Friday, April 27, 2012

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ "තරු ලකුණ" - 02


රත්න ශ්‍රී විජේසිංහයන්ගේ "තරු ලකුණ" කාව්‍යය පිළිබඳව කලින් තැබූ සටහන සම්පූර්ණ කිරීමට සිතමි. එය අවසන් කළේ සුරත් ට නැවතත් උත්පලා හමු වීමෙනි.

සමාජ සම්මතයන්ට එරෙහිව ඔහු ගන්න එම තීරණය කවියාගේ වචන වලින් මෙසේ පැවසේ.

ගඟේ දියේ ‍රැලි සමග වෙලෙමින
නිනිසංසලයේ ගලා ගිය හැක
බොහෝ පහලට,
පරණ පොල් ලෙලි ලී කොටන් ලෙස
මැරුණු මාළුන් සේ උඩුකුරුව-
ඉන් පලක් වේද?


යන්න ඕනෑ උඩු අතටමය
ගඟ දියට එරෙහිව ඉහලටය


මඳ සුළඟක් වපුරමු අපි,
සුලි සුළඟක් අස්වැන්නට
ලැබෙනු පිණිස

පවතින ලාංකීය සමාජ රටාව තුළ කවරෙකු කවරාකාරයෙන් දු‍ටුවත් එම තීරණය පිළිබඳව සුරත් තුළ ඇත්තේ සතුටකි.තම පළමු පෙම්වතිය දුක් කඳුලු ගොඩකින් ඉවතට ගෙන ඇයට දුන් සතුට පිළිබඳව ඔහු ලබන්නේ තෘප්තියක්.


ගිනි ගැනුණු හිරු මඬල
මුදු මොළොක් සිය ළැමට තුරුළු  කර
නිවා සනහයි මුහුද
නිල් සිනාවෙන් පිරුණු මහ මුහුද

ඊළඟ පරිච්ඡෙදයේදී අපට හමු වන්නේ යම්කිසි උත්සව අවස්ථාවක්. ඒත් ඒ උත්සව ශ්‍රීයයෙන් ඇළලී ගොසින් නොව, සම්භාවනීය අමුත්තකු පිළිගැනීමට බලා සිටින පාසල් දරුවන්ගේ අසරණ බව සමගිනුයි.

සුදු ඇඳුම් ඇඳ ණයට
අතින් ගත් කොඩි ඇතිව
උදේ සිට ගිනි අවුව තපිනා
දරුවනේ කිම්ද මේ අරුමා?


නන් පිරිවරින් යුතුව
දැන් දැන් වඩියි සිතන
සම්භාවනීයයා නොදැකා
පුංචි උන් මග දෙපස හඬනා
**************************


ගත් ගත් පයත් පැකිළ
අත් පා ද අඩ පණව
කස්තිරම් අමතකව ගියෙනා
දුප්පත්කමට සිතින් බණිනා
**************************


හාමත්ව ආ බැවින්
යා නොහැකි වී තවත්
එක් දැරිවියක් පතිත දෙරණා
සිහිසුන්ව හිස ගලෙක වැදුණා
ළමා සාරිය ලිහී හිරුණා
මල් පොකුරු බිම වැටී මැරුණා

උත්සව සභාවට පැමිණ හරසුන් බස් පවසන ප්‍රභූ දේශපාලකයා පිළිබඳව සුරත් තුළ ඇත්තේ පැහැදීමක් නොවේ. ධනවාදී දේශපාලනය කොහොමත් ඔහුගේ රුචිකත්වයෙන් බැහැරය. ඒ පිළිබඳව කවියා පවසන අයුරු ඉතාම අපූර්වය.

ආයුබෝවන් කියන්නට
ඔහුගේ දෑත නොනැගිණ
දෑතම වමත් මෙන් විය


*******************
"මිත්‍රවරුනි
අද දවස
මේ මොහොත
මට මහත් සතුටක්ය"


රෝස පැහැ හිම කිරම
දිව ගානා ලෙසට
වචන ලෙව කන
තලුගසන හඬ ඇසිණ.


සත්තකින්ම ප්‍රභූවරය
ඔබේ ඒ එක් මොහොත
මේ පුංචි උන්ගේ
සිවු මසක දුක් කාලය !

