Friday, June 1, 2012

සිඳු වේදිකාවේ

සිඳු ඉඳලා තියනවනේ ඉස්කෝල 4ක.අර කලින් දවසක කිව්වේ. ඒ ඉස්කෝල හතරෙන් මුලින්ම හිටිය ඉස්කෝලෙ විවිධ ප්‍රසංග කියලා දෙයක් තිබුණද කියලා සිඳුට මතක නෑ.මොකද ඒ කාලෙ සිඳු ගොඩක් පොඩි ළමයෙක්......  ත්‍රස්තවාදී ප්‍රශ්නත් එක්ක හිටිය ඒ පැත්තෙ ළමයි සමහර විට විවිධ ප්‍රසංග / කොන්සට් කියලා  දෙයක්  ගැන දැනගෙන හිටියෙවත් නෑ වෙන්න පුළුවන්.


කොහොම වුණත් සිඳුගෙ  ඊළඟ ඉස්කෝල දෙකේම කොන්සට් තිබුණා. ඒත් ඒ දෙකෙන් පළවෙනි ඉස්කෝලෙ කොන්සට් එකේ මොනවද තිබුණෙ කියලා සිඳුට මතක නෑ. ඒ දුප්පත් ඉස්කෝලෙ පුංචි ළමයෙක්ගෙ හිතට  මතකයක් රඳවන්න තරම් ලොකු දේවල් කෙරෙන්න නැතුවත් ඇති. එක දෙයක් නම් සිඳුට  හොඳටම මතකයි, සිඳුව ඒ කොන්සට් එකේ කිසි දේකට ගත්තෙ නෑ. (කිරි දරුවන්ව කොහොමද ස්ටේජ් එකට නග්ගන්නෙ කියලා ගුරුවරු හිතන්න ඇති.කොන්සට් කරන්නත් හරියට වචන උච්චාරනය කරන එකවත්  පුළුවන් වෙන්න ඕනානෙ.)


සිඳුගෙ තුන්වෙනි ඉස්කෝලෙත් තිබුණා කොන්සට්.ඒ කොන්සට් වල නම් වැඩියෙන් වැඩ පෙන්නුවෙ ලොකු අයියලා අක්කලා. සිඳුට තවමත් මතකයි එක කැපී පෙනෙන අංගයක් ඉදිරිපත් කළ අයිය කෙනෙක්ව. එයා දැන් ලංකාවෙ සුප්‍රසිද්ධම සංගීත කණ්ඩායමක ලීඩ් ගිටාර් වාදකයා.


ඒත් ඒ සේරම වෙනස් වෙන්න පටන් ගත්තෙ සිඳු අලුත් ඉස්කෝලෙට ආවාට පස්සෙ. දුප්පත් ඉස්කෝලෙක අහිංසක ළමයි එක්ක ඉඳලා අලුත් ඉස්කෝලෙට ආව සිඳුට ළමයින්ගෙ , ගුරුවරුන්ගෙ ඉඳන්ම පාසල පුරාම ලොකු වෙනසක් දැනුණා. හැමදේකම තිබුණෙ ලොකු පිළිවෙලක්. 


ඒ එක්කම නිතරම විවිධ උත්සව ආදියත් තිබුණා. සිඳු ඉස්කෝලෙට ඇවිත් ටික දවසකින්ම තිබුණා විදුහල්පති කන්‍යාසොයුරියගෙ උපන්දින උත්සවය. ඒකෙදි "happy birthday to you" ගීතය ගායනා කරන්න 3 සහ 4 වසර පන්ති වලින් ළමයින් දෙනෙක්ව ‍තෝරා ගත්තා. 




ඉස්කෝලෙට ඇවිත් මාස කීයද, සිඳු ට නිකම් වත් හිතුනෙ නෑ ඒකට සිඳුව ගනියි කියලා. ඒත් පන්තියෙ ඉංග්‍රීසි මිස් ට වැරදිලාද කොහෙද සිඳුවත් අර ළමයි අතරට ‍තෝරා ගත්තා. එදා ඉඳන් හැමදාම පුහුණු වීම්. ඔහොම දවස් කීපයක් ගත වුණා. ඒකට අඳින්න ඕනා ලස්සන දිලිසෙන තට්‍ටු තට්‍ටු තියෙන ගවුමක්. 


චූටි නැන්දාගෙ මල් කුමාරිට ගිහින් සිඳුටත් ඒ වගේ ලස්සන රෝස පාට ගවුමක් ලැබිලා තිබුණා. සිඳු ඒකත් අරගෙන පෙර පුහුණු උත්සවයට ගියා. සිඳු හිතන් හිටියෙ එයාගෙ ගවුම තමයි ලස්සනම කියලා. ඒත් එතෙන්ට ගිහින් අනිත් අයත් එක්ක ඇඳලා හැඩ බලනකොට සිඳුට හිතුණෙ ලස්සන ගවුම් තියන ලස්සන සුදු ළමයි එක්ක බලනකොට තමන්ව ගොඩක් කැතට පේනවා ඇති කියලා. (සිඳු ඒ කාලෙ හිතාගෙන හිටියෙ එයා ගොඩක් කැතයි කළුයි කියලා)


