Thursday, October 4, 2018

හිනැහෙන හඳ

අහස් ගඟ දිගේ ඇවිදිත
විඩා පත් වෙලා සඳ වත
අහස් දියේ පිණි කැට වැද
යළිත් බොඳ වෙලා

විඩා නිවන්නට ගමනෙහි
කතාවකට තරුවක් නැත
අහස් කුස පුරා බොඳවම
සඳත් තනි වෙලා

පිණි බිඳු සියොළඟ තැවැරෙත
සීතලට තුරුලු වන්නට
තරු නැතිවම රෑ තුන් යම
අහසෙ තනි වෙලා

වැහි බිඳු එකෙනෙක යාවෙන
මොහොතට තත්පර ගැන ගැන
සඳ බොඳවම තරු නැතිවත්
තවම හිනැහිලා

Thursday, September 20, 2018

සොයමු යලි අරුන්දති










❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
එක් දිනක් විය !
ප්‍රේම සැමරුම් වලින් හැඩ විය !
ශෘංගාර ඉසිඹුවක අවසන
කවුලු විවරව
අහස දෙස බැලු
සොඳුරු මොහොතක
නිමේශයකට
කවුලුවේ හරි මැදට වන්නට
යාවගිය තැන
විකර්ණය මැද
අරුන්දති තරු දෙනෙත් දල්වා
මදහසක් හෙළුවාය
අප වෙත

නැහැ තමයි ආයෙමත් ළග මම
වසඟ වී පාලුවට ලොබ බැද
කඳුලු සමගම මිතුරු දම් පුර
කවුලු පියපත් තදින් සිර කොට
වසා කුටියක සිරව තනුවම
හිදින්නවද කල්පයක දුර තව

ඉසිඹුවක අවසරය ගනු මැන
හැර බලන්නට
වැසූ කවුලුව
සිකුරු තරුවම
යලි සොයන්නට
නුඹ දෙසද මා දෙසද ඈ
බලා ඉන්නා
අයුරු බලනට
තත්පරෙන් තත්පරය අරගෙන
නැවත මා නුඹ දකින දින තුරු
පාලුවක් නොම දැනේ
එම විට !
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Sunday, August 12, 2018

බිම් වැටී ඉහිරි ගිය
මතක සායම් වලින්
ඇඳුණු සිතුවම් රටා
පාගමින් නුඹ ගිහින්
පැහැදුල් ව මාවතක
පා වැකුණු සායමින්
මතක බණ පද පෙළක
අඩි තබා නුඹ ගිහින්

ඇඳුන අඩි සලකුණින්
හැලුණු සායම් වලින්
කිලිටි වූ මාවතේ
යනෙන විට නුඹ සොවින්

නුඹේ ලෝකය සොයන්
යලිත් නුඹ ගෙන යන්න
සොයා එන්නෙමි ඉතින්
පිය ලකුණු ඇති සෙයින්

Saturday, July 28, 2018

ලාම්පු දස දහසක් !

