Thursday, June 28, 2012

හඹා යාම 08

හඹා යාම - කලින් කොටස්





      දින දෙකකට පේරාතුව රාත්‍රියේ ඇසුණ ඇමතුම මාරු කිරීමේ සංගීත නාදය නැවතත් මට ඇසේ. මගේම හද ගැස්මද ඇසේ. එහෙත් ඒ එදා මෙන් චකිතයක් නොවේ. බලාපොරොත්තුවෙනි. අම්මාගේ රෝගී තත්වය පිළිබඳව ඇයට සැල කර සිතට හෝ පිළිසරණක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙනි.


"හෙලෝ.. " ඇගේ ගීතවත් හඬ මට ඇසේ. මම අපහසුවෙන් වදන් ගොනුකර ගනිමි.


"ඩොක්ට මම දසුන්. මතකයි නේද?" තත්පර කිහිපයක නිහැඬියාවකි. ඈ හට මා අමතක වීමට නම් ඉඩක් නැත.


"ආ Mr දසුන්, කොහොමද?" ඇගේ වචන වල මහා දුරස්ථ බවක් මට දැනේ. රෝගියෙකුවත් ළඟ සිටිනවාද? නැති නම් ඇය මේ තරම් රාජකාරිමය බවක් ආරූඪ කර ගැනීමේ අරුත කුමක්ද.


"මම හොඳින් ඩොක්ටර්. මේ වෙලාවෙ කරදර කරනවට sorry."


"නෑ නෑ කමක් නෑ කියන්න" ඇගේ හඬෙහි නො ඉවසිලිමත් බවකි.


"ඩොක්ට අපේ අම්මට ටිකක් සනීප නෑ. මට කෝල් කළා. දැන් යන ගමන් මම ගෙදර. කළන්තෙ වගේ කිවුවා. කැරකිල්ල තියනවලු. මොකක් වෙන්න පුළුවන්ද? ප්‍රෙශර් වැඩි වෙලාද?"


"අම්මව බලන්නෙ නැතුව හේතුව කියන්න අමාරුයි Mr දසුන්. මෙහෙ එක්කන් එන්න පුළුවන්ද ඔයාට දැන්?"


"දුර වැඩියි ඩොක්ට. මම ගෙදර ගිහින් ආයෙ එනකොට තව පැයක් හමාරක්වත් යයි"


"එහෙනම් අම්මව ළඟ ඉන්න ඩොක්ට කෙනෙක් ළඟට පෙන්නන්න පුළුවන්ද? මොකද කියල කියන්න බෑනෙ නේද? බය වෙන්න එපා ලොකු අසනීපයක් නෙමේ වෙන්න ඇති. කෝකටත් ECG එකක් අරගෙන බ්ලඩ් ෂුගර් ත් චෙක් කරගන්න"


"මම එහෙම කරන්නම්, තැන්ක් යූ ඩොක්ට"


"ඔයා කලබල වෙන්න එපා,එතකොට අම්මත් බය වෙයි." 
ඇගේ ඒ උපදෙස මා හට මහමෙරක් සේ අගනේය.එහෙත් අද ඈ මා ඇමතූයේ තරමක ආඩම්බර ස්වරයකින් බවද මට සිතේ. මේ මොහොතේ හදිසියේම pride and prejudice හි එලිසබෙත් බෙනට්ව මා හට සිහිවන්නේ ඇයිදැයි මට නොදැනේ.




***************************************************************


ප්‍රෙෂර් නෝමල්. තරුණ වෛද්‍යවරයා පවසයි.ඔහුගේ ස්වරය එතරම් සුහද නැත.  රෝගීන් හමුවේදී ආදිත්‍යාගේ කරුණාබරිත ස්වරය මට සිහිවේ.

 "අපි ඊ සී ජී එකකුත් අරන් බලමු" 
එහිද අසාමාන්‍යතාවක් නැත.


"ඩොක්ට අම්මට දියවැඩියාව තියව. සීනි වැඩි වෙලා මෙහෙම වෙන්න පුළුවන්ද?"