කොහොම වුණත් දිලිසෙන රෝස පාට ගවුම ඇඳලා, කකුල් වලට ස්ටොකින්ස් දාලා, කළු සපත්තු දාලා හිටිය ඒ දවස තමයි සිඳු මුලින්ම ස්ටේජ් එකක් උඩට නැගපු දවස......පාට පාට ආලෝකධාරා වැ‍ටුන, උඩින් පුංචි මයික් එල්ලුණ ඒ වේදිකාවෙ ඉඳලා නරඹන්නන් දිහා බලනකොට ආවෙ අමුතුම හැඟීමක්. පොඩි ආඩම්බර කමක් එක්ක ආව ඒ හැඟීම අදටත් වචනයෙන් විස්තර කරන්න අමාරුයි.


හිමින් ගෙවිලා ගිය ඒ අවුරුද්ද අවසානයටත් ළඟා වුණා. එක දවසක් නැ‍ටුම් මිස් ආවා පන්තියට. ඇවිත් වර්ෂ අවසාන විවිධ ප්‍රසංගයෙ නැ‍ටුම් අංග කීපයකටම ළමයින්ව ‍තෝරා ගත්තා. සිඳු බලාන හිටියා සිඳුටත් එන්න කියනකම්. ඒත් නැ‍ටුම් මිස් නිකම් වත් සිඳු දිහා බැලුවෙ නෑ. සිඳු හිතන් හිටියෙ ගුරුවරු සිඳුට ආදරෙයි කියලා, ඒත් නැ‍ටුම් මිස් නම් ආදරේ නෑ වගේ. ඒකනෙ සිඳුව ගත්තෙ නැත්තෙ. (සිඳුට තවමත් පුදුමයි, තමන්ට නටන්න බෑ, සින්දු කියන්න බෑ කියලා ඒ කාලෙ වෙනකනුත් සිඳුට තේරිලා නොතිබුණ එක ගැන.)


ඒත් හිතුව තරම් දෛවය කුරිරු නෑ. ඊට පහුවෙනිදාම ඉංග්‍රීසි මිස් ඇවිත් action song එකට සිඳුව ‍තෝරා ගත්තා. කාට හරි හිතෙනවා නම් සින්දු කියනා බැරි අය කොහොමද  ,songs වලට යන්නෙ  කියලා, කියන්න තියෙන්නෙ හරිම සරල උත්තරයක්, action songs වලට සින්දු කියන්න පුළුවන් වෙන්න ඕනා නෑ. සින්දු කියන එක පුළුවන් අය කරයි, ඔයාට කරන්න තියෙන්නෙ වැඩියෙ සද්ද නැතුව සින්දුව හිමින් කියන ගමන් actions , expressions ටික හොඳට දෙන එක.අත්දු‍ටුවයි, ප්‍රත්‍යක්ෂයි !!!!


" softly sing the cows cows " තමයි ඒ සින්දුව. 
කට්ටියක් ඇක්ශන් එක්ක සින්දුව කියනවා....


softly sing the donkeys as they go to hay
if you don't go with them, they will run away


 කට්ටියක් එඬේරුන්ට සහ සත්තුන්ට රඟපානවා.


haa hi ho  haa hi ho hi ho
haa hi ho haa hi ho hi ho


ඒක නම් බලන්න වටිනවා. එඬේරු සත්තුන්ට කන්න දෙනවා. පිට අතගානවා. ඔලුව අත ගානවා. සත්තු ටික කකුල් හතරෙන් බිම බඩ ගානවා. එකම දර්ශනයයි.
ඒ විතරක්ද ගායිකාවො ටික එක එක ඇක්ශන්. අතින් පයින් මූණෙන් පුළුවන් උපරිමෙන් ඇක්ශන්, බලන්න ලස්සනයි. 


ඒත් එක ගායිකාවක් හිටියා ඒ මොකුත් කරන්න නොහිතුණ. 
වෙන කවුරුත් නෙමේ, ඒ සිඳු. (අනිත් වෙලාවට ඇක්ශන් කෝටියයි.ඒත් සින්දුව කියන වෙලාවට මෝල් ගහක් ගිලලා වගේ.) මොකද්ද ලැජ්ජාවක් වගේ එකක් තිබුණා සිඳුට අනිත් අය වගේ රඟපාන්න.


"සිඳු , your face is like a mask. you don't have expressions .... හරියට කළේ නැත්නම් හරක් පැටියෙක්ට රඟපාන්න ගන්නවා ඔයාව මේකෙන් අයින් කරලා"අන්තිමට මිස් තර්ජනය කළා.




අනේ මොන හිතකින්ද හරක් පැටියෙක් වගේ ඇඳගෙන ස්ටේජ් එකේ කකුල් 4 න් යන්නෙ. ඒ මදිවට වලිගෙකුත් එල්ලගෙන. ආපෝ !!! හිතන්නවත් බෑ ඒ ගැන නම්. සේරම ලැජ්ජාවල් පැත්තකට දාලා සිඳු රඟපාන්න පටන් ගත්තා. 
"ආ ඔය තියෙන්නෙ බැරි ඒවා අපූරුවට" මිස් එහෙම කිවුවා.


