Tuesday, December 20, 2016

සමුනොගන්නෙමි මතක දෙවසර - මන්නාරම් වස්සානය

මන්නාරමෙන් නික්ම ආවෙමි. ඒ මීට තුන් මසකට පෙරදීය. වරෙක ඒ දිනය ඊයේ මෙන් දැනේ. එය ඒ තරමටම හිතට සමීපය.
තවත් වරෙක එය පසුගිය ආත්ම භවයක් මෙන් දැනේ... එම දිවිය ඒ තරමටම දැනට වඩා වෙනස් ය.

පුරා වසරක දාහය නිවමින් සීතල දෙසැම්බරය මා  මේ සටහන් තබන මොහොතේදීත් මන්නාරම සනසනවා විය යුතුය. පසු ගිය නොවැම්බරයේ දහවලක් රැයක් නොවෙනස්ව ඉකි ගසා හැඬූ  මන්නාරම් අහස මෙවරද එලෙසම හඬන්නට ඇත.
වහින්නට සිතූ විට එතරම් හිතුවක්කාර වන අහසක් මම ඊට පෙර දැක නොතිබුණෙමි.
වැස්සක් පිළිබඳව ජීවිතයේ ප්‍රථම වරට ප්‍රාණ බියක් දැනුනේද මන්නාරමේදීය.

ඒ වෙනදාට කිසිදු හැලහොල්මනක් නැති  කලපුව මැදින් මහ වැස්සේ මෝටර්‍ රථයෙන් යන්නට සිදු වූ විටකය. වෙනදාට නිල්පැහැයෙන් පින්තාරු වූ සලුවක සිරි ගත් කලපු දිය එදින යක්ශාවේෂ වූ යකැදුරෙකු වී තිබිණි. හැමූ තද සුළඟත් සමඟ අඩි ගණනක් උඩට විසිරුණු කලපු රළ තාරපාර මතට පතිත වූයේ රුදුරු විලාසයකිනි. රිදී පැහැයත් අලු පැහැයත් කළු පැහැයේ විවිධ ප්‍රභේදත් මුසු වූ අහසත් පොළොව වෙතටම රවමින් ගොරවමින් විදුලි එලි ඉසිමින් සිටියේ නිල් පැහැය යනු කුමක්දැයි උපන්තේකට අසා නැති සේය.

සැබැවින්ම මම බිය වීමි. කිලෝමීටර් තුන්සියයක් ගෙවාගෙන නිවසේ සිට එදින පැමිණෙමින් සිටියත් ඉතිරි වූ එකම කිලෝමීටරය නොගොස් ආපසු හැරීමට තරම් බිය වීමි. කලු පැහැති පරිසරයේ වූ එකම වෙනත් වර්ණය රතුපැහැති කුඩා පැන්ඩා රථය වන්නට ඇත.

එහෙත් වසරක් පුරා විඩාවෙන් විජලනයෙන් දුක් දරූ මහා පොළොව සැනසෙමින් තිබිණි. තුරු ලතාවෝ නැවතත් දළුලන්නට සැරසෙමින් සිටියහ. 
සති ගණනක හැඩීමෙන් රතු ව බොඳවූ ඇස් ඇතිව සිටි අහස නොබෝ දිනකින්ම විඩා නිවන්නට පටන් ගත්තේය. 











ඇයට උරුම වූ මන්නාරම් නිල් පැහැය කෙමෙන් කෙමෙන් නැවතත් ඈ වෙත ලඟා වී තිබිණි. නොඑසේ නම් සැමදා තමන්ගේ තාඩන පීඩන වලට ලක් වූ තුරු ලතා සහ සියලු සත්වයන් කෙරෙහි යම් අනුකම්පාවක් පහල වන්නට ඇත.

මෘදු හිරු රැසුත් නිරන්තරයෙන් දූපත හරහා හමා ගිය සුළඟත් නිසා දූපත පුරාම පැවතියේ සිසිලසකි. වර්ෂාව නැවතී සති ගණනක් ගත වන තුරුම සෑම පහත බිමකම පාහේ වතුර එක් රැස් වී තිබිණි. දූපත පුරාමත් ඉන් ඔබ්බට වන්කාලයි ප්‍රදේශයේද සෑම තැනකම දිය කඩති ය. 












උතුරුකරය පිස හමා ගිය සුළඟ යුරෝපය දෙසට ගමන් කර ඒ පිළිබඳව පණිවුඩය ලබා දී තිබිණි.
තලෙයිමන්නාරම දෙසට ආදම්ගේ පාලම හරහා පියාසර කළ සංචාරක පක්ෂීන් සැතපුම් දහස් ගණනක් ගෙවා පැමිණ  මන්නාරම් දුපතේ ද ඉන් ඔබ්බට වූ වන්කාලෛ අභය භූමියේද ලැගුම් ගත්හ. තාරාවුන්, ලිහිණියන් ආදී  විවිධාකාර පක්ෂීහු ලක්ෂ ගණනකින් , සියලුම දියකඩිති පිරී ගියේය.











රෝස පැහැති පිහාටු වලින්ද රත් පැහැ ගත් උස් වූ පාද වලින්ද හැඩවූ රජ සියක්කාරයන් (Greater flamingo) මන්නාරමේ සංචාරක පක්ෂීන් අතුරින් සොඳුරුතම දසුන මැවුවෝය. උතුරු ප්‍රදේශයේ සිට සියක්කාරයන් නොදුටු දෙනෙතකින් පළක් නොමත්තේමය. එය එතරම්ම සොඳුරු සිතුවමකි.

වස්සානයෙන් පිරී ගිය දියෙන් උදම් වූවෝ විහඟුන් පමණක්ම  නොවුහ.  දූපතේ සංඛේතාත්මක සිවුපාවා බඳු වූ බුරුවන් ද කැලෑ අශ්වයන් ද නව පණක් ලද සේ විය. අශ්ව රංචුවට නව පැටවුන් කිහිපයක්ද එක වී සිටියහ.