"සීනි අඩු වෙලා වෙන්නත් පුළුවන්. අපි බලමු" ඔහු හෙදියකට සන් කරයි.


ග්ලූකෝමීටරයේ සටහන් වන අංකය දැක ගැනීමට සිත නො ඉවසිලිමත් වේ.


72


"සීනි අඩු වෙලානෙ" වෛද්‍යවරයා පවසයි. අම්මා මගේ මුහුණ දෙස බලන්නේ අසරණ විලාසයෙනි.


"බේත් බීලා කෑවෙ නැද්ද?"


අම්මා පිළිතුරු නොදී තරමක් ලත වේ.


"අම්මා කෑවෙ නැද්ද?" මම දැඩිව විමසමි.


"අද උදේ 10ට විතර තේ එකක් බිවුවා. උදේ කන්න බැරි වුණා. දවල්ට කෑවෙ නෑ තවම."


මගේ මුවින් වදනක් හෝ පිටවන්නට පළමුව වෛද්‍යවරයා ඉස්සර වේ. 


"එහෙමද දොස්තර කියල තියෙන්නෙ? තවත් සීනි අඩු වුණා නම් කෝමා වෙලා, මැරෙනව. කැමතිද එහෙම වෙනවට?"


වෙනත් අවස්ථාවක කිසිවෙකු මා ඉදිරියේ මෙසේ අම්මා හට  පැවසුවා නම් ඔහුගේ දත් ටික සෙවීමටවත් නොහැකිවනු ඇත. එහෙත් මේ අවස්ථාවේදී ඔහු සමග කෝප විය යුතු නැත. වගකීම් රහිත බව අම්මා කෙරෙන් පළවා හැරීමට හොඳම අවස්ථාව මෙය වේ.


*************************************************
අම්මා පැකට්‍ටුවේ ඇති ග්ලූකෝස්  හිමින් හිමින් අනුභව කරයි. මම මුවින් නොබැන වාහනය පදවමි.


loneliness has always been a friend of mine... Im leaving my life ..


නුපුරුදු දුරකතන අංකයක් තිරයේ දිස්වේ. රාජකාරී කටයුත්තක්ද?
"හෙලෝ" hands free එක කනෙහි රඳවා ගනිමින් මම පිළතුරු දෙමි.
ඇමතුම සම්බන්ධ වේ. එහෙත් කිසිවෙකුගේ කට හඬක් නම් නෑසේ.


"හෙලෝ" මම නැවතත් කතා කරමි.


"හෙලෝ මිස්ටර් දසුන්"
දෙවියනේ එය සුපුරුදු හඬකි. වාහනයේ වේගය ඉබේම බාල වේ.


"ඔව් දසුන් තමයි. කවුද මේ"? කිසිදු සැකයක් නැතත් මට ඉබේම කියැවේ.


"මම ඩොක්ටර් ආදිත්‍යා"


"ඩොක්ටර් ! " මම වාහනය පාරේ පසෙකට කර නවතමි. චංචල සිතකින් වාහන ධාවනය නුවණට හුරු නැත. අම්මා දුරකතන ඇමතුම පිළිබඳව විමසිලිමත් වන බව පෙනේ.


"කොහොමද?"


"අම්මට කොහොමද දැන් දසුන් අයියෙ? ඒක අහන්න කතා කළේ මම"


*දසුන් අයියෙ !!* මගෙ සිතෙහි රාව ප්‍රතිරාව නැංවේ. එහෙත් ඒ බවක් පෙන්වීම නුසුදුසුය.


"දැන් හොඳයි ඩොක්ටර්. ඔයා කිවුවා වගේ ඇඟේ සීනි අඩු වෙලා තිබුණෙ..........."


"ආනේ ඇත්තද?"


"ඔව් මෙයා පණ්ඩිත කමට උදේ බේත් බීලා උදේට කාලා නෑ, දවල්ට කාලාත් නෑ. ඉතින් සීනි 72 ට බැහැලා."


