Tuesday, October 25, 2016

සමු නොගන්නෙමි මතක දෙවසර 04 - කතා කරන සිලාවතුර

කතාකරන සිලාවතුර

රන් පැහැති වෙරළ හා මදකට කෝළ වන සුදු රල පෙළ නැවතත් සයුරටම ඇදී ගියේය. රන් පැහැ වැලි කඳු යට සැඟවී ගත් කළු පැහැ ගත් වැලි මතු වුයේ ආපසු යන රළ ට විරෝධය පාන්නට මෙනි. නැගෙනහිර දෙසින් පැමිණි සිහින් වැහි පොදක් ගත තෙමා නොතෙමා පසුබා ගියේය.

මම කකුලේ ඇඟිල්ලෙන් පොළොවේ “එස්” අකුර ලිවීමි. අනතුරුව “එම්” අකුර..... නැවත වරක් “එස් “ සටහන් කිරීමට මට ඉඩ නොදීම ඊළඟ රළ මගේ සටහන මකා දැමීය. අනන්තයට දිවෙන වෙරළ දිගේ දිව යාමට තරම්  දඟකාර කමක් සිතේ උපදියි. මටවත් නොතේරෙන උද්යෝගයකින් සිත පිරී ගොස් තිබිණි. 

සිලාවතුර වෙරළ කතා කරනවා තරමට ප්‍රාණවත් ය.

මම සයුර දෙස බැලීමි. තල් අරණ පිස හමා එන සුළඟ සුපුරුදු පරිදි රළ සමහ කතා බහේ ය. ජලය නිල් පැහැයෙන් අනුණය. ඒ ඈත මුහුදය. රල බිඳෙන සීමාවෙන් මදක් එපිට ඇති මුහුදේ ඇත්තේ කොළ පැහැයකි. ඒ ඇතැම් විට මුහුදු දිය හා එක් වූ හිරු එලිය කළ දඟකාරකමක් වන්නට ඇත. නමුත් මා දැක ඇති වර්ණ තීරු වලින් හැඩ වූ  එකම මුහුද සිලාවතුර මුහුදය. එය දෘෂ්ටි මායාවක් වන්නටද පුළුවන.

ඩොරික් බංගලාවේ ආරක්ෂාවට සිටින නාවික සෙබලා ඈත මුහුද දෙස බලා ගත වනම ගැඹුරු කල්පනාවකය. ඔහුගේ නිළ ඇඳුමත් මුහුදේ පැහැයත් එක සමානය. සැතපුම් සිය ගණනක් දුරින් සිටින සිය මවුපියන් ඔහුට සිහි වනවා වන්නට ඇත. නො එසේ නම්, මාසයකින් නොදුටු තම බිරිඳත් දියණියත් පිළිබඳව ඔහු කම්පාවෙන් පසු වනවා වන්නට ඇත. එසේත් නැතහොත් නිමාවෙමින් පැවති යුද්ධයේ අප නොදන්නා සමයක, නොහඳුනන පෙදෙසක තම දිවි බේරා ගත අයුරු ඔහුට සිහි වනවා වන්නට ඇත.

මීට සියවස් කිහිපයට පෙර ෆෙඩ්රික් නොර්ත් ආණ්ඩුකාරයාගේ ආරක්ෂාවට මෙහි සිටි යුරෝපිය සෙබලෙකු මෙලෙසින්ම ඈත සිතිජය  දෙස බලා සිටි අයුරු මගේ මනසේ ඇඳේ. මුහුදු වැලි පැහැ හිසකේ සහ මුහුදු දිය පැහැති දෑසින් හෙබි ඔහු තම නැව පැමිණි ඉසව්ව සොයනවා බඳුය.

අපට ලබා දුන් දේට වඩා යුරෝපීයයන් අප රටින් උදුරා ගත් දෑ බොහෝය. ලංකාවේ වයඹ දිග වෙරළ තීරය පුරාවට තිබු බොහෝ මුතු එක් කරන ලද්දේ ඔවුන් විසිනි. නොර්ත් ආණ්ඩුකාරයා  විසින් සිය නවාතැන මෙහි ඉදි කිරීමට තීරණය කිරීමට ප්‍රධානම හේතුව , මුතු එකතු කිරීමේ ක්‍රියාවලිය තම දෑසින්ම අධ්‍යයනය කිරීම බව පැවසේ. මුතු එකතු කරන්නන්ගේ සූක්ෂම දෑත් වලින් මිදුණු පරම්පරා වල මුතු බෙල්ලන් තවමත් , තම මුතු හංගා ගත් වනම ගැඹුරු මුහුදේ සුනිල දිය සහ පෙණ බිඳිති අතර සිටිනවා ඇත.

