Wednesday, May 17, 2017

සමු නොගන්නෙමි මතක දෙවසර 07 - නොස්ටැල්ජියාවක උපරිමයකට යටත්ව


ගෙවී යන්නේ ඉතා වෙහෙසකර කාලපරිච්චේදයකි. මනසට සහ ගතට විඩා දෙමින් අප මෙසේ දුවන්නේ කුමක් අරභයාදැයි විටෙක සිතේ. පැය හයක වැඩ මුරයද හිතට ගෙන දෙන්නේ මහා පීඩාවකි. ආතතියකි.
මන්නාරමේ, එක දිගට දින දෙකක් ඔන්කෝල් කළ සති අන්ත සිහියට නැඟේ... ශල්‍යාගාරයටත්, එතැනින් වාට්ටුවටත් එතැනින් හදිසි ප්‍රතිකාර ඒකකයටත් යළිත් ශල්‍යාගාරයටත් දිවීමම ජීවිතය වූ කාල වකවානුවක් විය. පොතේ හැටියට එකළ අප විඩාවෙන් මිය යා යුතුය.
එහෙත් කිසිදු විඩාවක් හෝ පීඩනයක් මෙතරම් ලැබූ බවක් මතක නැත.
අවිවේකය අතර මැද සිත නිවූ පරිසරය ඒ සඳහා ඉවහල් වන්නට ඇතැයි සිතේ.
අනන්තය දක්වා විහිදී ගිය කුමක්දෝ නිහඬ බවක්, සැනසීමක් , කඨෝර ගිනි ගහන අවුව මුසු කර ගත් මන්නාරම් සුළඟේ පැවතිණි. දරාගැනීමට අපහසු තරම් වැඩ අධික වූ ඇතැම් විටෙක මිනිත්තු පහකට එහායින් වූ මන්නාරම් පාලම වෙතට හෝ ගොස් කලපුව දෙස විනාඩි පහක් දහයක් හෝ බලා සිටීමට පුරුදු වී සිටියෙමි.
කලපුවේ තැනින් තැන වූ මාලු ඔරු ,කොල්ලෑ ආදිය ද, ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින මෝටර් බෝට්ටුද, එම පරිසරයේම කොටසක් ලෙස මිස, පාරිසරික සමතුළිතතාවය විනාශ කිරීමට පැමිණි ජීවීන් කොටසක් ලෙසට මට කිසි දිනෙක හැඟුණේ නැත. ඔවුන් ද කලපුවේ සිටි ජල කුරුල්ලන්ද අතර වෙනසක් මා හට කිසි දිනෙක දැනුනේ නැත.
මන්නාරම් මන්ත්‍රි වරයාගේ ආනුභාවයෙන් දිනෙන් දින වියැකී ගිය පාර දෙපස වූ ළඳු කැලෑද, එකම රටාවේ ගිනිපෙට්ටි ලෙස ඈතට දිස් වුන එකම අච්චුවේ දැමූවා සේ පෙනුන නිවාසද දකින විට, තිරසාර සංවර්ධනයේ නිම් වළලු පරයා මනාරම් දූපතේ අනාගතය ජල බඳුනක් මෙන් පැහැදිලිව පෙනුණද, එතෙක් සුරැකිව පැවති සොඳුරු බවට මම වශී වී සිටියෙමි.
මන්නාරම් ටවුම යනු එකම වර්ණවත් ලෝකයකි. ඉන්දියාවේ කලබලකාරී කඩ වීදියක් මවාගන්න... එහිද වූයේ එවන්ම වූ ලෝකයකි. ජනාකීර්ණ, කලබලකාරී කඩ වීදි වල එල්ලා ඇති ඇඳුම් වල සල්වාරි වල , අත් බෑග වල වූයේ දෙනෙත් කඩාගෙන යන ස්වරූපයේ වර්ණය.ඒවා කිසිවක් මගේ සිත් ගත් ඒවා නොවීය. එහෙත්, වීදි චායාරූප සඳහා සුදුසුම පරිසරයක් එහි වූ අතර , ඉඳ හිට කැමරාවට නැගූ එවැනි කිහිපයක් චායාරූප මා සතුව පවතීයි.
හඬන සිතකින් යුතුව මනාරම බලා මුල් දිනයේ ගියද, දින කිහිිපයකින්ම එම දූපතේ හද ගැස්ම සමග මගේ හද ගැස්ම හා බද්ධ වන බවට මා හට පසක් විය.
වෙනත් පරිසරයකදී හිසට මෙන්ම මනසට ද වදයක් වන බොහෝ දෑ මෙහිදී දැනුනේ අපූර්ව ලෙසකිනි.
වෙනදාට පාරෙහි බස් රථ වල ඇසෙන නිමක් නැති සිංහල ගීත මහත් වූ කරච්චලයක් බවට දැනුන මා හට, එහිදී සතොසෙහිදී ඉඳ හිට ඇසුණ බස් සින්දු ගෙන දුන්නේ ද අමුතු මිහිරකි. සතොසෙහි සේවය කළ බොහෝ දෙනා සිංහල වූහ.
