Saturday, January 5, 2019

නිකී

සමහර අය අපේ ජීවිතේට එන්නෙ හරිම තාවකාලිකව ඒ වගේම නොහිතන වෙලාවක. ඒත් ඒ පුංචි කාල සීමාව ඇතුළත ඉතුරු කරලා යන මතක අපමණයි.
නිකී ත් ඒ වගේ.

එක දවසක් උදේ පාන්දර දොර ඇරලා බලද්දි නිකී දොර ඉස්සරහට වෙලා හිටගෙන හිටියා. හරියට කාලෙකින් ගෙදර නාව යාලුවෙක් ගෙදරට ආවා වගේ. හිනා වෙවී අපි දිහා බලාගෙන හිටිය එයාව දැක්කම හිතට ආවෙ වෙනදට දන්නෙ නැති බල්ලෙක් වත්තට ආවම එන හැඟීම නෙමේ..... බල්ලො දැක්කම ගේට්ටුවෙ සීමාවෙන් එහාට එලවලා දාන අප්පච්චිටත් එයාව දැක්කම හිනා ගියා. අපි සේරම ඇවිත් එයා දිහා බලද්දිත් නිකී කළේ ඒ හිටිය විදියටම හිනා මූණක් එක්ක බලාගෙන හිටිය එක.

ඇත්තටම නිකී ට තිබුණා එක එක විදියෙ මූණු. ලස්සනම එක තමයි එයාගෙ "හිනා මූණ". අපේ ගෙදර කවදාවත් සත්තු හිටියෙ නෑ. නිකී ඒ නිසා හැමෝටම මැජික් එකක් වගේ වුණා. ඇත්තටම නිකී ලස්සන බල්ලෙක්. මොකක් හරි මිශ්‍ර වර්ගයක්.

එදා පැය දෙක තුනක් අපේ ගෙදර හිටිය නිකී කන්න දුන්න දේවල් කාලා වත්තෙ හතර මායිම එහෙම බලාගෙන ආපහු ගියා. කොහෙන් ආවද කොහාටද ගියෙ කියල කාටවත් හොයා ගන්න බැරි වුණා.

ආයෙමත් සතියකට පස්සෙ නිකී උදේ පාන්දර දොර ළඟ ආයෙමත් හිටගෙන හිටියා. එදා වගේමයි... අර හිනා මූණ !
කළින් දවසට වඩා වැඩි වෙලාවක් ගෙදර හිටිය නිකී ආපහු ගියා.
තවත් සතියක් ගෙවිලා ගියා... ආයෙමත් සති අන්තයේ දවසක් !

එදා ආව නිකී ආයෙම ආපහු ගියෙ නෑ. අපේ ගෙදර නැවතුනා.. අයිතිකාරය කවුද කියල හොයලා බලන්න අපි කාටවත් උවමනාවක් තිබුණෙ නෑ. ඒ තරම් නිකී ලස්සනයි හුරතල්.

නිකී කිව්වට ඒ කාලෙ එයාගෙ නම බව්වා. මොකද නමක් ගමක් දන්නෙ නෑනෙ. මම එක එක නම් කියලා බැලුවා. ටොමී, සැන්ඩි, සරදියෙල් .... ඒත් ඒ එක නමක් වත් එයාගෙ නමද කියල හොයාගන්න බැරි වුණා. හේතුව, ඒ සේරම නම් වලට එයා උඩ පැනලා හිනා වෙලා වලිගෙ වනපු නිසා. 🙄

අනුන්ගෙ බල්ලෙක් ගෙදර තියාගත්ත කියල රට්ටුන්ගෙන් බැනුම් අහන්න වෙයි කියල කලබල වුණ අප්පච්චි විතරක් අපේ දැඩි විරෝධය මධ්‍යයේ එයාගෙ අයිතිකාරයාව හොයාගෙන එයාට පණිවිඩයක් යැව්වා.
එදා හවස ඒ අයිතිකාරය ආව. නිකීව එක්කන් යද්දි නිකී බෑ කිව්වා. ඒත් එයා බලෙන් අරන් ගියා.

ඒත් ඒ ගිය විදියට මම හිතුවා අනිවාර්‍යෙන් පහුවදා වෙද්දි ගෙදර එයි කියන එක. පහුවදා නෙමේ... පැය දෙක තුනක් යද්දි ආයෙමත් නිකී ගෙදර. 😁

