Monday, April 6, 2015

ලඩ්ඩු පිඟාන

http://pixgood.com/motichur-laddu.html
අපේ කැන්ටින් එකට ලඩ්ඩු ගෙනත්....... 

ඒක දැක්ක විතරයි, සත්වනක් ප්‍රීතියෙන් පිනා ගිය මම සල්ලි දෙන්නෙත් නැතුවම එකක් අරගෙන කෑවා. 
කෑවා කිවුවට කන්න පටන් ගත්ත විතරයි. මට ඒක එපා වුණා. ඔතලා තිබුණ සව් කොලෙත් එක්කම ඩස්ට් බින් එකට දාපු මම පුරුදු විදියට උළුඳු වඩයක් කාලා ආපහු ආවා. 

( මගෙ යාලුවා හැමදාම කියන කතාවක් තමයි කැන්ටින් එකේ තියන කෑම වලින් මම දන්නෙ උලුඳු වඩ වල රස විතරයි කියන එක. ඇත්ත තමයි. තව එක එක කෑම වර්ග තියනව කැන්ටින් එකේ, ඒත් මොකද දන්නෙ නෑ, මට කන්න හිතෙන්නෙම වඩේ විතරයි. සමහර විට ඒකෙ තියන අනිත් දේවල් කන්න අමාරු නිසා වෙන්න ඇති. ඒ කියන්නෙ පූරි , චපාති, ඉඳිආප්ප වගේ ඒව එක පාර කන්න බෑනෙ. හොදි ගාගෙන, අත හෝදලා, ....... හරිම කරදරයි. ඒ නිසා ලේසිම දේ තමයි වඩේ වගේ ලේසියෙන් හපලා කන්න පුලුවන් දෙයක් කන එක. )

ඒක මහ වංචා සහගත ලඩ්ඩු එකක්. 
පහු ගිය අවුරුදු දෙකක් , තුනක් පුරාවට මම ලඩ්ඩු හොයනවා. ඒත් හිතට හරියන රස ලඩ්ඩු එකක් හම්බුණේ නෑ ආයෙ කවදාවත්. 

එතකොට කොහෙන්ද මේ හිතට හරියන ලඩ්ඩු හම්බුණේ?
ඒක දිග කතාවක්........

මම අවස්ථා කීපයකම  කලින් කියල තියනව නේද එක කාලයකදි මම පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක වැඩ කළා කියල....... 

මෙවන් හෙදියක ලද ඇය

මිනී මැරුමක් වැළැක්වීමි

වැස්සෙ ආව පොඩි එකා

ඒක තිබුණෙ තරමක් දුරට නිදහස් වෙළඳ කලාපයට ආසන්නව. ඒ නිසා දිනපතාම විවිධාකාර පුද්ගලයන්ව මට මුණ ගැහුණා. ඒ අතර ගුවන් සේවිකාවො වගේම නිදහස් වෙළඳ කලාපෙ යුවතියනුත් හිටියා.

ඒ විතරක්ම නෙමේ, දිනපතාම වගේ විදේශීය පුද්ගලයනුත් එතෙන්ට පැමිනියා. ඒ බොහෝ දෙනා වෙලඳ කලාපෙ තිබුණ විවිධ කම්හල් ආදියේ වැඩ කරන පුද්ගලයින්. 

ඒ අතරින් බොහෝ දෙනා ආසියාතිකයො. චීන, කොරියන්, ඉන්දියානු වගේම පාකිස්ථානය, නේපාලය වැනි රටවල් වලින් . ලංකාවෙ ඒ තරම් පිට රට මිනිස්සු  ශ්‍රමයට වැඩ කරනවා කියල මම දැනගත්තෙ ඒ කාලෙ. ඒ අතරින් චීන , කොරියන් මිනිස්සු වැඩි පුරම ආවෙ මොනව හරි ආහාර වර්ග ආසාදනය වෙලා. එයාලා දකින දකින දේ කන නිසා එහෙම වෙනවා කියල තමයි අපි හිතුවෙ.  

