Saturday, September 17, 2016

උදුලා

කලකට පෙරදී නවතා දැමු උදුලා නැවත ලිවීමට පටන් ගතිමි.


නළල දෙපසින් දාඩිය බිඳු වැගිරේ . ඉර හරි ඇතත් තවමත් හාත්පස උණුසුම්ය. විදිශ කුමරුන් තවමත් මා උර මතය. ගතට අසීමිත වෙහෙසක් දැනේ. කුසගින්නත් දාහයත් යටපත් කරගත් ඒ වෙහස සිත වසා ගත් ශෝකය නිසා යටපත් වී යයි.

මාලිගයෙන් පිට වූ මොහොතේ සිට කෑ ගසා හැඬීමට තරම් දුකකින් සිත පිරී ඇත. එහෙත් කදුළු බිදුවකුදු දෙනෙතට නොනැගේ. මොහොතින් මොහොත හිතේ පීඩනය වැඩි වනවා මිස අඩු වීමක් නැත.

විදීශ කුමරුන් පිළිබඳව ඇති වගකීම මා හිස මතය. එය වෙනත් කුඩා දරුවකු පිළිබඳව ඇති වන වගකීමකට වඩා වූ වගකීමකි. රාජ ලේ ඇති පුංචි කුමරා ඔහුය. රජකමට උරුමකම් කිව යුත්තේ ඔහුය. මගේ කුස තුළ වැඩෙන දරුවා මා හට මොහොතකට මතක් වී අමතක වී ගියේය.
විටින් විට වන හිස බමන ස්වභාවයත් , මුවට දැනෙන අපුලත් තමන් පිලිබඳව ඔහු මා හට සිහිපත් කරනවා බඳුය.

මාලිගයෙන් පිට වූ මොහොතේ පටන් විදිශ කුමරුන් නිහඬය. ඔහුව පාලනය කරගැනීමටත් ම හට අපහසු වේ යයි මා සිතා සිටියෙමි.
එහෙත් ඔහුගෙන් කිසිදු හැල හොල්මනක් නැත. ඔහු නිදිද නැත. කුමකින් කුමක් සිදු වීදැයි නිනව් නැතිවාක් මෙන් ඔහු තම හිස මා උර මත හොවාගෙන සිටියි. මාලිගයේ වූ කලබල ස්වභාවය නොතේරෙන්නට තරම් බුද්ධියෙන් හීන නොවූ විදිශ කුමරුන් හට බොහෝ දේ වැටහෙනවා ඇත.
අවම වශයෙන් තමා කලබල නොකර සිටිය යුතු බව හෝ ඔහුට අවබෝධ වී ඇත. බිම වැටි හඬන්නට තරම් දුකක් දැනෙන මේ මොහොතේ දිතට ඇති එකම සැනසීම ඔහුය.
කොතරම් දැසි දස්සන් පිරිවරාගෙන සිටියත් සිය පියාගේ තුරුලේ උණුසුම තරම් ඔහු සතුටු කළ ස්ථානයක් ඔහුට තිබුනේ නැත. නැවත ඒ තෙදවත් හඬ අසන්නට ඔහුටවත් මටවත් වත් ලැබේදැයි මා නොදනිමි.

අග බිසවුන් ද කොතරම් සර පරුෂ වුවත් ඒ විදීශ කුමරුන්ගේ මවය. හැරත් ඈ මා හට පෙන්වා සිටි තරම් අමනාපයක් ඇගේ සිත තුළ තිබෙන්නට නැත. නොමැති නම් ඈ තම පණ වන දරුවාව මා හට මෙසේ භාර නොදෙන්නේ නැත.

මෙය ඝන වනාන්තරයක් නොවේ. එහෙත් මෙහි විෂඝෝර සර්පයින් පිරී ඇති බව මා හට රහසක් නොවේ. මෙතරම් විශාල නොවුවත් කුඩා කාලයේ අනන්තවත් ලදු කලෑවල දුව පැන ඇවිද්දා මතකය. එහෙත් ඒ කිසිදු මොහොතක මෙවැනි බියක් සිතට නැගුනේ නැත. කිනම් හෝ මොහොතක දිවියෙකු වලසෙකු හෝ කුළු මීමෙකු හෝ මා ඉදිරියෙන් මතු වේ යයි සිතට ඇතුළු වන්නේ මහත් වූ බියකි. ඒ මා හට ඇත්තේ මා පිලිබදව වගකීම පමණක් නොව නිසාය.

