Monday, July 16, 2018

මීදුමක් වූ නුඹ ළඟ

වසරකුත්, මාස හතරකුත් හරියටම ගෙවී ගිය දිනයකි. නුඹ හමු වූයේ අහම්බෙනි. ඉතාමත් අහඹු දිනයක අහඹු ලෙස , එහෙත් පුංචි සැලසුමකින් අනතුරුව, අප හමු වීමු.

හිස ඔසවා බැලීමට නොහැකි තරම් ය. කිසිදිනෙක කිසිවෙකු කෙරේ නොවූ ලජ්ජාවකින් මගේ හිත පිරී ගොස්‍ තිබිණි. නුඹ පිළිබඳව ද මින් පෙර මෙවන් හැඟීමක් තිබූ බවට මතකයක් හෝ නොවීය.

"අල්ලගන්න තමයි හිටියෙ" නුඹෙන් දඟකාර තර්ජනයකි.
මම මුනිවත රැකීමි. නුඹේ රළු අත් වලින් මගේ අත මුදවාගන්නට පමණක් මම වෙහෙසුනෙමි. එහෙත් ඒ සඳහා ඇති වූ අවංක උවමනාවකින් නොවේ. නුඹ මට අනවශ්‍ය බව නුඹට පෙන්වන්නට පමණි. නුඹේ ග්‍රහණයෙන් , මගේ උත්සහයෙන් තවත් අත රිදුනා පමණි. අරුමයක් නැත. නුඹත් මමත් එක් වන තැන මට හිමිවන්නේ සැමදාම රිදුමක් පමණක් වන නිසාවෙනි. ඒ නුඹේ මතකයෙන් මිදෙන්නට වෙර දරන සෑම මොහොතකට සිත රිදවන තරමය. 

නුඹ අපූර්ව මිනිසෙකි. ඒ අපූර්වත්වය ට මම වශී වී සිටි තරම දන්නේ මා පමණකි. නුඹේ අපූර්වත්වය මම දන්නා තරමට නුඹ නොදන්නා බවද දනිමි.
නුඹට සිනාසිය හැකි බව මම නොදැන සිටියෙමි. එහෙත් නුඹට සිනාසිය හැකි බව දැනගත් මොහොතේ සිට ඒ සිනහව කොතරම් සුන්දරදැයි නුඹට පැවසීමට මට උවමනා විය. ඒ මීට වසරකුත් සිව් මසකට එපිටදීය. එහෙත් මම පරාජය වීමි.
මට වදනකුදු පැවසීමට ඉඩක් නොලබාම නුඹ ගුප්ත මීදුමක් ලෙසින් මැකී ගියේය. 

නුඹ සදහටම අමතක කරන්නට මම සිතා ගතිමි. ඒ හැඟීම් දැනීම් නොමැති නිසා නොවේ. නුඹ පවසන අන්දමට මා සිත් පිත් නැති ගලක් නිසා නොවේ. නුඹ දන්නවාට වඩා මා බොහෝ සෙයින් හැඟීම් බර නිසාය. ගලක් කොට නුඹ දකින සිතට බෝර ගසන්නට මට ඇවැසි නොවීය. මට ඇවැසි වූයේ නුඹෙන් සිත මෘදු කර ගැනීමට පමණි.
එහෙත් නුඹ මීදුමකි. එක් වරම මතු වී, මැකී බොඳ වන මීදුමකි. අතින් අල්වා නවැත්විය නොහැකි මීදුමකි. 

යළිත්,
නොසිතූ මොහොතක නුඹ නැවතත් පැමිණ ඇත.
කොහේදෝ සිට මතුව නුඹ නැවතත් මා අසලය.
නුඹට මේ සියල්ල සෙල්ලමක් වන්නට ඇත. සෙල්ලමක් නොවූවත් ඒ හා සමාන වන්නට ඇත. එහෙත් මේ මගේ ජීවිතයයි. නුඹ නිසා විඳවන්න ට මම නොකැමැත්තෙමි. ඊටත් වඩා මා නිසා නුඹ මොහොතකට හෝ විඳවනවාට මම නොකැමැත්තෙමි.
ඒසාම නුඹේ හිතුවක්කාරකමට මම බියෙමි. ලං වන්නටත් ඈත් වන්නටත් අයිතිය ඇත්තේ නුඹට පමණක් බවට අදහන නුඹේ සිතිවිලි වලට මම බිය වන්නෙමි.