මේ කවුරු ආවත්  මම මුහුණ දුන්න ලොකුම ගැටලුව තමයි, ඒ කිසිම කෙනෙකුට සිංහල හෝ ඉංග්‍රීසි භාෂාව කතා කරන්න්නට නොහැකි වීම. වෙනත් වචන වලින් කියනව නම්, මට ඔවුන්ගෙ භාෂා කතා  කරන්නට නොහැකි වීම.  ඒ නිසා සෑම වෙලාවෙම භාශා පරිවර්තකයෙකුගෙ උදවු අවශ්‍ය වුණා.

මේ අතරින් දිනපතාම රෝගීන් ‍රැගෙන එන ආයතනයක් තිබුණා. එය ඉන්දීයානු සමාගමකට අයත් ආයතනයක්. 
ඒත් එහි ඉන්දීය ජාතිකයින්ට අමතරව, නේපාල, පකිස්තාන ආදී විවිධ ජාතීනුත් සේවය කලා. 
මම කලින් කී කොරියන් ජාතිකයින් සහ චීන ජාතිකයින් එක්ක සසඳා බලද්දි, ඔවුන්ගෙත් භාෂා හැකියාවෙ කිසිදු වෙනසක් තිබුණෙ නෑ. 

කොහොම වුණත් මට වැටහුණ දෙයක් තිබුණා, ඒ, මේ සමාගමේ සේවකයන් අධික වශයෙන් මහන්සියට පත් වෙනවා කියන එක. 

එක දවසක්, මේ ඉන්දීය ජාතිකයින් කීප දෙනෙක් සමග වෙනත් තරුණයෙක් පැමිණියා. 

වෙනදාට පැමීණෙන පුද්ගලයින් සමග බලන විට ඔහුගේ වෙනස කැපී පෙනුණා. ඊට හේතුව ඔහුගේ පෙනුම සහ ඇඳුම් වල වූ පිරිසිදු ස්වභාවය. 
එමෙන්ම , ඉතා නිවැරදි හා පැහැදිලිව ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ හැකියාවක් ඔහු සතු වුණා. ඒ පිළිබඳව නම් වඩාම සතු‍ටු වුණේ මම.

මොකද පළවෙනි වතාවට ඔවුන්ගේ  රෝගීන්ගේ නිවැරදි රෝග ඉතිහාසයක් අසා ගැනීමට හැකියාව ලැබෙන නිසා. හිතුවාටත් වඩා හොඳින් ඔහු ඒ සඳහා මට සහය දුන්නා. 


ඔහුගේත් ඔහු සමග පැමිණි අනෙකුත් රෝගීන්ගේත් කැපී පෙනෙන වෙනසට හේතුව දැනගන්න මගේ හිත උනන්දු වුණා.  ඔහු අනෙකුත් සේවකයන්ට වඩා ඉහළ තනතුරක් හෙබවූ අයෙක්. 

(පෞද්ගලික අංශයේ ‍රැකියා ගැන මගෙ අවබෝධය කොපමණද කියනව නම්, ඒ තනතුර මොකද්ද කියලවත් දැන් මට මතක නෑ.)

"එළියට යන්න ලැබෙන අවස්ථා හරි අඩුයි මේ දවස් වල. ඒ නිසා හිතට  දැනන ස්ට්‍රෙස් එක අඩු කරගන්න අද මෙයාලට බේත් අරන් දෙන්න එක්කන් ආවා" මින් පෙර ඔහුව හමු නොවීමට හේතුව මා විමසන විට ඔහු ලබා දුන්නු පිළිතුර වුණා. 


ඒ ඔහුව මුණ ගැහුණ පළවෙනි වතාව. නමුත් ඒ එකම වතාව වුණේ නැ. ඉන් පසුව සතියට දින කිහිපයක්ම රෝගීන් ‍රැගෙන එන්න ඔහු පුරුද්දක් කරගත්තා. 