අන්තිමට ඒ ගෙදර මිනිස්සු නිකී ව අත ඇරියා. එයාගෙ බේත් විදපු පොත් එහෙම අපේ ගෙදරට ගෙනත් දුන්නා. ඒ පොතේ විදියට නිකී ගෙ වයස අවුරුද්දට ටිකක් අඩුයි.
ඉතින්,ඔය විදියට මාස දෙකක් තුනක් නිකී අපේ ගෙදර හිටියා. එයාට මුලින් මම දාපු නම නිකිටා. ඒත් හැමෝම එයා ට නිකී කියල කතා කරන්න පටන් ගත්තා.
මේ ගෙදරට නම් බල්ලො ගේන්න එපා,ළමයි මදිවට බල්ලන්ගෙත් වැඩ කරන්න මට බෑ කිව්ව අම්මයි, බල්ලන් යනු මිනිසාගේ සතුරාය කියල හිතාගෙන හිටිය අප්පච්චියි දෙන්නම දවස් දෙකක් යද්දි නිකී ට ඉන්න කූඩුවකුත් ගෙනත් තිබුණා. ඒත් ඒක නාම මාත්‍රික කූඩුවක්. කූඩුවට යන්න කිව්වාම ඒක ඇතුළට යන්න පුරුදු වෙලා හිටිය නිකී එළියට එන්න ඕන වුනාම අතින් තල්ලු කරලා දොර ඇරගෙන එළියට එන්න පුරුදු වුණා.
ඒත් එක නීතියක් තිබුණා. ගේ ඇතුළට එන්න තහනම්. ඒක අප්පච්චිගෙ නීතිය. නිකී කවදාවත් ඒක කඩ කළේ නෑ. දොර ගාවට ඇවිත් ගේ දිහා එබිලා බලලා එයාගෙ සීමාවෙ ඉන්න හැමදාම වග බලාගත්තා. (ඒත් අම්මයි මමයි හිතාගෙන හිටියෙ අප්පච්චි කොහෙ හරි ගිය වෙලාවක නිකීට ගේ ඇතුළ ටිකක් පෙන්නන්න ඕනා කියලා)
නිකීගෙ කැමතිම මනුස්සයා වුණේ භාතිය. ඒ වගේම අම්මා. භාතිය ට කැමති එයාව නාවන නිසා, අම්මට කැමති හතර වේලටම කන්න දෙන නිසා.
එක කිණිතුල්ලෙක් වත් මැක්කෙක් වත් නැතුව ,රසට කාලා බීලා සතුටින් හිටිය නිකී මාස‍යක් දෙකක් යද්දි හරි ලස්සන වුණා. හිටියටත් වඩා. එයාගෙ මුල් අයිතිකාර ගෙදර අයත් සමහර වෙලාව ඇවිත් බලලා ගියා. නිකී ත් ඒ ගේට්ටුව ගාවට ගිහින් සමහර වෙලාවට එනව. නිකී ඒ ගෙදර දාල ඇවිත් තිබුනෙ එහෙ ඉන්න වෙන බල්ලෙක් එයාට කරදර කරන නිසා කියලයි ඒ අයිතිකාරයො කිව්වෙ.
එක දවසක් දා රෑ නිකී අතුරුදහන් වුණා. කොහෙ ගියත් පැයකින් දෙකකින් ඇවිත් අපිට හොරෙන් කූඩුවට රිංගන නිකී ආයෙ ආවෙ නෑ. ( එයා දන්නව රස්තියාදු ගහන එක වැරදීයි කියල. වැරදි කළාම එයා කරන්නෙ හොරෙන්ම කූඩුවට වෙලා සද්ද නැතුව eye contacts නැතුව ඉන්න එක)
දැනට සති තුනකට කිට්ටුයි. නත්තල් දවසෙ හිතුවා රතිඤ්ඤා සද්දෙට බය වෙලා එයි කියලා. ජනවාරි පළවෙනිදා ත් එහෙම හිතුවා. ඒත් නිකී ආවෙ නෑ.
ෆොටෝ, විඩියෝ දකිද්දි තවම දුකයි. බල්ලෙක් ව පුච්චපු ෆොටෝ එක දකිද්දි තවත් දුකයි. එච්චර හොඳ සත්තුන්ට ඇයි මිනිස්සු එහෙම කරන්නෙ.

ගෙදරට වෙන බල්ලෙක් ගේනවට අම්ම කැමතිත් නෑ... මට ඕනා නිකීව කියල අම්ම කියන්නෙ.

3 comments:

  1. අන්තිම කොටසට එනකම් නිකීගෙ කතාව බැලුවෙ හිනා වෙවී. එයා අතුරුදහන් උනා කිව්වම. කවුරු හරි ලස්සනට ඉන්නවා දකලා අරන් යන්න ඇති සමහරවිට. කොහේ හරි කරදරයක් නැතිව ඉන්නවා නම් කමක් නෑ. ඕක තමයි ආදරෙන් සත්තු හැදුවම වෙන වැඩේ. අන්තිමේ දුකයි.
    ලස්සන වැඩේ කියන්නෙ මෙහේ මගේ යාළුවෙක් ඉන්නවා, නිකී නම. මං එයාට කියන්නෙ නිකිටා කියලා. හී...හී...

    ReplyDelete
  2. කාලෙකින් බ්ලොග් කියවන්න ආවෙ.
    නිකීට ඇත්තට මොකද උනේ ?

    ReplyDelete