සමුනොගන්නෙමි , මතක දෙවසර - නොමැකුණු තම්බපන්නිය

එය නපුරු ඉඩෝරයත් , හැඬුම් බර වස්සානයත් අතර මැදි කාලයක් විය.

පාරේ යන්තම් වැදී නොවැදී   යන කැබ් රථය ඉදිරියට යනවාටත් වඩා විසිවන්නේ අහස දෙසටය. කිසිදිනෙක තාර බිඳකුදු නොදුටු ගුරු පාර වල ගොඩැලි වලින් ගහන ය. එය විල්පත්තුව නරඹන්නට පැමිණෙන්නන් නිතර යන ඉසව්වක් නොවේ.

වායු සමනය නොකළ කැබ් රථය හය දෙනෙකුට තරම් වුවද ,එතරම් සුව පහසු නොවීය.  එය වන අඩවි නිලධාරීන් විසින් භාවිත කරනු ලැබුවක් නිසාදෝ පාරේ අඟලෙන් අඟල ද , වල ගොඩැලි ද  පාර දෙපස ඝන වන ලැහැබ වාහනයටත් හුරු පුරුදු බඳුය. සැබවින්ම ඒ වන ජීවී නිලධාරීන් ද ඔවුන්ගේ වාහනයද විල්පත්තුවේම කොටසක් බවට පත් වී තිබිණි.

තම්බපන්නිය - හුදෙක් විජයාවතරණ පුරාවෘතයේ එන පෙදෙසක් පමණක්  පමණක් ලෙසින් කාලයක් සිතා  සිටි මම සැබවින්ම තම්බපන්නිය බැලීමට යමින් සිටියෙමි. කුදිරමලේ තුඩුව , සහ කේ පොයින්ට් යන නම් වලින්ද හඳුන්වන එය විපත්තුව කැලෑවට අයත් වන කොටසක මුහුදු වෙරළකි.

මුහුදු වෙරලකුදු , එය මුහුදු මට්ටමේ සිට තරමක් උසකින් පැවතිණි.උස ස්ථාන වලට ඇති මගේ බියද , මුහුද දෙස එබී බැලීමේ ආශාවද වරින් වර  එකිනෙක පරයමින් සටන් වැදුන අතර බිය පරදා ආශාව නොබෝ වෙලාවකින් ජය ගත්තේය.

ඈත අහසේ සුදු පැහැති රාජාලියන් කිහිප දෙනෙකු මුහුදට ඉහල අහසේ සරනු දිස් වේ. මේ ප්‍රදේශයේ ඔවුන් සුලබ බව අසා තිබූ නිසාවෙන්ම මම ඔවුන් සිටිනේදැයි අවදානයෙන් පසු වීමි. මුහුදු වෙරළේ සිට ගොඩ බිම දෙස බලන කල්හි දිස් වන්නේ අමුතුම භූ විශමතාවයකි. ලංකාවේ කිසිදු පෙදෙසක මෙවන් වූ අසාමාන්‍ය පිහිටීමක් මම දැක නැත්තෙමි.

“අන්න තුන්පත් රෑන.” වන ජීවී නිලධාරියෙකු පැවසුයේ අප කිසිවෙකුත් නොසිතූ මොහොතකය. තඹ පැහැ ගත් වැලි අවුස්සමින් අවට ගස් වල අතු රිකිලි මුව තුළ රුවා ගනිමින්  සිටි ඔවුන් තිදෙනාට නම් අපගේ වගක් වත් නොවීය . එහෙත් අපගේ සියලු අවධානය ඔවුන් කෙරෙහි යොමු වී තිබුණි. ඒ දර්ශනයේ වූ අපුර්වත්වයත් , කිනම් හෝ මොහොතක ඔවුන් අප වෙත දිව  ඒවි දැයි තිබූ අනියත බියත් ඒ සඳහා හේතු විය.

දවස ගෙවී යමින් තිබිණි. තඹ පැහැ ගත් හිරු , තඹ පැහැ ගත් අහසට ද තඹ පැහැති මුහුදට ද තඹ පැහැයෙන් ගිනි තබමින් තිබුණේ තම්මැන්නා පොළොවේ තඹ පැහැය තව තවත් වැඩි කරමිනි. ඈතින් පෙනෙන බත්තලංගුන්ඩුව දූපත් අඳුරින් ගිලී යද්දී අපි ආපසු පැමිණීමට තීරණය කළෙමු.