ඒ එන සෑම වතාවකදීම කතා කරන්නට අලුත් මාතෘකාවක් ඔහුට තිබුණා. ලංකාවෙ දේශපාලනය, ලංකවෙ බලන්න යන්න තියෙන ලස්සන තැන්, බලන්න ගිය තැන්.......  විවිධ මාතෘකා. 
ඔහුට ලංකාව පිළිබඳව කතා කරන්නට තිබෙන දේ කියන්නට සුදුසු කෙනෙකු නොමැති බව ඔහු නිතරම පැවසුවා. ලංකාවේ අපි නොදකින ඉතා සියුම් දුර්වලතා, සුන්දරතා ඔහුගෙ ඇසට හසු වී තිබුණේ හිතාගන්නට බැරි තරම් පුදුමාකාර විදියට. 

ඒ ලෙසින් ඇරඹුණ ඒ අපූර්ව යහලු කම මටත් අලුත් අත්දැකීමක් වුණා. කොයි තරම් යාලුවො හිටියත්, වෙනත් රටකින් හමුවෙන යහලුවෙක් හරිම "අලංකාරයි" කියල මට හිතෙනව. 

සංස්කෘතීන් දෙකක් වීම, කුඩා කල සිට හැදී වැඩුණ ආකාරය වෙනස් වීම, කොටින්ම කියනව නම් ලෝකය දිහා බලන ආකාරයම වෙනස් වීම ඒ අලංකාරත්වයට හේතු වෙනවා. 

කියන්න අමතක වුණා. ඔහුගෙ නම "රෝහිත් ". 

මාත් සමග වැඩ කළ හෙදියන් බොහෝ විට ඒ නම කිවුවේ "රෝහිත" කියලා. ඒක නිරන්තරයෙන්ම ඔහුව තරහ හැස්වීමට සමත් වුණා. "කරුණාකරලා, එයාලට කියන්න, මම රෝහිත් මිසක් රෝහිත නෙමේ කියල"..... ඔහු නොයෙක් වර මගෙන් ඉල්ලා සිටියා. 
ඒ ඉල්ලීම කවදාවත් ඉ‍ටු නොකරන්නට මමත් වග බලා ගත්තේ, ඒ නමින් ඔහු අපහසුතාවයට පත් වීම මටත් තරමක විනෝදයක් වූ නිසා. 

මේ විදියට රෝහිත් අපේ වෛද්‍ය ආයතනයට දින කීපයකට වරක් හෝ පැමිණීම අපිට සුපුරුදු අංගයක් වුණා. එසේ පැමිණි කිසිම අවස්ථාවක ඔහු විනාඩි 10කට වඩා මා සමග කතා බස් කලෙත් නෑ. එත් අපේ යහලු කමට එය බාධාවක් වුණෙත් නෑ .

විශේෂයෙන් කියන්න ඕනා, කොයි තරම් රෝගීන්ව ඔහු මා හමුවන්න කැඳවාගෙන ආවත් කිසිදු අවස්ථාවක ඔහු කිසිදු රෝගයකට තමන්ට බේත් ගත්තේ නෑ. 
(අනිත් අය මෙන් මහන්සි වී ඔහු වැඩ නොකිරීම ඊට හේතුවක් වන්නටත් ඇති. )

"පොඩි කාලෙන් පස්සෙ මම කවදාවත් බේත් බීලා නෑ. මාව මැරෙන්න ආවත් බේත් බොන්නෙ නෑ කියලා තමයි මම හිතාගෙන ඉන්නෙ" ඔහු නොයෙක් වර එසේ පවසා සිටියා. 

එහෙත් එක් දිනක ඔහුගේ වහසි බස් සියල්ල කන පිට හැරුණා. 

එදින ඔහු දැඩිව අසනීපව සිටියා. ඒත් සුපුරුදු මාන්නය නම් කෙසේවත් අඩු වී තිබුණේ නෑ. ඊටම සරිලන හිතුවක්කාර කමක්ද ඊට එක් වී තිබුණා. 

"මට එකම එක බේත් පෙත්තක් විතරක් දෙන්න, අමාරුව අඩු වෙන්න" 
ඔහුගේ ඒ ඉල්ලීමට මට තරහ නොගියේ ඒ වන විට මා බොහෝ සෙයින් ඔහුගේ ගතිගුන වටහාගෙන තිබුණ නිසා. කෙසේ වෙතත් බෙහෙත් වර්ග දෙකක් පමණක් ඔහුට මා එදින ලබා දුන්නා. ඒ පිළිබඳවත් ඔහු පල කළේ විරෝධාකල්පයක්. 

