Friday, March 22, 2013

මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න


රෑ වැස්සට ගුරු පාරෙ වලවල් වල වතුර පිරිලා. 
ඒවා මග ඇරලා මම හිමීට ඇවිදගෙන යනව.....

උදේ පාන්දර මීදුමත් එක්ක නැවුම් හැඟීමක් හිතට දැනෙනව. පාර දෙපැත්තෙ තියෙන උස තණ කොළ වල අගිස්සෙ වතුර බින්දු එකතු වෙලා පාන්දර ඉර අවුවට මුතු පාටට දිලිසෙනව. 
ඒ අතරින් ඉහළට එසවුණ ලොකු තණකොළ මල් වල යම්තම් ලා රෝස පාට මිශ්‍ර වුණ කොළ පාටත් එක්ක ඒවගෙ ‍රැඳුන පිණි බින්දු වල පාට අපූරුවට කැපිලා යනව. 
තණකොළ පඳුරු අතරින් මතු වෙලා පෙනෙන නම අමතක කහ පාට පුංචි මල් මවන්නෙ තවත් ලස්සනක්. ඒවගෙ හීනි බූව උඩ තවත් පුංචිම පුංචි පිණි බින්දු ‍රැඳිලා..... 

මල් වලට වඩා ටිකක් ලොකු පුංචි සමනළයෙක් නොනැවතීම එහාට මෙහාට පියඹනවා....

හැල හොල්මනක් නැතිවම විදුලි කණුවක් උඩට වෙලා එක් පැත්තක් බලන් ඉන්න දුම්බොන්නෙක් මීදුම අතරින් මට යම්තමට පෙනෙනව.

මේ සැබෑ දර්ශන පෙළින් තවත් එහාට යන්න මගේ හිත වෙර දරනවා හැමදාමත් වගේ. 

සීතල වතුරත් එක්ක පහළට ඇද හැලෙන දිය ඇල්ලක සිහින් ස්වරයක් මට ඇහෙනව. ඒකෙන් විසිරෙන ජල දුමාරයෙන් මාව යන්තමට නැහැවෙනව. මුලු වට පිටාවම වසාගෙන නැගුණ රූස්ස ගස් මිතුරු යෝධයන් වගේ මා දිහා බලන් ඉන්නව...........

ඒ දර්ශන පෙළ මැකීගෙන යද්දි ලා දළු පාට අලුත් ගොයම් පැළ වලින් සැදුන වෙල යායක් මගේ හිතේ මැවෙනව. ඒ පැත්ත්කින් ගලාගෙනයන පුංචි ඇළ පාර දිහා මම බලන් ඉන්නව. පළිඟු කැටයක් වගේ පැහැදිලි වතුර......... මාළු පැටවු තරඟයට වගේ පීනනව... අසල ගහක හැංගිලා ඉන්න පොල් කිච්චෙක්ගෙ සුමිහිරි නාදය මට ඇහෙනවා......

ඒ එක්කම ඇහෙන ගිලන් රථයක සයිරන් නාදෙන් මගෙ හිත හීන වලින් මිදෙනවා.......... 
නවාතැනේ ඉඳන් මිනිත්තු දෙක තුනක් පයින් යන ගුරු පාර දෙපැත්තෙ තණකොළ උඩට පිණි වැටිලා තියෙන හැටි දකිද්දි මගෙ හිත හැමදාමත් මේ වගේ දර්ශන වලින් පිරෙනවා. 
පිරෙනවටත් වඩා මම පුරව ගන්නව මනසෙ විඩාවෙන් මිදෙන්න. 

ඒත්...........

ඊට සුලු මොහොතකට පස්සෙ නපුරු යෝධයෙක් වගේ නැගිලා ඉන්න රෝහලේ බිත්ති මම දිහා රවාගෙන ඉන්න හැටි මට පේනව. 
චිත්ත පීඩාවෙන්ම විතරක් පිරුණ තවත් දවසක් ඒ විදියට මම ආරම්භ කරනව.

