Saturday, June 23, 2012

චුට්ටන්ගේ කතා


   
පිපෙන්න වෙර දරන පුංචි කුසුම් බඳු වූ කුඩා දරුවන් පිළිබඳව ඔබට සිතෙන්නේ කුමක්ද? ඔබට කිසි දිනෙක ඔවුන්ගේ බොලඳ අවිහිංසක බව සිතට දැනී තිබේද?


දිනකට පුංචි පැටවුන් කීප දෙනෙක් හෝ අඳුනගන්න ලැබෙන මා හට ඔවුන් එකිනෙකාගේ ඇති අපූර්වත්වය දැනෙන්නේ නිරන්තරයෙන්ම සිතට පහන් හැඟීමක් ගෙන දෙමින්. 


ඔවුන් එකිනෙකා එකිනෙකාගෙන් වෙනස්. ඇතැමුන් පුංචි පූස් පැටවුන් වගේ දඟකාරයි. කොටි පැටවුන් වගේ කලහකාරීයි. ආක්‍රමණශීලියි. සමහර අය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පිණි බින්දු විසිරුවණ මල් වගේ. අඬන්න මූණ හදාගත්තු ගමන්.


දිනපතා හමුවන මෙවන් වූ දරුවන් පිළිබඳව සිදු වීමක් දෙකක් අකුරු කරන්නට සිතුනා, ඔවුන්ගේ සිත් තුළ ඇති අවිහිංසක, දූෂිත නොවූ බව පවසන්නම.


****************************************************
පවනිට වයස අවුරුදු 4යි. නැවතී සිටියේ පිළිකා රෝහලේ ළමා වාට්‍ටුවක. කාලයක් ලියුකේමියා තත්වයකින් පීඩා විඳි ඇය ඒ වන විට ප්‍රතිකාර වලට සම්පූර්ණයෙන්ම හොඳ ප්‍රතිචාර දක්වා තිබුණා. එවර වාට්‍ටුවේ නැවතී තිබුණේ උදරාබාධයක් හේතුවෙන්. ලියුකේමියාවට ප්‍රතිකාර කර සුව වූ පසුවත් ඔවුන් ව දැඩි ලෙස ප්‍රවේසම් කළයුතු වනවා. එම නිසා මෙම දරුවන් හට ඇති වන සුළු අසනීපයකදී වුවත් ඔවුන්ව එම වාට්‍ටුවටම ඇතුළත් කරනවා සියලුම පරීක්ෂණ සිදු කිරීමේ පහසුව උදෙසා.


වාට්‍ටුවේ දරුවන් කිහිප දෙනෙක්ම උණ තත්වයකින් පෙලුණා. පවනිගෙ අම්ම පවනිට ඇ‍ඳෙන් බහින්නවත් නොදුන්නෙ උදරාබාධය සුව වුණා පමණයි, උණත් වැළ‍ඳෙයි කියන බයටමයි. 


පවනිගෙ අම්ම වැරදි නෑ. ඒත් කිසිම දෙයක් නොතේරෙන පවනි හිටියෙ ඉඩ ලැබුණු හැටියෙම පැනලා දුවන්න බලාගෙන. වාට්‍ටුවෙ හිටිය අනික් දරුවන්ට සාපේක්ෂව ඇය නිරෝගීයි. ඉතින් දුවලා පැනලා ඉන්න ඉන්න හිතේන එක අහන්නත් දෙයක්ද. මේ නිසා ඇය අම්මාත් සමග දබර වුණ අවස්ථා අනන්තයි. 
ඇය දන්න සියලුම නපුරු වචන පාවිච්චි කළා අම්මාව පාලනය කරන්න.


බව්වා...... බව්වා......
පූසා.... පූසා.........


ඉන් අනතුරුව පරුෂ වචනයක්ද ඇය ඒ අගට එක් කළා. නැත්නම් අම්මව බය කරගන්න බැරි වෙයි.


සමණළයා..........සමණළයා.........සමණළයා



******************************************************


      සියුමි පිළිකා වාට්‍ටුවෙ සිටිය තවත් දැරියක්. ඇයත් ලියුකේමියාවෙන් පීඩා විඳිමින් අම්මාත් සමග වාට්‍ටුවේ නැවතී සිටියා. වාට්‍ටුවේ සිටි බොහෝ දෙනෙක් සාමාන්‍ය පවුල් වල දරුවන්. නමුත් සියුමිගෙත් ඇයගේ මවගේත් ඇඳුම් පැලඳුම් වලිනුත් බඩු භාණ්ඩ වලිනුත් ඔවුන් තරමක් දිළිඳු බව දිස් වුණා.


      ඒ වන විට සිදු කෙරෙමින් තිබූ ප්‍රතිකාර නිසා සියුමි හිටියේ තරමක අපහසුවෙන්. ඒ නිසාම අනෙක් දරුවන් කෙරෙන් පළ වූ කෙලිලොල් බව ඈ කෙරෙන් ප්‍රකට වුණේ නෑ. 


