Tuesday, October 25, 2016

සමු නොගන්නෙමි මතක දෙවසර 04 - කතා කරන සිලාවතුර

කතාකරන සිලාවතුර

රන් පැහැති වෙරළ හා මදකට කෝළ වන සුදු රල පෙළ නැවතත් සයුරටම ඇදී ගියේය. රන් පැහැ වැලි කඳු යට සැඟවී ගත් කළු පැහැ ගත් වැලි මතු වුයේ ආපසු යන රළ ට විරෝධය පාන්නට මෙනි. නැගෙනහිර දෙසින් පැමිණි සිහින් වැහි පොදක් ගත තෙමා නොතෙමා පසුබා ගියේය.

මම කකුලේ ඇඟිල්ලෙන් පොළොවේ “එස්” අකුර ලිවීමි. අනතුරුව “එම්” අකුර..... නැවත වරක් “එස් “ සටහන් කිරීමට මට ඉඩ නොදීම ඊළඟ රළ මගේ සටහන මකා දැමීය. අනන්තයට දිවෙන වෙරළ දිගේ දිව යාමට තරම්  දඟකාර කමක් සිතේ උපදියි. මටවත් නොතේරෙන උද්යෝගයකින් සිත පිරී ගොස් තිබිණි. 

සිලාවතුර වෙරළ කතා කරනවා තරමට ප්‍රාණවත් ය.

මම සයුර දෙස බැලීමි. තල් අරණ පිස හමා එන සුළඟ සුපුරුදු පරිදි රළ සමහ කතා බහේ ය. ජලය නිල් පැහැයෙන් අනුණය. ඒ ඈත මුහුදය. රල බිඳෙන සීමාවෙන් මදක් එපිට ඇති මුහුදේ ඇත්තේ කොළ පැහැයකි. ඒ ඇතැම් විට මුහුදු දිය හා එක් වූ හිරු එලිය කළ දඟකාරකමක් වන්නට ඇත. නමුත් මා දැක ඇති වර්ණ තීරු වලින් හැඩ වූ  එකම මුහුද සිලාවතුර මුහුදය. එය දෘෂ්ටි මායාවක් වන්නටද පුළුවන.

ඩොරික් බංගලාවේ ආරක්ෂාවට සිටින නාවික සෙබලා ඈත මුහුද දෙස බලා ගත වනම ගැඹුරු කල්පනාවකය. ඔහුගේ නිළ ඇඳුමත් මුහුදේ පැහැයත් එක සමානය. සැතපුම් සිය ගණනක් දුරින් සිටින සිය මවුපියන් ඔහුට සිහි වනවා වන්නට ඇත. නො එසේ නම්, මාසයකින් නොදුටු තම බිරිඳත් දියණියත් පිළිබඳව ඔහු කම්පාවෙන් පසු වනවා වන්නට ඇත. එසේත් නැතහොත් නිමාවෙමින් පැවති යුද්ධයේ අප නොදන්නා සමයක, නොහඳුනන පෙදෙසක තම දිවි බේරා ගත අයුරු ඔහුට සිහි වනවා වන්නට ඇත.

මීට සියවස් කිහිපයට පෙර ෆෙඩ්රික් නොර්ත් ආණ්ඩුකාරයාගේ ආරක්ෂාවට මෙහි සිටි යුරෝපිය සෙබලෙකු මෙලෙසින්ම ඈත සිතිජය  දෙස බලා සිටි අයුරු මගේ මනසේ ඇඳේ. මුහුදු වැලි පැහැ හිසකේ සහ මුහුදු දිය පැහැති දෑසින් හෙබි ඔහු තම නැව පැමිණි ඉසව්ව සොයනවා බඳුය.

අපට ලබා දුන් දේට වඩා යුරෝපීයයන් අප රටින් උදුරා ගත් දෑ බොහෝය. ලංකාවේ වයඹ දිග වෙරළ තීරය පුරාවට තිබු බොහෝ මුතු එක් කරන ලද්දේ ඔවුන් විසිනි. නොර්ත් ආණ්ඩුකාරයා  විසින් සිය නවාතැන මෙහි ඉදි කිරීමට තීරණය කිරීමට ප්‍රධානම හේතුව , මුතු එකතු කිරීමේ ක්‍රියාවලිය තම දෑසින්ම අධ්‍යයනය කිරීම බව පැවසේ. මුතු එකතු කරන්නන්ගේ සූක්ෂම දෑත් වලින් මිදුණු පරම්පරා වල මුතු බෙල්ලන් තවමත් , තම මුතු හංගා ගත් වනම ගැඹුරු මුහුදේ සුනිල දිය සහ පෙණ බිඳිති අතර සිටිනවා ඇත.