වික්ටෝරියා ගේ ලාම්පු දස දහස සහ අප දෙදෙන
~~~~~~~~~~~~~~~~~~~~~~~~

ඇය පිළිබඳව මගේ පළමු මතකය හතර වන ශ්‍රේණිය දක්වා දිවෙයි. පාසලේ විවිධ ප්‍රසංගයේ අංගයක් සඳහා සූදානමින් අපි පෙළගැසී සිටියෙමු.  දිගු කොණ්ඩයක් ඇති විසේකාර බෝල කෙල්ලක් වූ ඇය එක් වරම මා වෙතට දිව ආවාය.

ඔයාගෙ කටේ ලිප්ස්ටික් මැකිලා... කොහෙන්දෝ ඔසවාගෙන ආ රතු පැහැති ලිප්ස්ටික් කූරක් ඉන් අනතුරුව ඈ මගේ තොල් වල ඇතිල්ලූවේ මා හට වචනයක් වත් කීමට ඉඩ නොතබමිනි. ඉන් අනතුරුව ඇය එම ලිප්ස්ටික් කූරම තම තොල් වලට ආලේප කර ගත්තාය. මගේ වයසෙහිම ,එනම් අවුරුදු නවයක් පමණක් වූවද ඇය දක්ශ රූපලාවන්‍ය ශිල්පිනියක් බව එවකට මම සිතා සිටියෙමි.😂
අන් සියලු දෙනා ට වඩා අප දෙදෙනා ලස්සන බවට වූ සාඩම්බර හැඟීමක් එදා මා සතුව පැවතින. එහෙත් , අන් සියල්ලන් කෙසේ වෙතත් අප දෙදෙනා ඩ්‍රැකියුලා දැරිවියන් දෙදෙනෙකු සේ දිස්වන්නට ඇති බව මා හට පසක් වන්නේ දැන් ය. 👿👹

එම විවිධ ප්‍රසංගයෙන් අනතුරුව වසර පහක් ගත වන තුරුම මා හට අමිල වූ නිදහසක් භුක්ති විඳීමට ඉඩ හසර සැලසින. ඒ මගේ මුහුණ බැලූ දෙවියන් කිසිදු විටෙක පන්ති කාමරයක් තුළ මා හට ඇය හමු වීමට ඉඩ සැලැස්වූයේ නැති නිසාවෙනි.

අතරින් පතර අම්මාගේ මුවින් ඇගේ නම කියැවෙනු මා හට ඇසී තිබුණද , ඒ පිළිබඳව උනන්දු වූයේ මා නොවේ. අම්මාගේ හොඳ ගෝලයන් පිළිඳව හේතු විරහිතවම නොපැහැදීමට එවකට මම තීරණය කළ සිටියෙමි.

එහෙත් මා නොදැනුවත්වම අවාසනාව මා පසුපස හඹා එමින් තිබිණි. 😋
අවාසනාව මා පසු කර ජයග්‍රහණය ලැබූයේ මම නව වන ශ්‍රේණියට පාතැබූ වනමය.
ඒ වනතුරු මා හට සිටි මිතුරියන් කිසිවෙකුත් ඒ පන්තියේ නොසිටියහ. ඒ මදිවාට දණහිසට අඟල් දෙක තුනක් ඉහලින් සුදු ගවුම් අඳින ,අර විසේකාර බෝල කෙල්ලගේ නම ද අපේ නාම ලේඛනයේ විය.

නව වාරය ආරම්භ වී සති දෙකක් ගත විය. ඇගේ නමට ඉදිරියෙන් වැටුනේ බිංදු පෝලිමකි. සති දෙකක් ගත වන තුරුම ඇය පන්තියට වාර්තා කළේ නැත. මා හට ඒ පිලිබඳව වගක් හෝ නොවීය. ඒ දිනෙන් දින නව පන්තියට මා හුරු වෙමින් සිටියෙමි

👼සති දෙකකට පසුව අලුත් සුදු ගවුමකින්  ද සැරසුණ ඇය , ඉතා තැම්පත් සුරංගනා දැරියක ලෙසින් පන්ති කාමරයට ඇතුලු වූවාය.එහෙත් සුරංගනාවට පුටුවක් හෝ මේසයක් ඉතිරි වී නොතිබිණි... නැත, එකම එක පුටුවක් හා මේසයක් ඉතිරි වී තිබිණි. එය වූයේ මා අසල ය. වැඩි දුරක් තියා, විශද දෘශ්ටියේ අවම දුරින් අරික්කාලක දුරක් වත් නොසිතූ මා අසල සිටි අනෙක් මිතුරිය එම පුටුවට සුරංගනාවියට ඇරයුම් කළාය... ඒ පිළිබදව මා තුළ පැවතියේ තවමත් සිතා ගත නොහැකි නොපහන් හැඟීමකි.

ඉතින්...! ඒ මගේ කන් දෙකෙහි අවසානය සනිටුහන් වූ  පුදුමාකාර උදෑසනක් විය

"අපේ පුංචිගෙ වෙඩින් එක තිබුණනෙ" සති දෙකක් අතුරුදහන් වීමට හේතුව ලෙස ඇය දක්වා සිටියාය... "පුංචිගෙ වෙඩින් එකට පුංචිවත් එච්චර නිවාඩු ගන්න නැතුව ඇති...." එසේ සිතුවද මම එය වදන් වලට නොපෙරෙලුවෙමි.

එහෙත් දිනෙන් දිනම, බෝල දැරියගේ කතා බස් වලට මටත් නොදැනුවත්වම මම ආශක්ත වෙමින් සිටියෙමි... 
ශාරුක් , සහ තවත් කෙල්ලන් දෙදෙනෙකු පිළිබඳව වූ චිත්‍රපටයක කතාව ඇය මා හට විස්තර කළේ එම හමු වීමෙන් දින කිහිපයකට පසුවය..  කඳුලු , සලමින් අසා සිටි එම කතාව අවසානයේ ඇය පැවසූ වාක්‍ය සහ මා දුන් බුද්ධිමත් පිළිතුර ඩෙස්කය මත ටිපෙක්ස් කළ අකුරක් මෙන් මා හට තවමත් මතකය.
"ඒකෙ කාජල් හරි ලස්සනයි. කොන්ඩෙ කපලා ඉන්නෙ.."
" ආ.. කාජල් කොණ්ඩෙ වවලද හිටියෙ... ?"
ඇය තුශ්නිම්භූත වූවාය...
"මම මෙච්චර වෙලා හිතාගෙන හිටියෙ කාජල් කියන්නෙ කොල්ලෙක් කියලා"

ඇය මා හටම ඔබින කෙල්ලක බව වැටහීමට වැඩි කාලයක් ගත නොවීය. ඇය ද පොත් කියවන බව දැනගැනීම මගේ සතුටට හේතුවක් වූ බව කිව යුතුමය. කුමක්දෝ අහේතුවකට😘 ඇය මගේ හොඳම මිතුරිය බවට පත් වන්නට වැඩි කළක් ගත නොවීය.
අති විශාල මූල්‍ය අර්බුදයකට එවකට (දැන් කියාද වෙනසක් නැත) ලක්ව සිටි අප දෙදෙනා පොත් මිලදී ගැනීමට විඳි දුක් දන්නේ අප පමණක්මය. බොහෝ විට එකම පොත මිලදී නොගැනීමට එකල අපි වගබලා ගතිමු. දෙදෙනාම එකම පොතක් මිලදී ගත්තා නම් ඒ "ගෝරා " පමණක්මය.
දැනටත් මගේ ඕනෑම පොතක් ලෝබ නැතුව කියැවීමට දෙන්නේ ඇයට පමණක්මය.මන්ද යත්, ඒ කිසිදු පොතක පිටුවකට හෝ හානියක් නොවෙන්නට ඇය වග බලාගන්නා බව දන්නා නිසාය.

එසේ වුවද, මා අතින් ඇගේ සිත රිදුන වාර බොහෝ ඇත. වගකීමක් නොමැති වූ හැසිරීම් රටාවක් එකළ දැක්වූ මම ඇතැම් විට ඈ සිටිනවාදැයි නොදන්නා සේ හැසිරුණ අවස්ථාද තිබුණි. එහෙත් මට අවශ්‍ය සෑම මොහොතකම මගේ ළඟ සිටි එකම මිතුරිය වූයෙ ඇය පමණක්මය.
මට වඩා අඟල් පහක් පමණ උස් වූ ඇය, පන්ති යන කාලයේ කිසි දිනෙක අඩි උස පාවහන් පැළඳුවේ නැත. ඒ මගේ සිත රිදවනන්නට අකමැති වූ නිසා බව දනිමි.