       නිතරම ඇඬූ කඳුලින් සිටි ඇගේ හැඬුම වැඩි වෙනවා දිවා ආහාරය වෙලාවට. කුඩා දරුවන්ට ආහාර දීම කොහොමත් අපහසු කටයුත්තක්. සියුමි සම්බන්ධව ඒ කරුණ ඉතා අපහසු බව අපට වැටහුණා. ආහාර ගන්නා වෙලාවට සියුමි සමගම අම්මාත් හඬා වැටෙන අවස්ථා තිබුණා. සියුමි දැඩි ලෙස බත් ප්‍රතික්ෂේප කළා.


"ඇයි බබා බත් කන්නෙ නැත්තෙ? " අන්තිමට අපට අහන්න සිද්ද වුණා.


"මෙයා කොස් ඉල්ලනව දුවේ" සියුමිගෙ අම්මා පැවසුවා.


"කොස්?"


"ඔව්, මෙයාට ගෙදරදි වැඩිපුරම දෙන්නෙ කොස්. බත් දුන්න්නෙ නෑ වැඩියෙ, ඒ නිසා දැනුත් කොස් ඉල්ලනව. මම කොහෙන් හොයන්නද මෙහෙ කොස්?"  


අම්මාගේ කඳුලු වැඩි වුණා. 
දිවා ආහාරයට කොස් පමණක් ආහාරයට ගන්නේ දිළිඳු කම නිසාද , නැතහොත් පුරුද්දක් නිසාදැයි එයි මා දන්නේ නැහැ. ඒත් මේ සිදුවීම මගෙ හිත බොහෝ සසල කළ සිදු වීමක්.
ගෙදරින් පැය 7ක 8ක දුරක ඇති මහරගම පිළිකා ආයතනයට සැමදාම කොස් ‍රැගෙන  ඒමට පියාට නොහැකි බව වටහා නොගත් ඇයගේ අහිංසක ඇස් වලින් දිගින් දිගටම කඳුලු එන්න ඇති.

******************************************************
ඒ අපේ ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ ළමා වාට්‍ටුව. 


උදෑසනම මගේ සිත සසල කරන දසුනක්. යම්තම් බහ ‍තෝරන වියේ දරුවෙක්. මුහුණ ඉදිමිලා. Nephrotic Syndromeවකුගඩු වලට බලපාන රෝගී තත්වයක්) බැලූ බැල්මට මට පෙනුණා. 
ඒ එක්කම එයාගෙ ටී ෂර්ට් එකට මගෙ හිත ඇදිලා ගියා.


ග්ලෝරියා, ඇලෙක්ස්, ජුලියන්, සහ මාටි හිනා වේගන මා දිහා බලාගෙන ඉන්නවා. මැඩගස්කර් චිත්‍රපටයේ සියලු දසුන් මා ඉදිරියේ මැවී ගියා.


"අනේ ලස්සන ටී ෂර්ට් එකක්. කව්ද අරන් දුන්නෙ?"


ඔහු ලැජ්ජාවෙන් මුහුණ සඟවාගත්තා.


"කියන්නකො අනේ"


"ආච්චි" සුරතල් මොළකැටි හඬින් උත්තරයක් ඇහුණා හිමින්.


ඔහු සෙනෙර. 
       එතැන් පටන් ඇරඹුණ අපේ අපූරු යාළු කම දිනෙන් දිනම දලු ලා වැඩුනා. අසාමාන්‍ය ලෙස තිබූ පීඩනය නිසාම එපා වෙලා හිටිය ළමා වාට්‍ටුව මට ප්‍රිය තැනක් බවට පත් වුණා. 
විශ්වාස කරන්න, මම උවමනාවටත් වඩා වචන පාවිච්චි කිරීමත්, සෙනෙර ඒ වන විට දැන සිටියේ ඉතාම අඩු වචන ප්‍රමාණයක් වීමත් පුංචි බාධාවක්වත් වුණේ නෑ අපේ යාලු කමට.


       මගෙ වෙද නළාව සෙනෙර ට සෙල්ලම් බඩුවක් බවට පත් වෙද්දි දිනෙන් දිනම සෙනෙරගෙ තත්වය හොඳ අතට හැරුණා. කලින් ඉදිමුණ මුහුණින් හිටිය සෙනෙරගෙ සැබෑ ලස්සන මුහුණ මට දැක ගන්නට ලැබුණා. හැමදාම උදෑසන සෙනෙර එක්ක කතා කරලා තමයි මම දවසෙ වැඩ පටන් ගත්තෙ.


අපි ඒ වාට්‍ටුවෙන් යන දිනය එළඹුණා. කාර්ය මණ්ඩලයට අප විසින් දුන්න පුංචි සාදයෙන් පස්සෙ මා සෙනෙර සොයා ගියා.


