Thursday, March 23, 2017

ට්‍රොලි සද්ද



ඕනෑම වෛද්‍යවරයකුගේ හිත එක් වරම ගැස්සෙන ශබ්ද කිහිපයක් රෝහල් පරිසරයේ පවතීයි. ඉන් එකක්, ගිලන් රථයේ නාදයයි. තවත් එකක් වන්නේ රෝගීන් ගෙන යන ට්‍රොලියේ රෝද වලින් නැගෙන නාදයයි.
සීමාවාසික අවධියේ එම ශබ්ද නිසා ඇති වන තිගැස්ම, දැනටත් වඩා දහ දොළොස් ගුණයකින් වැඩිය. ගෙදරදී කණ අසල බෝම්බයක් පිපිරුවද අවදි නොවන මා එකල, පහල තට්ටුවේ ට්‍රොලි තල්ලු කරන ශබ්දය නිසා නිදි වැරූ වාර අනන්තය.
ඒ සීමාවාසික අවදියේ ශල්‍ය වාට්ටුවේ තවත් එක් දවසක්. කාන්තා වාට්ටුව වූ එය පිරිමි වාට්ටුව තරම් මනසට ආතතියක් ගෙන දුන්නේ නැහැ. පිරිමි වාට්ටුව යනු එකම මානසික පීඩාවකි. දිනපතා සිදුවන හදිසි අනතුරු, රණ්ඩු වීම් සියල්ල අවසානයේ අන්තුරට ලක් වූවන් කෙළවර වන්නේ එහි. සැබෑ ශල්‍යමය රෝගාබාධ වලට වඩා එහි නිරන්තරයෙන්ම සිටියේ එවැනි පුද්ගලයින්. එසේ බලන කල කාන්තා වාට්ටුවේ සේවය කිරීම යම් විවේකයක් බඳු විය.
එය තරමක් නිස්කලංක සවස් භාගයකි. එහෙත් එම නිස්කලංක භාවය පලවා හරිමින් වාට්ටුව දෙසට පැමිණෙන ට්‍රොලියක රෝද රළු කොරිඩෝව මත ගැටෙන නාදය ඇසෙන්නට විය.
ට්‍රොලිය තල්ලු කරමින් පැමිණි සේවකයන් සමග පොලිස් නිලධාරියෙකු සහ කාන්තා පොලිස් නිලධාරිනියක ද පැමිණියාය. එහි සිටියේ කාන්තාවකි. බැලු බැල්මට ඇය යාචකාවියක් බඳු විය.
ඇගේ ඇඳුම් සියල්ලම පාහේ වැරහැලි ස්වභාවයකින් යුක්ත වූ අතර ඈ වෙතින් නිකුත් වූයේ දැඩි මත්පැන් ගන්ධයකි. හිසෙහි වූ සීරීම් සලකුණක් හැරෙන්නට වෙනත් කිසිදු තුවාලයක් නොවීය. නමුත් ඇය පසුවූයේ එතරම් සිහියකින් නොවේ.