ඉතින් වික්ටෝරියා මෙතැනට සම්බන්ද වන්නේ කෙසේද?  ඒ victoria හෝල්ට් ය.ඒ නම මම දැන නොසිටියෙමි. ඇගේ බාප්පා සතු වූ පරණ පොත් පෙට්ටියක් අවුස්සන විටෙක ඇයට වික්ටෝරියා හෝල්ට්ගේ " the house of thousand lanterns" හමු වී තිබුණි.
එය කියැවීමෙන් අනතුරුව මා හටද ඇය එම පොත ලබා දුන්නේ ඒ පිළිබ්ඳව මහා වර්ණනාවකින් අනතුරුවය.
එය සැබෑවක්ම විය. එය වශී වන සුළු පොතක් විය.
එය කියැවීමෙන් පසුව එය සිංහලට පරිවර්තනය කිරීමේ විශාල ආශාවක් මා තුළ හට ගැනුනේ නිතැතින්මය.
මම ඇයට එවෙලෙහිම දුරකතන ඇමතුමක් ගතිමි....
"මට පොත මාස 5,6කට තියාගන්න දෙනවද...?"
"ඇයි, පරිවර්තනය කරන්න හිතුණද?" එකෙනෙහිම ඇය ඇසුවාය..
"ඔව්..."
ඉන් අනතුරුව ඇසුනේ සිනහවකි.
"ඔයා ඕක කියෙව්වට පස්සෙ මම පරිවර්තනය කරන්න හිතාගෙන හිටියෙ..."
මා තුළ හට ගත්තේ වරදකාරී හැඟීමකි.
මට වඩා දස ගුණයකින් පමණ වූ ලිවීමෙ නිසඟ හැකියාවක් ඈ සතු විය.
"එහෙනම් ඔයා ඒක කරන්න..." මම පිළිතුරු දුනිමි.
ඉන් අනතුරුව  එළඹුනේ තර්ක විතර්කය...
ඔයා කරන්න... ඇය පවසා සිටියාය.

අවසානයේදී ඇය පසුව වෙනත් පොතක් පරිවර්තනය කරන බව පවසා මා හටම එය පිළිගැන්වූවාය.

මගේ අලස කම පරයා උනන්දුව මා පාලනය කළේ දින කිහිපයකි. පරිච්චේදයක් හෝ දෙකක් පරිවර්තනය විය... ඉන් අනතුරුව එළඹුණේ දිගු නිහැඬියාවකි...
නිහැඬියාවේ තරම කොපමණද යත්, මෑතක කවුරුන් හෝ කළ එහි නව පරිවර්තනයක් කොහේ හෝ දකින තුරුම වික්ටෝරියා හෝල්ට් නිහඬව සිටියාය.

ආසාවෙන් කිරීමට මගේ මිතුරිය සිතා සිටි කාර්‍යය මගේ අලස කම නිසා වතුරේ ගියේ එසේය..
වෙනත් පොතක් පරිවර්තනය කරනවා යැයි පැවසුවද, ඇයද තවමත් කිසිදු පොතක් පරිවර්තනය කර නැත. ඒ වෙනුවට පරීක්ෂණ නළ බියුරෙට්ටු ආදිය සමග අති දැවැන්ත සටන් මෙහෙයුම් ඇය දියත් කර ඇත.

මතු යම් දිනෙක කවදාහෝ ලබන ආත්මයේ හෝ පොතක් පරිවර්තනය කරන බවට මම අධිශ්ටානයෙන් පසු වෙමි. ඇයද එම අදිටනින්ම පසු වන බව මම අදහමි... 😂😂
(This is a brief tribute to my best friend for her never apriciated unique and priceless friendship. My  sweet girl.... Love you loads and miss you )

Saturday, July 21, 2018

දැවීම !

දවා හළ ප්‍රේමයේ
අලු ගොඩ ගැසී ඇති
නටබුන් ව දෙවොලක

නැගෙන දුම් රැළි අග
පිළිස්සෙන'මුදු ප්‍රේමය
තවමත් දැනෙන්නේ
පුළුටු ගඳ නොව
සම්බ්‍රානි සුවඳමය

දෑඟිලි තුඩග ගෙන
පිස දමන්නෙම් මම
මැකී ගිය දෙව් රුව
මතුවන තුරාවට

ඇඟිලි තුඩු සීරී
ලේ බිම හැලෙන විට
නෙත් හැර බලාවිද
නිදා ගත් දෙව් නෙත?

Thursday, July 19, 2018

Beauty and the beast ❤️

#Beast
අවසාන මල් පෙත්ත ගිලිහිලා
බිම වැටී මිය යන්න බෝ ළඟයි
ඉසිඹුවක් ළද සැනින් සැඟවිලා
පලා ගිය නුඹ මහට හරි දුරයි

සඳ නොමැති අඳුරු බිම
තව තවත් කලුවරයි
පපුතුරේ සැඟවුණේ
එක රුවයි, නුඹ තමයි

මග හැරුණ තැන හදේ
නුඹ තවම උණුසුමයි
හැලෙන මල් පෙති සැවොම
ඉකි ලන්නෙ නුඹ ගැනයි

අවසාන මල් පෙත්ත බිම හැලෙයි
සැලෙන පණ යදින්නේ නුඹ රුවයි
හිරු නිවී සඳෑ අඳුරත් හඬයි
නුඹ නොමැත - මා මියෙනු මට දැනෙයි ! 






Wednesday, July 18, 2018

නොවූවා නම් නුඹ

විසල් නුග රුක නුඹ
මඳ පවන'තර සසැලී
සසැලුණා යැයි නොකියන

සැඩ මරුත'තර සැඟ
නුඹ තුරු හිසෙහි
මා දැවටෙනා තැන
නොදැනුනා යයි පවසන


Monday, July 16, 2018

මීදුමක් වූ නුඹ ළඟ

වසරකුත්, මාස හතරකුත් හරියටම ගෙවී ගිය දිනයකි. නුඹ හමු වූයේ අහම්බෙනි. ඉතාමත් අහඹු දිනයක අහඹු ලෙස , එහෙත් පුංචි සැලසුමකින් අනතුරුව, අප හමු වීමු.

හිස ඔසවා බැලීමට නොහැකි තරම් ය. කිසිදිනෙක කිසිවෙකු කෙරේ නොවූ ලජ්ජාවකින් මගේ හිත පිරී ගොස්‍ තිබිණි. නුඹ පිළිබඳව ද මින් පෙර මෙවන් හැඟීමක් තිබූ බවට මතකයක් හෝ නොවීය.

"අල්ලගන්න තමයි හිටියෙ" නුඹෙන් දඟකාර තර්ජනයකි.
මම මුනිවත රැකීමි. නුඹේ රළු අත් වලින් මගේ අත මුදවාගන්නට පමණක් මම වෙහෙසුනෙමි. එහෙත් ඒ සඳහා ඇති වූ අවංක උවමනාවකින් නොවේ. නුඹ මට අනවශ්‍ය බව නුඹට පෙන්වන්නට පමණි. නුඹේ ග්‍රහණයෙන් , මගේ උත්සහයෙන් තවත් අත රිදුනා පමණි. අරුමයක් නැත. නුඹත් මමත් එක් වන තැන මට හිමිවන්නේ සැමදාම රිදුමක් පමණක් වන නිසාවෙනි. ඒ නුඹේ මතකයෙන් මිදෙන්නට වෙර දරන සෑම මොහොතකට සිත රිදවන තරමය. 

නුඹ අපූර්ව මිනිසෙකි. ඒ අපූර්වත්වය ට මම වශී වී සිටි තරම දන්නේ මා පමණකි. නුඹේ අපූර්වත්වය මම දන්නා තරමට නුඹ නොදන්නා බවද දනිමි.
නුඹට සිනාසිය හැකි බව මම නොදැන සිටියෙමි. එහෙත් නුඹට සිනාසිය හැකි බව දැනගත් මොහොතේ සිට ඒ සිනහව කොතරම් සුන්දරදැයි නුඹට පැවසීමට මට උවමනා විය. ඒ මීට වසරකුත් සිව් මසකට එපිටදීය. එහෙත් මම පරාජය වීමි.
