සමු නොගන්නෙමි මතක දෙවසර

දෙවන සටහන - තරු අහස යට වෙරළ තෙර තනි වීමි
 

රාත්‍රි  අහස සවස ඇඳ සිටි අනුරාගී රන් සළු උණා දමා තිබිණි. හාත්පස අඳුරුය. එය අමාවක වන්නට ඇත. පෙනෙන එකම ආලෝකය කාංචනා අක්කාගේ මෝටර් රථයේ පහන් එලිය පමණි. ඉනිදු වැඩි කොටසක් තාර පාරේ කළු පැහැයෙන් උරාගෙන තිබිණි.මුව අගුල් ලෑ සේ අප දෙදෙනාම කතා නැත. ඇසෙන එකම හඬ වාහනයේ හඬ පමණි.

පෙසාලයි වෙරළේ සාදයකි. අප දෙදෙනා හැරෙන්නට අනෙක් සියලු දෙනාම සවසම එහි ගොස් සිටියහ. ෙප්සාලයි අප දෙදෙනාටම නුපුරුදු තැනක් නොවේ. නමුත් එදින සාදය පැවැත්වෙන ස්ථානයට නිවැරදිම මාර්ගය අප දෙදෙනාම දැන නොසිටියෙමු. එක වරක් නොව දෙවරක්ම පාර වැරදි ගියේය. පාර අසන්නට කිසිවෙකු පාරේ  නොසිටියේය. මන්නාරම යනු රාත්‍රී 9න් පසුව නිදි ගත වන දූපතකි.  එහි බොහෝ විට මැදියම දක්වා අවදිව සිටින්නෝ පිටින් ගිය අපි පමණක්ම වීමු.
අවසන පාර හමු විය.

“අක්කේ , දෙහි ! “ වාහනයෙන් බසිනවාත් සමගම මා හට සිහිපත් විය. සවස් වරුවම තනිවම අන්නාසි ගෙඩි 4ක් කපමින් සිටි මට දෙහි පිළිබඳව සම්පුර්ණයෙන් අමතක වී තිබිණි.

“මොන දෙහිද?”

“අරගොල්ලෝ මට කිවුවා අපි දෙන්න එද්දී දෙහි ගෙඩි 5ක් ගේන්න කියල. “

දෙහි කුමටදැයි දන්නෝ දනිති.

“දැන් ඉතින් කොහේ හොයන්නද දෙහි, තිබුණේ නෑ කියමු”

මන්නාරමටම උරුම වූ සුදු වැල්ලේ මගේ සපත්තු අඩිය මුළුමනින්ම එරී ගියේය. දහවලේ ගිනිගෙන දැවීමෙන්දෝ මතුපිටට යටින් ඇති වැල්ල තවමත් උණුසුම්ය.  වෙරලටත්, කැලෑවටත් , වාට්ටුවටත් සෑම තැනටම අඩි උස සපත්තු පැළඳීමෙන් උගත් අනන්ත පාඩම් ඇතත් ඒ පුරුද්ද ඇත ඇරීමට තවමත් මා හට හැකි වුයේ නැත. දෙවන වරද වැල්ලේ සපත්තුව එරී ගියේය. “මේක හරි යන්නේ නෑ.” මම සපත්තු දෙකම ගලවා අතට ගතිමි. 

“ වැලි පොලොංගුත් ඇති. “ හාත්පස අඳුර දකින විට සිතිණ. එහෙත් ඒ වන විටත් විදුලි පන්දම් දෙකක් සමගින් මග පෙන්වන්නන් දෙදෙනෙක් පැමිණ සිටියහ.

දෙහි නොමැතිවම සාදය ආරම්භ වී තිබිණි.කිසිවෙකු හට දෙහි මතක් වුයේද නැත. වෙරළේ දල්වා තිබු ගිණි මැලයෙන් රාත්‍රියේ සිසිල පලවා හැර තිබිණි. මදුවිතින් මත් වූවෝද , මුහුදු සුළඟින් මත් වූවෝද , සංගීතයෙන් පමණක් මත වූවෝද සියල්ලෝම ගීත ගායන කරමින් සිටියෝය.