මම ආපසු හැරී බලමි. හාත්පස ඇත්තේ වනාන්තරය පමණි. මාලිගය ඇති දිශාව තවමත් මා හට සිතා ගත හැකිය. එහෙත් මේ වන විට කුමක් සිදු වී ඇත්දැයි පිළිබඳව අදහසක් හෝ ගත නොහැකිය.
කුමකින් කුමක් වී ඇද්ද? මගේ නිරිදුන්... අග බිසව... සෙසු සියල්ලෝම... ඔවුනට කුමක් සිදු විද .සියල්ල සිහිනයක් මෙනි. ඊයේ දිනයේ මගේ රජතුමාගේ තුරුලේ නිදා සිටි මට නැවතත් ඔහු දැකුමට ඉඩක් හෝ නොලැබේ යයි මා සිත උමතු කරවන සුළුය.

සතුරා අබිමුව පලා යාම නිරිදෙකුට තරම් නොවන බව සැබෑය. එහෙත් තව දුරටත් රට වැසියන්ට සේවය කිරීමට නම් දිවි බේරාගත යුතු නොවේද. ඒ පිළිබඳව මගේ රජතුමාණන්ට පැහැදිලි කිරීමට තව මිනිත්තු කිහිපයක් හෝ වැය කළා නම් අගනේ බව මා හට දැන් සිතේ.
එහෙත් බුද්ධියෙන් අග තැන්පත් අමාත්‍යදින්ගෙන් සමන්විත මැති සබයකට හිමි කම් කියන ඔහු හට මගේ උපදෙස් හෝ අදහස් වලින් පලක් වන්නට ඇති ඉඩ කඩ බෙහෙවින් අඩුය.

විදිශ කුමරුන් මුවින් මඳ කෙඳිරියක් නැගේ. මා මඳකට නැවතී ඔහුදෙස නෙත් හෙළමි.
“විදිශ” මම සෙමින් ඔහු අමතමි. පිළිතුරක් නැති මුව නිහඬය. හිස් බැල්මකින් ඔහු ම දෙස බල සිටියි.
මහමෙරක් උසැති සුසුමක් හෙලීමට වැඩ දෙයක් සිදු කිරීමට මා හට නොහැකිය. කඳුළු හෙලා හඬන්නට වත් ඉඩක් නැත. ඒ මේ කුඩා දරුවාද නොහඩා සිටින නිසාවෙනි.

ඉර බැසීමට ආසන්නය. ගම්මානයට තවමත් තරමක් දුරය. මගේ මවුපියන් තවමත් සිදු වූ කිසිවක් පිළිබඳව තවම නොදන්නවා ඇත. ගත වෙහෙසට සා පිපාසවද එක් වී ඇත. ගඩා ගෙඩියක් හෝ සොයා ගැනීමට තරම් ශක්තියක් සිතට නොමැත. හැරත් මා කුස තුළ දිවි ඇරඹු අප දෙදෙනාගේ දරු පැටවාට අහිතකර කිසිවක් මා අනුභව කළහොත් ,,,,?

මේ දරු පැටවුන් දෙදෙනා මගේ පණ මෙන් ආරක්ෂා කළ යුතුය, එහෙත් ඒ කුමක් සඳහාදැයි මා තුළ හෝ පැහැදිලි අදහසක් නොමැත. එහෙත් එය සිදු කළ යුතුමය.
දිය පහරක හඬක් ඇසේ. ඒ කොයි දෙසින්දැයි පැහැදිලිය. මම එදෙසට පිය නගමි. එය කුඩා දිය අහරකි, නමුත් පිරිසිදුය. විදිශ ව බිමින් තබන මම මුව දොව ගනිමි. ගත වෙහෙසට එය මඳ අස්වැසිල්ලකි. විදිශ ගේ ලපටි අත් පා පොඩි තැනින් තැන සිරී ඇත. වනාන්තරයේ කටු පදුරු ආදියට පැටලීම නිසාය. කොතරම් ප්‍රවේශමෙන් ඔසවාගෙන ආවත් ඒවා වැළක්විය නොහැකි වී ඇත. ඒ සීරුම් පාරවල් සියල්ල මම ජලයෙන් සෝදා හරිමි. මුවින් වදනක්දු නොහෙලා ඔහු සිටි වනම ම දෙස බලා සිටියි.

"විදිශ කුමරුන් ට පිපාසද?"
දිය දෝතක් ගෙන ම ඔහුගේ මුවට ලං කරමි. මා අතින් ගිලිහෙන වතුර බිඳු රැක ගැනීමට මේ ඔහු තම කුඩා දෑත ම අතට යටින් එකතු කර අල්වගෙන සිටියි. මගේ දෙනෙත් තෙත් වුයේ ඉබේමය.
ඔහුගේ මේ හැසිරීම මා හට පුදුමයකි.
දඟකාර කමින් අනුන වූ මේ කුඩා දරුවා දැන් කිසිදු හැලහොල්මනක් නොමැතිව හඬක් නොනගා සිටියි. ඒ ඔහුගේ මුහුකුරා ගිය ස්වභාවයද? විදිශ බුද්ධිමත් දරුවෙක් බව සැබෑය. එහෙත් සිතෙහි අපමණ බියක්ද ඇතිවේ. ඒ කුමක් අරභයාදැයි සිතා ගත නොහැකිය.

නැවත මා ඉදිරියට යා යුතුය. නැතහොත් කළුවර වැටිමට පෙර කෙසේ හෝ ගම්මානයට යා ගත නොහැකි වේ.
මදක් විවේක ගත් මා නැගී සිටිමි.

කුමක් හෝ වෙනසක් දැනේ. දෙනෙත් නිලංකාර වී ඇත. කිසිවක් නොපෙනේ. මා එතනම නැවත ඇද වැටෙනු මා හට යන්තම් මතකය.

හිස දෙසින් නැගුණ මහත් වේදනාවක් සමගින් මා සිහිසුන් වීමි.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