"පැටියෝ, මම හෙට ඉඳන් මෙහෙ එන්නෙ නෑ." මම කිවුවා. 


නමුත් ඒ පිළිබඳව ඔහුට වැටහෙයි කියන බලාපොරොත්තුවකින් නොවේ. වඩාත්ම අවශ්‍ය වුණේ ඒ වන විට මා සමග බොහෝ හිතවත්ව සිටි සෙනෙරගේ ආච්චිට සමු දීමයි මගේ අරමුණ වුණේ.


ඒත් මම නොහිතුව විදියට පුංචි ඇස් දෙකට කඳුළු පිරුණා.
ඔහු මගෙ අතින් අල්ලා ගත්තෙ කවදාවත් යන්න දෙන්නෙ නෑ වගේ. හයක් හතරක් නොතේරෙන පුංචි දරුවාගෙ ඊළඟ වාක්‍යය මා පුදුමයට පත් කළා විතරක් නෙමේ, මගෙ ඇස් වලටත් කඳුලු ගෙනාවා.


"යන්න එපා. මම හෙට චුයින්ගම් අරන් දෙන්නම්" එක් වරම මා හට වැටහුනේ නැති ඒ වාක්‍යය මට තේරුම් කරලා දුන්නෙ ඔහුගෙ ආච්චි.


"ඔයාට කොහෙන්ද පැටියෝ සල්ලි?"


"කැටේ තියනවා"


මැඩගස්කර් ටී ෂර්ට් එක ඇඳන් හිටිය ඒ අහිංසක පුංචි දරුවා තවමත් මගෙ හිතට ගේන්නෙ පුදුමාකාර ලෙංගතු හැඟීමක්.

******************************************************
දඟකාර පෙනුමක් තියන පොඩි දරුවෙක් ඔසවාගෙන තාත්තයි අම්මයි දුවගෙන ආවා. පු‍ටුවෙන් බිමට පනින්න ගිහින් නිකට තුවාල වෙලා. මැහුම් දාන්න වෙනවා. සුපුරුදු විදියට ශේප් න්‍යාය පාවිච්චි කරමින් හිරි වට්ටවා මැසීමට මා සූදානම් වුණා.


"බබා ගෙ නම මොකද්ද?"


"ශේන්"


"බබා මොන්ටිසෝරි යනවද?"


"නෑ ඩේ කෙයා" 


"කවුද එහෙ යාළුවෝ?"


"විහඟි"


"ශා ලස්සන නමක්නෙ යාළුවාට තියෙන්නෙ.  ආනේ තුවාල වෙලා නේද පැටියො, ඉන්නකො අපි බේත් දාමු"


"මහන්නද යන්නෙ?" ඔහු වයසට වඩා පැහිලා. එකත් එකටම පෙර අත්දැකීම් ඇති.  පුංචි එකා ඒ තරම්ම දඟකාරයි කියලා මට හිතුණා.


"අපි බලමුකො" 
(නෑ නෑ මහන්නෙ නෑ කියලා පොඩි දරුවන්ට බොරු නොකියන්න මම කලින් පාඩමක් ඉගෙනගෙන තිබුණනෙ.)


ඕනම චණ්ඩියෙක් වුණත් තුවාල වලට බේත් දාද්දි නම් අහල ගම් 7ටම ඇහෙන්න බෙරිහන් දෙන එක පුරුද්දක්.
හිරිවට්ටා මහන අතරතුර ශේනුත් ඒ රටාවටම අවතීර්ණ වුණා. ඔහු කැගසා හඬන අතර තුර මට අතරින් පතර අපැහැදිලිව වාක්‍යකුත් ඇහුණා. හිතට පුදුමාකාර හැඟීමක් ආවෙ ඒ වාක්‍යය අහිංසක ඉල්ලීමක් බව වැටහුණු විටයි. 


"ඩොක්ටර්.... මාව වඩාගන්න මාව වඩාගන්න. මාව මහන්න එපා වඩා ගන්න"


මැහුම් කීපය දමා අවසන් වූ පසුව බෙහෙත් ලිවීමී කාරයය මා සිදු කළේ ඔහුව වඩාගෙන ගොස් මගේ මේසය මත තබා හිඳවීමෙන් පසුවයි.



******************************************************


මේ වගේ සිදුවීම් නම් අප්‍රමාණයි. ඉඩ ලැබුණ විටදී අකුරු කරන්නම්

64 comments:

  1. කොස් ඉල්ලපු ළමයගෙ කථාවටනම් ඇස් වලට කඳුලු ආවා... අනිත් කථාත් සංවේදී... ළමා ලෝකය කොච්චර සුන්දරද

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ඒ තරම් සුන්දර ළමයින්ම තව අවුරුද් 10ක් , 15ක් යද්දි කොහොමද මේ තරම් වෙනස් වෙන්නෙ

      Delete
  2. අපේ මෑනුත් දැන් අඬන්න පටන් ගන්නේ වාක්‍ය දෙකකින්..