"ඉතින්?"


"මේ ඉන්නෙ දැන් ග්ලූකෝස් කකා......"
මගේ ස්වරයට ඇයට සිනහ නැගේ. අම්මා මා දෙස රවමින් බලයි.


"එහෙනම් මම තියන්නම්. ඒ ගැන අහන්නයි කතා කළේ"


"තැන්ක්යූ ඩොක්ටර්. මම පස්සෙ කෝල් එකක් දෙන්නම් මේ නම්බර් එකට. දැන් ඩ්‍රයිව් කරන ගමන්"


"හරි දසුන් අයියෙ. ඇන්ටිව මතක් කළා කියන්න. බුදු සරණයි" ඇය ඇමතුම විසන්ධි කරයි.
ඇගේ අවසන් වාක්‍යය මට ගෙන දුන්නේ මහත් විස්මයක්. අම්මා හැරුණ විට වෙනත් කිසිවෙකුගේ මුවින් මා වෙනුවෙන් නොනැගුණ ඒ වදන් දෙකෙන් ඈගේ කරුණාවන්ත සුහද බව පිළිබඳව තවත් මසිත පැහැදීමට පත් වේ.නැත. ඇය එලිසබෙත් බෙනට් ට වඩා බොහෝ වෙනස්ය. කලින් අවස්ථාවේදී නිසැකවම ඈ අසල රෝගියෙකු සිටින්නට ඇත. නැතහොත් මෙවන් වූ යුවතියක් එසේ ආඩම්බර ස්වරයකින් කෙසේවත් කතා නොකරනු ඇත.


"බේත් ගත්තු ඩොක්ටර්ද පුතා?" අම්මා නම් වෙලාවකට ටියුබ් ලයිට් සංකීර්ණයකි.


"මොන බේත් ගත්තු ඩොක්ටර්ද, ලෙඩා ගියාටත් පස්සෙ කොහොමද කියල කෝල් කර කර අහන්න ඇයි එයාගෙ අවුට් ගොයින් ‍ෆ්‍රී ද. අනික, මම එයාට මගෙ නම්බර් එක එහෙම දෙනවා එහෙම අම්මා දැක්කද?"


"කියන්න බෑනෙ. විසිටින් කාඩ් එකවත් දුන්නද දන්නෙ නෑනෙ"


මගේ මුහුණට ලේ පිරෙනු මට දැනේ. මම පිළිතුරු නොදෙමි.බේරෙ වැව වාං දමනවා බඳු මගේ කටට හොඳ පාඩමකි. අම්මා එසේ පැවසූයේ මා එදින ආදිත්‍යාට විසිටින් කාඩ් පත ලබා දුන් නිසා බව සිතා ගැනීමට මට අමුතු නුවණක් අවශ්‍ය නොවේ. මම අම්මා දෙස නොබලාම වාහනය පණ ගන්වමි.


"එහෙනම් කවුද දැන් කතා කළ ඩොක්ටර්?" අම්මා අසන්නේ උපහාසය මුසු හඬකිනි. බොරුවක් කීමට දිව නොනැමේ.ඒ පව් කිරීමට ඇති බිය නිසාම නොව අම්මාගේ සහජ ඉවෙන් මා පවසන්නේ මුසාවක් බව වටහාගනිතැයි ඇති බිය නිසාය. මා කර මුලින්ම අසු වී ඇත.


"ආදිත්‍යා"
මම හැකි පමණ තැම්පත් ස්වරයකින් පවසමි.


"ඒ ටිකට ඒකත් කිවුවද?"