මට වදනකුදු පැවසීමට ඉඩක් නොලබාම නුඹ ගුප්ත මීදුමක් ලෙසින් මැකී ගියේය. 

නුඹ සදහටම අමතක කරන්නට මම සිතා ගතිමි. ඒ හැඟීම් දැනීම් නොමැති නිසා නොවේ. නුඹ පවසන අන්දමට මා සිත් පිත් නැති ගලක් නිසා නොවේ. නුඹ දන්නවාට වඩා මා බොහෝ සෙයින් හැඟීම් බර නිසාය. ගලක් කොට නුඹ දකින සිතට බෝර ගසන්නට මට ඇවැසි නොවීය. මට ඇවැසි වූයේ නුඹෙන් සිත මෘදු කර ගැනීමට පමණි.
එහෙත් නුඹ මීදුමකි. එක් වරම මතු වී, මැකී බොඳ වන මීදුමකි. අතින් අල්වා නවැත්විය නොහැකි මීදුමකි. 

යළිත්,
නොසිතූ මොහොතක නුඹ නැවතත් පැමිණ ඇත.
කොහේදෝ සිට මතුව නුඹ නැවතත් මා අසලය.
නුඹට මේ සියල්ල සෙල්ලමක් වන්නට ඇත. සෙල්ලමක් නොවූවත් ඒ හා සමාන වන්නට ඇත. එහෙත් මේ මගේ ජීවිතයයි. නුඹ නිසා විඳවන්න ට මම නොකැමැත්තෙමි. ඊටත් වඩා මා නිසා නුඹ මොහොතකට හෝ විඳවනවාට මම නොකැමැත්තෙමි.
ඒසාම නුඹේ හිතුවක්කාරකමට මම බියෙමි. ලං වන්නටත් ඈත් වන්නටත් අයිතිය ඇත්තේ නුඹට පමණක් බවට අදහන නුඹේ සිතිවිලි වලට මම බිය වන්නෙමි.

මට මමම වන්නට අවශ්‍යය. මට නුඹ වන්නට ඇවැසි නැත. මගේ සිත ගලක් යැයි මට පවසමින් ගලක් නොවන මා අසල බොහෝ වර ගලක් ලෙස හැසිරෙන නුඹ අසල නුඹ වැනිම වන්නට මට අවැසි නැත. සිත් පුරා ආදරය කිරීමට මට අවශ්‍යය. මගේ සිතෙහි ඇති නුඹ නොදත් මගේ ආදරය සපුරා නුඹ දෙන්නට මට උවමනාය. 
එහෙත් සිතෙන විට ලං වීමත්, තවත් විටෙක වෙන් වීමටත් සිතෙන නුඹ යළිත් මා දමා මැකී යන බව දැන දැනම නුඹට ලංවන්නේ කෙසේද?

එහෙත් නැවතත් මගේ සිත චංචලය. හදිසියේ අනපේක්ෂිතව දැනුන නුඹේ දෙතොල් උණුසුම්‍ ය. බෙහෙවින් ආදරණීයය. ඒ උණුසුමට හසුව අතරමං වූ මගේ සිත මට අවසඟය. ඒ මින්ට් රසත් සුවඳත් මගේ සිත අතරමං කොට ඇත. නුඹේ සිප ගැනීමෙන් මට දැනුනේ බියකි. එය නුඹ පිළිබඳව බියක් නොවේ. නුපුරුදු බවක රැදුන බියකි. නුඹෙන් වෙන් වීම දරාගැනීමට නොහැකි වීමේ බියකි. 

මම අතරමංව සිටිමි. මේ මංමුලාවෙන් මා මුදනු හැකි නුඹට පමණක් බව මම ඉඳුරාම දනිමි. එහෙත් නුඹට ලංවන්නට මට නොහැකිය. ඒ නුඹ මීදුමක් නිසාවෙනි.
නුඹට නැවතත් මීදුමක් වන්නට ඇවැසි බව මම දනිමි. ඇවැසි වූවත් නොවූවත් එසේ වන බැව් දනිමි. එය මා හට දරාගත හැකියැයි නුඹ සිතන්නේද ? 

එක් විසඳුමකි. නුඹ සිතා සිටිනා ලෙසට මම හැඟීම් විරහිනියක වන්නෙමි. ගලක් වන්නෙමි.
මම නුඹෙන් නුඹේ මතකයෙන් මිදී යන්නෙමි ! නැවත නුඹ වෙත පැමිණීමට මට උවමනාය. එහෙත් නුඹ කෙරේ රැඳී සිටීමට මට නොහැකිය. ඒ නුඹ අතුරුදන් වී, නැවත මතු වන මීදුමක් බැවිණි.

එබැවින් මම නික්ම යමි. 

ඒ, යාම් ඊම් පමණක් ඇති මෙලොවට නුඹ වෙත පැමිණෙන දිනෙක නැවත නුඹ වෙත පැමිණීමට මට ඇවැසි නිසාවෙනි. 




( ප්‍රස්තුතය - ඈ මගේ ලඟ මිතුරියකි. ඔහුව ඈ හට මුණ ගැසුනේ අහම්බෙනි. එහෙත් ඈ ඔහු පිළිබඳව සිතන තරමින් දශම කාලක් වත් ඔහු ඇය පිළිබඳව නොසිතන බව , ඈ පවසන බොහෝ දෙයින් මා හට හැඟී ඇත. මා ඈ වූවා නම් මගේ තීරණය මෙයයි.)

Thursday, June 14, 2018

සොයා එනු ප්‍රේමය !

වැටෙනව ද නුඹ
ෆැන්ටසි සිහිනයක කෙළවර
අතු අගින් පොළොව ට
සියලු මකරඳ
මත් බමර තුඩු
වියලි ගිය දිනකට
පෙති සැලී ගිය නටුවක්ව
පතිත වත දෝතට

පියසලනු ප්‍රේමය
සැබෑ තටු ලද
විහඟ ගීයක් විලසට

Wednesday, May 16, 2018

විදෙස් ගත ප්‍රේමය !

අහිමි වූ සුපෙම්වත
නුඹ නොමැති මෙබිම නම්
ඉතාමත් සුන්දරය...!
සොඳුරු වූ පෙම්වත්වු
මතකයන් පමණක්ම
මෙබිම රජයන නිසා

නුඹේ අමිහිරි වදන්
මවාලූ කඳුලු බිඳු
මෙබිම නොම දත් නිසා

සීතලට හිම පියළි
මගේ වුවනත ගැටී
තුටුද අසනා නිසා
මම තුටින් බැව් කියමි
මූදු සතකින් එහා
නුඹත් සතුටින් නිසා...

Thursday, May 3, 2018

මගේ මායා බෝංචි සහ යෝධයාගේ ශාපය


මගෙ බෙල්ලෙ එල්ලිලා ඉන්නවා කියල හිතෙන හොල්මනකටයි, කාමරේ ඇඳ යට ඉන්නවා කියල හිතෙන හොල්මනකටයි ඇරෙන්න මේ ලෝකෙ මම බය දේවල් නෑ. අනිත් අය බය සර්පයො, මකුලුවො වගේ සත්තු, කළුවර වගේ කිසි දේකට මගෙ හිතට බයක් දැනෙන්නෙ නෑ.

ඒත් මම පොඩි කාලෙ සම්පූර්ණයෙන් වෙනස්. අනිත් මිනිස්සු බය නැති හැම දේටම මම බයයි. පුලුන් වලට , ලොකු පුලුන් වගේ පේන වලාකුළු වලට, තරු වලින් හැදුන ගෝනුස්සගෙ හැඩේට, ජනේලෙන් පේන කෙහෙල් ගහේ හෙවනැල්ලට, ළිඳේ ඉන්න ගෙඹි වෙස් ගත්ත දිය රකුසට.... මේ හැම දේටම මම බයයි. තව බොරලු ගල් වලටත් බයයි.ඒ ගල් වගේ ඉන්නෙ ගෙම්බො. උන් ළමයින්ව අල්ලගෙන කනවා... 

මේ සේරටමත් වඩා මම බය දෙන්නෙක් හිටියා. බාගෙට ඇඳගෙන චිම්පන්සියෙක් එක්කයි අලියෙක් පිටේ යන , වැල් වල එල්ලිලා කෑගහන ටී වී එකේ හිටිය මිනිහට මම බයයි. බය හිතෙන්නේ නැද්ද ??