Tuesday, March 5, 2013

බේත් කරන ක්‍රමේ වැරදියි


අම්ම පුංචි පුතාව උස්සගෙන දුවගෙන ආවෙ හැඬූ කඳුලෙන්. ඊටත් වඩා පුතා වේදනාවෙන් මොර දෙනවා.බිම තියල නටවපු උණු වතුර භාජනේට අවුරුදු 2ක ඒ පුංචි දරුවව පිච්චිලා දකුණු අතේ වැලමිට ලඟට එනකම්ම..... 
ළමයින්ව බලා ගැනීම පිළිබඳව කවුරුත් අම්මට උපදෙස් දෙන්න නොගියෙ ඒ ගෙදර තත්වය ගැන යම් වැටහීමක් දු‍ටු සැනින්ම ලැබුණ නිසා.... 
වතුර උණු කරන්න, කන්න බොන්න, නිදාගන්න හැම දේටම තියෙන්නෙ එකම කාමරයක බිම විතරක්ම වෙන්න පුළුවන්....

දරුවාට ප්‍රතිකාර කරන්නට කවුරුත් යුහුසුළු වුණා.... වැඩිහිටියන්ට වඩා කුඩා දරුවන්ට මෙවැනි අවස්ථා වල විශේෂ අවධානය යොමු වීම සාමාන්‍යයි.

වතුර කරාමයක ගලාගෙන යන ජලයට දරුවාගෙ අත මිනිත්තු 30 ක් පුරාවට අල්ලාගෙන ඉන්න අම්මව යොමු කළාට පස්සෙ ඉතාම අත්‍යවශ්‍ය මොහොතක පමණක් භාවිතයට ගන්න ප්‍රබල වේදනා නාශකත් භාවිතයට ගත්තෙ කුඩා දරුවගෙ හැඬුම අසාගෙන ඉන්න බැරිම තැන. පිළිස්සුම් තුවාල වල ආලේප කරන්න අත්‍යවශ්‍ය ඖෂධය වෙනත් වාට්‍ටුවකින් "ණයට" ලබාගත්තෙ එය ඇනවුම් කර ලබාගැනීමට තරමක් වේලා ගත වෙන නිසා.......

පසුවදාම භෞත චිකිත්සක වරියකගේද මැදිහත් වීම සිදු වුණා. ඒ පිළිස්සුම් තුවාල නිසා ඇඟිලි එකට ඇලීම වලක්වන්නට ව්‍යායාම වලට දරුවාව යොමු කරන්න.
ඒ අවස්ථාවත්, තුවාල වලට බෙහෙත් දමන අවස්ථාවත් පුංචි පැටියාට දරා ගන්න අමාරු තරම් වේදනාවක් ගෙනදුන්නා. අම්මගෙ වේදනාව ඊටත් වැඩියි දරුවගෙ හැඬුම් දකිද්දි.... ඒ මවු සෙනෙහස! ඒත් කළ යුතු යමක් වේ නම් එය සිදු කළ යුතුමයි.....ඒ නිසා එම ප්‍රතිකාර නොකඩවා සිදු වුණා.. දරුවාගේ තත්වය බොහෝ දුරට යහපත් අතට හැරෙමින් තිබුණා........

ඒත් අනපේක්ෂිත යමක් සිදු වුණා.....

තුන් වන දිනයේදී දරුවාගේ පියා මා ඉදිරියේ පෙනී සිටියා. 
"ඩොක්ටර්... ළමයගෙ ටිකට් කපල දෙන්න..."සිතා ගත නොහැකි ඉල්ලීමෙන් මා විමතියට පත් වුණා...

"ඒ මොකද?"

"තම තුවාල වේලිලත් නෑ.... අනිත් එක මෙහෙ බේත් කරන විදියට ළමයට රිදෙනවා වැඩියි... අපි සිංහල බේත් කරන්න තමයි බැලුවෙ...."

ඔහුගේ තිර ස්වරය වෙනස් කරන්නට කිසිවෙකුට නොහැකි වුණා.... පිලිස්සුම් වලට ප්‍රතිකාර කිරීමේ මූල ධර්ම ඔහුට පැහැදිලි කරන්නටත් කිසිවෙකුට නොහැකි වුණා....

"වෛද්‍ය අවවාද වලට විරුද්ධව මගේ කැමැත්තෙන් දරුවා රෝහලෙන් ‍රැගෙන යමි....." තවත් ඇඳ ඉහපතක අපැහැදිලි, කැඩුණු අකුරෙන් ලියැවුණා........

දිනෙන් දින මගේ සිතේ ගොනු වන කලකිරීම් ගොන්නට , අසාධාරණ ලෙසින් සේවය හෑල්ලු වීමෙන්, තවත් කලකිරීමක් එකතු වුණා...........