"හරියට අපි එයාට ලෙඩ බෝ කළා වගේ" 
අපේ හෙදියන් එසේ කියද්දී මට තිබුණේ හිනා වෙන එක විතරයි. 
අසනීපයකට තමන් හමුවට පැමිණෙන රෝගීන් බෙහෙත් එපා යැයි කීම වෛද්‍යවරයෙකුට ඉතා දුලබ අත්දැකීමක් වීම ඊට හේතුවයි. 


දින කීපයක් ගත වුණා. රෝහිත් ගේ සලකුණක් හෝ දක්නට ලැබුණේ නෑ.

"බේත් වර්ග දෙකක් දුන්න කියලා ලංකාව දාලම ගියාද දන්නෙ නෑ" 
අපේ සමහර හෙදියකගෙන් කියැවුණා. 
කොහොම වුණත් අපේ හෙදියන් කීප දෙනෙක්ටම රෝහිත් නොදැක "පාලුයි වගේ" දැනුන බව නම් මම දැනගෙන හිටියා. 

ඒත් ඔහු ලංකාව දාලා ගිහින් තිබුණේ නෑ. ඊටත් පස්සෙ දවසක හිටියාටත් වඩා හොඳින් නැවත පැමිණීම "වාර්තා කළා"

"බේත් වලට අඩු වුණා"  ඒක නම් කිවුවෙ ඇත්තටම වගේ. ඊට පස්සෙ මගෙ හිතේ තිබුණ පුංචි "කහටත්" මැකිලා ගියා.

ඔය විදියට කාලයක් ගත වුණා....

(කොහොමද මෙතෙන්ට ලඩ්ඩු සම්බන්ධ වෙන්නෙ? ටිකක් ඉන්න..... ඒ ගැන තමයි කියන්න යන්නෙ........)

ඔය විදියට කාලයක් ගත වුණා. 
එක දවසක් රෝහිත් මට කිවුවා

"තව දවස් 2කින් මම ඉන්දියා යනවා. සති තුනකින් ආපහු එන්නෙ.." ඒ වෙද්දි රෝහිත්ගෙ රට ඉන්දියාව කියලා අපිට අමතක වෙන තරමට ඔහු ලාංකීකරණය වෙලා හිටියෙ.......

"එද්දි, මොනව හරි එහෙන් ගේන්න ඕනද?"

" එද්දි ලොකු ලඩ්ඩු පිඟානක් ගේන්න" 
මම එහෙම කිවුවෙ කටට ආවට. ඒ වෙද්දි මම ලඩ්ඩු කියන්නෙ මොනවද කියල දැනගෙන හිටියෙ නෑ හරියට. දැකලා තිබුණෙ කබි කුෂි කබි ගම් චිත්‍රපටියෙ විතරයි. ඒකෙ හැටියට මම හිතාගෙන හිටියෙ ලොකු අග්ගලා වගේ කෑමක් කියල.

මාස දෙකක් පමණ ගත වුණා. රෝහිත්ගෙ සති තුනේ කෑලිත් නති වුණා. සුපුරුදු පරිදි රෝහිතගෙ ආයතනයේ රෝගීන්ගෙ භාශාව නොතේරුම් ගනිමින් මම ඔවුන්ගේ රෝග වලට අවශ්‍ය ප්‍රතිකර්ම කළා.

එදා කම්මැලි දවසක්. එක පාරටම වේගයෙන් ආව ත්‍රී රෝද රතයක් පාර අයිනෙ නැවතුණා. හදිසි රෝගියෙක්ද, අපි කලබල වුණා. 
ඒත් ඒකෙන් බැස්සෙ රෝහිත්. ලොකු බෑග් කීපයක්  ත්‍රීවිලරයේ තිබූ අතර ඔහුගේ අතෙත් කුමක් හෝ බෑගයක් තිබුණා. 
ඔහු එය ගෙනැවිත් මේසය මත තැබුවා.