    දුක... හිතුනා.......

    මාව වඩා ගන්න... මාව වඩා ගන්න......

    මෙතනින් එහාට පදවැල් වෙනස් වෙනවා අවස්ථාවේ හැටියට... කොට්ටේ තියලා දොයි කරන්න, පාරට යමු වාහන බලන්න, කාර් එකට යමු බත් කන්න ආදී වශයෙන්....

    කුරුණෑගල තැලිසීමියා ඒකකයේ ප්‍රජා සත්කාර කරන කාලේ මටත් ඔහොම අත්දැකීම් එමට....

    ReplyDelete
    Replies
    1. හරිම හුරතල් නේද එහෙම කියනකොට. තමන්ට තියන අවධානෙ අඩු වුනා කියලා තේරුණ ගමන් එයාලා එක එක ක්‍රම පාවිච්චි කරනව ඒ නැති වුණ අවධානෙ ගන්න

      Delete
  3. හරිම සංවේදී කතා ටිකක්...පුංචි අයත් එක්ක ඉන්නකොට හිතෙනවා ලෝකේ හරිම ලස්සනයි කියලා. සිඳු ඒ අතින් වාසනාවන්තයි.

    ReplyDelete
    Replies
    1. ඒ ලස්සන ඇතුළෙ හැංගුන දුක්බර කතා ගොඩයි සයුරි. විශේෂයෙන් පුංචි ළමෙක් නැති වුණොත් කොයි තරම් දුක හිතෙයිද. ඒ නිසා තවම කල්පනා කරනව ඉදිරියටත් ළමා ලෝකෙම ඉන්නවද, නැත්නම් වෙන ලෝකෙකට යනවද කියල

      Delete
  4. මට අහන්නම අපහසු දේ පොඩි දරුවොත් පිලිකා ,වකුගඩු ,අක්මාව සම්බන්ධ බරපතල රෝග වලින් පීඩා විඳිනව කියන එක .

    ReplyDelete
    Replies
    1. ඒවා අහන්න අමාරු නම් හැමදාම දකින අය කොයි තරම් දුක් වෙනවද TG. ඒ විතරක් නෙමේ, තමන්ට තියන අසනීපෙ බරපතල කම නොදැන හිනාවෙන ඒ පොඩි වුන්ගෙ අම්මලා තාත්තලා කොයි තරම් හිතෙන් විඳවනවද

      Delete
  5. හරි අපුරුයි සිදු...පුංචි පැංචන් ගැන ලස්සන සංවේදි විස්තර ටිකක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිම්ශා. :-) මේ වචන ගොඩක් වටිනව

      Delete
  6. අපි පිස්සු බල්ලෝ වගේ උදේ ඉදන් හවස් වෙනකම් එක එක දේවල් පස්සේ දුවනවා ඒ අතරතුරේ දැකපු මේ ලිපිය ආපහු ජීවිතේ ගැන නැවතිලා හිතන්න අපිව පොලබනවා. ඇත්තටම හුගාක් හොද ලිපියක් මහරගම පිලිකා රෝහල හා බැදුනු අතීත සංවේදී මතකයන් ගොඩකට මාව ආපහු අරන් ගියා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත, අපි පුංචි කාලෙ කොයි තරම් සරලද සැහැල්ලුද. දැන් අපිම ඒ සැහැල්ලු බව නැති කරගෙන, අපිම හදාගත්ත හිර ගෙවල් ඇතුලෙ දුවනවා

      Delete
  7. අපි ලංකාවට ගිය වෙලේ යාලුවෙකුගෙ ගෙදර ගිහින් ආපහු එන්න ඒ ගෙදරින් එලියට බැහැල ඇවිදගෙන එද්දි..අල්ලපු ගෙදර පුංචිම ලමයෙක් හරීම ලොකු උවමනාවකින් වගේ ඇස්පිල්ලන් ගහන්නෙ නැතුව මා දිහා බලන් උන්න...මට ඒක හරි අමුත්තක් වගේ දැනුන නිසා නැවතිලා වැට ලඟට කිට්ටු කරල එයාගෙන් ඇහුව ''ඇයි බබා''? කියල...එයා මගෙන් ඇහුව...''ඔයාට ජම්බු ගෙඩියක් කඩල දෙන්නද මම''?? මට ඒ සිද්දිය කවදාවත් අමතක වෙන්නෙ නැහැ..

    පිලිකා රෝහල ගැන මටත් අමතක කරන්න බැරි දුක්බර මතකයක් තියනවා...

    ReplyDelete
    Replies
    1. ඒක මගෙ හිතට ගොඩාක් වැදුනා. ඒ සිදුවීමට මුහුණ දුන්නු ඔයාට ඒක කොයි තරම් දැනෙන්න ඇතිද ඒ වචන ටික

      Delete
  8. පව් අප්පා....... කදුළු එන්න ආවා...