වෙරළට ගසාගෙන විත් ඇති සිප්පි කටුවක් මම සුරතට ගෙන බැලීමි. රෝස පැහැ සිප්පි කටුවේ මට නොපෙනෙන භාෂාවකින් කළු පැහැයෙන් සටහනකි.එහි ඇතුල් පැත්තේ හිරු එළියෙන් පාට වෙනස් වන තවත් සිතුවමකි.  ඒ  හිරු නගින විට හා බැස යන විට දිය කිඳුරියන් අපට නැසෙන ස්වරයකින් ගයන   ගීත ද? නැතහොත් ඔවුන්ගේ පින්සල් වලින් ඇඳෙන සිතුවම් ද?

ඩොරික් බංගලාවේ ආරුක්කු අතරින් ,හිරු  සයුරේ ගිලෙන්නට සැරසේ. ග්‍රීක ගෘහ නිර්මාණ ශිල්පයේ ඩොරික් සම්ප්‍රදායානුකූලව නිර්මිත මෙහි මේ ආරුක්කු අතරින්ම හිරු ,මේ ලෙසින්ම අතීතයේදී ද බැස යන්නට ඇත.


නව පෙම්වතුන් යුවලක් මට ඉදිරියෙන් ඇවිද යයි. මම නැවතත් හුදෙකලාවට පෙම් බඳිමින් සිටියෙමි. ඔවුන් සිනාසෙන හඬ ඇසේ. මම මුනිවත රැකීමි.

නිකැළැල් සිප්පි කටුවක් මා පයට පෑගී ආරක්ෂා විය. මම එය අහුලා ගතිමි. සොබාදහම් දිනිතියගේ ඇකයෙන් මොහොතකට මිදුණු එම හිතුවක්කාර පුංචි සිප්පිකටුව ඇයට හොරෙන් සඟවාගෙන මම සාකුවේ රුවා ගතිමි. ඇගෙන් සිප්පි කටුවක තරම් දෙයක් වත් සොරා නොගත යුතු බව මම දනිමි. නමුත් කුමක් හෝ සිහිවටනයක් මට අවැසි විය.


අදටත් මම ඉඳහිට එය අතට ගෙන බලමි.  


9 comments:

  1. සුන්දර මතකාවර්ජනයක්

    ReplyDelete
  2. කථාවක් නෙවෙයි මෙය කවියක් වැනිය

    ReplyDelete
  3. ආයෙත් ඒ පැත්තටම යන්නද හිත?

    ReplyDelete
  4. යන්න ඕන පැත්තක් අනිවාර්යයෙන්ම. ලස්සනට ලියල තියනවා.

    ReplyDelete
  5. මම ගිහිල්ලා නෑනේ අනේ..

    ReplyDelete
  6. ඒ පැත්ත බලන්න යන්න අසා හිතෙන ලියවිල්ලක්.හරියට කවියක් වගේ ලස්සනයි.ග්‍රීෂ්ම පරිසරයක් ගැන උනත් ලියලා තියෙන සටහනින් දැනෙන්නේ හරිම සුවදායක සනීපයක්.

    ReplyDelete
  7. මීට කලින් මේ පැත්තේ එන්න බැරිවීම ගැන කණගාටු වෙනවා.

    හරිම ලස්සන රචනයක්.

    මම මේ ස්ථානයට මහ යුද්දේ මැද්දේ ගිහින් තියනවා. එදානම් ලස්සන බලන්න නෙවෙයි ගියේ සතුරන් සමග ගැටෙන්න. දැන් ආපහු යන්න ආසයි.

    ඔබ කියා ඇති පරිදි නිස්කලංක හැන්දෑවක් නම් වඩාත් හොඳයි කියා හිතෙනවා.

    ReplyDelete
  8. අපිට මිස් උනානේ මේක. හරිම ලස්සනට නංගී ලියලා... වන්නි මතක තවමත් හිත පුරාම !

    ReplyDelete