Sunday, September 11, 2016

මල්.

දිවා කළ උණුසුම දරාගත නොහැකි තරමට අපහසුය. පාසල් සාමය නැවත ආරම්භ වීමත් සමග දවාලට බස් රථ වල කාලගෝට්ටිය ද වැඩිය. එහෙත් මගේ පාසල් සමය නැවත නැවතත් සිහි වන නිසාදෝ එම කලබල බස් රථ වලට මා තුළ අකමැත්තක නොමැත. නමුත් ඒ බස් රථයේ අසුන් ගෙන යාමට පමණි. එවන් බස් රථයක සිට ගෙන යාම නම් භයානක සිහිනයක් බඳුය.

අදත් සුපුරුදු පරිදි ම බස් රිය පාසා දරුවන්ගෙන් පිරී පැවතින. එහෙත් මගේ ඇස් වල වහා ගැටුනේ එක් රුවකි.

ඒ අවුරුදු 15ක් පමණ වූ දැරියකි. මගේ පමණක් නොව බසයේ සිටි බොහෝ දෙනාගේ අවධානය ඈ වෙතට යොමු වනන්නට ඇත. එ් ඇගේ මුළු මුහුණම සුව වූ පිළිස්සුම් තුවාලයකින් විකෘති වී තිබීම නිසාය.
ඒ මුහුණේ වූ ස්වභාවය දකින විට ඒ පිළිබඳව කණගාටුවක් ඇති වීම වැළක්විය නොහැකිය .කෙසේ වෙතත් එම තුවාල කැළැල් වල සවභාවය අනුව එය අනතුරක් නිසා සිදු වූ බව නම් පැහැදිලි විය. ඈ ඒ පිළිබඳව එතරම් කණගාටුවකින් සිටින බවක් නම් පෙනුනේ නැත.අනිකුත් දැරියන් සේම ක ගසමින් සිනා සෙමින් ඈ සතුටින් සිටියාය.

ඈ දුටු වහා මට සිහි වුයේ වෙනත් දැරියකි.

ඇයද මෙම දැරියගේම වයසේ හෝ ඊට මදක් අඩු වූවාය.

අපේ වාට්ටුවට ඇය ඇතුළත් වුයේ පිළිස්සුම් තුවාලයක් සමගිනි. ඇගේ පපුව ප්‍රදේශයේ සෑම තැනම පිලිස්සුමට බඳුන් වී තිබිණි.

හඬා වැලපෙමින් උන් අම්මා සමග ඈ වාට්ටුවට ඇතුළු වූවාය. ඇගේ පිළිස්සුම් ප්‍රතිශතය 50%ක් පමණ විය. එය ජීවිතය බේරා ගත නොහැකි ප්‍රතිශතයක් නොවේ. එහෙත් ලංකාවේ ඇති පහසුකම් සමග සලක බලන විට එය අවධානම් තත්වයකි.

ඇය පිලිබදව කලයුතු මුලික ප්‍රතිකර්ම සිදු කළ පසුව ඇගේ තත්වය පිළිබඳව දෙමවුපියන් හට පැහැදිලි කර දෙනු ලැබින.

එනම් ඇගේ ජීවිතය පිළිබඳව තරමක අවධානමක් ඇති බවයි. එය දෙමාපියන් හට දර ගැනීමට අපහසු කරුණක් වුවද එසේ පැහැදිලි කිරීම සිදු කළ යුතුමය. එය ඇසු අගේ මව තවත් හඬන්නට වූවාය.
අප සියල්ලන්ම විමතියට පත් වුයේ පිළිස්සුම් වලට හේතුව ඇසීමෙනි.

මෙයා හැමදාම ගේ අතුගාද්දී තාත්තට කියනවා ගේ ටයිල් කරන්න කියලා. අපිට කොහෙන්ද ඒවාට සල්ලි... කවදාවත් එයා කියන දේ කවුරුත් ගණන් ගත්තේ නෑ. ඇද උදෙත් ගේ අතුගාද්දී තාත්තා එක්ක එකම කියල රණ්ඩු වුණා. ඒ කතාව දුර දිග ගියා.
මෙයා ටිකකින් කාමරේට ගියා. ගිහින් කෑගහනවා ඇහෙද්දී අපි බැලුවේ. මෙයා ගිනි තියාගෙන....අගේ අම්මා කඳුළු අතරින්ම පැවසුවාය.

