරහව හොඳින් විඳිය යුතු නිසාය. සැබැවින්ම දැන් මම එකී විරහව ඕනෑවටත් වඩා අත් විඳිමින් සිටිමි. මන්නාරම සහ  එහි සිටියවුන් සියල්ලන්ගෙන් වියෝ වීමෙන් , “ප්‍රියයන්ගෙන් වෙන් වීමේ දුක” පිළිබඳව අසිමිතවම මා හට අවබෝධ කරවීය.

“කොහොමද ලිවීමේ කටයුතු? මන්නාරම ගැන, අපේ සෙට් එක ගැන ලියන්නේ නැද්ද? අපි ගැන නොලියන බ්ලොග් මොනවටද? “ චානක ගේ වයිබර් පණිවිඩය මේ ලිවිම ඉක්මන් කිරීමට තවත් එක් හේතුවක් විය.

ඉතින් මම ලියමි. ඒ මගේ ආත්ම තෘප්තිය උදෙසාය.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

1.       මන්නාරම් පාළම උඩ

ඉතා තුනිවට දිය සායම් තැවරූ නිහඬ සිතුවමක් බඳු වූ කලපුව අනන්තය දක්වා පැතිරී ගොස් අනන්තයේ කෙළවරදී අහස සිප ගනියි. ඉඳ හිට වතුර දිගේ දිව ගිය දිය කාවකුගේ පියසැැරියෙන් කළඹුනා මිස ගලන නොගලන  තරම් නිශ්චල වූ දිය දැවැන්ත තැම්පත් බවක් පල කළේය.

සැන්දෑ අහසට ගිනි තබමින් අවරගිරින් හිරු බැස යමින් තිබිණි. සිතුවමේ ඊට පහලින් ,ඉදි වෙමින් පැවති දුම්රිය මාර්ගයේ පාලම කලු  පැහැති යකඩ කම්බි වලින් සැදුවක් සේ ඇතට දිස් විය.

පෙරදිගින් සඳ පායා එමින් තිබිණි. සඳ නැගීමත් හිරු බැසීමත් එක වර සිදු වීම ඒ වනතුරුත් කිසිම දිනෙක දැක නොතිබූ මම සොබා දර්මයේ ඒ සොඳුරු නාට්‍යයේ ජවනිකාවන් මුසපත් වී ගියෙමි.
සඳ පසුබිමින් මන්නාරම් කොටුව දිස් වේ.ඒ කරා යනු සිතුණේ නිරායාසයෙනි. එහෙත් තරු එකින් එක දෑස් විවර කරයි. ඒ නිසා ඒ ගමන මම කල් දැමීමට තීරණය කළෙමි.

හබල් ගසමින් පැද ආ ඔරුවකින් බැස ගත් මිනිසෙකු ඔරුවෙන් දියට බසිනු දිස් විය. ඔහු පිනන්නට යනවාද? නැත. ඔහු කලපුවේ ඇවිදීමට පටන් ගත්තේය. කලපුව එතරම් ගැඹුරු නොවන සේ විය. ජල මට්ටම ඔහුගේ දණහිසට මදක් ඉහළිනි.  
“කලපුවේ වතුර මට්ටම වඩදිය බාදිය එක්ක වෙනස් වෙනවා” කිසිවකු පැවසුවක් සිහියට නැගිණි.


පවනට බඳු වේගයෙන් ඇදී යන වාහන නිසා නිහඬතාවය ඉඳ හිට බිඳී ගියේය.  එහෙත් නැවතත් අර අසීමිත නිශ්චලත්වයට එළඹීමට පරිසරයට ගත වූයේ නිමේශයකි.

අප සිටියේ නිවසින් කිලෝමීටර දෙසිය ගණනකටත් වැඩ දුරකිනි. කුමක්දෝ විස්තර කළ නොහැකි පාලු හැඟීමකින් සිතට ඉඳි කටු අනිනවා ලෙස දැනුනේ වරක් දෙවරක් නොවේ.  එහෙත් එවන් වූ අපුර්ව ලෝකයක තනි වීමේ, කිසිවෙකුට ලෙහෙසියෙන් නොලැබෙන ආහ්ලාදයෙන් ද මම අසිමිතවම පරිපුර්ණ වී සිටියෙමි.

සීමා වට කඩුලු නොතැකූ සඳ දිය, සිය  කිරණින් තැනූ සළුව එලමින් අහස මුදුනට පිය මනිමින් සිටියේය.

කටු කම්බි පවුරු පදනම් නොපෙනී සඳ  හට, එක යායක් වේ මුළු ලෝකය සඳ එළියට” ශෂිකා නිසංසලා ගේ ගීතය ඇසෙනවා බඳු විය.

 , “හිරු ‍රැසින් අඩක් වියැලුණ ඉලුක් වනයට සඳ ‍රැස් වැටී සිතේ ගැස්මක් ඇති කරවන තරම් වූ මායාකාරී සෞන්දර්යයක් නිර්මාණය කර තිබිණි. කිසියම් උදාසීන, බන්ධන හීන, නිදහස් හැඟීමක් ඇති වී මගේ හදවත සැලෙන්නට විය.  ඒ නිහඬ රාත්‍රියේ සඳ ‍රැසින් ආලෝකමත් වූ අහස් තලය යට හිඳ  අවට බැලූ මට සුර ලොවකට ඇතුළු වූවාක් බඳු හැඟීමක් ඇති විය. මධ්‍යම රාත්‍රියේ ජන ශුන්‍ය පෙදෙසකට පතිත වූ සඳ එළිය නිසා එය සුරඟනන් සැරිසරන තැනක් බවට පත් විය...." අරණකට පෙම් බැඳ හි විභුතිභුෂණ බන්දොපද්‍යාය ගේ වචන නැවත නැවතත් ඇසෙන්නට විය.