(ඒ ඇක්ෂන් සෝන්ග් එක සිඳුට කොහොමත් විශේෂයි, මොකද සිඳුගෙ හොඳම යාළුවා ගැන තියන අතීතම මතකෙ තියෙන්නෙත් ඒකෙ නිසා. එදා සිඳුගෙ ලිප්ස්ටික් මැකිලා කියලා, කොහෙන්දෝ උස්සන් ආව ලිප්ස්ටික් එකක් අනවසරයෙන්ම එදා සිඳුගෙ කටේ අතුල්ලපු කොණ්ඩෙ දිග දඟකාර ලස්සන ගෑණු ළමයා ඊට අවුරුදු 5කට පස්සෙ ඉඳන් අද වෙනකම් සිඳුගෙ හොඳම යාළුවා,නදීමා.)


5 වසරෙදි සිඳුගෙ පන්තියෙ හිටියා සිඳුට වඩා කටකාර, හැඩකාර, ඉපදුන දවසෙ ඉඳන් elocution ගිය ළමයෙක්. ඒ නිසා ඒ අවුරුද්දෙ ඇක්ශන් සෝන්ග් එක තියන පැත්ත පළාතෙවත් යන්න සිඳුට පුළුවන් වුනේ නෑ. ඒත් මොකක් හරි අත් වැරදීමකින් ඒ වතාවෙ සිඳුව පිළිගැනීමේ ගීතයට අරන් තිබුණා. ඒකෙන් යන්තම් ආත්ම ගරුත්වය බේරාගන්න සිඳු ට පුළුවන් වුණා. 
නැත්නම් කොහොමද, එක වසරෙ හිටිය සිඳුගෙ නංගි ස්ටේජ් එකට නැගලා "Im a little tea pot...." කියනකොට සිඳුට නරඹන්නෙක් විතරක් වෙන්න වුණා නම් එහෙම. කොහොම වුණත්, පිළිගැනීමේ ගීතය ගායනා කරන්න වුණේ නම් සුදු ගවුමෙන්. ඒ නිසා වැඩියෙ "ඇඩ්" එකක් දාන්න අවස්ථාවක් නම් හම්බුනේ නෑ.


5 වසරෙන් පස්සෙ සිඳු 6 වසරට ගියා "ලොකු ඉස්කෝලෙට" (එහෙම තමයි සිඳුලා ඒ කාලෙ කිවුවෙ. ප්‍රාථමික කොටස "පොඩි ඉස්කෝලෙ" 6 වසරෙන් ඉහළ "ලොකු ඉස්කොලෙ".) ලොකු ඉස්කෝලෙට ගන්න තියපු විභාගෙන් ඉහළම ලකුණු ප්‍රමාණයක් අරන් ඒ ඉස්කෝලෙට ගිය සිඳු අන්තිමටම වැ‍ටුණා 6 වසරෙදි දැන් මතක් කරන්නවත් අකමැති හේතු නිසා. ඒ නිසාද කොහෙද, සිඳුට වේදිකාව ඉස්සරහට වෙලා නරඹන්නෙක් විතරක් වෙන්න වුණා ඒ අවුරුද්දෙ තියපු විවිධ ප්‍රසංග අවස්ථාවන් වලදි.වේදිකාව උඩ නගිනවා වෙනුවට, ඒ කාලෙ සිඳු ආදරෙන් සලකපු එකම ගුරුතුමිය වුණ චිත්‍ර මිස් එක්ක එකතු වෙලා සිඳු විවිධ ප්‍රසංග වල ආරාධනා පත්‍ර හැදුවා.


ඊළඟ අවුරුද්දෙ සිඳු 7 වසරෙ. 6 වසරෙදි වුණ සිත් රිදවීම් ආදිය අමතක කරලා සිඳු සුපුරුදු රටාවට ක්‍රමයෙන් අවතීර්ණ වෙමින් හිටිය අවධිය ඒ.  සිඳු තවමත් ආදරේ ගුරුතුමියක් ඒ අවුරුද්දෙ පන්ති බාර ගුරුතුමිය. ඒ ආදරෙත් එක්ක සිඳු ඇතුළු චන්ඩි ටික ලස්සනට මෙල්ල වෙලා හිටියා, හොඳට ඉගෙන ගන්නත් පටන් ගත්තා. ඔහොම ඉන්නකොට තමයි ඉස්කෝලෙ ඉංග්‍රීසි භාශා දිනයත් ලං වුණේ. දවසක් එහා පන්තියට ඉංග්‍රීසි උගන්නපු මිස් ආව පන්තියට.
"දර්ශා, මට හොඳට ඉංග්‍රීසි පුළුවන් ළමයි දෙන්නෙක්ව දෙන්නකො, මගෙ snow white drama 1 ට ගන්න." එයා එහෙම කිවුවා.
සිඳුලා කට ඇරගෙම බලාගෙන හිටියා මොකද වෙනෙ කියලා.
"මගෙ ළමයි හැමෝම එක වගේ දක්ෂයි, ඒත් සිඳුවයි චෙසාවයි අරන් යන්නකො............." සිඳුලගෙ මිස් කිවුවා.