"අම්මාට සනීප නෑ කිවුව ගමන් මට මතක් වුණේ කාට හරි ඩොක්ට කෙනෙක්ට කතා කරන්න ඕනා කියලා. ඒ නිසයි එයාට කතා කළේ , මගෙ වෙන යාළුවො නෑනෙ ඩොක්ටර්ස්ලා" මම බිඳුනු හඬින් පවසමි.අම්මා නිහඬ වේ. ඒ මා පිළිබඳව කණගා‍ටුවක් ඇති වූ නිසා වන්නට ඇත.
කල දු‍ටු කල වල ඉහ ගැනීම සුදුසුය. නැතහොත් අම්මාට උපදෙස් දීමට වෙනත් අවස්ථා වල මා හට එතරම් අවකාශ නැත.


"අම්ම  දන්නවද. ඒ වෙලාවෙ මම කොයි තරම් අසරණ වුණාද කියල. අම්මට මොනවහරි වුණොත් මම මොකද කරන්නෙ. මට කවුද ඉන්නෙ, මම මේ ලෝකෙ තනි වෙනව කියල තේරෙන්නෙ නැද්ද. ...." හැකි පමණ අවිහිංසක ස්වරයෙන් මම පවසමි. "අනිත් දවසෙ බේත් බොන එක වගේම කන එකත් පිළිවෙලට කරන්න"


අම්මා නිහඬය. ඇගේ නෙතෙහි කඳුලක සේයාවක් තිබෙනු මම දකිමි.


**********************************************


වේලාව ප.ව. 4ට ආසන්නය. නැවත සේවා ස්ථානයට යාමට වේලාවක් නැත. කාරය ගරාජයට දැමූ මම කාමරයට යමි. එහි වෙනසක් ඇත.
ඇ‍ඳෙහි අලුත් ඇඳ ඇතිරිලිය. මේසය මත වූ බඳුනේ අලුතින් දම් පැහැ crystal soil යෙදූ වීදුරු බඳුනක මල් පැළයක් දමා ඇත. මගේ සපත්තු පිළිවෙළට තබා ඇත. මම ඇඳුම් අල්මාරිය විවර කරමි. සියලුම ඇඳුම් අලුතින් නමා ඇත. කොටින්ම කිවහොත් මේ මගේ කාමරය බවට සලකුණක් හෝ නොමැත. අම්මා සියල්ල අස් කර පිරිසිදු කර ඇත. මසිත සොවින් බර වේ. ආහාර නොගෙන ඈ කර ඇත්තේ කුමක්දැයි මා හට දැන් පැහැදිලිය. මා හට මතක ඇති කාලයක සිටම මගේ කාමරය අස් කිරීමේ පටන් බොහෝ කටයුතු කරන්නේ අම්මාය. එහෙත් ඒ පිළිබඳව මේ වනතෙක් මා මෙතරම් සිතා නොතිබිණි.නමුත් අද මා හට මා කෙරෙහිම පශ්චත්තාපයක් දැනේ.


"පුතා, දවල්ට කැවා නේද? තේ එකක් හදන්නද?"
අම්මාගේ හඬට මම ආපසු හැරෙමි


"අම්ම ඉස්සරවෙලා කාලා ඉන්න පණ්ඩිත කම් නැතුව"මම දැඩි ස්වරයෙන් පවසමි.


"අම්ම , මම අනිත් ඩවසෙ කාමරේ අස් කරගන්නම්.අම්ම මහන්සි වෙනව වැඩියි දැන්."


"ආයෙ අමුතුවෙන් අස් කරන්න දේයක් එන්නෙ නෑ ඔයා මේක හැඩි නොකර තියනවනම්. මගෙ දණිස්ස උසට තිබුණා කොල කෑලි"


"අම්මා දන්නවනෙ මම කලාකාමී කොල්ලා කියල. ඒ මගෙ නිර්මාණ වල ඉතුරු කොටස්නෙ." මම අම්මාගේ කරවටා අතක් දමමි.හැකියාව කෙසේ වෙතත් නිතරම විවිධ කලාත්මක නිර්මාණ සෑදීමට, චිත්‍ර ඇඳීමට මම ප්‍රියතාවයක් දක්වමි. මගේ කාමරය අපිළිවෙල වීමට බලපාන ප්‍රධාන සාධකය වන්නේ එයයි


 "හරි හරි අම්ම බයවෙන්න එපා, මම ඉක්මනින්ම අම්මට ලේලි කෙනෙක් ගේන්නම් කාමරේ අස් කරගන්න......"