මුලදී වචනයක් වත් නොවැටහුණ ද, නිරන්තරයෙන්ම ඇසුණු දමිළ ගීත බොහොමයක තේරුම් ද සොයා යාමට මම පෙළඹුනෙමි. දැනුදු රාත්‍රියේ යන ගමනකදී වාහනයේ රේඩියෝ මීටරය දමිළ නාලිකාවකට හරවා ගීත කිහිපයක් හෝ ඇසීමට මම ප්‍රිය කරමි.
රාත්‍රී ආහාර ගැනීමෙන් අනතුරුව ඇතැම් දින වල කෝපි කෝප්පයක අවශ්‍යතාවය තදින්ම දැනුනි. නිල නිවාසයට ගොස් කෝපි කෝප්ප එකට දහයක් සාදාගත හැකි වුවද කොහේ හෝ කඩයකින් රෑ 11ට පමණ කෝපි බීම තරම් එහි විශේෂත්වයක් නැත.
රාත්‍රී වැඩ නොමැති දින වල සවස් භාගය පාන්දර 1 ,2 වන තුරුත් ගත කරන්නට කලපුව මැදින් යන තාර පාරත්, බීම බෝතලයකුත් පරිප්පු වඩේ කීපයකුත් ප්‍රමාණවත විය්. නොනවත්වා විහිලු සැපයීම මගේ මිතුරන්ගේ කාර්‍ය භාරය වූ අතර , ඒවාට බඩ රිදෙනා තුරු සිනහ වීම මගේ කාර්‍ය භාරය විය.ගෙයක් දොරක් ඇති බවවත් අමතක වන එවන් රාත්‍රීන් නැවත් ජීවිතයේ කිසිම දිනක උදා නොවන බව දනිමි.
කලපුව දෙපසින් එන සුළඟ , වසරේ ඇතැම් මාස වල දරා ගැනීමට අපහසු තරම් සැඩය.
එක් දිනක සවසක මුහුදු වෙරළේ පැදුරක් එළාගෙන මමත් තවත් මිතුරියක් සහ මිතුරෙකුත් වාඩි වී සිටියෙමු. සුළං පහර දරා ගැනීමට අපහසු තරම කොතෙක් ද යත් සුළඟ මුවා කිරීමට අප පැදුර එළනු ලැබුවේ වෙරළේ අටවා තිබුණ තාවකාලික තල් අතු නිවාසයකට මුවා වන සේය. කලුවර වැටුන පසුව ආපසු යාමට අප නැගී සිටීමෙන් අනතුරුව වාඩි වී සිටි පැදුර මම අතට ගත්තෙමි.
සුපර්මෑන් ගේ සාටකය සේ එය සුළඟේ ගසාගෙන යන්නට විය. මොහොතකට මට දැනුනේ මා සුලඟේ ගසාගෙන යන්නාක් මෙනි. පොලොවෙන් සෙන්ටිමීටර් එකක් දෙකක් හෝ මා උඩට එසවුණ බව තවමත් මම අදහමි. එය සිතට දැනුනක් පමණක් විය හැකි වුවද ඒ පිලිබඳව එලෙසම සිතීමට මම කැමැත්තෙමි. මන්ද යත් එම සිදුවීමෙහි දැනුන අපූර්වත්‍වය නිසාවෙන්මය.
මේ මොහොතේ මම සිටින්නේ මෙම රෝහලේ ශල්‍යාගාරය තුළය. මෙහි පැමිණ මාස 6ක් 7ක් ගත වුවද මා හට දැනෙන්නේ තවමත් ආගන්තුක බවකි. එකිනෙකා එකිනෙකාගේ වැඩ වල නිරත වී සිටිති. මනාරම ශල්‍යා ගාරය සිහිවන්නේ මෙවන් මොහොතක නිතැතින්මය. එය එකම ශබ්ද ගොඩකි. භාශා 3ක එකතුවකි. සදාකාලික සිනා සහ තාවකාලික රණ්ඩු ගොඩකි. ඒ සියල්ලටම වඩා ශල්‍යාගාරයම පණ ඇති ජීවියෙකු ලෙසකි.
ශල්‍යකර්ම අතරතුර කොහේ හෝ සිට ප්‍රාභූර්ත වන වඩේ පිඟාන අතුරුදහන් වීමට ගත වන්නේ මිනිත්තු කිහිපයකි. එවන් අවස්තා වල අසාධාරනයට ලක් වන්නේ ශල්‍යකර්ම වල නිරත වන අපය. ඇතැම් විට ඉතිරි වන්නේ මෙලෝ සතෙකුට බීමට නොහැකි ලෙස කවුරුන් හෝ සෑදූ අඩක් නිවුණ ප්ලේන්ටියක් පමණි. එහෙත් ඒ සියල්ල ඉතා සුන්දරය.
සියල්ල අමතක කර දමා මොහොතකට මන්නාරමට ගොස් පැමිණීමට සිතේ.
කටුක කර්කශ ලෙසින් සිතා සිටින එම පරිසරයට ගියහොත්, එහි මසක් දෙකක් ගත කළොත් එහිදී නතු වන මනාරමීයතාවය ට ( Mannarism , as we used to say) මෙසේ පෙම් බඳින්නේ මා පමණක් ම නොවන බව පැහැදිලි වේවි. එහෙත් ඒ සඳහා සහෘදයන් පිරිසකුත් සිටිය යුතුමය





