සමුනොගන්නෙමි මතක දෙවසර - ආදම්ගේ පාළම

සවස හතරට පමණ ආසන්න විය. එහෙත් තවමත් හාත්පස  ගිනිගෙන දැවින. අප අර ඇන්දේ තරමක් අවදානම් ගමනකටය.

ඒ  මාළු බෝට්ටුවක නැග ආදම්ගේ පාලම ට යාමට ය. ආදම්ගේ පාලම යනු පාලමක් නොවේ.  ඒ ඉන්දියාව  සහ ලංකාව අතර ඇති  කුඩා වැලි දූපත් වල එකතුවකි. Rama sethu හෙවත් රාමාගේ පාළම ලෙසින් ද  හැඳින්වෙන මෙය ඈත අතීතයේදී ලංකාව සහ ඉන්දියාව අතර වූ ස්වභාවික පාලමක් ලෙසද පැවති බව කියවේ.

බෝට්ටුවට ගොඩ වන්නට මුහුදු වෙරළේ සිට අඩි කිහිපයක් මුහුද දෙසට ගමන් කළ යුතු විය. රළ ගහන වෙරළක එය මා හට අපහසු කාර්යයයක් විය. හැරත් , බෝට්ටුව දුම්මල වරමක් ගත යකදුරෙකු සේ ඒ මේ ඇත පැද්දෙමින් තිබිණි. දහ දොළොස් වතාවක උත්සාහයෙන් අනතුරුව මම බෝට්ටුවට නැගීමට සමත් වීමි.

එහි වූයේ එක ආරක්ෂක කබායක් පමණක් වූ අතර බෝට්ටුවේ සිටි එකම ගැහැණු ළමයා වූ මට එය නිරුත්සහයෙන්ම හිමි විය.

ඊට පෙර මම බෝට්ටුවෙන් ගොස් තිබුණේ අතේ ඇඟිලි ගන්නටත් වැඩ අඩු වාර ගණනකි. එක වරක් හික්කඩුව කොරල් බැලීමටය. තවත් වරක් මඩොල් දූවට යාමටය. අනෙක් වර තිස්ස වැවේ ගිය ගමනකි. ඉතිරි සියලු වතාවන්ම හංස බෝට්ටු වලය. ඉතින් එම මුහුදු ගමන ම හට කොතරම් වෙනස් වුවක් දැයි සිතා ගන්න.

ඉර හැරී හෝරා කිහිපයක් ගත වී තිබුණද උණුසුම දැනුණේ ඉර හරියටම හිසට කිලෝමීටර් 2ක් උඩින් පාවෙනවා මෙනි.

සෙමෙන් ඉදිරියට ඇදුන බෝට්ටුව කෙමෙන් කෙමෙන් වෙරළින් ඈත් වී යන්නට විය. වෙරළින් ඈත් වන්නට වන්නට එහි වේගය වැඩි වූයේ නිරායාසයෙනි.  

වෙරළේ නවතා තිබුණු ධීවර බෝට්ටු මෙන්ම නාවික කඳවුරේ වූ  විසල් නාවික බෝට්ටු ද කුඩා වන්නට පටන් ගැනිණි.
කාලයක් තිස්සේ දරුණු යුද්ධයකට මැදිව , තැලී පොඩි වුන එම අභිමානවත් බෝට්ටු සමූහය මඳකට විඩා නිවනවා ටත් වඩා, තවමත් නිවී නොගිය, ගිණිපුපුරු සාමයේ අළු යට සැඟවී ඇත්දැයි විමසිල්ලෙන් පසු වන ප්‍රාණීන්  බඳු විය.

