හඹා යාම - 05


හඹා යාම - 01




දෙනෙත් විඩා බරය. සිතද විඩා බරය. ඒ ඇය දැකීමෙන් ඇති වූ කම්පණය තවමත් සිතෙන් පහව නොගිය බවට සලකුණුය.


ඉස්තෝප්පුවට වී අම්මා පෙර මග බලා සිටින්නීය. 
"ටිකක් පරක්කු වුණා අම්මා" 
මගේ අතෙහි වූ ෆයිල් කවරයත්, ලැප්ටොප් බෑගයත් ඇය අතට ගනියි. 
"මම ගන්නම් අම්මා"
තවමත් අම්මාගෙන් වදනක් හෝ නැත. මා ප්‍රමාද වීම පිළිබඳව ඇය අසතුටෙන්ද? නිවසට පැමිණි වහා බැණ වැදීම ඇගේ පුරුද්ද නොවේ. මම ඇය දෙස බලමි. මුහුණ දුක් බරය. දෙනෙත් වසා තුනී කඳුලු පටලයක් ‍රැඳී පවතියි. මසිත දුකින් බර වේ.
"අනේ ඇයි අම්මා?"
"ඇයි පුතා ෆෝන් එක ආන්සර් කළේ නැත්තෙ? මම කී සැරයක් කෝල් කළාද. වෙනදාට වඩා අද කොච්චර පරක්කුද බලන්න." ඇය තරහින් නම් නොවේ. මම ජංගම දුරකතනය ගෙන බලමි. 


23 missed calls. 
Amma 21 
damgetaya 2
පසන් කතා කර ඇත්තේ ඔහු නිවසට ගිය පසුව වන්නට ඇත. 


අම්මා පිළිබඳව මසිත ඉමහත් දුකකින් පිරී යයි. අඩුම තරමේ ඇමතුමක් දී මා නිවසට පැමිණීමට ප්‍රමාද වන බව දැන්වීමට හෝ මට තිබිණි. ඇය මට බැණ වදිනවා නම් හිත හදාගන්නට තිබිණි. එහෙත් එසේ වන්නේ කලාතුරකිනි.අප දෙදෙනාට සිටින්නේ අප දෙදෙනා පමණි. මා ඇගේ ජීවිතයයි. 


"අනේ ෆෝන් එක සයිලන්ට් දාලා තිබිලා අම්මා." ඊට වඩා මම කුමක් පවසන්නද.


"අසනීපෙන් ද පුතා? මූණ වෙනස් වෙලා" මගේ වෙනසක් ඈට පෙනෙනවාද. 


"මහන්සි නිසා වෙන්න ඇති අම්මා. නාගෙන එන්නම් මම. එතකොට හරි යයි"


"මේ හවස් වෙලා ඇල් වතුරෙන් නාන්න එපා. මම වතුර උණු කරනකම් ඔහොම ඉන්න"


ඇඳ සිටි ඇඳුම පිටින්ම මම ඇඳේ මුණින් තලා පෙරලෙමි. මටත් නොදැනීම මට නින්ද ගොස් ය. 
කිසිවෙකු මගේ හිස පිරිමදිනු මට දැනේ. දෙනෙත් හැරීමට අවශ්‍ය නැත. ඒ අම්මාගේ උණුසුමය. 
"අසනීපයක් නෑ නේද පුතා?"
"නෑ අම්මා." දෑස් නොහැරම මම පිළිතුරු දෙමි.
එහෙත් යම්කිසි අසාමාන්‍ය අවිනිශ්චිත ස්වභාවයක් නම් සිතෙහි පවතින බව දැනේ. නමක් ගමක් නොදන්නා සිනහවක් හා කටහඬක් තවමත් සිතේ හොල්මන් කරයි.
"දැන් නාන්න කම්මැලියි අම්මා."
"දැන් ‍රැ වෙලා කොහෙ නාන්නද, ඔයා පැය 3ක් විතර නිදාගත්තානෙ. ඇඟවත් හෝදාගෙන එන්න ගිහින්"


මම නිදිබරවම ඇ‍ඳෙන් බසිමි.


*******************************************


සිතේ ඇති ප්‍රබෝධමත් නොවූ ස්වභාවයෙන් දින කිහිපයක් ගෙවී යයි. සැලසුමක් නැති ජීවිත්යේ අවිනිශ්චිත බවින් සිත වෙලාගෙන ඇත. පශ්චාත් උපාධියේ නිබන්ධන සටහන් මේසය මත ගොඩ ගැසී ඇත.ලැප්ටොප් එක විවෘත නොකළ දෙවන දිනත් ගෙවී යයි. 
සිතේ ඇති මේ කුසීත ස්වභාවය අම්මාට වැටහෙනවා සේය. මා ආශා ආහාර වර්ග ආදිය සාදාදෙමින් ඇය මා යථා තත්වයට ගැනීමට උත්සාහ දරයි. සියල්ල ඈ සමග පවසා සිත නිදහස් කර ගැනීමටද මට සිතේ. එහෙත් පවසන්නේ කුමක්ද කියා එතරම් අදහසක්ද මා හට නැත. 