වෙරළට ගසාගෙන විත් ඇති සිප්පි කටුවක් මම සුරතට ගෙන බැලීමි. රෝස පැහැ සිප්පි කටුවේ මට නොපෙනෙන භාෂාවකින් කළු පැහැයෙන් සටහනකි.එහි ඇතුල් පැත්තේ හිරු එළියෙන් පාට වෙනස් වන තවත් සිතුවමකි.  ඒ  හිරු නගින විට හා බැස යන විට දිය කිඳුරියන් අපට නැසෙන ස්වරයකින් ගයන   ගීත ද? නැතහොත් ඔවුන්ගේ පින්සල් වලින් ඇඳෙන සිතුවම් ද?

ඩොරික් බංගලාවේ ආරුක්කු අතරින් ,හිරු  සයුරේ ගිලෙන්නට සැරසේ. ග්‍රීක ගෘහ නිර්මාණ ශිල්පයේ ඩොරික් සම්ප්‍රදායානුකූලව නිර්මිත මෙහි මේ ආරුක්කු අතරින්ම හිරු ,මේ ලෙසින්ම අතීතයේදී ද බැස යන්නට ඇත.


නව පෙම්වතුන් යුවලක් මට ඉදිරියෙන් ඇවිද යයි. මම නැවතත් හුදෙකලාවට පෙම් බඳිමින් සිටියෙමි. ඔවුන් සිනාසෙන හඬ ඇසේ. මම මුනිවත රැකීමි.

නිකැළැල් සිප්පි කටුවක් මා පයට පෑගී ආරක්ෂා විය. මම එය අහුලා ගතිමි. සොබාදහම් දිනිතියගේ ඇකයෙන් මොහොතකට මිදුණු එම හිතුවක්කාර පුංචි සිප්පිකටුව ඇයට හොරෙන් සඟවාගෙන මම සාකුවේ රුවා ගතිමි. ඇගෙන් සිප්පි කටුවක තරම් දෙයක් වත් සොරා නොගත යුතු බව මම දනිමි. නමුත් කුමක් හෝ සිහිවටනයක් මට අවැසි විය.


අදටත් මම ඉඳහිට එය අතට ගෙන බලමි.  


Saturday, October 15, 2016

සමුනොගන්නෙමි , මතක දෙවසර - නොමැකුණු තම්බපන්නිය

එය නපුරු ඉඩෝරයත් , හැඬුම් බර වස්සානයත් අතර මැදි කාලයක් විය.

පාරේ යන්තම් වැදී නොවැදී   යන කැබ් රථය ඉදිරියට යනවාටත් වඩා විසිවන්නේ අහස දෙසටය. කිසිදිනෙක තාර බිඳකුදු නොදුටු ගුරු පාර වල ගොඩැලි වලින් ගහන ය. එය විල්පත්තුව නරඹන්නට පැමිණෙන්නන් නිතර යන ඉසව්වක් නොවේ.

වායු සමනය නොකළ කැබ් රථය හය දෙනෙකුට තරම් වුවද ,එතරම් සුව පහසු නොවීය.  එය වන අඩවි නිලධාරීන් විසින් භාවිත කරනු ලැබුවක් නිසාදෝ පාරේ අඟලෙන් අඟල ද , වල ගොඩැලි ද  පාර දෙපස ඝන වන ලැහැබ වාහනයටත් හුරු පුරුදු බඳුය. සැබවින්ම ඒ වන ජීවී නිලධාරීන් ද ඔවුන්ගේ වාහනයද විල්පත්තුවේම කොටසක් බවට පත් වී තිබිණි.

තම්බපන්නිය - හුදෙක් විජයාවතරණ පුරාවෘතයේ එන පෙදෙසක් පමණක්  පමණක් ලෙසින් කාලයක් සිතා  සිටි මම සැබවින්ම තම්බපන්නිය බැලීමට යමින් සිටියෙමි. කුදිරමලේ තුඩුව , සහ කේ පොයින්ට් යන නම් වලින්ද හඳුන්වන එය විපත්තුව කැලෑවට අයත් වන කොටසක මුහුදු වෙරළකි.

මුහුදු වෙරලකුදු , එය මුහුදු මට්ටමේ සිට තරමක් උසකින් පැවතිණි.උස ස්ථාන වලට ඇති මගේ බියද , මුහුද දෙස එබී බැලීමේ ආශාවද වරින් වර  එකිනෙක පරයමින් සටන් වැදුන අතර බිය පරදා ආශාව නොබෝ වෙලාවකින් ජය ගත්තේය.

