Thursday, March 21, 2019

මායා වීදුරු

මගේ ළමා කාලයේ මුල් සිව් වසරින් වැඩි කොටසක් ගෙවී ගියේ අම්මා ට සහ මට පමණක්ම සීමා වූ ලෝකයකය. 
සතියකට හෝ දෙකකට වරක් පමණක් දකින්නට ලැබුණු අප්පච්චි ගේ අඩුව එතරම් මට නොලැබුණේ දවසින් වැඩි කාලයක් මා අම්මා සමගම ගත කළ නිසාය.
එකී ළමා කාලය සිහිපත් කරන විට මට සිහිවන්නේ තැනින් තැන මතක් වන සිදු වීම් සමුදායක එකතුවකි. ඒ බොහොමයක් සතුටු දායක සිදුවීම් ය. ඒ ප්‍රීතිමත් ළමා කාලයේ මට දුක සිතුණු වාර දෙකකි.

එකක් , අහසින් වත්තට වැටුණ සරුංගලයක් මගේ අතට නොදී නසරාණි කොල්ලෙකු විසින් රැගෙන යාමය. (ඒ සරුංගලය ඒ නසරානි කොල්ලාගේ ය)

අනෙක් සිදු වීමෙහි තරමක විහිලු සහගත බවක් ද ගැබ් වී ඇත.එහෙත් , ඒ පිළිබඳව මගේ සිතෙහි වන හාස්‍යෝපාදය යටපත් කරගෙන විස්තර කළ නොහැකි දුක්බර හැඟීමක මතකයකින් සිත වෙලා ගනීයි. ඒ එම සිදු වීම සමග මා හට දැනුණ අහිමි වීම පිළිබඳව වූ මුල්ම මතකයේ ශේෂ වූ නටබුන් වු හැඟීමක් තවම සිතෙහි හොල්මන් කරන නිසාවෙනි.

සිප්පි කටු සහ ඛනිජ පාෂාණ  යනු මා තවමත් බොහෝ කැමත්තෙන් එකතු කරනා දේවල් වලින් දෙකකි. ඉතා කුඩා කාලයේදී ත් මම මිදුලේ වැලි අතර "මැණික් ගල් " සෙවූයෙමි. මැණික් ලෙසින් මා හඳුණාගත් තිරිවානා ගල් කැබලි කිහිපයක් ම මා සතුව එකළ පැවතිනි.

එක් දිනක මම අම්මා සමග කොහේ හෝ පයින් යමින් සිටියෙමි.හදිසියේ ම කොළ පැහැති "මැණික් ගලක්" පාරෙහි වැටී තිබෙනු මට දැකිය හැකි විය.  ඒ කොහේදැයි මට මතක නැත. එහෙත්, "කොළ පැහැති මැණික් ගල පාරෙහි වැටී තිබූ ආකාරය ද, එය මා අතට ගත් ආකාරය ද මට චිත්‍රපටයක් සේ තවම මතකය. එහෙත් මට කිසිවක් කියන්න ට ඉඩ නොතබාම අම්මා එය මා අතින් රැගෙන විසි කළා ය. වීදුරු කැබැල්ලකට මා අත කපා ගනීවි යැයි ඇය සිතන්නට ඇත.

එය මැණික් ගලක් බව මම තරයේම ඇදහීමි. ඉතා වටිනා යමක් මා සතු වන්නට ගොස් එය ක්ෂණයකින් අහිමි වූ බව මට හැඟී ගියේය. එහෙත් ඒ මොහොතේ සිතට ආ කණගාටුව වචනයකටවත් නොපෙරලා මා එය විඳ දරාගත්තා මතකය. ඒ, මා එතුවක් කළ කිසි දෙයකට එපා නොකියා මා ආශා කළ සෑම කුඩා දෙයකටම අම්මා සෑමදාම ඉඩ දුන්  නිසා වන්නට ඇත. එසේ නැති නම් ඒ මොහොතේ මගේ හිතෙහි හටගත් දුක පැවසීමට උවමනා තරම් වචන මා එකළ දැන නොසිටි නිසා වන්නටත් පුළුවන.

පසුව ද එය දිනකට කිහිප වරක් මතක් වී මට බොහෝ සෙයින් දුක සිතිණ බව මතකය. ක්‍රමයෙන් ඒ ප්‍රබල හැඟීම තුරන් වී ගිය ද,  ඉන් වසර 20- 30කට පමණ පසුව ද  එම සිදු වීම මතක් වී විස්තර කළ නොහැකි අන්දමේ කණගාටුවක් තවමත් සිතෙහි හට ගනී. 

ගුරු ගීතය පරිවර්තනයේ සියලුම දේට වඩා එක් වාක්‍යයක්  මට හොඳින් කට පාඩම් ය. "මගේ ළමා කාලය කොළ පැහැති මායාකාර වීදුරු කැබැල්ලක් මෙන් ඒ ගස් යට නැවතුණේය". 

එසේ මතක තිබීමට එකම හේතුව අන් කිසිවක්  නොව එහි ඇත්තේ "කොළ පාට වීදුරු කැබැල්ලක්" වීමය.  එය රතු පාට හෝ නිල් පාට වූවා නම් මා හට එය එසේ මතක නොතිබෙන බව දනිමි. එය සහ මගේ වීදුරු කැබැල්ල අතර කිසිදු සබඳතාවයක් නැතත් , එම වාක්‍යයයට  පුදුමාකාර ලෙසින් මම ප්‍රිය කරමි. ඒ මගේ ළමා කාලයේ කොටසකට අයත් වූ කොළ පැහැති වීදුරු කැබැල්ලක ගැබ් වූ සියුම් වේදනාත්මක, එහෙත් අම්මා සහ මා අතර වූ අපූර්ව සබැඳියාවක මතකයක් එය සිහිපත් කරන නිසා ය.

මේ වන තෙක් වූ ඒ අහිමි වීම පිළිබඳව හැඟීම පසු ගිය දිනෙක මා වෙතින් අහම්බෙන් ගිලිහී ගියේය.

එය මට හමු විය !

එය වතුරට සහ වැලි අතරට එක්ව මැදී යාමෙන් සුමුදු වූ කොළ පැහැති වීදුරු කැබැල්ලකි. සමහර විට එය වසර ගණනාවක් ගඟක පතුලෙහි සැඟවී තිබෙන්නට ඇත. එසේ නොමැති නම් මුහුදු වෙරළක වැලි හා ගැටෙමින් තිබී එසේ මා හට හදිසියේ හමුවන්නට ඇත. 
කුඩා කාලයේ මට අහිමි වූ වටිනා වස්තුවක් මායාකාර ලෙස නැවත මා හට ලැබුණා හා සමාන වූ හැඟීමකින් නිමේශයකින් සිත වෙලී ගියේය. ඉතින් එය මම පරිස්සමින් අරන් තැබීමි. සැබැවින්ම එය මගේ වීදුරු කැබැල්ල නොවේ යැයි කා හට විශ්වාසයෙන් කිව හැකිද ?


3 comments: