Sunday, February 22, 2015

සුවඳ













ආයෙමත් වතාවක් කැරට් ෆේස් වොෂ් එකක් අරන් ආවා. 
ඒකෙන් ටිකක් අතට අරන් මූණට ළං කරද්දි එන සුවඳ  මතකයන් ගොඩක් චිත්‍රපටයක් වගේ හිතට අරන් එනව. 
එක සුවඳයි.... මතකයන් සියයකට වැඩියි.....

ඒ නිසයි කොයි තරම් දේ වෙනස් කළත් තවමත් අවුරුදු ගාණක් තිස්සෙ මම වෙනස් නොකළ එක දෙයක් වෙන්නෙ මගෙ ෆේස් වොෂ් වර්ගය...........

පාසල නිමා වෙන්න ළං වෙද්දි අපි හැමදාමත් කන් යොමාගෙන ඉන්නෙ අල්ලපු පාසලේ සීනු හඬ ඇහෙනකම්. (සීනු හඬ කිවුවට ඒක නිකම් අර "චූන් පාන්" වාහනේක සද්දෙ වගේ සංගීතයක්.  )

අපේ සීනුව වදින්න විනාඩි 5කට කලින් ඒ සද්දෙ ඇහෙනකොට හැමදාමත් අපි හිමින් හිමින් පොත් ටික අස් කරන්න පටන් ගන්නව. 
ඒ හවස පන්ති යන්න ඉක්මන් වෙන්න.  
පොත් ටික අස් කරගත්තට පස්සෙ මගෙ අත යන්නෙ පොත් බෑග් එකේ පතුලෙ හංගලා තියෙන චූටි බෝත්ලේකට.....ඒක අඟල් එකහමාරක් විතට උස වීදුරු බෝතලයක්, නිල් පාට මූඩියක් තිබුණ. ඉස්සර චිත්‍ර කරන කාලෙ පාවිච්චි කරපු පාට බෝතලයක්. ඒක ඇතුලෙ තමයි මම මගෙ ෆේස් වොෂ් දාගෙන ආවෙ.

ඉස්කෝලෙ ඇරිලා අමතර පන්ති යන්න කලින් හැමදාමත් ඒකෙන් මූණ හෝදගෙන යන එක මගෙයි යාළුවගෙයි පුරුද්දක්........... "මූණ හෝදගෙන ගියා කියල අපිව කවුරු බලන්නද....... " කියල හැමදාම හිනා වෙවී මූණ හේදුවත්, ඒ පුරුද්දෙන් මිදෙන්න නම් බැරි වුණා. (කවුද දන්නෙ අපිටත් secret admirers  හිටියද කියල...;-) ) 

ඒ විදියට ෆේස් වොෂ් හොරෙන් අරන් ගියෙ අපේ ඉස්කෝලෙ ඒ දෙවල් තහනම් නිසා. දැන් හිතෙනව ඒකෙ මොකද්ද තියන වැ‍රැද්ද කියලත්. ඒත් ඒ වගේ නීති තිබුණ නිසා තමයි අපේ ඉස්කෝලෙ ළමයින්ගෙ විනය නිරන්තරයෙන්ම පාලනය වුණේ. 

ඒ පොඩි හොර වැඩේ මතක් වෙද්දි තවමත් හිතට මහා ලොකු වීර කමක් දැනෙනව. 

ඒ නිසා තවමත් මම ඒ සුවඳ දිනපතා විඳින්න ප්‍රිය කරනව. මගෙ පාසල... ඒ සුන්දර කාලය, මගෙ යාලුවා........ ඒ හැමදේම මගෙ හිතට ගේන්නෙ මේ ෆේස් වොෂ් එක.................


ෆොටෝ එක ගත්තෙ මෙතනින්. ඡායාරූප ශිල්පියාට ස්තූතියි   (https://www.flickr.com/photos/piaser/3418416845/)

සුවඳවල් එක්ක අපේ මතක බැඳිලා තියෙන්නෙ මහ පුදුමාකාර විදියට. සුන්දර සහ අසුන්දර හැඟීම් සියල්ලටම එය පොදුයි.

කාලයක් මම ආසාවෙන් පාවිච්චි කළ ඩෙටෝල් කූල් සබන් එක , එක්තරා සිදුවීමක් නිසා මම පාවිච්චි නොකරන තත්වයට පත් වුණා. අදටත් ඒ සුවඳ මට ගේන්නෙ මහා මූසල හැඟීමක්. 

මම මෙඩිකල් ෆැකල්ට් ගිහින් තුන්වෙනි අවුරුද්දෙ ටික දවසකින් මට cardiology stethoscope   එකක් තෑග්ගක් හම්බුණා. ඒ වෙද්දි මට stethoscope  එකක් තිබුණා වුණත් මගෙ නමත් කොටලා ලැබුණ ඒක මට ලොකු දෙයක් වුණා. (තවමත් තියෙන්නෙ ඒක. ) 

ඒ වෙද්දි heart sounds ගැන ලොකු ප්‍රායෝගික දැනුමක් මට තිබුනෙ නැ. තුන්වෙනි අවුරුද්ද කියන්නෙ සායනික පුහුණු වීම් ආරම්භ වෙන අවුරුද්ද. ඉතින් cardiology steth එකෙන් මම කළේ මගෙම හර්ද ස්පන්දනය අහල බැලීම. 

ඒ වෙලාවෙ කවදාවත් ඇහුණෙ නැති පුන්චි "හෝ...."  සද්දයක් මට ඇහෙන්න පටන් ගත්ත.  මට ටිකක් බය හිතුණ. මහා ලොකු  සද්දයක් නෙමේ.......... 
ඒත් ඒක murmur එකක්ද කියල අනියත බියක් මගෙ හිතට ආවා.තමන්ට දකින්න ලැබෙන රෝගීන්ට තියෙන රෝග තමන්ටත් තියෙනව වගේ හිතෙන එක ඒ කාලෙ සුලභ දෙයක්................ :-D

(සාමාන්‍ය ව්යවහාරයේ හර්දයේ සිදුරක් කියල හඳුන්වන තත්ව වල මේ වගේ වෙනස් සද්ද ඇති වෙන්න පුළුවන්.) 

මම මගෙ ජීවිතේ හැම දේම මගෙ හොඳම යාලුවට කියන්න පුරුදු වෙලා හිටියෙ. 
වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ. ඒකත් කිවුවෙ එයාට. 
එයා පුදුම වුණා. මොකද මට ඉහෙන් බහින ලෙඩක් තියනව කියල කිසිම සලකුණක් තිබුණෙ නෑ පොඩි කාලෙ ඉඳන්ම......... ඒත් කාටද කියන්න පුළුවන් ජීවිතේ ගැන.  

එයා දුන්නෙ එක උපදෙසයි. කාටවත් ඒ ගැන කියන්න එපා. අම්මලාට කියල ඩොක්ට කෙනෙක්ව හම්බෙන්න කියල. 

ඉතාම අමාරුවෙන් හිත හදාගත්තු මම අම්මටයි අප්පච්චිටයි ඒ ගැන කිවුව. 
ඒ දෙන්නා බය වෙන එක අහන්නත් දෙයක්ද, දුව මෙඩිකල් ස්‍ටුඩන්ට් කෙනෙක්නෙ,

අනිත් එක ඉතින් අම්මලාත් හිතන්න ඇති "ඇත්ත තමයි..... කොච්චර කෑවත් කෝ‍ටුවක් වගේ. මේ ළමයට නම් මොකක් හරි ලෙඩක් තමයි " කියල. 

(ලොකු විස්තරක් කියාගෙන ආව. මෙතෙන්ට කොහෙන්ද ඩෙටෝල් කූල් සුවඳ සම්බන්ද වුණේ? ඉන්නකො, කියන්නම්.)

