මගේ මායා බෝංචි සහ යෝධයාගේ ශාපය


මගෙ බෙල්ලෙ එල්ලිලා ඉන්නවා කියල හිතෙන හොල්මනකටයි, කාමරේ ඇඳ යට ඉන්නවා කියල හිතෙන හොල්මනකටයි ඇරෙන්න මේ ලෝකෙ මම බය දේවල් නෑ. අනිත් අය බය සර්පයො, මකුලුවො වගේ සත්තු, කළුවර වගේ කිසි දේකට මගෙ හිතට බයක් දැනෙන්නෙ නෑ.

ඒත් මම පොඩි කාලෙ සම්පූර්ණයෙන් වෙනස්. අනිත් මිනිස්සු බය නැති හැම දේටම මම බයයි. පුලුන් වලට , ලොකු පුලුන් වගේ පේන වලාකුළු වලට, තරු වලින් හැදුන ගෝනුස්සගෙ හැඩේට, ජනේලෙන් පේන කෙහෙල් ගහේ හෙවනැල්ලට, ළිඳේ ඉන්න ගෙඹි වෙස් ගත්ත දිය රකුසට.... මේ හැම දේටම මම බයයි. තව බොරලු ගල් වලටත් බයයි.ඒ ගල් වගේ ඉන්නෙ ගෙම්බො. උන් ළමයින්ව අල්ලගෙන කනවා... 

මේ සේරටමත් වඩා මම බය දෙන්නෙක් හිටියා. බාගෙට ඇඳගෙන චිම්පන්සියෙක් එක්කයි අලියෙක් පිටේ යන , වැල් වල එල්ලිලා කෑගහන ටී වී එකේ හිටිය මිනිහට මම බයයි. බය හිතෙන්නේ නැද්ද ??

නෑ තමයි .ඒත් මොකක් හරි හේතුවක් නිසා මම පොඩි පොඩි කාලේ ටාර්සන්ට හරිම බයයි .


බය අනිත් පුද්ගලයාට බය ඇති වුණේ එක දවසක් එක පාරටම .මිදුලෙ සෙල්ලම් කර කර ඉඳලා කර කර ඉදල මම එක පාරටම ගේ ඇතුළට ආවා .ඒ වෙලාවේ කවුරු හරි කෙනෙක් ටීවී එක දාලා තිබුනේ .ඒ ටීවී එකෙන් මම ඒ වෙනකම් අහල තිබුන භයානකම කටහඬ ඇහුනා .

ඇහුනා විතරක් නම් මදෑ .

ටීවී එක දිහා බලද්දි යකෙක් වගේ යෝධ මනුස්සයෙක් කෑ ගහ ගහ ගහ ගහකින් බිමට බහිනවා .ගහ හොල්ලනවා .ඒ අස්සේ පොඩි කොල්ලෙක් ඒ ඒ ගහ දිගේ පහලට බහිනවා .ක්ෂණිකව දැක්කා උනත් මට එක පාරටම තේරුම් ගියා ඒ යකෙක් වගේ යෝධ මනුස්සයා අර කොල්ලා පස්සෙන් එලවගෙන යනවා කියලා . ඒ මනුස්සයා ඒ ළමයව ගිලී කියලා මම හොඳටම බය වුණා . ගිලිනවද නැද්ද බලන්න මම දොර අස්සෙ හැංගිලා කන් වහගෙන ටීවී එක දිහා බලාගෙන හිටියා... ඒත් අර වීර කොල්ලා ඉක්මනින් ගහෙන් බැහැලා ගහ කැපුවා. අර යෝධයා බිම වැටිලා පවුඩර් වුණා... 🙄


ඒත් ඒ යෝධයා ගැන ඇති වුණ බය ගොඩක් කල් යනකම් මගෙ හිතේ තිබුන. ඒ සුරඟන කතා කරලියෙ ගිය ජැක් සහ බෝංචි වැල. ඔය විදියට තමයි ඒ හපුටු පාට ජැක් මගෙ මුල් ළමා වියේ වීරයා වුණේ... ඒ නැවත නැවතත් ජැක් සහ මායා බෝංචි වැල බැලුවට පස්සෙ. ඒත් ඒ හැම වතාවෙම යෝධයා ජැක් පස්සෙන් එළවගෙන එන ටික බැලුවෙ ඇස් බාගෙට වහගෙන.

 කාලයත් එක්ක ජැක්ට වගේ මටත් ලොකු බෝංචි වැලක් හදාගෙන අහසට යන්න ඕන වුණා.. අම්ම උයන්න ගන්න බෝංචි වල හොඳටම මෝරලා දම් පාට වුණ මායා බෝංචි ඇට ඉඳල හිටලා හම්බුණා.

ඉතින් මම ඒ බෝංචි ඇට පැළ කරලා.. නෑ ජනේලෙන් එළියට විසි කරලා මායා බෝංචි වැල හැදෙනකම් බලාගෙන හිටියා. ඇයි ඒවා පැල කරලා බැලුවෙ නැත්තෙ අහන්න එපා...

 මායා බෝංචි පැළ කරන්නෙ නෑ.. ජනේලෙන් එළියටයි විසි කරන්නෙ. එතකොට තමයි පහුවදාට අහස හිල් කරගෙන යන තරම් උසට බෝංචි වැලක් හැදෙන්නෙ.


බෝංචි වැල දිගේ නගින්න, වළාකුළු උඩ පැන පැන යන්න මම හීන මැව්වා. අහසට යනකොට අඳින්න ලස්සන ඇඳුමකුත් මම තීරණය කරලා තිබුණෙ. ජැක් වගේ ගෙවල් අස්සෙයි කිකිළියො පස්සෙයි යන්න නෙමේ, සුරංගනාවියො හමු වෙන්නයි මගෙ තිබුන එකම බලාපොරොත්තුව.
ඒත් ඒ මායා බෝංචි වැල කවදාවත් හැදුනෙ නෑ.. මම අහසට ගියෙත් නෑ. සුරංගනාවියො හම්බුනෙත් නෑ.

සමහර විට ජැක් කපලා දාපු බෝංචි වැල නිසා බිම වැටිලා මැරුණ යෝධයාගෙ සාපය තවම මේ පොළොවෙ තියන නිසා වෙන්න ඇති

Comments

  1. අදටත් රෑට නිදාගනිද්දි හොල්මන් ඇවිත් කකුලෙන් අල්ලයි කියලා බයට කකුල් දෙක හොඳට වැහෙන්න රෙද්දක් පොරවගෙන තමා නිදාගන්නේ.

    ReplyDelete
    Replies
    1. දැන් මට කකුල වහගන්න කලින් නින්ද යනවා ...

      Delete
  2. හරිම නිර්මානශිලියි...සුන්දරයි...

    ReplyDelete

Post a Comment