ඔන්න ඉතින් සිඳු සහ චෙසා ඒ වෙලාවෙ ඉඳන් ඇවිදින්නෙත් අඩි ගාණක් උඩින් ලු. අනිත් යාළුවන්ගෙනුත් මේ දෙන්නට හරි සැලකිලි. චෙසා සිඳුට වඩා උස නිආ චෙසා නපුරු කුඩම්මා, සිඳු පොඩි නිසා එයා හිම කුමාරි කියලා තමයි දෙන්නා හිතන් හිටියෙ. (කළු පාට හිම කුමාරියො ඉන්නවාද අහන්න එපා මගෙන්)


ඔන්න සිඳු චෙසා එක්ක නාට්‍ය පුරුදු වෙන තැනට ගියා. අපි හොඳට රඟපෑවම අපේ මිස්ටනෙ ආඩම්බර. එහෙමයි ඒ දෙන්න එදා හිතුවෙ.
මෙන්න එතන ඉන්නවා 8 වසරෙ ලොකු අක්කලා. අහිංසක පාට අක්කලා, චණ්ඩි පාට අක්කලා, කලු අක්කලා, සුදු අක්කලා, අයියලා වගේ අක්කලා. එයාලා රඟපාන්නත් පටන් අරන්. අනේ ඉතින් පුංචි නපුරු කුඩම්මයි, පුංචි හිම කුමාරියි අහිංසක විදියකට පැත්තකට වෙලා හිටියා. 


සිඳුව අරන් ගිහින් තිබුණෙ, හිම කුමාරි කැලේ අතරමන් වෙන වෙලාවෙ කැලේ උඩ පැන පැන ඉන්න හාවෙක් ට. චෙසා දෙබසක් වත් නැති කුරුමිට්ටෙක්ට.


" wow, look at her, what a beautiful girl " 


මුළු නාට්‍ය පුරාවටම සිඳුට කියන්න තිබුණෙ එච්චරමයි. ඔය ටික කියන්න පුරුදු වෙන්න  ඉස්කෝලෙ වෙලාවෙන් පස්සෙ හවස සති කීයක් නම් ඉන්න වුණා ද. 
කොහොමද හිම කුමාරි හාවෙක් වුණ හැටි.


ඒ අවුරුද්දෙම සිඳු ට ආයෙමත් වේදිකාවට නගින්න වුණා ඒ අන්තර් පාසල් ඉංග්‍රීසි භාෂා දින නාට්‍ය තරඟය නිසා.තරඟ තිබුණෙ සිඳුලගෙ ඉස්කෝලෙමයි. ඉතින් කට්ටියගෙ හරි ඇඩ් එක. අනිත් ඉස්කෝල ව  ළමයින්ට පේන්න, එහාට යනවා....... මෙහාට යනවා........ එයාලට ඇහෙන්න ඉංග්‍රීසියෙනුත් කතා කරනවා. 


"චෙස්, you seems to be very frustrated ,anything wrong with you ?"


"yes සිඳු, I wanna be a doctor...but see, I'm only a cripple... do you think I can reach my target with this leg?"


"Don't worry about that ches, I'll help you, you 'll be alright"


ඒ සිඳුලගෙ නාට්‍යයෙ තිබුණ දෙබස්.
ගොඩාක් වෙලාවට කතා කරනවා කියලා කළේ ඔය වගේ නාට්‍ය දෙබස් කියපු එක තමයි. 


ඒකෙ සිඳුට තිබුණෙ පිරිමි චරිතයක්.
ඒ කාලෙ සිඳු කොහොමත් Tom Boy. ඉතින් හරි ආසයි පිරිමි ළමෙක් වගේ ඇඳගෙන ඉස්කෝලෙ වටේ ඇවිදින්න එහෙම.  


සිඳුයි, බුද්ධි යි එදා මොකක් හරි උවමනාවකට ගියා ඉස්කෝලෙ නේවාසිකාගාරය දිහාට. පිරිමි ඇඳුම් ඇඳගත්ත බ‍ටු කෙල්ලො දෙන්නා දිහා එදා හොස්ටල් එකේ හිටිය ගෑණු ළමයි බලන් හිටිය  මොන විගඩමක්ද මේ කියලා බලන්න ඇති. 
අනේ ඒත් ,සිඳු සහ බුද්ධි කොයි තරම් නම් බුද්ධිමත්ද කියනවා නම් එදා හිතුවෙ කොල්ලො 2ක් කියලා හිතලයි ඒ ගෑණු ළමයි එහෙම බලාගෙන හිටියෙ කියලා. දෙන්නා එදා හොස්ටල් එක ගාවින් ඇවිදගෙන යන ගමන් ඒ  ළමයි දිහා බැලුවෙ "නංගි, එඩ්‍රස් එක මොකද්ද" අහනවා වගේ බැල්මක් සහ ගමනක් දාලා. හික්ස්.....!!