එහෙත් ඇයට සිදු වී ඇත්තේ කුමක් දැයි තීරණය කිරීම තරමක අසීරු වූ කරුණක් විය. ඇගේ සිහි මද ස්වභාවයට හේතුව මත්පැන් පානය කර තිබීමද නැතහොත් හිස තුළට සිදු වූ බරපතල හානියක් බඳු යමක්දැයි එක්වරම සිතාගත නොහැකි විය. කෙසේ වෙතත් ඇය සඳහා අවශ්‍ය වූ සියලු කටයුතු වහ වහා පිළියෙළ වින. ඒ අතර තුරදී ඇයව ඇහැරවා ගනීමට හැකියාවක් ඇත්දැයි ද සොයා බැලිණ.
කෙසේ වෙතත් අප සියල්ලන්ගේ අවසන් නිගමනය වූයේ ඇගේ සිහිමද ස්වභාවයට හේතුව වුයේ අධික ලෙස මත පැන් පානය කර තිබීම බව ය.
“ වෙරි හිදෙනකම් ඔහොම තියලා තියන්න.” SHO අයියාගේ තීරණය විය. සැබවින්ම කළ හැකි වෙනත් කිසිවක් නොවීය. එසේ හෙයින් , ඈ ඇඳෙහි සිටීනා අතරතුර ඇය ව රැගෙන ආ පොලිස් නිලධාරිනිය ගෙන් ඇය හමු වූ ආකාරය පිළිබඳව විස්තර මම විමසීමි.
ඔවුනට ඇයව හමු වී ඇත්තේ පාරෙහි වැටී සිටින විටකදීය. කිසිදු හැලහොල්මනක් නොදක්වූ ඇයව වාහනයකට හසුවූ බව සිතූ ඔවුන් ඈ ව රෝහලට ගෙන එන්නට පෙළඹී ඇත.
ඒ වන විටත් එම කාන්තාවට කිසිවෙකු හෝ පහර දුන්නාදැයි වූ සැකය සම්පූර්ණයෙන් ඉවත් වී නොතිබිණි.එම නිසා හැකි අයුරින් ඇය සමග කතා කිරීමට අප උත්සහ ගතිමු.
තවත් පොලිස් නිලධාරිනියක් , තවත් කුමක් හෝ කළු පැහැති පොදියක් ඔසවාගෙන වාට්ටුවට පැමිණියේ ඒ අතරතුරදීය. එය දෙස හොඳින් බලූ කළ එය චලනය වන යමක් විය.
සැබවින්ම ඒ කුඩා දරුවෙකු විය. වයස අවුරුද්දක් පමණ වූ එම දරුවා පිරිමි ළමයකු විය. එහෙත් ඔහු
හැඳ සිටියේ ගවුමකි. එයද කරින් පහලට කඩා හැලෙන එකක් වූ අතර ඔහු අසලින්ද වහනය වුයේ “කසිප්පු ගඳකි”
“මෙයාගේ බබා... පොලිස් නිලධාරිනිය පැවසුවාය. මෙයා හිටිය තැනට ටිකක් එහායින් පාරේ දණගගා හිටියා. “ ය පැවසුව ඇදහිමටවත් නොහැකි අන්දමේ විය. පැයට කිලෝමීටර් 60ක 70ක වේගයෙන් ඇදෙනා වාහන යන පාර අසල සිටි එම දරුවා වාහනයකට හසු නොවුයේ පෙර වාසනාවකට විය යුතු විය.
ඇඳ දෙපස බාර් දෙකකින් සීමා කළ ඇඳක සිටි ඔහුගේ මව වෙතට ඔහුව ගෙනගොස් තැබීමු. එහෙත් තම මව අසල විනාඩියකට වත් රැඳුණේ ඔහු නොවේ. වහ වහා ඇඳෙන් පහලට රූටා ගිය ඔහු වාට්ටුව පුරා දනගාන්නට පටන් ගත්තේය. ඇවිදීමට නොහැකි වූ ඔහු අප ඇවිදිනවා ට වැඩි වේගයෙන් දනගැවේය. නැවත නැවතත් වාට්ටු සේවකයන් විසින් ඔසොවාගෙන ගොස් අම්මා අසල තැබූවත්, මිනිත්තු කිහිපයකින් ඇඳෙන් බැසගත් ඔහු නැවතත් වාට්ටුව පුරා දන ගාන්නට විය. එය වලක්වන්නට නොහැකි වූ තැන, තවත් සේවකයකු ඔහුව ගෙන ගොස්, කුඩා දරුවන් දමන කොට් එකක දමා බාර් වලින් වට කරන ලදී. ඔහු බෙරිහන් දී හඬන්නට පටන් ගත්තේ ඒ අතරතුරදීය. එම හැඬුම් කෙසේවත් නවත්වා ලිය නොහැකි විය. අන්තිමට ඔහු රිසි පරිදී වාට්ටුවේ අස්සක් මුල්ලක් නැතිව දණගා යාමට ඉඩ දීමට වඩා වෙනත් කළ හැකි යමන් නොවීය.