බෝට්ටුවේ වේගය වැඩි වීමත්, මුහුණට විසි වෙන වතුර ප්‍රමාණය වැඩි වීමත් සිදු වූයේ එකම වේගයකිනි. සිහින් ඉඳිකටු සහසක් මුහුණටත් ගෙලටත් අනිනවා බඳු හැගීමත් සමගම, දෙනෙත් තුලට විසි වූ කරදිය දෙනෙත් දැවූයේ අනුකම්පා විරහිත ලෙසය. දෙනෙත් හැරීමට නොහැකිය. බිය සහ විසිවන කරදිය ඊට හේතු විය.
මුහුද මැද චායාරූප ගැනීම සිහිනයක් පමණක්ම විය.  ඉතා අපහසුවෙන් දෙනෙත් විවර කරගත් මම කැමරාව බාගය තුලට රුවා බෝට්ටුවේ එංජිම අසල සැගවීමි.

මුහුදු රල මගින් බෝට්ටුව ඒ මේ ඇත පැද්දෙන්නට වීම පමණක් නොව, එමගින් එහි සිටියවුන් අහස දෙසට විසි කිරීමද අතිශය භයංකාර විය. සැබවින්ම මට මරණ බිය දැනින. ජීවිතයේ ඉතිරි වූ වගකීම් යුතුකම් ද බොහෝ සිහිපත් විය. එහෙත් මගේ මිතුරන්ගේ මුහුණේ කිසිදු බියක සේයාවක් හෝ සටහන් වී නොතිබුණි. ඔවුනට එය විනොදයක්ම විය. මගේ අනියත බියද ඔවුන් හට විනෝදයක් විය.
මම දෙනෙත් තද කර වසා ගතිමි. කිනම් හෝ මෙහොතක මා දිය යටින් මතු වේ යයි සිතිනි.
“අද මුහුද නිස්කලංකයි” බෝට්ටු පදවන්නා පැවසුයේ හදිසියේමය. ඔහු උමතුවෙන් දැයි මා හට සැක සිතුණේ නිරායාසයෙනි. මෙවන් වූ මුහුදකට නිස්කලංකයි පවසන්නේ කෙලෙසකද .
දවසකට වැඩ දිගු වූ හෝරාවක් මුහුද මැද ගෙවී  ගියේය.  ඈතින් යන මාළු බෝට්ටුවක සිටින අයෙකු අප දෙසට අත වන්නන්ට විය.ඔහු බෝට්ටුවේ සිටගෙනය. මා හට නම් බෝට්ටුවක සිටගෙන සිටිනවා තබා හිඳගෙන යාමද අපහසුය.

අහසේ ඉගිලෙන මුහුදු ලිහිණියන් එක දෙන්නා වැඩි වන්නට පටන් ගත්තේය. වැලි දුපත් සමුහය අත ළඟය.
එය නම් පුදුමාකාර වූ පිහිටීමකි. මුහුද මැද වැලි දූපත් ! ඒ සීමාවේ මුහුදු රල හැපෙන්නේ වැවක දිය රැළි ගානට ය. රල පහර සමග මතු වන සැඟවෙන වෙරළ දගින් දිගටම මුහුදු රල හා දඟකාරකම් කරන්නට විය.  

මිනිස් පා පහසින් අපවිත්‍ර නොවූ මෙම දුපත් හි පා තබා ඇවිදින විට ඇතැම් තැනක වළලුකර දක්වා ගිලී ගියේය. බොහෝ තැන වල වැලි ඒ වන විටත් උණුසුම්ව තිබිණි. ඒ මේ අත නිරන්තරයෙන් දිව ගිය කකුළුවන් වැලි අස්සේ ගුල් තුළ අතුරු දහන් වුයේ නිතැතිනි.

එය කුරුළු සංචාරක සමයක් නොවීය.එම නිසා සිටියේ කුරුල්ලන් කිහිප දෙනෙකු පමණි. අපගේ ගොඩ බැසීමත් සමගම සිටි තැන වලින් ඉගිල්ලී ගිය අවුල් නැවතත් තරමක් දුරකින් වසාගෙන ගොදුරු සොයන්නට වුහ. වෙරළ සීමාවේ දහස ගණනින් සිටි මුහුදු බෙල්ලන් ඔවුන්ගේ ආහාරය වන්නට ඇත.