තෙත් පොළොව සිදුරු කර මතු වෙමින් තිබූ ලා තණ වල නැවුම් සුවඳ විඳිමින් ඔවුහු ප්‍රීති වූහ.
කිසිදු භේදයකින් තොරවම සියලුම තුරුලතා නවමු හරිත පැහැයෙන් දිදුලන්නට වන. තුරු පත් අගින් බේරී හිස මත පතිත වන්නට වැහි බිඳු නිරන්තරයෙන් සැදී පැහැදී සිටි අතර අතු අග පැළඳි මුතු කර්ණාභරණ සේ දිසි මල් පොහොට්ටු පිපී හිනැහෙමින් කළ එලි බසින්නට ඇඟිලි ගනිමින් සිටියහ.

මන්නාරම යනු පාරාදීසයකි. සිහිනෙන් ගෑ මුදු සුවඳක් සේ දැනුදු සිහිපත් වන , ජීවිතයේ කිසිදු දිනයක නැවත නොලැබෙන අන්දමේ මතකයන් රැසක් දුන් මන්නාරම මතකයන් අතර නැවත නැවතත් අතරමංවම සිටිනු රිසියෙමි. 

Monday, December 12, 2016

ආයෙ නුඹ එන දාට

අවසඟය සිතිවිලි
සිපගන්න ඇවැසිය
මොහොතකට නුඹේ මුව
අමතකව ගිය සුවඳක්
යලි යලිත් සිහි වන්නට
එහෙත් නුඹ දුරස් ය
බොහෝ සේ දුර ගොස්ය
කඳු වලල්ලෙන් මෙහා ඉම
තනිව මම හිඳින්නෙමි
මා මුව ගැටෙන සුවඳක්
නුඹට හමුවනු පිණිස
හදිසියේ පා කරනෙමි
කඳුකර‍යෙ වන මලක
සුවඳක්ද වඩාගත්
ඒ නැවුම් සුවඳ පොද
නුඹේ දොරකඩ ළඟින්
හමා යන මොහොතකදි
ඉසිඹුවක ඉඩ දෙන්න
ඒ සුමුදු සුවඳ රොද
නුඹේ මුව දැවටෙන්න
මුදු සුවඳ හද දරන්
පරිස්සම් කරන් හිත
ආයෙ නුඹ එන දාට
නැවත අරගෙන එන්න


බලාපොරොත්තු

Anencephaly බබෙක් ඩිලිවර් කරන්න යන්නෙ..
ප්‍රසූතිකාගාරයෙන් ලැබුණ දුරකතණ ඇමතුම තරමක කලබලයකට හේතු විය.
anencephaly යනු, මොළයේ විශාල කොටසක් සහ හිස්කබලේ කොටසක විකසනය නොවීම නිසා ඇතිවන තත්වයක්.

එවන් දරුවන් ජීවත් කරවීම අපහසු වුවත් ඉපදෙන්නේ පණ ඇති දරුවෙක්. එම නිසා ඔහු වෙනුවෙන් සිදු කළ හැකි සියලු දේ කළ යුතුයි.

උපතේදී ඔහු හඬා තිබුණත්,ඉපදී පැය කිහිපයක් ඇතුළත ඔහුගේ හුස්ම සහ හදවත් නැවතිනි.ඒ දරුවා පිළිබඳව,වෙනත් දරුවන් පිළිබඳව තරම් අප කිසිවෙකුටත් කණගාටුවක් ඇති වූයේ නැහැ. මන්ද යත් ඔහුගේ ඉරණම පිලිබඳව අප මෙන්ම ඔහුගේ මවුපියන්ද දැන සිටි නිසාවෙනි

පසු දින උදෑසනම පසු ප්‍රසව වාට්ටුවේ අලුත උපන් දරුවන් බැලීමට මම ගියේ එහි වැඩ ඉක්මනින් අවසන් කිරීමේ බලාපොරොත්තුවෙනි. පළමු ඇඳේ සිටි බිළිඳාගේ ගැටලු කිසිවක් නොවීය.