මගෙ හර්දයේ සිදුර ගැන කතාව අහපු අම්මලා මාව එක්කන් ගියා ගෙවල් දිහා ඩොක්ට කෙනෙක් ළඟට. මාව පරීක්ෂා කරපු ඔහුත් කිවුවා ඔහුටත් ඒ වගේ සද්දයක් ඇහෙනවා කියලා. 

මගෙ ජීවිතේම කඩා වැ‍ටුණා. පාර දිගේ ගෙදරට එනකම් මාව වෙවුලුවා. සීතලට මිනිස්සුන්ව වෙවුලනවා වගේ. 
ගෙදරට ආව ගමන් බාත් රූම් එකට ගිය මම හොඳටම ඇඬුව. මගෙ හීන, මගෙ බලාපොරොත්තු, අම්මා, අප්පච්චි, මගෙ පුංචි නංගි ............... ඒ හැමදේම මතක් කරලා. 

ඒ වෙලාවෙ බාත් රූම් එක පුරා තිබුනෙ ඩෙටෝල් කූල් සබන් සුවඳ...... 

ඒ නිසා තවමත් ඒ සුවඳ දැනෙද්දි ඒ එක්ක බද්ධ වුණ ඒ මහා අවාසනාවන්ත දුක්බර හැඟීම මට දැනෙනවා.

කියන්න අමතක වුණා. මටයි ගෙවල් ළඟ ඩොක්ටටයි දෙන්නටම ටිකක් විතර පිස්සු කියලා හිතුව අම්මයි අප්පච්චියි එදාම හවස මාව VP කෙනෙක් ළඟට එක්කන් ගියා. 
එයා ඒ වෙලාවෙ රෝග නිර්ණය කළා මගෙ හර්දය නම් නිරෝගීයි.... ලෙඩක් තියනව නම් තියෙන්නෙ මගෙ මොළයෙ කියල.

Perfume සුවඳක් දැනෙද්දි කවදාවත් අප්‍රසන්න හැඟීමක් දැනිලා තියෙනවද....... මට ඒකත් වෙලා තියෙනව. 

ඒ මම ෆැකල්ටි හිටිය හතර වෙනි අවුරුද්ද...... ඒකෙ තියෙනව forensic medicine විෂයක් වශයෙන්. ඒකෙ ප්‍රායෝගික පිහුණුව තියෙන්නෙ මෝචරියෙ මරණ පරීක්ෂණ කරන වෙලාවට. 

ඒ දවස් වල මම පාවිච්චි කළේ එක්තරා වර්ගයක jasmine perfume එකක්. මම හැමදාම මෝචරියට යන්න කලින් ලේන්සුවක් ඒ perfume එකෙන් පොඟවාගෙන් තමයි ඇතුළට යන්නෙ. 
ඇතුලට ගියගමන් නහයට තියාගන්න ඒ ලේන්සුව අයින් කරන්නෙ එළියට ආවට පස්සෙ.  

ඒ පුහුණු කාල සීමාව අන්තිමට අපිට තියෙනවා පොතක අත්සනක් ගන්න අදාල අංශයෙ වෛද්‍යවරයෙකුට කියලා. ඒ තමන්ම මරණ පරීක්ෂණයක් කළාට පස්සෙ. 
අපේ කණ්ඩායමෙන්ම මරණ පරීක්ෂණයක් නොකර හොරට ඒ අත්සන ලබාගත්තු දෙන්නගෙන් එක්කෙනෙක් මම. 
ඒක ආඩම්බරෙන් කියන දෙයක් නෙමේ. ඒක වැරදියි තමයි. ඒත් තවමත් අර jasmine  සුවඳ දැනෙද්දි මෝචරිය මතක් වෙන මම කොහොම මරණ පරීක්ෂණ කරන්නද................