(මේකෙ වේටර් කෙනෙක් වගේ ඇඳන් හිටියට සිඳු හිටියෙ වේටර් කෙනෙක් ට නෙමේ, නාට්‍යයෙ පුතා ට. මෙහෙම ඇඳන් ඉන්නෙ පාටි එකක් වෙලාවෙ)


ඒ අවුරුද්දෙ තිබුණ වසර අවසාන විවිධ ප්‍රසංගයෙ "Under the lilac tree" ඇක්ශන් සෝන්ග් එකට  සිඳු හිටියෙ. ඒකෙ ගැණු ළමයි, පිරිමි ළමයි දෙගොල්ලොම හිටියා. ඒ කාලෙ සිඳුට පිරිමි චරිත රඟපාන්න පුදුම උණක් හැදිලා තිබුණා. (බාලිකා විද්‍යාල වල හැටි මම හිතන්නෙ, පිරිමි චරිත රඟපානකොට ළමයින් ගෙ ප්‍රතිචාර වැඩියි.) ඉතින් සිඳු මිස්ගෙන් ඉල්ලා හිටියා තමන්ට පිරිමි ළමයෙක් විදියට අඳින්න ඕනා කියලා. අන්න එතන තමයි ප්‍රශ්නෙ, වෙන මොකුත් නෙමේ, ගෑණු ළමයින්ට හිටිය සේරම සිඳුට වඩා උසයි. පිරිමි ළමෙක්ට ඇඳලා හයි හීල්ස් දානයැ. ඒ නිසා කොහොම හරි ලොකූ උත්සාහයකින් පස්සෙ සිඳු පාට්නර් කෙනෙක් හොයා ගත්තා.


8 වසරෙන් පස්සෙ action song කියලා ජාතියක් නෑ විවිධ ප්‍රසංග වල. ඉතින් හිතා ගන්නකො සිඳු ට වුණ දේ. 8 වසරෙ හිටිය Two little kittens,one stormy night  ඇක්ශන් සෝන්ග් එකෙන් පස්සෙ සිඳුට වේදිකාවට නගින්න වුණේ නෑ. 


ඒකට හේතු කීපයක් තිබුණා. ඉතාම සාධාරණ හේතු. සිංහල ගීත වලට ගත්තෙ සංගීතය කරපු අය. නැ‍ටුම් , මුද්‍රා නාට්‍ය  කළේ නැ‍ටුම් හදාරපු අය. සිංහල නාට්‍ය බොහොමයක් උසස් පෙළ කලා අංශයෙන්. ඉංග්‍රීසි නාට්‍ය වලට සිඳුගෙ පෙනුම හරි ගියෙම නෑ. ඕනා කෙනෙක් ට යන්න පුළුවන් ඉංග්‍රීසි ගීත ගායනයට විතරයි. ඒත් ඉතින් සිඳු වගේ සින්දු කියන්න බැරි අයට ඒකත් බෑනෙ.
ඒ නිසා සිඳු කළේ පාසල් දර්ශන වලට ටිකට් අරන් එක පාරකුත්, ටිකට් නැතුව තව දෙතුන් පාරක් හොරෙනුත් කොන්සට් බැලුව එක විතරයි. ඒවගෙනුත් වැඩි හරියක් පු‍ටු වල ඉඳගෙන නෙමේ, ශාලාවෙ කෙලවරටම ගිහින් පු‍ටු උඩ හිටගෙන....... 


ඒත් ඉතින් වේදිකා සැරසිලි, ආරාධනපත්‍ර ආදියට නම් සිඳුගෙ නොමද දායකත්වය තිබුණා. ඒ කාලෙ කොහොමත් සිඳුගෙ කාලයෙන් වැඩි හරියක් ගෙවුනෙ චිත්‍ර කාමරේ.


ඔන්න ඔහොමයි සිඳු තමන්ගෙ හැකියාවන් සහ නොහැකියාවන් තේරුම් අරගෙන වැඩ කරන්න පුරුදු වුණේ.


එතනින් පස්සෙ එකම එක වතාවක් පාසල් වේදිකාවේ සිඳු රඟපෑවා විද්‍යා දිනයකදි. ඒ ගැන මම කලින් ලියලා තියනවා මෙතන.


කැම්පස් එකේදිත් සිඳු වේදිකාවට නගින්න ගියෙ නෑ. කළේ වේදිකා හැදුව එක, සිඳු වගේම හිතන පතන කීපදෙනෙක් එක්ක එකතු වෙලා.(සජ්ජා, කලනි, පුබුදු ඇතුළු ගොඩාක්)


මේ තියෙන්නෙ ඒ වගේ මාස ගාණක ප්‍රතිඵලයක් අඩි 17ක් උස.


 මූණෙ මේකප් අතුල්ලගෙන වේදික උඩට නැග්ගාට වඩා ලොකු සතුටක් තියනවා, මූණෙ සහ ඔලුවෙ ඉඳන්ම තීන්ත, ගම් නාගෙන  මේ  කළ දේවල් ගැන.



45 comments:

  1. රඟපාපු එකටත් වඩා වේදිකා සකස් කරපු එක නම් පට්ට පට පට වගේ. ඇත්තටම සිරා. මේ විදිහට අඩි 17 ක් උසට මේ වේදිකාව අලංකාර කලේ මොන වගේ උත්සවයකටද අක්කේ ???