දෙවෙනි ඇඳේ සිටි මව අසලටද මම ගියෙමි. ඈ සමග දරුවෙක් සිටියේ නැත.
"බබා කෝ අම්මා, බේබි කාමරේද?" මා විමසුවේ එතරම්ම සැලකිල්ලකින් නොවේ. නොමේරූ ළදරු ඒකකයේ දරුවන්ගේ සියලු මව්වරුන් මුහුණින් හා නමින් හැඳිනුවද, ඇගේ මුහුණ මට සුපුරුදු නොවීය.
“බබා බේබි කාමරේද අම්මා?” වැඩි දුර නොසිතාම මම ඇගෙන් විමසුවෙමි. 
‘එයාගේ බබා තමයි Anencephaly බබා ඩොක්ට” ඇය පිළිතුරු දීමට පෙරම හෙදිය පැවසුවාය.
එක්වරම මා පත් වුයේ දැඩි අපහසුතාවයකට මෙන්ම මා පිළිබඳවම ඇති වූ තරමක කලකිරීමකටය. ඇයගෙන් ඒ පිළිබඳව සමාව ඉල්ලිමට වඩා වැඩි යමක් හැර ඇගේ සිත හැදෙන යමක් කීමට තරම් හැකියාවක් මා හට ඒ මොහොතේ නොවීය. නමුත් ඒ මව කතා කළාය.
“ඩොක්ට ද බේබි කාමරේ බබාලා බලන්නේ?”
“ඔව් අම්මා,.. මොකද්ද වෙන්න ඕන?”
“”මට මගේ බබා ගැන දෙයක් දැනගන්න ඕන. මගේ බබා ඇස දෙක ඇරියාද?”
ඇගේ ප්‍රශ්නය මා හට තරමක විමතියක් ගෙන දුන් ප්‍රශ්නයක් විය. එහි ගැබ් වූ අදහස මා හට එතරම් පැහැදිලිව වැටහුනේ නැත. එහෙත් මම පිළිතුරු දුනිමි.
“ඔව් අම්මා. එයා ඇස් ඇරියා. පැය දෙක තුනක් ජීවත් වුණානෙ.”
ඇයගේ මුහුණේ වූ දුක්බර අඳුරු රේඛා අතරට තරමක සැනසිල්ලක සේයාවක්ද එක් විය.
“එහෙනම් කමක් නෑ”
“ඇයි අම්මා එහෙම ඇහුවේ?” එවන් වූ දුක්බර මොහොතක වුවත් ඇගේ අමුතු පානය මා හට කුතුහලයක් ගෙන දුනි.
“නෑ... මට දැනගන්න ඕන වුනේ අඩුම තරමේ එයා මේ ලෝකේ දැක්කද කියලා... කලුවරේම ඉඳලා එලියට ඇවිල්ලත් ලෝකේ දකින්නේ නැතිවම ද හිටියේ කියල දැනගන්න ඕන වුණේ.....
අඩුම තරමේ එයා ලෝකේ දැක්කනේ. එකත් ලොකු දෙයක්නේ”
ඇගේ ඒ වචන කිහිපය මා හට දරා ගත නොහැකි විය. මගේ දෙනෙත් වලට කඳුළු පිරුණේ නිරායාසයෙනි. එහෙත් මම ඇයට පිළිතුරු දුනිමි.
“එක ඇත්ත, බබා ටික වෙලාවකට හරි ලෝකේ දැක්ක”
එම මව සිහිපත් වන විට දැනුදු මගේ නෙත් වලට කඳුළු උනන තරමේ කණගාටුවක් ඇති වේ.
එහෙත් ඇය ඒ දුකම සැනසීමකට පෙරලා ගත අයුරු පුදුම සහගත ය.
එම දරුවා සිහිපත් වන සෑම අවස්ථාවකදීම තවත් එවැනිම බිළිඳෙකු පිළිබඳව මා සිතට නැගේ.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඒ මම වෛද්‍ය සිසුවියකව සිටි අවධියයි.
මෙවැනිම වූ anencephaly දරුවෙකු බිහිවී තිබිණි. පැහැපත් හොඳින් වැඩුන සිරුරකින්ද යුතු වුවද එම බිළිඳාගේ ඉරණමත් සියල්ලෝම දැන සිටියහ.
නමුත් ඔහුගේ මවුපියන් බලාපොරොත්තු ඇත හැරිමට කිසි ලෙසකින් හෝ සුදානම් නොවූහ.රෝගීන් බැලීමට අමුත්තන් පැමිණෙන වෙලාවේ දරුවාගේ පියා පැමිණියේ හාමුදුරු නමක්ද සමගිනි. පැයක් තිස්සේ දරුවාගේ අත අල්ලාගෙන පිරිත් දේශනා කළ ස්වාමින් වහන්සේ ආපසු වැඩියේ ඔහුගේ අතෙහි පිරිත් නූලක්ද බැඳීමෙන් අනතුරුවය
.
ජීවත් නොවන බව දැන දැනත් ජීවත් වේ යැයි බලාපොරොත්තුවේ ය සේයාවක් එම පියාගේ දෙනෙත් වල මම ඒ වෙලේ දුටිමි


අමනාප කවි

නෑවිදින් නුඹ තවත්
කවිත් අමනාපයෙන්...
හිස් හිතත්, හිස් පොතත්
නුඹ එතැයි මග බලන්
තැවුල් සිත සෙනෙහසින්
සියුමැලිව පිරි මැදන්
ආයෙමත් නුඹ එන්න
දුරුතු සීතල මැදින්

නුඹ නොමැති පාලුවත්
සොඳුරුතම රිදවුමක්
නුබ නොමැති හීනයත්
අඳුරුතම සීතලක්
උණුසුම්ම සුසුමකුත්
කොපුල් මත විසිරමින්
නුඹ සිඹින තත්පරෙත්
මට මහා කල්පයක්


Tuesday, October 25, 2016

සමු නොගන්නෙමි මතක දෙවසර 04 - කතා කරන සිලාවතුර

කතාකරන සිලාවතුර

රන් පැහැති වෙරළ හා මදකට කෝළ වන සුදු රල පෙළ නැවතත් සයුරටම ඇදී ගියේය. රන් පැහැ වැලි කඳු යට සැඟවී ගත් කළු පැහැ ගත් වැලි මතු වුයේ ආපසු යන රළ ට විරෝධය පාන්නට මෙනි. නැගෙනහිර දෙසින් පැමිණි සිහින් වැහි පොදක් ගත තෙමා නොතෙමා පසුබා ගියේය.

මම කකුලේ ඇඟිල්ලෙන් පොළොවේ “එස්” අකුර ලිවීමි. අනතුරුව “එම්” අකුර..... නැවත වරක් “එස් “ සටහන් කිරීමට මට ඉඩ නොදීම ඊළඟ රළ මගේ සටහන මකා දැමීය. අනන්තයට දිවෙන වෙරළ දිගේ දිව යාමට තරම්  දඟකාර කමක් සිතේ උපදියි. මටවත් නොතේරෙන උද්යෝගයකින් සිත පිරී ගොස් තිබිණි. 

සිලාවතුර වෙරළ කතා කරනවා තරමට ප්‍රාණවත් ය.

මම සයුර දෙස බැලීමි. තල් අරණ පිස හමා එන සුළඟ සුපුරුදු පරිදි රළ සමහ කතා බහේ ය. ජලය නිල් පැහැයෙන් අනුණය. ඒ ඈත මුහුදය. රල බිඳෙන සීමාවෙන් මදක් එපිට ඇති මුහුදේ ඇත්තේ කොළ පැහැයකි. ඒ ඇතැම් විට මුහුදු දිය හා එක් වූ හිරු එලිය කළ දඟකාරකමක් වන්නට ඇත. නමුත් මා දැක ඇති වර්ණ තීරු වලින් හැඩ වූ  එකම මුහුද සිලාවතුර මුහුදය. එය දෘෂ්ටි මායාවක් වන්නටද පුළුවන.