නෑ තමයි .ඒත් මොකක් හරි හේතුවක් නිසා මම පොඩි පොඩි කාලේ ටාර්සන්ට හරිම බයයි .


බය අනිත් පුද්ගලයාට බය ඇති වුණේ එක දවසක් එක පාරටම .මිදුලෙ සෙල්ලම් කර කර ඉඳලා කර කර ඉදල මම එක පාරටම ගේ ඇතුළට ආවා .ඒ වෙලාවේ කවුරු හරි කෙනෙක් ටීවී එක දාලා තිබුනේ .ඒ ටීවී එකෙන් මම ඒ වෙනකම් අහල තිබුන භයානකම කටහඬ ඇහුනා .

ඇහුනා විතරක් නම් මදෑ .

ටීවී එක දිහා බලද්දි යකෙක් වගේ යෝධ මනුස්සයෙක් කෑ ගහ ගහ ගහ ගහකින් බිමට බහිනවා .ගහ හොල්ලනවා .ඒ අස්සේ පොඩි කොල්ලෙක් ඒ ඒ ගහ දිගේ පහලට බහිනවා .ක්ෂණිකව දැක්කා උනත් මට එක පාරටම තේරුම් ගියා ඒ යකෙක් වගේ යෝධ මනුස්සයා අර කොල්ලා පස්සෙන් එලවගෙන යනවා කියලා . ඒ මනුස්සයා ඒ ළමයව ගිලී කියලා මම හොඳටම බය වුණා . ගිලිනවද නැද්ද බලන්න මම දොර අස්සෙ හැංගිලා කන් වහගෙන ටීවී එක දිහා බලාගෙන හිටියා... ඒත් අර වීර කොල්ලා ඉක්මනින් ගහෙන් බැහැලා ගහ කැපුවා. අර යෝධයා බිම වැටිලා පවුඩර් වුණා... 🙄


ඒත් ඒ යෝධයා ගැන ඇති වුණ බය ගොඩක් කල් යනකම් මගෙ හිතේ තිබුන. ඒ සුරඟන කතා කරලියෙ ගිය ජැක් සහ බෝංචි වැල. ඔය විදියට තමයි ඒ හපුටු පාට ජැක් මගෙ මුල් ළමා වියේ වීරයා වුණේ... ඒ නැවත නැවතත් ජැක් සහ මායා බෝංචි වැල බැලුවට පස්සෙ. ඒත් ඒ හැම වතාවෙම යෝධයා ජැක් පස්සෙන් එළවගෙන එන ටික බැලුවෙ ඇස් බාගෙට වහගෙන.

 කාලයත් එක්ක ජැක්ට වගේ මටත් ලොකු බෝංචි වැලක් හදාගෙන අහසට යන්න ඕන වුණා.. අම්ම උයන්න ගන්න බෝංචි වල හොඳටම මෝරලා දම් පාට වුණ මායා බෝංචි ඇට ඉඳල හිටලා හම්බුණා.

ඉතින් මම ඒ බෝංචි ඇට පැළ කරලා.. නෑ ජනේලෙන් එළියට විසි කරලා මායා බෝංචි වැල හැදෙනකම් බලාගෙන හිටියා. ඇයි ඒවා පැල කරලා බැලුවෙ නැත්තෙ අහන්න එපා...

 මායා බෝංචි පැළ කරන්නෙ නෑ.. ජනේලෙන් එළියටයි විසි කරන්නෙ. එතකොට තමයි පහුවදාට අහස හිල් කරගෙන යන තරම් උසට බෝංචි වැලක් හැදෙන්නෙ.


බෝංචි වැල දිගේ නගින්න, වළාකුළු උඩ පැන පැන යන්න මම හීන මැව්වා. අහසට යනකොට අඳින්න ලස්සන ඇඳුමකුත් මම තීරණය කරලා තිබුණෙ. ජැක් වගේ ගෙවල් අස්සෙයි කිකිළියො පස්සෙයි යන්න නෙමේ, සුරංගනාවියො හමු වෙන්නයි මගෙ තිබුන එකම බලාපොරොත්තුව.
ඒත් ඒ මායා බෝංචි වැල කවදාවත් හැදුනෙ නෑ.. මම අහසට ගියෙත් නෑ. සුරංගනාවියො හම්බුනෙත් නෑ.

සමහර විට ජැක් කපලා දාපු බෝංචි වැල නිසා බිම වැටිලා මැරුණ යෝධයාගෙ සාපය තවම මේ පොළොවෙ තියන නිසා වෙන්න ඇති

Saturday, April 28, 2018

පාම් තෙල් වල සැඟවගත් ඔබ නොදත් දුක්බර කතාව.

ඔබ මිලදී ගන්නා භාන්ඩ වල ලේබලය ඔබ කියවනවා ද? එසේ නම් ඔබ බොහෝ විට දැක ඇති එම නිශ්පාදන බොහොමයක පාම් තෙල් අඩංගු බව.
නමුත් ඔබ දැන සිටියාද මෙම පාම් තෙල් භාවිතය දේශගුණ විපර්‍යාස වලට, සත්ව හිංසනයට සහ සත්තුන්ගේ වාසස්ථාන විනාශයට හේතු වන බව සහ බිම් වල මුල් පදිංචි කරුවන්ගේ මානව අයිතීන් නැති වීමට හේතු වන බව?
පාම් ඔයිල් යන අප්‍රිකාවේ පිහිටි පාම් ගසේ ගෙඩි වලින් ලබාගන්නා ශාකමය තෙල් වර්ගයක්. අද ලෝකයේ නිවාස වල භාවිතයට ගැනෙන ද්‍රව්‍ය අතරින් 40-50%ක පමණ පාම් තෙල් අඩංගු වෙනවා. අහාර වල පටන් සේදුම්කාරක , රූපලාවණ්‍යය ද්‍රව්‍ය වල අමුද්‍රව්‍යක් වනවා වගේම ජීව ඉන්ධනයක් ලෙසද පාම් තෙල් භාවිතා වෙනවා. පසුගිය දශකය තුළදී ලෝකය පුරා පාම් තෙල් භාවිතය දෙගුණ වී ඇති අතර, 2050 වන විට ,වර්ෂයකට පාම් තෙල් ටොන් මිලියන 240 ක් අවශ්‍ය වනු ඇතැයි ගණන් බලා තිබෙනවා.
ප්‍රශ්නය කුමක් ද?
පාම් ගස් අප්‍රිකාවේ, ආසියාවේ සහ උතුරු ඇමරිකාවේ වගාකරන අතර, ලෝකයේ පාම් තෙල් අවශ්‍යතාවයෙන් 85%ක් සපයනු ලබන්නේ මැලේසියාව සහ ඉන්දුනිසියාව යන රටවල් වලින්. නමුත් අවාසනාවකට මෙම පාම් ගස් වගාවන් සිදු කරන්නේ තිරසාර සංවර්ධනය පිලිබඳව කිසිදු සංකල්පයත් නොමැති ආකාරයට යි. බොහෝ තෙත් වනාන්තර කිසිදු වගවිභාගයකින් තොරව මේ නිසා කපාදමනු ලබනවා. ඒවාගේ වාසය කරන මිනිසුන් ගේ ඉදිරි පැවැත්ම සඳහා කිසිදු සැලසුමක් බොහෝ විට මේ රටවලට නැහැ.
සීමා මායිම් නොමැතිව සිදු වන වන සංහාරය නිසාමේ වන විට ඉන්දුනීසියාව හරිතාගාර වායු වායුගෝලය ට විශාල වශයෙන් මුදාහරින තුන්වන රට බවට පත් වෙලා තියනව. ලෝක වනසත්ත්ව අරමුදලේ සංඛා ලේඛන වලට අනුව සෑම පැයකට වරක්ම , පාපන්දු පිටි 300ක වනාන්තර ප්‍රමාණයක් පාම් ගස් වගාව සඳහා පමණක් එලි කරනු ලබනවා.
මෙයට සමගාමීව ලෝකයේ පාම් තෙල් නිශ්පාදනය කරන රටවල් වල ප්‍රධාන සත්ව ගහනයේ පැහැදිලි අඩු වීමක් පෙන්නුම් කරනවා. ඉන්දුනීසියාවේ ක්ෂීරපායී වන සතුන්ගෙන් 1/3 ක් මේ වන විට වඳවීමේ තර්ජනයට මුහුණ දීලා තියනවා.
මේ අතරින් වැසිම හානියක් වී ඇත්තේ ඔරන්ඔටන් හට.