දුපතේ එක තැනක කුඩා තල්මසෙකුගේ ඇට සැකිල්ලකි. තවත් තැනක කැස්බෑ කටුවකි.

මුහුදේ සිට පැමිණ වරින් වර දූපත හරහා හමා යන සුළඟ වැලි ද ඔසවාගෙන විත් වරෙක මුහුණ මත අත හරින ලදී. දහවල ගිනියම ඒ වන විටත් මැකී ගොස් නොතිබුණෙන් එම සුලග ගතට එතරම් සුව දායක නොවීය. 

එහෙත් කිසි දිනෙක නොලබූ එවන් වූ අත්දැකීමක් අප සිත් බොහෝ සෙයින් එම පරිසරයට බැඳ තබාගෙන තිබිණි.   ඒසා ගිනිගන්නා සුළු අව්වක අවසාන අදියරේදී වුව  අප ජීවිතය විඳීමින් සිටියෙමු.
දුපත් මැද මා තනිකරමින් මිතුරන් තිදෙනා මුහුදට පැනීමට ගත වුයේ ඉතා සුළු මොහොතකි. ඔවුන්ව අමතක කළ මම දූපතේ එක කොනක සිට අනෙක් කොණ දක්වා ඇවිද යාමට  පටන් ගතිමි.
මට සුළු මොහොතකට පෙර එතැනින් පුංචි කුරුල්ලෙකු අඩි තබා ඇවිද ගිය සලකුණු පෙනෙන්නට තිබිණි. ඔහු අසලින්ම මම මගේ අඩි සලකුණු ද තැබීමි. 

දූපත් වලට එහායින් ඇති මුහුද පෙනෙන සීමාව ට මම ඇවිද ගියෙමි. එය නම් මහා විස්මයකි. බෝට්ටු  අයිතිකරු පැවසූවේ සැබෑවකි. අප පසු කර පැමිනි මුහුද බොහෝ සෙයින් නිස්කලංකය. දුපත් පෙලට එහායින් වූ මුහුද යක්ෂාවේශ වූ මුහුදකි.  මෙය මන්නාරම් මුහුද පිළිබඳව ඇති සත්‍යයකි. වසරේ මාස 6ක් දූපතේ එක පසෙක මුහුද රළු වන අතර ඉතිරි මාස 6 තුළ අනෙක් පස මුහුද රළු වේ. එහි ප්‍රතිපල අත් විඳින්නේ මුහුද හා සමගම ජීවත් වන ධීවර ජනතාවය.

වඩ දිය සහ බා දිය සමග මුහුදේ ජල මටටම වෙනස් වන සලකුණු යම් තරමකට අප හටද විද්‍යමාන විය. එම නිසා එයින් පිට වී යලි පැමිණීමට තීරණය කළෙමු. සියවස් ගණනක් පුරා රැකුණු මෙම දූපත් තව කොතරම් කලක් මෙලෙස රැකෙවිදැයිකිව නොහැකිය. ඉහල යන ගෝලීය උණුසුමත් සමහ ඉහළ  යන මුහුදු ජල මට්ටම මතු යම් නොබෝ දිනකදීම ඒවාගේ ඉරණම තීරණය කරනු ඇත.

තලයිමන්නරම් ජැටිය පසුබිම් කරගනිමින් හිරු අවර ගිර ගිලෙද්දී, මෝදු වූ කළුවරත් සමගින් නැවතත් අපි වෙරළට ගොඩ බැස්සෙමු.  

Comments

  1. නියම අත්දැකීමක්.

    ReplyDelete
  2. අඩි සලකුණු බලල මට කියන්න පුළුවන් මේ දරුවා දොස්තර කෙනෙක් කියල්.. හ්ම්ම් මං හරි නේද ?

    ReplyDelete
  3. යන්න අසා හිතෙන ගමනක්.

    ReplyDelete
  4. ෂහ් මෙහෙම ගමනක් ගිය කාලයක් මතක නෑ.

    ReplyDelete
  5. වෙරළක සුන්දරත්වය ජයවේවා.

    ReplyDelete

Post a Comment