ඩොරික් බංගලාවේ ආරක්ෂාවට සිටින නාවික සෙබලා ඈත මුහුද දෙස බලා ගත වනම ගැඹුරු කල්පනාවකය. ඔහුගේ නිළ ඇඳුමත් මුහුදේ පැහැයත් එක සමානය. සැතපුම් සිය ගණනක් දුරින් සිටින සිය මවුපියන් ඔහුට සිහි වනවා වන්නට ඇත. නො එසේ නම්, මාසයකින් නොදුටු තම බිරිඳත් දියණියත් පිළිබඳව ඔහු කම්පාවෙන් පසු වනවා වන්නට ඇත. එසේත් නැතහොත් නිමාවෙමින් පැවති යුද්ධයේ අප නොදන්නා සමයක, නොහඳුනන පෙදෙසක තම දිවි බේරා ගත අයුරු ඔහුට සිහි වනවා වන්නට ඇත.

මීට සියවස් කිහිපයට පෙර ෆෙඩ්රික් නොර්ත් ආණ්ඩුකාරයාගේ ආරක්ෂාවට මෙහි සිටි යුරෝපිය සෙබලෙකු මෙලෙසින්ම ඈත සිතිජය  දෙස බලා සිටි අයුරු මගේ මනසේ ඇඳේ. මුහුදු වැලි පැහැ හිසකේ සහ මුහුදු දිය පැහැති දෑසින් හෙබි ඔහු තම නැව පැමිණි ඉසව්ව සොයනවා බඳුය.

අපට ලබා දුන් දේට වඩා යුරෝපීයයන් අප රටින් උදුරා ගත් දෑ බොහෝය. ලංකාවේ වයඹ දිග වෙරළ තීරය පුරාවට තිබු බොහෝ මුතු එක් කරන ලද්දේ ඔවුන් විසිනි. නොර්ත් ආණ්ඩුකාරයා  විසින් සිය නවාතැන මෙහි ඉදි කිරීමට තීරණය කිරීමට ප්‍රධානම හේතුව , මුතු එකතු කිරීමේ ක්‍රියාවලිය තම දෑසින්ම අධ්‍යයනය කිරීම බව පැවසේ. මුතු එකතු කරන්නන්ගේ සූක්ෂම දෑත් වලින් මිදුණු පරම්පරා වල මුතු බෙල්ලන් තවමත් , තම මුතු හංගා ගත් වනම ගැඹුරු මුහුදේ සුනිල දිය සහ පෙණ බිඳිති අතර සිටිනවා ඇත.

වෙරළට ගසාගෙන විත් ඇති සිප්පි කටුවක් මම සුරතට ගෙන බැලීමි. රෝස පැහැ සිප්පි කටුවේ මට නොපෙනෙන භාෂාවකින් කළු පැහැයෙන් සටහනකි.එහි ඇතුල් පැත්තේ හිරු එළියෙන් පාට වෙනස් වන තවත් සිතුවමකි.  ඒ  හිරු නගින විට හා බැස යන විට දිය කිඳුරියන් අපට නැසෙන ස්වරයකින් ගයන   ගීත ද? නැතහොත් ඔවුන්ගේ පින්සල් වලින් ඇඳෙන සිතුවම් ද?

ඩොරික් බංගලාවේ ආරුක්කු අතරින් ,හිරු  සයුරේ ගිලෙන්නට සැරසේ. ග්‍රීක ගෘහ නිර්මාණ ශිල්පයේ ඩොරික් සම්ප්‍රදායානුකූලව නිර්මිත මෙහි මේ ආරුක්කු අතරින්ම හිරු ,මේ ලෙසින්ම අතීතයේදී ද බැස යන්නට ඇත.


නව පෙම්වතුන් යුවලක් මට ඉදිරියෙන් ඇවිද යයි. මම නැවතත් හුදෙකලාවට පෙම් බඳිමින් සිටියෙමි. ඔවුන් සිනාසෙන හඬ ඇසේ. මම මුනිවත රැකීමි.

නිකැළැල් සිප්පි කටුවක් මා පයට පෑගී ආරක්ෂා විය. මම එය අහුලා ගතිමි. සොබාදහම් දිනිතියගේ ඇකයෙන් මොහොතකට මිදුණු එම හිතුවක්කාර පුංචි සිප්පිකටුව ඇයට හොරෙන් සඟවාගෙන මම සාකුවේ රුවා ගතිමි. ඇගෙන් සිප්පි කටුවක තරම් දෙයක් වත් සොරා නොගත යුතු බව මම දනිමි. නමුත් කුමක් හෝ සිහිවටනයක් මට අවැසි විය.


අදටත් මම ඉඳහිට එය අතට ගෙන බලමි.  


Saturday, October 15, 2016

සමුනොගන්නෙමි , මතක දෙවසර - නොමැකුණු තම්බපන්නිය

එය නපුරු ඉඩෝරයත් , හැඬුම් බර වස්සානයත් අතර මැදි කාලයක් විය.

පාරේ යන්තම් වැදී නොවැදී   යන කැබ් රථය ඉදිරියට යනවාටත් වඩා විසිවන්නේ අහස දෙසටය. කිසිදිනෙක තාර බිඳකුදු නොදුටු ගුරු පාර වල ගොඩැලි වලින් ගහන ය. එය විල්පත්තුව නරඹන්නට පැමිණෙන්නන් නිතර යන ඉසව්වක් නොවේ.

වායු සමනය නොකළ කැබ් රථය හය දෙනෙකුට තරම් වුවද ,එතරම් සුව පහසු නොවීය.  එය වන අඩවි නිලධාරීන් විසින් භාවිත කරනු ලැබුවක් නිසාදෝ පාරේ අඟලෙන් අඟල ද , වල ගොඩැලි ද  පාර දෙපස ඝන වන ලැහැබ වාහනයටත් හුරු පුරුදු බඳුය. සැබවින්ම ඒ වන ජීවී නිලධාරීන් ද ඔවුන්ගේ වාහනයද විල්පත්තුවේම කොටසක් බවට පත් වී තිබිණි.