"ලඩ්ඩු........... පිඟානක් හොයාගන්න බැරි වුණා. පෙට්ටියක දාල තිබුණ එකක් තමයි හම්බුණේ.........."
සති තුනකට ඉන්දියාවට ගිය ඔහු නැවත පැමිණ තිබුණේ මාස දෙකකට පමණ පසුව. ගුවන් තො‍ටුපලේ සිට වැඩි දුරකින් නොවූ අපේ වෛද්‍ය මධ්‍යස්ථානයට ඔහු පැමිණ තිබුණේ ඒ ලඩ්ඩු පාර්සලය දීලා යන්න. 

ඊට පස්සෙ මොකද වුණේ කියන්න දෙයක් නෑනේ. "ඉනික්බිතිව , ඒ ලඩ්ඩු පාර්සලයේ කාඩ් බෝඩ් පෙට්ටිය ඇරෙන්න ඉතිරි සියල්ල විනාඩි කිහිපයක් තුළ වාෂ්ප විය." 
ඒ තරම් රස ලඩ්ඩු කවදාවත් ආයෙ හම්බුණේ නෑ. තවම මම හොයනව එහෙම ලඩ්ඩු ලoකාවෙ තියනවද ක්යලා. 


44 comments:

  1. ඉන්දියාවෙ හැදෙන රසකැවිලි කවදාවත් අපේ රටේ ඒ විදිහට රසට හැදෙන්නෙ නෑ. ඒ මොකද අපෙ අය්යලා හොරට අවශ්‍ය දේ නොදා ලාබ දේ දාන නිසා. අවුරුදු දෙකක් මුම්බායි වල මං හිටි කාලෙ කෑවා ඇතිවෙන්න. සතියකට වරක් රසකැවිලි කඩේට ගිහින් කිලෝ එකක් විතර ගන්නෙ. ම්ම්ම් මතක්වෙනකොටත් තළුමැරෙනවා. ලඩ්ඩු වලට වඩා රස කෑම තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි හේතුව......... ලෝබ මිනිස්සු!!
      එක අතකට එහෙම වෙන 1ත් හොඳයි, නැත්නම් ලඩ්ඩුත් මට සාමාන්‍ය කෑමක් වෙන්න ඉඩ තිබුනා

      Delete
    2. රසකැවිලි හැදීම ඉන්දියාවේ එක කුලයක් (profession) නේද? මට මතකයි ෂාරුක් ඛාන් ඉන්න මූවි එකක තියෙනවා.

      සීනි කෑමට එතරම් ඉල්ලුමක් ඇති!

      Delete
  2. අපේ බ්ලොග් දර්ශකේටත් මේ බ්ලොග් එක එකතු කරන්න. පහතින් අපේ සින්ඩියට ඇවිත් අපට ලින්ක් එක මේල් කරන්න.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
  3. ලඩ්ඩුනම් පට්ට තමා........ කටට කෙළත් උනනවා

    ReplyDelete
    Replies
    1. හ හා බලාගෙන දිවත් ගිලෙයි

      Delete
  4. මගේ ඉන්දියන් මිතුරියක් දීලා කෑවා... ඒවා හොඳ ලඩ්ඩු නෙමෙයිද කොහෙද? කවදහරි ඉන්දියාවටම ගිහින් කනවා...

    ReplyDelete
    Replies

    1. මමත් හිතාගෙන ඉන්නෙ එහෙමම තමයි. මම කවදා හරි ඉන්දියාවෙ ගිහින් , ලඩ්ඩු කාලා එනවා කියල.

      Delete
  5. මම හිතන්නෙ ඔතන තීන්නෙ උතුරු දකුණු වෙනස. දකුණෙ ලඩ්ඩු සහ අනෙක් කැවිලි අපිට අල්ලන රහ නෑ. උතුරෙ ඒවගෙ රහ මරු!