පස් කණ්ඩියක් මත වසා සිටි නිල බිඟු හරයෙක් අප දැක ගැයුවේ දුක් ගීයක් ද තුටු ගීයක්ද නැතහොත් සිය ප්‍රියම්බිකාව කැඳවීමට ගීයක්දැයි මම නොදනිමි. එය කුවේණිය මේ බිම පා තබද්දී ඇයට ද ඇසුන ගීතයක් වන්නට ඇත. කුවේණිය සැඟවූ සිය සහචරයන් සොයා වනය පීරණ කල්හි විජයට ඇසුන ගීතයම වන්නටත් ඇත. ජීවිතයේ එක් එක් සන්ධිස්ථාන වල මොහොතකට නවතිමින් විඩා හරිමින් නැවතත් දිව යන අපට නොතේරෙන බොහෝ රහස් සොබා දම සතුය. එය වටහා ගැනීමට තරම් මුහුකුරා ගිය බුද්ධියක් අප හට නොමැත. සොබාදහම වසර ගණනක් පුරාවට දහදිය හෙලා , දුවිලි බිඳු එකින් එක ගලපා නිමවූ මේ භුමියේ වැලි කැටයකවත් අයිතියක්‌ අපට නැත. පාවහන් වල රැඳුනු තඹ පැහැති දුවිලි ද , මතකයේ සහ කාචයේ සටහන් වූ රූපද පමණක්ම ගෙන අපි ආපසු යාමට සැරසුනෙමු.

ආපසු යාමට සිත් නොදෙන තරම් නිසල බවක් අවට පරිසරයේ රැඳී තිබිණි. එහෙත් යා යුතුය. ජීවිතයේ තව බොහෝ දුර යාමට ඇත. රොබට් ෆ්රෝස්ට් පැවසුවාක් මෙන්

 The woods are lovely, dark and deep,   
But I have promises to keep,   
And miles to go before I sleep,   
And miles to go before I sleep.

විජයගේ සහ කුවේනියගේ සුසුම් මුසුවූ සුන්දර තම්මැන්නාව හැර දමා අප ආපසු පැමිණියෙමු. ඒ ජීවිතයේ අවසාන වතාවට වන්නටද පුළුවන.
එහෙත්,
නිල්පැහැති තම්මැන්නා මුහුද,ඈත බත්තලංගුණ්ඩු දුපත් පිස හමා එන සුළංරැලි සමග සැමදා තඹ පැහැති වෙරළ සිප ගනීවි.
නිල් බිගුහරයන් සැමදා ඔවුන්ගේ ගීය අපට නොතේරෙන්නට  ගයාවී.
තුන්පත් රෑන් යලි යළිත් ඉඳහිට හෝ ඇවිත් යාවි.

මන්නාරම, නුඹේ මතකය කිසිදිනෙක සිතෙන් නොමැකේවි.

Comments

  1. තම්මැන්නාව, මට මතක් වුනේ දකුනු ඔස්ට්‍රේලියවෙ කාන්තාර, ඇය් මට ලන්කාව අමතක වුනේ, තම්බපන්නීය, ශිරීශ වස්තු පුරය, කුවේනි රැජින, රොබට් නොක්ස්, සන්ක්‍රමික කුරුල්ලො, අපේ තම්බපන්නිය දකුනි ඔස්ට්‍රේලියාවෙ කාන්තාරයකට සමාන කරපු මට සමාව දෙන්න

    ReplyDelete
  2. මේක නම් නැගලම යනව වගේ.. දිගටම ලියන්න..))

    රොබට් ෆ්‍රොස්ට්ගේ කවිය දැක්කම මං එයාට ආදරෙන් උන්නු අතීතේ මතක් වුණා.ඒ ලෙවල් කරන්න ගත්තට පස්සෙ නම් මට කවදාවත් ෆ්‍රොස්ට් ගැන ආදර කරුණාවක් පහළ වුණේ නෑ අප්පා ජම්මාන්තර තරහක් මිසක..))

    ReplyDelete
  3. තම්මැන්නා පොළව හරි අපුරු භූ විෂමතා ලක්ෂණ පෙන්වනවා වගේයි.තව පින්තුර එකතු කෙරුවා නම් තවත් අගෙයි.ලස්සන සටහනක්.

    ReplyDelete

Post a Comment