Sunday, August 20, 2017

අංජනම් එලි

ශල්‍ය වාට්ටුවේ වසර දෙකකට පසුව නැවතත් නොමේරූ ළදරු ඒකකය සේවය කිරීමට එතරම් කැමැත්තක් නොවීය. හැරත් ශල්‍ය වාට්ටුවකට වඩා මෙවැනි ස්ථානයක් ඒකාකාරීය. නමුත් විවිධාකාර හේතු නිසා අවසානයේ නැවතීමට සිදුවූයේ නොමේරූ ළදරු ඒකකයේ ය.
එහෙත් කාලය ගතවත්ම මෙහි වන ඒකාකාරී බව තුළින් ම යම් යම් දේ ඉගෙනීමට හුරු වෙමින් සිටිමි.
මෙලොව පවතින කිසිදු දෙයකින් මනස දූෂණය නොවූ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අවිහිංසක බිළිඳුන් සුව කිරීම එක අතකට සතුටකි .
තමන්ට සිදුවන්නේ කුමක්දැයි නොදැන වීදුරු පෙට්ටි තුළට වී  සිටින ඔවුන් දෙස බලා සිටීම ඇතැම් විටෙක මනස සුවපත් කරවන සුළුය. එහෙත් එය සුවපත් මනස චංචල වන්නේ අසාධ්‍ය රෝගී වන බිළිඳුන් සිටින අවස්ථාවන්දීය.
එහෙත් ඒ සියල්ල අවසානයේ ඔවුන් සුවය ලබා පිටව යනවිට දැනෙන සතුට අපමණය. මාස ගණනක් යනතුරුම ඔවුන්ව නැවත නැවත ගෙන්වාගෙන පරීක්ෂාකර බලන නිසා එම දරුවන්ගේ වර්ධනය අපි පැහැදිලිවම දකින නිසාවෙනි.
නිරෝගී දරුවන් ලෙස ඔවුන් වැඩෙද්දී ඔවුන්ගේ මවුවරුන් පියවරුන් හා සමානම සතුටක් අප ද ලබන්නෙමු.
**********************
සමන්ති වයස තිස් ගණන්වල මැද භාගයේ පසු වෙමින් සිටියාය ය. ප්‍රසව වාට්ටුවට ඇතුළත් වූයේ නූපන් දරුවා ද කුසෙහි දරා ගෙනය. ඇය පසු වූයේ ප්‍රසව වේදනාවෙන්.
නියමිත කාලයට කලින් සති 32 කදී ඇය නොමේරූ දරුවෙකු බිහි කළාය.සති 32 ක් වු දරුවා හට සාමාන්‍ය තත්ත්ව යටතේ ශ්වසනය අපහසු විය. එම නිසා නොමේරූ ළදරු ඒකකයට දරුවා ඇතුළත් කරන ලදී.
පෙනහලු වර්ධනය උදෙසා වූ අවශ්‍ය surfactant ඖෂධය ඔහුට ලබා දීමට සිදුවූ අතර කෘතිම ශ්වසනය යන්ත්‍රයක ආධාරයෙන් ඔහුට ලබාදෙන ලදි.
දිනෙන් දිනම දරුවාගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පැවතින. මවට දරුවා බැලීමට අවසර දෙන ලදී. පියාට දරුවා බැලීමට ඉඩ ලබා දුන්නේ එක් වතාවක් පමණි. ඊට හේතුව නොමේරූ ළදරු ඒකකය තුළ විෂබීජ රහිත බව නිරන්තරයෙන් ම පවත්වා ගත යුතු නිසාය. දින දෙකක් වැනි කාලයකදී මෙම යන්ත්‍රයෙන් ඔහු ගැලවීමට හැකියාවක් ලැබිණ.
එහෙත් දිගින් දිගටම ඔහුට ඔක්සිජන් අවශ්‍ය වූ අතර ගෙදර යැවීමට තරම් සුදුසු තත්ත්වයකට දරුවා ළඟා වී නොසිටියේය.
දිනකට කිහිප වරක්ම ළදරු ඒකකයට පැමිණෙන අනෙකුත් මව්වරුන්ට වඩා තරමක් වෙනස් විය. ඇයට අවශ්‍ය වූයේ කෙසේ හෝ දරුවා නිවස කරා රැගෙන යාමටයි. "බබාට දැන් කොහොමද ඩොක්ටර්" ලෙසින් අන් මව්වරුන් අසන පැනය වෙනුවට බොහෝ විට ඇගෙන් ඇසුණේ "හෙටවත් ගෙදර යන්න පුළුවන් වෙයිද" යන ප්‍රශ්නයයි.
"තවම ගෙදර යවන්න බෑ අම්මා" දරුවාගේ තත්ත්වය පිළිබඳව දිනකට දෙතුන් වතාවක් ඇය හට පැහැදිලි කිරීමට අපට සිදු වූ අතර දිනෙන් දිනම දරුවා නිවසට රැගෙන යාමේ ඇගේ තිබූ උනන්දුව ඉක්මණ් විය.