රටෙහි තත්වය එන්න එන්නම ශෝකාකූල වෙයි. පාලකයන්ගේ මුසා බස් හමුවේ හෙම්බත් වී සිටින ජනතාව නැගී සිටියි. අරගලය ඇරඹේ. සුරත් හටද එහිදී නිහඬ පිළිවෙතක් අනුගමය කිරීමට සිත් නොදෙයි. ඔහුද ඒ නවමු පිබිදීමට උර දෙයි.

මදින් මද රට තොට
වායුගෝලය කැළඹිණ
උෂ්ණත්වය අධික විය
හුස්ම ගන්නට අපහසු විය.


අත්- අත්
අත්- අත්
සිත් ගත්
ව්‍යාජ මුහුණු වලට වඩා
සැබවින් වැදගත්.


*****************************


වකු‍ටු වී යහන් වැද
හකුළුවා අත් පා ද
දිනුයේ දු‍ටුගැමුණු පමණක්ය.


බලමින් ඈත් මැත්
නමාගෙන හිස දිගු කර දෑත්
නොවුණා ඔහුගෙ අත පාත්‍රය
ටින් එකක් මිස
කඩදාසි අලවන ලද
සැලුණා මඳින් මඳ
චීවරකක් සේම
දුර්වර්ණ කමිසය
කොළරය හැකිළ ගිය.

මෙම කාව්‍යයෙහි එක් තැනෙකදී සුරත් හා උත්පලා දරුවාද කැ‍ටුව පුරාණ නටබුන් බැලීමට යති. සිවු හෙළයේ අතීත ශ්‍රී විභූතිය අපූර්ව ලෙස කවියා විසින් සටහන් තබයි. එය අතීතය හා වර්තමානය සැසඳීමක්දැයි වරෙක සිතේ.

ගල් කණු වනන්තරේ
ලිය වැල් දළු දමන්නේ
පුන් කලස් සඳ එලියට
පොල් මල් ඉහිරවන්නේ
සහෝදරයින් වාගේ
මුර ගල් තනි රකින්නේ
වෑ තල පිස සුළං ‍රැළි
කන් පෙති සිඹ හමන්නේ


මේ පින් බිමේ අසිරිය
වෙන අන් කිසි දෙයක නොව
පාෂාණි භූත වූ ශ්‍රමයය
සුරත්ගේ සිත පැවසීය


"කියන්නකො තාත්තෙ
මේ සේරම අපේදැයි"
පුංචි දුව ඇසුවාය

********************************

ඉතිහාසය හා සබඳුන පුරා වත් කිහිපයක් පිළිබඳවද මෙහි දැක්වේ. එහෙත් ඒවා නිකම්ම නිකම් පුරා වෘත ලෙස නොව , සිතන්නටත් යමක් ඉතිරි කරමින් රත්න ශ්‍රී කිවිඳුන් විසින් ඉදිරිපත් කරයි.

පඬුවස්නුවර නටබුන් මැද
ඇවිදිනා අතරතුර
දුක සිතිනි උත්පලාට


අනේ අසරණ උන්මාද චිත්‍රා
අහිංසක රජ කුමරිය
මේ නුඹේ සිර කුටියද
එක්ටැමින් ඉදිවුණ?


මේ බිමේ හැමතැනම
නුඹ හෙලූ කඳුලු ඇති
මෙබිම උල්පත් ජලයෙහි
ඒ ලුණු රසත් ඇති
ප්‍රේමයේ උණුසුමත් ඇති

************************************


මහ නර දෙ‍ටු කාශ්‍යප
කලාකාමී ඔබ
මිය ගියා යැයි කෙසේ අදහමිද
සියතින්ම ගෙල සිඳගේන්
කලාකරුවන් ගෙල
සිඳින්නට අය බොහෝ ඇති ලොව.


සතුට හා දුක එක සමානවම ගැබ් වී ඇති මෙම කාව්‍යයෙහි වඩා දුක් බර මොහොතක් වන්නේ සුරත් ගේ මිතුරු සාහිත්‍ය ගුරුවරයා වන සුනෙත් ගේ මළගමයි.

අලෙවි දී සුවඳ සුසිනිඳු නා මලට
සිහිල් සුළං ගෙට ගොඩ රෑ කලට
අහිංසක සඳක් වූ හැටි නුඹ අපට
කියන්න ද කාට, එය කියනු ද කුමට?