    ලඩ්ඩු කියන්නෙ ඇත්තටම මාර රහ කෑමක්. ඒත් පලවෙනි දවසෙ කාපු ඒ රස ලඩ්ඩුව ආයි ඔයාට ඉන්දියාවට ගියත් කන්න ලැබෙන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක වෙන්න පුළුවන්. ජීවිතේටම කෑව පලවෙනි ලඩ්ඩු එකනෙ ඒ

      Delete
  6. ලඩ්ඩු ලඩ්ඩු කියලා හැමෝම කියන හින්දා මාත් දවසක් ඉන්දියන් කඩේකදි හෙන තොගයක් ගත්තා. ආයේ මගේ නෑ නේ ඔය එකේ දෙකේ ඒවා. දකින දකින ඒවා ගන්නවා කනවා කියලා හිතාගෙන.
    කන්න ගත්තමයි තේරුනේ ඒකේ පැණි රස. මට එහෙම ඒවා අල්ලන්නේ නෑ. හිමීට පාර්සල් කරගත්තා. යාළුවෙකුට ගෙනිහින් දුන්නා එයාටම ගත්ත විදියට. එතනින් එහාට අද වෙනකම් ලඩ්ඩු දිහා බැලුවේවත් නෑ.

    කොහොමත් මගේ පැණි රස වල උපරිමය වැලි තලපා හා හැලප.

    මම හිතන්නේ සිඳූ ඒ ලඩ්ඩු කන්න ඇත්තේ අර යාළුවගේ ආදරයත් කැපවීමත් එක්ක. එතකොට රහ වැඩියිනේ.
    වඩේ අපිට නොදී කනවට හොඳ වැඩේ....

    ReplyDelete
    Replies
    1. අනේ....... අයෙ කවුරු හරි දුන්නොත් "ඔයාටමයි ගත්තෙ "කියල මට එවන්න...... ඔව් මම හිතන්නෙ ඒ යාලුව ගැන තියන මතකෙත් එක්ක තමයි මේකෙ "රහ" වැඩි

      Delete
  7. ඔය කියන විදිහට නම් සිඳු , ඒවගේ ලද්දු හොයනවට වඩා ලේසියි ආපහු රෝහිත්ව හොයාගන්න එක ... ලඩ්ඩු සිඳු

    ReplyDelete
    Replies
    1. හපොයි..... ඉන්දියාවෙ මිනිස්සු ගොඩේ ඒ කොල්ලව හොයන්න මට අන්ජනමක් බලන්න වෙයි

      Delete
  8. මම නම් ලංකාවේ ඉන්නකොට ලඩ්ඩු ඇත්තට ඇහැට දැකලා තිබුනේ නෑ.....දැකලා තිබුනත් ඒ ඔය චැනල් වල තරඟෙට වගේ පෙන්නන හින්දි ෆිල්ම් වලඉන් විතරයි.....

    රසම රස ලඩ්ඩු කෑවෙ ඩුබායි ආවට පස්සෙ. ඔෆිස් එකේ ඉන්න අල්ලපු රටේ අය නිවාඩු ගිහිල්ල එනකොට ඔය රස කැවිලි ජාති මුළු ඔෆිස් එකටම හරියන්න ගේන එක ඒ ගොල්ලන්ගේ පුරුද්දක්.

    ගොඩක් වෙලාවට ඒ ගොල්ලෝ ඉන්දියාවෙ තියෙන හොඳම තැන් වලින් ඔය ලඩ්ඩු වගේ රසකැවිලි අරගෙන එනවා....

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවත් ශෝක් රටක් කියලා හිතෙනව වෙලාවකට. අපි හිතන්වට වඩා රසයි වගේ.

      Delete
  9. මම අහල තියෙන විදිහට හිංදි ෆිල්ම්ස් වල රස කරකර කනවා දකින ගොඩක් ඉංදියානු කෑම ජාති ඒ තරම් රහ නෑ කියල. කොහොමත් වුනත් මාත් කැමතිම කෑමක් තමයි උලුඳු වඩේ.

    ReplyDelete
    Replies

    1. මෙහෙ උළුඳු වඩේ නියමයි. එන්නකො වෙලාවක.....

      Delete
  10. රෝහිත් හොයාගෙන ඉන්දියාවටම යන්ට වෙයිද දන්නේ නෑ. :P

    ගුලාබ් ජාමුන් කාලා තියෙනවා. ඒත් ලඩ්ඩු කෑවා කියලා මතකයක් නෑනේ.

