Tuesday, December 20, 2016

සමුනොගන්නෙමි මතක දෙවසර - මන්නාරම් වස්සානය

මන්නාරමෙන් නික්ම ආවෙමි. ඒ මීට තුන් මසකට පෙරදීය. වරෙක ඒ දිනය ඊයේ මෙන් දැනේ. එය ඒ තරමටම හිතට සමීපය.
තවත් වරෙක එය පසුගිය ආත්ම භවයක් මෙන් දැනේ... එම දිවිය ඒ තරමටම දැනට වඩා වෙනස් ය.

පුරා වසරක දාහය නිවමින් සීතල දෙසැම්බරය මා  මේ සටහන් තබන මොහොතේදීත් මන්නාරම සනසනවා විය යුතුය. පසු ගිය නොවැම්බරයේ දහවලක් රැයක් නොවෙනස්ව ඉකි ගසා හැඬූ  මන්නාරම් අහස මෙවරද එලෙසම හඬන්නට ඇත.
වහින්නට සිතූ විට එතරම් හිතුවක්කාර වන අහසක් මම ඊට පෙර දැක නොතිබුණෙමි.
වැස්සක් පිළිබඳව ජීවිතයේ ප්‍රථම වරට ප්‍රාණ බියක් දැනුනේද මන්නාරමේදීය.

ඒ වෙනදාට කිසිදු හැලහොල්මනක් නැති  කලපුව මැදින් මහ වැස්සේ මෝටර්‍ රථයෙන් යන්නට සිදු වූ විටකය. වෙනදාට නිල්පැහැයෙන් පින්තාරු වූ සලුවක සිරි ගත් කලපු දිය එදින යක්ශාවේෂ වූ යකැදුරෙකු වී තිබිණි. හැමූ තද සුළඟත් සමඟ අඩි ගණනක් උඩට විසිරුණු කලපු රළ තාරපාර මතට පතිත වූයේ රුදුරු විලාසයකිනි. රිදී පැහැයත් අලු පැහැයත් කළු පැහැයේ විවිධ ප්‍රභේදත් මුසු වූ අහසත් පොළොව වෙතටම රවමින් ගොරවමින් විදුලි එලි ඉසිමින් සිටියේ නිල් පැහැය යනු කුමක්දැයි උපන්තේකට අසා නැති සේය.

සැබැවින්ම මම බිය වීමි. කිලෝමීටර් තුන්සියයක් ගෙවාගෙන නිවසේ සිට එදින පැමිණෙමින් සිටියත් ඉතිරි වූ එකම කිලෝමීටරය නොගොස් ආපසු හැරීමට තරම් බිය වීමි. කලු පැහැති පරිසරයේ වූ එකම වෙනත් වර්ණය රතුපැහැති කුඩා පැන්ඩා රථය වන්නට ඇත.

එහෙත් වසරක් පුරා විඩාවෙන් විජලනයෙන් දුක් දරූ මහා පොළොව සැනසෙමින් තිබිණි. තුරු ලතාවෝ නැවතත් දළුලන්නට සැරසෙමින් සිටියහ. 
සති ගණනක හැඩීමෙන් රතු ව බොඳවූ ඇස් ඇතිව සිටි අහස නොබෝ දිනකින්ම විඩා නිවන්නට පටන් ගත්තේය. 











ඇයට උරුම වූ මන්නාරම් නිල් පැහැය කෙමෙන් කෙමෙන් නැවතත් ඈ වෙත ලඟා වී තිබිණි. නොඑසේ නම් සැමදා තමන්ගේ තාඩන පීඩන වලට ලක් වූ තුරු ලතා සහ සියලු සත්වයන් කෙරෙහි යම් අනුකම්පාවක් පහල වන්නට ඇත.

මෘදු හිරු රැසුත් නිරන්තරයෙන් දූපත හරහා හමා ගිය සුළඟත් නිසා දූපත පුරාම පැවතියේ සිසිලසකි. වර්ෂාව නැවතී සති ගණනක් ගත වන තුරුම සෑම පහත බිමකම පාහේ වතුර එක් රැස් වී තිබිණි. දූපත පුරාමත් ඉන් ඔබ්බට වන්කාලයි ප්‍රදේශයේද සෑම තැනකම දිය කඩති ය. 












උතුරුකරය පිස හමා ගිය සුළඟ යුරෝපය දෙසට ගමන් කර ඒ පිළිබඳව පණිවුඩය ලබා දී තිබිණි.
තලෙයිමන්නාරම දෙසට ආදම්ගේ පාලම හරහා පියාසර කළ සංචාරක පක්ෂීන් සැතපුම් දහස් ගණනක් ගෙවා පැමිණ  මන්නාරම් දුපතේ ද ඉන් ඔබ්බට වූ වන්කාලෛ අභය භූමියේද ලැගුම් ගත්හ. තාරාවුන්, ලිහිණියන් ආදී  විවිධාකාර පක්ෂීහු ලක්ෂ ගණනකින් , සියලුම දියකඩිති පිරී ගියේය.