"ළමයට සෙම නේද?"  ඇය අප හෙදියක ගෙන් විමසා සිටියාය.
"ඒක තමයි ඔයාට තේරෙනවනෙ බබා හුස්ම ගන්න විදිහ" ඇය පිළිතුරු දුන්නාය.
IRDS,  increased secretion යනාදී ලෙස සමන්ති හට පැහැදිලි කිරීමට වඩා ඇගේ දැණුමේ මට්ටමින් සෙම ලෙසටම සිතා ගැනීමට ඉඩ හැරීම සුදුසු බව ඇය සිතන්නට ඇති.
"නෑ ඒක හින්ද  නෙමේ, මහත්තයා කිව්වා" එතරම් දැනුමකින් හෙබි ඇගේ ස්වාමි පුරුෂයා කවරකුද යන්න අප හට ගැටළුවක් මතුවිය.
එම නිසා ඒ පිළිබඳව විමසීමට අප හට සිදු විය.
අපේ ප්‍රශ්නය සඳහා සමන්ති ගෙන් ලැබුණු පිළිතුර වූයේ "මහත්තයාට අංජනම් බලන්න පුළුවන් එකෙන් බලලා මහත්තයා කිව්වේ" ඇගේ පිළිතුර අප පුදුමයට පත් කරන්නක් විය.
"මහත්තයාට පරම්පරාවෙන් ආපු බලයක් තියෙනවා. එයාට ලෙඩ හොඳ කරන්න පුළුවන්"
සමන්ති තවදුරටත් අපට පවසා සිටියාය. ඒක නිසයි බබාව මම ගෙදර අරන් යන්න හදන්නේ ඇගේ පිළිතුරෙන් අප පත් වූයේ තව තවත් පුදුමයට ය. ප්‍රශ්නය එතැනින් නැවතුනේ නැත.
එදින සවස සමන්තිගේ ස්වාමි පුරුෂයා නොමේරූ ළදරු ඒකකයට නැවතත් පැමිණියේය.
පැමිණීමෙන් පසුව ඔහු දිගින් දිගටම දරුවා නිවසට රැගෙන යාමට අවශ්‍ය බවට අප සමඟ තර්ක සිදු කළේය.
එහෙත් දරුවා සිටියේ ඔක්සිජන් සමග ය. කිසිදු ලෙසකින් නිවසට යැවීමට හැකි තරම් මට්ටමක ඔහු සිටියේ නැත. එම නිසා අපි දරුවාගේ තත්ත්වය පිළිබඳව සමන්තිට ත් ඔහුගේ ස්වාමි පුරුෂයාටත් පැහැදිලි කිරීමට උත්සාහ කළෙමු. ඔහු පසුවූයේ ඉතාම හිතුවක්කාර ස්වභාවයකිනි.
එම නිසා ඒ පිළිබඳව රෝහල් අධ්‍යක්ෂක වරයා සහ රෝහල් පොලිසිය වෙත දැනුම් දෙන බවට අප ඔහුට සඳහන් කර සිටියෙමු.
රෝහල් අධ්‍යක්ෂක වරයා වෙත දැනුම් දීම සිදුකරනවා යයි පැවසුවත් ඒ පිළිබඳව ඔහුට වගක් වත් තිබුනේ නැත. නමුත් රෝහල් පොලිසිය වෙත දැනුම් දිය යුතු බව සඳහන් කළ පසුව ඔහු තරමක් මෙල්ල වූ ස්වභාවයකට පත් වූයේය. ඉන් අනතුරුව ඔහු ළදරු එ්කකයෙන් පිට වී ගියේ ය. එහෙත් ඔහු එසේ ගියේ අප හට දෙස් දෙවොල් තබමින්.
එතරම් කාලයක් මරණාසන්නව සිටි දරුවෙක් එසේ බේරා ගැනීම සම්බන්ධව ඔහුගෙන්  කිසිම  සුභවාදී වදනක් හෝ අපට ලැබුනේ නැත.
ඒ වෙනුවට ඔහුගෙන් ලැබුනේ දෝෂාරෝපණ පමණි. කෙසේ හෝ රෝහල් පොලිසිය පිහිටෙන් දරුවා සුව වන තුරුම ළදරු ඒකකයේ තබා ගැනීමට අපට හැකියාව ලැබිණි.
නිවසට ගිය පසු ව ඔහුව දකින්නට අපට ඉඩ ලැබුණේ එක් වරක් හෝ දෙවරක් පමණකි.
ඉන් අනතුරුව සායනය සඳහා දරුවා රැගෙන එනු මම නොදුටුවෙමි. බොහෝ විට ඔහු ගමේ ළදරු සායනයේ මාස් පතා පරීක්ෂා වනවා වන්නට ඇත.
එහෙත් ඔහුගේ පියා තවමත් දරුවාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් අංජනම් එළි බලමින් පසුවන්නේ නම් එය ඉතාමත් අවාසනාවන්ත තත්වයකි.