පහුගිය අවුරු 20 තුළදී ඔරන් ඔටන් ගේ වාසස්ථාන වලින් 90% ක් මේ වන විටත් විනාශ වී අවසන්. වසරකට ඔරනොටන් 1000-1500 ක් අතර ප්‍රමාණයක් මරා දමනු ලබන අතර, පරිසර පද්ධති වල පැවැත්මට එය හානිකරයි. වැසි වනාන්තර වල ශාක වර්ග බීජ මගොන් ව්‍යාප්ත කිරීමට උන්ගෙන් වෙන දායකත් වය අතිමහත්. පසුගිය දශකය තුළදී පමණක් ඔරන්ඔටන් 50000 කට අධික ප්‍රමානයක් මරා දමා තිබෙන අතර , වර්තමාන දත්ත වලට අනුව ඉදිරි වසර 5-10 ඇතුළත් ඔරන්ඔටන් මිහිතලයෙන් සම්පූර්ණයෙන් වඳ වී යා හැකියි.
මේ පාම් වගාව නිසා තර්ජනයට මුහුණ පා ඇති එකම සත්වයා ඔරන්ඔටන් පමණක් නොවේ. බෝර්නියෝ සහ සුමාත්‍රා හි ඇති වනාන්තර සත්ව විශේෂ 300000 කට අධික ප්‍රමාණයකට සෙවන සපයනවා. ඒ බොහෝ ජීවීන් පාම් වගාව නිසා මරා දමනවා. ඒ අතරින්, Sumatran Tiger, Clouded Leopard, Sumatran Rhinoceros, Borneo Pygmy Elephant, Sun Bear, සහ Proboscis Monkey ප්‍රධානයි.මේ සතුන් බොහොඉ දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරිම හෝ පණ පිටින් වලලා දැමීම සිදු වෙනවා. සත්ව කොටස් සහ සත්වයන් අළෙවි කරන්නන් හටත් මේ මගින් සිදුවනේ වාසියකි .
පරිසර පද්ධති වලට සිදු වන හානියට අමතරව මෙම පාම් වගාව නිසා මේ බිම් වල ජනතාවද අපහසුවට පත් වෙනවා. මිනිසුන් වාසය කරන ප්‍රදේශ විශාල වශයෙන් රජයයන් මගින්ම විකීණීම සිදු වෙනවා. එම බිම් මිලදී ගත් සමාගම් මගින් එම මිනිසුන් එළවා දැමීම සහ වන විනාශය නිසා ඔවුන් ගේ යැපීම් අඩු වීම සිදුවෙනවා.එහි ප්‍රත්පලයක් ලෙස ,මෙම වගා බිම් වල සේවකයන් ලෙස ඔවුන් අඩු වැටුපකට සේවය කිරීමට පෙළඹෙන්නේ වෙනත් විකල්ප අවම නිසයි.
වගා බිම් වලින් එපිට වාසය කරන මිනිසුන් ද ආරක්ෂිත නැහැ. වගාවන් සඳහා එළි කරනු ලබන කැලෑවන් එලිකරන්නේ පිළිස්සීමෙන්. ඒ නිසා මතු වන දුම දින ගනන් වායිගෝලයේ රැඳී පවතිනවා. එය ශ්වසනාබාධ වලට අත වැනීමක්.
මෙම විනාශය නැවැත්වීමට අපට කළ හැක්කේ කුමක් ද? ඉන්දුනීසියානු රජය මගින් පාම් ගස් සිටුවීමේ ව්‍යාපෘති වලට ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට කළ හැකි දේ අවමයි..
නමුත්,
පාම් තෙල් සඳහා ඇති ඉල්ලුම අවම කිරීමට අපට දායක විය හැකියි.
පාම් තෙල් අඩංගු නිශ්පාදන බොහොමයක් වෙළඳපලේ පවතිනවා. තොල් ආලේපන ක්ෂණික නූඩ්ල්ස්, ශැම්පූ වර්ග , අයිස් ක්‍රිම් වර්ග, සේදුම්කාරක, මාගරින් , චොක්ලට් බිස්කට් ආදි බොහොමයක් දේ මේඅතර ප්‍රධානයි.
එම ලේබල් වල පාම් ඔයිල් ලෙස සඳහන් කර ඇත්නම්, ඒවා මිලදී ගැනීමෙන් ඔබත් ඉහත කී සංහාරයේ හවුල් කරුවන් වන බව මතක තබා ගන්න.
ලේබල් වල සඳහන් ව නැති බොහෝ දේ අන්තර්ජාලයේ සැරිසැරීමෙන් සොයාගත හැකීයි.
එළවලු තෙල් ලෙස සඳහන්ව ඇති බොහෝ තෙල් වල 40%ක් පමණ පාම් තෙල් අඩංගුයි. එම නිසා 100%ක් එළවලු තෙල් ලෙස සඳහන් ව ඇති තෙල් පමණක් මිල දී ගන්න.
40% ක් සන්තෘප්ත මේද ලෙස සටහන් කර ඇති බොහෝ ආහාර බොහෝ විට පාම් තෙල් අඩංගු ඒවා. සැක ඇත්නම් ගූග්ල් කර සොයා බලන්න.
පාම් ගස් වගාව නිසා සිදු වන වනාන්තර සංහාරයේ සහ සත්ව සංහාරයේ පව් කාර කමට හවුල් නොවන්න.


කරුණු උපුටා ගැනීම - Causeyoucareco.com

Monday, April 2, 2018

"අම්මගේ තාත්තාගේ අසනීපයකදී වත් අපි ළඟ නැත්නම් මේ දොස්තර කරමින් ඇති වැඩේ මොකක්ද?"

මම ලියමි .වසර ගණනක් තිස්සේ ලියමින් සිටිමි . එහෙත් මගේ ලිවීමේ සීමා මායිම් ඇත .
අපේ ජීවිතයට අසීමිත ව සම්බන්ධ අසීමිතව ජීවිතය හා බැඳුණු බොහෝ දෑ පිළිබඳව ලිවීම අපහසු ය. ඒ බොහෝ අවස්ථා කෙලින්ම ලිවීමෙන් වැළකී වක්‍රාකාරයෙන් සටහන් තැබීමට මම පුරුදු වී සිටිමි.
ඇතැම් විට එය කවිය කි .තවත් විටෙක එය කෙටි කතාවකි .
ඒත් කවියකින් වත් ලිවීමට නොහැකි තරම් කටුක අත්දැකීම් ද මෙම අවුරුදු තිස් ගණනට මම අත්විඳ ඇත්තෙමි. නමුත් මේ ජීවිතය දුකක් යැයි මම නොකියමි. එය දුක සතුට සම්මිශ්‍රණයකි.

මගේ ජීවිතයේ දුක්බර ම මොහොත කිසිවකු හෝ ඇසුවොත් සිහිපත් වන සිදුවීම් කිහිපයකි. ඇතැම් සිදුවීම් සිදු නොවුණා නම් කොතරම් හොඳ දැයි සිතෙන වාර අනන්ත ය.
එහෙත් දෛවය හා ජීවිතය නිරන්තරයෙන් ම අපට හිතවත් නොවේ.
ජීවිතයේ බොහෝ දුෂ්කර අවස්ථාවන් අතරින්, සියලු දේ නොව සමහරක් දේ ලියා තැබිය යුතුයැයි සිතේ.
මගේ ජීවිතයේ මට වඩාත් ම ආදරය කළ හා කරන පුද්ගලයා අප්පච්චිය. එය මම හොඳාකාරව දනිමි. බොහෝ පියවරුන් දරුවන් කෙරෙහි වන ආදරය සිතේ සඟවාගෙන සිටින බව මම අසා ඇත්තෙමි. එහෙත්, සිතේ ඇති වන සියලු හැඟීම් ආදරය කිසිදු සැඟ වීමකින් තොරව ම පෙන්වන මා දන්නා එකම පිරිමියා ඔහුය. මා හට උරුම වී ඇති ආදරය ප්‍රකාශ කිරීමේ සහ ආදරය බලාපොරොත්තු වීමේ ගතිගුණය සීයට සීයක් උරුමවූයේ ඔහුගෙන් බව මම අදහමි .

කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා සිටි ඔහු එක්වරම ලෙඩවීම මමත් නංගිත් ජීවිතයේ බින්දුවටම වැටුණ අවස්ථාවකි. එම රෝග ලක්ෂණ සිහිපත් කිරීමට නො හැකි තරම් දුක්බරය. වේදනාකාරිය. සැබැවින්ම එම ජීවිතයට මම තවමත් බය වෙමි. සතුරෙකුටවත්එතරම් දුකක් ජීවිතයේ අත්විඳින්නට නොලැබේවායි නිරන්තරයෙන්ම මම ප්‍රාර්ථනා කරන්නෙමි.
ඒ අතරතුරදීම අම්මා ද රෝගී වීම ඇදහිය නොහැකි විය. ජීවිතයේ වැටෙන සෑම අවස්ථාවකදී ම අප සැමටම පිළිසරණ හා ශක්තිය වූයේ අම්මාය. අප තිදෙනා පිටුපසම සිටින දැවැන්ත සෙවනැල්ල ඇයය.
ඉතා බොළඳ දුර්වල චරිතයක් ව සිටි මම මා තුළ සැඟවී සිටි ශක්තිමත් ගැහැනිය සොයා ගත්තේ ඇය ද රෝගී වීමෙන් පසුව බව මම අදහමි. 

එසේ ලබාගත් ශක්තිය එක්තරා මොහොතක හැඟීම් දැනීම් නොමැති තත්ත්වයකට මාව පත් කරලීය. අම්මාව හා අප්පච්චිව සුවකරගන්නට හැරෙන්නට සැබැවින්ම කිසිදු හැඟීමක් මා තුල නොවීය.
රැකියාවේ වූ පීඩාකාරී තත්ත්වය ද මේ අතර කෙසේ හෝ ජය ගැනීමට මාහට අවශ්‍ය විය. අම්මාගේ හා අප්පච්චිගේ අසනීපය පිටත මා නිවාඩු ගැනීමට හැකි තරම් වැළකීමට මම තීරණය කළෙමි. මන්දයත් එයින් අන්‍යයන් පත්වන අපහසුව සහ ඔවුන්ගේ සිතෙහි කිනම් හෝ මොහොතක මා පිළිබඳව ඇතිවන නොපහන් හැඟීම් වලට මම බිය වීමි.

අම්මාගේ විශාල ශල්‍යකර්මයක් සිදුකිරීමට අවශ්‍ය වී තිබිණි. ඊට ප්‍රථම තවත් කුඩා ශල්‍යකර්මයක් සිදු කිරීමට අවශ්‍ය විය. ඒ වන විට අප්පච්චී දින ගණනක් සිටියේ රෝහල්ගතවය. එදින නංගීගේත් විභාගයක් ද යෙදී තිබිණි. භාතියගේ රාජකාරිය දිනයකි. ඉතින්, ඊට පෙරදින අම්මව කුරුණෑගල රෝහලට හැරලූ මම ඇයව තනිවම එහි තබා නැවත නිවසට පැමිණියෙමි. "මට තනියම ඉන්න පුළුවන්, ඔපරේශන් එකට යන්නත් පුළුවන්. ලොකු දෙයක් නෙමෙයිනේ". අම්මාගේ එම වචන මට අසීමිත ශක්තියක් විය.
ලොකු දෙයක් නෙමේ යනුවෙන් ඇය පැවසුවද එය සිහි නැතිකර සිදුකළ යුතු ක්‍රියාවලියකි.
එහෙත්, රෝහල්ගතව සිටි අප්පච්චි බැලිය යුතුය. හැරත් එදින මගේ oncall රාත්‍රිය විය. oncall දිනයක නිවාඩුවක් ගැනීම යනු සැවොම අපහසුවට පත්වන හේතුවකි. එමනිසා එදිනට නිවාඩු ගැනීමට මම උත්සාහ නොකළෙමි. අම්මාගේ ශල්‍යකර්මයෙන් පසුව සවස ඇය සමඟ නැවතීමට යාමට නංගීගේ විභාගයෙන් පසුව සැලසුම් කරගෙන තිබිණි.

අම්මා ශල්‍යකර්මයට යාමට පෙර මා සමග දුරකථනයෙන් කතා කළා ය බියක සේයාවක දු ඇයගේ වචන වල සටහන් නොවීය. එහෙත් ශල්‍යකර්මය අවසානය වන වෙලාව වනවිට ඇගේ දුරකතනය කිසිදු ඇමතුමකට ප්‍රතිචාරයක් නොදැක්විණ. ඇමතුම් බොහෝ ගණනක් ලබාගතිමි .ඇය පිළිතුරු නුදුන්නාය.
අවසානයේ බොහෝ වේලාවකට පසු ඇය පිළිතුරු දුන්නාය. ඒ මම කිසිදින ඇගේ හඬින් අසා නැති හඬකිනි. ඒ තරම් වේදනාවකින් කිසිදු දිනයක ඒ හඬෙන් මම අසා නැත්තෙමි. "අනේ පුතේ මට අමාරුයි" ඇය පැවසූවා එපමණකි.

අපේ රෝහල් කාමරයේ සිට මම කෑ ගසා හැඩුවෙමි. මට කළ හැකිව තිබුනේ එපමණකි. අසන්නට හෝ කියන්නට කිසිවෙකුත් සිටියේ නැත .

ජීවිතය යනු පලක් නොමැති බව නැවත නැවතත් මා හට හැඟින. රැකියාව යනු එකම හිස් බවක් පමණක් බවත් අනෙකුත් රෝගීන් ගැන සිතීමට පෙර මගේ පවුල ගැන මම ආදරය කරන අය ගැන සිතිය යුතු බව මට වැටහිණි. ඒ මොහොතේ අම්මව ගොස් බලා අම්මා හොඳින් සිටිනවා ලෙස පැවසූ පේෂල සර් සහ ජයමාල් සර් නොවන්නට බියෙන් සහ සොවින් මා මියයන්නට ඉඩ තිබිණි. ඒ පිළිබඳව නිසි ලෙස ස්තූති කළා දැයි හෝ මට මතක නැත. 

ඊට පැය දෙකකට පමණ පසුව නංගි අම්මා අසලට යන විට ඇය තරමක් සුව වී සිටි බව පැවසුවා නම් මතකය.
අම්මාගේ සහ අප්පච්චිගේ රෝගී තත්ත්ව වලට මා මුහුණ දුන් වෙනත් කිසිදු අත්දැකීමක් මතකයක් නැවත නැවතත් මම සිහිපත් නොකරමි. නැවත සටහන් නොතබමි. ඒවා ඒ තරම්ම කටුක ය.

මෙම සටහන හෝ තැබීමට මම පෙළඹුනේ පසුගිය දිනක මගේ මිතුරියක මුහුණදුන් සිදුවීමක් නිසාය.ඇගේ මව හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කළ දිනයේම නිවාඩු අවසානයේ ඇයට රාජකාරි සදහා ඇගේ රෝහල වූ ඉතා දුර පිහිටි රෝහලකට යාමට සිදුවී තිබිණි. අම්මා බලාගැනීමට ඇයව එක් දිනක් නිවසේ නවත්වා ගන්නට බොහෝ කරුණු බොහෝ වේලාවක් පැහැදිලි කිරීමට මට සිදු විය. ඇය අම්මා ගැන නොසිතුවා නොවේ. ඇය සිටියේ මහත් වූ මානසික පීඩනයකිනි. එහෙත් ඇය යා යුතුම විය. එය මෙම රැකියාවේ ස්වභාවය යි.
එහෙත් මම මෙසේ අසමි.
"අම්මගේ තාත්තාගේ අසනීපයකදී වත් අපි ළඟ නැත්නම් මේ දොස්තර කරමින් ඇති වැඩේ මොකක්ද?"

Friday, March 9, 2018

ගැහැණු සිත හා පිරිමි සිත

කාලෙකට කලින් පිටකොටුව බස් නැවතුමේදි ඇහුණ කතාවක් මතක් වුණා.
බස් පෝලිමේ මට ඉස්සරහින් හිටියා කපල් එකක්. වැඩි වයසක් නෑ. ඒත් පාසල් වයසෙ නෙමේ කියල හිතුණෙ. දෙන්නගෙම අතේ තිබුණ ප්‍රසිද්ධ ඉංග්‍රීසි අධ්‍යාපනායතනයක පොත්.