නමුණු කුළ ගිරි සිරස ගල් වී
කම්මුලේ කැටි ගැසිණි මීදුම
උණු කඳුළු මෙන් වැහි වතුර
නොකඩවා සට සට ගගා වැගිරිණ


දෑත ළමැදේ ගසා ගනිමින්
කොඳුරමින් වැළපුණි බදුලු ඔය
තාරකාවක් කඩා වැ‍ටුණා
මළ ගෙයක් විය සීත වියළුව


සොහොන පාමුල දණ ගසාගෙන
සෙවූවද ඔබෙ සිතෙහි උණුසුම
මල් වඩම් වල පර මලින් එන
සුවඳ පමණය සිත පාරවන

කවියෙහි අවසාන භාගය වන විට නැවතත් වරක් සුරත් සමගින් උත්පලාව අපට හමුවේ. දුක සතුට සම සේ බෙදා ගනිමින් සුරත් ගේ දිවියට අත් වැල වන ඇය පිළිබඳව පාඨකයා තුළ ජනිත වන්නේ මහත් වූ ගෞරවයකි.

පොළට ගොස් හාල් පොල් බඩු මුට්‍ටු හිසින් ගෙන
සංසාරයේ ඈත තමා පසු පස ඇදෙන
නෑ පිරිස අතර අවලංගු වී ගොස් සිටින
වේදනාවෙන් පිරුණු උත්පලාගේ මුහුණ


දෙදරු සෝදා අන්දවා උනට කිරි පොවන
පැදුරු කබලක් එලා උන් දෙදෙන නිදි කරන
කෑම බීමක් නැතිව නිදි වරන ඇගෙ මුහුණ
මුල්වරට මෙන් සුරත්ගේ ඇසට මුණ ගැසිණ


සුරත් ගේ ගම පිළිබඳව තැබෙන සටහන මෙම පොතෙහි මගේ ප්‍රියතම කොටසයි.

ගමට යන ගුරු පාර
ගුරු පෑ ලැබූයේ
වහන් නොලා ඇවිද ගිය
නෑයින්ගේ පා වලිනි


පොසොන් මාසයේ 
ශුක්ල පක්ෂයේ තුදුස්වක් සඳේ මුහුණින්
තුරුපත් අගින් බේරී ගලන්නේ
අම්මාගේ ආදරයයි


මේ ලොව සුන්දරම
අහස ඇත්තේ ගමට ඉහලිනි
අම්මා නිදන තැන 
ඇගේ සොහොනට උඩිනි.

මේ රසවත් කාව්‍යය අවසන් වන්නේ බොහෝ දෙනෙකුගේ නෙත් අරවමින්. ගමෙහි ප්‍රශ්න පිළිබඳව කතා කරන්නට ගොස් "පිටින් පාසලට පැමිණි" සුරත් හට දේශපාලන මැර ප්‍රහාරයක් එල්ල වෙයි. අවසන ඔහුට ස්ථාන මාරුවක් ලැබෙයි සිරිපා අඩෙවියෙහි ඇති දුෂ්කරම පාසලකට.

සිඳී ජීවය මහළු බවට පත්
පරඬලා තණ පත්හි
පිණි පොකුරු පල දරන උදෑසන
සැඟව යයි ගුරු තරුව
අරුණු රේඛා අතර


අවට තරු මඬුලු වල
එළිය වැගිරෙයි තවම
වන හිසට


බොහෝ නෙත් පහන් කොට
මග කියා 
නොකියාම බැස ගිය,
ඇතැම් තරුවක් දැනට මිය ගොසින් විය හැකිය
එහෙත් නොසිඳී ගලයි එහි එළිය.

********************************************

රණවරා ගහේ 
මල් වැරූ සාගතේ
කටපුරා හිනා වෙන
ඉඳුරු දිග පෙනේ
මගියෙකු වෙමින්
බර පොදි දරාගෙන උරේ
හිරු හෙට මුණ ගැහෙයි
යලි සමන් ගිරි හිසේ


සංසාරයේ බිය ‍රැඳි
කුරිරු වන ගැබේ
සිංහාසනේ සමනොළ ගලයි
සකි සඳේ
ගොර සප් වග වළස්
හමුවේවි මග තොටේ
භවයෙන් භවයකට
පැමිණියත් ජීවිතේ

20 comments:

  1. මේක රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සැබෑ ජීවිත කතාවේ එක මුහුණුවරක් කියල මට හිතෙන්නේ!
    ඔහු සැබෑවටම එහෙම දේශපාලන පලිගැනීම් වලට ලක් වුනු චරිතයක් බව නොරහසක්,කෙසේ වෙතත් ඒ කවිකමට සම වෙච්ච කවියෙක් මම නම් වර්තමානයේ දැකල නෑ!
    එත් රත්න ශ්‍රී විජේසිංහ කවියා දරන දේශපාලන ස්ථාවරත්වය ගැනත් පැහැදීමක් නෑ!
    දේශපානය විසින් මිනිසුන් කෙතරම් අසරණ කරනවද කියන එක මේ ඒකාංගික කාව්‍යයෙන් හොදට පෙන්නනව!
    අගේ ඇති සටහනක්!:)

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ නුවන් අය්ය රත්න ශ්‍රීගෙ අලුත් කවිපොත-සන්ධයා තීර්ථය කියවලා නැහැ.පුළුවන් නම් සන්ධ්‍යා තීර්ථයේ රජගෙදර කවි කියන කවි පන්තිය කියවලා බලන්න.මට ඒක කියෙව්වට පස්සෙ රත්න ශ්‍රී ගැන දැනුනෙ ලොකු දුකක්.

      Delete
    2. සක්ධ්‍යා තිර්ථයේ "රජගෙදර කවි" වලින් කියවෙන්නේ අන්දරේ ගැන වුවත් එහි සැගවි ඇත්තේ රත්න ශ්‍රී ගේ ද ජීවිත පුවතයි.

      "හිසින් දැරූ බැරි බර රජමැති ගාව
      බිමන් තබා පැදුරේ කවි ලෙව කෑව
      අතින් රජගෙදර කැත කුණු අතගෑව
      ලියන්න යන කවි නැත රජුනට දාව"

      Delete
    3. මම ඒ කවි පොතත් කියෙව්වා.නමුත් රත්න ශ්‍රී විජේසිංහට වඩා දේශපාලනිකව බැට කාපු අය තමන්ගේ මතය තවමත් රැකගෙන ඉන්නව.විශේෂයෙන්ම අපි ඔහුගේ කවි වලින් තමයි ඉගෙනගත්තේ කලාකරුවෙක්ට තියෙන දේශපාලන කාර්යභාරය මොකක්ද කියල.ඉතින් එහෙම කෙනෙක් අද මේ වගේ ස්ථාවරයක ඉන්නව කියන එක ගැන දුකයි.

      Delete
    4. කලාව සහ දේශපාලනය ගලපන්නට නොහැකියි කියන මතයෙ මම තවමත් ඉන්නෙ. ඒත් දේශපාලනය නිසා කලා කරුවන් අතින් බිහි වුණ නිර්මාණ වල වටිනා කම වැඩි වෙලා තියන බවට සාක්ෂිත් ඕනෑ තරම් තියනවා ඉතිහාසයෙ.

      Delete
  2. අයියෝ සිඳූ, මොකද මේ කම්මැලි කමේ පෝස්ට් දාන්නෙ? පෝස්ට් එක නිකන් උඹට ඕනිවට ලියල වගේනෙ. මේක ඔයාගෙ නමටත් අපහාසයක් වගේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්.... අපහාස වෙන්න තරම් මට කොහෙද අනේ නමක්? ඔයා මොකද කියන්නෙ කම්මැලි කමේ පෝස්ට් දාලා කියලා? රත්න ශ්‍රී ගෙ කවි පොතට විචාරයක් ලියන්න තරම් මම දක්ෂයෙක් නෙමේ. මට ඕනා වුණේ මෙච්චර මගෙ හිතට වැදින පොතක අන්තර්ගතය අනිත් අයටත් දැනෙන්නෙ කොහොමද කියලා බලන්න. කොහොම වුණත් මමත් කැමතිය් මීට වඩා ටිකක් ගැඹුරු දෙයකුත් ලියන්න. බලමු ඉස්සරහට. දිගටම අදහස් කියන්න.

      Delete
  3. මම හුගක් ආස සුනෙත්ගේ මරණය ගැන කියවෙන පර්ච්ඡේදයෙ අවසාන කවි කිහිපයට-නිකිණි සදපලුව රෑ අහසින් පැමිණ... කියලා පටන් ගන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒ පරිච්ඡේදයේ අවසානය නේද නංගි?