    ReplyDelete
    Replies
    1. අපේ ෆැකල්ටි එකේ වාර්ෂික ප්‍රසංගය මල්ලි.

      Delete
  2. හප්පුච්චියේ මේ සිදුත් කරලා තියෙන දේවල්

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බලන්නකො කනී

      Delete
  3. හරි හරි දේවල් තමා සිදුට වෙලා තියෙන්නේ..... වේදිකාවනම් පට්ට ඈ....

    පොඩිකාලේ මාව ස්ටේජ් වලට ගත්තේම නෑ... ඒත් 7වසරෙන් පස්සෙ මම ස්ටේජ් එකෙන් බැස්සෙත් නෑ...

    ReplyDelete
    Replies
    1. ඉතින් කියන්නකො, බැහැපු නැති ස්ටේජ් එකේ විස්තර

      Delete
  4. මාර වැඩ කෑල්ලක් නේ ඈ.... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ. රජාලා හිතන්නෙ එයාලයි වැඩ කාරයො කියලා.
      අනේ මට නම් රාජ සම්පත් එපා. මේ තියන සැප ඉහටත් උඩින්

      Delete
  5. පොඩි කාලේ අපිත් හොද නළුවෝ තමයි හරී....... :p

    ReplyDelete
    Replies
    1. ලෝකය එකම රඟ මඩලක් කිවුවලු....!!! ඉතින් ඔයත් පොඩි නළු බට්ටෙක් තමයි

      Delete
  6. වේදිකාවට නගිනවට වඩා ලොකු සතුටක් තියනවා තමයි නගින අය වෙනුවෙන් වේදිකාව හදන එකේ..
    අනිත් අතට හැමෝටම එකම හැකියාව පිහිටන්නෙ නෑනෙ..ඒ අතින් ඔයා වාසනාවන්තයි මුල් දවස්වල හරි වේදිකාවට නැග්ගා.මං එහෙමවත් නැහැ.හය වස‍රෙදි ඉස්කෝලෙට ගිය දා ඉදන් මේ වෙනකම්ම බුක් මාර්ක්ස්වලට කවි ලියන එක තමයි කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒ කවි දෙක තුනකුත් දාන්නකො නංගි අපිටත් බලන්න

      Delete
  7. මතක ගොඩාක් එකතු කරපු ලස්සන වියමනක්..
    මම නම් ගොඩක් රසවින්දා..

    ඔයාගෙ හැකියාවට සුභ පතනවා සිඳු..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රූ. මතකයන් නම් ගොඩායි

      Delete
  8. රංගන කටයුත්ත වගේම සිඳු‍ට වේදිකා පසුතල නිර්මාණ ගැන නම් අති විශ්ෂ්ඨ හැකියාවක් තියෙන බව පේනවා. මේ වේදිකා පසුතල නිර්මාණය දැක්කාම. ඒ කලා කුසලතාවය තමයි බ්ලොග් රසට ලිවීමේ හැකියාව.

    ආයෙ දෙකක් නෑ රංගනයයි. වේදිකා පසුතල නිර්මාණය කිරීමේ කුසලතාවයයි දෙකම අගය කරනවා

    ReplyDelete
    Replies
    1. පසුතල නිර්මාණය නම් සාමුහික ප්‍රයත්නයක් අයියෙ. ගොඩාක් අය උදවු කළා.

      කවදා හරි ඒ පැත්තෙන් ඉස්සරහට යන්න ලොකු ආසාවක් තියනවා.

      Delete
  9. කියවගෙන යද්දී නිකන් චිත්‍ර කතාවක් වගේ!:)
    ලස්සන මතක ගොඩක්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නුවන්. ඒ වචන ශක්තියක්

      Delete
  10. බාධක මැදින් ජය ගත් උත්සහයන් මැද මහන්සියක සොඳුරු මතක පොදියක්... ආදරණීය ආවර්ජනයක්..
    හදවතින්ම සුබ පැතුම් සිඳු‍..!!!

    ReplyDelete
    Replies
    1. බාධක නම් එමටයි. ස්තූතියි නන්ඳු

      Delete
  11. හප්පේ සිඳු කරල තියන දේවල්. කොල්ලට ඇඳල ඉන්න එක නම් මරු. එදා රැවටුනු ගෑණු ළමයි සිඳු අයියට බැල්ම දාගෙන ඉන්න ඇති නේද? :D
    ඒ කාලේ ඔහොම නම් දැන් හොඳට සිංදු කියන්න පුළුවන් ඇති.

    ReplyDelete
    Replies
    1. අපෝ දැන්නම් ලැජ්ජාවෙ බෑ. ඇත්තමයි එදා හිතුවෙ ඒ ළමයි ‍රැව‍ටුනා කියලනෙ. ‍රැව‍ටුනාම කියමුකො, 7 වසරෙ කොල්ලෙක් දිහා ගෑණු ළමයි බලයිද...
      සින්දු කීමේ හැකියාවනම්.......... wow !!!!!