"ඔව් ඔව් මට පේනව ළඟදි ඉඳන් ඒකට තමයි ලෑස්ති වෙන්නෙ කියල."අම්මාගේ ස්වරයේ ඇත්තේ කෝපයක් නම් නොවේ. එහෙත් එවදන මා හට ගෙන දුන්නේ සැහැල්ලු බවක් නම් නොවේ.
එහෙත් මම සැහැල්ලුවෙන් හැසිරීමට වෙර දරමි.


"ඕකනෙ ඉතින් බැරි. මගෙම අම්ම මට කතා හදනවනෙ"
අම්මා සිනා සේ.


එහෙත් ඒ සිනහව මැකී ගොස් ඒ මුහුණට ඊලඟ මොහොතේ එක් වන්නේ බැරෑරුම් බවකි.
"පුතා, කවදාවත් හිතන්න එපා බඳින්නෙ වයිෆ් ට කියල ගෙදර වැඩ කරගන්න කියල. එහෙම හිතනව නම් නොබැඳ ඉන්න එක හොඳයි"


"ඔන්න ඔන්න ඉතින් අම්මා කාන්තා විමුක්ති සටන්කාමී චරිතයට බැස්සා. හරි හරි , මමම කාමරේ අස් කරගන්නම්.............. "


*********************************


loneliness has always been a friend of mine.....


නැවතත් දුරකතණය නාද වේ. ආදිත්‍යාද?
නැත ඒ පසන්ය.
ringing tones assign කළයුතු යැයි මා හට ජීවිතයේ ප්‍රථම වතාවට සිතේ.


"අඩෝ.. උඹ මටත් කොලේ වැහුවා නේ?"


මේ පිස්සා කුමක් පවසනේදැයි මා හට නොතේරේ.



"මොකද බං උඹේ අං දෙක ගැලවිලා වැ‍ටුනද කෑ ගහන්නෙ? ඒකට කෑ ගහන්න එපා බං සතු‍ටු වෙයන්."


"උඹට මෙච්චර උදවු කරපු මටවත් කිවුවෙ නෑ නේද?"


"මොකද්ද මම උඹට නොකිවුවෙ? ආ සොරි මචං. උඹට පිස්සු කියල උඹ දන්නව ඇති කියල හිතලයි මම උඹට ඒක නොකිවුවෙ..... ඉතින් කවුද ඒක අද උඹට කිවුවෙ? ක්‍රිෂාණි ද?"


"අඩෝ මේ මට පාටියක් ඕනා"


පසන්ගේ හතර බීරි කතා මට නොතේරේ.මේ ඔහුගේ ස්වභවයයි. හැකි තරම් වෙලාවක් වටේටම පහර දී අවසානයේදි ඉලක්කයට ඒම ඔහු හිතා මතාම කරන්නේ අනෙකා අපහසුතාවයට පත් කිරීමටයි.


"මචං, මම  කෝල් එක කට් කරන්නම්. උඹ ඔලුව කොහෙ හරි බිත්තියක දෙතුන් පාරක් හප්පගෙන සාමාන්‍ය තත්වෙට පත් වුණාම මට ආයෙ කතා කරපන්. මම එතකන් තේ එකක් බීලා එන්නම්"


"හෝව් හෝව්, ඔහොම ඉඳපන්, කට් කරන්න එපා"


"මොකද්ද කරත්ත කාරයෙක් වගේ හෝව් හෝව් කියන්නෙ?"


"වෙන මොකද උඹ හරකෙක් නිසානෙ. මේ දඟලන්නෙ නැතුව පොඩ්ඩක් අහපන්............
උඹේ දොස්තර නෝනාව හම්බුණා දැන් ටිකකට කලින්"


මගේ සිත ක්ෂණිකව ප්‍රබෝධමත් වේ. එහෙත් මම ගණනකට නොගෙන් පිළිතුරු දෙමි.
"ආ ඒකද මේ කියන්න දැඟලුවෙ?"