රෝස පැහැති පිහාටු වලින්ද රත් පැහැ ගත් උස් වූ පාද වලින්ද හැඩවූ රජ සියක්කාරයන් (Greater flamingo) මන්නාරමේ සංචාරක පක්ෂීන් අතුරින් සොඳුරුතම දසුන මැවුවෝය. උතුරු ප්‍රදේශයේ සිට සියක්කාරයන් නොදුටු දෙනෙතකින් පළක් නොමත්තේමය. එය එතරම්ම සොඳුරු සිතුවමකි.

වස්සානයෙන් පිරී ගිය දියෙන් උදම් වූවෝ විහඟුන් පමණක්ම  නොවුහ.  දූපතේ සංඛේතාත්මක සිවුපාවා බඳු වූ බුරුවන් ද කැලෑ අශ්වයන් ද නව පණක් ලද සේ විය. අශ්ව රංචුවට නව පැටවුන් කිහිපයක්ද එක වී සිටියහ.













තෙත් පොළොව සිදුරු කර මතු වෙමින් තිබූ ලා තණ වල නැවුම් සුවඳ විඳිමින් ඔවුහු ප්‍රීති වූහ.
කිසිදු භේදයකින් තොරවම සියලුම තුරුලතා නවමු හරිත පැහැයෙන් දිදුලන්නට වන. තුරු පත් අගින් බේරී හිස මත පතිත වන්නට වැහි බිඳු නිරන්තරයෙන් සැදී පැහැදී සිටි අතර අතු අග පැළඳි මුතු කර්ණාභරණ සේ දිසි මල් පොහොට්ටු පිපී හිනැහෙමින් කළ එලි බසින්නට ඇඟිලි ගනිමින් සිටියහ.

මන්නාරම යනු පාරාදීසයකි. සිහිනෙන් ගෑ මුදු සුවඳක් සේ දැනුදු සිහිපත් වන , ජීවිතයේ කිසිදු දිනයක නැවත නොලැබෙන අන්දමේ මතකයන් රැසක් දුන් මන්නාරම මතකයන් අතර නැවත නැවතත් අතරමංවම සිටිනු රිසියෙමි. 

13 comments:

  1. එදා යුද්ධයට මැදිවී මන්නාරමට කීප වතාවක් ගියත්, මේ සුන්දරත්වය දකින්න බැරිවුණා. කොහොමහරි යන්න හිතාගෙන ඉන්නවා අද තත්වය දැකගන්න.

    ReplyDelete
  2. ඉක්මනින් යන්න. මේ ලස්සන වැඩි කාලයක් තියෙන එකක් නෑ. ඉක්මනින් නැති වේගන යනවා ඒ පැත්තේ දේශපාලනයට පින් සිද්ද වෙන්න

    ReplyDelete
  3. අහම්බෙන් ආවේ... වර්ණවත් ලිපියක්... භාෂා භාවිතය අපූරුයි. විශේෂයෙන්ම මෙන්න මේ කොටස "පුරා වසරක දාහය නිවමින් සීතල දෙසැම්බරය මා මේ සටහන් තබන මොහොතේදීත් මන්නාරම සනසනවා විය යුතුය. පසු ගිය නොවැම්බරයේ දහවලක් රැයක් නොවෙනස්ව ඉකි ගසා හැඬූ මන්නාරම් අහස මෙවරද එලෙසම හඬන්නට ඇත.
    වහින්නට සිතූ විට එතරම් හිතුවක්කාර වන අහසක් මම ඊට පෙර දැක නොතිබුණෙමි.
    වැස්සක් පිළිබඳව ජීවිතයේ ප්‍රථම වරට ප්‍රාණ බියක් දැනුනේද මන්නාරමේදීය."

    ReplyDelete
  4. මේ පරිසරයේ දවස් කීපයක් ගතකරන්න ලඟදී අවස්ථාවක් ලැබුණා. හරිම මනරම් පරිසරයක්.

    ReplyDelete
  5. අදයි මේ පැත්තට ආවේ...

    ඔයා කියනකොට මේ පරිසරයේ ඒ චමත්කාරය විදින්න ආසා හිතුනා..

    ReplyDelete
  6. දැන් තමයි මන්නාරමට වස්සානය උදා වෙලා තියෙන්නෙ.. ඇයි ඔහේ දැන් එහේ නැහැ නොවැ..))

    ReplyDelete
  7. සින්දු අක්ක කියන ඔය වැහි කාලේ මමත් යාල්පානමේ ඉඳල කොලඹට ආවෙ.

    ReplyDelete
  8. මේ බ්ලොග් එකේ "මන්නාරම"ගැන කියවෙන හැමවිටම එහේ යන්න හිතෙනවා.ඒ තරමට ඒ ගුෂ්ක පරිසරයට ලස්සන සළු පිළි සිඳු අන්දවා තිබෙනවා.

    ReplyDelete
  9. ලියවිල්ලට වඩා මගේ හිත ගියේ ෆොටෝ ටිකට

    ReplyDelete
  10. ඔයා බෝට්ටුවෙන්ද මන්නාරමේ ඉඳලා ආවෙ ?

    සිරා කොලුවා ඇතුලු බ්ලොග් නඩයක් පුංචි පහේ සමාජ සත්කාරයක් කරගෙන යනවා. වැඩි විස්තර කාමරේ තියේ...හැකියාවක් තිබේ නම් සහායක් වෙන්ට...

    ReplyDelete