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් අනේ මන්දා. පරණ කවියක් මතක් වුණා.
      මා වැනි බිලින්දා
      වර වර ළඟට කැන්දා
      දුක් සැප කුමන්දා
      අසන නිරිඳෝ වෙන කොයින්දා.
      ( කවුරුන් කුමකට කා ගැන කිවුවාද අමතක නමුත්, මෙවන් සංවේදී රජෙක් ගැන පැවසූවක් විය යුතුයි:P )

      Delete
  9. පිළිකා ඒකකය ගැන කියත්දි මගේ සේවා කාළයේත් අවුරුදු හතක් විතර ගෙවුනු අපේ පිළිකා ඒකකය මතක් වුනා , ඒ දවස් වල පොඩ්ඩොන්ගේ හුරතල් විඳල , සමහර වෙලාවට අවාසනාවන්ත මොහොතටත් ලංවෙලා ඉන්න වුනු වෙලාවල දැනුනු හැඟිම් තවම දැනෙනවා.
    CHOP යන දවස් වල , ගල් මාළු හොදි එක්ක , පාන් කන්න ඕන කරල ගල්මාළු හොදි හොයන්න තාත්තලා කරාපිටිය පුරා දුවල විදින දුකක් ,

    හැබැයි වාසනාවට ඒ දරුවන් සමහරු අවුරුදු දහයකට පස්සෙත් දුරකථන ඇමතුම් දීල නර්ස් අංකල්ට ශිෂ්‍යත්වේ පාස් වුනු බව , අළුත් ඉස්කොලෙට ගිය බව කියන්න තරම් සංවේදී නිරෝගී දරුවන් කිහිපදෙනෙක් හරි ඉතිරිවීම ගැන සතුටක් තිබෙනවා .

    සමාවෙන්න මගේ කොමෙන්ට් එක ලිපියට නොගැලපේද මන්ද , ඒත් පිළිකා ඒකකය ගැන කතා කරත්දි “අර ඇම්ඩාගේ“ කතාවල වගේ ඉබේම හිත ඇදිල යවා ඒ කාළෙට .

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එකක් කවදාවත් ගැලපෙනවා හෝ නොගැලපෙනව කියලා දෙයක් නෑ නේද අයියෙ මේ වගේ කාරණා වලදි. ඇත්තටම මේ සේරම කමෙන්ට්ස් මගෙ ලිපියට ඌන පූර්ණ සපයනව. මට අමතක වුණ තැන්, මගෙ අතින් සටහන් නොවුණ දේ මතක් කරලා දෙනව

      Delete
  10. කොස් ඉල්ලන බබා මොන වාට්ටුවෙද? මගේ මෑන්ට ලම්බා පන්ක්චර් 1ක් තියනවා සඳුදා. හදාගෙන යන්නම්.

    ReplyDelete
    Replies
    1. මේ අවුරුදු 2කට විතර කලින් කතාවක් අකලංක අයියෙ. ඒත් ඒ සිතිවිල්ලම වටිනවා. ඔයාගෙ පුතාට නිරෝගී සුව ප්‍රාර්තනා කරනවා, වේදනාවකින් තොරව ලම්බ පන්චර් එකට මූණ දෙන්න ලැබෙන්න ප්‍රාර්තනා කරනවා

      Delete
    2. වරදවා හිතන්න එපා,ලම්බ පන්චර් කියන්නෙ මොකක්ද?දන්නෙ නැති නිසයි අහුවෙ.
      පිළිකා රෝහල සම්බන්ධ මතකයන් මටත් තියෙනවා.ඇත්තටම ඒවා හරිම දුක්බරයි. :(

      Delete
    3. Lumbar puncture විවිධ රෝග නිර්ණ කාර්යයන් සඳහා කරන පරීකෂණයක්. ඒ සඳහා පිටකොන්දෙන් මස්තිශ්ක සුශුම්නා තරලය ලබා ගන්නවා (මොළය හා සුශුම්නාව ආශ්‍රිත තරලයක්). "කොන්ද විදලා වතුර ගන්නව" කියල සාමාන්‍ය ව්‍යවහාරයේදී පැවසෙන්නෙ මේ දේ. හරියට නිකම් රුධිරය පරීක්ෂා කරනව වගේ ඒ තරලයේ විවිධ අංග (components) පරීක්ෂාවට ලක් වෙනවා

      http://www.youtube.com/results?search_query=lumbar+puncture&oq=lumb&aq=5&aqi=g10&aql=&gs_l=youtube.1.5.0l10.3266.5487.0.9659.6.6.0.0.0.0.483.1526.0j4j4-2.6.0...0.0.z3Duz0UzQYE

      Delete
  11. හරිම දුකයි... පොඩි ළමයි ඉන්නේ සුන්දර ලෝකයක

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මල්ලි.