"sorry මචන්, මම හිතුවෙ උඹට ඒක වැදගත් කියල. උඹට වැඩක් නැත්නම් මම මොකටද දඟලන්නෙ, මම පස්සෙ කතා කරන්නම් උඹට."


ඒ නම් කලබල වීමට අවස්ථාවකි.


"පොඩ්ඩක් ඉඳපන්. මොනාද ආදිත්‍යා කිවුවෙ?"
පසන්ගේ උපහාසාත්මක සිනහව ඔහු අසලින් ගමන් ගත් වාහනයක නළා හඬින් මැකී යයි.


"වෙන මොනාද උඹ කෝල් කළා කිවුව"


"සිරාවටම උඹට ඒක කිවුවද බන්?"


"සිරාවටම තමයි. නැත්නම් මම කොහොමද දන්නෙ?"


"කොහොම මූඩ් එකකින්ද කිවුවෙ? මට චාටර් වගේද?"


"නෑ නෑ අම්මට සනීප නැති වුණා කිවුවා. පස්සෙ හොඳ වුණා කිවුව
දැන් ඇන්ටිට හොඳයි නේද ?"


"ඔව් ඔව් දැන් හොඳයි. තව මොනාද එයා කිවුවෙ?"


"වෙන මොකුත් කිවුවෙ නෑ....
මේ උඹ කොච්චර කල්ද ඔහොම මල් කඩන්න පටන් අරන් ෆෝන් එකෙන්?"


"කොච්චර කල්වත් නෑ ..... අදමයි කතා කළේ" මම ඔහුට සම්පූර්ණ විස්තරය පවසමි

22 comments:

  1. දැන්නං මේක හොඳට නැගලා යනවා...
    (මේක මේ අර උස මල්ලිගේ කතාවද මංදා..:D:D:D)

    ReplyDelete
  2. හප්පේ ඇති යන්තම් සෑහෙන කාලෙකින් කතාවෙන් ටිකක්. ඩොකටර් නෝනටත් අදහසක් ඇති වෙලා වගේ. හොඳයි හොඳයි! බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නෙ කියල!

    ReplyDelete
    Replies
    1. 1 වෙන්න තිබ්බ චාන්ස් එක නූලෙන් වැරදුනා නොවැ :(

      Delete
  3. මම මේ කතාව දැක්කෙ නැහැනෙ මුල ඉඳල බලන්නම් හොඳේ? අනිද්ද ඉඳල මට දවස් 15 ක් නිවාඩු......

    ReplyDelete
  4. හනේ...මම කලින් කොටස් කියවල නෑ නේ. ඒවා කියවන්න වෙනවා මුලින්

    ReplyDelete
  5. මුල ඉඳන් කියවල එන්න ඕනෙ. හැබැයි මෙතන ඉඳන් පටන්ගෙන කියෙව්වත් රස විඳින්න බාධාවක් නැහැ.

    ReplyDelete
  6. කැමතිද බොරැ සෝබන නැතුව කීයක් හරි අන්තර්ඡාලය මගින් උපයන්න!

    සුබ දවසක් සියඵ දෙනාටම! අද අන්තර්ඡාලය බාවිතා කරන සෑම අයෙක්ම පාහේ දන්නා කරැණක් තමයි E Money කියන්නේ.අපගේ කන්ඩායම දැක තිබෙනවා “මසකට රැපියල් 100000 හොයන්න” වගේ නොයෙකුත් ඔබ රවටනා වාක්‍ය දැමූ වෙබ් අඩවි බොහො ප්‍රමාණයක් තිබෙනවා.අප කන්ඩායම සිතුවා ඔබ රවටනා මෙවැනි වෙබ් අඩවි අබිපවා ගොස් ඔබට E Money ගැන ඇත්ත ඇති සැටියෙන් පහදා දෙන්නට ..ඔබත් කැමතිද E Money ගැන ඇත්ත ඇති සැටියෙන් දැන ගන්න..ඵසේනමි පිවිසෙන්නhttp://easyemoney2012.blogspot.com/

    ReplyDelete
    Replies
    1. දැන් මොකද මෙයා ඔයා මෙච්චර සත්ව කරුණාවෙන් අපිට හම්බ කරලා දෙන්න දඟලන්නේ... මුලින්ම ඔයා උපයලා පෙන්නන්නකෝ...