මම මිදුලට බසිමි. කිසිදිනෙක නොවූ ලෙස මෝටර් රථයේ ධූවිලි බැඳී ඇත. එහි වීදුරු ඇස් මා දෙස විමතියෙන් බලා සිටිනවා බඳුය. 


"This was just meant to be......you re coming back  to me...... coz this is pure love , coz this is pure love" දුරකථනය ගායනා කරණු ඇසේ.  ඒ පසන් ය.
"හලෝ මචං"
"උඹ කොහෙද ඉන්නෙ?"
"ගෙදර මචන්, ඇයි?"
"මට උඹේ මැඩගස්කර් දොස්තර නෝනාව හම්බුනා"
සිතේ උදාසීන බව ක්ෂණිකව පහවී ගොස් සිතට නව පණක් ලැබේ.
"මොකක්? කොහෙද?"
"දැන් විනාඩි 10කට විතර කලින්, මම ඔ‍ෆිස් ඉඳන් එනකොට බස් එකට හිටියා. ඉතින් මම කතා කළා"
"බොරු කියන්න එපා බන්"
"බොරු නෙමේ. ගෙදර යනවා කිවුවා, හැමදාම යන්නෙ මේ වෙලාවට කියලත් කිවුවා"
මම වෙලාව බලමි. 
5.15pm
"තව මොනවද කිවුවෙ? මම ගැන ඇහුවෙ නැද්ද?" මමත් නොදැනීම  මගේ මුවින් පිට වේ.


"නැ බන්.... එච්චර කතා කරන්න හම්බුනේ නෑ. බස් එකක් ඇවිල්ලා එයා ගියා"


ඇයට මා අමතකය. මම නිහඬ වෙමි. 
පසන් අනෙක් අන්තයේ සිට සිනහ වේ.
"උඹව කලන්තේ දාලා වැ‍ටුණාද සද්ද නැති වුණේ? ඇහුවා ඇහුවා. දැන් යාළුවාට හොඳද ඇහුවා"
මගෙ මුහුණම සිනහවෙන් පිරෙනු මට දැනේ.


 ***************************
ඇය නිවසට යන වෙලා ගොස් ඇය හමුවීමටද සිතේ. නමුත් කුමක් අරභයාද. ගොස් ඇයට කුමක් පවසන්නද. පසන් හමුවීමට යන්නට නම් නම් පුළුවන. එහෙත් මේ දින කිහිපයේ තරමක වැඩ අධිකය. 


*******************


මම සිවිලිමේ කැරකෙන විදුලු පංකාව දෙස බලා සිටිමි. හිසද භ්‍රමණය වන ලෙසක් මට දැනේ. මම නැගී සිට ඇ‍ඳෙන් බිමට බසිමි. සාලයේ තවමත් කතා බහ ඇසේ. අම්මා හා ඇගේ මිතුරිය නාමලී ඇන්ටි ගේ කතාව තවමත් අවසන්ව නැත. 
හවස තේ එකද මට නොලැබෙන සේය. මම සාලය දෙසට යමි.


"තවම ඉවර නැද්ද පොළ?" අම්මා මා දෙස රවා බලයි. 
"නෑ අම්මෙ මම ඇහුවෙ හන්දියෙ පොල ඉවර නැද්ද කියලා. ඉවර නැත්නම් ගිහින් අම්මට උයන්න එළවළු මොනා හරි ගෙනත් දෙන්න මම කල්පනා කළේ. "


"වෙන්දාටත් පොළට යන්නෙ ඔයාද?"


මම අම්මා අසලින් අසුන් ගනිමි.


"මෙයාව මෙහෙම හුරතල් කර කර ඉඳලා හරියන්නෙ නෑ හැමදාම. කාව හරි හොයලා බන්දලා දෙන්න" එවර නාමලි ඇන්ටිගේ පාණ්ඩිත්‍ය මතුවේ. ඇයට මා අරභයා ඇත්තේ එවැනි මාතෘකාමය.


"ඒක තම ඇන්ටි මමත් මේ අම්මාට කියන්නෙ හැමදාම. කෝ කොච්චර කිවුවත් අපේ අම්මගෙ උනන්දුවක් නෑනෙ." අම්මා සිනාසෙයි. නාමලි ඇන්ටි ඒ පිළිබඳව වැඩිදුර කතාව නවත්තයි. ඇය යාමට සූදානම් වේ. 