      Delete
  12. මොනවා නම් කියන්නද ??? ඒ ළමයින්ට ඉක්මන් සුව පතනවා හැරෙන්නට

    ReplyDelete
    Replies
    1. සමහර අසනීප ඉක්මනින් සුව වෙනව. සමහර ඒවා අමාරුයි. තවත් සමහර ඒවාඅ සුව වෙන්නෙම නෑ. වාසනාවට වගේ ගොඩාක් අසනීප අයිති වෙන්නෙ පළමු ගණයට

      Delete
  13. ලියුකේමියා, පිලිකා, මේවගේ රෝග දැන් දැන්. හඹා එන්නේ අපි නොහිතන වේගයෙන් ඒත් ඒවගේ රෝග පුංචි එවුන් ගිල ගත්තතාම දැනෙන්නේ වේදනාවක්..

    අර"සියුමි" බලන්න කොයිතරම් අවාසනාවන්තද, ඇය දුප්පත් දැරියක් වුණාට අම්මගෙන් තාත්තගෙන ඉල්ලුවේ හැම්, බේකන්, චීස්, සොසේජස් , නෙවෙයි. "කොස්" කොයිතරම් අවසානාවන්තද ඒවගේ දෙයක් දෙන්න බැරිවුණාමත්

    සංවේදි.. අත්දැකීම්...

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි ඒක පුදුම අවාසනාවක්. ගෙදර ඕනා තරම් කොස් තියනව ඇති. ඒත් ඒවා අරන් තාත්තාට හැමදාම එන්න බෑ. මහරගමට නුදුරු දෙල්කඳ පොළ දෙපැත්තෙ හැම ඉරිදාම කොස් විකුනනව. ඒත් ඒවා ගේන්න අම්මට යන්න බෑ. ගෙනාවත් උයන්න බෑ.

      Delete
  14. හරිම ආදරණීයයි සිදූ.. මට වැඩියත්ම ආදරේ හිතුණේ චුයින්ගම් දීලා නවත්තගන්න හදපු එකට.
    ඒත් මේ සමහර කතා යටින් දැනෙන වේදනාව කොයි තරම්ද..?

    ReplyDelete
    Replies
    1. ඒ අවස්ථාව ගැන මට තවමත් දැනෙන දේ ඔයාට තේරෙනවද මන්දා. ඒ තරම්ම සංවේදීයි.එයා මාව නවත්තගන්න හැදුවෙ හරියට පුංචි ළමෙක්ව රවටගන්න හදන වැඩිහිටියෙක් වගේ. විශ්වාස කරන්න මම ඒ දරුවට ඇපල් ගෙඩියකට වඩා දෙයක් දීලා නෑ ඒ සති 2 ටම.ඒත් බලන්න ඒ හිත, කොයි තරම් අහිංසකද

      Delete
  15. කාලෙකින් ගොඩක් ආසාවෙන් කියෙව්ව ලිපියක්! පොඩි එවුන්ගෙ ලෝකෙ ගැන නම් කොච්චර අහන්න දකින්න තිබ්බත් ඇති වෙන්නෙ නෑ.
    නීතා රීති ගොඩක් මැද වුනත් ගොඩක් ආසාවෙන් ගත කල කාලයක් තමයි ලමා රෝග වාට්ටුවෙ ගත කල කාලෙ! කොයි කවුරු වුනත් අසනීප වෙලා ඇඳක වැටිල ඉන්නව දකින එක දුකයි තමයි. ඒත් කොයි වෙලෙත් තොර තෝංචියක් නැතිව කියවන, දඟලන, හිනාවෙන පුංචි පැටව් මලානික වෙලා ඇඳක වැටිල ඇස් වල කඳුලු පුරෝගෙන ඉන්නව දකින එක ගොඩක්ම අමාරුයි නේද?

    ReplyDelete
    Replies
    1. බොරු කියන්නෙ මොකටද, අපේ හැමෝගෙම අදහස අනුව අකමැතිම වාට්‍ටුව මේ වාට්‍ටුව. ( හේතු ඔයා කිවුව ඒවාම තමයි) ඒත් මේ වගේ සිදුවීම් නිසා අමතක කරන්නත් අමාරුම වාට්‍ටුව ඒකමයි

      Delete
  16. මේ ලිපිය කියෙව්වාම මගේ සිමාවාසික කාලේ මතක් වුනා. වැඩ අධික කාලයක් වුනත් ළමා වාට්ටුවේ පොඩ්ඩො එක්කත් බිළිදු ඒකකයේ පැoචො එක්කත් ගෙවුනු සය මස නම් හරිම සුන්දරයි.. කාලයක් යද්දි තොටියට "බේබි ඩොක්ටර්" කියල අන්වර්ථ නාමයකුත් හැදිල තිබුනා