      Delete
    2. හුටස් 100000 නේ ,,ඒ වගේ ගානක් හොයන්න පුලුවන් නම් මමත් එන්නම්කෝ

      Delete
  7. E money ඔන්න තවත් බොරු කාරයෙක්

    ReplyDelete
  8. දසුන්ගෙයි ආදිත්‍යාගෙයි ප්‍රේම පුරාවෘත්තයක් පටන්ගන්න වගේ හදන්නේ..

    සමස්ත කතාවම ගලාගෙන යන හැටි අපූරුයි

    ReplyDelete
  9. //"අම්මව බලන්නෙ නැතුව හේතුව කියන්න අමාරුයි Mr දසුන්. මෙහෙ එක්කන් එන්න පුළුවන්ද ඔයාට දැන්?"// ඒ කෝල් එකට දොස්තර නෝනගෙන් ලැබෙන්නේ ඔය උත්තරේ තමා කියලා මම මීට කලින් කොටසට දාපු කමෙන්ට් එකේදිම කිව්වා...
    මෙන්න තියනවා මම කලින් කොටසට දාපු ඒ අනාගත වාක්‍යය "ඉතින් ඩොක් නෝනාගේ පිළිතුර හිතාගත හැක. "අම්මාගේ ප්‍රශ්නයට over the phone පිළිතුරු දිය නොහැක.ප්‍රෙශර් චෙක් කල යුතුය. වහාම අම්මා රැගෙන වෛද්‍ය මධ්‍යස්ථානයට එන්න"
    .. කොහොමද මගේ අනාවැකි කීම... හුරේ...!

    ReplyDelete
  10. බලමු බලමු මොකො වෙන්නේ කියලා...

    ReplyDelete
  11. මන් ඉන්නේ ලව් කතා කියවන වයසේ නොවුනත් මේක නම් කියවන්න බොහොම කැමතියි..

    ReplyDelete
  12. සිදූ ඊලඟ කොටස ඉක්මනට නොදැම්මොත් මේක කියවන උදවියට හයි ප්‍රෙෂර් හැදේවි :)

    ReplyDelete
  13. අනේ ඔන්න ඉක්මනට ඉතුරු කොටසත් දාමු ඈ....

    ReplyDelete
  14. ඔන්න අදත් ආවා කතාව බලන්න,,ඔහොම යමු

    ReplyDelete
  15. කතාව දැන් දැන් උනුසුම් වේගෙන වේගෙන වේගෙන යනවා !!
    අපිත් ඇස් කන් අයාගෙන බලාගෙන ඉන්නවා ඉතුරු කොටස් ලියනකන් !!
    ඉක්මනට ලියන්ඩ සිඳු !

    ReplyDelete
  16. ආව් ආව්....වැඩේ හලියාගෙනයි එන්නෙ.....^_^

    ReplyDelete
  17. මේකෙ මුල් කොටස් ටිකනම් කියෙව්ව ඒ කලෙම. ඒත් ඉතින් දැන් ඒව මතක නෑ. ඒ උනත් මෙතන ඉඳන් කියෙව්වත් රසවිඳින්නපුලුවන්. බලපොරොත්තුවෙන් උන්නු කොටස මෙතනින් පටන්ගන්නවනෙ

    ReplyDelete
  18. මුල් ටික මතකත් නෑ :D මං ආසාවෙන් කියවන එකම සයිබර් ලව් කතාව :)

    ReplyDelete