    ReplyDelete
    Replies
    1. හ හා.......
      මටත් මේ හිතිලා තියෙන්නෙ හොයාගෙන ගිහින් ලඩ්ඩු ගෙන්න ගන්න. :D

      Delete
  11. ලෙඩ්ඩුගෙන් 'ලඩ්ඩු අල්ලස්' ගැනීම ගැන දූසණ අල්විස් මහතාට පැමිණිළි කල යුතුයි.. හැක්..
    මොකට මේ පැණි රස කෑම ගැන කියනවද මංදා අනී.. සීනි නගිනව කියවද්දිත්.. අපේ ප්‍රොජෙක්ට් වලත් ඉන්නව ඔය වගේ හොඳ ඉන්දියානුවෝ. උන් නිවාඩු ගිහිල්ල එනකොටත් මොකක් හරි රසකැවිල්ලක් ගේන්න අමතක කරන්නේ නෑ. පිඟන් නම් නෑ තමයි පෙට්ටිවල අහුරලානේ තියෙන්නේ. ලංකාවේ බොම්බේ ස්වීට් වැහි වැහැල උනත් ඒවයේ කෑම මෙලෝ රහක් නෑ. බොරුවට තලතෙල් නාවල විතරයි..

    ReplyDelete
    Replies
    1. මමත් මේ කල්පනා කලේ ඒක අල්ලස් ගත්ත වගේ වැඩක් නේද කියලා. ඒ වුණාට අවුලක් නැ.
      මිනිහා ඇවිත් මට දුන්න කරදර වල හැටියට.
      "බේත් එපා..... එක පෙත්තකින් ලෙඩ හොඳ කරන්න..... රටේ නැති කතා ගොඩයි..
      :D

      Delete
  12. රසවත් ලඩ්ඩු පිගානක් හම්බුනා වගේ තමයි ඔබේ බ්ලොග් පෝස්ට් එකත් මට දැනුනේ

    ReplyDelete
    Replies

    1. ස්තූතියි Thilaka Sitha.
      ඒ කමෙන්ට් එකත් හරි රහයි

      Delete
  13. ලඩ්ඩු දැක්කෙ හින්දි පිල්ම් වලින් විතරයි නේ,,ඉන්දියාවට ගිහාම කන්න ඕනා

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවට යන්නද ඉන්නෙ? මටත් ගේන්න ගියාම

      Delete
  14. මම ඉස් ඉස්සෙල්ලාම ලඩ්ඩු රස බැලුවෙ චෙන්නායි වලට ගිය ගමනකදි. එදා මම ගෙදර අයටත් අරගෙන ආවා. මොකද හින්දි චිත්‍රපටිවල නිතර මේ කෑම වර්ගය දැක්කට රස බලන්න අවස්ථාවක් ලැබෙන්නෙ නෑනෙ ලංකාවෙ අයට. මැලේසියාවෙ නම් ගොඩාක් තැන් වල ලඩ්ඩු තියෙනවා. එක ගුලියක් ලංකාවෙ මුදලින් රු 40 කට කිට්ටුයි. ඉන්දියාවෙ ඔරිජිනල් ලඩ්ඩු සහ මැලේසියාවෙ ලඩ්ඩු අතර ලොකු වෙනසක් මට දැනිලා නෑ. කෝ දැන් රෝහිත්....කාර්යාලෙ මට පිටිපස්සෙන් ඉන්නෙ වරුන්...ඒකා හින්දි කථා කරද්දි මම හරි ආශාවෙන් හ

    ReplyDelete
    Replies
    1. හරි ආශාවෙන් අහගෙන ඉන්නෙ. කමෙන්ට් එක කොටන්නත් කලියෙන් පබ්ලිෂ් බටොන් එක එබුනා නොවැ.