තම්බපන්නිය - හුදෙක් විජයාවතරණ පුරාවෘතයේ එන පෙදෙසක් පමණක්  පමණක් ලෙසින් කාලයක් සිතා  සිටි මම සැබවින්ම තම්බපන්නිය බැලීමට යමින් සිටියෙමි. කුදිරමලේ තුඩුව , සහ කේ පොයින්ට් යන නම් වලින්ද හඳුන්වන එය විපත්තුව කැලෑවට අයත් වන කොටසක මුහුදු වෙරළකි.

මුහුදු වෙරලකුදු , එය මුහුදු මට්ටමේ සිට තරමක් උසකින් පැවතිණි.උස ස්ථාන වලට ඇති මගේ බියද , මුහුද දෙස එබී බැලීමේ ආශාවද වරින් වර  එකිනෙක පරයමින් සටන් වැදුන අතර බිය පරදා ආශාව නොබෝ වෙලාවකින් ජය ගත්තේය.

ඈත අහසේ සුදු පැහැති රාජාලියන් කිහිප දෙනෙකු මුහුදට ඉහල අහසේ සරනු දිස් වේ. මේ ප්‍රදේශයේ ඔවුන් සුලබ බව අසා තිබූ නිසාවෙන්ම මම ඔවුන් සිටිනේදැයි අවදානයෙන් පසු වීමි. මුහුදු වෙරළේ සිට ගොඩ බිම දෙස බලන කල්හි දිස් වන්නේ අමුතුම භූ විශමතාවයකි. ලංකාවේ කිසිදු පෙදෙසක මෙවන් වූ අසාමාන්‍ය පිහිටීමක් මම දැක නැත්තෙමි.

“අන්න තුන්පත් රෑන.” වන ජීවී නිලධාරියෙකු පැවසුයේ අප කිසිවෙකුත් නොසිතූ මොහොතකය. තඹ පැහැ ගත් වැලි අවුස්සමින් අවට ගස් වල අතු රිකිලි මුව තුළ රුවා ගනිමින්  සිටි ඔවුන් තිදෙනාට නම් අපගේ වගක් වත් නොවීය . එහෙත් අපගේ සියලු අවධානය ඔවුන් කෙරෙහි යොමු වී තිබුණි. ඒ දර්ශනයේ වූ අපුර්වත්වයත් , කිනම් හෝ මොහොතක ඔවුන් අප වෙත දිව  ඒවි දැයි තිබූ අනියත බියත් ඒ සඳහා හේතු විය.

දවස ගෙවී යමින් තිබිණි. තඹ පැහැ ගත් හිරු , තඹ පැහැ ගත් අහසට ද තඹ පැහැති මුහුදට ද තඹ පැහැයෙන් ගිනි තබමින් තිබුණේ තම්මැන්නා පොළොවේ තඹ පැහැය තව තවත් වැඩි කරමිනි. ඈතින් පෙනෙන බත්තලංගුන්ඩුව දූපත් අඳුරින් ගිලී යද්දී අපි ආපසු පැමිණීමට තීරණය කළෙමු.

පස් කණ්ඩියක් මත වසා සිටි නිල බිඟු හරයෙක් අප දැක ගැයුවේ දුක් ගීයක් ද තුටු ගීයක්ද නැතහොත් සිය ප්‍රියම්බිකාව කැඳවීමට ගීයක්දැයි මම නොදනිමි. එය කුවේණිය මේ බිම පා තබද්දී ඇයට ද ඇසුන ගීතයක් වන්නට ඇත. කුවේණිය සැඟවූ සිය සහචරයන් සොයා වනය පීරණ කල්හි විජයට ඇසුන ගීතයම වන්නටත් ඇත. ජීවිතයේ එක් එක් සන්ධිස්ථාන වල මොහොතකට නවතිමින් විඩා හරිමින් නැවතත් දිව යන අපට නොතේරෙන බොහෝ රහස් සොබා දම සතුය. එය වටහා ගැනීමට තරම් මුහුකුරා ගිය බුද්ධියක් අප හට නොමැත. සොබාදහම වසර ගණනක් පුරාවට දහදිය හෙලා , දුවිලි බිඳු එකින් එක ගලපා නිමවූ මේ භුමියේ වැලි කැටයකවත් අයිතියක්‌ අපට නැත. පාවහන් වල රැඳුනු තඹ පැහැති දුවිලි ද , මතකයේ සහ කාචයේ සටහන් වූ රූපද පමණක්ම ගෙන අපි ආපසු යාමට සැරසුනෙමු.

ආපසු යාමට සිත් නොදෙන තරම් නිසල බවක් අවට පරිසරයේ රැඳී තිබිණි. එහෙත් යා යුතුය. ජීවිතයේ තව බොහෝ දුර යාමට ඇත. රොබට් ෆ්රෝස්ට් පැවසුවාක් මෙන්

 The woods are lovely, dark and deep,   
But I have promises to keep,   
And miles to go before I sleep,   
And miles to go before I sleep.

විජයගේ සහ කුවේනියගේ සුසුම් මුසුවූ සුන්දර තම්මැන්නාව හැර දමා අප ආපසු පැමිණියෙමු. ඒ ජීවිතයේ අවසාන වතාවට වන්නටද පුළුවන.
එහෙත්,
නිල්පැහැති තම්මැන්නා මුහුද,ඈත බත්තලංගුණ්ඩු දුපත් පිස හමා එන සුළංරැලි සමග සැමදා තඹ පැහැති වෙරළ සිප ගනීවි.
නිල් බිගුහරයන් සැමදා ඔවුන්ගේ ගීය අපට නොතේරෙන්නට  ගයාවී.
තුන්පත් රෑන් යලි යළිත් ඉඳහිට හෝ ඇවිත් යාවි.

මන්නාරම, නුඹේ මතකය කිසිදිනෙක සිතෙන් නොමැකේවි.