"පුතා අපි ඇන්ටිව ගෙදරට ගිහින් දාමුද?"
අම්මාගෙන් යෝජනවකි


"අනේ මගෙ විවෙකී සන්ධ්‍යාව" කීමට මට සිතේ. මහබාගේ , කඳාන, ජාඇල , සීදුව හා ක‍ටුනායකද පසු කරමින් මීගමුවට යාමට මට සිදු වන ලකුණු දුග හැරේ.  
** ජාඇල **? මගේ මතකයේ විදුලි රේඛාවක් ලෙළ දේ. මම ඔරලෝසුව දෙස බලමි. 
3.55 pm
පසන් පැවසූ පරිදි ඇය පිටත් වන්නේ 5.00ටය. එසේ නම් මා හට පැයක් පමණ ඇත. එම කාලය ජා ඇලට යාමට ප්‍රමාණවත්ය. මාර්ග තදබදයක් නොපවතීවා මම පතමි.


"හරි අම්මෙ යමු." මම නැගී සිටිමි.


****************************************************


අවිනීත බස් රථ රියදුරෙක් මා ඉදිරියෙන් ගමන් කරයි. මම ඉවසා සිටිමි. ත්‍රී රෝද රථයක්ද වැරදි පැත්තෙන් මට ඉස්සර කරයි. කෑ ගසා බැණ වැදීමට මට සිතේ. පලක් නැත. ඔහු බොහෝ දුර ගොස්ය. මගේ සිත නොඉවසිලිමත්ය. ප්‍රමාද වේදැය සිතෙහි චකිතයකි.


"බලන්න අම්මා අර බූරුවා ත්‍රී වීලර් එක දාපු විදිය"


මම කෝපයෙන් පවසමි. අම්මා නිරුත්තරය. "බූරුවා" යන වදන ඇය කෝපයට පත් කළ සේය. එය නාමලි ඇන්ටි ඉදිරියේ පැවසීම ඇය කිසිලෙසකින්වත් අනුමත නොකරනු ඇත.
එහෙත් නාමලී ඇන්ටි ට නම් ඒ පිළිබඳව වගක්වත් නැත. "එහා ගෙදර නංගිගෙ පුතා"ගෙ මෝටර් සයිකලය හප්පන ලද ත්‍රී වීලර් කරුවකු පිළිබඳව ඇය කතාවක් පටන් ගනීයි.


වෛද්‍ය මධ්‍යස්ථානය පෙනෙන දුරින් මම කාරය නවත්තමි. 5.00ට විනාඩි 10ක් ඇත. 


"ඇයි පුතා?"


මම විනාඩි 10න් එන්නම් අම්ම අර කඩේට ගිහින්"


එය මෝටර් රථ අමතර කොටස් කඩයකි. ඒවා පිළිබඳව අම්මා නොදනියි. "මොනාද ගත්තෙ, මොනාද බැලුවෙ " කියා ඉතින් ඇය නාසනු ඇත. එසේ හෙයින් ඇයට බොරු කියන්නටද මට සිදුවන්නේ නැත.


මගේ දෙනෙත් ඇත්තේ වෛද්‍ය මධ්‍යස්ථානයේ දොර‍ටුව දෙසටය. ඔරලෝසුවේ පැය කට්ට 5 ඉලක්කම ලඟ නැවතී ඇත. විනාඩි කට්ට 12 පසු කරගෙන ඇදේ. 
සිත අපේක්ෂාවෙන් ගැහෙයි. 




මම මගේ උපැස් යුවල හොඳින් සකසා ගනිමි. ඒ දෘශ්ටි මායාවක්ද? නැත ඒ ඇයයි. 
ඇය පාර හරහා මාරු වේ. 
කඩයේ තරුණයා මම ඉල්ලූ විදුලි බල්බය ගෙන කවුන්ටරය අසලට පැමිණේ.
මම ගොස්  මෝටර් රථයට නගිමි. 

Comments

  1. කෙල්ලෙක් කොල්ලෙක් ගැන ලියන එක මෙච්චර අගේට කරන්නේ කොහොමද දරුවෝ ?

    ReplyDelete
  2. දැන් නම් කතාව බලන්න ආසා හිතෙන ගානට ආවා

    ReplyDelete
  3. හප්පේ...මාර හඹා යාමක්.හැබෑට අම්මට කිව්වොත් හොද නැද්ද???

    ReplyDelete
  4. ඇය පාර හරහා මාරු වී එහාපැත්තෙ තිබූ පෙම්වතාගේ රථයටවත් ගොඩ වුනාද??? නැතිනම් අපේ යාලුවාම ලිෆ්ට් එකක් දුන්නාද?

    ReplyDelete

Post a Comment