9 comments:

  1. බත්තලංගුණ්ඩුවේ දි අහස දිහා බලාගන ගෙවු රැය කීපයක් මටත් මතකයට නැගුණා.

    ReplyDelete
    Replies
    1. මංජුල වෙඩිවර්ධනගේ "බත්තලංගුණ්ඩුව " පොත කියවලා බත්ලංගුණ්ඩුවේ යන්න ආසාවක් තියෙනවා වගේ සිඳුගේ මේ මන්නාරම් කතන්දර නිසා මන්නාරමේ යන්න ආසාවකුත් තියෙනවා.

      Delete
  2. දිග නිවාඩුවකට මහා ගෙදර ගියා වගේ.. මේ කතාවලට කොච්චර කොමෙන්ට් දැම්මත් ඇති වෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  3. අකුරු පොඩ්ඩක් ලොකු කරමු නේද. නැත්නම් කියවන්න අමාරුයි වගේ

    ReplyDelete
  4. හරිම ලස්සනයි. මටත් ආසයි මන්නාරම් ගිහින් බලන්න.

    ReplyDelete
  5. ඔයා හරි නංගී ! මේ ළඟදි මට මතක් වුනා එක දිගට ඔන්කෝල් කරමින් ඔහොමම කාලයක් උතුරේ ගත කළ හැටි.. සමහර විට මහ රෑ එළි වෙනකම් මහ මහා තියටර් එකේ... ඒත් පහුවදා ක්ලිනික් ඇවිත් ඒවත් කළා... හැබැයි ඒ මිනිස්සු ඇටෙන්ඩන්ලා මිස්ලා අපිව රැක්කා ! තේ හදලා දෙනවා විතරක් නොවේ කෑමටිකක් පවා ගෙනැවිත් දෙනවා. කඩේ යනවා දහ පාරක් වුනත් අපිට කෑම ගේන්න !

    ReplyDelete
  6. විචාරකතුමා අවසාන දවස්කීපය ගතකලේ ඔහුගේම ලෝකෙක එතැනදී ඔහු අපි මන්නාරමේ එක්ක ගිහින් ඉන්නවා වගේ කතාකළා මේ සිදුවීම කියෙවුවට පස්සේ මගේ මතකයට ආවේ එයයි.

    ReplyDelete