Tuesday, February 4, 2014

Treasure in the SUITCASE

මේ දවස් වල ලොකු වැඩකුත් නෑ. ඒත් ලියන්න දෙයක් මතක් වෙන්නෙත් නෑ. 
ඒ අතරතුර තමයි ජනූ අක්කගෙ "නිධන් හෑරිල්ල" කියෙවුවෙ. 
ඒ ලිපිය මාව මගෙ පුංචි කාලෙට ගෙනිච්චා. (හැමදාමත් වගේ)

අපේ ගෙදර තිබුණා ටිකක් ලොකු සූට් කේස් එකක්. ජනූ අක්කගෙ කාමරේ වගේ , අපේ ගෙදර තුබුණු දේවල් වලින් මගෙ කුතුහලය වැඩියෙන්ම අවුස්සපු දෙයක් තමයි ඒ.

ඒක අම්ම කැම්පස් යන කාලෙ ඇඳුම් ගෙනියන්න පාවිච්චි කරපු එකක්. ඇඳුම් ගෙනියන්න වගේම, කැම්පස් යන දවසට බස් එකක් එනකම් පාරෙ හිටගෙන ඉද්දි කකුල් රිදෙන වෙලාවට ඒක කෙලින් හිටවලා ඉඳගෙන ඉන්නත් පුලුවන් වුනාලු.


පස්සෙ කාලෙක තමන් සතු සමහර දේවල් පුංචි සිඳුගෙ ආක්‍රමණ වලින් බේරන්න මේ සූට් කේස් එකේ දාලා අම්ම අරන් තියලා තිබුණා. ඒවා සිඳු ලොකු වුණාම දෙනව කියල තමයි අම්ම කිවුවෙ. ඒත් ඒ වෙනකම් ඉවසන්න පුළුවන් කමක් සිඳුට තිබුණෙ නෑ.


පු‍ටුවක් තියලවත් අල්මාරිය උඩ තිබුණ ඒ සූට් කේස් එක බිමට අරගන්න සිඳුට බෑ. ඒක ඒ තරම් ලොකුයි.

සිඳු ෆුල් අප්සට් ගහලා ඉන්න වෙලාවල් වල එහෙම එයාගෙ හිත හදන්න අම්ම මේ සූට් කේස් එකේ තිබුණ දේවල් පාවිච්චි කළා. ඒව එලියට ගත්තම නිකම්ම ශේප් වෙනවනෙ.

ඒකෙ තිබුණෙ මහ ලොකු දේවල් නෙමේ. ඒත් ඒ හැම දේටම මම පුදුම විඩියට ආසා කළා.මට අම්මා මුලින්ම අන්දවපු ඇඳුම, පොඩිම කාලෙ දාපු වූල් සපත්තු දෙකයි තොප්පියයි ඇරෙන්න 

සුදු, රතු සහ කලු පාට දාදු කැට කීපයක්, 
පිටරට මුද්දර වගයක් , 
පරණ අත් ඔරලෝසු මූණතක් , 
ලස්සන සුබ පැතුම් පත් 
වගේ දේවල් තමයි ඒකෙ තිබුණෙ. 

ඒ සුබ පැතුම්පත් නම් හරිම ලස්සනයි. ඒ සමහර ඒවා අම්මයි මමයි අම්පාරෙ ඉන්න කාලෙ අප්පච්චි එවපු ඒවා. අනිත් ඒව අම්මගෙ යාලුවො එවපුවා. 
ඒව කොහොම හරි අරගෙන පින්තූර ටික කපා ගන්න මට ඕනා වුනත්, ඒවා ලොකු වුණාම දෙන්නම් කියලා අම්මා එවා අරන් ආපහු අර සූට් කේස් එකටම දැම්මා. 

මේ තියෙන්නෙ පස්සෙ කාලෙක සිඳුගෙ අයිතියට පත් වුණ ඒ කාඩ් වලින් එකක්.ඒකෙ තියෙන්නෙ වෙස්සන්තර ජාතකය. ඒ කාඩ් එක විතරක් උදවු කරගෙන අම්මා මට වෙස්සන්තර ජාතකයම කියලා දුන්නා.තවමත් කොහෙන් හරි වෙස්සන්තර ජාතකය ගැන අහද්දි හිතට එන්නෙ මේ වෙසක් කාඩ් එක.
මේ කාඩ් එකේ ඉස්සරහ තියෙන්නෙ බුදු හාමුදුරුවො, රාහුල කුමාරයාව මහණ කරන්න එක්කන් යද්දි දුකෙන් බලාගෙන ඉන්න යශෝදරා දේවි. 


ඒකෙ ඇතුල් පැත්ත පෙරලද්දි, ඒ යශෝදරා දේවිම මන්ද්‍රි දේවි විදියට වෙස්සන්තර ජාතකය ඉන්නවා. හරිම ලස්සන නිර්මාණශීලී සුබ පැතුම් පතක්.