15 comments:

  1. මිත්‍යාව අද ලංකාවේ මාධ්‍ය විසින් නීතිගත කරලා

    ReplyDelete
  2. මේ තත්වය ඉන්දියාවේ මෙයට වඩා වැඩියි. මිත්‍යාවේ සීමාවන් සමහරුන්ට අමතකයි.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ඔව්. ඉන්දියාවට වඩා නම් අපි තරමක් ඉදිරියෙන්. ස්තුතියි විචාරක දියණිය

      Delete
  3. surfactant ඖෂධය ලංකාවට ආවෙ පසුකාලයකදි නේද? 2004 දි විතර නොමේරු දරුවෙකුට මෙම ඖෂධය ලබා දීමක් සහ එවිට එය ලංකාවේ අනුමත නොවූ ඖෂධයක් වූ බවත් එක්තරා සිද්ධියක් සම්බන්ධයෙන් මතකයක් තියෙනවා.

    අනික් කරුණ ගැනනම් මම දන්නේ බොහෝ දෙමව්පියන් හැකිතාක් දුරට නොමේරූ දරුවන් රෝහල භාරයේ සිටීමට කැමති බවයි. මෙය සාමන්‍ය දෙයක් නොව exception එකක් නේද?

    ReplyDelete
    Replies
    1. ඉයන් අයියේ, ඔයා දන්නවද අපේ අම්මලාට දරුවෝ ප්‍රසූත කර ගමන් ගෙදර යෑමේ හදිස්සියක් තියෙනවා. දරුවෝ ගැන හිතන්නේ නැතිව බලෙන් යන අම්මලාද එමට යි. කලාතුරකින් කෙනෙක් තමයි ඉවසගෙන ඉන්නේ දරුවා හොඳ වෙනකම්.
      හැමෝම මන්තරේ වගේ මතුරන්නේ, අද ටිකට් කපනවද ? ඩිස්චාජ් කරනවද ? කියන එක විතරයි. "දැන් බබාට කොහොමද ? මගේ දරුවට හොඳ ද ?" මේවා අහන්නේ නැති තරම්. !