    ReplyDelete
    Replies
    1. ශා තොටියත් සීමාවාසික කාලෙ කළේ ඒකද. සිඳු හිතාන ඉන්නෙත් එහෙමම කරන්න තමයි.
      (කිලිනොච්චියෙ, පුදුමාතලන්, පුදුකුඩුඉරිප්පු , කයිට්ස් ඒ වගේ කොහෙ හරි lol)

      Delete
    2. අනේ නඟෝ, තවම ඔය කිව්ව තැන්වල සීමාවාසික පුහුණු තවම නැත. ඒ හින්දා බයවෙන්ඩ කාරි නෑ. උපරිම වැටුනත් වව්නියා ත්‍රිකුණාමල, මඩකලපු තමා.. හැබැයි පශ්චාත් සීමාවාසික නම් ශෝචනීයයි.ඔය ඕන තැනක් සෙට් වෙන්න පුළුවන්...

      Delete
  17. සංවේදි කතා ටිකක්! ගුවන්තොටුපොලවල්, ඉස්පිරිතාල කියන්නේ මං ආසම නැති තැන් දෙකක්!

    ReplyDelete
    Replies
    1. කවුදා ආසා ඒවාට. ඒත් මම හිතන්නෙ ලංකාවට එද්දි ආසාම තැන වෙන්න ඇති ක‍ටුනායක

      Delete
  18. ඉස්පිරිතාල් නම් මමත් ආසම නැති තැනක්,,ඒ තරමට මමත් ඕවගේ ඉදලා තියනවා,,අනික් අය ලග තනියටත්,,මමත් කාලයක් ඇදකත්, අර තනියට ඉදපු කාලේ,ඔය පොඩ්ඩන්ගේ වැඩත් මම දැක්කා හොදටම

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ඩිලන් ගෙ මේ අදහස මම කලිනුත් දන්නව

      Delete
  19. පොඩ්ඩන්ගේ ලෝකය තරම් සුන්දර ලෝකයක් තියෙනවද... හරිම ලස්සනයි අක්කේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි. ගොඩක් සුන්දරයි තමයි

      Delete
  20. කතා ඔක්කොටම ඇස් වලට කදුළු ආවා. කියන්න මොකුත් හිතෙන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. මොකුත් කියන්න එපා තරු. හිතේ තියාගන්න.

      Delete
  21. දුක හිතෙන කතා ටිකක් !
    ඒක නෙමේ සිඳු දොස්තර නෝනා නෙකෙන් දෑ ? සතුටුයි සතුටුයි !!!

    ReplyDelete
    Replies
    1. හෑ සිඳු එහෙම එක්කෙනෙක්ද. ???

      Delete
  22. මේ ලෝකේ බලන්න අමාරුම දේ තමයි ළමයි ලෙඩ වෙලා ඉන්න එක . ඔයාට අඩු ගානේ ඒ ළමයින්ට උදව් කරන්න පින ලැබිල තියෙනවා . ජිවිතේ කියන්නේ තණ අග පිනි බිඳක් වගේ . හරිම සංවේදී ලිපියක් . අපිටත් සති දෙකක පුහුණු කාලයක් තිබුන මහරගම . ළමයින්ගේ පරීක්ෂණ වලට සාම්පල ගන්නවා බලන්න සිද්ධ වුනා . ළමා රෝහලේදීත් එහෙමයි . පුදුම දුකක් . පිළිකා රෝහල ගැන නම් අමිහිරි මතක ගොන්නක් තියෙනවා .

    ReplyDelete
    Replies
    1. මේ පැත්තෙ ආවට ස්තූතියි බින්දි. පිළිකා රෝහල ගැන මිහිරි මතක ඇත්තෙම නැති තරම්

      Delete
  23. දිග සුසුමක් හෙලලා හිත සැහැල්ලු කරගන්න සිද්ද උනා.. ඔබේ ආදරේ ප්‍රතිකාර වලටත් ඉහලින් දරුවන් සුවපත් කරාවි..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්. දරුවන් දෙදෙනෙක්ගෙ තාත්තා කෙනෙක් විදියට සරත් අයියාට අපිටත් වඩා දැනෙනවා ඇති දරුවො කියන්නෙ කවුද කියල. දරුවො ගැන ඔයා කොයි තරම් සංවේදීද කියල දැනෙනවා ඔයාගෙ සමහර ලිපිවලින්. (ඉන්දියාවෙ අත්දැකීම් එහෙම)

      Delete
  24. කටපාඩම් කරන්න තිබුණු නොහැකියාව සහ අකමැත්ත විසින් මා ගණිත අංශයට යොමු නොකරන්නට, ජීව විද්‍යාව කෙරේ යොමු වන්නට තිබුනා. ඒ විෂයය ක්ෂේත්‍රයට ඇති ආශාවටත් වඩා වෛද්‍ය වෘත්තීය කෙරෙහි වූ දැඩි ඇල්ම හේතුවෙන්. කොහොමින් නමුත් අද ඒ අවස්ථාව අද මගෙන් හිලිහී තිබෙනවා. නමුත් ඔබේ ලිපි පෙළ කියවද්දී ඒ අත්දැකීම ලබන්නට මට කවරදාක වත් හැකියාවක් නැති බව අවබෝධ වෙනවා. ඒ කොහොමින් නමුත් ඔබේ අත්දැකීම් බෙදා ගැනීම වෙනුවෙන් ඔබට බෙහෙවීන් ම ස්තුතිවන්ත වෙනවා!