ඒ වන විට ගෙවී ගොස් තිබුණේ මන්නාරම් පුරයේ දින කිහිපයක් පමණි.  එහෙත් ඒ සොඳුරු බවට මම ඒ වන විටත් අසීමිතව පෙම් බඳිමින් සිටියෙමි.

“යමු නේද?” භාතියගේ හඬට එක වර කීකරු වන්නට සිත උත්සුක නොවීය. සඳ එළියේ ඔහු සමග අනන්තයකට ඇවිදීමට මට උවමනා විය. තව තවත් කලපු තෙර සිසිලසින් සැනසීමට මා හට උවමනා විය. විභුතිභූෂණ පැවසු ලෙසට, සඳ එළියේ සැරිසරණ සුරඟනන් දකින්නට මට උවමනා විය.


එහෙත්, මඩනා ලද එම සියලු ආශාවන්ගෙන් යුක්තව මම ආපසු යාමට නැගී සිටියෙමි.

13 comments:

  1. සහෝදරයා, මට මතක ඔය මන්නාරම් පාලම මලකඩ කාල තියෙනවා හුඟ කාලෙකට කලිං. දැන් කෝමෙයි....

    ReplyDelete
  2. පරණ මළකඩ කාපු පාළම එහෙමමයි. යුද්ධෙ කාලෙ ඒක කැඩුවට පස්සෙ අලුත් පාලම හැදුවෙ ඊට පැත්තකින්.
    දැන් කැඩුන පාළමයි, අලුත් පාළමයි දෙකම තියනවා.
    සහෝදරයා කිවුවෙ මටද?

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් අහන්න දෙයක් නැහැ රතු සහෝදරයෙක් වෙන්න ඇති

      Delete
    2. මම සහෝදරියක් නෙ. :P

      Delete
  3. මේ ලඟකදි මන්නාරමේ දින දෙකක් ගතකරන්න අවස්ථාවක් ලැබුණා. සටන් විරාමය කාලේ මඩු පල්ලියට ගොස් තිබුණට මන්නාරමට කවදාවත් ගිහින් තිබුණේ නැහැ. හරිම පහන් හැඟීම් ඇතිවෙන පැත්ත. මම නම් හිතුවේ කාලයක් යුද්ධයක් පැවතුන පැත්තක් නිසා දැන් තියෙන නිහඬ බව නිසා එහෙම හැන්නුන කියල.

    ReplyDelete
    Replies
    1. අන්න ඒ පහන් හැඟීමට තමයි මම මෙච්චර ආසා. ඒ නිහඬ බව නිසා වෙන්නත් ඇති. ඒ එක්කම සීමාවක් නැතිව පේන අහස, ඉර බහින වෙලාවට තියෙන ලස්සන, කුරුල්ලෝ ඔය හැම දේම හේතුවක්

      Delete
  4. මන්නාරමට කවදාවත් ගිහින් නැහැ.ඔය පළාත්වල තියෙන කර්කශ බවය ඒ පළත්වලට පිටින් යන අපිට දැනෙන්නේ අඩුවෙන්ද කොහෙද.

    ReplyDelete
    Replies
    1. මන්නාරම කර්කශයි තමයි, ඒකෙ කතා දෙකක් නෑ. ඒත් අදහ ගන්න බැරි විදියට ඒ කර්කශ බව නැති වෙලා වහින්න පටන් ගන්නවා නොවෙම්බර් දෙසැම්බර් වෙද්දී. ඒ වැස්සත් එක්ක මන්නාරම එකම තෙත් භූමියක් වෙනවා. කුරුල්ලන් ලක්ෂ ගාණක් එනවා යුරෝපයේ ඉඳන්.හැම තැනම කොළ පාට වෙනවා. ෆෑන් එකක් වත් දාගෙන ඉන්න අමාරු තරම් සීතල වෙනව් රෑ වෙද්දී

      Delete
  5. හරිම ලස්සනයි සිංදු (නම කිව්වා හරි ද ) , සටහනයි පින්තූරයි දෙකම..ඉර බැහැගෙන යද්දි තියෙන්නේ පුදුම ලස්සනක්...

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකේ පාව්ච්චි කරන නම සිඳු. යාලුවෝ නම් සින්දු කියලා කියනවා.
      ස්තුතියි.
      අවුරුදු දෙකක් තිස්සේ කළේ මේ පින්තුර සහ මතක සටහන් එකතු කළ එක තමයි.

      Delete
  6. නොගොස් එන්ට බැරිය කියනවා වාගෙ ඉතින් ජීවිතේ කියන්නෙ යෑම් ඊම් තමා නේද..

    ඒක නෙමේ මං මේ කල්පනා කළේ ඔය භාතිය කියන අහිංසක මනුස්ස පරාණෙ කොයි තරම් කරුමයක්ද අප්පා ගෙවනව ඇත්තෙ..)))

    ReplyDelete
    Replies
    1. ඒක නම් ලේසියෙන් ගෙවල ඉවර කරන්න පුලුව වෙයි කියල හිතන්න පුළුවන් කරුමයක් නෙමේ. අහිංසක ? අහිංසක කියලද නංගි කිවුවේ? නැත්නම් මට ඇහුන විදිය වැරදිද ? :D

      Delete
  7. ආ කොහොමෙයි...හුග දවසකින් බ්ලොග් එකක් තියෙනවා කියලා මතක් වෙලා තියෙන්නෙ...මන්නාරමට දැන් බෝට්ටුවෙ යන්නෙ නැද්ද එතකොට :D

    ReplyDelete