මම දෙනෙත් විවර කර බලමි. කොතරම් වෙලාවක් එසේ සිටියාදැයි මා හට නිනව් නැත. හිස පිටුපස මහත් වේදනාවක් දැනේ. බිම වැටීම නිසා හිස තුවාල වී ඇති සෙයකි. දෙනෙත් හැරීම අපහසුය. දෙනෙත් වලද දැඩි වේදනාවක් දැනේ. අවට ගස් කොලන් සියල්ල දිස් වන්නේ කළු පැහැයෙනි. නළල දෙපසින් සීතලක් දැනේ. රුධිරයද ?
මම හිස අතගා බලමි. නැත. ඒ වතුරය. දහදියද? එතරම් දහදියක් ගැලීමට නොහැකිය. ඒ වතුරය. මා හිසට වතුර වත් කළේ කවුරුන්ද?
“විදිෂ” එක වරම ඔහු සිහි වීමෙන් මා සිතට ඉමහත් බියක් දැනේ.
“විදිශ” හැකි සියලු වෙර යොදා කෑ ගසමින් සියලු වේදනා අමතක කර මම නැගී සිටිමි.
විදීශ කුමරුන් කිසිදු කලබලයකින් තොරව අසල ගසක් මුලට වී සිටියි. ඔහුගේ දෙනෙත් වල වුයේ මා හට කිසිදු ලෙසකින් පැහැදිලි කර නොහැකි වූ බැල්මකි. මහා වනස්පතියක අබිමුව සිටි කුඩා දරුවකු වූ ඔහු ඒ මොහොතේ මගේ මනසට දිස් වුයේ දැවැන්ත යෝධ පුරුෂයෙකු ලෙසිනි. එකෙනෙහිම මහා රජතුමාගේ රුව මා ඉදිරියේ විද්‍යමාන වී මොහොතින් මැකී ගියේය.
සිහිසුන්ව සිටි මගේ හිස තවමත් තොන්තුවවෙන් සේය. මගේම මනස මා හට විසුළු කරයි.
එහෙත් මගේ හිසට දිය වත්කළේ කවුරුන්ද? ඒ විදීශ විය නොහැකිය. ඔහුට දිය පහර අසලටවත් බැසීමට හැකියාවක් නොමැතිය.
“විදීශ”
මම නැවතත් ඔහු ඇමතීමි. ඔහු බියපත් වී ඇත්දැයි මා සිත ඉමහත් ශෝකයකින් ෙවලී යයි. මවත් පියාත් නොමැති මේ අහිංසක දරුවාගේ සිත මා තවත් බිඳ දැමිය යුතු නොවේ.
අසලට පැමිණි ඔහුව මම වැළඳ ගතිමි. මා හට හැඬුම් ආවේ නිරායාසයෙනි. දරාගත නොහැකි දුකකුත් දුර්වල බවකුත් ම සිතට දැනේ. විදීශ තුරුළු කරගත් මම කොතරම් වෙලාවක් එසේ හැඬුවාදැයි මමම නොදනිමි.
මධ්‍යහන සැඩ හිරු රශ්මියෙන් පිඩිතව පැවති තුරුලතා සිය මැලවුන පෙනුම මගහරිනු වස් ජීවය සොයයි. එහෙත් මගේ සිතද ගතද අප්‍රානිකය. නැගී සිට අඩියක් හෝ ඉදිරියට යාමට සිත දැඩි කරගත නොහැකිය. එහෙත් රාත්රිය එලඹීමට පෙර මෙතනින් පිටව යා යුතුය. දිය බීමට විවිධ සතුන් සවස් වන විට මෙතනට පැමිණේවි. ඊට පෙර යා යුතුය.
විදීශ මා හට තුරුළු වූ වනමය. මා එතරම් හඬනා තුරු ඔහු තරයේ මා සුරත අල්ලා සිටියා මිස මුවින් හඬකුදු නැගුවේ නැත. ඔහුගේ මේ අමුතු හැසිරීමද මා සිත බියට මෙන්ම තවත් අසරණතාවයට පත් කරයි.
“අපි යමු විදීශ” මා අනුව ඔහුද නැගී සිටියි. මම නැවත ඔහුව වඩා ගනිමි. ඔහු තම සිගිති ඇගිළි තුඩු වලින් මා හිස පිටුපස සෙමින් පිරිමදියි. මගේ සිතට මහත් වූ සෙනෙහසක් දැනේ. මම සෙමෙන් ඒ අත අල්වා ගනිමි. එහි රුධිරය තැවරී ඇත. ඒ මගේ හිසෙහි ඇති තුවාලයකින් ගැලු රුධිරයයි.
නැවත දිය පහරට නැඹුරු වූ මම ඔහුගේ දෑත සෝදා හරිමි. දිය පහර නොපෙනෙන අන්තයකට ආදී යයි. එහි ගමන් මග හරස් කරමින් තැනින් තැන ඇති ගල්පර අතරම එය ඉදිරියට ඇදේ. මා ද ඉදිරියට යා යුතුය.
ගම්මානයට කලින් කැලෑවට අඳුර වැටේ. එහෙත් තවමත් පාර සොයා ගත හැකි තරම් මද ආලෝකයක් පවතියි. ජීවිතයේ කිසිදු දිනයක නොවූ විරූ බියකින් සිත වෙලී යයි. ගස් මුදුන් එකිනෙක හා ගැටී මැවෙන නාදයට පක්ෂින්ගේද වඳුරන්ගේ ද ශබ්දය එක් වී තවත් මා සිත බියට පත් කරයි. මා හාමත් වී ඇති බවක් දැනේ. කුඩා දරුවා කෙසේ නම් මේ කුසගින්න දරා සිටිනවා ඇත්ද .
විදීශ කොහොමත් ආහාර පිළිබඳව ඇති උනන්දුව අල්පය. ඔහුට ආහාර කැවීමට සිදු කළ කුඩා යුද්ධය පිළිබඳව දන්නේ ඔහුගේ මවත් සේවිකාවනුත් පමණකම වන්නට ඇත.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ගම ආසන්නයට මා එළඹී සිටිමි. එහෙත් එක වරම ඒ දෙසට යාමට නොහැකි අන්දමේ අනියත බියකින් සිත වෙලී යයි.
රජමාලිගයට ගිය පසුව මා මෙහි පැමිණි පස් වන වතාව මෙයය. අවසන් වතාවට මෙහි පැමිණියේ පසුගිය අමාවකට පෙර දිනයේය. ඒ රාජපුරුෂයන් සහ සේවිකාවන් සමගය.
නමුත් මා දැන් වැරහිලි ඇඳගත් , හිසකේ අවුල් කරගත් , හිසෙහි වූ තුවාලයකුත් සමග කුඩා දරුවකු ඇති ගත් සිගන්නියක බඳු වූ පෙනුමකින් යුතු වූ කෙනෙකි.
අපගේ රාජාභරණ , ඇඳුම් ආදිය සියල්ල මා සැගවුයේ මාලිගයෙන් පිට වූ වහාමය. එතැන හොඳින් මතක තබගත්තත් නැවත මා හට ඒවා සෙවීමට හැකි වේ යැයි සිතීම උගහටය.
මේ මොහොතේ වැදගත් වන්නේ දිවි බේරා ගැනීමය. මගේ දිවියටත් වඩා මගේ පැටවුන් දෙදෙනාගේ දිවි බේරා ගැනීමය. රාජ රුධිරය ඇති දරු දෙදෙනාගේ වගකීම දැන් මා සතුය. ඉන් එක අයකු සිදුවන්නේ කුමදැයි වත් නොදැන මා කුස තුළ තව සුව නින්දේය.
ගම්මානයේ සිට කැලෑවට යන එන්නවුන්ගේ පා පහසින් සැදි පාර ඔස්සේ මම ගමට ඇතුළු වීමි. දැන් නම් දෙනෙත් වසාගෙන වුවද මා හට ගෙදර කරා යා හැකිය.
කුමක්දෝ අමුතුම පාලුවකන් ගම ම වෙලී ඇති සෙයකි. පෙරදිග අහස ගිනියම් පැහැයට හැරී ඇත. අපරදිගද ගිනියම් ය. ඒ බැස ගිය හිරුගේ ඉතිරි ආලෝක කදම්බයයි.
එහෙත් පෙරදිග අහස? ඒ කිනම් විප්පත්තියක පෙර මග සලකුණු ද? ගිනි ගත් අහසේ රක්ත වර්ණය මා බියට පත් කරයි. ඒ අතරින් පෙනෙන දුම් රොටු මා හිතේ මැවෙන මායාවක් ද? මගේ නිරිදාණෙනි , නුඹ හොඳින්ද?
අන්දකාර මිදුලේ කවුරුන් හෝ උක්කුටියෙන් වාදී වී ඇති බව පෙනේ. ඒ මගේ මිත්තණිය විය යුතුය. මා දුටු වහා ඈ නැගී සිටියාය. ඒ අතෙහි වූ කෝටුවක අධාරයෙනි.
ඈ ඉතා මහලුය. කුදුය. එහෙත් අපටත් වඩා හොඳින් දෙනෙත් පෙනේ.
“මගේ කෙල්ල....” බැරි කම් සියල්ල පසෙකලා මා වෙත වියරු වැටුනා සේ පැමිණි ඇය , වහා මා නිවෙස දෙසට තල්ලු කළාය. “ඉක්මණට පලයන් ගේ ඇතුළට”
කිසිවක් වටහා ගත නොහැකි මමත්, අනිමිස ලෝචනයෙන් තමන් දෙස බල සිටින විදිෂත් ගෙතුළට දැමු ඇය දොර වැසෙන්නට පැලැල්ල ඇද දැමුවාය. “දිය පිපාසයි. “ එලෙස මැතිරුවා මා හට මතකය. මිත්තණිය පොල් කටුවකට දිය ගෙනෙනවා ද මා හට මතකය.
මැටි ඇතිරූ සීතල පොළොව මත වැටී ගත් මම මහා හඬින් හඬන්නට වීමි