Sunday, September 25, 2016

සමු නොගන්නෙමි මතක දෙවසර

දෙවන සටහන - තරු අහස යට වෙරළ තෙර තනි වීමි
 

රාත්‍රි  අහස සවස ඇඳ සිටි අනුරාගී රන් සළු උණා දමා තිබිණි. හාත්පස අඳුරුය. එය අමාවක වන්නට ඇත. පෙනෙන එකම ආලෝකය කාංචනා අක්කාගේ මෝටර් රථයේ පහන් එලිය පමණි. ඉනිදු වැඩි කොටසක් තාර පාරේ කළු පැහැයෙන් උරාගෙන තිබිණි.මුව අගුල් ලෑ සේ අප දෙදෙනාම කතා නැත. ඇසෙන එකම හඬ වාහනයේ හඬ පමණි.

පෙසාලයි වෙරළේ සාදයකි. අප දෙදෙනා හැරෙන්නට අනෙක් සියලු දෙනාම සවසම එහි ගොස් සිටියහ. ෙප්සාලයි අප දෙදෙනාටම නුපුරුදු තැනක් නොවේ. නමුත් එදින සාදය පැවැත්වෙන ස්ථානයට නිවැරදිම මාර්ගය අප දෙදෙනාම දැන නොසිටියෙමු. එක වරක් නොව දෙවරක්ම පාර වැරදි ගියේය. පාර අසන්නට කිසිවෙකු පාරේ  නොසිටියේය. මන්නාරම යනු රාත්‍රී 9න් පසුව නිදි ගත වන දූපතකි.  එහි බොහෝ විට මැදියම දක්වා අවදිව සිටින්නෝ පිටින් ගිය අපි පමණක්ම වීමු.
අවසන පාර හමු විය.

“අක්කේ , දෙහි ! “ වාහනයෙන් බසිනවාත් සමගම මා හට සිහිපත් විය. සවස් වරුවම තනිවම අන්නාසි ගෙඩි 4ක් කපමින් සිටි මට දෙහි පිළිබඳව සම්පුර්ණයෙන් අමතක වී තිබිණි.

“මොන දෙහිද?”

“අරගොල්ලෝ මට කිවුවා අපි දෙන්න එද්දී දෙහි ගෙඩි 5ක් ගේන්න කියල. “

දෙහි කුමටදැයි දන්නෝ දනිති.

“දැන් ඉතින් කොහේ හොයන්නද දෙහි, තිබුණේ නෑ කියමු”

මන්නාරමටම උරුම වූ සුදු වැල්ලේ මගේ සපත්තු අඩිය මුළුමනින්ම එරී ගියේය. දහවලේ ගිනිගෙන දැවීමෙන්දෝ මතුපිටට යටින් ඇති වැල්ල තවමත් උණුසුම්ය.  වෙරලටත්, කැලෑවටත් , වාට්ටුවටත් සෑම තැනටම අඩි උස සපත්තු පැළඳීමෙන් උගත් අනන්ත පාඩම් ඇතත් ඒ පුරුද්ද ඇත ඇරීමට තවමත් මා හට හැකි වුයේ නැත. දෙවන වරද වැල්ලේ සපත්තුව එරී ගියේය. “මේක හරි යන්නේ නෑ.” මම සපත්තු දෙකම ගලවා අතට ගතිමි. 

“ වැලි පොලොංගුත් ඇති. “ හාත්පස අඳුර දකින විට සිතිණ. එහෙත් ඒ වන විටත් විදුලි පන්දම් දෙකක් සමගින් මග පෙන්වන්නන් දෙදෙනෙක් පැමිණ සිටියහ.

දෙහි නොමැතිවම සාදය ආරම්භ වී තිබිණි.කිසිවෙකු හට දෙහි මතක් වුයේද නැත. වෙරළේ දල්වා තිබු ගිණි මැලයෙන් රාත්‍රියේ සිසිල පලවා හැර තිබිණි. මදුවිතින් මත් වූවෝද , මුහුදු සුළඟින් මත් වූවෝද , සංගීතයෙන් පමණක් මත වූවෝද සියල්ලෝම ගීත ගායන කරමින් සිටියෝය.

සංගීත සාද මන්නාරමේ උපන්නවුන්ට  එතරම් හුරු නැත. ඔවුන්ගේ විස්මයට නතු වන තරම් සංගීත සාද අපි පවත්වා ඇත්තෙමු. හේතු විරහිතව එක වරම තීරණය කර පැවැත්වූ එවන් සාද බොහොමයක් විය. රාත්‍රී 7 ට 8 ට ආරම්භ වී මැදියම පසු වී පාන්දර වන තුරු පැවති ඒවාට තැනක් නොතැනක් නොවීය. වෙරළ, පාර අයින, නිළ නිවාස ආදී සියලු තැන් වල, ඒ වන විට පටිගත වී තුබූ සියලු ගීත ගැයෙන්නට ඇත. මන්නාරමට යාමට පෙර සාද ප්‍රිය නොකරන්නෙකුව සිටි මම එහි යාමෙන් පසුව සැබවින්ම ඒවාට ඇලුම් කරන්නට වීමි.

මුහුද මුහුදක් නොවන තරමට නිශ්චල විය. රැලි වල සුදු පැහැය හැර කිසිවක් නොපෙනෙන තරම් අඳුරු විය. ඒ තරම් උද්යෝගිමත් සතුටු දායක පරිසරයක වුවත් , මා හට නොතේරෙන කුමක්දෝ පාලු බවක් සිත් කොනක රජයමින් තිබිණි.

හිමිවී තිබී හදිසියේ අහිමි වූ දෙයක් සොයන්නට මෙන් මම රැළි වදින නොවදින ඉසව්වේ  වෙරළ දිගේ තරමක දුරට පිය මැන්නෙමි.ඒ තනිවමය. සසල සයුරෙන් හැරෙන්නට කිසිවකින් මගේ සිතිවිලි වලට බාධාවක් වනවාට කැමැත්තක් මා තුළ තිබුණේ නැත. ගීත වල ඇලී ගැලී සිටි කිසිවෙකුත් හට මා  සිහිපත් නොවන්නටද ඇත.