      Delete
    2. ඉතින් ඔයා අහනවා exception එකක්ද කියලා. අපේ නම් අම්මලාගේ හැසිරීම අනුව මටනම් ඕක කොමන්ම කොමන්, සමහර විට මම මතක් කරලා දෙනවා, අම්මේ බබා ඔයාගෙනේ, මෙයා හොඳම හොඳ වෙලා ගෙදර ගෙනිච්චම ඔයාට ජීවිත කාලෙම දුක් විඳින්නෙ නැතුව ඉන්න පුලුවන්, දැන් දරුවාට අවශ්‍ය ප්‍රතිකාර නොදුන්නොත් ඔයා ජීවිත කාලෙම ලෙඩ ළමයෙක් එක්ක ඉස්පිරිතාලේ ඉන්න වෙන්නෙ ! කියලා.
      මේවගේ ඒවා අහද්දී පුදුමයි තමයි.., ඒත් මේක සිරි ලංකාව. මට සමහර විට පුදුමයි මේ ළමයි ගැන අපි වද වෙන තරම් මේ දෙමාපියන් වද නොවෙන හැටි දැක්කම.

      Delete
    3. මේක exceptional දෙයක් නෙමේ. ඒ ගැන අක්කාත් පැහැදිලි කරලා තියන නිසා මම වැඩිපුර කියන්න යන්නේ නෑ. බ්ලොග් පෝස්ට් එකක්මත් ලිවුව එකේ.
      Surfactant ගැන ඒ කාලේ වුන සිදුවීම ගැන නම් මම දන්නේ නෑ. මම ඒ කාලේ පාසල් යන නිසා. නමුත් දැන් ඉතාම සුලභව භාවිතා වන මිලෙන් වැඩි ඖෂධයක්. ලංකාවේ සහ ලෝකයේ බොහෝ රට වල භාවිතා වන, අඩු වයසෙන් උපදෙන බොහොමයක් දරුවන්ගේ ජීවිතයේ ඉරණම පැහැදිලිවම වෙනස් කරන දෙයක්.
      වැඩි දුර විස්තර මෙතනින් බලන්න.

      https://scholar.google.com/scholar?hl=en&q=surfactant+benifits&as_sdt=1%2C5&as_sdtp=&oq=surfactant+beni

      Delete
  4. මිත්‍යාවට තමයි අද හොඳ වෙළඳ පොලක් තියෙන්නේ.මේ මිත්‍යාවන් ඕනෑවට වඩා සමාජගතවීමෙන් සිදු වෙන්නේ අනර්ථයක් මිසක් යහපතක් නොවේ.

    ReplyDelete
    Replies
    1. මොකක් හෝ හේතුවක් නිසා සත්‍යයට වඩා නොපෙනෙන මිත්‍යාවට ඇදී යන ස්වභාවයක් අපේ රටවල් වල තිබෙනවා, ඒ නිසා එක මාකට් කරන්න හරි ලේසියි.

      Delete
  5. මෙවැනි මිත්‍යා විශ්වාස නිසා අසාධ්‍ය වෙන දරුවන් ගණන කියා නිම කරන්න බෑ. අප වෙත එන නිතර ලෙඩ වෙන සියල්ලන්ගේම ඉණේ කරේ ඇත්තේ තඩි සුර කිහිපයකි. ළදරුවන්ගේ කරේ කළුවී දුර්වර්ණ වී ගිය සුදු නූල් රොත්තකි. අපි මුලින්ම කරන්නේ ඒවා ඉවත් කරන එක ය. ඉන්පසු දරුවන්ට ලෙඩ රෝග සාදන බැක්ටීරියා ආසාදන වලට බෙහෙත් කළ විට දින දෙක තුනෙන් උණ අඩුවී රෝගය පාලනය වේ.

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කෙ. ඉස්සර අපේ සර් කෙනෙක් කිවුවා මතකයි ලෙඩ්ඩු දිහා බලල තීරණය කරන්න පුළුවන් කයල ලෙඩේ කොච්චර කල් තිබුණද කියල. ඒ බෙල්ලේ සහ අතේ තියන නූල් ප්‍රමාණය ගණන් කරලා

      Delete
  6. තවමත් අපේ මිනිස්සු මේ තරම් මෝඩද??

    ReplyDelete