මෙලොව මා දැක ඇති ප්‍රීතිමත්ම දරුවා ඔහු විය. සිය මව විසින් ඔහු හට මත්පැන් පොවන ලද්දේදැයි සැකයක් ද අප තුළ විය.
ක්‍රමක්‍රමයෙන් ඇයගේ මත් බව පහව යන්නටපටන් ගත්තේය. ලබා දුන් පිළිතුරු තරමක යාතර්තවාදී බවක් ගෙන තිබිණි.
ඇය පැවසු කරුණු අනුව, ඇය මත් පැන් බෝතල් 2 කට ආසන්න ප්‍රමාණයක් පානය කොට තිබිණි. දරුවාගෙන් වහනය වූ අධික මත්පැන් ගන්ධය පිළිබඳව සැක සිතූ අපි නැවතත් ඇගෙන් විමසා සිටියේ දරුවාටද මත් පැන් ලබා දුන්නේ ද යන්නයි. එහෙත් එය ප්‍රතික්ෂේප කළ ඇය නැවත පවසා සිටියේ සැමියා විසින් ලබා දුන්නේද යන්න තමන් නොදන්නා බවය.
තව දුරටත් කරුණු විමසීමෙන් පසුව අපට පැහැදිලි වූ කරුණ නම් , ඇය හටද මත පැන් ගෙනවිත් දෙන්නේ ඇගේ සැමියා බවය. එදින මත පැන් පානයෙන් අනතුරුව දෙදෙනා අතර වූ රණ්ඩු සරුවල් වීමකින් සිදු වූ පහර දීමකින් පසුවය ය ඇය දරුවාද සමග පාරට පැමිණ ඇත්තේ. එහිදී දැනුන මත් බව නිසා ඇය පාරෙහිම නින්දට වැටී ඇත්තේ දරුවා පිළිබඳවද අමතක කරමිනි. පොලිසියෙන් ඇයව සොයා ගන්න තුරුම දරුවා පිළිබඳව හෝ තමන් පිළිබඳව හෝ කිසිදු වගකීමක් ඈ සතුව පැවතුන බවක සලකුණක් හෝ නොවීය .
පසුවදා වන විට ඇගේ වෙරි මත සම්පූර්ණයෙන් සිදී ගොස් තිබිණි. ඇගේ මුහුණෙහි වුයේ කලකිරීමට පත් වූ හෝ ලජ්ජාවට පත් වූ ස්වරුපයක් නොවේ. ඇගේ දරුවද කිසිවක් සිදු නොවූ පරිද්දෙන් වාට්ටුව පුරා දන ගාමින් සිටියේය. කළුම කළු පැහැ ගත්තද ඔහුගේ වුයේ ඉතා සුරතල් පෙනුමකි. ඔහුගේ සිනහවේද කෙළවරක් නොවීය.
“මේ ළමයව පරිවාසෙට දුන්න නම් හරි. “ බොහෝ දෙනෙකුගේ අදහස විය. එම අදහස තීව්ර වීමට තවත් හේතුවක් වුයේ ඇය හෝ ඇගේ සැමියා දරුවාටද මත්පැන් ලබා දෙන්නේද යන ගැටලුව ඒ වන විටත් අප හට පැවතීමය.
මෙම සිදු වීම පිළිබඳව සිදු කළ යුතු නීතිමය කටයුතු බොහොමයක් ඉතිරි වී තිබිණි. එහෙත් පසුවදාට පහන් වූ මොහොතේ සිටම ඇගෙන් වූයේ එකම ඉල්ලීමකි. එනම්, ඇයට නිවසට යාමට ඉඩ දෙන ලෙස වූ ඉල්ලීමය. ඒ සඳහා වූ ප්‍රධාන හේතුව ලෙසට අප හට සිතුණේ මත්පැන් පානය කෙරෙහි ඇය කෙරෙහි වූ ඇබ්බැහි වීමය.
එහෙත් ඇගේ ඉල්ලීම නොසලකා හැරෙද්දී දරුවා පිළිබඳව පරිවාසයට දැනුම් දීමද සිදු විය.
කෙසේවෙතත් අපේ උත්සාහයන් සියල්ල නිරර්ථක කෙරෙමින් සවස් වන විට ඇය දරුවාද කැටුවම වාට්ටුවෙන් හොරෙන් පිට වී ගොස් සිටියාය.
තවමත් ,ප්‍රීතිමත්ව සිනහවෙන් ඉපිලෙන දරුවන් දකින බොහො අවස්ථා වල මෙම දරුවාව මා හට සිහිපත් වේ. ඔහු දැන් කුමක් කරනවාද, ජීවතුන් අතරද යන්න මම නොදනිමි