      Delete
    2. ඇත්තමට හින්දි කියන්නෙ හරිම ලස්සන භාශාවක් තමයි. මට අනන්තවත් හිතිලා තියනව මේ පැත්තෙ මිනිස්සු දෙමළ වෙනුවට හින්දි කතා කළා නම් හොඳයි කියල. එහෙම වුණා නම් මටත් හින්දි පුළුවන් වෙන නිසා

      Delete
    3. ඒ උනාට දෙමළ භාෂාව ඉගෙන ගන්න තියෙනවා නම් මම ගොඩාක් කැමතියි. දෙමළ වල වටිනාකම ඔයා හරියටම දැනගන්නෙ පිටරටකට ගියාම. ඒ රටේ භාෂාව නොහැකි වෙලාවට දෙමළ වලින් ගොඩාක් දේ කරගන්න පුලුවන්.

      Delete
  15. මටනං පේන්නේ ලඩ්ඩුව එච්චර රහ වෙලා තියෙන්නේ දුන්න කෙනා හින්දා කියලයි.. :D

    මං දිවුවා... :D

    ReplyDelete
    Replies
    1. අහ්....... ඒකද හේතුව? මම දන්නෙත් නෑ.

      මොකද පැනල දුවන්නෙ? බ්ලොග් ලියන්න කියල තර්ජන ගර්ජන දාලා, බ්ලොග් පෝස්ට් එකක් දැම්මම පැනල දුවන්න ඔට්‍ටු නෑ හරිද ? :D

      Delete
    2. :D

      බොහෝම ස්තූතියි තර්ජනයට හරි ඇහුංකං දුන්න එක ගැන... ලියං යන්න.. අර ගංජා ලෙඩාගේ ලිපියට කමෙන්ට් එකක් දාන්න අමතක උනා වෙන වැඩක් හින්දා ඈ.. නැත්තං ඒකත් කියෙව්වා උදේම...

      Delete
  16. ඉතිං ඒ රස ලඩ්ඩු තාම ලංකාවෙ ඉන්නවද? සොරි. තාම හොයා ගන්න බැරි වුණාද?

    ReplyDelete
    Replies
    1. රස ලඩ්ඩු තාම හොයාගන්න බැරි වුණා අක්කෙ. :-( :P

      Delete
  17. ඒත් ඒකෙන් බැස්සෙ රෝහිත්. ලොකු බෑග් කීපයක් ත්‍රීවිලරයේ තිබූ අතර ඔහුගේ අතෙත් කුමක් හෝ බෑගයක් තිබුණා.
    ඔහු එය ගෙනැවිත් මේසය මත තැබුවා.

    "ලඩ්ඩු........... ඇත්තම කිව්වොත් සිඳු මට ඉන්දියාවෙන් ගේන්න බැරි වුනා. ඒක හන්දා මම ඔයාලගේ කැන්ටීන් එකෙන් පෙට්ටියක්ම ගත්ත. මම ඉන්දියාවට යද්දි අරන්ගියෙත් කැන්ටිමේ ලඩ්ඩු. ගෙදර අය කිව්වා ලංකාවේ ලඩ්ඩුනේ ලඩ්ඩු කියලා. ඉන්දියන් එක වගේ අපිරිසිදුත් නැහැල්ලු. තව ගන්න සිඳු. ඇයි ඔයා ඔය විදියට බලන්නේ මා දිහා? සිඳූ සිඳු...."

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ දඩෝං ගාලා සද්දයක් ආවා. නර්ස්ලා ඇවිත් බලද්දි, රෝහිත් ඔලුව වටේ තරු කැරකෙන ගමන් වැටිලා ඉන්නවා. මූණ පැහැදිලි නෑ. ලඩ්ඩු පෙට්ටිය මූණෙ ඇලිලා

      Delete
  18. මූදේ තවත් ලඩ්ඩු පීනති කියලා කිව්වොත්?

    ReplyDelete
    Replies
    1. ඔහොම කියන්න එපා ළමයි............. හිත රිදෙනවනෙ
      ;-)

      Delete
  19. ඔය ඉන්දියන් නම උච්ඡාරණය වෙන්නෙ රෝහිත් නෙවෙයි රොහිට් කියල...:)

    ReplyDelete
    Replies
    1. එහෙමද......... අනේ අපේ කෙල්ලො ටික "රෝහිත" කියද්දි ඒ මනුස්සයට මොනව නොදැනෙන්න ඇතිද......

      Delete