      Delete
  12. ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියන කථාව වැරදිද මන්ද කියල හිතෙනව සිඳුගේ හැකියාන් දැක්කහම!

    ReplyDelete
    Replies
    1. ඒකෙන් කියන්නෙ එක්කෙනෙක් එක දේකට විතරක් සමත් කියන එක නෙමේ නේද? ඒ කියන්නෙ ලෝකෙ ඉන්න හැමෝම එක දේකට හරි සමත් කියන එක නේද? ඒත් ස්තූතියි ගොඩාක්. ( මම දැන් ඉන්නෙ අඩි ගානක් උඩින්)

      Delete
  13. මම හිතන්නේ ඔය සිඳු සහ පිරිසගේ නිර්මාණයක් වුනු අන්තිමට තියෙන වෙදිකාවනම් බලන්න මටත් අවස්ථාවක් ලැබුන! ඉතා හොඳ නිර්මාණයක් කියල අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්! Talents 2010 වෙන්න ඕනේ මට මතක විදියට.

    ReplyDelete
    Replies
    1. ඔව් talents 2010 තමයි. :-) හරිම සතු‍ටුයි

      Delete
  14. සිඳුත් පුදුම වැඩ නෙව කරලා තියෙන්නේ.
    මාත් පොඩි කාලේ හාවෙක්ට හිටියා. (තාමත් හාවෙක් වගේ තමා.)

    ReplyDelete
    Replies
    1. ඔයාත් කිවුවෙ මම වගේ එක වාක්‍යයයිද, නැත්නම් ඒකෙ ප්‍රධාන චරිතය හාවාද? කොහොමද, සුදු පාට ඇඳලා, දිග කන් දෙකක් දාලා, චූටි වල්ගෙකුත් එක්ක උඩ පැන පැන ඉද්දි.... ???

      Delete
  15. වේදිකා පසුතල නිර්මාණ, නාට්‍ය නිර්මාණ, නාට්‍යවල රගපෑම්, මේ ගොඩක් දේවල්වලින් අඩුවක් තිබ්බේ නෑ පහුගිය අවුරුදු 10ම වගේ.....
    ස්තූතියි ඒ මතකය ආයෙත් අලුත් කළාට...


    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒ දේවල් අමතක කරන්න එපා කවදාවත්. අපරාදෙ

      Delete
  16. හපොයි වේදිකාව...!

    සිස්සත්වේ පාස්වෙලා කොඹළ යන්න කලියෙන්නං මාත් හෙන නළුවා... හැම සතියෙම දෙකවසර පංතිය ගාව ඉස්ටේජ් එකේ පවත්තන මොකක්ද ඒකට කියන නම..හුටා ඒක අමතකයිනේ.. අර ළමයින්ගේ කවි කතා එහෙම කියන එක.. රැස්වීමක් වගේ තියන්නේ..ආන්න ඒකට මාත් මොනවම හරි කරනවා..තුන වසරෙදි මං එක දිගට මහදැන මුත්තා කතා ටිකක් පෙන්නගෙන ගියා... මහ දැන මුත්තත් මංම තමා..නාට්ටිය නිශ්පාදක අද්දියක්ෂක ඔක්කෝමත් මංතුමාම තමා..

    විවිධප්‍රසංගයතු.් එක පාරක් තිබුනා තුනවසරෙදි..ඒකටත් කොටු කොටු සරමක් ඇඳලා පන්කොල තොප්පියකුත් දාගෙන හේල හෙලයි හෙලයියා කිය කිය ධීවර නැටුමකටත් හිටියා.. එතනින් පහු මගේ රඟ පෑං අහවරයි... කොලුවා කොඹල ගියත් හරි බම්මන්නා වගේ ඔහේ හිටියා...

    බස්සෙන් පහු කාලෙක මට ආසාවක් ආවා චිත්තර පටි නළුවෙක් වෙන්න..හැබැයි දුෂ්ඨ නළුවෙන් වෙන්න.. ඒක හිතුනේ අර අම්රිෂ් පූරි අයියාගේ රඟ පෑම් දැකලා...

    හැබැයි දැනටත් මං නළුවෙක්... කරන්නේ ගොං පාට්...

    ReplyDelete
    Replies
    1. මට මැවිලා පේනවා චූටි මාරය්යා මහදෙනමුත්තාට ඉන්නවා.(ඒත් මැවෙන්නෙ මේ මාර මූණමයි)

      Delete
  17. සිදු අක්කේ මට මතකයි ඔයා කොලු පෑට්ටෙක්ට රගපාපු දවස...... ඒ දවස් වල ඉතින් අපි පොඩි ළමයිනේ ඔයලා දිහා බෑලුවෙ හරියට මෑජික් බලනව වගේ

    ReplyDelete
    Replies
    1. අපිත් ඉස්සර ලොකු අක්කලා දිහා බැලුවෙ ඒ වගේම තමයි. නංගිට මතකද මන්දා, මැක්බත් සහ අනිත් ඒ වගේ නාටය කරපු අක්කලා ටික? ඒ දවස් වල මම එයාලා දිහා බැලුවෙ හරියට ශාරුක්, රිතික් දිහා බලනවා වගේ.