සීතලට පා වල හැපුණු මුහුදු රළ වැවක රැලි තරමටම මෘදු විය. දඟකාර යෞවනයකු තරම් වෙනදාට සසල මුහුද එදින සුකොමළ යෞවනියකගේ පිය මැනීමක් සේ සියුමැලි විය. සයුරු රැලකට කළ හැකි දේ බොහෝය. සයුරෙහි ගතිගුණද බොහෝය.

සයුරෙහි උපන් ලස්සන සිප්පි කටුවක් නිර්ලෝභීව වෙරළට විටෙක පිළිගන්වන එම සයුරම නොබෝ වෙලාවකින් සිත් පිත් නැති ලෙස වෙරළින් එම සිප්පි කටුවම උදුරාගෙන ගොස් වෙනත් වෙරළකට තෑගී කරයි.

වෙරළින් සයුර දෙසට පියවර දෙක තුනක් මම පිය මැන්නෙමි. පුංචි මාළු පැටවුන් කකුලට කොටනු දැනින. එය කිතියක් පමණි.  එහෙත් අඳුරින් මතු වූ මිනි මොරෙකු මා තෙරක් නොපෙනෙන මුහුදට ඇදගෙන යාවි යැයි අනියත බියක් හදිසියේම මතු විය. මම ආපසු හැරී බැලුවෙමි. අපේ ගිනිමැලය තරමක් අතින් දිස්වේ. ගිටාර් හඬත් ගී හඬත් ඇසෙන්නේ යන්තමිනි. මුහුදේ රල හඬද ඇසෙන්නේ යන්තමිනි.

මුහුදු වෙරළේ දිගා වී , ඒ හඬ අසා  සිටීමට සිත් වේ. ඒ සොබාදහමේ ස්වරය ඉතා හොඳින් වැටහෙමින් තිබු වෙලාවක් විය. මෙවන් වූ පරිසරයක මෙසේ හුදෙකලා වීමටද පින් කර තිබිය යුතුය.

සඳ නැති බව දැන දැනත් සඳ සෙවීමට මම අහස දෙස බැලීමි. ජීවිතයේ කිසිදු දිනයක හැබැහින් නොදුටු නැෂනල් ජියෝග්‍රෆි වැනි චායා රූප වලින් පමණක්ම දැක ඇති අහසක් මම දිටිමි. දෙව් ලොව ඇත්තේ අහසෙහි යයි මිනිසුන් හිතන්නට පටන් ගත්තේ මෙවන් අහස් දැකීමෙන් පසුව වන්නට ඇත. කිසිදු විදුලි ආලෝකයකින් දූෂිත නොවූ ඒ අහස , කෝටියක් සුරවමියන් අතින් ගත් පහන් ඇතිව පොළොව දෙස බලා සිටිනවා බඳු විය.

ඇදහීමට නොහැකි තරම්, වසඟ වන තරම් වූ එවන් සොඳුරු බවක් දැකිය හැකි වන්නේ පොළොවේ සිටම පමණකි. ඒ තරු අබියස සිටගත්තා නම් මෙවන් දසුනක් කෙසේ දකින්නද. ආලෝක වර්ෂ ගණනාවක් ඇතින් සිට මා දුටු ඒ ඇතැම් තරු ඒ වන විට මියැදී බොහෝ කල් වන්නටත් පුළුවන.මා දකින්නට ඇත්තේ ආලෝක වර්ෂ ගණනක් ගෙවා මා වෙතට පැමිණි ආලෝක කදම්බය පමණක් වන්නටත් පුළුවන. එහෙත් , එය ඒ සොඳුරු බව විඳීමට කිසිදු බාධකයක්   වූයේ නැත.

අතීතයේ පැවති සියලු දේද , හිමිවී තිබී අහිමි වූ දේද ,  හිමි වන්නට තිබී හිමි නොවී ගිය බොහෝ දේද පිළිබඳව සිතමින් අපි බොහෝ විට සිතින් හඬමු . නමුත් මියගිය තරුවක සොඳුරු බව වර්තමානයේද, ආලෝක වර්ෂ ගණනක් ඈතින් ඇති තරු වල සොඳුරු බව පොළොවේ සිට ද විඳිය හැකි නම්, අහිමි දෑ පිළිබඳව සිතමින් අප කුමට තැවෙමුද?  


අතීතයේ සුන්දරත්වයෙන් පමණක් සතුටු විය හැකි බව , දුරින් සිට දැකීමෙන් පමණක් සතුටු විය හැකි බව පසක් කළ  ඒ තරු පිරි අහසටත් , ෙප්සාලයි මුහුදටත් , මම දැනුදු පෙම් කරමි. 


Sunday, September 18, 2016

සමු නොගන්නෙම් , මතක දෙවසර. 01

මගේ ගම හැරුණු විට මා ආදරය කරන පෙදෙසක් වේ නම් ඒ මන්නාරමයි. එහි ගෙවූ වසර දෙක ජීවිතයේ කිසිම දිනෙක නොලැබූ අත්දැකීම් සමුදායක් සහ මතක ගොන්නක් මා හට තිලිණ  කළේය.

ඒ කාලය පිළිබඳව ලිවීමට ඇති වූ සිතිවිල්ල එයින් පිට වන තුරුම මම ප්‍රමාද කළෙමි. ඒ සමුගැනීමෙන් ඇති වූ විරහව හොඳින් විඳිය යුතු නිසාය. සැබැවින්ම දැන් මම එකී විරහව ඕනෑවටත් වඩා අත් විඳිමින් සිටිමි. මන්නාරම සහ  එහි සිටියවුන් සියල්ලන්ගෙන් වියෝ වීමෙන් , “ප්‍රියයන්ගෙන් වෙන් වීමේ දුක” පිළිබඳව අසිමිතවම මා හට අවබෝධ කරවීය.

“කොහොමද ලිවීමේ කටයුතු? මන්නාරම ගැන, අපේ සෙට් එක ගැන ලියන්නේ නැද්ද? අපි ගැන නොලියන බ්ලොග් මොනවටද? “ චානක ගේ වයිබර් පණිවිඩය මේ ලිවිම ඉක්මන් කිරීමට තවත් එක් හේතුවක් විය.