    පිළිකා වාට්ටුව කියන්නේ මම යන්න අකමැති ම තැනක්. මගේ එක්තරා මිත්‍රයෙක්ගේ මව සේවය කරන්නේ කරාපිටිය පිළිකා වාට්ටුවේ. ඇගේ අත්දැකීම් පිළිබඳව අහද්දී ජීවිතය කියන්නේ කොයි තරම් අස්ථිර දෙයක් ද කියලා වැටහෙනවා. ඒ වගේ ම පුංචි දේටත් ජීවිතේ කලකිරෙන අපේ ජීවිත කොයි තරම් නම් ප්‍රාථමික ද කියලා හිතෙනවා. සමහර වෙලාවට මේ ජීවත් වුණා ඇති කියලා හිතලා සියදිවි නසා ගන්න හදද්දී, පුළුවන් නම් තව මොහොතක් ජීවත් වෙන්න වරම් ඉල්ලන ඒ අහිංසක දෑස් සිහිපත් කරන්න.

    ජය වේවා අක්කේ!

    ReplyDelete
    Replies
    1. හැම රස්සාවකම විශේෂත්වයක් තියනව නේ. ඔයා කරන / කරන්න ඉන්න රස්සාවෙ අත්දැකීම් කවඩවත් මට ලැබෙන්නෙ නෑනෙ. ඒ නිසා තමයි මේ ලෝකෙ විවිධත්වයක් තියෙන්නෙ

      Delete
  25. පුoචි ළමයිනෙ කතානම් කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑනෙ. ඊටත් වඩා මේ කතා පොකුරනම් ගොඩක් සoවෙදීයි. සිතිවිලි ගoගාවක් ගලා එනව. ලස්සනට ලියල තියෙනව.

    (කලින් සමහර ලිපි කියවල තිබුනට අද තමයි ඔන්න සලකුනක් තියල යන්නේ

    ReplyDelete
    Replies
    1. ඇවිත් යනවට ගොඩක් ස්තූත්යි sanda

      Delete
  26. ගිහාන්June 26, 2012 at 6:28 AM

    මේක තමයි මම ඔයාගෙ බ්ලොග් එකේ කියවපු හොදම පොස්ට් එක.එහෙම කිව්වට තරහ වෙන්න එපා.හිතට වැදුන ගොඩක්.

    ReplyDelete
    Replies
    1. තරහයි තරහයි. ඒත් එහෙම කිවුවට ස්තූතියි මල්ලි
      :)

      Delete
  27. ගොඩක් හිතට වැදුනා....හරිම සංවේදී..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි.

      Delete
  28. සුන්දරයි.. පුංචි දරුවෙක් කියන්නෙ රටකට තියන වටිනාම වස්තුව කියන්නෙ ඇත්තක්මයි.. ඒ එක පුංචි දරුවෙක් වෙනුවෙන් ඕනම කැපවීමක් කරන්න රට සූදානම් විය යුතුයි කියන්නෙත් ඒකමයි!

    -ඩයිනමයික්

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ඩයිනො. ස්තූතියි. මේ මේ අන්න පා සටහන් මැකිල යන්න හදන්නෙ. මෙහෙම කිය කිය ඉඳලා බෑ, පෝස්ට් එකක් දාන්න

      Delete
  29. හොඳමදේ ළමයින්ටයි කිව්වටමොකෝ,එහෙමවෙන්නෙයි හිතෙන්නෙයි කීයෙන්කී දෙනාටද?

    ReplyDelete
    Replies
    1. ඒවා නිකම් වචන විතරයි දැන්. අද ටී වී එක බැලුවත් තියෙන්නෙ දරුවන්ට නරක දේනෙ. ඉතින් තවත් මොනාද. ස්තූතියි විමුක්ති

      Delete
  30. පොඩි එකක් අර T shirt එක ගැන.....එතන ජුලියන් (King Julian) පේන්න නෑනෙ....මෙල්මන් නම් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. අනේ ඔව්මයි. ජුලියන් කොහෙද මෙතන. මෙල්මන් ඉන්නෙ. පොඩි වැරදීමක් ඉතින්.
      දන්නවද, මේකමයි අර බබා ඇඳ හිටිය t shirt එක. ගූග්ල් වල නිකම් හොයද්දි හම්බුනේ.

      Delete