පරණ ඔරලෝසුව වටින එකක් නිසා හෝ විසි කරන්න අමතක වුණ නිසා හෝ, එහෙමත් නැත්නම් හදන්න දෙන්න අමතක වුණ නිසා හෝ ඒකෙ තියෙන්න ඇති. ඒත් ඒක මට දැනුණෙ මහානර්ඝ වස්තුවක් වගේ.

මම කොහෙන් හරි අහල තිබුණා ඔරලෝසු ඇතුලෙ මැණික් ගල්, දියමන්ති එහෙම තියෙනවා කියලා. 

ඒක හොයාගන්න ලොකුම අවස්ථාව උදා වුණේ අම්මගෙ පරණ සූට් කේස් එකේ තිබුණ අත් ඔරලෝසු කෑල්ල මගෙ අතට ලැබුණ දවසෙ.

ඒත් ඒක ගලවලා බලන එක තමයි ප්‍රශ්නෙ වුණේ. එක එක දේවල් පාවිච්චි කරලා උත්සාහ කළා හරි ගියෙ නෑ. අන්තිමට මම තීරනයකට ආව.
ඔරලෝසුව වගේද ඒක් ඇතුලෙ තිබිලා දියමන්ති හම්බුනොත්!ඔරලෝසුව ගලක් උඩ තියලා, තව ගලකින් ඒක තැලුවා. මුලින්ම කුඩු වුණේ වීදුරුව. ඒ ලඟට ඔරලෝසු ක‍ටු ටික කැඩිලා ගියා. ඔහොම ටික වෙලාවක් යද්දි ඒකෙ මූණත ගැලවිලාම ගිහින් ඇතුලෙ තියන පොඩි පොඩි දැති රෝද ටිකක් මතු වුණා. සොයන්නාට සම්භ වුණා! ඇත්තටම ඒක ඇතුලෙ පුංචිම පුංචි රෝස පාට මැණික් කැට වගයක් තිබුණා. ( මම හිතන්නෙ ඒවා මැණික් ගල් ) ඒවා ටික ගිහින් අප්පච්චිට දුන්නෙ ඒවා විකුණලා සල්ලි ගන්න පුළුවන් නිසා. ඒත් එයා කළේ ඔලුවෙ අත ගහගත්තු එක විතරයි. 

ඒ ඔරලෝසු තැලිල්ලෙන් මට තව වාසියක් අත් වුණා. ඒකෙ ගැලවිලා තැලිලා ගිය මූණත, පරණ රජ කාලෙ කාසියක් කියලා හිතාගෙන මගෙ ළඟ ගොඩක් කල් තියාගන්නත් මට පුළුවන් වුණා. 

හොඳම වැඩේ තමයි, අපේ නංගිත් ඒක පුරාවිද්යාත්මක වටිනා කමක් තියෙන කාසියක් කියලා හිතාගෙන හිටිය එක. (එයා නම් තවමත් හිතන් ඉන්නෙ එහෙමද කොහෙද)

18 comments:

  1. මට පොඩි කාලේ ඔය වගේ . අපේ මහ ගෙදර ස්ටෝර්ස් රූම් වල තිබුනා ඒ කාලේ අපේ ධාන්‍ය අසුරන්න, ඒ වගේම අපි ඉපදෙන්න කලින් අපේ අප්පච්චිට තිබ්බ තවලමට පාවිචිචි කරපු බඩු තියාගත්තු ලොකු ලී පෙට්ටි. ඒ පෙට්ටි කොයි තරම්ද කියනවා නම් මායි අපේ අක්කලා දෙන්නයි අයියයි හතර දෙනාම බැහැලා ඉඳගෙන ඉන්නත් පුළුවන්. ගොඩාක් දවස් වලට මම හැන්ගෙන සෙල්ලම් කලාම හැන්ගෙන්නෙත් ඒ පෙට්ටි වල. විසේසයෙන් හොර වැඩක් කරලා මාට්ටු වුනාම ඉතින් බුරු බබා පෙට්ටියේ අස්සේ නිදාගන්නවත් එක්ක. එක දවසක් අම්මලා මාව හොයලා හොයලා නැතිව අන්තිමට නිකමට බලනකොට මම අර පෙට්ටියේ හොඳට නිදිලු. එදා තමයි මම හිතන්නේ ඒකේ රිංගපු අන්තිම දවස.
    අනෙත් එක අපේ මහ ගෙදර සොල්දරයට නඟින එක. මී පැටියා වගේ කාලෙත් මොනවා කරලා හරි මම එකට නගිනවා. මට වඩා ලොකු අය ගෙදර හිටපු හින්දා ඒ අය මම කරන ඕනෙම දේකට බැනුම් ඇහුවා. අන්තිමට සොල්දරේට නගින්න හදලා තිබ්බා ලී පඩි පෙල ගලවලාම දැම්මා මාව බේරන්න බැරිව.
    අපේ අම්මගේ සීකෝ ද කොහෙද බ්‍රෑන්ඩ් එකක අලුත්ම අලුත් ඔරලෝසුවකුත් මම අරින්න හදලා බැරි වුනාම ඇතුල බලන්න ඕනේ වුනාම මිටියෙන් ගහලා පලලා බැලුවා. දැන් හිනා ගියාට ඒ කාලේ කොහොම මාව බලා ගත්තද කියලා මට හිතාගන්නවත් බෑ. විනාඩි පහක් තනියම හිටියනම් කෑලිවත් හොයාගන්න නෑ ආයෙ කිසිදේක. ඒක හින්දමද මන්දා මම ඕනෙම මගේ දෙයක් අපේ එරික් බෝයිට හෙම සෙල්ලම් කරන්න දෙනවා. පොඩි කාලේ ඉඳන්ම එහෙම ඒවා ගැනcuriuos වෙලා හින්දමද මන්දා එයා එවා කඩන්නෙත් නෑ. කොටින්ම මම ඔය අලුත් ගැජමැටික් එකක් ගත්ත ගමන්ම මට කලින් ඒක ඔපරේට් කරන්න දන්නේ අපේ එරික් හෝ ඩැරන් බෝයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. දැන් ළමයින්ගෙ ලෝකෙ අපි පුංචි කාලෙට වඩා වෙනස්. ගොඩක්. කාලයත් එක්ක ඒක එහෙම වෙනව