ඉතින් මම ලියමි. ඒ මගේ ආත්ම තෘප්තිය උදෙසාය.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

1.       මන්නාරම් පාළම උඩ

ඉතා තුනිවට දිය සායම් තැවරූ නිහඬ සිතුවමක් බඳු වූ කලපුව අනන්තය දක්වා පැතිරී ගොස් අනන්තයේ කෙළවරදී අහස සිප ගනියි. ඉඳ හිට වතුර දිගේ දිව ගිය දිය කාවකුගේ පියසැැරියෙන් කළඹුනා මිස ගලන නොගලන  තරම් නිශ්චල වූ දිය දැවැන්ත තැම්පත් බවක් පල කළේය.

සැන්දෑ අහසට ගිනි තබමින් අවරගිරින් හිරු බැස යමින් තිබිණි. සිතුවමේ ඊට පහලින් ,ඉදි වෙමින් පැවති දුම්රිය මාර්ගයේ පාලම කලු  පැහැති යකඩ කම්බි වලින් සැදුවක් සේ ඇතට දිස් විය.

පෙරදිගින් සඳ පායා එමින් තිබිණි. සඳ නැගීමත් හිරු බැසීමත් එක වර සිදු වීම ඒ වනතුරුත් කිසිම දිනෙක දැක නොතිබූ මම සොබා දර්මයේ ඒ සොඳුරු නාට්‍යයේ ජවනිකාවන් මුසපත් වී ගියෙමි.
සඳ පසුබිමින් මන්නාරම් කොටුව දිස් වේ.ඒ කරා යනු සිතුණේ නිරායාසයෙනි. එහෙත් තරු එකින් එක දෑස් විවර කරයි. ඒ නිසා ඒ ගමන මම කල් දැමීමට තීරණය කළෙමි.

හබල් ගසමින් පැද ආ ඔරුවකින් බැස ගත් මිනිසෙකු ඔරුවෙන් දියට බසිනු දිස් විය. ඔහු පිනන්නට යනවාද? නැත. ඔහු කලපුවේ ඇවිදීමට පටන් ගත්තේය. කලපුව එතරම් ගැඹුරු නොවන සේ විය. ජල මට්ටම ඔහුගේ දණහිසට මදක් ඉහළිනි.  
“කලපුවේ වතුර මට්ටම වඩදිය බාදිය එක්ක වෙනස් වෙනවා” කිසිවකු පැවසුවක් සිහියට නැගිණි.


පවනට බඳු වේගයෙන් ඇදී යන වාහන නිසා නිහඬතාවය ඉඳ හිට බිඳී ගියේය.  එහෙත් නැවතත් අර අසීමිත නිශ්චලත්වයට එළඹීමට පරිසරයට ගත වූයේ නිමේශයකි.

අප සිටියේ නිවසින් කිලෝමීටර දෙසිය ගණනකටත් වැඩ දුරකිනි. කුමක්දෝ විස්තර කළ නොහැකි පාලු හැඟීමකින් සිතට ඉඳි කටු අනිනවා ලෙස දැනුනේ වරක් දෙවරක් නොවේ.  එහෙත් එවන් වූ අපුර්ව ලෝකයක තනි වීමේ, කිසිවෙකුට ලෙහෙසියෙන් නොලැබෙන ආහ්ලාදයෙන් ද මම අසිමිතවම පරිපුර්ණ වී සිටියෙමි.

සීමා වට කඩුලු නොතැකූ සඳ දිය, සිය  කිරණින් තැනූ සළුව එලමින් අහස මුදුනට පිය මනිමින් සිටියේය.

කටු කම්බි පවුරු පදනම් නොපෙනී සඳ  හට, එක යායක් වේ මුළු ලෝකය සඳ එළියට” ශෂිකා නිසංසලා ගේ ගීතය ඇසෙනවා බඳු විය.

 , “හිරු ‍රැසින් අඩක් වියැලුණ ඉලුක් වනයට සඳ ‍රැස් වැටී සිතේ ගැස්මක් ඇති කරවන තරම් වූ මායාකාරී සෞන්දර්යයක් නිර්මාණය කර තිබිණි. කිසියම් උදාසීන, බන්ධන හීන, නිදහස් හැඟීමක් ඇති වී මගේ හදවත සැලෙන්නට විය.  ඒ නිහඬ රාත්‍රියේ සඳ ‍රැසින් ආලෝකමත් වූ අහස් තලය යට හිඳ  අවට බැලූ මට සුර ලොවකට ඇතුළු වූවාක් බඳු හැඟීමක් ඇති විය. මධ්‍යම රාත්‍රියේ ජන ශුන්‍ය පෙදෙසකට පතිත වූ සඳ එළිය නිසා එය සුරඟනන් සැරිසරන තැනක් බවට පත් විය...." අරණකට පෙම් බැඳ හි විභුතිභුෂණ බන්දොපද්‍යාය ගේ වචන නැවත නැවතත් ඇසෙන්නට විය.

ඒ වන විට ගෙවී ගොස් තිබුණේ මන්නාරම් පුරයේ දින කිහිපයක් පමණි.  එහෙත් ඒ සොඳුරු බවට මම ඒ වන විටත් අසීමිතව පෙම් බඳිමින් සිටියෙමි.

“යමු නේද?” භාතියගේ හඬට එක වර කීකරු වන්නට සිත උත්සුක නොවීය. සඳ එළියේ ඔහු සමග අනන්තයකට ඇවිදීමට මට උවමනා විය. තව තවත් කලපු තෙර සිසිලසින් සැනසීමට මා හට උවමනා විය. විභුතිභූෂණ පැවසු ලෙසට, සඳ එළියේ සැරිසරණ සුරඟනන් දකින්නට මට උවමනා විය.


එහෙත්, මඩනා ලද එම සියලු ආශාවන්ගෙන් යුක්තව මම ආපසු යාමට නැගී සිටියෙමි.