සංගීත සාද මන්නාරමේ උපන්නවුන්ට  එතරම් හුරු නැත. ඔවුන්ගේ විස්මයට නතු වන තරම් සංගීත සාද අපි පවත්වා ඇත්තෙමු. හේතු විරහිතව එක වරම තීරණය කර පැවැත්වූ එවන් සාද බොහොමයක් විය. රාත්‍රී 7 ට 8 ට ආරම්භ වී මැදියම පසු වී පාන්දර වන තුරු පැවති ඒවාට තැනක් නොතැනක් නොවීය. වෙරළ, පාර අයින, නිළ නිවාස ආදී සියලු තැන් වල, ඒ වන විට පටිගත වී තුබූ සියලු ගීත ගැයෙන්නට ඇත. මන්නාරමට යාමට පෙර සාද ප්‍රිය නොකරන්නෙකුව සිටි මම එහි යාමෙන් පසුව සැබවින්ම ඒවාට ඇලුම් කරන්නට වීමි.

මුහුද මුහුදක් නොවන තරමට නිශ්චල විය. රැලි වල සුදු පැහැය හැර කිසිවක් නොපෙනෙන තරම් අඳුරු විය. ඒ තරම් උද්යෝගිමත් සතුටු දායක පරිසරයක වුවත් , මා හට නොතේරෙන කුමක්දෝ පාලු බවක් සිත් කොනක රජයමින් තිබිණි.

හිමිවී තිබී හදිසියේ අහිමි වූ දෙයක් සොයන්නට මෙන් මම රැළි වදින නොවදින ඉසව්වේ  වෙරළ දිගේ තරමක දුරට පිය මැන්නෙමි.ඒ තනිවමය. සසල සයුරෙන් හැරෙන්නට කිසිවකින් මගේ සිතිවිලි වලට බාධාවක් වනවාට කැමැත්තක් මා තුළ තිබුණේ නැත. ගීත වල ඇලී ගැලී සිටි කිසිවෙකුත් හට මා  සිහිපත් නොවන්නටද ඇත.

සීතලට පා වල හැපුණු මුහුදු රළ වැවක රැලි තරමටම මෘදු විය. දඟකාර යෞවනයකු තරම් වෙනදාට සසල මුහුද එදින සුකොමළ යෞවනියකගේ පිය මැනීමක් සේ සියුමැලි විය. සයුරු රැලකට කළ හැකි දේ බොහෝය. සයුරෙහි ගතිගුණද බොහෝය.

සයුරෙහි උපන් ලස්සන සිප්පි කටුවක් නිර්ලෝභීව වෙරළට විටෙක පිළිගන්වන එම සයුරම නොබෝ වෙලාවකින් සිත් පිත් නැති ලෙස වෙරළින් එම සිප්පි කටුවම උදුරාගෙන ගොස් වෙනත් වෙරළකට තෑගී කරයි.

වෙරළින් සයුර දෙසට පියවර දෙක තුනක් මම පිය මැන්නෙමි. පුංචි මාළු පැටවුන් කකුලට කොටනු දැනින. එය කිතියක් පමණි.  එහෙත් අඳුරින් මතු වූ මිනි මොරෙකු මා තෙරක් නොපෙනෙන මුහුදට ඇදගෙන යාවි යැයි අනියත බියක් හදිසියේම මතු විය. මම ආපසු හැරී බැලුවෙමි. අපේ ගිනිමැලය තරමක් අතින් දිස්වේ. ගිටාර් හඬත් ගී හඬත් ඇසෙන්නේ යන්තමිනි. මුහුදේ රල හඬද ඇසෙන්නේ යන්තමිනි.

මුහුදු වෙරළේ දිගා වී , ඒ හඬ අසා  සිටීමට සිත් වේ. ඒ සොබාදහමේ ස්වරය ඉතා හොඳින් වැටහෙමින් තිබු වෙලාවක් විය. මෙවන් වූ පරිසරයක මෙසේ හුදෙකලා වීමටද පින් කර තිබිය යුතුය.