      Delete
  2. අපිටනම් ඔහොම දේවල් එකතු කලා කියලා මතකයක් නෑ.. කෝම වුනත් ඔරලෝසු තැලිල්ල නම් මරු.. පවු අෆ්ෆා නංගී, තාම එයාව රවට්ටලා මෙයා..

    ReplyDelete
    Replies
    1. මොනවා හරි එකතු කරන්න ඇති දිනේශ් මල්ලි. ඒක අපේ දශකයෙ ඉපදුණු හැම ළමයම කළ දෙයක්

      Delete
  3. නංගිගේ විචාර බුද්ධියට නිගා කිරීම හෙලා දකිමි.

    ReplyDelete
    Replies
    1. හපොයි.... එයාගෙ විචාර බුද්ධිය ගැන නම් පෝස්ට් 2, 3ක් ලියන්න පුලුවන්

      Delete
  4. අපි ඒ කාලේ කාසි තලනවා කෝචියට තියලා...

    ReplyDelete
    Replies
    1. ඒක අපේ අප්පච්චි පොඩි කාලෙත් කරලා තියෙනවා. ඒ ගැනත් මම කලින් පෝස්ට් එකක ලිවුවා

      Delete
  5. අපේ ගෙදරත් තියෙනවා ඔයි කියපු ජාතියේ සූට් කේස් එකක් !

    ReplyDelete
    Replies
    1. ඒකෙ මොනවද තිබුනෙ??

      Delete
  6. අපේ ආච්චිලගේ ගෙදරත් තිබුන ටංක පෙට්ටියක් දැන්නම් එක දිරලම ගිහින්..

    ReplyDelete
    Replies
    1. ඒකට කියන්නෙ ට්‍රංක පෙට්ටියක් කියලද?

      Delete
  7. එක බෝස්ටුවේනේ කට්ටියම.. මගෙ නම් ඔහොම නිදන් අතරේ තියෙන්නේ වැඩිපුර පත්තරවලින් කපාපු කවිකෑලි එහෙම තමා..

    ReplyDelete
    Replies
    1. මගෙ ළඟත් තියෙනවා ඒ කාලෙ එකතු කරපු පත්තර කෑලි තවමවත්

      Delete
  8. දැන් ඔය ලොකු සූට් කේස් එකත් නිදන් කරාද?,,අම්මා ඔය සූට් කේස් එක ආරක්ශා කලේ දෑවැද්දට දෙන්නද කොහෙද?

    ReplyDelete
    Replies
    1. දෑවැද්දක් නැතුවම අපේ මහත්තයා මාව බාර ගත්තනෙ. ඒ නිසා ඒක අම්ම නංගිටවත් දෙයිනෙ

      Delete
  9. ඉස්කෝලේ යන කාලේ බැන්ද අත් ඔරලෝසුවේ පටි කැඩිච්ච ඔරලෝසු මුහුණ මන් ලග තාමත් තියෙනවා...ලංකාවෙන් එද්දි මන් අරන් ආවා......

    මෙයා ඔරලෝසුව තලලා තියෙන්නේ කොට්ටන් තලනවා වගේනේ

    ReplyDelete
    Replies
    1. ඒක කියද්දි මතක් වුණේ ඉස්කෝලෙදි කොට්ටන් තලපු හැටි. මතකයි නේද අපේ ඉස්කෝලෙ තිබුණ කොට්ටන් ගහ???

      Delete