      Delete
  18. එක එක ළමයින්ගෙ දක්ෂතා අඳුනගෙන ඒවා ඔප දමන විදිහක් නැති වුණහම, ළමයි අසරණ වෙනවනෙ. චිත්‍රවලට දක්ෂ නිසා විවිධ ප්‍රසංගවල තැනක් නැති වුණත් සිදු චිත්‍ර තරග ආදියට සහභාගි වෙන්න ඇතිනෙ?
    ඔයාගෙ මතකයන් එක්ක මමත් අතීතෙට ගියා. :)

    ReplyDelete
    Replies
    1. බොරු කියන්නෙ මොකටද අක්කෙ. මම එක තර‍ඟෙකටවත් චිත්‍ර ඇඳලා නෑ. ඒකට නම් පුදුම කම්මැලිකමක් තිබුණෙ. බැරි දේවල්මයි කරන්න හැදුවෙ

      Delete
  19. හයියෝ.. මං හිතාගෙන හිටියේ සින්දු කියන එක කෙටි කරලා සිඳු කියනවා කියලයි.. කෝකටත් අපිටත් අහන්න සින්දුවක් කියල දාන්නකෝ මේකේ..

    ReplyDelete
    Replies
    1. සින්දු කෙටි කරලා තමයි සිඳු ආවෙ. ඒත් ඒ සින්දු = මුහුද

      Delete
    2. කමක් නෑ ඉතින්. කියන නිසා සින්දුවක් කියන්නම්කො....ඔන්න අහගන්න
      ආ....... මොකද මේ කට්ටිය පු‍ටු පෙරලන් දුවන්නෙ. හරි හරි මම සින්දු කියන්නෙ නෑ ආයේ

      Delete
  20. BOW එක දාගෙන ඉන්න කොල්ලා නම් ලස්සනයි

    ReplyDelete
  21. මම කලින් ඇවිත් නෑ මේ බ්ලොග් එකට.
    ලස්සන මතකයන් සිඳූ. මම කලින්පෝස්ට් කීපයකුත් බලාගෙන බලාගෙන ගියා ලස්සන නිසා.

    කලින් පෝස්ට් එකේ අර පාඩම් පොතේ තිබ්බ කවිය ගැන මට පොඩි ප්‍රශ්ණයක් ආවා.

    "පුංචි අපට සිරි සැප දෙයි සිරි ලංකා දීපේ" සින්දුව ගැන.
    ඒ සින්දුව ඔයා ඉස්කෝලෙ යන කාලෙත් තිබ්බද? ඒක ඇත්තටම අපේ කාලෙ තිබ්බ සින්දුවක් පාඩම් පොතේ.
    පාන්දරම එහෙන් මෙහෙන් ඇහෙයි කුරුලු නාදේ
    ඉර එලියට සඳ එලියට වෙලේ ගොයම් නෑ වේ
    ඇල දොල ගං ඉවුරු දිගේ වනමල් පෙති පාවේ

    ඔන්න ඔහොම නේද ඉතුරු ටික?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මම නම් Dude ව දැකලා තියනවා ව හැමතැනම. ඔව් ඔව්. ඒක අපි පොඩි කාලෙත් තිබුනා. ඒ කියන්නෙ 1990 ගණන් වල. ( හරියටම අවුරුද්ද කිවුවොත් වයස දැනගන්නවනෙ)
      පද මාරු වෙලාද මන්දා...."ඉර එලියට සඳ එලියට වෙලේ ගොයම් නෑ වේ" කෑල්ලක් මතක නෑනෙ. මූදෙ රළ පෙරලෙන එකක් තියනව වගේ මතක.

      අපි දවසක් අම්මලාගෙ යාළුවො කට්ටියක් එක්ක ගියා ට්‍රිප් එකක්. එදා මට සින්දුවක් කියන්න කිවුවමත් මම අත්පුඩි ගහලා එහෙම පටන් ගත්තෙ මේ සින්දුව. කට්ටිය ටිකක් හිනා වෙලා පස්සෙ පොඩි එකාගෙ ආසාවනෙ කියලා කියන්න දුන්නද කොහෙද

      Delete
  22. මම මොට්ටසෝරියෙදී වේදිකාව උඩ..... පසුකාලීනව තිරය පිටුපස :D :D :D :D :D

    ReplyDelete
  23. දරුවන් ගැන නොදන්න, නැතිනම් නොදන්නවා වාගෙ ඉන්න එහෙමත් නැත්නම් දරුවන්ට ඊර්ෂ්‍යා කරන පිරිසක් ගුරුවරුන් අතර ඉන්නවාදෝ හැ‍ෙඟෙනවා. "සමනළයට තඩිබෑම" වැනි සංවේදී ගුරුවරුන්ගේ ඇස් අරවන පොතක් විජේසූරිය ශූරීන් අතින් ලියවුනේ ඒ නිසයි. ඔබේ ලිපිය ඉතා සංවේදීව කියවිය හැකි වටිනා පණිවුඩ රාශියක් දෙන්නකි. වටිනා නිර්මාණයකි. ස්තුතියි.

    ReplyDelete