සඳ නැති බව දැන දැනත් සඳ සෙවීමට මම අහස දෙස බැලීමි. ජීවිතයේ කිසිදු දිනයක හැබැහින් නොදුටු නැෂනල් ජියෝග්‍රෆි වැනි චායා රූප වලින් පමණක්ම දැක ඇති අහසක් මම දිටිමි. දෙව් ලොව ඇත්තේ අහසෙහි යයි මිනිසුන් හිතන්නට පටන් ගත්තේ මෙවන් අහස් දැකීමෙන් පසුව වන්නට ඇත. කිසිදු විදුලි ආලෝකයකින් දූෂිත නොවූ ඒ අහස , කෝටියක් සුරවමියන් අතින් ගත් පහන් ඇතිව පොළොව දෙස බලා සිටිනවා බඳු විය.

ඇදහීමට නොහැකි තරම්, වසඟ වන තරම් වූ එවන් සොඳුරු බවක් දැකිය හැකි වන්නේ පොළොවේ සිටම පමණකි. ඒ තරු අබියස සිටගත්තා නම් මෙවන් දසුනක් කෙසේ දකින්නද. ආලෝක වර්ෂ ගණනාවක් ඇතින් සිට මා දුටු ඒ ඇතැම් තරු ඒ වන විට මියැදී බොහෝ කල් වන්නටත් පුළුවන.මා දකින්නට ඇත්තේ ආලෝක වර්ෂ ගණනක් ගෙවා මා වෙතට පැමිණි ආලෝක කදම්බය පමණක් වන්නටත් පුළුවන. එහෙත් , එය ඒ සොඳුරු බව විඳීමට කිසිදු බාධකයක්   වූයේ නැත.

අතීතයේ පැවති සියලු දේද , හිමිවී තිබී අහිමි වූ දේද ,  හිමි වන්නට තිබී හිමි නොවී ගිය බොහෝ දේද පිළිබඳව සිතමින් අපි බොහෝ විට සිතින් හඬමු . නමුත් මියගිය තරුවක සොඳුරු බව වර්තමානයේද, ආලෝක වර්ෂ ගණනක් ඈතින් ඇති තරු වල සොඳුරු බව පොළොවේ සිට ද විඳිය හැකි නම්, අහිමි දෑ පිළිබඳව සිතමින් අප කුමට තැවෙමුද?  


අතීතයේ සුන්දරත්වයෙන් පමණක් සතුටු විය හැකි බව , දුරින් සිට දැකීමෙන් පමණක් සතුටු විය හැකි බව පසක් කළ  ඒ තරු පිරි අහසටත් , ෙප්සාලයි මුහුදටත් , මම දැනුදු පෙම් කරමි. 


Comments

  1. නිහඩ රාත්‍රියටම ගැලපෙන සින්දුගේ සිංහල වචන හරඹය අපූරුයි. තව ඉදිරියටත් අතීත සැමරුම් ලියයිද මේ වගේ?

    ජයවේවා!!!

    ReplyDelete
  2. හරි ලස්සනයි අක්කා.. ඉරිසියා හිතෙන තරම් ලස්සන අකුරු ගැළපීමක්..!!

    ReplyDelete
  3. හරිම සුන්දර කතාවක් සිඳු...බොහොමත්ම රස වින්දා...

    ReplyDelete
  4. ලිවීමේ හැකියාව නම් අනර්ඝයි. මෙතරම් සුන්දර නොවුනත් මෙවන් සාදයකට මන්නාරම් වෙරලේ සභභාගී වූවත් මේතරම් රසයක් වින්ඳේ නැහැ. එතන සිටි හමුදා නිලධාරීන් එක්ක ඉන්නකොට ටිකක් තැන්පත්ව ඉන්න වූ නිසා.

    ReplyDelete
  5. ලස්සනට ලියල තියනවා. මමත් හිතින් ඒ වෙරළට ගියා

    ReplyDelete

Post a Comment