ඒ කතාවත්, අම්මගේ කඳුලුත් අප සියල්ලන්ටම ගෙන ආවේ එම දැරිය පිළිබඳව නොපහන් හැගීමකි. දරුවෙකුට එතරම් හිතුවක්කාර වීමට හැකිද? ඇතැම් විට ඈ හට උවමනා වුයේ පියාව බියට පත් කිරීම වවන්නට ඇත. එය මේ තරම් භයානක ප්‍රතිපල අත් කර දේ යය් ඇයවත් නොසිතන්නට ඇත.

උවමනා ප්‍රතිකාර ලබමින් ය දින දෙකක් වාට්ටුවේ ගත කළාය. ඇගේ තත්වය එතරම් සතුටු බවක් පෙන්නුම් කළේ නැති අතර තුන් වන දිනයේ ඇය මෙලොව හැර ගියාය.

පිළිස්සුම් රෝගීන් බොහෝ දෙනෙක් දැක ඇති නමුත්, සිතේ වැඩියෙන්ම සටහන් වූ චරිත ඇත්තේ කිහිපයකි. ඈ ඒ අතරින් එක අයෙකි.
බස් රථයේදී දුටු පිළිස්සුන දැරිය දුටු මා හට , නැවතත් වරක් ඇය පිළිබඳව සිහිපත් විය.

සිරුරේ සිදු වන තුවාල වලටත් වඩා සිතෙහි ඇති වන තුවාල වීම් වේදනාකාරී බව සැබෑය. එහෙත්, ඒ සිත් තැවුල් විඳ දරාගෙන ජීවිතයට මුහුණ දිය හැකි නම්, එයයි ජයග්‍රහණය.

දැන් ජීවත් වුණා ඇති ලෙසින් සිතෙන අවස්ථා බොහෝ දෙනෙකුගේ ජිවිතයේ නැති වෙන්නට ඉඩක් නැත.

එහෙත් එම හැගීම හුදු සිතිවිල්ලකට පමණක් සීමා කොට , ඉදරියට යාම වැදගත්ය. නැතහොත් ඉන් දුක් විඳින්නේ තමන් පමණක් නොවේ. තමන් වටා සිටින තමන්ට ආදරය කරන බොහෝ දෙනාද ඉන් පීඩාවට පත් වේ.

ඉහත කී දැරියගේ පියා තවමත් මැරී මැරී ජීවත් වනවා වන්නට ඇත.

5 comments:

  1. ///සිරුරේ සිදු වන තුවාල වලටත් වඩා සිතෙහි ඇති වන තුවාල වීම් වේදනාකාරී බව සැබෑය. එහෙත්, ඒ සිත් තැවුල් විඳ දරාගෙන ජීවිතයට මුහුණ දිය හැකි නම්, එයයි ජයග්‍රහණය.//

    100% agree. To have have that kind of strength parents must do their responsibilities 100% towards kids.

    ReplyDelete
  2. ඔය වගේ මූණේ පැත්තක් පිච්චුනු තරුණියක් දිනපතා පාහේ මගතොටේ මාත් දැක තිබෙනවා. ඈ පිච්චුනු පැත්ත කොන්ඩයෙන් ආවරණය කරගෙන යන්නේ. නමුත් ඇයත් සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස රාජකාරී කරගෙන යන්නේ අන් අයට හොද ආදර්ශයක් දෙමින්.

    ජයවේවා!!!

    ReplyDelete
  3. කණගාටුදායක කථාවක්. දෙමව්පියන්ට සැනසීමක් ලැබේවා.

    ReplyDelete
  4. මේ වගේ අවස්ථාවක ඒ දෙමාපියන්ටනම් කිසිදිනෙක සැනසීමක්නම් නොලැබේවි

    ReplyDelete
  5. ඊළඟ පරම්පරාවෙ ලොකුම ප්‍රශ්නය ජීවිතේ දරාගැනීමට නොහැකි වීම වගෙයි..

    ReplyDelete