      නිකිණි සඳ පළුව රෑ අහසින් පැමිණ
      නමුණුකුල නළල මත තොල්පෙති තියන
      මොහොත දකින්නට නම් නිදි නැති ඇසින
      ඇසැර නැගෙනවද ඌවේ සකි සඳින

      සුළඟ පවා ළං වන්නට බය සිතන
      ගැඹුරු හෙළක හෙල් පතුලක ලැඟ හිඳින
      තැනූ ගෙපැලක නිල් අහසට පෙම් බඳින
      බිළිඳු පුතෙකු ලිහිණියකුට අත වනන

      නිමක් නැතුව අතු ඉති ලියලා වැඩෙන
      නිමක් නැතිව රොන් සුණු වගුරා පිපෙන
      ගසත් මලත් දු‍ටුවෙද නුඹ සකි සඳින
      මිනිස් අතින් නොලියූ පෙම් කවි ලියන

      Delete
  4. ලස්සන කවි සෙට් එකක් කියවන්න ලැබුනා.

    ReplyDelete
    Replies
    1. මුළු පොතම කියවන්න මධුරංග. මේ කවි කිහිපයක් විතරයි.

      Delete
  5. නියම කවි ටික :)

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි , නියමයි.

      (අද වර්ණා නංගි පරක්කුයි. මගෙ කලින් දවසෙ කමෙන්ට් එකට තරහා වුණාවත්ද?)

      Delete
  6. තරු ලකුණ රත්න ශ්‍රී ගේ එකම ආඛ්‍යාන කාව්‍ය. හැබැයි ඔහුගේ ර් උත්සායඑ පොත ලියපු කසර කීපය පිළිබඳ සැළකිලිමත් වුණාම අාඛ්‍යාන කවි වලට නැඹුරුවක් තිබූ වසර කීපයක්. මට මතක හැටියට නන්දන වීරසිංහ කවියා " සත්‍යකාම නම් වෙමි " කාව්‍ය ආඛ්‍යානය ලිව්වට පස්සෙය් රත්නශ්‍රී මේ පොත ලිව්වෙ.

    මෙනව වුණත් රත්න ශ්‍රී ලියපු හොද කවි පොතක්

    ReplyDelete
    Replies
    1. 1997 දී පළ වුණ මේ කවි පොතේ දළ සටහනක් රත්න ශ්‍රී අතින් සටහන් වෙලා තියෙන්නෙ ඊට වසර 10 ට 12ට කලින් ලු. රත්න ශ්‍රී ගෙ වචන වලින්ම සටහන් කළොත් "ඉකුත් යුගයේ සමාජ දේශපාලන වාතාවරණය විසින් නැවතත් උත්තේජනය කරන ලද අත්දැකීම් විසින් තරු ලකුණට අවසන් නිමාව ලැබ දෙන විට , එය මා වඩාත්ම තෘප්තිමත් කළ පොතක් වී තිබිණ."
      අදහස් වලට ස්තූතියි දයානන්ද රත්නායක මහත්මයා ට. වෙනත් බ්ලොග්ස් වල තියන ඔබගේ අදහස් මම ආසාවෙන් කියවනවා.

      Delete
  7. හ්ම්ම් ලංකාවේ නැති උනාම නැතිවෙන දේවල් අතරින් තවත් එකක් මේ..

    ReplyDelete
    Replies
    1. එහෙම බලනකොට සිංහල බ්ලොග් කලාව හොඳයි නේද?

      Delete
  8. පුංචි සටහනක් තබන්න අමතක වුණා. මේ කාව්‍යයට මුලදී කවියා විසින් ලබා දී තිබුණ නම "ගුරු තරුව" ලු. එය තරු ලකුණ බවට පත් වුණේ ජයලත් මනෝරත්න මහතාගේ ඉල්ලීමක් නිසා ලු. කොහොම වුණත් තරු ලකුණ කියන නම නිසා . මේ පොතටත් ගුරු තරුව වේදිකා නාට්‍යයටත් සාධාරනත්වයක් ඉ‍ටු වෙලා තියනවා පැහැදිලිවම.

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම ගුරු තරුව කියන නමට වඩා තරු ලකුණ කියන නම ගැළපෙනවා.මගේ තාත්තා අදටත් රත්න ශ්‍රීව හදුන්වන්නෙ නූතන සිංහල කවියේ තරු ලකුණ කියලයි.

      Delete
    2. සමුද්‍ර වෙත්තසිංහ ලියපු පොතක් තියෙනවා "නව කවියේ චන්ද්‍රලෝකය"කියල එක ලියල තියෙන්නෙත් රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ කාව්‍ය භාවිතය ගැන!:)

      Delete