6 comments:

  1. හරිම රසයි ඔබේ කතාන්දරය සහ ලිවීමේ රටාව...ඇත්තෙන්ම මගේ දෙනෙතට කඳුළු එකතු කරන්නට සමත් වුනා ඒ ලියමන...

    අනෙකුත් කොටස් කියවන්නට බලාපොරොත්තුවෙන් සිටිනවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඉක්මනින් ලියන්න බලාපොරොත්තු වෙනවා තව කොටසක්

      Delete
  2. හ්ම්ම්... අනිත් කොටසත් ටිකත් කියවා එන්නම්..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.කියවල එන්නකෝ. ස්තුතියි

      Delete
  3. හප්පා.. මේ එක්දාස් අටසිය බර ගණන්වල ලියලා අතෑරලා දාපු කතාවක්නෙ..

    මගේ බලවත් ඉල්ලීමක් තියෙනවා මේක කම්මැලි නැති වෙලාවට ලියලා ඉවරයක් කරලා දාලා පොතක් ලෙස පබ්ලිශ් කරන විදියට...)))

    ReplyDelete
    Replies
    1. ඔව්නේ. මටත් වැඩ වයසයි දැන් උදුලා ට. අම්මෝ පොත් පබ්ලිෂ් කලොත් මටම තමයි කියවන්න වෙන්නේ.

      Delete