Monday, April 2, 2018

"අම්මගේ තාත්තාගේ අසනීපයකදී වත් අපි ළඟ නැත්නම් මේ දොස්තර කරමින් ඇති වැඩේ මොකක්ද?"

මම ලියමි .වසර ගණනක් තිස්සේ ලියමින් සිටිමි . එහෙත් මගේ ලිවීමේ සීමා මායිම් ඇත .
අපේ ජීවිතයට අසීමිත ව සම්බන්ධ අසීමිතව ජීවිතය හා බැඳුණු බොහෝ දෑ පිළිබඳව ලිවීම අපහසු ය. ඒ බොහෝ අවස්ථා කෙලින්ම ලිවීමෙන් වැළකී වක්‍රාකාරයෙන් සටහන් තැබීමට මම පුරුදු වී සිටිමි.
ඇතැම් විට එය කවිය කි .තවත් විටෙක එය කෙටි කතාවකි .
ඒත් කවියකින් වත් ලිවීමට නොහැකි තරම් කටුක අත්දැකීම් ද මෙම අවුරුදු තිස් ගණනට මම අත්විඳ ඇත්තෙමි. නමුත් මේ ජීවිතය දුකක් යැයි මම නොකියමි. එය දුක සතුට සම්මිශ්‍රණයකි.

මගේ ජීවිතයේ දුක්බර ම මොහොත කිසිවකු හෝ ඇසුවොත් සිහිපත් වන සිදුවීම් කිහිපයකි. ඇතැම් සිදුවීම් සිදු නොවුණා නම් කොතරම් හොඳ දැයි සිතෙන වාර අනන්ත ය.
එහෙත් දෛවය හා ජීවිතය නිරන්තරයෙන් ම අපට හිතවත් නොවේ.
ජීවිතයේ බොහෝ දුෂ්කර අවස්ථාවන් අතරින්, සියලු දේ නොව සමහරක් දේ ලියා තැබිය යුතුයැයි සිතේ.
මගේ ජීවිතයේ මට වඩාත් ම ආදරය කළ හා කරන පුද්ගලයා අප්පච්චිය. එය මම හොඳාකාරව දනිමි. බොහෝ පියවරුන් දරුවන් කෙරෙහි වන ආදරය සිතේ සඟවාගෙන සිටින බව මම අසා ඇත්තෙමි. එහෙත්, සිතේ ඇති වන සියලු හැඟීම් ආදරය කිසිදු සැඟ වීමකින් තොරව ම පෙන්වන මා දන්නා එකම පිරිමියා ඔහුය. මා හට උරුම වී ඇති ආදරය ප්‍රකාශ කිරීමේ සහ ආදරය බලාපොරොත්තු වීමේ ගතිගුණය සීයට සීයක් උරුමවූයේ ඔහුගෙන් බව මම අදහමි .

කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා සිටි ඔහු එක්වරම ලෙඩවීම මමත් නංගිත් ජීවිතයේ බින්දුවටම වැටුණ අවස්ථාවකි. එම රෝග ලක්ෂණ සිහිපත් කිරීමට නො හැකි තරම් දුක්බරය. වේදනාකාරිය. සැබැවින්ම එම ජීවිතයට මම තවමත් බය වෙමි. සතුරෙකුටවත්එතරම් දුකක් ජීවිතයේ අත්විඳින්නට නොලැබේවායි නිරන්තරයෙන්ම මම ප්‍රාර්ථනා කරන්නෙමි.
ඒ අතරතුරදීම අම්මා ද රෝගී වීම ඇදහිය නොහැකි විය. ජීවිතයේ වැටෙන සෑම අවස්ථාවකදී ම අප සැමටම පිළිසරණ හා ශක්තිය වූයේ අම්මාය. අප තිදෙනා පිටුපසම සිටින දැවැන්ත සෙවනැල්ල ඇයය.
ඉතා බොළඳ දුර්වල චරිතයක් ව සිටි මම මා තුළ සැඟවී සිටි ශක්තිමත් ගැහැනිය සොයා ගත්තේ ඇය ද රෝගී වීමෙන් පසුව බව මම අදහමි. 