ඈත අහසේ සුදු පැහැති රාජාලියන් කිහිප දෙනෙකු මුහුදට ඉහල අහසේ සරනු දිස් වේ. මේ ප්‍රදේශයේ ඔවුන් සුලබ බව අසා තිබූ නිසාවෙන්ම මම ඔවුන් සිටිනේදැයි අවදානයෙන් පසු වීමි. මුහුදු වෙරළේ සිට ගොඩ බිම දෙස බලන කල්හි දිස් වන්නේ අමුතුම භූ විශමතාවයකි. ලංකාවේ කිසිදු පෙදෙසක මෙවන් වූ අසාමාන්‍ය පිහිටීමක් මම දැක නැත්තෙමි.

“අන්න තුන්පත් රෑන.” වන ජීවී නිලධාරියෙකු පැවසුයේ අප කිසිවෙකුත් නොසිතූ මොහොතකය. තඹ පැහැ ගත් වැලි අවුස්සමින් අවට ගස් වල අතු රිකිලි මුව තුළ රුවා ගනිමින්  සිටි ඔවුන් තිදෙනාට නම් අපගේ වගක් වත් නොවීය . එහෙත් අපගේ සියලු අවධානය ඔවුන් කෙරෙහි යොමු වී තිබුණි. ඒ දර්ශනයේ වූ අපුර්වත්වයත් , කිනම් හෝ මොහොතක ඔවුන් අප වෙත දිව  ඒවි දැයි තිබූ අනියත බියත් ඒ සඳහා හේතු විය.

දවස ගෙවී යමින් තිබිණි. තඹ පැහැ ගත් හිරු , තඹ පැහැ ගත් අහසට ද තඹ පැහැති මුහුදට ද තඹ පැහැයෙන් ගිනි තබමින් තිබුණේ තම්මැන්නා පොළොවේ තඹ පැහැය තව තවත් වැඩි කරමිනි. ඈතින් පෙනෙන බත්තලංගුන්ඩුව දූපත් අඳුරින් ගිලී යද්දී අපි ආපසු පැමිණීමට තීරණය කළෙමු.

පස් කණ්ඩියක් මත වසා සිටි නිල බිඟු හරයෙක් අප දැක ගැයුවේ දුක් ගීයක් ද තුටු ගීයක්ද නැතහොත් සිය ප්‍රියම්බිකාව කැඳවීමට ගීයක්දැයි මම නොදනිමි. එය කුවේණිය මේ බිම පා තබද්දී ඇයට ද ඇසුන ගීතයක් වන්නට ඇත. කුවේණිය සැඟවූ සිය සහචරයන් සොයා වනය පීරණ කල්හි විජයට ඇසුන ගීතයම වන්නටත් ඇත. ජීවිතයේ එක් එක් සන්ධිස්ථාන වල මොහොතකට නවතිමින් විඩා හරිමින් නැවතත් දිව යන අපට නොතේරෙන බොහෝ රහස් සොබා දම සතුය. එය වටහා ගැනීමට තරම් මුහුකුරා ගිය බුද්ධියක් අප හට නොමැත. සොබාදහම වසර ගණනක් පුරාවට දහදිය හෙලා , දුවිලි බිඳු එකින් එක ගලපා නිමවූ මේ භුමියේ වැලි කැටයකවත් අයිතියක්‌ අපට නැත. පාවහන් වල රැඳුනු තඹ පැහැති දුවිලි ද , මතකයේ සහ කාචයේ සටහන් වූ රූපද පමණක්ම ගෙන අපි ආපසු යාමට සැරසුනෙමු.

ආපසු යාමට සිත් නොදෙන තරම් නිසල බවක් අවට පරිසරයේ රැඳී තිබිණි. එහෙත් යා යුතුය. ජීවිතයේ තව බොහෝ දුර යාමට ඇත. රොබට් ෆ්රෝස්ට් පැවසුවාක් මෙන්

 The woods are lovely, dark and deep,   
But I have promises to keep,   
And miles to go before I sleep,   
And miles to go before I sleep.

විජයගේ සහ කුවේනියගේ සුසුම් මුසුවූ සුන්දර තම්මැන්නාව හැර දමා අප ආපසු පැමිණියෙමු. ඒ ජීවිතයේ අවසාන වතාවට වන්නටද පුළුවන.
එහෙත්,
නිල්පැහැති තම්මැන්නා මුහුද,ඈත බත්තලංගුණ්ඩු දුපත් පිස හමා එන සුළංරැලි සමග සැමදා තඹ පැහැති වෙරළ සිප ගනීවි.
නිල් බිගුහරයන් සැමදා ඔවුන්ගේ ගීය අපට නොතේරෙන්නට  ගයාවී.
තුන්පත් රෑන් යලි යළිත් ඉඳහිට හෝ ඇවිත් යාවි.

මන්නාරම, නුඹේ මතකය කිසිදිනෙක සිතෙන් නොමැකේවි.