9 comments:

  1. රෝහල් සම්බන්ධයෙන් මෑතක ලද අත්දැකීම ගොඩක් දුරට වේදනා සහගතයි. අද වෙද්දි මගේ බිරිද රෝහල ළගින් යද්දි ඒ දිහා බලන්නේ නැතුව අනික් පැත්ත බලාගෙන යන්න තරම් ඒක භයානකයි....

    ReplyDelete
    Replies
    1. අත්දැකීම කුමක් දැයි නොදන්නා නමුත් එය හොඳ අත් දැකීමක් නොවන බව පැහැදිලියි. ඉක්මනින් ඔබ දෙදෙනාම මානසිකව යථා තත්වයට පත් වන්නට ප්‍රර්ථනා කරනවා.

      Delete
  2. අන්න මව් ගුණ ගැයිය යුතු අම්මලා සහ පිය ගුණ ගැයිය යුතු තාත්තලා.

    අනිත් එක ඔයවගෙ ළමයින්ට ස්වභාවයෙන්ම පුදුමාකාර ඔරොත්තු දීමේ හැකියාවක් තියෙන්නෙ නේද?

    දැන් සිඳු ඇස්සැච්චෝ අක්කියෙක්ද, ආ‍රැච්චෝ අක්කියෙක්ද? :D

    ReplyDelete
    Replies
    1. හයියෝ සිඳු sho වෙලා අවුරුදු 3 කට කිට්ටුයි. ඒත් අක්කි නෙමේ... යුනිට් එකේ නංගි. :D

      මේ ළමයින්ට ඔරොත්තු දෙන හැකියාව නම් උපරිමයි තමයි. ඒක නම් ඕන තරම් අත් දැකල තියනවා

      Delete
  3. මෙයාට බ්ලොග් එක මතක් වෙලා තියෙන්නෙ..බුකියෙ එක එක ඒවා ලියන වෙලේ මෙහෙමවත් ඔය දකින අත්දැකීම් ලියන්නකො බ්ලොග් එකට....
    ඔය වගේ සිදුවීම් නම් ඔය උළු,ගඩොල් පෝරණුවල මමත් අනන්තව දැකලා තියනවා අපේ පැති වල..හැබැයි ඔහොම දරුවෝ ඕනම තත්වෙකට ඔරොත්තු දෙන ගතියකුත් පේනවා..

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එක මතකයි අනේ. එත් බුකිය තරම් ෆෝන් එකෙන් ලියන්න ලේසි නෑනේ. බ්ලොගර් app එක මෙලෝ වැඩක් නෑ. ඉතින් ලියන දෙයක් බුකියේ ලියාගෙන ඉන්නවා මේ දවස් වල. මම වැඩියෙන් ලියන්නේ බස් එකේ යන එන ගමන්. ඒකයි හේතුව

      මමත් ඔයාලගේ පැත්තේම තමයි. මටත් මතක විදියට මේ පවුලත් මෝලක තමයි. කොහු මෝලක් ද කොහෙද

      Delete
  4. මට මෙය කියවා මෙවැනිම වූ සිදුවීම් ගණනාවක් මතකයට නැගුනා. ඇතැම් මව්වරුන් සිගමන් කරන්නේ දරුවන් සමග... බීමත් ව හමුවූ අයද අඩු නැත.

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කෙ. ඒ වගේ අයත් ඕන තරම්. අක්කාගේ කමෙන්ට් එකත් එක්ක තව කතාවක් මතක් වුණා. ලියන්න ඕන ඒකත්.

      Delete
  5. දෙමව්පියන්ගේ වගකීම් විරහිත බවින් දුක් විදින දරුවෝ.

    ReplyDelete