එසේ ලබාගත් ශක්තිය එක්තරා මොහොතක හැඟීම් දැනීම් නොමැති තත්ත්වයකට මාව පත් කරලීය. අම්මාව හා අප්පච්චිව සුවකරගන්නට හැරෙන්නට සැබැවින්ම කිසිදු හැඟීමක් මා තුල නොවීය.
රැකියාවේ වූ පීඩාකාරී තත්ත්වය ද මේ අතර කෙසේ හෝ ජය ගැනීමට මාහට අවශ්‍ය විය. අම්මාගේ හා අප්පච්චිගේ අසනීපය පිටත මා නිවාඩු ගැනීමට හැකි තරම් වැළකීමට මම තීරණය කළෙමි. මන්දයත් එයින් අන්‍යයන් පත්වන අපහසුව සහ ඔවුන්ගේ සිතෙහි කිනම් හෝ මොහොතක මා පිළිබඳව ඇතිවන නොපහන් හැඟීම් වලට මම බිය වීමි.

අම්මාගේ විශාල ශල්‍යකර්මයක් සිදුකිරීමට අවශ්‍ය වී තිබිණි. ඊට ප්‍රථම තවත් කුඩා ශල්‍යකර්මයක් සිදු කිරීමට අවශ්‍ය විය. ඒ වන විට අප්පච්චී දින ගණනක් සිටියේ රෝහල්ගතවය. එදින නංගීගේත් විභාගයක් ද යෙදී තිබිණි. භාතියගේ රාජකාරිය දිනයකි. ඉතින්, ඊට පෙරදින අම්මව කුරුණෑගල රෝහලට හැරලූ මම ඇයව තනිවම එහි තබා නැවත නිවසට පැමිණියෙමි. "මට තනියම ඉන්න පුළුවන්, ඔපරේශන් එකට යන්නත් පුළුවන්. ලොකු දෙයක් නෙමෙයිනේ". අම්මාගේ එම වචන මට අසීමිත ශක්තියක් විය.
ලොකු දෙයක් නෙමේ යනුවෙන් ඇය පැවසුවද එය සිහි නැතිකර සිදුකළ යුතු ක්‍රියාවලියකි.
එහෙත්, රෝහල්ගතව සිටි අප්පච්චි බැලිය යුතුය. හැරත් එදින මගේ oncall රාත්‍රිය විය. oncall දිනයක නිවාඩුවක් ගැනීම යනු සැවොම අපහසුවට පත්වන හේතුවකි. එමනිසා එදිනට නිවාඩු ගැනීමට මම උත්සාහ නොකළෙමි. අම්මාගේ ශල්‍යකර්මයෙන් පසුව සවස ඇය සමඟ නැවතීමට යාමට නංගීගේ විභාගයෙන් පසුව සැලසුම් කරගෙන තිබිණි.

අම්මා ශල්‍යකර්මයට යාමට පෙර මා සමග දුරකථනයෙන් කතා කළා ය බියක සේයාවක දු ඇයගේ වචන වල සටහන් නොවීය. එහෙත් ශල්‍යකර්මය අවසානය වන වෙලාව වනවිට ඇගේ දුරකතනය කිසිදු ඇමතුමකට ප්‍රතිචාරයක් නොදැක්විණ. ඇමතුම් බොහෝ ගණනක් ලබාගතිමි .ඇය පිළිතුරු නුදුන්නාය.
අවසානයේ බොහෝ වේලාවකට පසු ඇය පිළිතුරු දුන්නාය. ඒ මම කිසිදින ඇගේ හඬින් අසා නැති හඬකිනි. ඒ තරම් වේදනාවකින් කිසිදු දිනයක ඒ හඬෙන් මම අසා නැත්තෙමි. "අනේ පුතේ මට අමාරුයි" ඇය පැවසූවා එපමණකි.