පිරිමි ළමයා හිටියෙ ගැහැණු ළමයගෙ අතට තරමක් වාරු වෙලා. ඔහුගෙ කකුලෙ වළලුකර ගාව බැන්ඩේජ් එකක් තිබුණා මම දැක්කෙ තරමක් වෙලාවකට පස්සෙ.
බස් එකක් එන්න ටික වෙලාවකට කලින් තවත් පිරිමි ළමයෙක් එතෙන්ට ආවා. ඔහු කලින් කිවුව පිරිමි ළමයගෙ මිතුරෙක්. ඒ තුන්දෙනාගෙ කතා බහෙන් වැටහුනේ ඔහුව ටික දිනකට කලින් අන්තුරකට ලක් වෙලා ඒ වන විට හොඳ වෙමින් තිබෙන බවක්.

මොහොතකින් ඒ ගෑණු ළමයා එතනින් යන්න සූදානම් වුණා. යන්න පළමුව තමන්ගෙ පෙම්වතා ට ඇය උපදෙස් දුන්නෙ අම්ම කෙනෙක් ළමයෙක්ට උපදෙස් දෙනවා වගේ. යන්න පෙර හැමෝටම හොරෙන් වගේ ඔහුගෙ කම්මුල සෙමින් සිප ගත් ඇය ,ඔහුගෙ යාලුවාට ඔහුව පරිස්සමින් එක්කන් යන්න කියලා ඉල්ලුවෙ ඉතාම බැගෑපත් ව.

ඇයට වෙනත් පන්තියක් හවස තිබෙනා බව පැවසූ ඇය එතනින් පිට වෙලා ගියා.

ඇය වැනි පෙම්වතියක් ලද ඔහු ඉතාම වාසනාවන්ත ලෙසයි මට හිතුණෙ. ඉන් පසුව ඔහු සහ ඔහුගේ මිතුරා අතර ඇති වූ දෙබස මේ වගේ.

යාලුවා - හොඳ කෙල්ල නේද?

ඔහු - ඔව්. හරි හොඳයි. ඒත් මම මේක දිගටම කරන්නෙ නෑ

යාලුවා - ඇයි?

ඔහු - එයාලගෙ ගෙදර ඉන්නෙ එයයි අම්මයි නංගියි විතරනෙ. තාත්තා නෑ. ගෙදර සේරම වැඩ කරන්නෙ මෙයා. ඒ පවුලෙම බර මට කරට ගන්න වෙයි කියලා අපේ ගෙදරින් කැමති නෑ. ඒකත් ඇත්තනෙ..

යාලුවා - ඉතින් උඹ මේක නවත්තන්න ඉන්නෙ කියල මේ කෙල්ල දන්නවද?

ඔහු - නෑ. තවම කිව්වෙ නෑ මම. ටික දවසකින් කියනව

යාලුවා නිරුත්තරයි.

(මෙම සිදුවීම වුණේ මීට මාස ගණනකට කලින්. මේ වන විට ඔහු ඒ තීරණය ඇයට පවසා අවසන් ඇති.

කාන්තා දිනයෙදි බොහෝ දෙනෙක් කතා කරන්නෙ තමන්ගෙ පවුල ඇතුලෙ එහෙමත් නැත්නම් සමාජය විසින් කාන්තාවන් ට සිදු වන අසාධාරනකම් ගැන. ඒත් මේ වගේ දිනපතා අසාධාරණයට ලක් වෙන කොයි තරම් නම් ගැහැණු ළමයින් ඉන්නවද?

ගැහැණු ළමයෙක් ගෙ , කාන්තාවක ගෙ හැඟීම් එක්ක මේ විදියට කිසිම වගකීමක් නැතිව ගනුදෙණු කරන පිරිමි කීදෙනෙක් නම් මේ ලෝකෙ ඉන්නව ද?

සේරම අවසානයෙ , "ගෑණුනෙ බන්" කියලා විතරක් කියලා තමන්ගෙ යාලුවො එක්ක කියලා තමන්ගෙ බිරිඳගෙ, පෙම්වතියගෙ මුළු ප්‍රතිරූපයම හෑල්ලුවට ලක් කරන කීදෙනෙක් නම් පිරිමි මේ ලෝකෙ ඉන්නවද... )

Sunday, March 4, 2018

වටහා ගන්න නුඹ

වටහා ගන්න නුඹ
සඳ වතට නෙතු යොමමි
පමා වන ගිම්හාන සමයක
කවුලුවෙන් දිසි
රතු පැහැති පත්
රැගත්
අතු අග දෙනෙත් රඳවමි
ඇඟිලි තුඩගට ගත නොහී
සියුම් අළු ධූවිලි බිඳෙන්
උදුන ලඟඋණුසුමද කැටි වුණ
නේක සුවඳැති සහන් එළියද
යාත්‍රා ය මා රැගත්
වෙතට නුඹ

වටහා ගන්න නුඹ
මියැදෙන්න ඉඩ හලොත්
ආදරය බිඳෙන් බිඳ
ඉදින් මා නොසොයන්න
මන්දයත්
නුඹට පළමුව නුඹේ මතකය
හැර දමා මා යන සෙයින්
නුඹේ වෙරළත මුල් දරා
ලැගුම් ගෙන සිටි මගේ හදවත
වෙරළ මැද මා තනිවු දිනකදි
හදෙහි මුල් සැම මුදා ගන්නෙමි
කොහේ හෝ යළි ලැගුම් ගන්නට

නමුදු,
සිතනවා නම් නුඹ
ගෙවෙන හෝරවක්ම ගානෙම
නුඹ අයිති බැව් මට
සොයයි නම් නුඹ ලවන්පත්
සිඹින මල් වල මගේ රූපය
මගේ ප්‍රේමිය
සදා රැඳෙනෙමි නුඹේ සෙවනෙහි
නුඹේ මුදු අත් අතර
මන්දයත්,
මගේ සෙනෙහස දිවි ලබන්නේ
නුඹේ සෙනෙහස නිසාවෙන්මය

පැබ්ලෝ නෙරුඩා ගේ If you forget me හි අනුවාදයකි.

You know how this is: 
if I look 
at the crystal moon, at the red branch 
of the slow autumn at my window, 
if I touch 
near the fire 
the impalpable ash 
or the wrinkled body of the log, 
everything carries me to you, 
as if everything that exists, 
aromas, light, metals, 
were little boats 
that sail 
toward those isles of yours that wait for me. 

Well, now, 
if little by little you stop loving me 
I shall stop loving you little by little. 

If suddenly 
you forget me 
do not look for me, 
for I shall already have forgotten you. 

If you think it long and mad, 
the wind of banners 
that passes through my life, 
and you decide 
to leave me at the shore 
of the heart where I have roots, 
remember 
that on that day, 
at that hour, 
I shall lift my arms 
and my roots will set off 
to seek another land. 

But 
if each day, 
each hour, 
you feel that you are destined for me 
with implacable sweetness, 
if each day a flower 
climbs up to your lips to seek me, 
ah my love, ah my own, 
in me all that fire is repeated, 
in me nothing is extinguished or forgotten, 
my love feeds on your love, beloved, 
and as long as you live it will be in your arms 
without leaving mine.

by Pablo Neruda