සන්නාලියක් ඇමතීම


නිදි වරා මසාලන 
ජීවිතේ ගෙත්තමට
නූල් එක්කාසු කළ

සෝබර වු කවියක්ය
නැගණියේ නුඹේ නෙත...

දිවා රෑ පුරාවට
ඔරලෝසු මුහුණතේ
ක‍ටු දුවන තුරාවට
කිසිදිනෙක හිරු නොබස්නා
කම්හලේ මැසිම ළඟ

කිසි දිනෙක හිරු නොපෑයුව
විල් තෙරකි
නුඹෙ නුවන් යුග

සැඳෑ අඳුරට හොරෙන්
නෙතු පියන්නට විඩාබර
සිහින සොයමින් දිවයත
නුඹෙ පසුපසම 
අඩි තබා ආ රාත්‍රිය

නුඹෙ දෙපා ළඟ නැවති
නුරා පිරි බැලුම් නම්
බොහොමයක් හෙළන්නැ'ති

පරව යන දෙපා පෙති,
ගිනියම් වු මාවතට
හසු වෙලා තව තවත්
මුකුලිතව මියෙන සඳ,

විඩා බර ඒ දෙපා
සෙනෙහසින් පිරිමදින
කිසිදු පෙම්වතෙක් නම්
මේ ලොවේ නැතිව ඇති......



Comments

  1. //විඩා බර ඒ දෙපා
    සෙනෙහසින් පිරිමදින
    කිසිදු පෙම්වතෙක් නම්
    මේ ලොවේ නැතිව ඇති..//

    නැතිම වෙන්න බෑ,,, කොහේ හරි කෙනෙක් ඇති...

    සිය ගනනක් කවියන්ගෙ කවියට නිමිත්තක් වෙච්ච.. අහින්සක අසරණී.. තාමත් තාමත් එතනමයි...

    ReplyDelete
  2. මී ගොඩයාගෙ කතාව හරි.. බොහෝ කවියන්ගේ නිමිත්ත උනත් අදත් ඇය තරම් සූරා කෑමට ලක්වෙන තව කෙනෙක් නැති තරම්..

    ReplyDelete
  3. අපේ අම්මට මේ කවි සෙට් එක පෙන්වන්ඩ ඕන. මොකද අපේ අම්මත් ගාමන්ට් එහෙක වැඩ කරපු කෙනෙක් නෙ :)

    ReplyDelete
  4. මැෂින් වලටම තරුණ කාලෙ දිය කරන අසරණියන්ගෙ දුක සිඳූ ගොඩ දැනෙන විදිහට පද වලට හරෝලා තියෙනවා. නියමයි!

    ReplyDelete
  5. හරිම අපූරු සංවේදී නිර්මාණයක්!

    ඔබට ජය

    ReplyDelete
  6. මැෂිමට යටවෙච්ච ජීවිත ගැන තේරෙන බාසාවෙන් ! ජය

    ReplyDelete
  7. දුක්බර ජීවිත. ඒත් ඔවුන් රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න කොපමණ දායකත්වයක් දක්වනව ද?

    ReplyDelete
  8. දෙනෙතකින් කියැවෙන ලස්සන කතාවක්!!!

    ReplyDelete
  9. අවලස්සන සිදුවීමක් ගැන ලස්සන කවියක්~!

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  10. අන්තිම කවියේ අර්ථයනම් නියමයි.

    ReplyDelete
  11. හ්ම්ම්...දුකයි. මොනවා කියන්නද මන්දා

    ReplyDelete
  12. මොකද නිකම් කම්මැලිකමක් ගහලාවගේ..

    ReplyDelete
  13. මේවා තමයි නියම නිසඳැස් කවි. කවිය ගැනන් කියන්න දෙයක් නෑ අති විශිෂ්ඨයි.

    ReplyDelete
  14. කවිය ඇත්තටම ලස්සනයි අක්කේ...

    ReplyDelete
  15. කියන්න වචන නෑ.. සිරාවටම ලියලා..

    ReplyDelete
  16. කුවේණියගේ නැගණිය කම්හලේ වැඩ මුරයේ කපු කටින්නී යැයි ප්‍රදීපා ගායනා කල සින්දුව මතක් වුනා..

    ReplyDelete

Post a Comment