අපේ රෝහල් කාමරයේ සිට මම කෑ ගසා හැඩුවෙමි. මට කළ හැකිව තිබුනේ එපමණකි. අසන්නට හෝ කියන්නට කිසිවෙකුත් සිටියේ නැත .

ජීවිතය යනු පලක් නොමැති බව නැවත නැවතත් මා හට හැඟින. රැකියාව යනු එකම හිස් බවක් පමණක් බවත් අනෙකුත් රෝගීන් ගැන සිතීමට පෙර මගේ පවුල ගැන මම ආදරය කරන අය ගැන සිතිය යුතු බව මට වැටහිණි. ඒ මොහොතේ අම්මව ගොස් බලා අම්මා හොඳින් සිටිනවා ලෙස පැවසූ පේෂල සර් සහ ජයමාල් සර් නොවන්නට බියෙන් සහ සොවින් මා මියයන්නට ඉඩ තිබිණි. ඒ පිළිබඳව නිසි ලෙස ස්තූති කළා දැයි හෝ මට මතක නැත. 

ඊට පැය දෙකකට පමණ පසුව නංගි අම්මා අසලට යන විට ඇය තරමක් සුව වී සිටි බව පැවසුවා නම් මතකය.
අම්මාගේ සහ අප්පච්චිගේ රෝගී තත්ත්ව වලට මා මුහුණ දුන් වෙනත් කිසිදු අත්දැකීමක් මතකයක් නැවත නැවතත් මම සිහිපත් නොකරමි. නැවත සටහන් නොතබමි. ඒවා ඒ තරම්ම කටුක ය.

මෙම සටහන හෝ තැබීමට මම පෙළඹුනේ පසුගිය දිනක මගේ මිතුරියක මුහුණදුන් සිදුවීමක් නිසාය.ඇගේ මව හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කළ දිනයේම නිවාඩු අවසානයේ ඇයට රාජකාරි සදහා ඇගේ රෝහල වූ ඉතා දුර පිහිටි රෝහලකට යාමට සිදුවී තිබිණි. අම්මා බලාගැනීමට ඇයව එක් දිනක් නිවසේ නවත්වා ගන්නට බොහෝ කරුණු බොහෝ වේලාවක් පැහැදිලි කිරීමට මට සිදු විය. ඇය අම්මා ගැන නොසිතුවා නොවේ. ඇය සිටියේ මහත් වූ මානසික පීඩනයකිනි. එහෙත් ඇය යා යුතුම විය. එය මෙම රැකියාවේ ස්වභාවය යි.
එහෙත් මම මෙසේ අසමි.
"අම්මගේ තාත්තාගේ අසනීපයකදී වත් අපි ළඟ නැත්නම් මේ දොස්තර කරමින් ඇති වැඩේ මොකක්ද?"

5 comments:

  1. මව් පියන් අසනීප වෙන එක දරා ගන්න තරමක් අමාරුයි. විශේෂයෙන් ඔවුන් ළඟ පාතක ක නැති කොට

    ReplyDelete
  2. මේක එක වෘත්තියකට අදාල දෙයක් නෙවෙයි. සංක්‍රමණය වැනි හේතු නිසා විදේශගතවී ඇති අය තම පවුලේ අයගේ අවශ්‍යම අවස්ථාවල සිටීමට නොහැකිව අසහනයට පත්වන අවස්ථා කීපයක්ම මම දැක සහ අත්විඳ තිබෙනවා.

    ReplyDelete
  3. අපි වගේ කොන්දොස්තරලාගේ තත්ත්වෙත් මිට වෙනස් නෑ.. අනේ මංදා මොන ජීවිතද කියල මේවා.. :/

    ReplyDelete
  4. හැබැයි අර ලස්සන පුංචි කෙල්ල ඇතුලේ යෝදයෙක් ඉන්නවා. මේ වචන ලියා තියෙන්නෙත් ඒ ශක්තියෙන්..!

    ReplyDelete