මට මමම වන්නට අවශ්‍යය. මට නුඹ වන්නට ඇවැසි නැත. මගේ සිත ගලක් යැයි මට පවසමින් ගලක් නොවන මා අසල බොහෝ වර ගලක් ලෙස හැසිරෙන නුඹ අසල නුඹ වැනිම වන්නට මට අවැසි නැත. සිත් පුරා ආදරය කිරීමට මට අවශ්‍යය. මගේ සිතෙහි ඇති නුඹ නොදත් මගේ ආදරය සපුරා නුඹ දෙන්නට මට උවමනාය. 
එහෙත් සිතෙන විට ලං වීමත්, තවත් විටෙක වෙන් වීමටත් සිතෙන නුඹ යළිත් මා දමා මැකී යන බව දැන දැනම නුඹට ලංවන්නේ කෙසේද?

එහෙත් නැවතත් මගේ සිත චංචලය. හදිසියේ අනපේක්ෂිතව දැනුන නුඹේ දෙතොල් උණුසුම්‍ ය. බෙහෙවින් ආදරණීයය. ඒ උණුසුමට හසුව අතරමං වූ මගේ සිත මට අවසඟය. ඒ මින්ට් රසත් සුවඳත් මගේ සිත අතරමං කොට ඇත. නුඹේ සිප ගැනීමෙන් මට දැනුනේ බියකි. එය නුඹ පිළිබඳව බියක් නොවේ. නුපුරුදු බවක රැදුන බියකි. නුඹෙන් වෙන් වීම දරාගැනීමට නොහැකි වීමේ බියකි. 

මම අතරමංව සිටිමි. මේ මංමුලාවෙන් මා මුදනු හැකි නුඹට පමණක් බව මම ඉඳුරාම දනිමි. එහෙත් නුඹට ලංවන්නට මට නොහැකිය. ඒ නුඹ මීදුමක් නිසාවෙනි.
නුඹට නැවතත් මීදුමක් වන්නට ඇවැසි බව මම දනිමි. ඇවැසි වූවත් නොවූවත් එසේ වන බැව් දනිමි. එය මා හට දරාගත හැකියැයි නුඹ සිතන්නේද ? 

එක් විසඳුමකි. නුඹ සිතා සිටිනා ලෙසට මම හැඟීම් විරහිනියක වන්නෙමි. ගලක් වන්නෙමි.
මම නුඹෙන් නුඹේ මතකයෙන් මිදී යන්නෙමි ! නැවත නුඹ වෙත පැමිණීමට මට උවමනාය. එහෙත් නුඹ කෙරේ රැඳී සිටීමට මට නොහැකිය. ඒ නුඹ අතුරුදන් වී, නැවත මතු වන මීදුමක් බැවිණි.

එබැවින් මම නික්ම යමි. 

ඒ, යාම් ඊම් පමණක් ඇති මෙලොවට නුඹ වෙත පැමිණෙන දිනෙක නැවත නුඹ වෙත පැමිණීමට මට ඇවැසි නිසාවෙනි. 




( ප්‍රස්තුතය - ඈ මගේ ලඟ මිතුරියකි. ඔහුව ඈ හට මුණ ගැසුනේ අහම්බෙනි. එහෙත් ඈ ඔහු පිළිබඳව සිතන තරමින් දශම කාලක් වත් ඔහු ඇය පිළිබඳව නොසිතන බව , ඈ පවසන බොහෝ දෙයින් මා හට හැඟී ඇත. මා ඈ වූවා නම් මගේ තීරණය මෙයයි.)

4 comments: